fbpx
තවත්

    බඩු මිල ඉහළ දැමීමේ කටුක යථාර්ථයට මුහුණ දෙන්න වෙලා – අමාත්‍ය රමේෂ් පතිරණ

    0

    බඩුමිල ඉහළ දැමීමේ කටුක යථාර්ථයයට මුහුණ දීමට වත්මන් රජයට සිදුව ඇතැයි වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    බඩුමිල ඉහළ දමා ජනතාව අපහසුතාවයට පත්කිරීමට කිසිම රජයක් කැමති නැතැයිද ඔහු සදහන් කළේය.

    නමුත් ඉදිරි මාස දෙක, තුන ඇතුළත රට දුෂ්කරසමය අවසන් වීමත් සමඟ සියල්ල සාමාන්‍යකරණය වේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එබැවින් තවදුරටත් රජය විශ්වාස කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

    “මේ වනවිට ⁣ලෝක වෙළෙඳපලේ සෑම භාණ්ඩයක්ම මිල ඉහළ ගිහිල්ලා. බොරතෙල්,සිමෙන්ති,වානේ,සීනි මේ සියල්ලේම මිල වැඩිවෙලා. බඩුමිල ඉහළ දැමීමට සිදුවීම සම්බන්ධයෙන් අපි කණගාටුවට පත්වෙනවා.

    කොරෝනා වයිරස ව්‍යාපෘතිය නිසා සංචාරක ව්‍යාපාරයෙන් පසුගිය වසරේ සාර්ථක වුණේ නැහැ . සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම නිසා රටට විදේශ විනිමය ලැබෙන්නේ නැහැ. ඒ නිසා රටේ ඩොලර් හිඟයක් තියෙනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.”

    කාලගුණේ නිසා දුම්රිය කිහිපයක් අත්හිටුවයි

    0

    දුම්රිය ස්ථාන කිහිපයක් අතර දුම්රිය ධාවනය දුම්රිය ගමනගාමනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

    පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    ඒ අනුව,

    🚆බංගදෙණිය සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර
    🚆පොල්ගහවෙල සහ බදුල්ල දුම්රිය ස්ථාන අතර
    🚆පේරාදෙණිය සහ මාතලේ දුම්රිය ස්ථාන අතර

    මෙලෙස දුම්රිය ධාවනය අත්හිටුවා ඇත.

    නොච්චියාගමට මිලිමීටර් 300 ඉක්ම වූ වර්ෂාපතනයක්

    0

    ගෙවී ගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ඇද හැලී ඇත්තේ නොච්චියාගමට බවත් එම ප්‍රමාණය මිලිමීටර 300.4 ක් වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    එම කාලය තුළ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ වව්නියාවෙනි. ඒ සෙල්සියස් අංශක 31.8 කි. එසේම උෂ්ණත්වය අඩුවෙන්ම වාර්තා වී ඇත්තේ නුවරඑළියෙනි. ඒ සෙල්සියස් අංශක 13.5 කි.

    එක්ස්ප්‍රස් පර්ල් ගින්න ගැන ඉදිරිපත්වූ පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

    0

    කොළඹ වරාය සීමාවේ දී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ පාරිසරික හානිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සහ එම අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ ධීවරයන්ට වන්දි ගෙවන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් සලකා බැලීමට දෙසැම්බර් මස 01 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

    එල්. ටී. බී. දෙහිදෙණිය, ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද මෙම පෙත්සම් කැදවනු ලැබීය.

    මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා, පරිසරවේදනීයක වන ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත්කර තිබේ.

    චීන පොහොර සමාගමට මුදල් ගෙවීමේ වාරණය තවත් දීර්ඝ කෙරේ

    0

    මතභේදයට තුඩුදුන් චීන පොහොහර සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 19 වනදා දක්වා තවදුරටත් දීර්ඝකරන කර තිබේ.

    කොළඹ වාණිජ මහාධිකරණය මෙම නියෝග කළේ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත්කළ පෙත්සමක් අද (09) යළි සලකා බැලීමෙන් අනතුරුව ය.

    එම නඩුව කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර චීන පොහොර සමාගම වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් නිත්‍යානුකූල ප්‍රමිති වාර්තා ඉදිරිපත්කර තමන් විසින් මහජන බැංකුවේ ණයවර ලිපි විවෘතකළ බව සඳහන් කළේය.

    එසේ තිබියදී ඊට මුදල් ගෙවීම අත්හිටුවීම නීතියට පටහැනි ක්‍රියාවක් යැයි පෙන්වාදුන් එම නීතිඥවරු නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත්කිරීම සඳහා දිනයක් ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.

    ඒ අනුව එම නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා ඉදිරි දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ට අධිකරණය නියම කළේය.

    පෙත්සම්කාර පොහොර සමාගම වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය ලබාගත් වගඋත්තරකාර “කුවින්ඩාඔ සිවින් බයෝටෙක් ගෲප්‍ කම්පනි” නමැති චීන සමාගම එම ටෙන්ඩරය ක්‍රියාත්මක කරමින් පොහොර තොගයක් ලංකාවට එවීමට පියවර ගත් බවය.

    ඒ අනුව ජීවානුහරණය කළ කාබනික පොහොර මෙරටට නැව්ගත කිරීමට අවශ්‍යව තිබූණ ද එම කාබනික පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් සිටින බව අදාළ සමාගම නැව් උපදෙස් පත්‍රිකාව මගින් පිළිගෙන ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    ජාතික ශාක නිරෝධායන සේවය වෙත වගඋත්තරකාර චීන සමාගම විසින් යවා ඇති පොහොර නියැදිය පරීක්ෂා කිරීමේදී එහි ඇතැම් පොහොර කොටස්වල හානිකර බැක්ටීරියා ඇතුළු ජීවින් සිටින බව තහවුරු වී ඇතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

    මේ තත්ත්වය මත වගඋත්තරකාර චීන සමාගම ටෙන්ඩරයේ පිළිගෙන තිබූ කරුණු සම්පූර්ණ කොට නැතැයි චෝදනා කළේය.

    ඒ අනුව අදාළ චීන සමාගම වෙනුවෙන් නිකුත් කොට ඇති ණයවර ලිපියට අනුව කිසිදු මුදලක් එම සමාගමට, එහි දේශීය නියෝජිත ආයතනය වෙත හෝ මහජන බැංකුව වෙත ගෙවීම් හෝ ලබාගැනීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

    ජනපති සිකුරාදාට විශේෂ කැබිනට් හමුවක් කැඳවයි

    0
    FILE- In this Nov. 22, 2019 file photo, Sri Lankan President Gotabaya Rajapaksa, center, stands during an oath-taking ceremony of his new cabinet members in Colombo, Sri Lanka. A proposed amendment to Sri Lanka’s constitution that will consolidate powers in the President’s hands has raised concerns about the independence of the country’s institutions and the impact on its ethnic minorities who fear their rights could be undermined by the majoritarian will.(AP Photo/Eranga Jayawardena, File)

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශෙේෂ කැබිනට් රැස්වීක් සිකුරාදා (12) පෙරවරු 10.00 සිට පස්වරු 12 දක්වා ජනාධිපති ලේකම්කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

    මෙහිදී එදිනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අය වැය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දැනුවත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.

    මෙම විශේෂ කැබිනට් රැස්වීම හේතුවෙන් ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීමද නොපැවැත්විණි.

    මේ සම්බන්ධයෙන් සියලුම කැබිනට් අමාත්‍යවරුන් දැනුවත් කර ඇත.

    රඹුක්කන නායයාමෙන් මව – දරුවන් දෙදෙනා මරුට

    0

    රඹුක්කන දොඹේමැද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මව සහ දරුවන් දෙදෙනා මියගොස් ඇතැයි වාර්තා වේ.

    නාරම්මල නිවසකට කඩා වැටුණු පස් කන්දෙන් තරුණියක් මියයයි

    0

    නාරම්මල, වෙන්නොරුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

    අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ නාරම්මල, වෙන්නෝරුවේ පිහිටි නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් කොළඹ පුද්ගලික රෝහලක සේවයේ නිරත 23 හැවරදි හෙද නිලධාරිනියක් මියගොස් ඇත.

    අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ එම හෙද නිලධාරිනියත් ඇගේ මව සහ සහෝදරයා පමණි. මෙම අනතුරින් ඇගේ මවටත් සහෝදරයාටත් කිසිදු හානියක් සිිදුව නැත. ප්‍රදේශවාසීන් එක්ව ඇයව නාරම්මල රෝහලට ඇතුලත්කර ඇත. ඇය මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    රන්මල්ට එරෙහි විමර්ශන ඇරඹේ

    0

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා විසින් පුද්ගලයෙකුට පහරදීම සම්බන්දයෙන් වූ විමර්ශන කටයුුතු ඊයේ සිට ආරම්භ වී ඇත.

    පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් කිරිඇල්ලට ගොස් ඇසින්දුටු සාක්ෂි පවා මේ වන විට රැස්කරමින් සිටී.

    මෙම විමර්ශනය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේද විශේෂ අවධානයක් යොමුකර ඇති බව පොලිස් තොරතුරු සදහන් කළේය.

    සිය වාහනය ඉස්සර කරමින් ගමන් කළ වාහනයක රියදුරෙකුට රන්මල් කොඩිතුවක්කු මහතා විසින් පහරදෙනු ලබන්නේ රත්නපුර කිරිඇල්ල මාර්ගයේදීය. එහිදී එම රියදුරාව කිරිඇල්ල පොලිස් ස්ථානයට රැගෙනගොස් නිරුවත්කර අඩත්තේට්ටම් කළ බවටද රන්මල් කොඩිතුවක්කු මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

    ගංඟා රැසක් පිටාර ගැලීමේ අවධානමක

    0
    Turbulent river flooding the rainy forest

    දැඩි වර්ෂාව හේතුවෙන්කැලණි, නිල්වලා, කළු ඇතුළු ගංඟා සහ ඇලදොල රැසක් පිටාර ගැලීමේ අවධානමක් මේ වන විට මතුව ඇතැයි වාරිමාර්ග දෙපාාර්තමේන්තුව සදහන් කරයි.

    කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ගංඟාවේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල සුළු ගං වතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    නිල්වලා ගඟ සහ කළු ගඟේ ජල මට්ටමද ඉහළයමින් පවතින බැවින් ඇතැම් ස්ථානවල පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවද වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් අද නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    මහඔයේ ජල මට්ටමද ඉහළයාම හේතුවෙන් වරදගොල්ල, නාඋල්ල, දිවුල්දෙණිය සහ වැලිහිද ග්‍රාමසේවා ප්‍රදේශ මෙන්ම අලව්ව, මීරිගම, වෙන්නප්පුව, මීගමුව සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්ද මේ වන විට ජලයෙන් යටවීමේ අවදානමක් පවතී.

    ඊට අමතරව සීතාවක ගඟ ද පිටාර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

    0

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත සියලුම දුම්රියන් ප්‍රමාද වීම් සහිතව ධාවනය විය හැකි බවට දන්වා තිබේ.

    වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති වූ මාර්ග අවහිරතාවයක් සිදුවී තිබීම ඊට හේතුවයි.

    නිවසක් නායයයි – 4 ක් අතුරුදන්

    0
    landslide
    file photo

    කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයන් 4 දෙනෙකු අතුරුදන් වී තිබේ.

    නිවස සම්පූර්ණයෙන්ම හානි වූ බව වාර්තා වේ.

    අද එන්නත් මධ්‍යස්ථාන 111ක්

    0
    Vaccine
    Vaccine

    වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද දිනයේත් කොළඹ ගම්පහ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පහත මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය දන්වයි.

    එම මධ්‍යස්ථාන ඇතුළුව අද දිනයේ ද දිස්ත්‍රික් 15ක් පුරා මධ්‍යස්ථාන 111 කදී එන්නත් ලබාදේ.

    අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 09.11.2021

    යුක්තිය ඉල්ලන පෙළගැස්ම..

    0

    පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය, සාධාරණත්වය ඉල්ලා සත්‍ය වෙනුවෙන් හඬ නැගූ සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් අලුත්කඩේ උසාවි සංකීර්ණයේ සිට දිගු පෙළගැස්මක් දක්නට හැකිවිය.

    පූජාප්‍රසාදි තුමන්ලා සහ භික්ෂූන්වහන්සේලා සහ පැවිදි සොහොයුරියන් ඇතුළු ජනතාව ද මෙම පෙළගැස්මට එක්ව සිටියහ.

    ඡායාරූප – ටී.සුනිල් ප්‍රනාන්දු

    පීසීආර් කට්ටල ගනිද්දී වුණු මුල්‍ය අක්‍රමිකතා ගැන රාජ්‍ය ඇමති කට අරී

    0

    කොවිඩ් පරීක්ෂණ සඳහා භාවිත කරනු ලබන පීසීආර් කට්ටල මිලදී ගැනීමේදී රුපියල් කෝටි ගණනක මුල්‍ය අක්‍රමිකතා වී ඇතැයි ඇතැම් මාධ්‍යවල පළ වූ පුවත් සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැහැදිලි කිරීමක් කර තිබේ.

    ඒ සඳහා ඔහු විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

    ආතර් සේනානායක සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය පළඳවයි

    0

    අනුරාධපුර සඳහිරු සෑයේ කොත්වහන්සේ මත අදට (08) යෙදුණ සුබ මොහොතින් චූඩා මාණික්‍ය පළඳවා තිබේ.

    පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ රට පුරා බැතිමතුන්ට වැඳ පුදා ගැනීම සඳහා පෙරහරකින් වැඩම කළ චූඩා මාණික්‍ය අද මෙසේ කොත් වහන්සේ මත පළඳවනු ලැබිණි.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ චූඩා මාණික්‍ය පරිත්‍යාග කළ අයි.ඩබ්ලිව්.එස් හෝල්ඩින්ග්ස් අධිපති ආතර් සේනානායක මහතා ඇතුළු හමුදා සාමාජිකයෝ පිරිසක් සිටියහ.

    පුරා දශක තුනක් තිස්සේ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කළ හා අබාධිත තත්ත්වයට පත් සියලු රණවිරුවන්ගේ උදාර සේවය අගය කරමින් ඉදිකළ සඳහිරු සෑය ලබන 18 වැනිදා ජනපති අගමැති ප්‍රධානත්වයෙන් සසුනට පූජා කිරීමට නියමිතය.

    රුවන්වැලි මහා සෑයට පසුව ඉදිවන විශාලම දාගැබ මෙය වන අතර මුළු ත්‍රිපිටකයම රන්පත් වල සටහන් කර දාගැබේ නිදන් කර ඇත. තවත් සර්වඥ ධාතු සහ නිදන් වස්තු රාශියක් නිදන් කර තිබේ.

    ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්නගේ උපදෙස් මත හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මෙහෙයවීම මත යුද හමුදා නව වෙනි ඉංජිනේරු සේවා රෙජිමේන්තු සිවිල් ඉංජිනේරුවරුන් ඇතුළු රණවිරුවන් හා ආරක්ෂක අංශ සාමාජිකයෝ මෙම සෑය ඉදිකිරීමට දායක වූහ.

    ඡායාරූප defence.lk වෙබ් අඩවියෙනි.

    ගංවතුරෙන් ජනතාව ගලවගන්න නාවික හමුදා කණ්ඩායම් 35ක් සූදානම්

    0

    දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා බටහිර සහ දකුණු නාවික විධානයන් තුළ වහා ක්‍රියාත්මක වීමට නාවික හමුදා සහන කණ්ඩායම් 35ක් සූදානමින් සිටී.

    ඒ අනුව ඇති විය හැකි ගං වතුර අවධානමට පෙර සුදානමක් වශයෙන් බටහිර නාවික විධානය මගින් ආපදා සහන කණ්ඩායම් තුනක් (03) රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථානගත කර ඇත.

    ක්ෂණිකව ස්ථානගත කිරීම සඳහා තවත් අමතර සහන කණ්ඩායම් 24ක් බටහිර නාවික විධානයෙහි සූදානමින් තබා ඇත.

    එමෙන්ම, දකුණු නාවික විධානය මගින් ද සහන කණ්ඩායමක් (01) උඩුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ උඩලමත්ත ප්‍රදේශයේ ස්ථානගත කර ඇත.

    ක්ෂණිකව ස්ථාන ගත කිරීම සඳහා තවත් අමතර ගංවතුර ආපදා සහන කණ්ඩායම් 07ක් දකුණු නාවික විධානයෙහි සූදානමින් තබා ඇත.

    තවද, දිවයිනට බලපා ඇති මෙම අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත සහන කණ්ඩායම් කඩිනමින් යෙදවීමට නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.

    ඉන්දියාවෙන් සිකා රැල්ලක්

    0

    ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් සිකා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 89 වාර්තා වීමත් සමග ප්‍රාන්තය පුරා ආසාදිතයින් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

    හදුනාගත් ආසාදිතයින් පිරිස අතරට ළමුන් 17 දෙනෙකුද ඇතුළුත් බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

    උත්තර් ප්‍රදේශ් හී කන්පූර් නගරයෙන් ඉකුත් ඔක්තෝබර් 23 වැනිදා පළමු ආසාදිතයා වාර්තා වූ අතර ඒත් සමඟම සීඝ්‍රයෙන් ආසාදිතයින් වාර්තා වූ බව ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය නෙපාල් සිං ප්‍රකාශ කර ඇත.

    මදුරුවන් හරහා පැතිර යන සිකා වෛරසය පළමුවරට 2017 වර්ෂයේදී ඉන්දියාවෙන් වාර්තා විය.

    වෛරසය වැලදුනු ළදරුවන්ගේ මොළයේ වර්ධනයට භාදාවන අතර ඇතැම්විට වෛරසය ලිංගිකවද සම්ප්‍රේෂණය විය හැකි බව වෛද්‍යවරුන් පවසයි.

    ඉන්දියාවේ වැඩිම ජනගහනයක් උත්‍තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර ඒ අනුව වෛරස පැතිර යාම වලක්වාලිමට විශේෂ පරීක්ෂාවක් සිදුකිරීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත.

    සිකා වෛරසය මුල්වරට 1947දී උගන්ඩාවේ වානරයින් අතර හදුනාගත් අතර මිනිසෙකුට වෛරස ආසාදනය වීමක් පළමුවරට 1954දී නයිජීරියාවෙන් වාර්තා විය.

    කෙසේවෙතත් 2015 වර්ෂයේදී බ්‍රසීලය පුරාද වෛරස ආසාදනය වූවන් වාර්තා විය.

    මුවානොවන වසන්තය

    0

    එංගලන්තයේ ලන්ඩන් නුවර රිච්මන්ඩ් උද්‍යානයේ ඕක් කොළ කන මුවෙකුගේ සේයාරුවකි. රිච්මන්ඩ් ජාතික ස්වභාවික රක්ෂිතය, නිදහසේ සැරිසරන මුවන් 630කට පමණ නිවහනකි.

    සේයාරූ – Mark Rowe

    මාවනැල්ල ප්‍රාදේශීය සභා උප සභාපති අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා හෙට වර්ජනයක්

    0

    මාවනැල්ල ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා අත්අඩංගුවට ගන්නැයි බලකරමින් මාවනැල්ල අධ්‍යාපන කලාප කාර්යාලයේ ගුරුවරු හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වෙති.

    ඒ අනුව මාවනැල්ල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 137 ක ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හෙට සේවයට වාර්තා නොකරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට අයත් ගුරු සංගම් නායකයෝ පවසති.

    මේ අතර මවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා අත්අඩංගුවට ගන්නැයි බලකරමින් ගුරුවරුන් පිරිසක් ඊයේ මාවනැල්ලේදී විරෝධතාවයක නිරතවූහ.

    එම විරෝධතාවය අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් නිලධාරීන් කීප දෙනෙකු උප සභාපතිවරයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවට ගුරුවරුන්ට පොරොන්දු වූ බවද ගුරු සංගම් නායකයෝ පැවසූහ.

    පොලිසිය ලබා දුන් පොරොන්දු ඉටු නොවීම නිසා ගුරු වර්ජනය සිදුකරන බවද ඔවුහු කීහ.

    කොවිඩ් එන්නත් දෙකම නැත්නම් පොදු ස්ථාන තහනම් – නීතිපති අනුමැතිය ලැබේ

    0

    පොදු ස්ථානවලට ඇතුළු වීමේදී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සදහා නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවී තිබේ.

    ඒ අනුව කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම නොගත් පුද්ගලයින්ට පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

    පාර්ලිමේන්තුවේදි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද මෙසේ සදහන් කළේය.

    "ගිය සතියේ මං නීතිපතිතුමාගෙන් අවසරයක් ඉල්ලුවා නීතියේ රාමුව තුළ, අවසරයක් තියෙයි ද කියලා වැක්සීන් දෙකම ගත්තේ නැති කට්ටියට පොදු ස්ථානවලට යන්න බැරිවෙන්න. දැන් මට අද ලැබිලා තියෙනවා එය නීතියානූකූලව කරන්න පුළුවන් කියලා. මම බලාපොරොත්තු වෙනවා එයට නීතියානුකූලව ඒ කටයුත්ත කරන්න. ලෝකයේ දියුණු රටවල් ගණනාවක් ඒ දේ කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය විදියට වැක්සීන් දෙකම ගන්න පුළුවන් ඇප් එකක් හදලා ඒ ඇප් එක එක නැත්නම් පොදු ස්ථානවලට යන එක තහනම් කරන්න. ඒකටත් උසාවි යයි. නමුත් ඒකට මුහුණදෙන්න සිද්ධවෙනවා."

    උසස්වීම් ඇහිරීමෙන් එස්.ටී.එෆ් නිලධාරීන් ක ලකිරීමකින්

    0

    පොලිස් විශේෂ කාර්ය බලකායේ ඉහළම නිලවල දීර්ඝ කාලයක් අනුමත සංඛයාවට වඩා වැඩි නිලධාරීන් පිරිසක් රැදී සිටීම හේතුවෙන් පහළ ශ්‍රේණිවල නිලධාරීන්ට ඉහළට ඒමට නොහැකිව දැඩි කලකිරීමකට ලක්ව සිටිති.

    එසේම උසස් වීම් සදහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණවලදී පවා ජ්‍යෙෂ්ඨත්වට වැඩි සැළකිල්ලක් දැක්වීම හේතුවෙන් විශේෂ කාර්ය බලකායේ කීර්ති නාමය ඉහළ නැන්වීමට කුසලතා පෙන්වන නිලධාරීන්ට ඉහළට ඒමටද අවස්ථා අහිමිව ඇතැයි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් රැසක්ම දැඩි කලකිරීමකින් අපවෙත සදහන් කළහ.

    එම නිලධාරීන් පෙන්වා දෙන්නේ පාතාල අපරාධ, මත්කුඩු ඡාවාරම් ඇතුළු සමාජ විරෝධි ක්‍රියා මැඩලීමට සිය ජීවිත අවධානම පවා නොතකා කටයුතු කරන තමන්ට නිසි ඇඟයීම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී වැඩ කිරීමේදී ඒ ගැන දෙවරක් සිතාබැලීමට සිදුවන බවය.

    විශේෂ කාර්ය බලකායේ අනුමත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධූර සංඛ්‍යාව 08 කි. ඊට වැඩි නිලධාරීන් පිරිසක් සිටින්නේ නම් ඒ අය සාමාන්‍ය පොලිස් රාජකාරිවලට නිදහස් විය යුතුය. එහෙත් මේ වන විට විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 17 දෙනෙක් සේවයේ නිරතව සිටින බව එම නිලධාරීන් පෙන්වා දෙති. පොලිස් අධිකාරීවරුන් සදහා අනුමත නිලධාරීන් සංඛ්‍යාව වන්නේ 14 දෙනෙකි. එහෙත් දැන් සිටින්නේ එක් නිලධාරියෙක් පමණි. මෑතකදී නිලධාරීන් දෙදෙනෙක් විශ්‍රාම යන අතර තවත් එක් නිලධාරියෙක් මෙම උසස්වීම් ගැටළු හේතුවෙන් කලකිරීමකට ලක්ව විශේෂ කාර්ය බලකාය අතහැර රාජ්‍ය බුද්ධි සේවයට ගොස් තිබේ.

    බැලූ බැල්මට විශේෂ කාර්ය බලකායේ පොලිස් අධිකාරීධුරවල පුරප්පාඩුවක් පෙනෙන්නට තිබුණත් සැළසුම් සහගතව යම් නිලධාරීන් පිරිසක් විශේෂ කාර්ය බලකාය අතහැර නොයා එහිම රැදී සිටීම සදහා පොලිස් අධිකාරී සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මට්ටම් එකම තලයක තබාගෙන සිටින බව නිලධාරීන් චෝදනා කරයි.

    මේ තත්ත්වය මත පොලිස් අධිකාරීධුර 16 ක් මේ වන විට පුරප්පාඩුව පැවතියත් සහකාර පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකුට පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් ලැබීමට ඇති අවස්ථාව අහිමිව ගොස් ඇති බවද එම නිලධාරීන් සදහන් කරති.

    විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීධුර වෙන්ව ඇත්තේ 45 ක් පමණි. නිලධාරීන් 16 දෙනෙක් පොලිස් අධිකාරීධුරයන්ට උසස්වීමෙන් සහකාර පොලිස් අධිකාරීධුරයන්ගේ ඇතිවන පුරප්පාඩු සදහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට ඉහළට ඒමට අවස්ථාවක් උදාවනු ඇත. එසේම ඊට පහළ නිලධාරීන්ටද ක්‍රමිකව උසස්වීම් ලැබීමට ඇති අවස්ථාව දැන් ඇහිරීගොස් ඇති බව එම නිලධාරීන් චෝදනා කරති.

    විශේෂ කාර්ය බලකායේ වත්මන් සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාද වැඩි කාලයක් විශේෂ කාර්ය බලකායේ රැදී සිටි නිලධාරියෙකි. ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධුරයට උසස්වීමෙන් අනතුරුව විශේෂ කාර්ය බලකායෙන් ඉවත්ව සාමාන්‍ය පොලිස් සේවයට එක්ව පොලිස් කොට්ඨාශ සහ විශේෂ අංශවල සේවය කර අත්දැකීම් වලින්ද පරිණතව නැවත විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා ලෙස පැමිණියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස බවද එම නිලධාරීන් පෙන්වා දෙති. එදා ජයසුන්දර මහතා සාමාන්‍ය පොලිස් සේවයට එක්වීමෙන් පහළ ශ්‍රේණිවල එක් නිලධාරියෙක්ට හෝ ඉහළට ඒමට අවස්ථාවක් ලැබුණු බවද එම නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙති.

    පොලිස්පතිත් අන්ඳවන්න ගිය ගම්පහ පොලීසියට වැඩ වැරදුනු හැටි

    0

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මේ වන විට රැකියා අහිමිවීම් බොහෝය. රැකියාවක් අහිමි වීමේ බලපෑම කුඩුම්බියකට පමණක් සීමා නොවේ. රටේ ආර්ථිකයට පවා තදින්ම එහි බලපෑම් එල්ලවනු ඇත.

    ආර්ථික අතින් ශක්තිමත් නොවූ අප වැනි රටකට එය දැනෙන තරම අති මහත්ය.

    මෙම සටහන තැබෙන්නේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කර්මාන්ත සහ ආයතන කඩා වැටීම් හේතුවෙන් රැකියා අහිමිවීම් ගැන නොවේ. මෙවන් දුෂ්කර වකවානුවක තමන්ට ලැබෙන රැකියාව පවා පොලීසියේ දුෂ්ඨ ගති නිසා බොහෝ පිරිසකට අහිමිවී යාම් ගැනය.

    අද අපේ රටේ බොහෝ රැකියා ස්ථානවලට අලුත් සේවකයින් බදවා ගන්නා විට පොලිස් සහතිකය ඉල්ලති. විශේෂයෙන් ටෙලිකොම්, වරාය, හෝටල් ආදී ස්ථානවල රැකියා සදහා පොලිස් සහතිකය අනිවාර්ය වේ.

    ගම්පහ පදිංචි පුද්ගලයෙක් බණ්ඩාරනායක ගුවන්තොටුපොලේ ඔහුට ලද රැකියාවක් සදහා පොලිස් සහතිකයක් ගම්පහ පොලිස් ස්ථානයෙන් ඉල්ලුම් කරනුයේ අදාල සමාගමෙන් නිකුත් කළ ලිපියක්ද ග්‍රාමසේවා සහතිකයද සමගිනි. සිය නිවසට පැමිණෙන මාර්ගය පවා ඒ පුද්ගලයා පොලිස් ස්ථානයේ ඇති පොලිස් සහතික නිකුත් කරන කවුළුවේ නිලධාරීන්ට ලබා දුන්නේය.

    සාමාන්‍යයෙන් පිටරට රැකියා සදහා පොලිස් මූලස්ථානයෙන් ඉල්ලුම්කරන පොලිස් සහතිකය පවා සති දෙකක් තුළ ඉල්ලුම්කරුට ලැබෙති. එම සහතික නිකුත් කිරීම සංකීර්ණ කටයුත්තකි. එහෙත් ගමේ පොලිස් ස්ථානයෙන් පොලිස් සහතිකයක් නිකුත් කිරීමට දින දෙක තුනකට වඩා කාලයක් මිඩංගු නොකරන ලෙසයි පොලිස් මූලස්ථානය දැනුම්දී තිබෙන්නේ.

    එහෙත් සතියක් ඉක්ම ගියද මේ පුද්ගලයාට පොලිස් සහතිකය තබා පොලිස් නිලධාරීන් නිවසට හෝ ඔහු පදිංචිව සිටින ප්‍රදේශයට පැමිණ කිසිදු සොයා බැලීමක් නොකළේය. දැන් ඔහුට ඒ රැකියාව අහිමිවීමේ අවධානමක්ද මතුවී තිබුණේය. ඒ පොලිස් සහතිකය නොමැති කමිනි.

    මේ නිසාම ඔහු ඉකුත් සෙනසුරාදා පෙරවරුවේදී පොලිස් ස්ථානයට ගියේය. පොලිස් වාර්තා නිකුත් කරන කවුළුවේ නිලධාරීන් මුණ ගැසී සිය අවශ්‍යතාව පෙන්වා දෙමින් පොලිස් වාර්තාව ඉක්මනින් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය. එහිදී ඔහුට ලැබෙන පිළිතුර වන්නේ පහුවෙනිදා පැමිණෙන ලෙසය. ඔහු එතැන සිටින විනාඩි කිහිපය තුළ පොලිස් වාර්තා ඉල්ලා පැමිණි පිරිස් බොහෝය. සතියක් දෙකක් නොව, ඊට එහා කාලයක් තිස්සේත් පොලිස් වාර්තා බලාපොරොත්තුවෙන් සිටින අය ඒ අතර විය. වැඩි දෙනෙක් තරුණයින්ය. ඇතැමුන් පොලීසියට බණිමින්ද තවත් අය තමන්ටම මුමුණමින් පොලිස් නිලධාරීන්ගේ අම්ම මුත්ත මතක්කරමින්ද තවත් එක්අයෙක් දෙන්නෙක් මුහු‍ණේ කදුළු පුරෝගෙන යන්නට වූයේ හිස් අතිනි.

    මේ කියන පුද්ගලයා පසුදින පොලිස් ස්ථානයට එන්නේ පොලිස් වාර්තාව රැගෙනයාමේ සූදානමිනි. පෙරදින සිටි නිලධාරීන් එහි නොවීය. සිටියේ අලුත් නිලධාරීයෙකි. ඉල්ලුම් කිරීමේ අංකය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු පොතක් පෙරලා බලා “තාම වාර්තාව හදල නැහැ.“ යැයි ගාම්බීරව උස් හඬින් කීවේය.

    “සර්, සඳුදා පොලිස් වාර්තාව අරගෙන ගියේ නැත්නම් රක්ෂාව ලැබෙන්නේ නැහැ.“ ඉතා යටහත්පහත්ව බයාදු ලෙස ඔහු පොලිස් නිලධාරියාට පැවසුවේය.

    “අපිට දිනයක් කියන්න බැහැ. ගෙවල්වලට ඇවිල්ල පරීක්ෂා කරල දෙන්න ඕනේ.“ පොලිස් නිලධාරීයා ටිකක් සැරපරුෂ ලෙස කීවේ පොලීසියේ බලය ගැන කියා පාන්නක් මෙනි.

    මේ සියල්ලක්ම වන්නේ මෙම පුද්ගයාගේ ඥාතියෙක් පොලීසිය සමග ඉතා කිට්ටු සම්බන්ධයක් පැවතියදීය. මේ තත්ත්වය මත ඥාතියා මගින් මේ ගැන පොලීසියේ ඉහළ නිලධාරියෙකු දැනුවත් කර පොලිස් වාර්තාව ඉක්මනින්ම ලබාගැනීම ඔහුගේ අපේක්ෂාව විය. ඔහු ඥාතියාට සියල්ල පැවසුවේ පොලිස් වාර්තා නිකුත් කරන අංශයට පැමිණ හිස් අතින් යන පුද්ගලයින් ගැනද කියමිනි.

    මේ පුද්ගලයාගේ ඥාතියා කල්පනා කරන්නේ මේ ගැන පොලීසියේ ඉහළම නිලධාරියාවන පොලිස්පතිවරයාව දැනුවත් කරන්නටය. ඒ රැකියාවන් අහිමිවන කාලයක ලැබෙන රැකියාව පවා නොලැබෙන තැනට පොලීසිය කරන මේ කැත වැඩේ නතරකර ජනතාවට පොලීසියෙන් සැබෑ සේවයක් ලබා දීමට හැකි වාතාවරණයක් ගම්පහ පමණක් නොව, මුළු රටේම ඇතිකර දීමටය.

    වැඩේ පත්තුවන්නේ එවිටය. පොලිස් වාර්තා නිකුත් කරන අංශයේ නිලධාරීන්ට එතෙක් නොතිබුණු මහා උනන්දුවක් එකවරම ඇති වන්නට විය. කඩිගුලක් ඇවුස්සුනාක් මෙන් එක එක නිලධාරීන් එහේ මෙහේ දුවන්නට ගත්තේය. “ මහත්තයා විනාඩි දෙකක් ඉන්න. ඔයාගේ රිපෝට් එක දැන් දෙනවා“ පොලිස් නිලධාරීන් කියන්නට ගත්තේය.

    කතාව එය නොව. ගම්පහ පොලීසිය පොලිස්පතිවත් ඒ වන විට අන්දවන්නට උත්සහයක් ගෙන තිබීමය. “ සර් අපි හැම රිපෝට් එකක්ම දින දෙක තුනක් ඇතුලත නිකුත් කරනවා. ඇත්තටම සර් ඔය කියන රිපෝට් එකයි තවත් දෙකකුයි විතරයි ඉතිරිවෙලා තියෙන්නේ.“ ඒ වන විට අතවත් කියා නැති පොලිස් වාර්තා ඉල්ලුම්පත් පිරවූ ගොනු තුනක් පොලිස් ස්ථානයේ තිබියදීත් පොලිස්පතිවරයාව අන්දන්නට යන්නේ එසේය.

    සී.ඩී. වික්‍රමරත්න යනු ශ්‍රී ලංකා පොලීසියේ සිටි වෙනත් පොලිස්පතිවරුන් ලෙස ඇන්දවීමට පහසු පුද්ගලයෙක් නොවන බව ගම්පහ පොලීසියේ නිලධාරීන් දැන නොසිටියා වන්නට පුළුවනි. පොලිස්පතිවරයාත් ඇන්දුනා වගේ පෙන්වමින් ගම්පහ කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා ඒ මොහොතේම ගම්පහ පොලිස් ස්ථානයට යැව්වේය. පොලිස් වාර්තා සම්බන්ධයෙන් වූ ලිපි ගොනු පරීක්ෂා කරන ලෙස දැනුම් දුන්නේය. ඒ වන විටත් ඔක්තෝම්බර් මාසය අවසන්ව සතියක් ඉක්මව ගොස් තිබුණත් ඔක්තෝම්බර් මාසයේ ඉල්ලුම් කළ පොලිස් වාර්තාවලින් නිකුත්කර තිබුණේ යැයි හෙළිවන්නේ සියයට 10 ක් පමණ වූ ප්‍රමාණයක් පමණි. ගම්පහ පොලීසිය පොලිස්පති ඇන්දවීමට ගොස් ඔවුන්ම ඇද ගන්නේ එසේය.

    සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් නැතැයි සී.අයි.ඩී.ය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    0

    සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් මෙම අවස්ථාවේ නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

    තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී පියතුමා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා එම දැනුම් දීම කළේය.

    සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ ප්‍රකාශකර සිටියේ දැනුම් දෙන සුදුසු වෙලාවක විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශක් ලබාදීමට තම සේවාදායකයා සූදානම් බවය.

    මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේ ප්‍රමාණවත් කාලයක් ලබා දී පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගන්නා ලෙසටය.

    අද එන්නත් මධ්‍යස්ථාන 128ක්

    0

    වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද දිනයේත් කොළඹ ගම්පහ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පහත මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය දන්වයි.

    එම මධ්‍යස්ථාන ඇතුළුව අද දිනයේ ද දිස්ත්‍රික් 16ක් පුරා මධ්‍යස්ථාන 128 කදී එන්නත් ලබාදේ.

    අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 08.11.2021

    සඳහිරු සෑයේ චූඩා මාණික්‍යය පැළඳවීම අද

    0

    අභිනවයෙන් ඉදිකල සඳහිරු සෑයේ කොත් වහන්සේට චූඩා මාණික්‍යය පැළඳවීමේ මංගල නැකත අද (08)යෙදී තිබේ.

    නොවැම්බර් මස 18 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සඳහිරු සෑය මහා සංඝරත්නයට පූජා කිරීමට සියළු කටයුතු සූදානම් බව ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ, ඊයේ (07) අනුරාධපුර සඳහිරු සෑ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමු‌වටකට ඒක්වෙමිනි.

    මහා සංඝරත්නය සහ මියගිය රණවිරු පවුල්වල සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර ඇතැයිද ඒ් මහතා පැවසිය.

    පුරා දශක තුනක් තිස්සේ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ උදාර සේවය අගය කරනු වස් ඉදි කළ සඳහිරු සෑ චෛත්‍ය ඉදිකර තිබේ.

    මෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය පසුගිය මාර්තු මාසයේ පැවැත්වුණි.

    සඳහිරු සෑ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ පුරා දින 47 ක් රට පුරා බැතිමතුන්ට වැඳ පුදා ගැනීම සඳහා පෙරහැරකින් වැඩමවීමට කටයුතු යොදා තිබුණි.

    දිවයින පුරා ප්‍රධාන විහාරස්ථාන 25කදී ජනතාවට වැඳුම් පුදා ගැනීමට අවස්ථාව උදා විය.

    රුවන්වැලි මහා සෑයට පසුව ඉදිවන විශාලම දාගැබ මෙය වන අතර මුළු ත්‍රිපිටකයම රන්පත්වල සටහන් කර දාගැබේ නිදන් කර තිබේ.

    තවත් සර්වඥ ධාතු සහ නිදන් වස්තු රාශියක් එහි නිදන් කර තිබේ.

    ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත හා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීම මත යුද හමුදා නවවෙනි ඉංජිනේරු සේවා රෙජිමේන්තු සිවිල් ඉංජිනේරුවරුන් ඇතුළු රණවිරුවන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් මෙම සෑය සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙයි.

    කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම ගැන නීතිපති අදහස් විමසයි

    0

    පොදු ස්ථානවලට ඇතුළු වීමේදී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් වූ නීතිමය තත්ත්වය ගැන නීතිපතිවරයාගේ නිර්දේශය තමාට ලැබීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

    බොහෝ විට අද දවස තුළ නීතිපතිවරයාගේ නිර්දේශ ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පලකරයි.

    කොවිඩ් එන්නත් කාඩ්පත ලෝකයේ රටවල් රැසක මේ වන විට අනිවාර්ය කර ඇති බැවින් එය කොවිඩ් පාලන කටයුතු සදහා වැදගත් බවද ඇමතිවරයා සදහන් කරයි.

    පාසල්වල සාපෙළ උපෙළ පන්ති ඇරඹේ

    0

    දිවයින පුරා සියලු පාසල්වල 10 සිට 13 වන ශ්‍රේණිය දක්වා,සාමාන්‍ය පෙළ සහ උසස්‌ පෙළ ශ්‍රේණි අද (08) ආරම්භ වේ.

    සාමාන්‍ය පෙළ සහ උසස්‌ පෙළ විභාග ඉලක්ක කර ගනිමින්‌ 10, 11, 12 සහ 13 ශ්‍රේණි අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කිරීමට කොවිඩ් කමිටුවෙන්‌ ලද නිර්දේශ අනුව මෙලෙස පාසල්‌ විවෘත කර ඇත.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල්‌ පැවැත්වේ.

    ඒ යටතේ පාසල තුලදීත්‌ මුහුණු ආවරණ පැළදීම, දෑත්‌ විෂබීජහරණය සහ සිසුන්‌ අතර දුරස්ථභාවය පවත්වා ගැනීම යන සෞඛ්‍ය පිළිවෙත්‌ අනුගමනය කිරීම අනිවාර්ය ය.

    අග්‍රහාර එපා නම් විශ්‍රාමිකයින් ලබන 15 දාට කලින් අනිවාර්යයෙන්ම දැනුම් දෙන්න

    0

    රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින සියළුම සේවකයින්ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබා ලබාදීමට රජය තීරණය කර තිබේ.

    අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ මෙතෙක් හිමි වූයේ 2016 ජනවාරි මස පළවෙනි දිනෙන් පසුව විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ට පමණි.

    මින් ඉදිරියට 2016 ජනවාරි 01 දිනට පෙර විශ්‍රාම ගොස් සිටින සියළු රාජ්‍ය සේවකයින්ටද අග්‍රාහාර රක්ෂණ ප්‍රතිලාභ හිමිවේ.

    අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබා ගැනීමට කැමැත්ත හෝ අකමැත්ත ලබාදීමට විශ්‍රාමිකයින්ට ලබන 15 වැනිදාට පෙර දැනුම් දිය යුතු වේ.

    කිසියම් විශ්‍රාමිකයෙකු අකමැත්ත පළ නොකළ හොත් ඔහු කැමැත්ත පළ කළා යැයි සිතා ඔහුට අග්‍රහාර ප්‍රතිලාභ රක්ෂණ ලබාදෙන බවද රජය නිවේදනය කර ඇත.

    අග්‍රහාර ප්‍රතිලාභ ලබාදීම සඳහා සෑම විශ්‍රාමිකයෙකු ගෙන්ම මෙතෙක් මාසික විශ්‍රාම වැටුපෙන් රුපියල් දෙසීයක් අයකළ අතර නව තීරණයත් සමඟ එම මුදල රුපියල් හාරසිය දක්වා වැඩි කර ඇත .

    අග්‍රහාර ප්‍රතිලාභ හිමි රාජ්‍ය සේවකයින්ට රෝහල්ගතව ප්‍රතිලාභ ලබා ගැනීමේදී සෞඛ්‍ය පරීක්ෂණවලදී හා වෙනත් අසනීපවලදී වන්දි මුදල් හිමි වන අතර වසරකට ලබාදෙන උපරිම වන්දි මුදල රුපියල් 120000ක් වේ.

    අග්‍රහාර ප්‍රතිලාභ රක්ෂණයට අකමැත්ත පළ කර දැනුම් දීම ක්‍රම කිහිපයක් ඔස්සේ කළ හැකි බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දන්වා සිටී.

    විශ්‍රාම වැටුප් දෙපාර්මේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ එම රක්ෂණයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා මෙතන ක්ලික් කරන්න.

    අග්‍රහාර රක්ෂණය ලබාගැනීමට විරුද්ධත්වය පළකරමින් පෝරමයකින් භාරදීමට අවශ්‍ය ඇමුණුම 2 පහතින් දක්වා ඇත.

    මෙම නිවේදනය සහ අග්‍රහාර රක්ෂණය ලබාගැනීමට විරුද්ධත්වය පළකිරීමේ ඇමුණුම 2 සහිත සම්පූර්ණ චක්‍රලේඛය පහත දැක්වේ.

    1636113005-04-2020;

     

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-08

    0
    විල්හෙල්ම් රොන්ට්ජන් විසින් සිය විද්‍යාගාරයේදී අහම්බයකින් එක්ස් කිරණ සොයාගන්නා ලද්දේ 1895 නොවැම්බර් 08 වන දිනයි
    විල්හෙල්ම් රොන්ට්ජන් විසින් සිය විද්‍යාගාරයේදී අහම්බයකින් එක්ස් කිරණ සොයාගන්නා ලද්දේ 1895 නොවැම්බර් 08 වන දිනයි

    විල්හෙල්ම් රොන්ට්ජන් විසින් සිය විද්‍යාගාරයේදී අහම්බයකින් එක්ස් කිරණ සොයාගන්නා ලද්දේ 1895 නොවැම්බර් 08 වන දිනයි