තවත්

    හොර ලියවිලිවලින් කොල්ලුපිටියෙ ඉඩමක් විකුණූ 83 හැවිරිදි කතක් අත්අඩංගුවට

    0

    කොල්ලුපිටියේ පිහිටි ඉඩමකට කූඨ ලේඛන සකස්කර රුපියල් ලක්ෂ 500කට විකුණා සිදුකළ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (28) අත්අඩංගුවට ගෙන ඇත.

    බොරැල්ල සේනානායක මාවතේ පදිංචිකාරියක් වන 83 හැවිරිදි කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇය විසින් මෙසේ කූඨ ලේඛන සකස්කර අලෙවිකර ඇත්තේ පර්චර්ස් 14.367ක ඉඩමක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කවුඩුලුවැව විදුහල්පති අත්අඩංගුවට

    0
    Man on the chair in Handcuffs. Rear view and Closeup ,Men criminal in handcuffs arrested for crimes. With hands in back,boy prison shackle in the jail violence concept.

    සිසුවෙකුට කළ පහරදීමක් සම්බන්ධයෙන් පොලොන්නරුව කවුඩුලුවැව මහින්ද මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මැදිරිගිරිය පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කළ පහරදීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම කළ බව මැදිරිගිරිය පොලිසිය සඳහන් කරයි.

    විදුහල්පතිවරයා විසින් කළ පහරදීමෙන් තුවාල ලැබූ බව කියන සිසුවා පොලොන්නරුව රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලබාද ඇති බවද පොලිසිය සඳහන් කළේය.

    මුහුණු පොතින් මත්ද්‍රව්‍ය සාදයක් සංවිධානය කළ STF එකේ SI කොටු

    0

    මුහුණු පොත හරහා මත්ද්‍රව්‍ය සාදයක් සංවිධානය කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ එම සාදයට සහභාගිවී සිටි තරුණයන් පස් දෙනෙක් මත්ද්‍රව්‍ය සමඟ මහවෙල පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත.

    මහවෙල පොලිස් වසමේ පිහිටි හෝලයක පැවති මෙම සාදයට 40ක පමණ පිරිසක් සහභාගිවී සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    මුහුණු පොත හරහා දැනුවත් කරමින් සංවිධානය කළ මෙම සාදයට විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් සහභාගිවී සිට ඇත.

    මෙම සාදය සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව කළ පරීක්ෂාවේදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් පස් දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. සාදය සංවිධානය කළ බව කියන විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයා සතුව තිබියදී ගංජා මිශ්‍ර මදන මෝදක මිලිග්‍රෑම් 22100ක් හෑෂ් මිලි ග්‍රෑම් 620ක් සහ මත්පෙති තොගයක්ද සොයාගත් බව මහවෙල පොලිසිය සඳහන් කරයි.

    මෙම උප පොලිස් පරීක්ෂක මෙම සාදය සංවිධානය කර එහි පැමිණෙන තරුණ තරුණියන්ට මත්ද්‍රව්‍ය අලෙවිකර ඇති බවට පොලිසිය සැකකරයි.

    සුනාමි ආරවුල විසදන්න අල්ලස් ගත් පොලිසියේ දෙන්නට වූ දේ

    0

    ගොයම් කපන සුනාමි යන්ත්‍රයක් සම්බන්ධයෙන් වූ ආරවුලක් සමථයකට පත්කිරීමට රුපියල් 30,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමක් සම්බන්ධයෙන් ගල්නෑව පොලිසියේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරයෙකි.

    ගල්නෑව පිටියේ යාය රණවිරු ගම්මානයේ පදිංචිකරුවෙක් වන පරණ යකඩ එකතුකරනු ලබන පුද්ගලයකුගෙන් මෙම අල්ලස් මුදල පොලිස් නිලධාරීන් විසින් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    උප පොලිස් පරීක්ෂකවරයා අල්ලස් මුදල් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් සහ කොස්තාපල්වරයා ඊට අධාර හා අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

    17 වසරකට පසු කීත් නොයාර් ට පහරදුන් සැකකරුවන් 02ක් අල්ලයි

    0

    ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් මහතා සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් දැරිය නොහැකි ආකාරයේ වද හිංසනයන්ට ලක්කර ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වූ සැකකරුවන් දෙදෙනෙක් වසර 17කට පමණ පසු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

    දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි සිය නිවස අසලදී 2008 වසරේ මැයි 22 වෙනිදා කීත් නොයාර් මහතා පැහැරගන්නා එකල ක්‍රියාත්මක කුප්‍රකට සුදු වෑන් රථ කල්ලිය ඔහුට දස වද දෙමින් ඝාතනය කිරීමට උත්සහයක නිරත විය.

    මෙසේ අත්අඩංගුවට ගනු ලබන්නේ යුද හමුදා බුද්ධි අංශයේ එකල සේවයේ නිරතව සිටි සාමාජිකයන් දෙදෙනෙකි. මේ වන විට හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිටින ඔවුන් දෙදෙනා නවගත්තේගම සහ උලුක්කුලම ප්‍රදේශවල පදිංචිකරුවන්ය. මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (01) නවගත්තේගම සහ ඇලයාපත්තුව යන පොලිස් වසම්වලදී අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේය.

    ගෙවල් කුලී ගැටුමින් ජීවිතයක් අහිමි වේ

    0

    ගෙවල් කුලී මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් සිදුවූ ගැටුමකින් කුලී නිවැසියා පිහි ඇනුමකින් මියගොස් නිවෙස් හිමියා සහ බිරිඳ කැපුම් තුවාල සහිතව රෝහල්ගත කර ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කරයි.

    මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ (26) දහවල් කාලයේදී වැල්ලම්පිටිය වෙහෙරගොඩැල්ල, කම්බිකොටුව ප්‍රදේශයේදීය.

    මියගොස් ඇත්තේ සමන් කුමාර ගුණසේකර නැමැති 52 හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහු මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී බව පොලිසිය සඳහන් කරයි.

    මියගිය පුද්ගලයා කම්බිකොටුවේ නිවසක කුලියට පදිංචිව සිටින බව පොලිසිය පවසයි. නිවසේ හිමිකරු සහ ඔහු අතර පෙරේදා (26) ආරවුලක් ඇතිවී ඇත්තේ ගෙවල් කුලිය සම්බන්ධයෙනි. එහිදී නිවසේ කුලියට රැදී සිටින පුද්ගලයා විසින් පිහියක් රැගෙන නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳට පිහියෙන් ඇන ඇති බව පොලිසිය සඳහන් කරයි. පිහි ඇනුම් කාගෙන නිවසේ හිමිකරු නිවසේ කුලියට රැදී සිටින පුද්ගලයා සමඟ පොරබදා ඇති බවත් පොලිසිය සඳහන් කරයි. එහිදී නිවසේ හිමිකරු විසින් නිවසේ කුලියට රැදී සිටින පුද්ගලයා අත වූ පිහිය උදුරාගෙන ඔහුට ඇන ඇති බව පොලිසිය සඳහන් කරයි.

    තුවාල ලබා සිටි තිදෙනාම අසල්වාසීන් විසින් කොළඹ ජාතික රෝහලට රැගෙනවිත් ඇතුලත් කර ඇති බවත් එහිදී නිවසේ කුලියට රැදී සිටි පුද්ගලයා මියගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

    පාතාලයේ ගිනි අවියක් සුසාන භූමියකින් මතුවේ

    0

    මහජනතාවගෙන් ලද තොරතුරකට අනුව ගම්පහ යාගොඩමුල්ල මහහේන සුසාන භූමියේ සඟවා තිබුණු ටී 56 අවියක් සහ පතොරම් 22ක් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (26) රාත්‍රී කාලයේදී සොයාගෙන ඇත.

    මෙම ගිනි අවිය සුසාන භූමියේ ඇතැයි බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨශයේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරියෙකුට පුද්ගලයකු විසින් ලබාදුන් තොරතුරකට අනුව ගිනි අවිය සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

    මෙම ගිනි අවිය සුසාන භූමියට ගෙනවිත් දැමුවේ කවුරුන්දැයි සොයා විමර්ශන පැවැත්වෙන බව පොලිසිය සඳහන් කළේය.

    Shell පිරවුම් හල් ඇරඹෙයි

    0

    පෙට්‍රෝලියම් නිෂ්පාදන වෙළෙඳාමේ නිරත ලොව ප්‍රමුඛ පෙළේ සමාගමක් වන එක්සත් ජනපදයේ RM Parks Inc සමාගම Shell වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල් ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී ඊයේ (පෙබ. 26) විවෘත කර තිබේ.

    ඒ, මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග්ගේ ප්‍රධානත්වයෙනි.

    ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ මෙරට ඉන්ධන වෙළෙඳපොළට පිවිසෙන RM Parks මෙරට ඉන්ධන වෙළෙඳපොළට එකතුවන හතරවන සමාගම වේ.

    RM Parks Inc. සමග ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2023දී ගිවිසුමකට අත්සන් කෙරිණි.

    මෙම ගිවිසුමට අනුව වසර විස්සක කාලයක් සඳහා එම සමාගමට ඉන්ධන ආනයන කිරීමේ, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අවසරය හිමිවේ.

    එමෙන් ම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගිවිසුම්ගත වී ඇති ඉන්ධන පිරවුම්හල් 150ක් මගින් එම ව්‍යාපාර ආරම්භ කරන අතර තවත් නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමේ අවසරය ද ඔවුනට ලැබෙනු ඇත.

    ජාත්‍යන්තර පාසලක සිසුවෙක් සිසුන් 06 දෙනෙක් අතින් අපයෝජනයට

    0

    නුගේගොඩ ප්‍රදේශයක පිහිටි ජාත්‍යන්තර පාසලක සිසුවෙකු බරපතල ලිංගික අපයෝජනයකට ලක්කිරීමක් සම්බන්ධයෙන් සැකපිට එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුන් 06 දෙදෙනක් අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භකර ඇත.

    අවුරුදු 15ක් වයසැති එම සිසුවා 2023 වසරේ සිට අපයෝජනයට ලක්ව ඇති බව පැවසේ .

    ලක්ෂ 325ක පොහොර අරන් අගරු චෙක්පත් දුන් ව්‍යාපාරිකයාට වූ දේ

    0

    රුපියල් ලක්ෂ 325ක් වටිනා පොහොර අවස්ථා තුනකදී ලබාගෙන ඒ වෙනුවෙන් අගරු චෙත්පත් ලබාදෙමින් වංචාවක් සිදුකළ අම්පාර මධ්‍යම කඳුවරේ පදිංචි ව්‍යාපාරිකයකු පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු 39ක් වන ව්‍යාපාරිකයා පළමු අවස්ථාවේදී එක්කෝටි පනස්තුන් ලකෂ හැත්තෑහය දහසක පොහොරද, දෙවැනි අවස්ථාවේදී රුපියල් තිස්තුන් ලක්ෂයක් වටිනා පොහොරද, තුන්වැනි අවස්ථාවේදී රුපියල් එක්කෝටි තිස්හත් ලක්ෂ හැත්තෑදහසක් වටිනා පොහොරද මිලදී ගෙන අගරු චෙක්පත් ලබාදී ඇති බව පොලිසිය සඳහන් කරයි.

    බ්‍රිතාන්‍ය කත පස්සේ පන්නමින් අතවර කළ දෙ කක් අත්අඩංගුවට

    0

    මෙරට සංචාරයක් සඳහා පැමිණ කල්පිටියේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටින බ්‍රිතාන්‍ය ජාතික 58 හැවිරිදි කාන්තාවකට අතවර කිරීමක් සම්බන්ධයෙන් සැකපිට තරුණයක් දෙදෙනෙක් කල්පිටිය පොලිසිය ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.

    කල්පිටියේ පදිංචිකරුවන් වන සැකකරුවන් අවුරුදු 19 හා 20 යන වයස්වල පසුවන්නන්ය.

    බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව කල්පිටිය නගරයේ සිට ත්‍රීරෝද රථයක් පදවාගෙන ඇය නවාතැන් ගෙන සිටි සංචාරක හෝටලය වෙත ගමන්කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් මග හරස්කර ත්‍රීරෝද රථය නතරකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    එම අවස්ථාවේදී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව බියට පත්ව ඇත. එහිදී යතුරුපැදියේ පැමිණි දෙදෙනා ඇය සමඟ ජායාරූපයක් ගැනීමට අවශ්‍ය බව පවසා ඇත. ඊට ඇය එකඟතාවය පළකිරීමෙන් පසු ඒ අතර සිටි අයෙක් මෙම කාන්තාවගේ මුහුණ සිප ගනිමින් ලිංගික අතරවර සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි. ඇය එහිදී ඔහුව තල්ලුකර ත්‍රීරෝද රථයේ නැගී පළායමින් සිටියදී සැකකරුවන් ත්‍රීරෝද රථය පස්සේ යතුරුපැදියකින් හඹාවිත් ඇත. එහිදී ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්ව ඇති බව පොලිසිය කියයි.

    ලොරියේ හොර කුටීරයක කේරල ගංජා කිලෝ 400ක් – හමු දා බුද්ධි අංශයේ ඔත්තුවෙන් අල්ලයි

    0

    ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරටට හොර රහසේ රැගෙන ආ කේරල ගංජා කිලෝ 400ක් ලොරි රථයක රහසිගත කුටියක සඟවා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් කිලිනොච්චිය පොලිිසියේ නිලධාරීන් විසින් ඊයේ (23) රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    යුද හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම ලොරි රථය පොලිසිය විසින් නවතා පරීක්ෂාකර ඇත්තේ පරන්තන් සහ අලිමංකඩ අතර ප්‍රදේශයේදීය.

    අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 34 හා 40 යන වයස්වල පසුවන කිලිනොච්චියේ පදිංචිකරුවන්ය.

    පාර්සල් 182ක් ලෙස මෙම ගංජා තොගය තිබී ඇත්තේ ලොරි රථයේ බඳේ සකස් කළ රහසිගත කුටියකය. මෙම රථය යාපනය වඩුක්කෝට්ටේ සිට පැමිණ ඇති බවද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    ගිනි අවි හා පතොරම් සමඟ සෙව්වන්දි කොටු

    0

    හබරාදූව වැල්ලෙගෙවත්තේ පිහිටි නිවසක සඟවා තිබුණු ගිනි අවි කිහිපයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට හබරාදූව පොලිසිය ඊයේ (27) සමත්ව ඇත.

    රිවෝල්වරයක් සහ රිවෝල්වරය හැඩැති තවත් ගිනි අවියක් ඒ අතර තිබී ඇත. මෙම අවි වලට අමතරව මිලිමීටර් 09 වර්ගයේ පතෙර්ම් 02ක් සහ කඩුවත් සොයාගත් තිබේ.

    වයස අවුරුදු 27ක් වන එම කාන්තාව ඩබ්ලිව්. ඩී. සෙව්වන්දි නැමැති තැනැත්තියකි

    බස් මගියාගේ අවධානයෙන් පතොරම් පාර්සලයක් හ මුවේ

    0

    කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබුණු ලංගම බස් රථයක තිබී විවිධ වර්ගයේ පතොරම් 123 ක් සහිත පාර්සලයක් බස් මගියෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුව ඊයේ සොයාගෙන ඇත.

    බස් රථයේ ගමනාන්තය වන බණ්ඩාරවෙල බස් නැවතුම්පොලට පැමිණ ඊයේ (22) දහවල් නතර කිරීමෙන් අනතුරුව කළ පරීක්ෂා කිරීමේදී ගමන් මලු රදවනයේ තිබූ බැගයකින් පතොරම් තොගය හමුවී තිබේ.

    එම පතොරම් තොගය තෑගි පාර්සලයක් ලෙස රැපින් කළ පෙට්ටියක් තුළ තිබී ඇත.

    පිස්තෝලවලට යොදන මිලි මීටර් 09 වර්ගයේ පතොරම් 113ක් ,එල්.එම්.ජී. පතොරම් 01ක්, ටී 56 අවිවලට යොදන පතොරම් 09ක් බස් රථයේ අතහැර ගොස් තිබුණු බෑගයෙන් සොයාගත් පතොරම් අතර තිබී ඇත.

    සුපිරි වෙළඳ සැලෙන් ෂැම්පු බෝතලයයි ග්‍රෑම ් 100 තේ කොල පැකට් එකයි ඉස්සූ එස්.අයි.ට වූ දේ

    0

    පේරාදෙණියේ වෙළඳ සැලකට ගොස් ෂැම්පු බෝතලයක් සහ තේ කොල පැකට්ටුවක් සොරාගත් පේරාදෙණිය පොලිසියට අනුයුක්තව සේවයේ නිරතව සිටින උප පොලිස් පරීක්ෂකවරයෙක් ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම උප පොලිස් පරීක්ෂකවරයා අවුරුදු 59ක් වයසැති අයෙකි.

    පේරාදෙණිය ඊරියගම පිහිටි වෙළඳ සැළට ඊයේ (22) ගොස් ඇති මෙම නිලධාරියා තෝරාගත් භාණ්ඩ සඳහා මුදල් ගෙවීමෙන් පසු ආයතනයේ සේවකයන් විසින් ඔහුව පරීක්ෂාකර ඇත්තේ සාක්කුවලට ඔහු එහි ඇති භාණ්ඩ දමාගන්නා අයුරු ආරක්ෂක කැමරාවලි නිරීක්ෂණය වී තිබීම හේතුවෙනි.

    එම පරීක්ෂාවේදී ෂැම්පු බෝතලයක් සහ තේ කොල ග්‍රෑම් 100ක පැකට්ටුවක් සේවකයන් විසින් සොයාගෙන තිබේ.

    මේ ගැන වෙළඳ ආයතනයේ කළමනාකරු විසින් පේරාදෙණිය පොලිසිය දැනුවත් කර ඇත. ඒ අනුව එහි පැමිණි පොලිස් නිලධාරීන් උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

    දරු දෙදෙනා සමඟ කජ්ජාව මරා දැමුවාට තුනක් අ ල්ලයි – 02ක් හමුදාවේ – 01 පොලිසියේ

    0

    සිය දරුවන් දෙදෙනා සමඟ වෙඩි ප්‍රහාරයකට ලක්ව මරණයට පත් අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා නැමැති අපරාධකරු පොලිස් වෙසින් මංකොල්ලයක් සිදුකිරීමේ සූදානමක් ඇතිව පොලිස් නිලධාරියෙකුගේ නිවසකට ගොස් අත්විලංගු දෙකක් ඒ සඳහා රැගෙන ගමන්කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    හරක් කටාගේ මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට තොරතුරු දීමක්, ගංජා තොගයක් කොල්ලකෑමක්, බූරු පිටි කොල්ලකෑමක් ඇතුළු අපරාධ ගොන්නක් සම්බන්ධයෙන් මෙන්ම දේශපාලන විරසික මත ජීවිත තර්ජනයකට ලක්ව සිටි කජ්ජා කාලයක් තිස්සේ සිට ඇත්තේ ආරක්ෂා සහිතව බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    පසුගිය 18 වෙනිදා ඔහු මාංචු කුට්ටම තමා දන්නා කියන නිලධාරියෙකුගෙන් ලබාගැනීමට යන හය හැවිරිදි දියණිය හා 09 හැවිරිදි පුතාව යතුරුපැදියේ නන්වාගෙන ගොස් ඇත්තේ දරුවන් දෙදෙනා සමඟ ගමන් කිරීමේදී තර්ජනයක් එල්ල නොවනු ඇතැයි විශ්වාසකරමින් විය හැකියැයි විමර්ශන නිලධාරීන් සැකකරයි.

    තංගල්ල පෙලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙක් වන එම නිලධාරියාගේ නිවසට ගොස් පොලිසියට අයත් මාංචු කුට්ටම ලබාගත් කජ්ජා සිය දරුවන් දෙදෙනා සමඟ යතුරු පැදියේ ගමන්කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කල්තියා කළ සැළසුමකට අනුව බවද විමර්ශන වලින් අනාවරණය වී තිබේ. පොලිස් නිලධාරියාගේ නිවසින් එදින රාත්‍රී කාලයේ කජ්ජා මාංචු කුට්ටම ලබාගන්නා බව ප්‍රතිවිරුද්ද කණ්ඩායම දැන වෙඩික්කරුවන් යොදා අතර මගදී ඔහුව ඝාතනයකර ඇති බවත් වෙඩික්කරුවන් දරුවන් ගැන තැකීමක් නොකර ටී 56 අවියෙන් කජ්ජා ඉලක්කර යතුරු පැදිය වෙත වෙඩි තබා ඇති බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    පොලිසියේ මංචු කුට්ටම ගැන තොරතුරු හෙළිවී ඇත්තේ කජ්ජා ඝාතනය වූ ස්ථානයේ තිබී හමුවූ මාංචු කුට්ටම සම්බන්ධයෙන් කළ විමර්ශනයේදීය. ඊට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා පසුගිය 21 වෙනිදා මුලින්ම අත්අඩංගුවට ගෙන ඇති පොලිසිය අනතුරුව ඔහුගේ තොරතුරු සහ විමර්ශන තොරතුරු ඔස්සේ සෙසු යුද හමුදාවෙන් පළාගොස් පසුව නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත්වූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. වලස්මුල්ල සහ වීරකැටියේ පදිංචිකරුවන් වන ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ද 21 වෙනිදාය.

    වයස අවුරුදු 37ක් වන ප්‍රසාද් කුමාර නැමැති සැකකාර හිටපු හමුදා සෙබලා 2017 වසරේදී හමුදාවෙන් පළාවිත් 2023 වසරේදී නීත්‍යානුකූලව ඉවත්ව ඇති බව පොලිසිය කියයි. ඔහු වලස්මුල්ල බෝවල පදිංචිකරුවෙකි.

    දෙවැන්නා අවුරුදු 39ක් වන කුෂාර නොහොත් සිඟිති කළුවා නැමැති අයයි. 2010 වසරේදී හමුදා සේවයෙන් පළාවිත් සිටින ඔහු නීත්‍යානුකූලව 2017 වසරේදී හමුදා සේවයෙන් ඉවත්ව ඇති බවද පොලිසිය සඳහන් කරයි. මෙම සැකකරු වීරකැටිය හකුරුවෙල පදිංචිකරුවෙකි.

    මේ හැරුණු කොට පසුගිය 22 වෙනිදා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 29 හැවිරිදි වියේ පසුවන තවත් අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව ඊයේ වන විට මෙම ත්‍රිත්ව ඝාතනයට සැකපිට පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි. එම සැකකරුවන් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පොලිස් නිලධාරියා මාර්තු 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරමින් සෙසු සැකකරුවන් පැය 72ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.

    මිද්දෙණියේ ත්‍රිපුද්ගල ඝාතනයට පොලිසියෙ කොස්තාපල්වරයකු ඇතුළු 3ක් අත්අඩංගුවට

    0

    මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත මංසන්ධියේ දී අනුර විදානගමගේ (කජ්ජා) සහ ඔහුගේ දියණිය සහ පුතා වෙඩි තබා ඝාතනය කිරීමේ සැකපිට පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.


    පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ආනන්ද විජේපාල මහතා අද (21) පෙරවරුවේ මේ බව සඳහන් කළේය.
    සිය දරුවන් දෙදෙනා සමඟ ගමන් කරමින් සිටිය දී පෙරේදා රාත්‍රියේ දී අනුර විදානගමගේ මහතා සහ දරුවන් දෙදෙනා ඝාතනයට ලක්වූහ.

    මෙසේ ඝාතනයට ලක්වනවිටත් අනුර විදානගමගේ ට එරෙහිව අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් තිබූ අතර, ඔහු ඒ සියලු දෑ පිටුපස කිසියම් දේශපාලන හස්තයක් ඇතැයි ද ප්‍රසිද්ධ යූ ටියුබ් නාලිකාවක් සමඟ කළ සංවාදයකදී පවසා තිබිණි.

    පුංචි ලෝකාන්තය නැරඹීමට ගිය දෙදෙනෙක් අතුරදන්

    0

    රිවස්ටන් පිටවල පතනේ පුංචි ලෝකාන්තය නැරඹිමට යමින් සිටියදී ඊයේ අතුරුදන් වූ කාන්තාවක් සහ දරුවෙකු අද උදෑසන කාලයේදී සොයා ගැනීමට සමත්ව ඇත.

    පොලොන්නරුව කඳුරුවෙල සිට පැමිණි 25 දෙනෙකුගේ කණ්ඩායමක් අතර සිටි 58 හැවිරිදි කාන්තාවක් සහ 13 හැවිරිදි පිරිමි දරුවෙක් මෙසේ අතරමංව ඇති බව පොලිසිය කියයි.

    පුංචි ලෝකාන්තය වෙත ගමන්කරන්නට ඇති මාර්ගය වනගත මාර්ගයක් බවත් ඒ යන අතර තුර ඔවුන් දෙදෙනා වනාන්තරයේ අතරමංවී ඇති බව පොලිසිය සඳහන් කළේය.

    පාතාල අපරාධකරුට රැකවරණය දුන් SI සහ බිරිඳ අත්අඩංගුවට

    0

    අම්බලන්තොට කඩවර වැව අසලදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ අපරාධයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුට රැකවරණය ලබාදීම සහ ඔහුව සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් කිරින්ද පොලිස් ස්ථානයේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ ඔහුගේ බිරිඳ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීණ් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම වෙඩි තැබීම පසුගිය ජනවාරි 22 වෙනිදා සිදුවිය.

    මෙහි වෙඩික්කරු වන කඩවර ඉෂාර නැමැත්තාට මෙසේ රැකවරණය ලබාදී ඇති බව පොලිසිය කියයි.

    මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකාර උපපොලිස් පරීක්ෂකවරයාත් ඔහුගේ බිරිඳත් අත්අඩංගුවට ගැනීමෙන් පසු උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමටද තංගල්ල කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගත්තේය.

    මීගොඩ පොලිස් රාළහාමි අයිස් එක්ක අල්ලයි

    0

    මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ හැටන් පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    නෙල්ලිඅඩි පදිංචිකරුවෙක් වන මෙම සැකකරු බීමතින් යතුරුපැදියක් ධාවනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන කළ පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 120ක් ඔහු සන්තකයේ තිබී හමුවූ බව පොලිසිය කියයි.

    ඇල්ල බලන්න ආ ජර්මන් තරුණියගේ ගමන් මල්ල කොල ්ලකෑ කුඩ්ඩා අල්ලයි

    0

    මෙරට සංචාරයක් සඳහා පැමිණ ඇල්ල නැරඹිමට ගිය ජර්මන් ජාතික තරුණියකගේ ගමන් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී කොල්ලකෑ පුද්ගලයකු බණ්ඩාරවෙල පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    දිවුලපිටිය අගලේ ගෙදර පදිංචිකරුවෙක් වන සැකකරු 31 හැවිරිදි වියේ පසුවන මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බව පොලිසිය සඳහන් කරයි.

    ජර්මන් තරුණිය අවුරුදු 20ක් වයසැති තැනැත්තියකි. ඇය කණ්ඩායමක් සමඟ මෙරටට පැමිණ ඇත.

    ඇය දුම්රියේ ගමන්කරමින් සිටියදී මෙම කොල්ලය සිදුකර ඇත්තේ පෙරේදා සවස් කාලයේදීය.

    රුපියල් 30,000ක්, යුරෝ 100ක්, ජංගම දුරකථනයක් ඇතුළු රුපියල් ලක්ෂ4කට අධික දෑ එම ගමන් මල්ලේ තිබී ඇත.

    නාවික හමුදා රංගල කඳවුරෙන් ඉස්සූ ටී 56 සිව් වසරකට පසු කුලියාපිටියෙන් සොයාගනී

    0

    රංගල නාවික හමුදා කඳවුරෙන් 2021 වසරේදී අස්ථානගත වූ ටී 56 වර්ගයේ ගිනි අවියක් කුළියාපිටිය ඉළුක්හේනේ පිහිටි නාවික හමුදා සෙබලෙකුගේ නිවසකින් අද (16) අලුයම සොයාගෙන තිබේ.

    නාවික හමුදා මූලස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සෙබලාගේ නිවස වටලා කළ පරීක්ෂාවේදී ගිනි අවිය හමුවී ඇතැයි කුලියාපිටිය පොලිසිය සඳහන් කළේය.

    එම ගිනි අවිය රංගල නාවික හමුදා කඳවුරෙන් සිව් වසරකට පෙර අස්ථානගතවූ ගිනි අවිය බව හදුනාගැනීමෙන් අනතුරුව නිවෙස් හිමි නාවික හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇත.

    එම සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් තිබෙන බවත් නාවික හමුදාව පාර්ශවයෙන් කෙරන විමර්ශන අවසන්වූ වහාම පොලිසියට භාරදීමට නියමිතව ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

    අධිවේගයේ ටිකට් කවුන්ටරයේ දී කාන්තාවකට ලි ංගික අතවර කළ කොස්තාපල් අල්ලන්න සොයයි

    0

    අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරුවේ සේවයේ නිරත මුදල් අයකැමිවරියකට ප්‍රවේශපත්‍ර කවුළුවේ රාජකාරියේ නිරතව සිටියදී එතැනට පැමිණි පොලිස් නිලධාරියෙකු විසින් ලිංගික අතවරයක් සිදුකිරීමක් සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

    මෙම අතවරය සිදුව ඇත්තේ පසුගිය 11 වෙනිදාය. මේ සම්බන්ධයෙන් එම මුදල් අයකැමිවරිය හෝමාගම පොලිස් ස්ථානයට පැමිණිලිකර තිබේ.

    කොට්ටාව අන්තර් හුවමාරුවේ ඇතුළුවීමේ කවුළුවේ සේවයේ නිරතව සිටියදී ඇයට අතවරකර ඇත්තේ පොලිස් කොස්තාපල්වරයෙකි. ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී කොස්තාපල්වරයා ඇයට අතවර කරන අයුරු පැහැදිලිවම එහි සටහන්ව තිබී ඇත ඒ අනුව කොස්තාපල්වරයාව පසුගිය 13 වෙනිදා හෝමාගම පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් සංචාරක අධිවේගී මාර්ග කොට්ඨාශයට ගොස් ඔහුව සියභාරයට ගෙන තිබේ. එම අවස්ථාවේදී ඔහු පොලිස් භාරයෙන් පළාගොස් ඇත.

    මේ සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය හෝමාගම අධිකරණයටද කරුණු වාර්තාකර තිබේ.

    මෙම නිලධාරියා විසින් සිදුකළ විෂමාචාර ක්‍රියාව හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමටද පියවර ගත් බව පොලිසිය කියයි.

    මෝටර් රථ අමතර කොටස් අතරින් කෝටියක මත්පැන් මතුවේ

    0

    මෝටර් රථ අමතර කොටස් අස්සේ සඟවා මෙරටට මිල අධික විදේශීය මත් බෝතල් රැගෙන ඒමේ ජාවාරමක් හෙළිකරගත් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට අයත් දෙල්කඳ පිහිටි මෝටර් රථ අමතරකොටස් අලෙවි ස්ථනයක් පෙරේදා (15) පරීක්ෂාකර එහි සඟවා තිබී රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොයා ගත්තේය.

    මෙම මත්පැන් බෝතල් තොගය තිබී ඇත්තේ ව්‍යාපාරික ස්ථානයේ බිම් මහලේ මෝටර් රථ අමතර කොටස් උපාංග අතර ඉතා සූක්ෂම ලෙස සඟවා බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.

    මත්පැන් තොගය සමඟ එම ස්ථානයේ කළමනාකරු ලෙස කටයුතු කළ මහරගම පදිංචිකරුවෙක් වන 59 හැවිරිදි වියේ පසුවන්නෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම ව්‍යාපාරික ස්ථානය හිමි ව්‍යාපාරිකයාට කොල්ලුපිටියේ සහ කොට්ටාවේ රාත්‍රී සමාජ ශාලා දෙකක් ඇති බවත් මෙම ස්ථානයේ සඟවා තැබෙන මත්පැන් එම රාත්‍රී සමාජ ශාලාවල පරිහරණයට යොදාගන්නා බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    මෙම මත්පැන් බෝතල් මෝටර් රථ අමතර කොටස් පෙට්ටි තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙනවිත් ඇති බව එම පෙට්ටි පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වූ බවද එම නිලධරියා සඳහන් කළේය.

    බංගලි සිසුවිය දූෂණය කළ ව්‍යාරිකයා අත්අඩං ගුවට

    0

    වැලන්ටයින් දිනය දා ගාල්ල දඩැල්ලේ පිහිටි නිවාස සංකීර්ණයකදී බංගලාදේශ ජාතික සිසුවියක දූෂණය කළ බංගලාදේශ ජාතික ව්‍යාපාරිකයෙකු ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    බංගලාදේශ ජාතික සිසුවිය අවුරුදු 22ක් වයසැති තැනැත්තියක් බවත් ව්‍යාපාරිකයා 42 හැවිරිදි වියේ පසුවන්නෙක් බවත් පොලිසිය සඳහන් කරයි.

    මෙම අපරාධය සිදුවූ නිවාස සංකීර්ණයේ පිහිටි නිවසට ව්‍යාපරිකයා පැමිණ ඇත්තේ ඇගේ කැමැත්ත මත බව විමර්ශන වලින් අනාවරනය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    මෙම සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර ඇති අතර එහිදී ඇය දූෂණය වී ඇතැයි තහවුරු වී තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය.

    ඉන්දියාවේදී ඇල්ලූ පාතාලයේ අපරාධකරු බිරි ඳත් එක්කම පිටුවල් කර එවයි

    0

    මෙරටින් පළාගොස් ඉන්දියාවේ සැඟවී සිටි පාතාලයේ අපරාධකරුවෙක් සිය බිරිඳ සමඟ ඉන්දියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද 16) එරටින් මෙරටට පිටුවල්කරනු ලැබීය.

    කොළඹ 15 ජම්පටා වීදියේ පදිංචිකරුවෙක් වන පුෂ්පරාජ් විග්නේෂ්වරන් නැමැති 30 හැවිරිදි පාතාල අපරාධකරු මෙසේ මෙරටට පිටුවහල්කර තිබේ.

    මෙම අපරාධකරුවන ඉන්දියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු සහ බිරිඳ මෙරටට පිටුවහල්කර ඇත්තේ ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉන්දියාවෙන් කළ ඉල්ලීමකට අනුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

    ඔහුගේ බිරිඳ 25 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් බවත් ඔවුන් දෙදෙනාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් බව බුද්ධික මනතුංග මහතා කීය.

    වෙරළබඩ පොලිස් වසමේදී 2022 වසරේ අප්‍රේල් 21 වෙනිදා පුද්ගලයකුට වෙඩි තබා ඝාතනයට තැත්කිරීම සම්බන්ධයෙන් අධිකරණය මගින් ඔහුට විවෘත වරෙන්තුවක් නිකුත්කර ඇති බවද බුද්ධික මනතුංග මහතා පැවසීය. මේ හැරුණු කොට 2018 වසරේ ජනවාරි 06 වෙනිදා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් ළඟ තබාගෙන සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවත් කොටහේන පොලිසිය අවස්ථා කිහිපයකදීම හෙරොයින් සමඟ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවත් බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

    මුදලට ඔට්ටු සූදු ක්‍රීඩා කිරීම, ගිනි අවි සන්තකයේ තතා ගැනීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාව පොලිසිය අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු සහ ඔහුගේ බිරිඳ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

    කළුතර බෝධිය අසල කළු ගඟෙන් මුහුණ සෝදිමින් ස ිටි තරුණයෙකු කිඹුලෙකු ඩැහැ ගනී

    0

    කළුතර බෝධිය ආසන්නයේ කළු ගගෙන් මුහුණ සෝදමින් සිටි පුද්ගලයකු කිඹුලෙකු විසින් ඊයේ ඩැහැගෙන ගොස් ඇත.

    කළුතර පාලම යට ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුර පාලම උඩ රැදී සිටි පුද්ගලයකු දැක තිබේ.

    මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව කළ සොයා බැලීමකදී කිඹුලා විසින් ඩැහැගෙන ගියේ යැයි සැකකරන පුද්ගලයාගේ ගමන් බෑගය එම ස්ථානයේ තිබී සොයාගෙන ඇත. එහි වූ හැදුණුම්පතක ඡායාරූපයක් සහ බැංකු පාස් පොත් දෙකක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත. ඊට අනුව එම පුද්ගලයා අවුරුදු 28ක් වන කතරගම පදිංචිකරුවෙකි.

    පානදුර ගිලුණු නැව අසල දිය නෑමට ගිය ළමුන් 12 ක් දියේ ගිලේ

    0

    පානදුර වෙරළ තීරයේ ගිලී ගිය නෞකාව අසල දියනෑමට ගිය ළමුන් 12 දෙනෙක් දියවැලකට හසුවී ගසාගෙන යමින් සිටියදී එම දරුවන්ගෙන් 11 දෙනෙක් වෙරළ තීරයේ ජීවිතාරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් විසින් බේරාගැනීමට ඊයේ සමත්ව ඇත.

    මෙම දරුවන් 11 දෙනා බේරාගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බව පොලිසිය කියයි.

    මෙහිදී බේරාගැනීමට නොහැකි වී ඇත්තේ එක් දරුවෙක් පමණි. ඔහු දියේ ගිලී අතුරුදන්ව ඇත. එම දරුවා වයස අවුරුදු 18ක් වන කෙසෙල්වත්ත පානදුර පදිංචිකරුවෙකි.

    බේරාගත් දරුවන් අවුරුදු 12සහ 18 වයස්වල පසුවන්නන් බවත් ඔවුන් පානදුර සහ පනාමුර පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කරයි.

    OIC ලා 85ක් මාරු – 53කට තනතුරු අහිමිවේ

    0

    පොලිස් ස්ථානාධිපතිවරු 85 දෙනෙකුට වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින් ස්ථානමාරු නියෝග අද රාත්‍රී කාලයේදී නිකුත් කරනු ලැබීය.

    එම ස්ථාන මාරු නියෝගයට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු 138 දෙනෙකු ස්ථාන මාරුවීම් ලබනු ඇත.

    ඒ අතර පොලිස් ස්ථානාධිපතිධූර දරණ නිලධාරීන් 53 දෙනෙකුට ස්ථානාධිපතිධූර අහිමිවී තිබේ. තනතුර රැක ගනිමින් ස්ථාන මාරුවීම් ලැබීමට සමත්ව ඇත්තේ නිලධාරීන් 32 දෙදෙනෙක් පමණි.

    මෙහිදී පොලිස් නිලධාරීන් 53 දෙනෙකුට ස්ථානාධිපතිධූර හිමිව තිබීම විශේෂිතය.

    මගී බස් රථ දෙකක් තෝරයායේදී ගැටී 04ක් මියගොස ් 20කට තුවාල

    0

    කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දොරටියාව තෝරයාය ප්‍රදේශයේදී මගී බස් රථ දෙකක් එකිනෙකට ගැටී සිදුවූ අනතුරකින් සිව් දෙනෙක් මියගොස් 20 දෙනෙක් තුවාල ලබා ඇත.

    මෙම අනතුර අද (10) අලුයම් කාලයේදී සිදුව තිබේ. මියගොස් ඇති අය අතර කාන්තාවක්ද සිටී.

    කඳුරුවෙල සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික මගී බස් රථයක් මගීන් නැන්වීමට නවතා තිබියදී පසුපසින් පැමිණි පුද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

    පිටුපසින් පැමිණි බස් රථයේ අධික වේගය මෙම අනතුරට මුල්වී ඇති බව පොලිසිය සඳහන් කරයි.