fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්

    මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්

    නිසි රැකියා කොන්ත්‍රාත්තු සහ රැකියා වීසා නොමැතිව විශාල වැටුප් ලබාදෙන බව කියන, මිනිස් ජාවාරම් සහ අපරාධ කණ්ඩායම්වලට හසුනොවන ලෙස අග්නිදිග ආසියානු කලාපයේ රැකියා අවස්ථා අපේක්ෂා කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබේ.

    මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා ශ්‍රී ලාංකිකයින් මිනිස් ජාවාරමේ ගොදුරු වීම පිළිබඳව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් කරමින් මේ බව සඳහන් කර ඇත.

    මියන්මාරයට ප්‍රවාහනය කර ඇති ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව ගෙන්වා ගැනීම සඳහා මියන්මාරයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අඛණ්ඩව ක්‍රියාකාරීව මියන්මාර බලධාරීන්ගේ සහාය ලබාගෙන ඇති බව අමාත්‍යාංශය කියයි.

    මෙම තත්ත්වය 2022 වසරේ සිට පවතින ගැටලුවක් බව ද එහි දැක්වේ.

    මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මියන්මාර රජයේ බලධාරීන් සමඟ එක්ව විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ මූලිකත්වයෙන් ගලවා ගැනීමේ සහ නැවත ගෙන්වා ගැනීමේ ප්‍රයත්නයන්වල ප්‍රතිඵලයක් ලෙස 2022/2023 කාලපරිච්ඡේදය තුළ වරින් වර විපතට පත් වූවන් 32 දෙනෙකු බේරා ගැනීමට හැකි වී ඇත.

    තත්වයේ බරපතල ස්වභාවය සැලකිල්ලට ගෙන, විදේශ අමාත්‍ය එම් යූ එම් අලි සබ්රි, තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන බිම්ස්ටෙක් විදේශ අමාත්‍යවරුන්ගේ සමුලුවට සමගාමීව මියන්මාරයේ විදේශ කටයුතු අමාත්‍ය තාන් ස්වේ සමඟ ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල පළ කර ඇත.

    විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව කොළඹ මියන්මාර තානාපතිවරයා සමඟ දිගින් දිගටම බරපතළ කනස්සල්ලක් මතු කරන අතර ඔවුන් බේරා ගැනීමට සහ ආපසු ගෙන්වා ගැනීමට අවශ්‍ය සහය සහ ඉක්මන් මැදිහත්වීම් ඉල්ලා සිටිති.

    අමාත්‍යාංශයට ලැබී ඇති තොරතුරුවලට අනුව මේ වන විට මියන්මාරයේ Myawaddy ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු රඳවා සිටි.

    මෙම ගැටළුව විසඳීම සඳහා මියන්මාර රජයේ බලධාරීන් සහ සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) සමඟ සම්බන්ධ වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බව අමාත්‍යාංශය කියයි.

    පවතින තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයට ප්‍රවේශවීමේ දුෂ්කරතා පිළිබඳව මියන්මාර රජය දැනුම් දී තිබේ.

    ජාතික මිනිස් ජාවාරමට එරෙහි කාර්ය සාධක බලකාය (NAHTTF), අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID), මිනිස් ජාවාරම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍ර අපරාධ කොට්ඨාසය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමට සහ අඛණ්ඩව සම්බන්ධ වීමට අමාත්‍යාංශය දැනටමත් කටයුතු කර ඇත.

    මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගිය 19 වන දින, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මියන්මාරයේ ස්වදේශ කටයුතු අමාත්‍ය ලුතිනන් ජෙනරාල් යාර් ප්‍යායි සහ මියන්මාරයේ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අධ්‍යක්ෂ ජනරාල් U. Aung Kyaw Oo, Nay Pyi Taw හිදී හමුවි සාකච්ඡා කර ඇත.

    මෙම හමුවේදී තානාපතිවරයා මියන්මාර රජයෙන් ඉල්ලා සිටියේ ජාවාරමට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීමට කඩිනම් සහය ලබා දෙන ලෙසයි.

    රැකියා දීමනා ප්‍රධාන වශයෙන් තොරතුරු තාක්ෂණ අංශයේ වන අතර ශ්‍රී ලාංකිකයින් මියන්මාරයට යන්නේ රැකියා වීසා සහ කොන්ත්‍රාත්තු වෙනුවට සංචාර වීසා බලපත්‍ර භාවිතා කරමින් බව දැනගන්නට ඇති බව නිවේදනයේ දැක්වේ.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී මෙම ශ්‍රමිකයින් මියන්මාරයට ගමන් කරන බවද එහි සඳහන් ය.

    මියන්මාර රජය සමඟ සාකච්ඡා කර අපගේ ජාතිකයින්ගේ ආරක්ෂාව සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා හැකි සෑම මාර්ගයක්ම අමාත්‍යාංශය විසින් දිගටම සොයනු ඇති බවද අමාත්‍යාංශය අවධාරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.