fbpx
තවත්

    ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත් කරන්න නීතිපති උපදෙස්

    0

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දැනුම් දෙයි.

    හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය පෙරවාරි මස 20 වැනිදා අවසන් වී ඇත.

    හිටපු නිලධාරී මණ්ඩලය තව දුරටත් කටයුතු කිරීම නීති විරෝධී යැයි කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාට යොමු කළ විරෝධතාව අමාත්‍යවරයා නීතිපතිවරයාට යොමු කර තිබුනි.

    එයට ප්‍රතිචාර ලෙස නීතිපතිවරයා මෙම තීරණය ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

    දියත උයනෙ ලක්කම් හෙටින් ඇරඹෙයි

    0

    “ලක්කම් කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනය” බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ දී හෙට (29) පෙරවරුවේ ආරම්භ වේ. මෙම ප්‍රදර්ශනය 2021 මාර්තු මස 29, 30 හා 31 දිනයන්හි දී පෙ.ව. 10.00 සිට ප.ව. 9.00 දක්වා පැවැත්වේ.

    සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව දේශීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික වැඩසටහනට සමඟාමීව මෙම ප්‍රදර්ශනය ක්‍රියාත්මකය. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් දේශීය නිෂ්පාදන කර්මාන්තයන්හි නිරත ව්‍යවසායකයින්ට අලෙවි අවස්ථා වැඩි කරගැනිම හා නව කර්මාන්ත අවස්ථා හඳුන්වා දීම මෙහි ප්‍රමුඛ අරමුණකි. මෙම අළෙවි ප්‍රදර්ශනයේ දී දේශීය රෙදිපිලි හා ඇඟළුම් , පාවහන් හා සම් භාණ්ඩ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර වර්ග, අත්කම් භාණ්ඩ, විසිතුරු මැටි භාණ්ඩ ඇතුලු ඉහළ ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන රාශියක් අඩු මිලට මිල දී ගත හැකි වේ.

    මීට අමතරව නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ව්‍යාපාර අදහසක් ලබා ගැනීමට අවශ්‍ය වන උපදෙස් හා සේවාවන්ද එම ස්ථානයේදී ලබා ගත හැකිවේ. සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එක්වනු ඇත. මෙම අළෙවි ප්‍රදර්ශනයට පැමිණ භාණ්ඩ මිලදීගෙන දේශීය කර්මාන්තකරුවන්ට ශක්තියක් ලබා දෙන ලෙස ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඉල්ලා සිටියි.

    කනවා නම් දැනගතම යුතු පොල් තෙල් ජාවාරම

    0

    වෙළඳ පොළේ තිබෙන පොල් තෙල්වල ෆාම් ඔයිල් කවලම්ව ඇතැයි කතාබහක් ඇතිවූයේ අද ඊයේ නොවේ. ඇතමෙක් ෆාම් ඔයිල් යැයි නොදැනද ඇතමෙක් දැන දැනම ද මේවා පරිභෝජනය කළහ.

    අලුත්ම කතාව ඇත්තේ එම සංවාදයේ නොව රේගුවෙන් ප්‍රති අපනයන නියෝග දී තිබෙන ඇෆලටොක්සීන් අඩංගු පොල් තෙල් තොගය ගැනය. ඇතමෙක් කියන්නේ මෙම පොල්තෙල් තොගයෙන් යම් ප්‍රමාණයක් හොර පාරෙන් ගමේ සිල්ලර කඩේටත් පැමිණ ඇති බවයි.

    දේශපාලන වේදිකාවේ කියැවෙන මෙම කතා නිසා මිනිස්සු බියට පත්වී සිටිති. මෙහි සැඟවුණු ඇත්ත පිළිබඳ රේගු හිටපු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සිය මුහුණු පොතේ සටහනක් තැබුවේය.

    Newswave.lk වෙත මේ පළවන ලිපිය පිළිකා කාරක පොල්තෙල් තොගය ගැන ඇතැම් තොරතුරු ගෙනහැරපායි.

    වසර ගනනාවක සිට පොල්තෙල්වල මෙම විෂ සංඝටක ඇතැයි යන සංකල්පය ජන විඥානය තුලට කාවැද්දීමට බොහෝ ආයතන පුද්ගලයන් වෙර දරන අයුරැ අප විවෘත ආර්ථිකය හදුන්වා දුන් වකවානුවේ සිටම දුටුවෙමු. එදා කිසිදු නියාමනයකයට ලක් නොකර චාරයක් විචාරයක් නොමැතිව ආර්ථිකය විවෘත කිරීම අද මෙවන් බරපතල පල විපාක ගෙන දෙන සංසිද්ධීන් ඇතිවීමට හේතු භූත වී ඇත.

    විවෘත ආර්ථිකය නිසා ආනයන කරැවන් අධික ලාබ ලැබීම අරමුණු කරගෙන තත්වයෙන් බාල ප්‍රමිතිගත නොවූ ආහාර වර්ග සුලබව ගෙන ආ බව නොරහසකි.

    මෙය පසුගිය වකවානුවලත් නොකඩවාම සිදුවිය. සත්‍ය වශයෙන්ම පොල් තෙල් සමිබන්ධයෙන් මෙම තත්වය දරැණු වූයේ පසුගිය රජය විසින්, 2016 දී ෆාමි ඔයිල්, පොල් තෙල් සමග කවලමි කිරීමට නීත්‍යානූකූල අවසරයක් දීමෙන් පසුවය.

    මෙම කතාව ඇරඹෙන්නේ වර්තමාන රජය නිසි නියාමන කටයුතු ඇරඹීම නිසාය. එය ඉතා හොද දෙයකි. ජනතාවට දිය යුත්තේ පිරිපහදු කරන ලද පොල්තෙල් පමනී. අපි බලමු මොවුන් ගෙවන බදු ප්‍රමාණ ගැන.

    පිරිපහදු නොකරන ලද බොර පොල්තෙල් ,Crude coconut oil සදහා මෙට්‍රික් ටොන් එකකට රැපියල් 125000 ක් ආනයනික බද්දක් ගෙවිය යුතුය. ෆාමි ඔයිල් සදහා 250000 ක බද්දක් ගෙවිය යුතුය.

    ලංකාවට, පිලිපීනය, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලින් මෙිවා ගෙන්වයි..ලංකාවෙි සාමාන්‍ය පරිභෝජනය මෙ ටො 180000 පමනවෙි. දේශීයව නිපදවන්නේ මෙටො 20000 ක් පමනි. ඉතිරිය ආනයනය කල යුතුය. සත්‍ය සිදුවීම බලමු.

    පසුගිය දිනෙක ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පිරිපහදු නොකරන ලද බොර පොල්තෙල් ටොන් 185.5 සහිත කන්ටෙිනර් 13 ක තිබී ශරීරයට අහිතකර පිලිකාකාරක Aflatoxin පිලිබදව වරායේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආහාර පරීක්ෂණ ඒකකය විසින් Port food and health unit.දෛනික පරීක්ෂාවකින් පසුව වාර්තා කෙරැනි.ඒ බව ශ්‍රී ලංකා රේගුවට සහ ප්‍රමිති කාර්යාංශයට වාර්තා කිරීමට ඔවුන් කටයුතු කල අතර මෙම කන්ටෙිනර් ප්‍රති අපනයන කරන ලෙස රේගුවට දන්වා තිබේ.

    අදාල කන්ටෙිනර් වල සාමිපල ITI සහ SLS සදහාද නිකුත් කරන බැවින්. ඒවායේ වාර්තාද ලැබෙන තෙක් අදාල ආනයනකරැවන්ගේ ගුදමිවලට එම තොග නිකුත් කරන්නේ Removal Application තාවකාලිකව රදවාතබා ගැනීමක් යටතේය. එය කිසිසේත්ම භාණ්ඩ නිදහස් කිරීමක් නොව රේගු අධීක්ෂණය යටතේ ප්‍රති අපනයනය කරන තෙක් රදවන රේගු පටිපාටියයි.

    මෙහිදී එකදු තෙල් බිදක් හෝ වෙළද පොලට නිකුත් වීමක් සිදුනොවේ.නිකුත් වීද නැත.

    එසේනමි දඹුල්ලෙන් අසුවූයේ කුමක්ද?

    පාරිභෝගික අධිකාරිය විසින් වරින් වර කරන පරීක්ෂාවන්ට අසුවුන දඹුල්ලේ එක් භුගත ටංකියක් සහ ඉහලින් පිහිටවු ටංකියක් සීල් තබා ඇත. එයට හේතුව වන්නේ ඒවායේ ෆාමි ඔයිල් පොල් තෙල් හා මිශ්‍ර කිරීමක් සහ කෘමීන්, කැරපොත්තන් තෙල් හා මිශ්‍ර වීමත්. තෙවනුව එම ටැංකිවල අපවිත්‍රතාව නිසා මිසක Aflatoxin වාර්තාවීමක් නිසා නොවේය.

    විපක්ෂය තොරතුරැ නොදැන කෑ ගසන්නේ මේ ව්‍යසනයට මූලිකව වගකිවයුත්තේ ඔවුන්ම බව දැනදැනමය. ඔවුන්ගේ පැටිකිරිය දැනගැනීමට මම එක් උදාහරණයක් පමනක් දැනට දෙන්නමි.අවශ්‍ය වුවහොත් විස්තරාත්මකව හෙලි කරන්නෙමු.

    2016 දී මා වරායේ රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයා වශයෙන් සිටියදී මාගේ විමර්ෂණ ඒකකයේ සිටි එක් විශිෂ්ඨ නිලධාරියෙකු විසින් විශේෂ වැටලීමකට අවසර ඉල්ලා සිටි අතර මා එවකට එම ඒකකයේ ප්‍රධානී රේගු අධිකාරී සුදත් සිල්වා මහතා සමග සාකචිඦා කොට අවශ්‍ය අවසරය ලබාදුනිමි.

    සුදත් සිල්වා ඇතුළු එම විමර්ශන කණ්ඩායම අත් අඩංගුවට ගත්තේ මැලේසියාවෙි සිට ගෙන්වූ fatty acid 16% වඩා ඇති ෆාමි ඔයිල් කන්ටෙිනර් 24 කි.

    මේවායේ පිරිපහදු නොකල මෙ ටො 480 ක් විය. එය ලීටර 533300 ක් පමන වෙළද පොලට නිකුත් කල හැකි තොගයකි. එම රේගු අධිකාරිවරයා සහ අනෙකුත් රේගු නිළධාරීන් ඉතා දක්ෂ ලෙස එම පරීක්ෂණය නිමකර එම කන්ටෙිනර් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බැවින් සියළුම පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් වරායේම රදවා ගත් අතර. එයට එකග නොවූ ආනයනකරැ අභියාචනාධිකරනයේ නඩුවක් ගොනු කලේය. CA/Writs/158/2016 ඒ 2017 පෙබ 06 දිනය. මෙම නඩුව අධිකරනයෙන් ප්‍රතික්ෂේප වූ බව පරාක්‍රම බස්නායක මහතාගේ පැහැදිලි කිරීමේ සඳහන්ය.

    ලිපියේ බස්නායක මහතා දක්වන අදහස්වලට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් ද සිල්වා මහතා ද ප්‍රතිචාර දක්වා තිබේ.

    ප්‍රස්තුත කතාව තුල ලියැවුනු පාම් ඔයිල් කන්ටේනර් 24 නවතා විමර්ශනය කළේ මමයි. ඒ කන්ටේනර් 24 තවමත් රේගුවේ තිබෙනවා. ඔබලා CA/Writ/158/2016 නඩු තීන්දුව වෙබ් එකෙන් අරන් කියවන්න. ජාවාරම් කරුවන් ලාභය උදෙසා කටයුතු කර තිබෙන හැටි පෙනේවි.

    අඩු තීරු ගාස්තුවක් ගෙවීම සදහා මලයාසියාවේ අපනයනකරු හරහා අපද්‍රව්‍ය කළවම් කොට crude palm fatty acid නමින් ව්‍යාජ නාමයක් දී පාම්තෙල් ආනයනය කළ හැටි මැලේසියානු පාම් තෙල් මණ්ඩලය කළ හෙලිදරව්ව එහි තිබෙනවා.

    මෙවැනි කන්ටේනර් 850 ක් පමණ ඒ වන විටත් ගෙන්වා විකුණා අවසන්. මෙම කරුණු රේගුවට මතුපිටින් සොයාගත නොහැකියි. අපි අතිවිශාල වෙහෙසක් දරලයි එය ඔප්පු කළේ. ආනයනකරු නැවත අභියාචනාධිකරණයේ නඩු පවරා වසර ගණනක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබෙනවා.

    රේගුවේ අඩුපාඩු තිබෙන බව ඇත්තයි. ඒත්, දැන් කතාවෙන පොල්තෙල් සිද්ධියේදිත් රේගුව වරදක් කර නෑ. ඇත්තෙන්ම ප්‍රමිති ආයතනයත් වැරදි නෑ.

    මේ ප්‍රශ්නය හරි හැටි තේරුම් ගත්තොත් මෙහි වරදක් නැති බවත් එම පොල්තෙල් සමාජයට ගිහින් නැති බවත් තේරෙයි. ඒත්, සමාජ මාධ්‍යවල සැරිසරණ හැමදේම වැරදියට දකින, යම් යම් දේශපාලන මතිමතාන්තරවල එල්බ සිටින, ඇත්ත දකින්න උවමනා නැති ඇතැම් පිරිස් හා සමබර නොවූ මාධ්‍ය කලාව විසින් ප්‍රශ්නය විකෘති කරමින් සිටීම කණගාටුදායකයැයි ඔහු පෙන්වා දී ඇත.

    මෑතකාලයේ ආන්දෝලාත්මක මෙම පොල් තෙල් ජාවාරම ගැන තවත් බොහෝ කරුණු ඉදිරියේ දී හෙළිදරව් වනු ඇත.

     ඒ කෙසේ වෙතත් මෙරටට ආනයනය කෙරුණු පොල් තෙල්වල ඇතැයි පැවැසෙන ‘‘ඇෆලටොක්සීන්‘‘ නමැති විෂ රසායනය ආහාරයට එක්වුවහොත් අක්මාවේ පිළිකා ඇතිවිය හැකි බවට කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මේ වනවිටත් අදහස් පළ කර තිබේ. 

    තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 28කට කොවිඩ්

    0

    තලාව ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු 28 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නතර කර තිබේ.

    තලාව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසන්නේ තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති, උපසභාපති, මන්ත්‍රිවරුන් 8 දෙනෙකු, ලේකම්වරයා ,ප්‍රධාන සහකාර කළමණාකාරවරිය හා සභාපතිවරයාගේ රියදුරා සහ කාර්ය මණ්ඩලයේ අය ඊට අයත් බවයි.

    කාර්යාලයේ කාර්ය  මණ්ඩලය සමග සෘජුව සම්බන්ධතාවයක් නොපවත්වන අනෙක් සේවකයන්ද අහඹු පරීක්ෂණයට භාජනය කළ අවස්ථාවේදී ඉන් එක් අයකු ද මෙම රෝගයට ගොදුරු වී ඇති බව හදුනාගෙන ඇත.

    මේවන විට තලාව, මොරගොඩ, එප්පාවල, කටියාව, කැළේ සියඹලෑව, ඇදගල, නල්ලමුදාව ,තඹුත්තේගම ආදී ප්‍රදේශවල පවුල් 60ක සමාජීකයන් 130ක් පමණ ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.

    මෙයට අමතර මෙම කාර්යාලයේ සේවය කරන ගල්ගමුව, නාච්චාදුව, යනාදි ප්‍රදේශවල පදිංචිකරුවන් සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් දැනුවත් කර ඇත.

    කිඹුලකු දරුවකු ඩැහැගෙන ගිහින් – දරුවා සොයා මෙහෙයුම්

    0

    සාම්පූර් පොලිස් වසමේ ඉත්තිකුලම් වැවේ ඊයේ (27) දිය නෑමට ගිය දරුවන් තිදෙනෙකු අතරින් එක් දරුවෙකු වයස අවුරුදු 15ක දරුවෙකුව කිඹුලෙකු ඩැහැගෙන යෑමේ සිද්ධියක් වාර්තා වූ බව පොලීසිය කියයි.

    පොලිස් නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව දරුවා සොයා ගැනීමේ මෙහෙයුම් සිදුකරයි.

    මේ අතර ඊයේ හසලක ප්‍රදේශයේදී මහවැලි ගඟේ දිය නෑමට ගිය 43 හැවිරිදි පියෙකු සහ 13 හැවිරිදි ඔහුගේ පුතා ද අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ.

    පසුව පුත්‍රයාගේ සිරුර සොයාගෙන ඇත.

    පියා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරයි.

    ASP එරික් පෙරේරාට යළි මාරුවක්

    0

    පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලද වෙන්නප්පුව සහ දංකොටුව භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට මීගමුව භාර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස පත්කර තිබේ.

    ඊට අදාළ නියෝගය අද පොලිස් මූලස්ථානය විසින් නිකුත් කර ඇත.

    නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම් හේතුකොටගෙන එරික් පෙරේරා මහතා ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ උදහසට ලක්ව තිබුණි.

    පොලිස්පතිවරයා විසින් මේ පිළිබඳව කළ සලකා බැලීමකට අනුව මීගමුව භාරව පත්කිරීමට යෝජනා වී තිබුණි.

    මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේද අනුමැතිය ද මීට හිමිව තිබේ.

    මීගමුව ප්‍රදේශයේ දේශපාලනඥයන්ද මෙම නිලධාරියා මීගමුව භාරව පත් කිරීම සම්බන්ධයෙන් සතුට පළ කර තිබීම විශේෂත්වයකි.

    අවිස්සාවේල්ලේ මැණික් පතලක් තුළ දෙදෙනෙක් බිලිවෙති

    0

    මැණික් පතලක් තුළ සිරවීමෙන් අවිස්සාවේල්ල පොලිස් වසමේ වෙරලුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

    පතල තුළ සිරවී මියගිය දෙදෙනාගේ සිරුරු මේ වනවිට අවිස්සාවේල්ල රෝහලේ තැන්පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

     සිද්ධියෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඊයේ (27) රාත්‍රී 7.00ට පමණ එම සිද්ධිය වාර්තා වූ බවය.

    ඊයේ පැවැති වර්ෂාවත් සමග පතල තුළ විදුලිය විසන්ධි වී ඇත.

    ඒත් සමගම පතල තුළට ගොස් තිබූ දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ පා තිබේ.

    මෙම අනතුර පිළිබඳ සහ පතල සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදු කිරීමට නියමිත ය.

    සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය අද

    0

    දශක තුනක් තිස්සේ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ උදාර සේවය අගය කරනු වස් ඉදිවන සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය අද (28) සිදුකෙරේ.

    අනුරාධපුර පූජා භූමියේ ඉදිවන සඳහිරු සෑයේ හතරැස් කොටුව තුළ නිධන් වස්තු තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය. මෙම සියළුම කටයුතු සෞඛ්‍ය නීති රීතින්ට අනුකූලව සිදු කෙරේ.

    රුවන්වැලි මහා සෑයට පසුව ඉදිවන විශාලම දාගැබ මෙයයි. මුළු ත්‍රිපිටකයම රන්පත්වල සටහන් කර දාගැබේ නිදන් කර තිබෙන අතර තවත් සර්වඥ ධාතු සහ නිදන් වස්තු රාශියක් නිදන් කර තිබේ.

    ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ උපදෙස් මත හා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ මෙහෙයවීම මත යුද හමුදා නව වෙනි ඉංජිනේරු සේවා රෙජිමේන්තු සිවිල් ඉංජිනේරුවරුන් ඇතුළු රණවිරුවන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් මෙම සෑය සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙයි.

    පසුගිය මාර්තු 20 දින සිට බැතිමතුන් විසින් සඳහිරු සෑ පරිශ්‍රයේ ඇති කාර්යාලය වෙත නිධන් වස්තු හා මැණික් ගෙනැවිත් භාරදීම සිදු කෙරුණි.
    එළඹෙන නොවැම්බර් මාසය වන විට ස්තූපයේ වැඩ නිම කර ජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව සළසා දෙන බවද ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

    චෛත්‍යය සඳහා චූඩා මාණික්‍ය ආතර් සේනානායක මහතා විසින් පරිත‍්‍යාග කර ඇති අතර චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ රට පුරා බැතිමතුන්ට වැඳ පුදා ගැනීම සඳහා පෙරහැරකින් වැඩමවීමට කටයුතු සැලසුම් කර තිබේ.

    “මගේ කාලයේ මුහුණ දෙන්නට වූ සියලුම ප්‍රශ්න පහුගිය ආණ්ඩුව ඇතිකරපු දේවල්”- ජනපති

    0

    “මගේ මේ කාලය ඇතුළත මට මුහුණ දෙන්නට වුණු ප්‍රශ්න සියල්ලක්ම ගිය ආණ්ඩුව කරපු දේවල් නිසා ඒවා නිවරැදි කරන්න ගිහිල්ලා” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    නැඟෙනහිර පර්‍යන්තය, MCC ගිවිසුම, මානව හිමිකම් වාර්තාවට සම අනුග්‍රහය දැක්වීම ආදි සියල්ලක්ම යහපාලන ආණ්ඩුව විසින් කළ දේවල් නිවැරදි කිරීමේදී ඇති වූ ගැටලු බවත් එම ගැටලු ඇතිකළ පුද්ගලයන් අද ඒවාටම එරෙහිව බොරු ප්‍රචාර සහ විරෝධතා පවත්වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    ඉන්දියන් සාගරයේ බලවතුන්ගේ අරගලවලට ශ්‍රී ලංකාව මැදිහත් නොවිය යුතු බවත් බලය බෙදීම යනුවෙන් කියමින් නැවත බෙදුම්වාදය ගෙනවිත් ඔවුන්ට අවශ්‍ය භූ දේශපාලනික අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට අපගේ ස්වෛරීත්වය පාවා දීමට සූදානම් නැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

    රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් ජිනීවා මානව හිමිකම් යෝජනාවලියට නොබියව මුහුණ දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට අද (27) මාතර පිටබැද්දර දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

    “පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳව ජනාධිපති කොමිසම් වාර්තාව, හැම පිටුවකම කියන්නේ ඒ රජය ජාතික ආරක්ෂාව පිළිබඳ කිසි තැකීමක් නොකළ නිසා තමයි මේ වගේ සිද්ධියක් වුණේ කියන එක. රණවිරුවන්ව අභූත චෝදනා නගලා හිර ගෙවල්වල දාලා නඩු දාලා, දැන් මට තවමත් ඒ අය ඒ නඩුවලින් නිදහස් කරගන්න විශාල ප්‍රශ්නයක් වෙලා. ජාත්‍යන්තරයට ගිහින් ජිනීවාවලදි යෝජනාවලට සමඅනුග්‍රහය දක්වලා අපේ ස්වෛරීත්වය අපේ නිදහස සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මා. අපි ඉල්ලා අස්වුණා ඒ සමඅනුග්‍රහයෙන්. ඒගොල්ලන් අපිට විරුද්ධව වැඩ කරනවා. ඒකට කමක් නෑ. අපිට මුහුණ දෙන්න පුළුවන්. අපි නිදහස් රටක්. අපේ වැඩ අපිට කරගන්න පුළුවන්. අපි නොබියව ඒවට මුහුණ දෙනවා. ඒක තමයි අවශ්‍ය.

    ඉන්දියන් සාගරයේ බලවතුන්ගේ අරගලවලට අපිට මැදිහත් වෙන්න අවශ්‍යතාවයක් නෑ. බලය බෙදීම කියලා නැවත බෙදුම්වාදය ගෙනල්ලා ඒ අයට අවශ්‍ය භූ දේශපාලනික අවශ්‍යතාවයන් ඉටුකර ගන්නට අපේ ස්වෛරීත්වය පාවා දෙන්න අපි සූදානම් නෑ. අපිව බලයට පත්කළේ මේ මූලික දේවල් නැවත හරිමගට යොදවන්න.

    මගේ මේ කාලය ඇතුළත මට මුහුණ දෙන්නට වුණු ප්‍රශ්න සියල්ලක්ම ගිය ආණ්ඩුව කරපු දේවල් නිසා ඒවා නිවරැදි කරන්න ගිහිල්ලා. MCC ගිවිසුම ගැන, ගිය ආණ්ඩුව අමෙරිකාව සමග අත්සන් කරලා ඩොලර් මිලියන 10ක පමණ, ආරම්භත් කරලා තිබුණේ කාර්යාලයක්. නමුත් අපි ඒක අමෙරිකාව සමග සාකච්ඡා කරලා, කරුණු හොයලා බලලා අපි පැහැදිළි කරලා දුන්නා. ඒ අයත් කැමැත්තෙන් අපි මේකෙන් ඉවත් වුණා.

    නැගෙනහිර පර්යන්තය.., අපි කරපු එකක් නෙමෙයි. ඉන්දියාවත් සමග අත්සන් කරපු ගිවිසුමක්. එම රටවල් සමග ගිවිසුම් අත්සන් කළාට පස්සේ ඒවයින් ගැලවෙන්න හරි අමාරුයි. විවිධ බලපෑම් එනවා. 20 වන ව්‍යවස්ථා සංශෝධනය අපිට ගේන්න වුණේ ඇයි. මේ රට පාලනය කරගන්න බැරිවෙන තරමට, කොමිසම් සභාවේ පැහැදිලිවම කියනවා රාජ්‍ය පාලනය වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිවරයාට තිබුණු බලතල නැතිකරලා දාලා තිබුණ එක හේතුවක් වුණා කියලා.

    පරිසරය පිළිබඳව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ අපි කරපු දේවල්, කොළඹ ලෝකයේ හරිත නගර අතරින් ඉදිරියෙන්ම සිටින නගරයක් බවට පත්කළා. පරිසරය විනාශවන කටුපොල් අපි තහනම් කළා. සමාජ මාධ්‍ය හරහා වැරදි මත ජනතාවට ගෙනියනවා. ජනතාව ප්‍රවේසම් වෙන්න ඕනේ. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජයට පත්කරලා වෙච්ච වැරැද්ද නැවත කරගන්නට ඉඩ තියන්න එපා,” යනුවෙන් එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන මෙලෙස මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල්කැලේ, උතුර 03 පියවර ග්‍රාමසේවා වසමේ පැවැත්වුණි.

    දෑරංගල මහා විද්‍යාලයේ දී ජනාධිපතිවරයා ගම්වාසීන් සමග සංවාදයට එක්විය.

    මෙතෙක් පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහන්වලදී මේ මාදිලිය උපයෝගී කරගනිමින් ප්‍රශ්න ගණනාවකට එසැණ සහ පසුකාලීන විසඳුම් දීමට හැකිවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    2020 සැප්තැම්බර් 25 වැනි දින බදුල්ල දිස්ත්‍රික්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය.

    මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කළුතර, මොනරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධානකර තිබුණි.

    පස්සර දී ආපදාවට පත්වූ මගීන්ට වන්දි මුදලක්

    0

    පස්සර දී ඉකුත් 20 වනදා සිදු වූ මාරක රියඅනතුරින් ජීවිතක්ෂයට පත්වු මගීන් සහ තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට අද (27) ලුණුගල බහුකාර්ය ගොඩනැගිල්ලේදී කටයුතුකර තිබේ.

    එහිදී ජීවිතක්ෂයට පත්වූ 14 දෙනා වෙනුවෙන් රුපියල් 95,000 බැගින් සහ තුවාල ලැබු මගීන් 32 දෙදෙනෙකුට රුපියල් 15,000 බැගින් ලබාදී ඇත.

    මියගිය මගීන් උදෙසා ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් රුපියල් 30,000ක්, ගමනාගමන කොමිෂන් සභාවෙන් රුපියල් 25,000ක් ලීසිං සමාගමෙන් රුපියල් 25,000 ක් සහ ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් රුපියල් 15,000ක් ලෙස ලබාදී තිබේ.

    අනතුරෙන් තුවාල ලැබූ පිරිසට රුපියල් 15,000 බැගින් ලබාදී ඇත්තේ ගමනාගමන කොමිෂන් සභාව විසිනි.

    ලුණුගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස්රථයක් ටිපර් රථයකට ඉඩදීමට යාමේදී පස්සර 13 කණුව අසලදී අඩි 250 ක පමණ ප්‍රපාතයට බස් රථය පෙරළී මාරක අනතුරක් සිදුව තිබුණි.

    පිළිකා කාරක අඩංගු පොල්තෙල් ගෙන්නූ ආයතන තුනක් සීල්

    0

    පිළිකා කාරක අඩංගු පොල්තෙල්‌
    ආනයනය කළ ආයතන 3කට
    මුද්‍රා තබා තිබේ.

    පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මෙම පියවර ගෙන ඇත.

    අදාළ පොල්තෙල්‌ පරිභෝජනයට නුසුදුසු බවට සාම්පල පරීක්ෂාවේදී තහවුරු වීමෙන්‌ පසුව එය ප්‍රතිඅපනයනය
    කෙරෙන තෙක්‌ එම ආයතන 3ට
    මුද්‍රා තැබූ බව පාරිභෝගික
    කටයුතු පිළිබද අධිකාරිය කියා සිටී.

    ආනයනය කළ පොල්තෙල්‌ බහලුම්‌ 13ක ඇෆ්ලටොක්සීන්‌ නම්‌ පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර
    ආරක්ෂණ ඒකකය මගින්‌ තහවුරු කර තිබියදී එය අදාළ ආයතන වෙත මුදා හැර ඇති බවට සමස්ථ ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය පසුගියදා අනාවරණය කළේය.

    පිළිකාකාරක පොල්තෙල්‌
    වෙළදපොළට නිකුත්‌ වී නොමැති
    බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික
    ප්‍රනාන්දු ඊයේ (26) පාර්ලිමේන්තුවේදී කීය.

    ‌ තවදුරටත් එල්ල වන චෝදනා
    හමුවේ එය යළි තහවුරු කර ගැනීම සඳහා දිවයින පුරා වෙළදසැල්වල පොල්තෙල්‌ සාම්පල ලබා ගැනීම ඊයේ (26) ආරම්භ කෙරිණ.

    අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ එකඳු කොවිඩ් මාත්‍රාවක්වත් ලෝකයට දී නෑ

    0
    covid vaccine

    චීනය විසින් නිෂ්පාදනය කරන covid-19 මර්දන එන්නත්වලින් හරි අඩක් පමණ එනම් මිලියන 10කට අධික ප්‍රමාණයක් සෙසු රටවලට දැනටමත් අපනයනය කර තිබේ.

    චීනය පෙන්වා දෙන්නේ එලෙස අපනයනය කරන ලද එන්නත් මාත්‍රා වලින් වැඩි කොටසක් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත යවා ඇති බවයි.

    සමහර මානව හිමිකම් දේශකයෝ සියළුම මාත්‍රාවන් රට තුළ තබා අගුලු දමාගෙන චීනයේ එන්නත් අපනයනයේ ඇති විශ්වාසවන්තභාවය අතුගා දැමීමට උත්සාහ කරන බව චීනය චෝදනා කරයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්තවලට අනුව ලොව දැවැන්තම කොවිඩ් එන්නත් නිෂ්පාදකයන් වන්නේ චීනය, අමෙරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයයි.

    ඉන් අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එකදු කොවිඩ් එන්නත් මාත්‍රාවක් හෝ අපනයනය කොට නොමැති බව පෙනී යයි.

    චීනය සහ ඉන්දියාව කොවිඩ් එන්නත් නිෂ්පාදනයෙන් අඩක් පමණ අපනයනය කර තිබේ.

    ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ගීතා ගෝපිනාත් විසින් ගෝලීය කොවිඩ් එන්නත් නිෂ්පාදකයන් විසින් රට තුළ තබාගත් සහ අපනයනය කරන ලද එන්නත් මාත්‍රා පිළිබඳ දත්ත ඇතුළත් වගුවක් උපුටා දක්වමින් පෙන්වා දී ඇත්තේ ලොව සියලු දෙනා එන්නත ගන්නා තුරු කොවිඩ් දුරු කළ නොහැකි බවයි.

    ලොව විශාලතම එන්නත් නිපදවන්නන්ගේ එන්නත් මාත්‍රා අපනයන දත්ත පහත දක්වා ඇත.

    “මහජන නියෝජනයකින් සැකසෙන ප්‍රතිපත්ති ආණ්ඩු පෙරළියකදී වෙනස් කරන්න බෑ”- ජනපති

    1

    “පුළුල් මහජන නියෝජනයකින් සැකසෙන ප්‍රතිපත්තියක් ආණ්ඩු පෙරළියකදී වෙනස් කරන්න බැහැ. “යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජනතාවගේ අදහස් ලබා ගැනීම සඳහා වන “ඩිජිටල් වේදිකාව” දියත් කිරීම පිණිස අද (26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    රටක චින්තනය සහ දර්ශනය ගොඩනැගෙන්නේ එරට අධ්‍යාපන ක්‍රමය තුළින් බැවින් යල් පැනපු අධ්‍යාපන ක්‍රමයකින් බිහි වන්නේ නූතන ලෝකය සමග ඉදිරියට ගමන් කළ නොහැකි සමාජයක් බවත් ඩිජිටල් වේදිකාව අදහස් සහ නිර්මාණශීලි යෝජනා ඉදිරිපත් කර තිරසර අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට ජනතාවට ලැබෙන අනගි අවස්ථාවක් බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

    21 වැනි ශතවර්ෂයට ගැළපෙන අයුරින් දැනුම පාදක කොටගත් මානව ප්‍රාග්ධනය සැලසුම් කොට පෝෂණය කිරීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රමුඛ පරමාර්ථයක් බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

    ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කළයුතුය. රටේ අනාගත පරපුර දැනුමෙන්, කුසලතාවෙන් පිරිපුන් පරපුරක් ලෙස ලෝකය හමුවට ගෙන යාම “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන්” තමා අපේක්ෂා කරන බව රාජපක්ෂ මහතා කියා සිටී.

    “නැණසත් මනසත් පොහොසත් කරන පිරිපුන් අධ්‍යාපනයක් කරා” යන්න “ඩිජිටල් වේදිකාවේ” තේමාවයි.

    “ඩිජිටල් වේදිකාව” නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

    අද සිට ඉදිරි මාස 03 ක කාලයක් පුරා egenuma.moe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන යෝජනා සහ අදහස් “ඩිජිටල් වේදිකාවට” යොමු කිරීමට පිළිවන. පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික සහ ද්වීතීයික අධ්‍යාපනය, වෘත්තීය සහ තෘතීයික අධ්‍යාපනය සහ උසස් සහ වෘත්තීය අධ්‍යාපනය ලෙස ප්‍රධාන උප ක්ෂේත්‍ර 04ක් යටතේ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. තිරසර අධ්‍යාපන ප්‍රතිපත්තියක් සඳහා වඩාත් පුළුල්ව මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට “ඩිජිටල් වේදිකාව” විවෘතව පවතී.

    උසස් අධ්‍යාපනයට ප්‍රවේශවීමට වැඩි අවස්ථාවක් සැලසීම ප්‍රතිසංස්කරණවල තවත් අරමුණකි. විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක විෂය නිර්දේශ නවීකරණය සහ ප්‍රතිව්‍යුහකරණය මගින් රැකියා නිපුණතා වර්ධනය අපේක්ෂා කෙරේ.

    රැකියාවක නිරතවන අතර තම අධ්‍යාපන සුදුසුකම් වැඩිදියුණු කර ගැනීම සඳහා විවෘත විශ්ව විද්‍යාල පද්ධතිය පූර්ණ වෙනසකට ලක්විය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

    සියලුම ශ්‍රී ලාංකික දරුවන්ට පෙර පාසලේ සිට අංග සම්පූර්ණ අධ්‍යාපනයක් දීම තම අපේක්ෂාව බව කී හෙතෙම දැනට පවතින අන්තර්ජාල සහ තාක්ෂණික අඩු පාඩු 2023 වර්ෂය වන විට සම්පූර්ණයෙන් ඉවත් කරන බව පැවසීය.

    ප්‍රෞඩ අතීතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවට ඊට වඩා ප්‍රෞඩ අනාගතයක් උරුමකරදීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

    eගෙනුම

    ASP එරික් පෙරේරා මීගමුවට

    0

    නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම් හේතුකොටගෙන ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ උදහසට ලක් ව පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලද වෙන්නප්පුව සහ දංකොටුව භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට මීගමුවට ස්ථාන මාරුවක් ලබා දීමට යෝජනා වී තිබේ.

    ඒ පොලිස්පතිවරයා විසින් මේ පිළිබඳව කළ සලකා බැලීමකට අනුවයි.

    ඒ පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේද අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ.

    මෙම නිලධාරියා මීගමුව භාරව පත් කිරීම සම්බන්ධයෙන් මීගමුව ප්‍රදේශයේ දේශපාලනඥයන්ද සතුට පළ කර තිබීම විශේෂත්වයකි.

    සූවස් ඇළේ සිරවූ නෞකාව නිදහස් කරන්න සති ගණනක් යයි!

    0

    සූවස් ඇළේ සිරවී ඇති දැවැන්ත බහාලුම් නෞකාව නිදහස් කිරීම සඳහා සති ගණනක් ගත විය හැකි බව බලධාරීහු අනුමාන කරති.

    සිරවූ නෞකාව නිදහස් කිරීමට එම ඇළේ වැලි ඝනමීටර් 20,000 ක් (ඝන අඩි 706,000) ක් ඉවත් කළ යුතු බව බලධාරීහු පවසා තිබේ.

    එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ උසට සමාන දිගකින් යුත් බහාලුම් නෞකාවක් වන එවර්ග්‍රීන් නෞකාව සුළං හා වැලි කුණාටුවකට හසු වීමෙන් මෙම අනතුරට ලක්ව ඇත.

    එය ලෝකයේ කාර්යබහුලම ජල මාර්ගයක් අවහිර කර ඇති අතර, ඇළ ඉවුරේ කිමිදුම්කරුවන් දෙදෙනෙකු, කඹ ඇදීමේ බෝට්ටු 9 ක් සහ කැණීම් කරුවන් සිව්දෙනෙකු ඇතුළු ගලවා ගැනීමේ උත්සාහයන් ගණනාවක් දියත් කර තිබේ.

    නෞකාවේ ඉදිරිපස කොටසේ වැලි සහ මඩ ඉවත් කිරීම සඳහා කටයුතු කෙරෙන අතර මීටර 12 සිට 16 දක්වා ගැඹුරකට (වැලි ඝ්නඅඩි 530,000 සිට 706,000 දක්වා) ගමන් කිරීමට අවශ්‍ය වේ. අඩි 39 සිට 52 දක්වා) නෞකාව පාවීමට ඉඩ සලසන බව බලධාරින් පැවසීය. එය ඔලිම්පික් පිහිනුම් තටාකයක ප්‍රමාණය මෙන් අට ගුණයක් පමණ වේ.

    මෙම නෞකාව සිට වීම නිසා දිනකට ඩොලර් බිලියන 9.6ක් පමණ පාඩු වන බව මීට පෙර වාර්තා විය.

    ලොව සමස්ත නාවික භාණ්ඩ ප්‍රවාහනයෙන් 12% ක් සිදු කරනු ලබන්නේ සුවස් ඇළ හරහාය.

    එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ එවර්ග්‍රීන් නෞකාවේ දිගට සමාන ‍‍ය

    සහරාන් එක්ක සිසුන්ට අන්තවාදය ඉගැන්වූ ගුරුවරු දෙදෙනෙක් අත්අඩංගුවට

    0

    මදුරන්කුලියේ මද්‍රාසා පාසලකදී සහරාන් හෂීම් සහ ඔහුගේ සහෝදරයින් ඇතුළු පිරිසක් විසින් පාසල් සිසුන්ට අන්තවාදය පුහුණු කිරීමේ සිද්ධියට අදාළව එම පාසලේ ගුරුවරු දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පුත්තලම මදුරන්කුලි යන ප්‍රදේශවලින් මොවුන් අද අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම පාසල පවත්වාගෙන ගිය Save the pearls රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති ලෙස කටයුතු කර තිබුණේ ඒ නීතිඥ හිජාස් හිස්බුල්ලා ය.

    ඔහු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඔහු සමඟ එම පාසලේ විදුහල්පතිවරයා ද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

    සිංහරාජයේ වන විනාශයක් සිදුවී නෑ – යුනෙස්කෝ

    0

    සිංහරාජ වනාන්තරයේ කිසිදු වන විනාශයක්‌ සිදු වී නොමැති බව යුනෙස්කෝ ජාතික කොමිසම්‌
    සභාව පවසයි.

    සිංහරාජ වනාන්තරය කිසිදු අවස්ථාවක
    ලෝක උරුම ලැයිස්තුවෙන්‌ ඉවත්‌
    කිරීමේ අවදානමක්‌ නොමැති
    බව ද එම සභාව පෙන්වා දී තිබේ.

    කෙසේ වෙතත්‌ සිංහරාජ ලෝක
    උරුම වනාන්තරය තුළ
    හෙක්ටර්යාර 5ක වපසරියකින්‌
    යුත්‌ ජලාශ දෙකක්‌ තැනීම
    පිළිබඳව ඉල්ලීමක්‌ යුනෙස්කෝ
    ආයතනයට යොමුකර ඇත.

    ‌මේ දක්වා එම ඉල්ලීම්‌ වලට යුනෙස්කෝව ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වේ.

    ඒ අනුව කිසිදු අවස්ථාවක
    හෙක්ටයාර 8000කින්‌ සමන්විත
    සිංහරාජ ලෝක උරුම
    වනාන්තරය තුළ ඇති ජෛව
    විවිධත්වයට හානි ආකාරයේ
    කිසිදු ඉදිකිරීමක්‌ සිදුකිරීමක්‌
    නොකෙරෙන බව ඔවුහු අවධාරණය කරති.




    අනුරගෙ ආකේඩ් බොරුව අතේ පත්තුවෙයි

    0

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී ඔහුගේ සංකල්පයකට අනුව බිහිවූ නිදහස් චතුරශ්‍රයට යාබදව පිහිටි ආකේඩ් සාප්පු සංකීර්ණ පරීශ්‍රය ගෙවී ගිය වසර පහක පමණ කාලය තුළ පැවැතියේ අභාවයට යමිනි. ආකේඩ් වෙත එන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් විශාල මාළු ටැංකිය පවා තිබුණේ අභාවයට යමිනි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සාප්පු සහ ප්‍රදර්ශනාගාර පවා පැවැතියේ වැසී යාමිණි. මෙවන් තත්වයක් මත නාගරික සංවර්ධන අධිකාරියේ පාලනයේ පැවැති ආකේඩ් පරීශ්‍රය සොෆ්ට්ලොජික් සමාගමට අනුබද්ධ ඔඩෙල් වෙත වසර 10 ක කාලයට බදු ලබාදීමට ගිවිසුම් ගත වන්නේ පසුගියදාය. ඒ මාසිකව රුපියල් කෝටියවක බදු ආදායමක් නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන ආකාරයටය. ඒත් සමග අකේඩ් සාප්පු සංකීර්ණ පරීශ්‍රය ගැන සමාජයේ දැඩි කථාබහකට ලක්වන්නට ගත්තේය. ඒ එම පරීශ්‍රය සමාගමකට බදුදීම මුල්කර ගනිමිනි. ඒ සම්බන්ධයෙන් විවිධ චෝදනා පවා එල්ලවන්නට විය.

    “ ආකේඩ් සාප්පු සංකීර්ණ ගොඩනැගීම වෙනුවෙන් රු. මිලියන 700කට වඩා වැඩි ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහජනයාගේ ධනය වැය බරක් හැටියට දරලා තිබෙනවා. මේ දැවැන්ත වියදමක් දරන සාප්පු සංකීර්ණය, නාගරික සංවර්ධන අධිකාරියට නඩත්තු කරගන්න බැරි තරමේ බරක් වුණා. වාර්ෂිකව පාඩු වුණා. දැන් ආණ්ඩුව තීන්දු කළා, මං හිතන්නේ කැබිනට් මණ්ඩලය තීන්දුවත් ගත්තේ නැහැ කියලා මං දන්නා පරිදි, දැන් මේ සාප්පු සංකීර්ණය, සොෆ්ට්ලොජික් ආයතනයට, අශෝක් පතිරගේ මහතාගේ ආයතනයට අවුරුදු 10කට බදු දීලා තිබෙනවා. හැබැයි ආණ්ඩුව ආවේ කොහොමද, රාජ්‍ය දේපළ ආරක්ෂා කරන, රාජ්‍ය සම්පත්වල මුරකරුවෝ මුරබල්ලෝ ලෙස තමයි පාලනයට ආවේ. නාගරික සංවර්ධන අධිකාරිය සතුව තිබුණු ආකේඩ් සාප්පු සංකීර්ණය බදු දීම තමුන්නාන්සේලාගේ ජනවරමත් එකක් සම්බන්ධ වෙන්නේ කොහොමද? මේක බදු දුන්නේ කොහොමද? රාජ්‍ය දේපළක් බදු ලබා දෙනවා නම් විවෘත ටෙන්ඩර් පටිපාටයක් අනුගමනය කරන්න ඕනේ. දැන් මම අහනවා, නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයාගෙන් මේ ආකෝඩ් සාප්පු සංකීර්ණය බදු ලබා දීම සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමක් කළාද, ඒ අනුවද සොෆ්ට්ලොජික් සමාගම තෝරා ගනු ලැබුවේ?“ මේ ගැන ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී 24 වෙනිදා ප්‍රශ්න කිරීමක්ද කළේ එසේය.

    නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් අනුර කුමාර මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට සවිස්තරාත්මක පිළිතුරක් 25 වෙනිදා ලබාදෙන්නේ ආකේඩ් පරීශ්‍රය මේ අවස්ථාවේදී බදුදීමේ වැදගත්කම මනාවට පැහැදිලි කරමිනි. එසේම එම බදුදීම ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා සිදුවූ බවද ඔහු පෙන්වා දෙන්නේ මෙසේය.

    “2010 -2014 කාලයේ එවකට පැවති අපේ රජය විසින් දියත් කළ නගර අලංකරණ වැඩසටහන යටතේ කොළඹ නගරයේ තිබුණු ගරා වැටුණු ගොඩනැගිලි රැසක් නවීකරණය කොට මහජන ප්‍රයෝජනය සඳහා යොදා ගනු ලැබුවා. ආකෝඩ් ගොඩනැගිල්ලත් ඒ ආකාරයට සකස් වූ කඩ සාප්පු 42කින් යුත් වෙළඳ සංකීර්ණයක්. මේ වෙළෙඳ සංකීර්ණය ආරම්භක අවස්ථාවේ දී කළමනාකරණය කිරීමේ කටයුතු කළේත් නාගරික සංවර්ධන අධිකාරිය විසින්මයි. 2014 දී මාසිකව මිලියන 10 ක පමණ ආදායමක් ඉපයූවත් 2015 න් පසුව යහපාලන රජය බලයට පැමිණි පසු වසරින් වසර මෙහි මාසික ආදායම පහත ඇවිත් අවසාන වන විට මිලියන 8.9කටත් වඩා අඩු මට්ටමකට වැටී තිබුණා. ඊටත් වඩා බරපතළ ප්‍රශ්නය වුණේ 2019 වර්ෂයේ අපි බලයට එන විට රු. මිලියන 100කට අධික මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට හිඟ මුදල් ලෙස අයකර ගත යුතුව තිබුණා. කඩ 42 න් කඩ 11ක් වසා දමා තිබුණා.“

    “මේ කරුණු සියල්ලම සලකා බලා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කොට තිබෙනවා, එහි කළමනාකාරීත්වය පුද්ගලික ක්ෂේත්‍රයට බදු දී ආයතනයට වැඩි ආදායමක් උපයා ගන්නට. මේ කාර්යය කරලා තිබෙන්නේ කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවත් විසින් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින්. ඒ අනුව ප්‍රසිද්ධ පුවත්පත් 3ක භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් 2020.10.20 දින පළ කර තිබෙනවා. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කර තිබෙන්නේ සභාපති ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමා, නාගරික සංවර්ධන හා නිවාස අමාතයාංශයේ ලේකම්තුමා, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්තුමා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමා සහ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමායි. ඊට අමතරව තාක්ෂණික කමිටුව වුණේ, සභාපති ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්තුමා, නාගරික සංවර්ධන අධිකාරියේ වත්කම් කළමනාකරණය කිරීඹ් සහ අයකිරීම් අධ්‍යක්ෂක, නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් අධ්‍යක්ෂක, මුදල් අමාත්‍යාංශයේ කොන්ට්‍රොල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා. නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂතුමා.“

    “මේ ක්‍රියවලියේ දී රජයේ තක්සේරුකරුගෙන් මේ ගොඩනැගිල්ල සඳහා වාර්ෂික බදුකුලිය ලෙස රු. මිලියන 120 ක තක්සේරුවක් ලැබිලා තිබුණා. පුවත්පත් දැන්වීම්වල ප්‍රචාරය දක්වමින් ආයතන කිහිපයක්ම ටෙන්ඩර් ලිපිලේඛන මිල දී ගෙන තිබුණත්, මිල ගණන් ඉදිරිපත් කිරීම සඳහා ආයෝජකයින්ට ලබා දී තිබූ සති 4ක කාලය තුළ ලංසු තබා තිබුණේ ඔඩෙල් පීඑල්සී කියන ආයතනය සහ අබාන්ස් පීඑල්සී කියන ආයතන දෙක පමණයි. මේ ටෙන්ඩරය සඳහා අනුගමනය කර තිබුණේ තාක්ෂණික යෝජනා සහ මූල්‍ය යෝජනා වෙනවෙනම ඉදිරිපත් කරන Two Envelope ක්‍රමවේදයයි. තාක්ෂණික කමිටුව යෝජනා අධ්‍යයනය කොට ටෙන්ඩරය සඳහා සියලු නිර්ණායකයන් සම්පූර්ණ කරන ලද ඔඩෙල් පීඑල්සී ආයතනය තෝරා ගෙන තිබුණා ඊළඟ වටය සඳහා. මේ ආයතනය ප්‍රසම්පාදන කමිටුව විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා.“

    “ඔඩෙල් පීඑල්සී ආයතනය මසකට රු. මිලියන 10 ක්, එනම් වර්ෂයකට බදු කුලිය රු. මිලියන 120 ක් බදු රහිතව ගෙවීමට ගිවිසුම් ගත වී තිබෙනවා. වෙනත් වචනවලින් කියනවා නම් මසකට රු. කෝටියක ආදායමක් මේ බදු දීම හරහා නාගරික සංවර්ධන අධිකාරිය උපයනවා. ආයෝජක සමාගම පළමු වසර සඳහා සමස්ත බදු මුදල වන රු. කෝටි 12ක ගිවිසුම අත්සන් කරන වෙලාවේ ගෙවනවාය අමතරව තවත් කෝටි 24ක් ආරක්ෂක තැන්පතුවක් ලෙස ගෙවා තිබෙනවා. වර්ෂයකට බදු ලෙස ගෙවන රු. කෝටි 12ක මුදල වසර 5කට පසු රජයේ තක්සේරුකරුගේ තක්සේරු අනුව වැඩිකරන්නටත් මේ ආයතනය එකඟ වී තිබෙනවා.“

    “වත්මන් රජය බලයට පත්වීමට පෙර ජනතාවට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රාජ්‍ය ආයතන කාර්යක්ෂම හා ලාභ ලබන ව්‍යවසායන් ලෙස පවත්වා ගෙන යාමට අපි පොරොන්දු වී තිබෙනවා. අනුර කුමාර දිසානානයක මැතිතුමා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී පුද්ගලික නම් ඉලක්ක කරමින් කරන සාවද්‍ය ප්‍රකාශ බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා. අපි හැමවිටම කටයුතු කරන්නේ ඉතාමත් විනිවිදභාවයකින් යුතුව නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුකූලවයි.“

    සහල්- ධාන්‍ය පාට කර විකිණීමේ ජාවාරමක්

    0

    එළඹෙන උත්සව සමය ඉලක්කර ගෙන මිනිස් සිරුරට අහිතකර වර්ණක අඩංගු සහල් ඇතුළු ධාන්‍ය වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් පවතින බැවින් ලබන 28 වෙනිදා සිට පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් දීප ව්‍යාප්තව වැටලීම් මාලාවක් දියත්කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සදහන් කළේය.

    මේ දිනවල ප්‍රදේශ කිහිපයක කළ වැටලීම්වලින් සොයාගත් ආහාර පරීක්ෂාවකදී මෙම ජාවාරම ගැන තොරතුරු සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත්ව බවද ඔහු කියයි.

    මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, පොල් තෙල්වලට ද විවිධ රසායන ද්‍රව්‍ය මුසුකර අලෙවි කරන බවටද තොරතුරු ලැබී ඇති බවය. කළුතර, ගම්පහ, කොළඹ දිස්ත්‍රික්කවල මෙම ජාවාරම දැඩිව ක්‍රියාත්මක වන බව ද ඔහු සදහන් කළේය.

    ASP එරික්ගේ මාරුව ගැන විමර්ශනයක්

    0

    ‍වෙන්නප්පුව සහ දංකොටුව යන පොලිස් බල ප්‍රදේශ භාරව සේවය කළ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාව කසිප්පු ජාවරම්කරුවන්ගේ අවශ්‍යතාවකට රාජ්‍ය ඇමතිවරයෙකුගේ මැදිහත්වීමෙන් පොලිස් මුලස්ථානයට ස්ථාන මාරු කළේයැයි නැගෙන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකරන බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සදහන් කරයි.

    පුත්තලම දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පාර්ලිමේන්තුවේදී 25 වෙනිදා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා ඒ බව සදහන් කළේය.

    සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ ස්ථාන මාරුවීම සම්බන්දයෙන් මේ වන විට මහත් ආන්දෝලනයක් ඇති ව තිබේ. වෙන්ප්පුවේ සහ දංකොටුවේ විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලාත් පල්ලිවල පූජකවරුනුත් ප්‍රමුඛතරගත් ජනතා උද්ඝෝෂණයක්ද මේ වන විට එම ස්ථානමාරුවීමට එරෙහිව සංවිධානය වෙමින් පවතින බව වාර්තා වේ.

    මෙවන් තත්වයක් හමුවේ පොලිස් බලධාරීන් එරික් පෙරේරාට දැනුම් දී ඇත්තේ දංකොටුවත් වෙන්නප්පුවත් හැරුණු කොට කැමැති ඕනෑම ස්ථානයකට මාරුවීමක් ලබාදීමට හැකිබවය. ඊට එරික් පෙරේරාගෙන් යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නැත.

    පස්සර අනතුරේ බස් රියැදුරුට විවෘත වරෙන්තුවකුත් තිබිලා

    0

    අහිංසක මගී ජීවිත 14 කට මරු කැදවූ පස්සර බස් අනතුර සිදුවන විට එම බස් රථය පැදවූ රියදුරුට එරෙහිව අන්තරාකාරී ලෙස රිය පැදවීමක් සම්බන්ධයෙන් විභාගවන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තුවක් නිකුත්වී තිබී ඇත.

    උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කරනු ලැබුවේ මිරිහාන පොලීසියේ රථවාහන අංශය විසින් එම නඩුව බස් රථ රියදුරාට එරෙහිව පවරා ඇති බවය.

    මෙම බස් රථ රියදුරු අපරික්ෂාකාරී ලෙස රිය ධාවනයේ නිරතවන රියදුරෙක් බවට මේ වන විට තොරතුරු ලැබී ඇති බවද එම නිලධාරියා කීය.

    “මෙම බස් රථය ලුණුගලින් ගමන් ආරම්භකර කොළඹ බලා ධාවනය වෙමිනුයි තිබුණේ. අපේ විමර්ශනවලට අනුව පෙනී ගොස් තිබෙන්නේ ලුණුගල සිට අනතුර වූ ස්ථානයට සාමාන්‍ය වේගයකින් රථයක් ධාවනය කිරීමට පැයක පමණ කාලයක් ගතවන බවයි. එහෙත් මෙම බස් රථය අනතුරට ලක්වෙලා තියෙන්නේ ගමන් ආරම්භයේ සිට විනාඩි 20 කට පසුවයි. අධික වේගයෙන් බස් රථය ධාවනය වෙලා තිබෙන බවයි අපිට පෙනී ගොස් තිබෙන්නේ. එසේම බස් රථය අනතුරට ලක්වන විට මාර්ගයේ නතර කර තිබුණු ලොරි රථයේ රියදුරු මෙම අනතුරට වගකිව යුතු නැහැ. අධික වේගයෙන් බස් රථය ඉදිරියට පැමිණෙන විට ඔහු කරන්නේ අනතුරක් වලක්වා ගන්නට රථය නතරකර ගැනීමයි. බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවයි පල්ලමට පෙරලී තිබෙන්නේ. බස් රථය පල්ලමටයි ධාවනය වෙමින් තිබී ඇත්තේ. ලොරි රථය කන්ද නගිමිනුයි තිබුණේ. බස් රථයේ රියදුරුට මේ තැන ගැන හොද දැනීමක් තිබෙනවා. හරිනම් ඔහු ලොරි රථයට ඉඩදී බස් රථය නතරකර ගන්න තිබුණා. එසේ වුනා නම් මෙවන් අවාසනාවන්ත අණතුරක් සිදුවන්නේ නැහැ.“ යැයිද එම නිලධාරියා කීය.

    බස් රථයේ රියදුරා ජංගම දුරකතනයකින් ඇමතුමක් ලබා ගනිමින් බස් රථය ඒ අවස්ථාවේදී ධාවනය කළ බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන්ද පොලීසිය විමර්ශනයක් සිදුකර තිබේ. එහිදී පෙනී ගොස් ඇත්තේ ඔහුගේ ජංගම දුරකතනයේ සිම්කාඩ්පත් දෙකක් ඇති බවත් එම සිම්කාඩ්පත් දෙකෙන්මබ ඇමතුම් ලබාගෙන නොමැති බවය. නමුත් අධිකරණ නියෝගයක් ලබා ගනිමින් එම සිම්පත් දෙකට අදාල දුරකතන සමාගම්වලින් දුරකතන වාර්තාවක් ලබා ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරයත් සදහන් කළේය.

    මේ අතර ජාතික ගමනා ගමන කොමිසම විසින්ද මෙම අනතුර සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ත්‍රී පුද්ගල කමිටුවක් පත්කර තිබේ. එම කමිටුව විසින් සිය වාර්තාව ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ මහතාට සිය වාර්තාව භාර දී ඇත. එදින බස් රථය ධාවනය වීමට නියමිතව තිබී ඇත්තේ පෙරවරු 6.50 ට වූවත් කාල සටහන උල්ලංඝනය කරමින් පෙරවරු 6.30 ට බස් රථය කොළඹ බලා ධාවනය වී ඇතැයි එම කමිටු වාර්තාවේ සදහන්ය.

    සිංහරාජයේ ඇත්ත නැත්ත බලන්න ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීලා යයි

    0

    මේ දිනවල සමාජයේ දැඩි කථාබහකට ලක්ව ඇති සිංහරාජ වනාන්තර විනාශය ගැන ඇත්ත නැත්ත සිය දෑසින්ම දැක බලා ගන්නට ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු 11 දෙනෙක් අද (25) රක්වාන ප්‍රදේශයෙන් සිංහරාජයට ඇතුළු විය.

    ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,යූ .කේ. එස් .සුමිත්, මිලාන් ජයතිලක ,අකිල එල්ලාවල, සමන්ප‍්‍රිය හේරත්, ලලිත් එල්ලාවල, ගුණතිලක රාජපක්ෂ, ඞී.වීරසිංහ, අමරකීර්ති අතුකෝරල,වසන්ත යාපා බණ්ඩාර සහ මේජර් සුදර්ශනදෙනිපිටිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම කණ්ඩායමට ඇතුලත්ව සිටියහ.

    සිංහරාජය හෙළි පෙහෙළිකරමින් හෝටලයක් ඉදිකරන බව කියන භූමිය පවා එහිදී මන්ත්‍රී කණ්ඩායමේ නිරීක්ෂණයට ප්‍රධාන වශයෙන් ලක්ව ඇත. එම ඉඩමේ වත්මන් හිමිකරුවන්, අඩවි වන නිලධාරීන්, ග්‍රාම සේවක මෙන්ම රජයේ නිලදාරීන් කිහිප දෙනෙක්ම එහිදී හමුවෙමින් තොරතුරු ගවේෂණයකද ඔවුන් නිරතව තිබේ.

    මෙම ගවේෂණයේදී රැස්කරගත් තොරතුරු විශ්ලේෂණය කරමින් ඉදිරියේදී සිංහරාජ වනාන්තර විනාශයේ ඇත්ත නැත්ත ගැන ජනතාව දැනුවත් කිරීමටද මෙම මන්ත්‍රී කණ්ඩායම සූදානමින් සිටිති.

    ”ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවකුට අවසර දී නැහැ” – ජනපති

    0

    නුගේගොඩ වැලි පාර්ක් උද්‍යානයේ ඊයේ (24) පැවති පොදුජන පෙරමුණු අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ, දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටලුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බවයි.

    ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙළ රජය ඉදිරිපත් කර ඇති බව ත් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නොමැති පිරිසක් ඊට පහර ගසමින් සිටින බවත් ජනාධිපතිවරයා එහිදී පැවසී ය.

    ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, කුමන බාධක, විවේචන පැමිණිය ද ජනතාව වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අඩපණ නොකරන බවයි.

    ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවෙකුට අවසර දී නැති බව  සඳහන් කර ඇති ජනාධිපතිවරයා  දිස්ත්‍රික් ලේකම්වරුන්ට  උපදෙස් ද දී ඇත්තේ,   දිස්ත්‍රික් මටට්මින් වන විනශායන් සිදු වන්නේ, නම් ඒ පිළිබඳ සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙසයි.

    තව ද වත්මන් රජය බලයට පැමිණ මාස 16ක් වැනි කෙටි කාලයකදී රට තුළ පැහැදිලි ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කර ඇති බව  සිහිපත් කළ  ජනාධිපතිවරයා වැඩිදුටත් සඳහන් කළේ, වත්මන් රජයට මෙම යුගයේ ඇති වූ ගැටලුවලට නොව පසුගිය ආණ්ඩු සමයේ ඇති කළ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බවයි.

    ඔවුන්ම ඇති කළ ගැටලු මතු කරමින් එදා ආණ්ඩුවේ සිටි අයම අද රජයට විරුද්ධව උද්ඝෝෂණවල නිරතවන බව පැවසූ ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාවට නංවන අතර ඔවුන් ඇති කළ ගැටලුවලට පිළිතුරු සෙවීමට වැඩි කාලයක් වැය කිරීමට  සිදුව ඇතැයි ද පැවසී ය.

    ඒ කතාවට බෲටස්ටත් ලැජ්ජ හිතිලා

    0

    ඒ කතාවට බෲටස්ටත් ලැජ්ජ හිතිලා

    වයිරසේ රටේ හතර අත ආයෙත් පැතිරෙන්න ගත්තැයින් අමරබන්දුගේ වඩු මඩුවට වැඩ අඩුය. මෙහෙම ගියොත් වයිරසේ වැළදෙන්න කළින් බඩ ගින්නෙ මැරෙන්න වෙන්නේ යැයි කිහිපවරක් ගෙදර උන්දැ කුස්සියේ සිට තමන්හට ඇසෙන්නට කීවා ඔහුට විඩෙන් විඩේ සිහිපත්වේ. එනයින් අමරබන්දුහට වැඩ අඩු වුවත් සිතන්නට නම් බොහෝ දේ තිබුණි. ඔහු යතුකැටය පැත්තකින් තබා මඩුවේ එළිපත්තේ ඇණතියා ගත්තේ සිතන්නටය. ඔහේ කල්පනා ලොව පාවී යමින් සිටි අමරබන්දු මඩුවේ සාදා නිම කළ දොර පියන් අතරේ සැගව සිටිනා මිනිසා දැකීමෙන් ඔහු එතෙක් සැහැල්ලුවෙන් සිටි ලොවින් වයිරස් සහිත පියැවි ලොවට ක්ෂණයෙන් පිවිසියේය.

    රතු වාටියේ සුදු සේල පිළි හැද සිටි ලන්සි සමක් සහිත මිනිසා දෑතින් සිය මුහුණ වසා දොර පියන් අතර හිද සැගව සිටියි.
    ‘මේ මොකාද බොලේ මේ’ කියාගත් අමරබන්දු සිය නළලේ නැගි දාහය පොල්ල පිස දැමුවේ හදිසියකදී ඔලුව මුදුනට පතබෑමට ළගපාත වූ බැලන්ස් පොල්ලද සුරතට ගනිමිනි.

    ‘මු..මුන්නැහේ කවුද’ අමරබන්දු ඇසුවේ බීරාන්තවය.
    මුහුණ ජම්බු ගෙඩියක් මෙන් රතුවී සිටි උස මහත ලන්සියා අමරබන්දුගේ පැනයට පිලිතුරු බැන්දේ ලැජ්ජාවෙන් වටපිට බලමිනි
    ‘සැල්වි සිඤෝරෙ.. මම බෲටස්’
    ‘මොකා කිව්වා’
    ‘බෲටස්’ ඔහු නැවතත් කීය.
    බෲටස් කීවෙ ට්‍රැක් තුනේ බේකරියෙ පිටි මෝලිය අනන බෲටස්ද? මොකෝ මලයො මේ ඇදුම්, දැන් ඔහේ ටීටරුත් නටනවැයි. සිදුවී තිබෙන විපරීතයෙන් හොදටෝම කැළඹුනු අමරබන්දු ඇසුවේය.
    ‘සිඤෝරෙ මේ මොනව කියනවද, මොන බේකරියක්ද. මම බෲටස් අර සීසර්ගෙ මාලිගාවෙ …. සෙනෙට් එකේ හිටියේ… ඇයි අනේ සීසර්ට පිහියෙන් ඇන්නේ’ සැගව සිටි මිනිසා කියාගෙන ගියේය.

    එතකොට අන්තෝනියෝ නෙවෙයිද සීසර්ව මැරුවෙ? අර පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී නෝන කෙනෙක් මේ ළගදි බෙරිහන් දුන්නේ. අමරබන්දු ඇසුවේ කුතුහලයෙනි.
    ඒකතමයි සිඤෝර් ප්‍රශ්නෙ. මමත් මේ ඔය කියන පාර්ලිමේන්තුව පැත්තට යන ගමන් ඕක කියපු සිඤෝරාව හොයාගෙන. මට දැන් ඉන්න තැනක ඉන්නත් නැහැ, හැමෝම මගෙන් අහන්නේ ඔය ප්‍රශ්නෙමයි. හැමෝටම දැන් සැකයි සීසර්ට පිහියෙන් ඇන්නේ මේ බෲටස්මද කියලා.
    ශතවර්ෂ ගාණක් ලෝක ජනතාව විශ්වාස කරගෙන ආපු ඒ ඉතිහාසය එක මොහොතකින් මේ යෝධි විනාශ කරල දැම්මනෙ.

    ‘අයියෝ..සන්තා මරීයා’ බෲටස් උත්තමයා අහස දෙසට දෑත් ඔසවමින් විලාප තියන්නට ගත්තේය.

    ඕක ඔහෙට අඩන්න තරම් මහ දෙයක්යැ බෲටස් උන්නැහෙ, මේ පුංචි ලංකාව මෙච්චර බෙල්ලටම එරිලත් මේ අපි ඉන්නෙ රෝමය ගිණිගත්තත් සුපිරියට වීනාව වයාගෙන. අමරබන්දු සොවින් තැවෙමින් සිටින බෲටස් හට කීවේ ඔහුව සනසන අටියෙනි.
    ‘ලංකාව වගේ උනා නම් කොච්චර දෙයක්ද ඒකට රෝමෙ… මේ චූටි දේ මහපරුවතයක් තරම් කර ගන්නවනෙ. දැනටමත් මට මීම්ස් හැදිල ෆේස්බුක් එකේ, පාරක තොටක යන්න නැහැ.

    අනික මම තවමත් කල්පනා කරන්නෙ ඔහෙලාගෙ රටේ පාර්ලිමේන්තුවෙ ඉන්න උදවියවත් ඉංග්‍රීසි සාහිත්‍ය පොතක්, වේදිකා නාට්ටියක් බලන කෙනෙක් නැද්ද කියල. අර උන්දැ තමුන්ගෙ බෙල්ලෙ පාළුවට තියෙන හිස් කබලෙන් ගොතල ජුලියස් සීසර් ගැන මෙච්චර කෙප්පයක් ඇදබාද්දිත් නැහැනෙ කිසිම කෙනෙක් ඒ කතාව නැගිටල නිවැරදි කළේ. දැන් සීසර්ව මැරුවෙ මම නෙවෙයි කියල ඔහේලාගෙ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එකෙත් වාර්තා උනානෙ. ‘හපොයි සන්තා මරීයා’. බෲටස් උත්තමයාගේ අඩෝවැඩියාව නවතින පාටක් නැත.එනයින් උන්දැගෙන් අමරබන්දුහටද ගැජවිජ්ජාවක් නොමැති හැඩය.

    අනේ උන්නැහේ ඕක ඔච්චර ගණන් ගන්න එපා.. අපේ කට්ටිය පාර්ලිමේන්තුව ඇතුලෙ කියවන දේවල් රටේ මිනිස්සු වෙච්චි අපිවත් ගණන් ගන්නේ නැති කොට, ඕක මොකක්ද. බෲටස් උත්තමයාගේ අදෝනාව ඉවසා බැරිම තැන කිවේය.

    ‘මොකක්.. පාර්ලිමේන්තුව ඇතුලෙ කියන දේවල් රටේ මිනිස්සු ගණන් ගන්නෙ නැහැ.. මොන හරුපයක්ද සිඤෝර් ඒ. අන්දුන්කුන්දුන් වී ගිය බෲටස් උතුමන් පෙරළා ප්‍රශ්න කළේය.

    පාර්ලිමේන්තුව කියන්නේ බිල්ඩිමක් විතරයිනේ උන්නැහේ, ඕක ඇතුලෙ ඉන්න උදවිල ඉදල හිටල ඇවිත් බික් බික් ගාල මොන මොනවදෝ දොඩනවා, සමහර වෙලාවට කුණු පරුසෙන් බැන ගන්නවා, තවත් වෙලාවකට මිරිස්කුඩු වලින් පවා ගහ ගන්නව. ඒත් රටේ මිනිස්සු වෙච්චි අපිට නම් වැඩක් උනේ නැහැ, කොටින්ම මිනිස්සුන්ට වැඩකුත් නැහැ ඒ නසරානි කරන කියන දේවල්. ගමේ කොල්ලො නම් කියන්නෙ පාර්ලිමේන්තුව කියල එකක් නැහැලු, පාර්ලිමේන්තුව කියන්නෙ අපේම සෙලවෙන මනසටලු. අමරබන්දු කියවාගෙන යනවිට බෲටස් උතුමන්ගේ මුඛය විශ්මයෙන් කුල්ලක් තරම් පළලට ඇරී තිබිණි.

    ‘ඇයි රෝමෙ එහෙම නෙවෙයිද?’ බෲටස් උතුමන්ගේ විශ්මය දුටු අමරබන්දු විමසුවේය.

    අමරබන්දුගේ ඇසූ දෙයින් මෙතුවක් හඩමින් විලාප තියමින් සිටි බෲටස් උත්තමයා හට සිනහ පහල විය.

    ඔය කතා වලින් වැඩක් නැහැ සිඤොර් මට ඔහේලගෙ පාර්ලිමේන්තුවට යන පාර කියනවකො මේකෙ දෙකෙන් එකක් විසද ගන්න. බෲටස් උත්තමයා බැගෑපත්විය. එවන් උත්තමයෙක් මෙතරම් බැගෑපත් වෙද්දී අමරබන්දුගේ සිත වෙඩරුපිඩක්මෙන් දියවී ගියේය.

    ‘අනේ මන්ද උන්නැහේ’ කියා වුවද අමරබන්දු සිය වඩු මඩුව වසා දමා දියවන්නාව දෙසට බෲටස් උත්තමයත් සමගින් ඇදෙන්නට විය.

    දියවන්නාවේ පාර්ලිමේන්තු හන්දියේ කොණක නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයේ හිද දෙතොලේ ලිප්ස්ටික් තවරනා ගැහැණිය දුටු අමරබන්දුගේ හා බෲටස් උත්තමයාගේ වෙහෙසකර ගමන මදකට නතරවිය.
    ‘මේ සිඤෝර් අර ඉන්නෙ මම කියාපු යෝධි නේද?’ බෲටස් උත්තමයා දුරතියාම ජීප් රියේ හුන් ගැහැණිය හදුනාගත්තේය.
    ‘ඔහේ ඉන්න මම කතා කරල බලන්නම්’ කොයිකටත් කියා අමරබන්දු ඉස්සර විය.

    ‘නෝනා මේ අපි…’ අමරබන්දුහට කියන්න ලැබුනේ එපමණකි. ඇය හරිම කතා පෙට්ටියකි.
    ‘ආනේ අමරබන්දු අංකල් ඔයා කාලෙකින් දැක්කෙ.. මම මේ රටටම සල්ලි බෙදන්න යන්න කලින් පොඩි මේකප් එකක් දාගත්තා’ ඒ වනවිට අමරබන්දු පමණක් නොව බෲටස් උත්තමයාද උතුර දකුණ මාරු වී හුන්නහ.
    ‘අංකල් ඔයා ඇහුවද මගේ පාර්ලිමන්ට් එකේ ස්පීච් එක..’ බුරුසුවකින් මුහුනේ පාට උලන ගමන් ඇය ඇසුවාය
    ‘මොන.. අර විස්සට අත උස්සල..’
    ඔව් අනේ සුපර් හිට් නේද ඒක.. කට්ටිය හොල්මන්..ආ’ ඇය තුටින් ඉපිලෙයි.
    ‘ඔව්, නෝනෙ අත උස්සපු ගමන් මුලු රටම හොල්මන්, අපිට හිතා ගන්න බැරුව ගියා ඒ මහත්තය දාල මේ මහත්තයගෙ පැත්තට පැන්නවත් දෝ කියල’ අමරබන්දු සිනහවෙන්ම පිළිතුරු දුන්නේය.
    ‘මම දැන් සෞභාග්‍යයේ දැක්මටනෙ අත හිත’
    නෝනෙ එදා ඔබ තුමිය කිව්වෙ.. අර සීසර් මැරුවෙ අන්තෝනියෝ කියල .. ඒ කතාව වැරදියිලු නේද? අමරබන්දු මාතෘකාවට පැමිණියේය.
    අනේ අංකල් මගේ වැඩේ කෙරුනට පස්සේ සීසර්ව අන්තෝනියෝ නෙවෙයි සූර පප්පා මැරුවත් මට මොකෝ.. ඔය පොඩ්ඩ වැරදුනැයි කියල මොකෝ රෝමෙ ගිණි ගන්නව කියල යැ, අපි හම්බ කොරොත් අපි කනවා ‘ ඇයගේ කතාවට බෲටස් උත්තමයාගේ කට හබස් ගා ඇරෙනු අමරබන්දුට ඇසුනි.
    ‘මේ සිඤෝර් මේ වැඩේ හරියන්නේ නැහැ අපි යං යන්න’ බෲටස් උත්තමයා හොදටෝම කලකිරී සිටියේය.
    ‘ඒකනෙ මම කිව්වෙ මේ අපි ආවෙ බොරු ගමනක් කියලා’ අමරබන්දු කීවේ තරහෙනි.
    ‘එහෙනම් අපි එන්නම් නෝනෙ’ කියා ඒ පාර්ලිමේන්තු නෝනාට සමුදී දෙදෙනා ආපසු හැරෙනේ හිස් අතින්ම ආපසු එන්නටය.
    ‘මිසිස් අමරබන්දුව මතක් කළා කියන්න අංකල්’ යැයි පාර්ලිමේන්තු නෝනාගේ කියුමට පිළිතුරු දුන්නේ අමරබන්දු නොව බෲටස් උත්තමයාය
    ‘එහේ ප්‍රින්සස් ඩයනත් ඉන්නව මම කියන්නං ඔයා එයාවත් මතක් කළා කියලා’ බෲටස් උත්තමයාගේ හඩේ ගැබ්ව තිබුනේ කේන්තියක්ද කලකිරීමක්ද යන්න හරියටම සොයා ගැනීමට ඒ මොහොතේ අමරබන්දු අපොහොසත් විය.

    තිලංග ෆොන්සේකා

    සැගවුනු උත්තමයෙක් සොයා රට පුරා මෙහෙයුම්

    0

    මැටි හට්ටියේ හොදි මණ්ඩිය බතේ අනාගෙන කන්න අමරබන්දු කවදත් රුසියාය. ඒ වග දන්නා ඔහුගේ ගෙදර උන්දෑ ඉතිරි වූ ව්‍යංජන ඩිංගිත්ත බතේ අනා ඔහුට දික් කළේ ඇගේ කණ වැකුනු ඕපාදූපයක් ද කියාගෙනමය.

    ‘අර සෝමා අක්කගේ ලොකු කෙල්ලටත් වයිරසේ බෝ වෙලා කියන්නෙ’ ඇය කීවේ ඔලොක්කුවට මෙනි.

    ‘ඉතිං’ අමරබන්දු කරබාගෙන අනාගත් බත් ගුලි ගිල්ලේ ඇගේ ඕපාදූපය ඇසුනු නෑසුනු තරමටය.

    ‘ඉතිං කියන්නේ… මතක නැද්ද අපේ කෙල්ල මැසිම පාගන්නෙ ගමේ පැක්ටේරියේය ඒකිගෙ එකී කොරන්නෙ කොළඹය කියල මහ උජාරුවට හන්දි හන්දි ගානේ පාරම් බෑවෙ, දැන් ඔය කොරගෙන තියෙන්නෙ මහ ලොකුවට කොළඹ කියල ගොහින්’  ඇය සිහිපත් කළේ ආරූඪ කොටගත් කේන්තියකිනි.

    ‘ඔහේ කොහොමද දන්නේ ඒකිට වයිරසේ බෝ වෙලා කියලා.. මුසාවක් වෙන්න ඇති’ අමරබන්දු පැවසුවේ ගණනකට නොගනිමින්ය.

    ‘ඔහේ දන්න ඉටි ගෙඩිය. ඇයි අනේ අර ප්‍රවෘත්ති මහත්තුරු ටී වී එකෙත් කිව්වෙ. ඒකි ගෙදරනේ හැංගිලා ඉදල තියෙන්නෙ.

    ප්‍රවෘත්ති මහත්තුරු කොළඹ ඉදල මහා මෙහෙයුමක් කොරලලු ඒකිව කොටු කරගෙන තියෙන්නෙ.

    ‘මේකි ගෙදෙට්ටම වෙලා හිටියට නොදන්නා දෙයක් නැති හැටි’ එවර අමරබන්දුහට සිය ගෙදර උන්දැ පිලිබදව ඇතිවූයේ සියුම් ආඩම්බරයකි.

    ඔහෙ කොහොමෙයි මෙච්චර හරියක් දන්නෙ හැබෑටම, අමරබන්දු ඇසුවේ විමතියෙනි.

    මේ ඔහේ මොනව අහනවැයි, ඔහේ කොළඹගිහින් අර බෝම්බ කොමිසමේ වැටෙන් රිංගන ඩිංගිත්තට මෙහෙ මොනතරම් දේ වුනාද?

    අම්මේ මෙහේ පදුරක් පදුරක් ගානෙ ප්‍රවෘත්ති මහත්තුරු කැමරා අටවල තිබ්බේ. සමහර තැන්වල ඒ ඇත්තො වෙස් වලාගෙනත් ඉදල තියෙනව කියන්නෙ. ඔහෙට කියන්න ළමයින්නෙ තාත්තෙ, මේකි ගෙදර ඇද යට හැංගිලා ඉන්දැද්දි මේං මෙහෙම අතදාල බෙල්ලෙන් අල්ලලානෙ එළියට ඇද්දේ’ ගෙදර උන්දැ සිද්ධිය ත්‍රාසජනක හොලිවූඩ් චිත්‍රපට ජවනිකාවක් මෙන් විස්තර කරන අන්දම අමරබන්දු නෙත් කන් යොමා සිටියේ ගිළිමින් සිටි බත් ගුලිය සැපීමද මදකට නවතාලමිනි.

    ප්‍රවෘත්ති උත්තමයො නැතිවෙන්න මේ බොන්ඩි ඒකිගෙ වයිරසේ මුලු ගමටම බෝ කරලා. ඇය පැවසුවේ මහත් ආවේගයකිනි.

    එතකොට ඕකි ඇදන් අස්සෙ හැංගි හැංගි හිටියෙ කාට බයේද ආණ්ඩුවෙන් උන්ගෙ දේපල රාජ සන්තක කරයි කියලද? අමරබන්දු විමසුවේ විශ්මයෙනි.

    මොන පිස්සුද, ඕකි හැංගිලා ඉදල තියෙන්නෙ ප්‍රවෘත්ති මහත්තුරුන්ගෙ කැමරාවට බයේ කියන්නෙ. ඇය කීවේ මහත් විශ්වාසයකිනි.

    අප්පේ බලන්න එපායැ ඒ උන්දැලගෙ කැමරා වල තියෙන ගාම්භීරෙ හරියට කැලේ වල් ඌරන්ට බදින ගිණිපොල්ල වගේ, බයිනෙත්තු කැලේ. ඇය කීවේ හූමිටි තියමිනි.

    ‘ගෙදර කවුද, අපි නීතිය කරන කන්තෝරුවෙන්, දොර අරින්න කඩන්න කලින්’ එළිපත්තේ සිට කවුරුන්හෝ බෙරිහන් දෙන හඩින් අමරබන්දුගේ හා ගෙදර උන්දැගේ විනෝදසමය මදකට නිමා විය.

    කලබලයට ඉදුල් අත සරමේ පිස දමා ගත් ඔහු කඩි මුඩියේ දොර වෙත දිවගියේය.

    ‘ක..කවුරු කිව්වා’ අමරබන්දුගේ සිත සැලෙයි.

    ‘දොර ඇරපන් මිනිහෝ, අපි නීතිය කරන කන්තෝරුවෙන්’

    අමරබන්දු දොර විවර කළේය. නීතිය කරන කාකි පැහති මහත්තුරු රැලක්ම ඔහුගේ ගෙතුලට කඩා වැදුනි.

    ‘අපිට තමුන්ගෙ ගේ පරීක්ෂා කරන්න ඕනෙ, කාකි කමිසයට උඩින් හරහ කළු පටියක් පැළද හුන් මහතැන් ගිගුරුවේය.

    එසැණින් නීතිය රකින කාකි මහත්තුරු අමරබන්දුගේ නිවස කණ්පිට පෙරළන්නට පටන්ගත්තෝය. සාලෙ පුටු යට, ඇදන් යට, කුස්සියේ හිරමනය යට, කුල්ල යට, නෑඹිලියෙ දාරයක් ගණනේ කුමක් හෝ සොයන්නට වූහ.

    ‘මොනවද මහත්තයො හොයන්නේ… අපේ කාටවත් වයිරසේ බෝ වෙලා නැහැනෙ’ සිදුවන්නේ කුමක්දැයි කිසිත් වටහා ගැනීමට නොහී අමරබන්දු මහත් බයාදු හඩින් විමසුවේය.

    ඔහේගෙ ගෙදර විතරක් නෙවෙයි උනැනැහේ අපි කණ්ඩායම් හයක් මුළු රටේම ගෙවල් පීර පීර හොයනවා. කාකි මහත්තයෙක් කීය.

    කාවද මහත්තයා? අමරබන්දු ඇසීය

    “ඇයි ඕයි රටේ තොටේ දේවල් ගැන සිහියෙන් නෙවෙයිද ඉන්නේ? අපි මේ පණ දාගෙන හොයන්නෙ අපිට වෙට්ටු දදා හැංගිලා ඉන්න…. කියන විට අමරබන්දු කතාව මැදින් පැන්නේය.

    “වයිරසේ බෝ කරගත්ත එකෙක්ද සෑර්” කාකි උත්තමයාගේ කතාවට මැදින් පැන්න අමරබන්දු හට තව කට දාන්න ගියහොත් වැඩේ වරදින බව වද මලක් මෙන් රක්ත වර්ණ වී කේන්තියෙන් පිපෙන්නට වූ කාකි මහත්තයාගේ මුහුණ දැකීමෙන් ස්ථිර විය.

    “පිස්සුද අයිසෙ.. වයිරස් බෝ කර ගත්තු එවුන්ව හොයන්නේ ප්‍රවෘත්ති වාර්තා කරන මහත්තුරුනේ, අපි මේ හොයන්නෙ දේශපාලන උත්තමයෙක්ව. ඒ යක්ෂයා හැංගෙන තැන ගෙදර ගෑණිටවත් කියල නෙවෙයිනෙ ගිහින් තියෙන්නෙ. දැන් ඉතින් උසාවියෙන් ඒකව අත් අඩංගුවට ගන්න එපා කියලා නියෝගයක් එනකල් මේ යකාව අපි හොයන්න එපැයි.

    අමරබන්දුගේ කුස්සියේ සැගව හුන් දේශපාලකයෙක් තියා පාර්ලිමේන්තු බිත්තියේ එල්ලෙන හූනෙක් වත් නැති බව ටක්කෙටම සහතික කර ගත් නීතිය රකින කාකි මහත්තුරු කණ්ඩායම ගුරුපාර දිගේ විමලෙ මලයලාගේ නිවස වෙත ඇදෙනු දැක අමරබන්දු දොරකඩට වී “අනේ අනිච්චං’ යයි කියා හීල්ලුවේය.

    මේ අතර දවස පුරා රුසියන් සුරංගනා කතා කටපාඩම් කරන අමරබන්දුගේ මද්දුමී මෙසේ කීවාය

    “ඔය දේශපාලකයා හොයන වැඩේ බාබායිගා යකින්නට පැවරුව නම් වැඩේ ඉවරනේ, එයා මැජික් කොස්සෙන් බිරියෝසා ගස් අඹරගෙන අහසින් ගිහිල්ලා ඕකව බෙල්ලෙන්ම අල්ලාගෙන එනවනේ” ඉන් අමරබන්දුහට සිනහ පහල විය.

    ධාවන පිටියේ නළ දත්කාරී – මේරියන් ජොන්ස්

    0

    ලංකාවේ මළල ක්‍රීඩා ඉතිහාසය වර්ණවත් කරන එකම ඔලිම්පික් පදක්කම ගෙන එන්නී සුසන්තිකා ජයසිංහයි. ඒ 2000 වර්ෂයේ සිඩ්නි නුවර පැවති සමර් ඔලිම්පික් තරගාවලියේ කාන්තා මීටර් 200 තරග ඉසව්වෙන්. එම තරගයේ ඈ තෙවැනියා වෙද්දී ඉතා පහසුවෙන් මෙන් පළමු තැන දිනා ගන්නේ ඇමරිකාව නියෝජනය කළ මේරියන් ජොන්ස් නැත්නම් මේ ලිපියේ කතානායිකාවයි. නමුත් ඇගේ ඔලිම්පික් රන් පදක්කම පසු කාලයක අහිමි වන්නේ අපේ සුසන්තිකා ට රිදී පදක්කම හිමි කර දෙමින්.

    නීතිවිරෝධී ක්‍රීඩා උත්තේජක භාවිතාව නිසා එවක ක්‍රීඩා ලෝකය ට ඇය වැරදිකාරියක වුවත් ලොව පුරා ඇයට ආදරය කළ සුවහසක් ක්‍රීඩා ලෝලීන් ට ඇය වෙනුවෙන් වන ආදරය හැර දමන්න එය හේතුවක් වන්නේ නැහැ. ජවාධික ක්‍රීඩාශීලී සිරුරට වඩා මේරියන්ට ආභරණයක් වූ නළ දත් පෙන්වන ප්‍රසන්න සිනහව ක්‍රීඩා ලෝලීන්ට ඇයව කිසිදා අමතක නොවන්න එක හේතුවක්.

    බ්‍රසීලියානු සම්භවයක් සහිතව 1975 දී ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හි උපත ලබන මේරියන් ලොයිස් ජොන්සන් පවුලේ සම්බන්ධකම් මත වෘත්තීය ක්‍රීඩාව අරඹන්නට තීරණය කරන්නේ වයස 15 දී පමණයි. ඒ වෙද්දී ඇය ඇමරිකානු උසස් පාසල් අතරේ බාස්කට් බෝල් සහ මළල ක්‍රීඩා අංශ වල කැපී පෙනෙන තරුවක්. නෝර්ත් කැරොලිනා විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් පවා හිමි වන්නට පාසල් අවධියේ ඈ පළ කළ ක්‍රීඩා ප්‍රතිභාව හේතු වූ බව සදහන්.

    නමුත් ලෝකය ඇය හඳුනා ගන්නේ මළල ක්‍රීඩිකාවක ලෙසයි. ඇගේ ක්‍රීඩා දිවියේ කූටප්‍රාප්තිය ලෙස සැලකෙන 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ ඇය විසින් දිනා ගන්නා පදක්කම් ගණන 5ක්. මේ නිසාම මුළු උළෙලේ ම ඇය කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වන්නට වාසනාව ලබනවා. ඇගේ පුහුණුකරු වන්නේත් එවක ඇගේ සැමියා වන සී. ජේ. හන්ටර්. ඔහු විසින් මේරියන්ට තහනම් උත්තේජක එන්නත් කරන ලද බව පිළි ගැනීමෙන් පසු ඇය දිනූ පදක්කම් සියල්ල අහිමි වනවා පමණක් නොවෙයි විවාහ ජීවිතය ද දෙදරා යනවා. එම සිදුවීම් අළලා ඈ විසින් පසු කාලයේ “Marian Jones : Life in the fast lane” නම් ස්වයං චරිතාපදානයක් සම්පාදනය කරනවා. 2004 ඔලිම්පික් උළෙලේ දී ඈ අසාර්ථක වන්නේත් තවත් කම්පනයක හෙලමින්. 2007 දී සිඩ්නි ඔලිම්පික් උළෙලේ චෝදනා විභාගය අවසන් කර තීන්දුව ලැබෙන්නේ ඇය වැරදිකාරියක කරමිනුයි. ඒ වෙනුවෙන් ක්‍රීඩාවෙන් සමුගැනීමටත්, මාස හයක සිර දඩුවම් විදීමටත් ඇයට සිදු වෙනවා.

    2010 දී නැවතත් ඇය විසින් තම ජීවිතය අළලා “Right Track: From Olympic Downfall to Finding Forgiveness and the Strength to Overcome and Succeed” නමින් පළ කරනු ලබන්නේ ඔලිම්පික් පදක්කම අහිමි වීමෙන් පසු ඇගේ ජීවිතය යථා මාර්ගයට ගැනීමට ඈ දරණ උත්සාහය ගැනයි. 2010 වසරෙන් පසු මළල ක්‍රීඩාවට සමු දුන්නත් ඇය ක්‍රීඩාව අත නොහරින්නේ පාසැල් අවධියේ සිට දක්ෂතාව දැක්වූ බාස්කට් බෝල් වෙතට යළි යොමු වෙමින්. එම වර්ෂයේ ම ඇමරිකාවේ ජාතික කාන්තා බාස්කට් බෝල් සංගමය ට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වන්නේත් දෛවය නැවත ඇයට ක්‍රීඩා පිටිය හිමිකර දෙමින්.

    ජීවිතයේ හැල් හැප්පීම් බොහොමයකට බඳුන් වන මේරියන් 2007 වර්ෂයේ දී ම සිඩ්නි ඔලිම්පික් පදක්කම්ලාභියෙකු වන ඔබඩේල් තොම්ප්සන් හා විවාහ වෙනවා. මේ දක්වා ඔහු සමග බිරිඳක හා මවක ලෙස සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන ඇය මේ වන විටත් ක්‍රීඩාවේ තම නැගී සිටීම්, බිඳවැටීම් ඉදිරි පරපුර වෙත පහදා දී ඔවුන්ගේ අනාගත අරමුණු යහපත් කරන්නට දේශන හා වැඩමුළු බොහොමයකටද සම්බන්ධ වෙමින් සිටිනවා.

    කාලයක් කාන්තා මළල ක්‍රීඩාවේ ආකර්ෂණීයම ක්‍රීඩිකාව වෙමින්, ඉන්පසුව ඔලිම්පික් ඉතිහාසයේ එක් කළු පැල්ලමකින් අපකීර්තිය පත් වෙමින්, ඊට දඩුවම් ලබමින්, නමුත් යළිත් උත්සාහය අත නොහැර ක්‍රීඩාවේ නව මාවතකින් යළි නැගී සිටීමට යත්න දරමින් මේරියන් ජෝන්ස් ලෝකයට පළ කරමින් සිටින්නේ ඇය යනු අමතක කළ නොහැකි චරිතයක් බවයි. තවමත් ඒ මුව මත නළ දත් පෙන්වා පළ කරන ආකර්ෂණීය සිනහව පෙන්වා සිටින්නේ ඒ කතාවයි.

    පිළිකන්න දොරෙන් අමරබන්දු විමසූ සාක්ෂිය

    0

    අමරබන්දු බසයෙන් බැස කොලොම්තොට සිරි නරඹමින් වීදි දිගේ ඉදිරියට ඇදෙන්නට වූයේ කහට වීදුරුවකින් සප්පායම් වීමට කඩ පිලක් සොයමිනි.

    අප්පුහාමි එනව පෙනෙනවා

    ආපහු යනව පේනෙනවා

    ප්‍රශ්න ඇහුව ඇහෙනවා

    උත්තර දෙනව ඇහෙනවා

    යැයි තාලයට ගයමින් තමන්ගේ මුහුණට මුලිච්චිවී ගෙන දිව යන කොලු කුරුට්ටා එසේ ගැයුවේ තමන් අවමානයට ලක් කිරීමට යැයි සිතූ අමරබන්දු ඔහුගේ සුරතින් අල්ලා බලහත්කාරයෙන් මෙන් නතර කොට ‘මොකාටද කොල්ලො තෝ අප්පුහාමි කියල කියන්නෙ’ යැයි විමසුවේය.

    ‘ඇයි මාමා අර පෝලිමට එන්නේ අප්පුහාමිල උත්තර බදින්න’ කොල්ලා කියූ අණ්ඩර දෙමළයක් අමරබන්දුහට වැටහුනේ නැත.

    ‘මොන හරුපයක්ද බං’ අමරබන්දු ඇසුවේ එහෙයිනි.

    ‘ඇයි අනේ ඔයා දන්නෙ නැද්ද … කොමිසම.. කොමිසම’ කොල්ලා කීය

    ‘මොන’ අමරබන්දු තවදුරටත් අන්දමන්ද වී සිටිනු දුටු කොලුකුරුට්ටාගේ ඉවසීමේ කට්ට පැන්නේය.

    ‘අයියෝ ඔයා නං වැඩක් නැහැ, ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ.. දන්නෙ නැද්ද අර සහරාන්ගෙ බෝම්බ කොමිසම.. අර කට්ටිය එන්නෙ පෝළිමේ’ කොලුකුරුට්ටා කියාගෙන යන්න ගියේය.

    අමරබන්දු කොමිසම කිට්ටුවට යනවිට එහි සහලෝල සෙනගය. මුහුණු එල්ළාගෙන පැමිණෙන ලොකු මහත්තුරුන් මුඛවාඩම් ගළවා ඊට ඇතුළුවනු අමරබන්දු දුර තියා නිරීක්ෂණය කළේය. ගොඩනැගිල්ල ඉදිරිපිට ‘සහරාන්ගේ බෝම්බ කොමිසම’ යැයි ලියූ කළු සුදු පුවරුවකි. නීතීඥ මහත්තුරු පොලෝසියේ මහත්තුරු මෙන්ම මයික්‍රෆෝනයේ පොඩියට පෙට්ටියක් සවි කොට අතෙහි හොවාගත් මාධ්‍ය මහත්තුරුද එහි වූහ.

    හීන්සීරුවෙ වැටෙන් රිංගා ගත් අමරබන්දු කොමොසමේ පිලිකන්න දොරට කණ තබා ඇතුලේ සිදු වන්නේ කුමක්දැයි විපරම් කළේය.

    “ප්‍රහාරය දවසෙ ඔබ කොහෙද සිටියේ’

    ‘ගෙදර ස්වාමීනී’ කෙනෙක් ප්‍රති උත්තර බදියි

    ගෙදර මොනවද කළේ

    ‘ගෙදර බල්ලව නෑව්ව ස්වාමීනී’

    එතකොට ප්‍රහාරයට කළින් දවසෙ?

    ‘ඒත් ගෙදර ස්වාමීනී’

    මොනවද ගෙදර කළේ

    ‘බල්ලා නාවන්න වතුර රත් කළා ස්වාමීනී’

    එතකොට තමුන්ව මේ ප්‍රහාරය පිලිබදව වගකිව යුත්තන් දැනුවත් කළේ නැතිද?

    ‘කැන්ටිමේ තේ බොද්දි, හැලප කද්දි ඒවගේ කතා කට්ටිය කතා වෙනව ඇහුනා, ඒත් ඒව මට කිව්වෙ නම් නැහැ ඕං ස්වාමීනි, ඇරත් කවුද අම්මපා හිතන්නේ ගහයි කියල මේ වගේ ලවක් දෙවක් නැති වෙන්න ගහයි කියල.

    ‘එහෙම මට කවුරු හරි කිව්ව නම් ඔන්න මොනවම හරි කරන්න තිබ්බා, අඩුම තරමේ ඔය ප්‍රහරය නවත්තන්න තිබුණා සහරාන් ඇවිල්ල මිනිහගෙ ප්ලෑන මගෙත් එක්ක කිව්ව නම්. එහෙම නැතුව මම කොහොමද මෙච්චර දෙයක් වෙයි කියල තනියෙං හිතන්නේ ස්වාමීනී, මල විකාර’

    ‘මම නම් රටේ හිටියෙ නැහැ ස්වාමීනී, ගැහුව කියල දැනගත්තෙත් පත්තරෙන්’

    ‘මාත් එක්ක ආප්ප කාපු එකෙක්වත් මට කිව්වෙ නැහැනෙ මෙහෙම අටමගලයක් ගැන ස්වාමීනී. කලින් දැන ගත්ත නම් අම්මප මොනවම හරි කරනව. අඩුමතරමෙ ජාතිය අමතල කතාවක් කරන්න හරි තිබ්බා ස්වාමීනී.

    ‘එතකොට ඔබට මේ ප්‍රහාරය ගැන වගකීමක් නැද්ද?’

    ‘ස්වාමීනී ඔබ වහන්සේ මේ මොනව කියනවද මම කොහොමද හිටං මේ ප්‍රහාර වල වගකීම ගන්නේ කවුරුත් මට කිව්වෙ නැහැනෙ’

    ‘අනේ මම කිව්ව ස්වාමීනී, ලියුම් කීයක් ගැහුවද’ ඒ තවත් කටහඩකි

    ‘මම කියපුදේ මේ කවුරුත් ඇහුවෙ නැහැ ස්වාමීනී’

    ‘මේ පච කෙළින්න එපා අය්සෙ, තමුන් කොහෙද අපිට කිව්වෙ, කිව්වනම් මෙහෙම දෙයක් වෙනවද’ තවත් අයෙක් උස් හඩින් බෙරිහන්දෙයි.

    ‘අම්මෝ… බලන්න ස්වාමීනී මේ ලොකු මහත්තුරු කියන බොරු….’ කිව්ව ස්වාමිනී මම කිව්වා’ ඔහු හඩා වටෙයි.

    බොරු කියන්න එපා අයිසෙ .. බොරු කියන්න එපා ‘ නැවතත් උස් හඩින් කිහිපදෙනෙක් බෙරිහන් දෙන හඩ අමරබන්දුහට ශ්‍රවණය විය.

    ‘ඕඩර්… ඕඩර්’ එවර ස්වාමීනී ගේ හඩ ඇසුනි.

    ‘දැන් මෙතැන ඉන්න එකෙක්වත් ජාතික ආරක්ෂාව ගැන වගකීම ගන්නේ නැද්ද? අඩුමතරමෙ අර මැරිච්ච තුන්සිය දෙනා ගැන හිතලවත්’ ස්වාමීනී ඇසුවේය.

    ‘අපි මොකට වගකීම ගන්නවද, මොකෝ අපේ කවුරුවත් මළා යැ, ආන්න එහෙම වුනා නම් මොනව හරි කරන්න තිබුණා’ සාක්ෂියට පැමිණසිටි සැවොම එක හඩින් පිලිතුරු බදිනු අමරබන්දු හට ඇසුණි.

    අග්‍රාමාත්‍ය උපදේශක තනතුරට වෛද්‍ය සමන් වීරසිංහ මහතා පත්කරයි

    0

    රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති, කැලණිය රාජමහා විහාරයේ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (30) සිට ක්‍රියාත්මක පරිදි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරට පත්කර තිබේ.

    වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඊට අදාල පත්වීම් ලිපිය අරලියගහ මන්දිරයේදී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ දිනයේදී ලබාගෙන ඇත.

    2010-2015 කාල වකවානුවේ එවකට ජනාධිපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපති උපදේශක තනතුර හෙබවු වෛද්‍ය සමන් වීරසිංහ මහතා, 2015 සැප්තැම්බර් සිට 2018 මාර්තු දක්වා රුසියාවේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේය.

    2018 මැයි මාසයේ සිට 2019 නොවැම්බර් දක්වා ජනාධිපති ජාත්‍යන්තර කටයුතු උපදේශක ලෙස කටයුතු කළ වෛද්‍ය සමන් වීරසිංහ මහතා පසුගිය වසර 30ක කාලය තුළ ශ්‍රි ලංකා – රුසියානු ආර්ථික, සංස්කෘතික සහ මානුෂීය සබදතාවන් ඉහළ දැමීම වෙනුවෙන් කැපවී කටයුතු කර තිබේ.

    රුසියානු සමූහාණ්ඩුව,රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පූටින් මහතාගේ නිර්දේශය මත, විදේශිකයෙකු වෙනුවෙන් පිරිනමන ඉහළම සම්මානය වන ”රුසියානු සමූහාණ්ඩුවේ ගෞරව සම්මාන අණාඥාවක් (Order of Honor of the Russian Federation) ” වෛද්‍ය සමන් වීරසිංහ මහතාට පිරිනමා ඇත.

    1983 වර්ෂයේදී රුසියානු -ශ්‍රි ලංකා පුර්ණ ශිෂ්‍යත්වයක් හිමිකර ගනිමින් මොස්කව් වෛද්‍ය විශ්ව විද්‍යාලයට ඇතුළත්වන සමන් වීරසිංහ මහතා එහි ගෞරව උපාධිධාරියෙකි.

    ශ්‍රි ලංකා- රුසියානු මිත්‍රත්ව සංගමයේ මහ ලේකම්වරයා වන වෛද්‍ය සමන් වීරසිංහ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

    අමරබන්දු දුටු ‘සිහින තරුව’

    0

    ‘හයියෝ…..’

    නිවෙස තුලින් එක් වර නැගුණු මහා විලාප හඩින් උඩ ගොස් බිම වැටුණු අමරබන්දු එළිපත්තේ සිට නිවෙස තුල කුමක් වූයේ දැයි ලෑලි ජනේලපියන අතරින් බෙල්ල හොවා බැලුවේය. රූපවාහිනී තිරය ඉදිරිපස රොක්වී සිටින ගෙදර උන්දැත් කෙල්ලො රොත්තත් අහල පහළ එවුන් කිහපදෙනෙකුත් මොකක්දෝ අටමගලයක් නරඹමින් ලවක් දෙවක් නැතිව හිසේ අත ගසා ගනිමින්, මැටි පොළොවට දෑතින් පහර දෙමින්, කළ අපරාධය කළ උන්ට සාප කරමින් සිටිති.’මුන්ට පිස්සු’ යැයි කියාගත් අමරබන්දු නැවතත් ලණුඇදේ ඇල වූයේ තමන් අඩලයට විදිමින් හුන් රාත්‍රී නින්ද නැවතත් ළගා කර ගැනීමේ අටියෙනි. ඔහු අනුමාන කළේ ගෙදර උන් මහ රාත්‍රී ජාමයේ කුමක් හෝ හින්දි පඩංගුවක් නරඹනු ඇති බවයි.

    කුකුළා හඩලද්දී අමරබන්දු අවදි වුවද නිවසේ කිසිවෙකුත් ඒ වනවිටත් අවදිවී නැති හැඩකි. නිදි ගැට කඩමින් තමන් වෙත කහට කෝප්පය දිගු කළවනම ගෙදර උන්දෑ ලොකු එකීට වැඩට රැගෙනයාම සදහා ලිප මෙලවීමට මුළුතැන්ගෙට දිව්වාය. අතේ වූ කහට බෙලෙක්කය බිදුවෙන් බිදුව අවර වෙද්දී සාලයේ එක පෙළට නිදා හුන් එක එකා අවදි වන්නට වූහ.

    ‘තාත්තේ..’වැඩිමහල් එකියගේ හඩින් අමරබන්දු එතුවක් ගිළී හුන් සිහින ලොවෙන් මදකට මෙලොවට පැමිණියේය.’තියෙනව නම් මට රුපියල් දෙසීයක් දෙනවද…”අනිද්දා පඩිගත්තහම දෙන්නම්’වැඩිමල් එකිය යාප්පුවෙන් ඉල්ලා සිටියාය.’රුපියල් දෙසීයක් මොකටද’ අමරබන්දුගේ ඒ ප්‍රශ්නයට පිලිතුරු ලැබුණේ මද්දුමී ගෙනි.’අක්කා ඊයෙ එස්.එම්.එස් ගහල ෆෝන් එකේ සල්ලි ඉවර වෙලා.. ඔය රීලෝඩ් දාන්න ණයට ඉල්ලන්නේ…’යැයි කටකාර මද්දුමී කෑගෑවද ලොකුඑකී ඇගේ කට අතින් වැසුවාය.

    අමරබන්දු පත්වූයේ මහත් උභ්තොකෝටිකයකටය.’අහවල් එස්.එම්.එස් ගැහිල්ලක්ද’ ඔහු ඇසුවේ සිය ප්‍රශ්නයට කෙටි පිළිතුරක් දියණියන් දෙදෙනාගෙන් අපේක්ෂාවෙනි.’ඊයෙ ටී.වී එකේ ගිය සිහින ස්ටාර් තරගෙට එස්.එම්.එස් ගහලා ඔය’ නැවතත් පිලිතුර මද්දුමීගෙනි’අහවල් දේකට උඹල එස්. එම්.එස් ගහනවද’ රුපියල් දෙසීයක් බිත්ති ඇණයේ එල්ලා තිබූ සිය කමිස සාක්කුවෙන් ගෙන ලොක්කී අතට දෙමින් අමරබන්දු ඇසීය.රුපියල් දෙසීය උදුරාගෙන ලොක්කී ක්ෂණයෙන් වාෂ්ප වුවද මද්දුමී අමරබන්දුගේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු බැදීම සදහා ඔහු අසල පඩියේ හිද ගත්තාය.

    ‘අපේ එස්. එම්. එස් වලින් නේ සින්දු කියන අය දිනන්නේ’ මද්දුමී පැවසුවත් අමරබන්දු හට දැන කියා ගැනීමට අවැසි වූයේ ලොකු එකීගේ ෆෝන් එකේ සල්ලිටික මේ කියනා සැම්පලයේ එස්. එම් .එස් අටමගලයකට දිය වූයේ කෙසේද කියාය.’

    මම දන්නවා බං ඒක, ඔය හන්දි ගානේ බෝඩ් එල්ලලා තිබ්බෙ අපේ එස්.එම් .එස් හිගලා ඔය කියන තරු කියන එවුන්’එත් අක්කගේ සල්ලි ඒකට ඉවර වුනේ කොහොමද?’ අමරබන්දු සෘජුව ඇසීය.’ඇයි තාත්තේ අක්ක ඊයෙ රෑ එයාගෙ ඔක්කොම සල්ලි ඉවර වෙනකල් අර එහා ගමෙන් සින්දු කියන්න ගිහින් හිටපු අක්කගෙ නොම්මරේට එස්.එම්.එස් ගැහුවනෙ’

    මද්දුමී එසේ පවසද්දී අමරබන්දුගේ කේන්තිය ඉයවහා ගියේය.’අම්මපා මේකිට අමු කැවිලද.. ගෙදරට හාල් සේරුවක් ගේන්න කිව්වහම මහ හයියෙන් කෙකර ගාන එකී අර කොහෙවත් ඉන්න එකියකගෙ සින්දු තරගෙට අතේ සල්ලි දිය කරගෙන එස්.එම්.එස් ගහලා එළදෙන’අමරබන්දු එසේ කියද්දී අල්ලපු ගෙදර අමරාවතී පන් මල්ලත් කිහිලිගන්වාගෙන සිය කඩුල්ල පැන්නහෙයින් මද්දුමීගේ කේලමේ ඉතිරිය ඇසීම මදකට කල්තැබීමට අමරබන්දුට සිදු විය..

    ‘ආ… අමරෙ අයියෙ බැලුවද ඊයේ සිහින තරු තරගෙ’අනේ අර අහින්සකී සින්දු කියද්දි තියෙන අපූරුව’උඹට කියන්න අයියෙ කණේ මී පැණි වක්කරනව වගේ”අනේ අයියට කියන්න කෙල්ල පරාදයිනෙ’ඒකට දිනපු එකී.. මෙලෝ චාරයක් නැහැ”අම්මේ… ඇදගෙන හිටපු ගවුම පළල තිබ්බ මේන්න මෙතැනට වෙන්න..’‘මම අපේ කොල්ලගෙ ඇස් දෙක අතින් වැහුව බැරිම තැන’ ඇය අමරබන්දුහට කිසිත් කියන්න ඉඩක් නොතබමබින්ම කියාගෙන ගියාය.’අනේ මන්ද අයියෙ අපි මෙහෙ ඉදන් ගහන එස්.එම්. එස් කොළඹට යන්නෙ නැද්ද මන්ද?’ ඇයට හැඩුම් ආවාය.’ඒක තමයි මේ අපිත් කතා කර කර හිටියේ’ අමරබන්දු කීවේ ඇය සමග වූ කතා බහ හැකි ඉක්මණින් කපා හැරීමේ අදිටනනි.

    ඔය කතාව මැද්දෙන් අමරබන්දුගේ ලොකු එකී සැමටම ගස්සාගෙන ඔතා දුන් බත් ගෙඩියත් රැගෙන ෆැක්ටරියෙ ජුකී මහන්න පිටත්වූ අතර මේ ජරමර අස්සේ චීත්තේයේ දෑත් පිස දමමින් එළිපත්තට දිව ආවේ ගෙදර උන්දෑය,’කෝ ලොකු එකී… මේකිට සහ ගහනවනේ මේ කොරල තියෙන නස්පැත්තියටමගේ ෆෝන් එකේ තිබ්බ සල්ලි ටික තුට්ටුවට හිදෙන කල් මේකි අර සිහින තරු තරගෙට එස්.එම්.එස් ගහලනෙ”අද මට ඉදිආප්ප ඕඩර් ගන්න වත් මේ අටමගලෙ සල්ලි නැහැ’ යැයැ ඇය ලොකු එකීට පළි ගසන්නට වූවාය.

    ඉන් කිසිත් කලබලයට පත් නොවූ මද්දුමී අමරබන්දු දෙස බලා සිය උරහිස ඉහළට හකුළුවමින් සන් කළේ ඔලොක්කුවට මෙනි.’ඔය උඹල එස්.එම්.එස් ගහපු කෙල්ල දිනුම්ද?’ අමරබන්දු ඇසුවේ නැගුණු සිනහව ඉතාමත් අපහසුවෙන් සගවාගනිමින්.’මොන.. දිනුවෙ අර අනිත් එකීනෙ… මේවට නම් සහ ගහන්ව මේව සංවිධානය කරන උන්ට’ කියාගත් ගෙදර උන්දෑ මුළුතැන්ගෙට ගෑටුවාය.මේ අතර අමරබන්දු වෙත පෙරදින යාන්තම් නින්ද පමිණෙන අතරේ අදුරු අහසේ දිස් වූ දීප්තිමත් තරුව මොහොතකට සිහිවිය. ඒ තරුව මොහොතක් මහා දීප්තියකින් දැවී ක්ෂණයකින් ඔහුගේ නිදිබර දෑස ඉදිරිපිට අතුරුදන්ව ගිය අයුරු ඔහුට නැවතත් සිහිවිය. ‘ඒ තමයි සිහින තරු වල හැටි’ අමරබන්දු සිය මුවකොණට නිරායාසයෙන් මතු වූ සිනහව මැඩ ගැනීමට උත්සුක වූයේ නැත.,,,,zz*.***