fbpx
තවත්

    පොකුරු හදන රැස්වීම් තියලා රටේ කොවිඩ් මඬින්න බෑ – සෞඛ්‍ය බලධාරීන්

    0

    සමගි ජන බලවේගය විසින් ඊයේ දිනයේ කොළඹදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වූ අතර කොවිඩ් වසංගතය පවතින මෙවන් අවස්ථාවක මෙවැනි රැස්වීම් මගින් කොවිඩ් අලුත් ප්‍රභේද නිර්මාණය වන, විශාල ලෙස වෛරසය පතුරුවන බවට ‍සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති.

    රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ බෝවන රෝග, වසංගත රෝග විද්‍යාඥ සුනෙත් අගම්පොඩි මහතා පවසන්නේ මෙවැනි ආකල්ප සමඟ, වසංගතය නිසැකවම අවසන් නොවන බවයි.

    “වගකිවයුතු විපක්ෂ නායකයන් වන්න” යැයි ද ඔහු සිය සමාජ ජාල ගිණුමක සටහන් කර තිබුණි.

    පනාමුරේ පොලිස් සිරමැදිරියේදී පුද්ගලයෙක් මිය ගියාට පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්

    0

    පනාමුරේ පොලිස් ස්ථානයේ සිරමැදියක් තුළ දී පුද්ගලයෙක් එල්ලී මියයාම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් යොදවා පුළුල් විමර්ශනයක් පවත්වන බව රත්නපුර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා සදහන් කළේය.

    මිය ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පවුල් ආරවුලක් මත සිදුවූ පහරදීමක් ගැන පොලීසියට ලද පැමිණිල්ලකට අනුව බවත් ඔහු අද අලුයම් කාලයේදී සිරමැදිරියේ එල්ලී මිය ගොස් ඇති බවත් නාගහමුල්ල මහතා පැවසීය. සිිරමැදිරියේ රදවා සිටි පුද්ගලයෙක් එල්ලී මිය යන තුරුම එය නොදැක සිටීම සම්බන්ධයෙන් එම අවස්ථාවේ රාත්‍රී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

    මෙසේ පොලිස් සිරමැදිරිය තුළ මෙසේ මියගොස් ඇත්තේ නාමුර, වැලිපොත යාය පදිංචිකරුවෙකු වූ 38 හැවිරිදි තිදරු පියෙකුය. එම පුද්ගලයාගේ මියයෑම මුල්කරගෙන පොලිසීය ඉදිරිපිට ප්‍රදේශවාසීන් විරෝධයකද නිරත විය. ඔවුන් චෝදනා කරනුයේ පොලිස් පහරදීමක් එම මරණයට මුල්වී ඇති බවය.

    උද්ඝෝෂණයට පැමිණි කිසිවෙකුටත් පහරදී මරාදමා නැතැයි පොලිස් ඇමති අවධාරණය කරයි

    0
    sarath weerasekara

    සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයට සහභාගිවූ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පහරදී මරා දමා ඇතැයි එල්ලවන චෝදනාව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද තරයේ ප්‍රතික්ෂේප කළේය.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වීමක්ද කළේය.

    එම කරුණු දැක්වීම මෙසේය.

    “විරුද්ධ පක්ෂය විසින් ඉතාමත් බරපතල චෝදනාවක් කළා ඊයේ උද්ඝෝෂණයට සහභාගී වෙච්ච කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන පොලීසිය පහරදීලා මාරා දාලා කියලා. ඒක සම්පූර්ණ අමූලික බොරුවක්. මේ පුද්ගලයාගේ නම ඉන්දික ජයරත්න, ඔහුගේ වයස අවුරුදු 37 යි. ඔහුගේ පදිංචිය වැලිගේ යාය, පනාමුරේ. මොහු මත්ද්‍රව්‍ය වලට ඉතාම දැඩි ලෙස ඇබ්බැහි වූ කෙනෙක්. ඔහු නිතරම බිරිඳට සහ දරුවන්ට පහර දෙනවා. ඒ ගැන බිරිඳගෙන් සහ දරුවන්ගෙන් විශාල පැමිණිලි තොගයක් ලැබිල තියෙනවා. 2021.11.12 වන දින ඔහුගේ දුව පැමිණිලි කරනවා. මේ පුද්ගලයාට විරුද්ධව. තමාට පොල්ලෙන් සහ අතින් පයින් ගහලා බරපතල තුවාල ඇති කළා කියලා. දුව ගිහිල්ලා රෝහල්ගත වෙනවා. එදා සිට මොහුව හොයනවා පොලීසියෙන්. මොහු හැංගෙනවා. ඊට පස්සෙ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නේ ඊයේ රෑ 10.30 ට විතර. ඒ කියන්නෙ මේ පෙළපාලියට කිසිම සම්බන්ධයක් නෑ. පොලිසිය හොය හොය හිටිය කෙනාව පාන්දර ඔහුව අත්අඩංගුවට ගත්තට පස්සෙ පාන්දර 3.30 ට පමණ ඔහු තමාගේ ෂර්ට් එකේ කමිසයේ කූඩුවේ තියෙන කම්බියක ගැට ගහලා බෙල්ලෙ වැල දාගෙන මිය යන්න ඔන්න මෙන්න තියෙන කොට තමයි රාළහාමි දැකලා ඔහුව වහාම රෝහලට ගෙනියන කොට ඒ ගෙනියන අතරතුර මිය ගිහිල්ල තියෙන්නෙ. මේකට පෙළපාලියටවත්, උද්ඝෝෂණයටවත් කිසිම සම්බන්ධයක් නෑ. මේ පොලිසියට විරුද්ධව කරන මේ චෝදනාව අමූලික බොරුවක් කියලා මම මේ අවස්ථාවේ කියා සිටිනවා

    කොළඹ-නුවර මාර්ගයේ වැසු‍ණු තැනින් කොටසක් ඇරේ

    0

    පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද (17) දහවල් 12.00 න් පසුව විවෘත කෙරේ.

    මාර්ග සංවර්ධන අධිකාරිය මේ බව තහවුරු කළේය.

    නායයෑමේ අවදානමක් හේතුවෙන් දින කිහිපයක් මෙම මාර්ගය වසා දැමිණි.

    ඉන්දියාවේදී මියගියේ අංගොඩ ලොක්කා බවට DNAවලින් තහවුරුයි

    0

    ඉන්දියාවට පැනගොස් කොයිම්බතූර් හි සැඟවී සිටියදී හෘදයාබාධයකින් මියගියේ යැයි කියන පුද්ගලයා ශ්‍රී ලාංකික ජාවාරම්කරුවකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා බවට ඩීඑන්ඒ පරීක්ෂණයෙන් ඊයේ තහවුරු වී ඇතැයි එරට වාර්තා සදහන් කරයි.

    ඔහු ඉන්දියාවෙන් පිටවීම සඳහා ව්‍යාජ ලියකියවිලි යොදාගෙන විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CID (CB-CID) විමර්ශනයෙන් අනාවරණය වී තිබේ.

    ප්‍රදීප් සිං නමින් කොයිම්බතූර් හි ජීවත් වූ අංගො ලොක්කාට ඩුබායි බලා යාමට අවශ්‍ය වූ බවට ඉන්දීය ආරක්ෂක අංශ සැක කරයි. නොවැම්බර් 13 වැනිදා ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බැංගලෝරයේදී අත්අඩංගුවට ගත් ඔහුගේ සමීපතමයෙකු වන චානුක ද ඉන්දියාවෙන් පිටව යාමට සැලසුම් කර ඇති බව විමර්ශනයට රහස්‍ය ආරංචි මාර්ග පවසා තිබේ.

    කෙසේ වෙතත්, 2020 ජූලි 3 වන දින මියයන තෙක් අංගොඩ ලොක්කා කොයිම්බතූර් හි චෙරන්මා නගර් අසල ශ්‍රී ලාංකික කාන්තාවක් වන අමානි තාන්ජි සමඟ සැඟවී සිටියදී නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූයේද යන්න ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් තහවුරු කර නොමැත.

    ලොක්කා සහ චානුක මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියේ ඉන්දියාවේ සැඟවී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූයේ දැයි විමර්ශන නිලධාරීන් විසින් පරීක්‍ෂා කරන්නේ ඔවුන් දිවයිනේ මත්ද්‍රව්‍ය ජාවාරමක කොටස්කරුවන් වූ බැවිනි.

    “අංගොඩ ලොක්කා සහ චානුක යන දෙදෙනාම ඉන්දියාවේ නීති විරෝධී ලෙස රැඳී සිටීම සම්බන්ධයෙන් 2017 වසරේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් නීතිවිරෝධී යාත්‍රා මාර්ගයෙන් ඉන්දියාවට පැමිණ ඇති බවට විශ්වාස කෙරෙනවා. ඇප ලැබීමෙන් පසු දෙදෙනා නිදැල්ලේ සිටියා. ප්‍රතිවාදී කල්ලියක අත්අඩංගුවට ගැනීම් සහ තර්ජනවලට බියෙන් ඔවුන් නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය වුණේ නෑ. ඔවුන්ගේ සැලසුම වූයේ ව්‍යාජ ලියකියවිලි යොදා ගනිමින් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඉන්දියාවෙන් පිටවීමයි,” එහි නිලධාරියෙක් පැවසීය.

    එම නිලධාරියාට අනුව, ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බැංගලෝරයේදී අත්අඩංගුවට ගන්නා විට චානුකගෙන් පදනම් කාඩ්පත ඇතුළු ව්‍යාජ ලියකියවිලි සොයා ගන්නා ලදී. එලෙසම, ලොක්කා සතුව ප්‍රදීප් සිංගේ නමින් ආධාර් කාඩ්පතක් තිබූ අතර ඔහුගේ නාසයට ප්ලාස්ටික් සැත්කමක් කර ඇත.

    ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩි විස්තර අනාවරණය කර ගැනීම සඳහා තනනායකගෙන් සොයාගත් ජංගම දුරකථනය සයිබර් අධිකරණ පරීක්ෂණය සඳහා යවනු ඇත.

    ලොක්කා සහ ඔහුගේ සගයන් විසින් නීතිවිරෝධී ලෙස රැඳී සිටීම, ව්‍යාජ ලේඛන සකස් කිරීම සහ අවි ආයුධ සන්තකයේ තබා ගැනීම යන සැකය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම කෙරෙහි ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවල අවධානය යොමු වී ඇති බව එම නිලධාරියා පැවසීය.

    අමානි තන්ජි ප්‍රකාශ කළ පරිදි හෘදයාබාධයකින් ඔහු මිය ගොස් ඇති බවට නිගමනය කරමින්, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ මරණය සම්බන්ධයෙන් සැක කිරීම බැහැර කර තිබුණි.

    කෙසේවෙතත් ලොක්කාගේ ඩීඑන්ඒ සාම්පල රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවෙන් ලබාගත් ඔහුගේ මවගේ සාම්පල සමඟ ගැලපීම නිසා අංගොඩ ලොක්කාගේ අනන්‍යතාව ද තහවුරු විය.

    චානුක සමඟ, නියෝජ්‍ය පොලිස් අධිකාරී පී. සිවකුමාර් ප්‍රමුඛ ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම විසින් විදේශිකයාට නවාතැන් ලබා දීම සම්බන්ධයෙන් බැංගලෝරයේ පදිංච ටී. ගෝපාලක්‍රිෂ්ණන් (46) නොහොත් ජයපාල් අත්අඩංගුවට ගෙන ඇත.

    කොයිම්බතූර් හි ප්‍රධාන අධිකරණ මහේස්ත්‍රාත් එම්. සංජීව බාස්කර් අඟහරුවාදා වැඩිදුර විමර්ශන සඳහා සී.බී.සී.අයි.ඩී.යට චානුක සහ ගෝපාලක්‍රිෂ්ණන්ගේ භාරකාරත්වය දින පහකට ලබා දුන්නේය.

    අවුරුදු 60ට වැඩි අයට අද සිට බූස්ටර්

    0

    වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටිියන් සඳහා කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම අද (17) සිට ආරම්භ වෙයි.

    බුස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට නියමිත ය.

    බස්නාහිර හා දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම සිදුකෙරේ.

    කොවිඩ් මර්දන එන්න්ත් දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3 ක කාලයක් සම්පූර්ණ කර ඇති අයට බූස්ටර් මාත්‍රාව ලබාගත හැකි ය.

    අද දින ක්‍රියාත්මක එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 17.11.2021 Tentative vaccination schedule 17.11. 2021 - Sheet1

    ප්‍රතිකාරයකින් තොරව එච්.අයි.වී වෛරසය පරාජය කළ දෙවන කාන්තාව

    0

    විද්‍යාඥයින් විසින් මිසින් ප්‍රතිශක්තීකරණ පද්ධතියට බලපෑම් කරන එච්.අයි.වී වෛරසය අසාදනයවී කිසිම ප්‍රතිකාරයකින් තොරව පූර්ණ සුවය ලැබූ ලොව දෙවන කාන්තාව හඳුනා ගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇත.

    අනන්‍යතාව හෙලි නොකළ මෙම කාන්තාව ආජන්ටිනාවේ ජීවත්වන අතර 2013 වර්ෂයේදී ඇයට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බවට මුල් වරට හඳුනාගෙන් තිබේ.

    පසුව 2017 වර්ෂයේ සිට ජාත්‍යන්තර පර්යේෂකයින් පිරිසක් විසින් ඇයව අඛණ්ඩව පරීක්ෂා කරමින් ඇයගේ ශරීරය තුල වෛරසය පවතින්නේ දැය අධ්‍යනය කර ඇත.

    මේ අතර 2020 වර්ෂයේදී ඇය දරුවකු බිහි කර ඇති අතර දරුවාගේ කළ පරීක්ෂණයේදී මවගෙන් දරුවාට වෛරසය ආසාදනය වී නොමැති බවටද අනාවරණය වී තිබේ.

    ඒ අනුව ඇගේ ශරීරය තවත් පුළුල් වශයෙන් අධ්‍යනය කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇයගේ ශරීරය තුල වෛරසය නොමැති බවයි.

    වර්ථමාන ප්‍රතිකර අනුව වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට එය පාලනය කිරීමට ඖෂද ලබා ගැනීමෙන් හැකියාව ලැබෙන අතර ඒ සඳහා නිරන්තරයෙන් එම ඖෂද ලබාගැනීමට සිදුවේ.

    කෙසේ වෙතත් ලොව දැනට වාර්තා වී ඇති අතර ලොව පුද්ගලයින් සිව්දෙනෙකු එච්.අයි.වී. වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලබා තිබේ.

    සුවය ලැබූවන් සිව්දෙනාගෙන් දෙදෙනෙු එනම් බර්ලින් රෝගියා සහ ලන්ඩන් රෝගියා ලෙස හඳුන්වන්න් හට ඇට මිදුලු බද්ධ කිරීමක් මගින් සාර්ථකව වෛරසය පරාජය කිරීමට හැකියාව ලැබී ඇත.
    මෙම ප්‍රතිකාර ක්‍රමය සංකීර්ණ බවත් එම බද්ධ කිරීම් තවත් ආසාදිතයින්ට සිදු කිරීමට උත්සහ කලද එය සාර්ථක කර ගැනීමට නොහැකි වී ඇති බවද විද්‍යාඥයින් පෙන්වාදෙයි.
    ඒ අනුව මෙම අජන්ටිනාවේ කාන්තාවට අමතරව මේවන විට ස්භාවිකව මෙම වෛරසය පාරාජය කළ අනෙක් රෝගියා වන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ රෝගියා නමින් හඳුන්වන ආසාදිත කාන්තාවකි. ඇය එලෙස එච්. අයි.වී වෛරසය පරාජය කළ පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වේ.

    මෙම තත්ත්වයත් සමඟ ඉදිරියේදී එච්.අයි.වී වෛරසය සාර්ථකව සුව කිරීමට මෙම කාන්තාවගෙන් ලබාගෙත් දත්ත විශාල දායකත්වයක් වනු ඇති බවට විද්‍යාඥයින් පෙන්වාදෙයි.

    ගිනිගත් කොවලාවෙක් ජීවිතය අයදියි

    0

    2021 නොවැම්බර් 6 වැනි දින ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ආදර්ශ අවමංගල්‍ය උත්සවයක් පවත්වන විට Extinction Rebellion විරෝධතාකරුවන් විසින් පුළුස්සා දැමූ කෝවාලාවකුගේ විශාල රූකඩයක් භාවිතා කරනු දක්නට ලැබ තිබේ. ව්‍යසනකාරී ගෝලීය උණුසුම වැළැක්වීම සඳහා ලෝක නායකයින් දේශගුණය පිළිබඳව තීරණාත්මකව ක්‍රියා කළ යුතු බවට බලකරමින් ඔස්ට්‍රේලියාව පුරා විරෝධතා සංවිධානය කරන ලදී.

    සේයාරුව : අසංක රත්නායක

    නොවැම්බර් මුල් දෙසතියට සංචාරකයන් 19000ක් ඇවිත්

    0

    මෙම මාසයේ මුල් දෙසතියතුළ සංචාරකයන් 19,222කු මෙරටට පැමිණ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඉන්දියාව,රුසියාව,ප්‍රංශය,කැනඩාව,ජර්මනිය,මාලදිවයින,පාකිස්තානය,අමරිකා එක්සත් ජනපදය,ස්විට්සර්ලන්තය වැනි රටවලින් මෙම සංචාරකයන් පැමිණ ඇති බව ඔහු සඳහන් කළේය.

    එමෙන්ම පසුගිය ජනවාරි මාසයේ සිට සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු මේ දක්වා සංචාරකයන් 80,310කු මෙරටට පැමිණ ඇතැයිද ඔහු පැවසීය.

    ⁣පැලැස්තර විසඳුම් මගින් කොවිඩ් හේතුවෙන් බිඳවැටුණු සංචාරක කර්මාන්තය ගොඩනැගීය නොහැකි බවත් බිඳ වැටුණු සංචාරක කර්මාන්තය ගොඩනැගීමට එන්නත්කරණය වැනි සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක්තුළ රට සංචාරකයන්ට විවෘත කළයුතු බවත් හෙතම සඳහන් කළේය.

    රජය මෙම තත්ත්වය තේරුම්ගෙන කටයුතු කරන්නේ යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.

    රථ වාහන දඩ ඔන්ලයින් ගෙවන්න පුළුවන්ද සොයන්න කමිටුවක්

    0

    රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල් ගෙවීම ONLINE තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට නීති අණ පනත් සකස් කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ අධීක්ෂණයෙන් යුතුව කමිටුවක් පත්කොට තිබේ.

    ප්‍රවාහනය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන බැංකුව, ලංකා CLEAR ආයතනය හා ICTA ආයතනය ආයතනවල නියෝජිතයන් පත්කර ඇත.

    ඒ අනුව රථ වාහන වැරදි සම්බන්ධව දඩ මුදල් ගෙවීමේදී දැනට පවතින ක්‍රමවේදය පිළිබඳව අධ්‍යනය කර නව ක්‍රමවේදයක් සකස් කිරීම මෙම කමිටුවට පැවරී තිබේ.

    එහිදී රථ වාහන වැරදි සම්බන්ධ දඩමුදල් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වරද සිදුවූ ස්ථානයේ සිටම ගෙවීමට හැකි පරිදි නීති සම්පාදනය කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී ඇත.

    එම නිර්දේශ ලබන ජනවාරි මාසය වනවිට ලබාදීමට නියමිතය.

    එම නිර්දේශ සැලකිල්ලට ගනිමින් නව නීති සම්පාදනය කිරීමට යෝජිතය.

    ඒ අනුව මෙම නව ක්‍රමවේදය පළමුව අධිවේගී මාර්ගවල ක්‍රියාත්මක කර පසුව අනෙකුත් මාර්ගවල ක්‍රියාත්මක වේ.

    මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යංශයේදී පැවති අතර ඒ සඳහා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ,ප්‍රවාහන අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි හා නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්,පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීතී) පියුමන්ති පීරිස් යන මහත්ම මහත්මීහු සහ ලංකා බැංකුව,මහජන බැංකුව, පොලිස් දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ICTA ආයතනය, ලංකා CLEAR ආයතනය, නියෝජනය කරමින් එහි නිලධාරීහු එක්ව සිටියහ.

    දහම් පාසල් ලබන 28 දා සිට

    0

    දිවයිනේ සියලුම දහම් පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් ලබන නොවැම්බර් 28 වැනි දා සිට යළි විවෘත කළ හැකි බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මේ සම්බන්ධයෙන් දෙමව්පියන් හා අනෙකුත් අදාළ පාර්ශව සමග සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙළක් සකස් කර ගන්නා ලෙස එම නිවේදනයේ සඳහන් වෙයි.

    ඒ අනුව ලබන 21 වැනිදා වනවි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දහම් පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් පූර්ව කටයුතු සූදානම් කරන ලෙසද එම නිවේදනයේ සඳහන්ව ඇත.

    ග්ලවුස්, බැන්ඩේජ් නිපදවන දේශීය කර්මාන්තරුවන්ට රජය කෝටි ගණනක් ණයයි

    0

    දේශිය ඖෂධ හා වෛද්‍ය උපාංග නිෂ්පාදනකරුවන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් කෝටි ගණනක ණයක් ගෙවීමට නියමිතව ඇතැයි එම ඖෂධ සැපයුම්කරුවෝ සඳහන් කරති.

    දේශීය කර්මාන්තකරුවන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට සපයන ලද ඖෂධ හා ග්ලවුස්, බැන්ඩේජ් වැනි ශල්‍ය උපාංග මාස ගණනාවක සිට මුදල් ගෙවා නැතැයිද කෝටි ගණනක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබීමට නියමිත බවද එම සැපයුම්කරුවෝ සදහන් කරති.

    සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම ණය නොගෙවීම නිසා තමන්ගේ කර්මාන්ත කඩාවැටීමකට ලක්වෙමින් තිබෙන බවද එම නිසා ව්‍යාපාර දැඩි අසීරුතාවකට පත්ව ඇතැයිද ඔවුහු ඔවුහු සඳහන් කරති.

    දේශීය නිෂ්පාදකයින් මේ වන විට රජයේ රෝහල්වලට ඔවුන්ගේ නිෂ්පාදන සැපයීම නතර කර ඇතැයිද එම නිසා රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපාංගවල දැඩි හිඟයක් මතුව ඇතැයි ද දේශීය සැපයුම්කරුවෝ සදහන් කරති.

    මේ අතර දේශීය සැපයුම්කරුවන්ගෙන් ඖෂධ හා ශල්‍ය උපාංග නොලැබීම නිසා හදිසි මිලදී ගැනීම යටතේ අධික මිල ගණන්වලට ඒවා මිලදී ගැනීමට රජයේ රෝහල්වලට සිදු ඇත.

    එවැනි අවස්ථාවලදී මූල්‍ය අක්‍රමිකතා පවා සිදුවන බව ද වාර්තා වේ.

    මත්පැන් කාලේ බෝතල් තහනම් කිරීමේ සූදානමක්

    0

    දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කළ සමීක්ෂණයකට මත්පැන් කාලේ (1/4) බෝතලය තහනම් කරන ලෙස මෙම සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් 72.4% ක ප්‍රමාණයක් මත පළ කර තිබූ බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

    විවිධ අධ්‍යාපන මට්ටම් හා විවිධ සමාජ මට්ටම් නියෝජනය කරමින් පුද්ගලයින් දහසකට අධික සංඛ්‍යාවක් එම සමීක්ෂණයට සහභාගි කරගත් අතර එම පුද්ගලයින්ගෙන් 72.4% ක්ම ප්‍රකාශ කර තිබුණේ මෙරට මත්පැන් 1/4 බෝතල් නිෂ්පාදනය හා අලෙවිය තහනම් කළ යුතු බවය.

    ඒ අනුව තම අධිකාරිය මත්පැන් 1/4 බෝතල් නිෂ්පාදනය තහනම් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටි බවද ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසීය.

    මේ අතර ගොවිජනපද ආශ්‍රිතවත් කෘෂිකාර්මික ප්‍රදේශවල ජනතාව විශාල වශයෙන් පරිසර අමාත්‍යාංශයට පැමිණිලි කර ඇත්තේ මෙම බෝතල්වල කටු ජල පහරවල්වලට ගසාගෙන ගොස් කුඹුරු හා ගොවිබිම් වල රැඳී තිබෙන බවට ය.

    එම නිසා පරිසර හානිය පමණක් නොව ඔවුන්ට ගොවිතැන් කිරීමේදී දැඩි හානි සිදුවන බවට ද ගොවීන් පරිසර අමාත්‍යාංශයට පැමිණිලි කර තිබූ බවද රාජපක්ෂ මහතා පැවසීය.

    මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මත්පැන් භාවිතා කළ ජනතාව පිළිබඳ ඉකුත් දා ඉදිරිපත් කළ ගෝලීය තත්ත්ව වාර්තාවට අනුව මත්පැන් 1/4 බෝතල් නිසා ඒවායේ භාවිතය ඉහළ යන බව පෙන්වා දී ඇත.

    මත්පැන් අලෙවියෙන් 54%ක්ම කාලේ බෝතල් ලෙස අලෙවි වන අතර මසකට අලෙවිකරණ බෝතල් සංඛ්‍යාව ලක්ෂ 90-100 ත් අතර ප්‍රමාණයක් වේ.

    සජබ විරෝධය..(📸)

    0

    කොළඹ ආශ්‍රිත මාර්ග කිහිපයක් අවහිර කරමින් මේ වනවිට සමගි ජන බලවේගය විසින් පවත්වනු ලබන විරෝධතාව.

    ඇමති ජොන්ස්ටනුත් තෙල් පෝලිමේ

    0

    රටේ ප්‍රමාණවත් තරමට තෙල් තිබියදී ජනතාව අවුස්සමින් යම් යම් කණ්ඩායම් ලොකු හිඟයක් එනවා යැයි ජනතාව අපහසුතාවයට පත් කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    “අපරාධයක් මේ ජනතාව ගිහිල්ලා හදිසි වෙලාපෝලිම්වල ඉන්නේ. මමත් ගිහිල්ලා පෝලිමේ ඉඳලා තමයි තෙල් ගහගෙන ආවේ” යැයි ද හෙතෙම අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තෙල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පැවසීය.

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහිදී මෙසේ ද කීය.

    “ගරු කතානායකතුමනි,

    විපක්ෂ නායකතුමා අහපු ප්‍රශ්නෙට ඇමතිතුමා ඇවිල්ලා ප්‍රකාශයක් කරයි. කථානායකතුමනි, පැහැදිලිව කියන්න ඕනේ කිසිම තෙල්වල අඩු පාඩුවක් දැනට නැහැ. අපරාධයක් මේ ජනතාව ගිහිල්ලා හදිසි වෙලාපෝලිම් වල ඉන්නේ. මමත් ගිහිල්ලා පෝලිමේ ඉඳලා තමයි තෙල් ගහගෙන ආවේ. මේක ජනතාව අවුස්සමින් යම් යම් කණ්ඩායම් ලොකු හිඟයක් එනවා කියලා මේ ජනතාව අපහසුතාවයට පත් කරනවා. ඒක තමයි සිද්ධවෙන්නේ. මම කියන්නේ මේක දේශපාලනයට හරවා ගන්නේ නැතිව ඉන්න කියලා. ඇති වෙන්න තෙල් තියනවා. තෙල්වල අඩුපාඩුවක් නොමැති බව විෂයභාර ඇමතිතුමත් ප්‍රකාශ කෙරුවා. ඒක නිසා අපි පැහැදිලිව කියනවා ජනතාවට ඉතාමත්ම ගෞරවයෙන්, හදිස්සි වෙලා කලබල වෙලා ගිහිල්ලා අනවශ්‍ය පරිදි තෙල් ගබඩා කරගන්න අවශ්‍ය නැහැ. මීට ඉස්සෙල්ලත් මෙහෙම ප්‍රශ්න ඇති වුණා. මෙහෙම ප්‍රශ්න ඇති කෙරුවා. අපි පැහැදිලිව කියනවා ජනතාවට කලබල වෙන්න එපා, ඇතිවෙන්න තෙල් තියෙනවා කියලා. තෙල් හිඟයකින් තොරව තෙල් සපයනවා මේ රජය.”

    මොන බාධා ආවත් දවල් 2ට වෙන දේ ගැන හරීන් කියයි

    0

    සමගි ජන බලවේගය අද (16)කොළඹ දි පැවැන්වීමට සංවිධානය කල විරෝධතාවට පැවැත්වීමට බාධා එල්ල කිරීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්‌ගේ උපදෙස්‌වලට මුවාවී පොලිස්පතිවරයා නිකුත්‌ කොට ඇතී උපදෙස්‌ ආණ්ඩුවේ දේශපාලනික අවශ්‍යතාව මත සිදු කොට ඇති බව පැහැදිලි වන බව සමගි ජනබලවේගය නිවේදනය කරයි.

    එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ වාහනවල ගමන්‌ ගන්නා පුද්ගල නාම ලේඛන සැකසිම ජායාරූප ගැනීම ආදි පෞද්ගලිකත්වය පචා අභියෝගයට ලක්කිරිමට පොලිසියට නියෝග දිම මෙන්ම එකි නියෝග අනුව පියවර ගන්නා නිලධාරින්‌ට එරෙහිව නීතිමය පියවර ගැනිමට සමගි ජනබලවේගය පියවර ගන්නා බව ය.

    මේ අතර සමගි ජනබලවේගය අද සූදානම් කර ඇති විරෝධතාව වෙනුවෙන් රටපුරා සිය පාක්ෂිකයන්ට කොලඹට එන්නට නොදී පොලීසිය විසින් අවහිර කළ ද අද දහවල් 2 වනවිට විපක්ෂ නායක කාර්යාලය අසලින් දැවැන්ත බලවේගයක් ආරම්භ වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී කීය.

    එමෙන්ම විපක්ෂ නායක කාර්යාලය අසලින් අද ආරම්භ කරන විරෝධයට කාර්යාලවලට පැමිණ සිටින ජනතාව තම දරුවන් වෙනුවෙන් සහභාගි වන ලෙසත් ආයාචනා කරන බවත් එම ප්‍රදේශයට වාරණ නියෝග නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

    ඔහු පවසන්නේ රටපුරා මේ වනවිටත් සජබ විරෝධතා පැවැත්වෙන බවයි. ‘අපි ඉල්ලුවේ පුටින් කෙනෙක්. ඒත් දැන් ඉන්නේ සජබෙට බය සූටින් මාටින් කෙනෙක්’ යැයි මන්ත්‍රීවරයා කීය.

    සමගි ජනබලවේගය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

    පොලිස් මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂක ධූරයත් ඉතිහාසයේ පළමුවරට කාන්තාවකට

    0

    කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනි අමරසේන මහත්මිය පොලිස් මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස පත් කර තිබේ.

    ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ කාන්තා නිලධාරිනියක් පොලිස් මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂධූරය දරන පළමු අවස්ථාන වන්නේ මෙයයි.

    මෙම තනතුර හිමිවන්නේ ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාටය.

    ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලංකා රාජිනී වාර්තා කිහිපයකටම හිමිකම් කියන්නියකි.

    ඒ අතර පළමු වාර්තාව වන්නේ ශ්‍රී ලංකා පොලීසියේ ස්ථීර සේවයට කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් බදවාගත් පළමු කණ්ඩායමේ ඇය සාමාජිකාවක් වීමය. එම බදවා ගැනීම සිදුවන්නේ 1997 වසරේදීය.

    ඇය දිවයිනේ බොහෝ ප්‍රදේශවල උප පොලිස් පරීක්ෂිකාවක් සහ පොලිස් පරීක්ෂිකාවක් ලෙස සේවය කර ඇල්පිටිය , මීටියාගොඩ, බෙන්තොට, පේරාදෙණිය, අම්බලන්ගොඩ යන පොලිස් ස්ථානවල විවිධ පැමිණිලි අංශවලත් , ළමා හා කාන්තා කාර්යාංශවලත්, පරිපාලන අංශවලත් ස්ථානාධිපති ලෙසද කටයුතුකර තිබේ.

    පොලිස් පරීක්ෂිකාවක් ලෙස මීටියාගොඩ පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස උපාධිධාරීන් බදවා ගැනීමේ තරඟ විභාගයට මුහුණ දෙමින් ඉහළින්ම සමත්ව ඇය 2008 වසරේ නොවැම්බර් 03 වෙනිදා පොලිස් සේවයට නැවත එක්වන්නේ සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙසිනි. ඇය සමග එදා තවත් කාන්තා නිලධාරිනියන් දෙදෙනෙක් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පොලිස් සේවයට එක්වන අතර ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස පොලිස් සේවයට එක්වන පළමු කාන්තා නිලධාරීනියන් වන්නේ ඔවුන් තිදෙනාය.

    සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස වැඩිම සේවා කාලයක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ සේවයේ නිරතව සිටි ඇය එහි අධ්‍යක්ෂකවරිය ලෙසද කලක් පත්ව සිටියාය. අනතුරුව ගල්කිස්ස පොලිස් කොට්ඨාශයට ස්ථානමාරුවීමක් ලබන ඇය නව තනතුරට පත්වන විට සේවයේ නිරතව සිටියේ කැලණිය පොලිස් කොට්ඨාශයේය.

    2022 දී ක්ෂේත්‍ර 6කට ජනාධිපති මාධ්‍ය සම්මාන පිරිනැමේ

    0

    මේ වර්ෂයේ නිර්මාණයන් පාදක කරගෙන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල – 2022 පැවැත්වීම පිණිස රජය පියවර ගෙන තිබේ.

    ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඒ අනුව ගුවන්විදුලි, රූපවාහිනී, මුද්‍රිත මාධ්‍ය, වෙබ් අඩවි, පාසල් මාධ්‍ය හා මාධ්‍ය පර්යේෂණ යන ක්ෂේත්‍ර හය (06) ආවරණය කරමින් සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් පළවූ 2021 වර්ෂයේ නිර්මාණයන් ඒ සඳහා පාදක කර ගැනේ.

    ඊ‍ට අදාළව ඊයේ පැවති අමාත්‍ය මණ්ඩලයේ දී ගන්නා ලද තීරණය පහත දැක්වේ.

    • “සෞභාග්‍යයේ දැක්ම” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින්, 21 වැනි සියවසට ගැළපෙන සමාජයක් නිර්මාණය කිරීම සඳහා භාෂිතයේ සහ ප්‍රකාශනයේ නිදහස රැක ගැනීම පිණිස උපරිම ලෙස ක්‍රියා කළ හැකි වන පරිදි ජනමාධ්‍ය ආයතන හා ඒවායේ සේවයේ නියුතු වෘත්තීයවේදීන්ගේ කාර්යයන්ට අවශ්‍ය නිරවුල් හා නිවහල් පරිසරය සකස් කිරීම රජයේ වගකීමක් වශයෙන් හඳුනාගෙන ඇත. ඒ අනුව, ජනමාධ්‍යයන්හි උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා සහ විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය හා වෙබ් මාධ්‍යයන්හි අන්තර්ගතය වගකීම් සහිතව ස්වාධීනව හා ඒවා පරිශීලනය කරන්නන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් වන අයුරින් පවත්වාගෙන යාම සඳහා මාධ්‍යවේදීන් දිරි ගැන්වීම පිණිස ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල වඩාත් විධිමත්ව පැවැත්වී‍මට සැලසුම් කර තිබේ. ගුවන්විදුලි, රූපවාහිනී, මුද්‍රිත මාධ්‍ය, වෙබ් අඩවි, පාසල් මාධ්‍ය හා මාධ්‍ය පර්යේෂණ යන ක්ෂේත්‍ර හය (06) ආවරණය කරමින් සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් වූ 2021 වර්ෂයේ නිර්මාණයන් ඒ සඳහා පාදක කර ගෙන නිර්මාණකරුවන් ඇගයීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල – 2022 පැවැත්වීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රජයේ පාසල්වල සියලු ශ්‍රේණි ලබන 22 දා ඇරේ

    0

    රජයේ පාසල්වල දැනට ආරම්භ කර නොමැති ශ්‍රේණි ලබන 22 වන සඳුදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

    මේ බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ අද (16) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    වසර දෙකකට ආසන්න කාලයක් පාසල් අධ්‍යාපනය මුළුමනින්ම අකර්මණ්‍ය වීම මෙරට සිදුව ඇති බරපතළ අපරාධයක් බව ද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කීය.

    “ලබන සඳුදා සිට ඉතුරු සියලු පාසල්වල දුවලා පුතාලා පාසල් යන්න පටන් ගන්නවා. දැනටම අපිට වාර්තා වෙලා තියෙනවා සමහර තැන්වල පාසල් ඇතුළේ දරුවන් ආසාදනයට ලක්වු ප්‍රවෘත්ති ඔබ වාර්තා කරලා තියෙනවා.

    ඒ නිසා නැවත කිසියම් විදියකින්, විපක්ෂ වෙන්න පුළුවන්, ආණ්ඩුව වෙන්න පුළුවන් අපි වෙන්න පුළුවන් අපේ වගකීම් විරහිත හැසිරීමක් නිසා මේ වසංගත තත්ත්වය තවදුරටත් වැඩිදියුණු වෙලා රට ගිලන්වෙලා එහි ප්‍රතිඵලයක් ලෙස පාසල් නැවත වසා දමන්න සිදුවුවහොත් එය ජාතික අපරාධයක්.”

    ගිනිගත් නැව් නිසා මෙරට සාගර නීති වෙනස් වෙයි

    0
    express pearl ship

    නිව් ඩයමන් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු සහ එම අනතුරුවලින් සිදුවූ හානි සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර හා දේශීය අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් මෙරට සමුද්‍රීය නීතිය සංශෝධනය කිරීමට අදාල නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය නිකුත් කල නිවේදනය මෙසේය.

    • ඉන්දියන් සාගරය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ මූලෝපායික පිහිටිම සැලකිල්ලට ගනිමින් සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස මෙරට ප්‍රවර්ධනය කිරීමේදී අන්තර්ජාතික ගිවිසුම්වලට අනුකූල වන පරිදි දේශීය නීති පැනවීමේදී සහ අන්තර්ජාතික ගිවිසුම් අපරානුමත කිරීමේදී ජාත්‍යන්තර අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන නෛතික යටිතල පහසුකම් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. මීට ප්‍රථම එම ක්ෂේත්‍රයන්ට අදාළව කරුණු අධ්‍යයනය කිරීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකු වන ජනාධිපති නීතීඥ පී.ඒ.රත්නායක මැතිතුමාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු වී නොමැත. මෑතක දී ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාව සහ එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක්වීමෙන් සිදු වූ හානිය සැලකිල්ලට ගැනීමේදී නව නීති හඳුන්වාදීමේ අවශ්‍යතාව තහවුරු වී ඇත. ඒ අනුව, මීට පෙර පී.ඒ. රත්නායක මැතිතුමාගේ සභාපතිත්වය යටතේ පත් කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාව ද පදනම් කර ගනිමින්, අලුතින් හඳුන්වා දිය යුතු හෝ දැනට පවතින, සංශෝධනය කළ යුතු නීති හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් වන නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතීඥ චන්දන ජයසුන්දර මහතාගේ සභාපතිත්වය යටතේ අදාළ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍යතුමා සහ අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නිවාඩු සමයේ සංචාරක ව්‍යාපාරය ඉහළට ගේන්න වැඩපිළිවෙලක්

    0
    tourism

    කොවිඩ් වසංගත තත්ත්වයේ බලපෑමට ලක්වූ සංචාරක ව්‍යාපාරය යථාතත්ත්වයට පත්කිරීමට එළඹෙන නිවාඩු සමය ඉලක්ක කරගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය නිකුත් කල නිවේදනය මෙසේය.

    • කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ සංචාරක ව්‍යාපාරය නැවත වරක් 2021/2022 සංචාරක සමයේදී යථා තත්ත්වයට පත් කර ගැනීමේ සහ සංචාරකයන් ආකර්ශනය කරගැනීමේ අරමුණින් ගුවන් සමාගම් ඇතුළු සියලුම සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ පාර්ශ්වයන් සාමූහික ප්‍රයත්නයක් දරමින් සිටී. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ගෝලීය සන්නිවේදන වැඩසටහන්වල කොටසක් වශයෙන් ප්‍රධාන සංචාරක වෙළෙඳපොළවල් තුළ වසර 05ක කාලයක් සඳහා ගමනාන්ත නියෝජිත සමාගම් සහ මහජන සම්බන්ධතා සමාගම් පත් කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එකී ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනේ අතුරු ක්‍රියාමාර්ගයක් වශයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු සංචාරක වෙළෙඳපොළවල් වශයෙන් එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය සහ ආසියානු කලාපයේ ප්‍රධාන මූලාශ්‍ර වෙළෙදපොළ වන ඉන්දියාව ඉලක්ක කර ගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අමතර ආදායම් ලබන්න තැපෑලේ ඉඩම්වල බහුකාර්ය ව්‍යාපෘති

    0

    තැපැල් කාර්යාල ඉදිකිරීමට වෙන්කර දී ඇති ඉඩම්වල රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ බහුකාර්ය ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් තැපැල් දෙපාර්තමේන්තුවට අතිරේක ආදායම් මාර්ගයක් සලසා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය නිකුත් කල නිවේදනය මෙසේය.

    • ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රධාන තැපැල් කාර්යාල 654කින් හා උප තැපැල් කාර්යාල 3,410කින් සමන්විත ජාලයකින් යුක්ත වන අතර මේ වන විට එකී ප්‍රධාන තැපැල් කාර්යාල 654න් 154ක් ම කුලී පදනම මත පුද්ගලික ගොඩනැඟිලිවල පවත්වාගෙන යනු ලබයි. තැපැල් කාර්යාල ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා පළාත් කිහිපයකම ඉඩම් කොටස් වෙන් කර දී ඇති නමුත් දෙපාර්තමේන්තුව සතුව ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම හේතුවෙන් යෝජිත ගොඩනැඟිලි ඉදිකිරීමට නොහැකි වී ඇත. එසේම, තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් හා වියදම් අතර පරතරය අවම කර ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විසින් අවධානය යොමු කර ඇති අතර, ඒ යටතේ නව ආදායම් උත්පාදන මාර්ග හඳුනාගැනීමේ අවශ්‍යතාව පෙනී ගොස් ඇත. ඒ අනුව, තැපැල් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය ඉඩකඩ සපුරා ගැනීමට මෙන්ම අතිරේක ආදායම් මාර්ගයක් සලසා ගැනීම පිණිස දෙපාර්තමේන්තුව වෙත වෙන් කර දී ඇති ඉඩම්වල රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ බහුකාර්යය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මෙරට සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගනී

    0

    මෙරට සිනමා කර්මාන්තයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගැනීමට හැකිවන පරිදි සිනමාව කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාත් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය නිකුත් කල නිවේදනය මෙසේය.

    • ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය තුළ කැපී පෙනෙන චිත්‍රපට රාශියක් නිෂ්පාදනය වී ඇති අතර ජාත්‍යන්තර කීර්තියට පත් දක්ෂ සිනමාකරුවන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව වෙතින් ලෝක සිනමාවට දායක කර තිබේ. එහෙත්, දේශීය සිනමා කර්මාන්තය, කර්මාන්තයක් ලෙස නීත්‍යානුකූලව ප්‍රකාශයට පත් කර නොමැති වීම තුළ එහි ප්‍රමාණය හා වර්ධනය කුඩා දේශීය වෙ‍ළඳපොළට සීමා වී තිබේ. එමෙන්ම, කොවිඩ් – 19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය මහත් අර්බුද රැසකට මුහුණ පා ඇත. චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම තුළින් ජීවනෝපාය මාර්ගයන් රාශියක් උත්පාදනය වීම, සමාජ හා සංස්කෘතික මෙන්ම ආර්ථික නවීකරණයක් ඇති වීම, සංචාරක ව්‍යාපාරය හා අධ්‍යාපනය යන අංශ සඳහා දායක වීම ආදී ප්‍රතිලාභ රාශියක් අත් කර ගත හැකි බව හා එමගින් ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව හඳුනාගෙන තිබේ. එමෙන්ම, ලෝකයේ බොහෝ දියුණු සිනමා කර්මාන්තයක් පවතින රටවල එම කර්මාන්තයේ වර්ධනය සිදු වී ඇත්තේ එම රටවල් විසින් සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමෙන් පසුව වන බව ද නිරීක්ෂණය කර ඇත. ඒ අනුව, මෙරට සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනය හා ජාත්‍යන්තර පිළිගැනීම ලබා ගැනීමට හැකි වන පරිදි සිනමාව කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කිරීම පිණිස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    60 ට වැඩි අයට හෙට සිට බූස්ටර් එන්නත

    0

    වයස අවුරුදු 60 ඉක්මවූවන්ට බූස්ටර් එන්නත හෙට (17) සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරයි.

    බස්නාහිර සහ දකුණු පළාත්වලින් සහ අනුරාධපුර සහ අම්මාර යන දිස්ත්‍රික්කවලින් මෙම වැඩසටහන ආරම්භ කෙරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

    බූස්ටර් එන්නත ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නත බවත් දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගෙන මාස තුනක් සම්පූර්ණකර ඇති 60 වැඩි පුද්ගලයින්ට මෙම එන්නත ලබාගැනීමට හැකියාව ලැබෙන බවත් ඇමතිවරයා පැවැසීය.

    කාන්තාවන්ට පීඩා ගෙන දෙන තුනටිය අමාරුව

    0

    කාන්තාවන් බහුලවම පීඩා විඳින රෝග තත්ත්වයක් ලෙස තුනටිය වේදනාව දැක්වීමට පුළුවනි. ඒ නිසාම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හරහා මේ පීඩාකාරී තත්ත්වයට සාර්ථක ප්‍රතිකාර ක්‍රම රටාව වගේම රෝගීයාගේ ආහාර පාන විහරණ රටාව මගින් මේ තත්ත්වය නිට්ටාවටම විසඳා ගැනීමට හැකියාව තිබෙයි.

    කාන්තාවන්ට තුනටිය අමාරුව ඇති විය හැකි අවස්ථා


    කාන්තාවන් බොහෝ දෙනෙකු පීඩා විඳින රෝග ගණනාවක පොදු ලක්ෂණයක් ලෙස තුනටිය අමාරුව හෙවත් කටී වේදනාව හඳුනාගන්න පුළුවනි.
    විශේෂයෙන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රීත ඉන්ද්‍රියන්ගේ විකෘතිතාවයන් හරහා තුනටිය වේදනාව ඇතිවීමට පුළුවනි.



    උද්‍රහරණ ලෙස,

    Common Causes of Back Pain in Women
    • ගර්භාෂය පසු පසට පෙරළිම
    • ඩිම්බ නාළ ප්‍රදාහ ජනක අවස්ථා ( Salphingitis )
    • ඔසප් ශුලය ( Menstrual pain )
    • මුත්‍රා මාර්ගගත රෝග
    • ගුධගත රෝග
    • සන්ධිගත වාත රෝග

      මීට අමතරව,
    • අධික වෙහෙසකාරී ක්‍රියාවලි වල නිරතවීම
      උද්‍ර :
      • අධික බර එසවීම
      • අධිකව පයින් ඇවිදීම
      • අධික ව්‍යායාම
    • ඇතැම් පිළිකා වර්ග නිසා
    • පහර වැදීම්
    • වැටීම්
    • තැලීම් නිසා
    • අති මෛථුනය
    • පිට කළ යුතු වේග දරා සිටීම නිසා
      උද්‍ර :
      • මුත්‍රා/මළ වේග
    • මානසික හේතු
    • අධික චිත්තා වේග නිසා
      උද්‍ර :
      • අධිකව බියවීම
      • අධිකව කෝපවීම

    තුනටිය අපහසුව ඒමට බලපාන මුලික ලක්ෂණ වන රෝග

    ඔසප් ශුලයක දී : වේදනාව යටිබඩ ප්‍රදේශයට පමණක් නොව කොන්ද, ඉකිළි, කළවා ඉදිරිපස හා පසුපසට ද, දණහිස් දක්වා ද පසුපසින් උකුල් ප්‍රදේශය දක්වා ද පැතිරෙයි.

    ගැබ්නාළ ප්‍රදාහය දී : වේදනාව ගැබ්නාළ පිහිටි ස්ථානයේත් ඇතැම් විට ඉකිළි හා පෙකණියට පහළිනුත් / උදර බිත්තියට ද පැතිර යාමට පුළුවනි.

    ඩිම්බකෝෂ වල රෝග වල දී : වේදනාව උදර ප්‍රදේශයට ද පැතිරෙයි.

    පිළිකා අවස්ථාවල දී : දරුණු වේදනාවක් උකුල් ප්‍රදේශයේ පවතින අතර එය කොන්ද, තට්ටම්, කළවා පිටුපස හා පාදයේ විලුඹ දක්වා ද පැතිරෙයි.

    යෝනිය ඉදිරිපස ආබාධ වල දී : කොන්ද, තට්ටම් හා ගුද ප්‍රදේශයට ද කළවා පිටුපසට හා පාදයේ විලුඹ දක්වා ද පැතිරෙයි.

    මුත්‍රාශ රෝග වල දී : වේදනාව ඒ මතුපිට පවතිනවා. එය කොන්ද පහතට පැතිරෙන වේදනාවක් ද වීමට පුළුවනි.

    ගැබ්ගෙළ තුවාලයක දී : හැමවිටම අසහනකාරී වේදනාවක් පවතින අතර කල් පවතින තුනටිය වේදනාවක් පවතියි. වැතිර සිටිමෙන් සුව නොවන අතර සිට ගැනීමෙන් ද වැඩි වීමකුත් නොවේ. පැතිරෙන වේදනාවකට සමානයි.

    ගර්භාෂය පසුපසට පෙරළිම : තද වේදනාවක් ගෙන දෙයි.

    ගර්භාෂය පහත් වීමක දී :  පසුපස පහත කොටසේ වේදනාව හටගෙන දවස පුරා වෙහෙසවීමෙන් වේදනාව ඉතා අධික වෙයි. වැතිර සිටිමෙන් පහසුවක් දැනෙයි.

    ගැබ් නාළ ප්‍රදාහය : කල් පවතින තුනටිය වේදනාවක්. වැතිර සිටිමෙන් සහනයක් ලැබෙයි.

    අධික වෙහෙස : වැඩි වේලාවක් සිටගෙන සිටින රැකියාවක නියුතු කාන්තාවන් වගේම අඩි උස පාවහන් පැළදීම හා පණ්ඩු හෙවත් ලේ හිඟකමින් පීඩා විඳින අයට තුනටිය වේදනාව එන්න පුළුවනි.

    අති මෛථුනය : වැඩි වාර ගණනක් සංසර්ගයේ යෙදීම නිසා ද තුනටිය වේදනාව ඇතිවීමට පුළුවනි. එමෙන්ම මානසික හේතු ද, සංසර්ගයට ඇති අකමැත්ත නිසා ද, පුරුෂයාට ඇති අකමැත්ත නිසා ද තව ගර්භණි වීමට ඇති බිය නිසා ද වේදනාව හටගන්න පුළුවනි.

    මානසික හේතු : අධික ක්‍රෝධය, අධික වෛරය වැනි අධික චින්තා වලින් පෙළිම කොන්ද හා ඒ ආශ්‍රීත වේදනාව ඒමට පුළුවනි.

    කොන්ද ප්‍රදේශය වෙහෙසට පත්වීම නිසා : දරුවන් කිහිප දෙනෙකු බිහිකළ මවක් නම් අභ්‍යන්තර ඉන්ද්‍රිය බන්ධන ලිහිල් වීම නිසා ද අඬු දමා අපහසුවෙන් දරුවන් බිහි කිරීම (Forcep Delivery) ගර්භණි අවසාන මාස වල දී උදරයත් සමඟ කොඳු ඇට පේළිය ඉදිරියට නෙරා ඒම නිසා ද (Lodosis) වේදනාව ඇතිවෙන්න පුළුවනි.

    ඔබට නිවසේ දී මේ අත්බෙහෙත භාවිත කරන්න පුළුවන්.

    • නික කොළ, පාවට්ටා කොළ, බේත් එඬරු කොළ – සමව ගෙන කොටා වාෂ්පයෙන් තම්බා තැවීම කළ හැකියි.
    Economic revival, Ayurveda and indigenous medicine | Daily FT

    සැලකිය යුතුයි. – හැබැයි මේ අත්බෙහෙත මගින් තාවකාලික සහනයක් ලැබුණ ද සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හරහා ඔබේ රෝග ලක්ෂණ හා රෝගයට මුල් වූ හේතු සොයාගෙන මුල සිට වෛද්‍යමය ප්‍රතිකාර අරඹා දිර්ඝකාලීන සුවය ලබා නිරෝගීව සිටීම වැදගත් වේ.

    ආයුර්වේද සතු ප්‍රතිකාර තුනටිය වේදනාවෙහි සහනයට තුනටිය වේදනාවට ප්‍රත්‍යක්ෂ ඖෂධ ආයුර්වේදය සතුයි. එනම්, පත්තු වර්ග, ගුලි වර්ග, කල්ක වර්ග, තෛල වර්ග, කසාය වර්ග – මේ සඳහා උපයෝගී කරගන්න අභ්‍යන්තර හා බාහිර ඖෂධ ඒ වගේම, කටී වස්ති යෙදීම, පංචකර්ම ප්‍රතිකාර ක්‍රම මගින් ඉතා විශිෂ්ඨ ගුණ දෙන ප්‍රතිකාර වෙයි.

    ඒ අනුව, ප්‍රතිකාරයට පෙර රෝගියා සමඟ සාකච්ඡා කිරිමෙන්, රෝග ඉතිහාසය, වේදනාවේ ස්වභාවය, වේදනාව පවතින ස්ථානය, බලවත් බව, වේදනාව පවතින කාලය උද්‍ර : වේදනාව නිතර එනවා ද නැත්නම් විටින් විට පවතින වේදනාවක් ද වේදනාව වැඩිවන කාලය ආදී, සියල්ල නිවැරදිව විමසා බලා නිවැරදි විනිශ්චය සහිත තමයි ආයුර්වේදය ප්‍රතිකාර අරඹන්නේ. ඒ හරහා රෝගියා ඉතා ඉක්මන් සුවය ළඟා කර ගැනීමට හැකියාව ලැබෙයි.

    සාර්ථක සුවයකට ප්‍රතිකාර ලබා ගැනීම. කොපමණ කාලයක් රෝගියා ඖෂධ ලබා ගත යුතු ද ?

    රෝගය සුවවීමට එකිනෙකාට සාපේක්ෂව වන අතර නිවැරදි රෝග විනිශ්චය හා රෝග නිදානය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම හා රෝගීයා ඒ සඳහා කැපවීම අනුව එක් පුද්ගලයාගේ ප්‍රකෘතිය මත සුව කරගැනීම ඖෂධ වගේම ඇතැම් විට ශල්‍ය සාධ්‍ය ( සුළු ශල්‍ය කර්ම) සිදු කිරීම මගින් සුවය ලබා ගැනීම හැකිවේවී.

    නැවත රෝගය ඖෂධ හා විහරණ මගින් සුව වූ වත් නැවත ඒමට පුළුවන් ද ?

    ඇතැම් රෝග හේතු නිසා හටගත් තුනටිය වේදනාව සුව වූ පසුවත් රෝගියා ගේ අපථ්‍ය ආහාර හා ඇවැතුම්, පැවැතුම් නිසා ඇති වීමට පුළුවන්. එය රෝගියා ගේ පැවැත්ම හා බැඳුණු දෙයක් නිසා ප්‍රතිකාර හරහා ලැබුණු දෙයක් නිසා ප්‍රතිකාර හරහා ලැබුණු සුවය දීර්ඝකාලීනව තබා ගැනීම රෝගියා සතු වගකීමකි.

    නැවත රෝගය ඉස්මතු නොවිමට රෝගියා සතු කාර්යය

    • උෂ්ණ ගුණයෙන් යුතු ආහාර/පාන වලින් වැළකීම.
    • මළ / මුත්‍රා වේග නිසියාකාරව බැහැර කිරීම.
    • අධික ව්‍යායම හා අධිකව කය වෙහෙසන ක්‍රියාවලින්ගෙන් වැළකීම.
    • අධික මෛථුන සේවනය නොකිරීම.
    • අධික චිත්ත වේග සිතුවිලි වලින් තොරවීම.
    • නිවැරදි ඉරියව් පවත්වාගෙන යාම.
    • සුව නින්ද හා දිවා කළ නිදා ගැනීම වැළකීම.
    • අධික හිරු රශ්මියට නිරාවරණය වැළකීම.
    • අධික සීතල පරිසර හා අධික සීතල ජලය ස්නානයෙන් වැළකීම.
    • ඖෂධ විහරණ වගේම ආහාර පාන වලින් ද සැලකිලිමත් වීම වැදගත්.


    ආයුර්වේදයට අනුව වාත කෝප කරන හේතු මගින් මෙවැනි රෝග වලට බොහොමයක් හේතුවන නිසා එවැනි ආහාර පාන අඩු කළ යුතුයි.


    උද්‍ර: බණ්ඩක්කා / ඇඹුල් කෙසෙල් / තක්කාලි / අච්චාරු / අන්නාසි / ඉස්සෝ / දැල්ලෝ / සැමන් / බල මාළු  ආදී උෂ්ණ ආහාර අපථ්‍ය වෙයි.


    පත්‍ය ආහාර පාන
    කොල්ලු / මුං ඇට / කඩල / පරිප්පු / සුදු ලූණු / රතු ලූණු / පතෝල / වැටකොළු / වට්ටක්කා / පළා වර්ග / උණු දිය පත්‍ය ආහාර පාන වෙයි.


    ඖෂධ වගේම රෝගියා ගේ පැවැත්ම අනුව මෙවැනි ඔබේ දින චර්යාවට හා ජීවන ගමනට බාධා එන තුනටිය වේදනාව හෙවත් කටී වේදනාව සහමුලින්ම වළකා ගැනීමට හැකියාව ලැබෙන ඇත.
     
    වෛද්‍ය උපදෙස් :
    ආයුර්වේද වෛද්‍ය චන්දිමා සංජිවනි පෙරේරා
    ආයුර්වේද වෛද්‍ය නිළධාරිනි
    ආයුර්වේද රෝහල – ගාලදිවුල්වැව

     

    අද එන්නත් මධ්‍යස්ථාන 111ක්

    0

    අද දිනයේ ද දිස්ත්‍රික් 15ක් පුරා මධ්‍යස්ථාන 111 කදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

    අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 16.11.2021

    වැස්සෙන් හානි වූ කුඹුරුවලට රජයෙන් සහන

    0

    අයහපත් කාළගුණික තත්ත්වය නිසා විනාශවී ඇති කුඹුරු ඉඩම්වල හානි තක්සේරු කොට සහන ලබා දීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    මේවනවිට කෘෂි රක්ෂණ මණ්ඩලයට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට එයට අදාළ උපදෙස් ලබාදී තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

    එමෙන්ම හානියට පත් කුඹුරු ඉඩම් හිමියන්ට නැවත වී වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී හා කාබනික පොහොර ඇතුළු සහනාධාර ලබා දීමට රජය කටයුතු කරන බව කී අමාත්‍යවරයා එයට අදාළ
    ඇස්තමේන්තු සකස් කර ඉදිරිපත් කරන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

    මෙවර මහ කන්නයේ වගා හානිය කුඹුරු හෙක්ටයාර් 30,000කට වැඩි නොවන බව දිවයින පුරා ගොවිජන සංවර්ධන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී අනාවරණය වු බව කෘෂිකර්ම අමාත්‍යවරයා ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    චන්ද්‍රිකා ඡායාරූපවලින් එළියට ආ චීනෙ රහසින් හදන යුධ නැව

    0
    චීනය දැන් භාවිතා කරන යල් පැන ගිය සෝවියට් යුගයට අයත් නෞකාවක්

    ඇමරිකා එක්සත් ජපදය භාවිතා කරන තාක්ෂණයට සමාන සහ පහසුකම් වලට සමාන ගුවන් යානා වාහක නෞකාවක් දේශීයව නිපදවමින් සිටින බවට චන්ද්‍රිකා ඡායාරූප මගින් අනාවරණය වී ඇති බව වොෂීන්ටය පාදක කරගෙන ක්‍රියාත්මක උපදේශක කණ්ඩායමක් සඳහන් කරයි.

    ඒ අනුව මෙම ගුවන් යානා වාහක නෞකාව චීනයේ ශැංහැයි හී තටාංගයක ඉදිවෙමින් පවතින බවත් එළැඹෙන වසරේ පෙබරවාරි මාසය වන විට නිපදවා අවසන් කිරීමට බොහෝවිට ඉඩ පවතින බවත් එම උපදේශක කණ්ඩායම පෙන්වාදෙයි.

    ටයිප් 003 ලෙසින් හදුන්වාදී ඇති මෙම නෞකාව පිළිබඳ සනාථ කරන ඡායාරූප ඔක්තෝම්බර් 23 වැනිදා ලබාගෙන ඇති බවට වාර්තා වන අතර එහි බලශක්තිය ලබාදෙන උපංග සහ ගුවන්යානා ගුවන්ගතර කිරීමේ ක්‍රමවේදයන් ඉදිකිරීමේ බොහෝවිට අවසන්ව ඇති බවට සැලකේ.

    විශ්ලේඛයින්ට අනුව ආයුධ පද්ධතිය සහ රේඩාර් පද්ධතිය ඇතුලු කොසෙට් කිහිපයක් පමණක් නෞකාවට එක්කිරීමට ඉතිරිව ඇති බවත් නුදුරේදීම එය දියඹට දියත් කිරීමට හැකියාව පවතී.

    ඒ අනුව මෙම නෞකාව චීනය සතු තෙවන ගුවන්යානා වාහක නෞකාව වනු ඇති අතර දේශීයව නිෂ්පාදනය කළ දෙවන නෞකාව වනු ඇත.

    කෙසේවෙතත් චීනය සතු අනෙක් ගුවන්යානා වාහක නෞකාවන් දෙකට සාපෙක්ෂව මෙම නව නෞකාව ඉතා දියුණු තාක්ෂණයකින් යුක්තවන බවත් මේවන විට ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ගුවන්යානා වාහක නෞකාවන් විසින් ගුවන්යානා ගුවන් ගත කිරීමට භාවිතා කරන කැටපොල ක්‍රමය භාවිතා කිරීමට ඉඩ ඇති බවට පැවසේ.

    එමගින් මෙම ටයිප් 003ට චීනය සතු අනෙක් නෞකා දෙකට සාපෙක්ෂව ඉතා වේගවත්ව සහ පහසුවෙන් ගුවන්යානා ගුවන්ගත කිරීමට අවස්ථාව හිමිවෙනු ඇති අතර එහිදී ගුවන්යාන වලට පෙරට වඩා වැඩි ආයුධ ප්‍රමාණයක් සහ වැඩි ඉන්ධන ප්‍රමාණයක් රැගෙන යාමට අවස්ථාව හිමිවෙන ඇත.

    මෙම නෞකාව පිළිබද අනාවරණය කළ උපදේශක කණ්ඩායමේ ජේ්‍යෂ්ඨ සාමාජිකයෙකු වන මැතිව් ෆනියෝලේ පවසන අන්දමට ටයිප්003 චීනයේ නාවික තාක්ෂණයේ ඉදිරි පිම්මක් ලෙස හැදින්විය හැකිය.

    බල තරඟය

    චන්ද්‍රිකා ඡායාරූපවලින් අනාවරණය වූ නෞකාව

    මෙතක් කාලයක් සාගරයේ බලය හිමිකරගෙන තිබූ ඇමරිකාවට මේවන විට එය අහිමිවෙමින් පවති. ඒ අනුව දශක ගණනාවක් පුරාවට ලොව විශාලතම නාවික හමුදාවට හිමිකම් කියූ ඇමරිකා එක්සත් ජනපදයට එය අහිමි වෙමින් ලොව විශාලතම නාවික හමුදාව ස්ථාපිත කිරීමට චීනයට හැකියාව ලැබී තිබේ.
    නාවිකයින් සහ නෞකා සංස්ධනය කරනවිට වැඩි සංඛ්‍යාවක් චීනය සතුවේ. කෙසේ වෙතත් ගුවන් යානා වාහක නෞකාවන් සංඛ්‍යාව සමඟ සසඳන විට ඇමරිකා එක්සත් ජනපදය තවමත් ඉදිරියෙන් සිටියි.

    කෙසේවෙතත් චීනයේ පසුගිය කාලයේ හැසිරීම් රටාව සලකා බලන විට සිය ආර්ථි ශක්තිය වර්ධනය කරගැනීමට සාපෙක්ෂව යුධ ශක්තියද ක්‍රමක්‍රමයෙන් වර්ධනය කරගැනීමේ ප්‍රයත්නයක් දැක ගැනීමට හැකියාව ලැබෙයි.

    ඒ අනුව ෆනියෝලේ පෙන්වාදෙන්නේ මෙවැනි නෞකා මගින් දේශපාලනිකමය බලතුලනයට වැඩි බලපෑමක් එල්ලකළ හැකිව බවයි.

    චීනය සිය නාවික බලය වර්ධනය කර ගැනීමට ආරම්භ කළ ගමනේදී සිය පළමු ගුවන් යානා වාහක නෞකාව වුයේ සම්පූර්ණ නොකළ සොවියට් සමූහාන්ඩුවට අයත් නෞකාවකි.

    එය 1998 වර්ෂයේදී යුක්රේනයෙන් මිලදීගත් අතර එය පිලිසකර කර දියඹට යොමු කිරීමට හැකියාව ලැබුනේ 2012 වර්ෂයේදීය. මෙම නෞකාවෙන් ලබාගත් දැණුම යොදාගෙන චීනය දේශීය වශයෙන් 2019 වර්ෂයේදී නව නෞකාවක් ඉදි කර සේවයට එක් කරනු ලැබීය.

    මෙම නෞකා දෙක චීනයේ නාවික බලය වර්ධන කළද එහි හැකියාවන් ඇමරිකාවට සාපෙක්ෂව ඉතාම පහළ මටටමක පැවතීය.

    ඒ අනුව ඇමරිකාව සහ චීනය සමඟ සසදන විට චීනයේ ටයිප් 003 හැර අනෙක් ගුවන් යානා වාහක නෞකාවන් දෙකම යල්පැන ගිය ස්කී ජන්ප් නැමැති ක්‍රමයට ගුවන් යානා ගුවන් ගත කිරීම සිදුකරයි.
    මෙම ක්‍රමයේදී නෞකාවේ ගුවන් පථය යම් අකාරයක ආරුක්කු හැඩයකින් පිහිටා ඇති අතර එමගින් ගුවන් යානට ගුවන් ගත්කිරීම සිදුකරයි. එන්ම යම් ආකාරයකින් ගුවන් පථය ඉහළ එසවෙන ලෙස සකස් කර ඇති අතර එමගින් යානය ගුවන් ගතවීම පහසු කරයි.

    ඡායාරූපවලින් අනාවරණය වූ නෞකාව

    එහෙත් ඇමරිකාව භාවිතා කරන තාක්ෂණය ඊට ඔබ්බට යාමකි. එහිදී ගුවන් යානායේ ඉදිරිපස රෝදය හුමාල බලයෙන් ක්‍රියාත්මක වන කැටපෝලයකට සවිකරන අතර එමගින් යානය කෙටිදුරකදී ගුවන් ගතවීමට අවශ්‍ය වේගය ලබාදීම සිදුකරයි.

    එනම් මෙය එක්තරා ආකාරයකින් ගුවන් යානය කැටපෝලයකින් ඉදිරියට විසි කිරීමටක සමානය. එහෙත් මෙම තාක්ෂණය ඉතා සංකීර්ණ වන අතර එය මේවන විට ඇමරිකාව ඉතා සාර්ථකව භාවිතා කරමින් සිටියී.

    මෙම කැටපොල ක්‍රමයෙන් ස්කී ජම්ප් ක්‍රමයට වඩා වේගයෙන් ගුවන් යානා ගුවන් ගත කිරීමටත් වැඩි බරක් රැගත් ගුවන් යානා ගුවන් ගත කිරීමටත් හැකියාව ලැබෙයි. ඒ අනුව කැටපොල ක්‍රමයට වැඩි ඉන්ධන ප්‍රමාණයක් හෝ අවි රැගෙත් ගුවන්යානා ගුවන්ගත කිරීමට හැකියාව ලැබෙයි.

    කෙසේ වෙතත් චීනයේ නව ටයිප් 003 මෙම ඇමරිකානු තාක්ෂණයද අභිබවමින් නවතම විද්‍යුත් චුම්භක තාක්ෂණයෙන් ක්‍රියාත්මක කැටපොල ක්‍රමයක් යෙදා ගැනීමට ඉඩ පවතින බව විශ්ලේෂඛයින් විසින් පෙන්වාදෙනු ලබයි.

    චීනය සිය තාක්ෂණය අතින් ඉතාමත් ඉදිරියට පැමිණියත් ඇමරිකානු ගුවන්යානා වාහක නෞකාවන්ට වඩා වෙනස් වනු ඇති බව මැතිව් ෆනියෝලේ පෙන්වා දෙයි.
    ඔහු පෙන්වාදෙන ආකාරයට ඇමරිකාව මේවන විට භාවිතා කරන සියලුම ගුවන්යානා වාහක නෞකාවන් න්‍යෂ්ටික බලයෙන් පනගැන්වෙන අතර එමගින් කිසිම අයුරකින් ඉන්ධන පිළිබඳ ගැටලුවකින් තොරව ගමන් කිරීමට හැකියාව ලැබෙයි.

    එමගින් ඕනෑම අවස්ථාවක නෞකාවට ඕනෑම දුරක පිහිට ඉලක්කයක් වෙත ගමන් කිරීමට හැකියාව හිවෙනු ඇත.
    කෙසේ වෙතත් චීනයේ මෙම නෞකාව සාමප්‍රදායික ඉන්ධන මගින් බලගැනවෙනු ඇති බවද ෆනියෝලේ පෙන්වෙදෙයි.

    එහෙත් පවතින තත්ත්වය සමඟ සසඳන විට චීනය සිය මුහුදු සීමාවන්ට ආසන්නව පමණක් යාත්‍රා කරන බැවින් එය ගැටලුවන් නොවෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ෆනියෝලේ ප්‍රකාශ කර ඇත.
    ඇමරිකානු නාවික හමුදාවට ඇති වාසි
    චීනය දිනෙන් දින සිය බලය වර්ධනය කරගත්තද තවමත් ඇමරිකාවට ගුවන් යානා වාහක නෞකා සම්බන්ධයෙන් සලකා බලන විට වැඩි වාසියක් පවතින බව විශ්ලේෂඛයින් පේනවාදෙයි.

    ඔවුන්ට අනුව ඇමරිකානු නාවික හමුදාවන් දෙවන ලෝක සංග්‍රම සමයේ සිට ගුවන් යානා වාහක නෞකා භාවිතා කරන බැවින් ඒ පිළිබඳ මනා පළපුරුද්දක් ඔවුන් සතුය. එහිදී නෞකා වල සිටින සියලු නාවිකයන් මේවන විටත් මනා පුහුණුවකට ලක්වූ පිරිස් වන අතර ඔවුන්ට තාක්ෂණික දැණුම සහ හදිසි අවස්ථා වලදී කටයුතු කළයුතු ආකාරය පිළිබඳවද චීනය සාපේක්ෂව ඉතා ඉහළ අවබෝධයක් සහ පළපුරුද්දක් පවතී.

    ඒ අනුව දැනට පවතින තත්ත්වය අනුව ඇමරිකාවට ගුවන්යාන වාහක නෞකා සම්බන්ධයෙන් වැඩි වැසියක් පවතින බව ෆනියෝලේ පෙන්වාදෙයි.

    චීනය දැන් භාවිතා කරන යල් පැන ගිය සෝවියට් යුගයට අයත් නෞකාවක්

    කෙසේවෙතත් චීනයේ මෙම නෞකාව පූර්ණ වශයෙන් සේවයට යොදා ගැනීමට තවත් වසර කිහිපයක් ගතවෙනු ඇති බවට විශ්වාස කරන ඒ කාලය තුල චීනය තවත් මෙවැනිම නෞකා නිපදවීමට බොහෝවිට ඉඩ පවතින බැවින් ඉදිරි දශකය තුළ ගෝලීය බල තුලනයේ විශාල වෙනස් වීමක් අපේක්ෂා කිරීමට හැකිය.

    සජබ විරෝධතාවට හෙට වෙන දේ පොලීසිය කියයි

    0

    සමගි ජන බලවේගය විසින් හෙට දිනයේ කොළඹ දී සංවිධානය කර ඇති විරෝධතා ව්‍යාපාරය පැවැත්වීම් අත්හිටුවමින් බස්නාහිර පළාතේ මහේස්ත්‍රාත් අධිකරණ 7ක් විසින් අද වාරණ නියෝග නිකුත් කර තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විරෝධතාව පැවැත්වීම අත්හිටුවීමට පොලිසිය විසින් අධිකරනයෙන් වාරණ නියෝග ලබා ගැනීමට කටයුතු කළ බවයි.

    අද දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ග උපදේශන මාර්ග උපදේශන මාලාවක් නිකුත් කර ඇති අතර ඒ අනුව හෙට දිනයේ පැවැත්වෙන එළිමහන් රැස්වීම් වළක්වාලීමට පොලිසිය කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටී.

    අද නිකුත් කළ හෙට සිට පිළිපැදිය යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ

    0

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් හෙට (16) සිට ලබන 30 වෙනිදා දක්වා ක්‍රියාත්මක කළ යුතු සංශෝධිත සෞඛ්‍යා මාර්ගෝපදේශ අද නිකුත් කරනු ලැබීය.

    ඊට අනුව පෞද්ගලික ඒකරාශීවීම් වලදී ශාලාවක ධාරිතාවෙන් තුනෙන් එකකට අවසර හිමි වේ. එහෙත් එහි උපරිමය පුද්ගලයින් 100 නොඉක්මවිය යුතු බව නව රෙගුලාසිවල සඳහන්ය.

    පෞද්ගලික නිවසක නම් රැස්විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 10 කි. එහෙත් එළිමහන් පෞද්ගලික ඒකරාශී වීම් සඳහා අවසරය හිමිවන්නේ නැත.

    ආගමික ස්ථාවල තනි තනිව වැඳුම් පිදුම් කිරීමට අවසරය හිමිවන අතර විශේෂ උත්සව , යාඥා සහ ආගමික මෙහෙයන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශවලට අනුකූලව සිදුකළ යුතුය.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සඳහා පමණක් උපකාරක පන්ති සියයට 50 ක ධාරිතාවයකින් පවත්වා ගෙන යාමටත් නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් අවසරය හිමිව තිබේ.

    එසේම අවමංගල්‍ය උත්සව සිරුර මුදා හැර පැය 24 ක් ඇතුළත සිදුකළ යුතු අතර එක් වරකට සිටිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව ලෙස සදහන් වන්නේ පුද්ගලයින් 20 දෙනෙකි.

    විවහා මංගල උත්සව සඳහා සියයට නොවැඩි පිරිසකට සහභාගි විය හැකි අතර එළිමහන් මංගල සාද සඳහා 150 කට සහභාගි විය හැකියි. එහෙත් මත්පැන් භාවිතය සඳහා අවසර ලැබෙන්නේ නැත.

    නරඹන්නන් නොමැතිව ක්‍රිඩා ක්‍රියාකාරකම් සඳහා අවසර හිමිවන අතර සිනමා ශාලා හා රංග ශාලා සියයට 50 ක ධාරිතාවයෙන් පවත්වාගෙන යාමටද අවසරය හිමිව තිබේ.

    නිසි බලධාරීයාගෙන් ලබා ගන්නා අවසරයකින් තොරව නව රෙගුලාසිවලට අනුව මහජන ඒකරාශී වීම්,රැස්වීම් හා උත්සව සඳහා නැවත දැනුම් දෙන තුරු අවසර හිමි නොවන අතර නව මාර්ගෝපදේශවලට අනුව කටයුතු නොකරන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එහි සදහන්ය.