අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරුවේ සේවයේ නිරත මුදල් අයකැමිවරියකට ප්‍රවේශපත්‍ර කවුළුවේ රාජකාරියේ නිරතව සිටියදී එතැනට පැමිණි පොලිස් නිලධාරියෙකු විසින් ලිංගික අතවරයක් සිදුකිරීමක් සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය විමර්ශනයක් ආරම්භකර ඇත.
මෙම අතවරය සිදුව ඇත්තේ පසුගිය 11 වෙනිදාය. මේ සම්බන්ධයෙන් එම මුදල් අයකැමිවරිය හෝමාගම පොලිස් ස්ථානයට පැමිණිලිකර තිබේ.
කොට්ටාව අන්තර් හුවමාරුවේ ඇතුළුවීමේ කවුළුවේ සේවයේ නිරතව සිටියදී ඇයට අතවරකර ඇත්තේ පොලිස් කොස්තාපල්වරයෙකි. ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී කොස්තාපල්වරයා ඇයට අතවර කරන අයුරු පැහැදිලිවම එහි සටහන්ව තිබී ඇත ඒ අනුව කොස්තාපල්වරයාව පසුගිය 13 වෙනිදා හෝමාගම පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් සංචාරක අධිවේගී මාර්ග කොට්ඨාශයට ගොස් ඔහුව සියභාරයට ගෙන තිබේ. එම අවස්ථාවේදී ඔහු පොලිස් භාරයෙන් පළාගොස් ඇත.
මේ සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය හෝමාගම අධිකරණයටද කරුණු වාර්තාකර තිබේ.
මෙම නිලධාරියා විසින් සිදුකළ විෂමාචාර ක්‍රියාව හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමටද පියවර ගත් බව පොලිසිය කියයි.