සිය දරුවන් දෙදෙනා සමඟ වෙඩි ප්‍රහාරයකට ලක්ව මරණයට පත් අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා නැමැති අපරාධකරු පොලිස් වෙසින් මංකොල්ලයක් සිදුකිරීමේ සූදානමක් ඇතිව පොලිස් නිලධාරියෙකුගේ නිවසකට ගොස් අත්විලංගු දෙකක් ඒ සඳහා රැගෙන ගමන්කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
හරක් කටාගේ මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට තොරතුරු දීමක්, ගංජා තොගයක් කොල්ලකෑමක්, බූරු පිටි කොල්ලකෑමක් ඇතුළු අපරාධ ගොන්නක් සම්බන්ධයෙන් මෙන්ම දේශපාලන විරසික මත ජීවිත තර්ජනයකට ලක්ව සිටි කජ්ජා කාලයක් තිස්සේ සිට ඇත්තේ ආරක්ෂා සහිතව බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත.
පසුගිය 18 වෙනිදා ඔහු මාංචු කුට්ටම තමා දන්නා කියන නිලධාරියෙකුගෙන් ලබාගැනීමට යන හය හැවිරිදි දියණිය හා 09 හැවිරිදි පුතාව යතුරුපැදියේ නන්වාගෙන ගොස් ඇත්තේ දරුවන් දෙදෙනා සමඟ ගමන් කිරීමේදී තර්ජනයක් එල්ල නොවනු ඇතැයි විශ්වාසකරමින් විය හැකියැයි විමර්ශන නිලධාරීන් සැකකරයි.
තංගල්ල පෙලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙක් වන එම නිලධාරියාගේ නිවසට ගොස් පොලිසියට අයත් මාංචු කුට්ටම ලබාගත් කජ්ජා සිය දරුවන් දෙදෙනා සමඟ යතුරු පැදියේ ගමන්කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කල්තියා කළ සැළසුමකට අනුව බවද විමර්ශන වලින් අනාවරණය වී තිබේ. පොලිස් නිලධාරියාගේ නිවසින් එදින රාත්‍රී කාලයේ කජ්ජා මාංචු කුට්ටම ලබාගන්නා බව ප්‍රතිවිරුද්ද කණ්ඩායම දැන වෙඩික්කරුවන් යොදා අතර මගදී ඔහුව ඝාතනයකර ඇති බවත් වෙඩික්කරුවන් දරුවන් ගැන තැකීමක් නොකර ටී 56 අවියෙන් කජ්ජා ඉලක්කර යතුරු පැදිය වෙත වෙඩි තබා ඇති බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.
පොලිසියේ මංචු කුට්ටම ගැන තොරතුරු හෙළිවී ඇත්තේ කජ්ජා ඝාතනය වූ ස්ථානයේ තිබී හමුවූ මාංචු කුට්ටම සම්බන්ධයෙන් කළ විමර්ශනයේදීය. ඊට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා පසුගිය 21 වෙනිදා මුලින්ම අත්අඩංගුවට ගෙන ඇති පොලිසිය අනතුරුව ඔහුගේ තොරතුරු සහ විමර්ශන තොරතුරු ඔස්සේ සෙසු යුද හමුදාවෙන් පළාගොස් පසුව නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත්වූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. වලස්මුල්ල සහ වීරකැටියේ පදිංචිකරුවන් වන ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ද 21 වෙනිදාය.
වයස අවුරුදු 37ක් වන ප්‍රසාද් කුමාර නැමැති සැකකාර හිටපු හමුදා සෙබලා 2017 වසරේදී හමුදාවෙන් පළාවිත් 2023 වසරේදී නීත්‍යානුකූලව ඉවත්ව ඇති බව පොලිසිය කියයි. ඔහු වලස්මුල්ල බෝවල පදිංචිකරුවෙකි.
දෙවැන්නා අවුරුදු 39ක් වන කුෂාර නොහොත් සිඟිති කළුවා නැමැති අයයි. 2010 වසරේදී හමුදා සේවයෙන් පළාවිත් සිටින ඔහු නීත්‍යානුකූලව 2017 වසරේදී හමුදා සේවයෙන් ඉවත්ව ඇති බවද පොලිසිය සඳහන් කරයි. මෙම සැකකරු වීරකැටිය හකුරුවෙල පදිංචිකරුවෙකි.
මේ හැරුණු කොට පසුගිය 22 වෙනිදා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 29 හැවිරිදි වියේ පසුවන තවත් අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව ඊයේ වන විට මෙම ත්‍රිත්ව ඝාතනයට සැකපිට පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි. එම සැකකරුවන් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පොලිස් නිලධාරියා මාර්තු 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරමින් සෙසු සැකකරුවන් පැය 72ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.