fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උසස්වීම් ඇහිරීමෙන් එස්.ටී.එෆ් නිලධාරීන් ක ලකිරීමකින්

    උසස්වීම් ඇහිරීමෙන් එස්.ටී.එෆ් නිලධාරීන් ක ලකිරීමකින්

    පොලිස් විශේෂ කාර්ය බලකායේ ඉහළම නිලවල දීර්ඝ කාලයක් අනුමත සංඛයාවට වඩා වැඩි නිලධාරීන් පිරිසක් රැදී සිටීම හේතුවෙන් පහළ ශ්‍රේණිවල නිලධාරීන්ට ඉහළට ඒමට නොහැකිව දැඩි කලකිරීමකට ලක්ව සිටිති.

    එසේම උසස් වීම් සදහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණවලදී පවා ජ්‍යෙෂ්ඨත්වට වැඩි සැළකිල්ලක් දැක්වීම හේතුවෙන් විශේෂ කාර්ය බලකායේ කීර්ති නාමය ඉහළ නැන්වීමට කුසලතා පෙන්වන නිලධාරීන්ට ඉහළට ඒමටද අවස්ථා අහිමිව ඇතැයි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් රැසක්ම දැඩි කලකිරීමකින් අපවෙත සදහන් කළහ.

    එම නිලධාරීන් පෙන්වා දෙන්නේ පාතාල අපරාධ, මත්කුඩු ඡාවාරම් ඇතුළු සමාජ විරෝධි ක්‍රියා මැඩලීමට සිය ජීවිත අවධානම පවා නොතකා කටයුතු කරන තමන්ට නිසි ඇඟයීම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී වැඩ කිරීමේදී ඒ ගැන දෙවරක් සිතාබැලීමට සිදුවන බවය.

    විශේෂ කාර්ය බලකායේ අනුමත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධූර සංඛ්‍යාව 08 කි. ඊට වැඩි නිලධාරීන් පිරිසක් සිටින්නේ නම් ඒ අය සාමාන්‍ය පොලිස් රාජකාරිවලට නිදහස් විය යුතුය. එහෙත් මේ වන විට විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 17 දෙනෙක් සේවයේ නිරතව සිටින බව එම නිලධාරීන් පෙන්වා දෙති. පොලිස් අධිකාරීවරුන් සදහා අනුමත නිලධාරීන් සංඛ්‍යාව වන්නේ 14 දෙනෙකි. එහෙත් දැන් සිටින්නේ එක් නිලධාරියෙක් පමණි. මෑතකදී නිලධාරීන් දෙදෙනෙක් විශ්‍රාම යන අතර තවත් එක් නිලධාරියෙක් මෙම උසස්වීම් ගැටළු හේතුවෙන් කලකිරීමකට ලක්ව විශේෂ කාර්ය බලකාය අතහැර රාජ්‍ය බුද්ධි සේවයට ගොස් තිබේ.

    බැලූ බැල්මට විශේෂ කාර්ය බලකායේ පොලිස් අධිකාරීධුරවල පුරප්පාඩුවක් පෙනෙන්නට තිබුණත් සැළසුම් සහගතව යම් නිලධාරීන් පිරිසක් විශේෂ කාර්ය බලකාය අතහැර නොයා එහිම රැදී සිටීම සදහා පොලිස් අධිකාරී සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මට්ටම් එකම තලයක තබාගෙන සිටින බව නිලධාරීන් චෝදනා කරයි.

    මේ තත්ත්වය මත පොලිස් අධිකාරීධුර 16 ක් මේ වන විට පුරප්පාඩුව පැවතියත් සහකාර පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකුට පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් ලැබීමට ඇති අවස්ථාව අහිමිව ගොස් ඇති බවද එම නිලධාරීන් සදහන් කරති.

    විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීධුර වෙන්ව ඇත්තේ 45 ක් පමණි. නිලධාරීන් 16 දෙනෙක් පොලිස් අධිකාරීධුරයන්ට උසස්වීමෙන් සහකාර පොලිස් අධිකාරීධුරයන්ගේ ඇතිවන පුරප්පාඩු සදහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට ඉහළට ඒමට අවස්ථාවක් උදාවනු ඇත. එසේම ඊට පහළ නිලධාරීන්ටද ක්‍රමිකව උසස්වීම් ලැබීමට ඇති අවස්ථාව දැන් ඇහිරීගොස් ඇති බව එම නිලධාරීන් චෝදනා කරති.

    විශේෂ කාර්ය බලකායේ වත්මන් සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාද වැඩි කාලයක් විශේෂ කාර්ය බලකායේ රැදී සිටි නිලධාරියෙකි. ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධුරයට උසස්වීමෙන් අනතුරුව විශේෂ කාර්ය බලකායෙන් ඉවත්ව සාමාන්‍ය පොලිස් සේවයට එක්ව පොලිස් කොට්ඨාශ සහ විශේෂ අංශවල සේවය කර අත්දැකීම් වලින්ද පරිණතව නැවත විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා ලෙස පැමිණියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස බවද එම නිලධාරීන් පෙන්වා දෙති. එදා ජයසුන්දර මහතා සාමාන්‍ය පොලිස් සේවයට එක්වීමෙන් පහළ ශ්‍රේණිවල එක් නිලධාරියෙක්ට හෝ ඉහළට ඒමට අවස්ථාවක් ලැබුණු බවද එම නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙති.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.