fbpx
තවත්
    මුල් පිටුවspecialපොලිස්පතිත් අන්ඳවන්න ගිය ගම්පහ පොලීසියට වැඩ වැරදුනු හැටි

    පොලිස්පතිත් අන්ඳවන්න ගිය ගම්පහ පොලීසියට වැඩ වැරදුනු හැටි

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මේ වන විට රැකියා අහිමිවීම් බොහෝය. රැකියාවක් අහිමි වීමේ බලපෑම කුඩුම්බියකට පමණක් සීමා නොවේ. රටේ ආර්ථිකයට පවා තදින්ම එහි බලපෑම් එල්ලවනු ඇත.

    ආර්ථික අතින් ශක්තිමත් නොවූ අප වැනි රටකට එය දැනෙන තරම අති මහත්ය.

    මෙම සටහන තැබෙන්නේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කර්මාන්ත සහ ආයතන කඩා වැටීම් හේතුවෙන් රැකියා අහිමිවීම් ගැන නොවේ. මෙවන් දුෂ්කර වකවානුවක තමන්ට ලැබෙන රැකියාව පවා පොලීසියේ දුෂ්ඨ ගති නිසා බොහෝ පිරිසකට අහිමිවී යාම් ගැනය.

    අද අපේ රටේ බොහෝ රැකියා ස්ථානවලට අලුත් සේවකයින් බදවා ගන්නා විට පොලිස් සහතිකය ඉල්ලති. විශේෂයෙන් ටෙලිකොම්, වරාය, හෝටල් ආදී ස්ථානවල රැකියා සදහා පොලිස් සහතිකය අනිවාර්ය වේ.

    ගම්පහ පදිංචි පුද්ගලයෙක් බණ්ඩාරනායක ගුවන්තොටුපොලේ ඔහුට ලද රැකියාවක් සදහා පොලිස් සහතිකයක් ගම්පහ පොලිස් ස්ථානයෙන් ඉල්ලුම් කරනුයේ අදාල සමාගමෙන් නිකුත් කළ ලිපියක්ද ග්‍රාමසේවා සහතිකයද සමගිනි. සිය නිවසට පැමිණෙන මාර්ගය පවා ඒ පුද්ගලයා පොලිස් ස්ථානයේ ඇති පොලිස් සහතික නිකුත් කරන කවුළුවේ නිලධාරීන්ට ලබා දුන්නේය.

    සාමාන්‍යයෙන් පිටරට රැකියා සදහා පොලිස් මූලස්ථානයෙන් ඉල්ලුම්කරන පොලිස් සහතිකය පවා සති දෙකක් තුළ ඉල්ලුම්කරුට ලැබෙති. එම සහතික නිකුත් කිරීම සංකීර්ණ කටයුත්තකි. එහෙත් ගමේ පොලිස් ස්ථානයෙන් පොලිස් සහතිකයක් නිකුත් කිරීමට දින දෙක තුනකට වඩා කාලයක් මිඩංගු නොකරන ලෙසයි පොලිස් මූලස්ථානය දැනුම්දී තිබෙන්නේ.

    එහෙත් සතියක් ඉක්ම ගියද මේ පුද්ගලයාට පොලිස් සහතිකය තබා පොලිස් නිලධාරීන් නිවසට හෝ ඔහු පදිංචිව සිටින ප්‍රදේශයට පැමිණ කිසිදු සොයා බැලීමක් නොකළේය. දැන් ඔහුට ඒ රැකියාව අහිමිවීමේ අවධානමක්ද මතුවී තිබුණේය. ඒ පොලිස් සහතිකය නොමැති කමිනි.

    මේ නිසාම ඔහු ඉකුත් සෙනසුරාදා පෙරවරුවේදී පොලිස් ස්ථානයට ගියේය. පොලිස් වාර්තා නිකුත් කරන කවුළුවේ නිලධාරීන් මුණ ගැසී සිය අවශ්‍යතාව පෙන්වා දෙමින් පොලිස් වාර්තාව ඉක්මනින් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය. එහිදී ඔහුට ලැබෙන පිළිතුර වන්නේ පහුවෙනිදා පැමිණෙන ලෙසය. ඔහු එතැන සිටින විනාඩි කිහිපය තුළ පොලිස් වාර්තා ඉල්ලා පැමිණි පිරිස් බොහෝය. සතියක් දෙකක් නොව, ඊට එහා කාලයක් තිස්සේත් පොලිස් වාර්තා බලාපොරොත්තුවෙන් සිටින අය ඒ අතර විය. වැඩි දෙනෙක් තරුණයින්ය. ඇතැමුන් පොලීසියට බණිමින්ද තවත් අය තමන්ටම මුමුණමින් පොලිස් නිලධාරීන්ගේ අම්ම මුත්ත මතක්කරමින්ද තවත් එක්අයෙක් දෙන්නෙක් මුහු‍ණේ කදුළු පුරෝගෙන යන්නට වූයේ හිස් අතිනි.

    මේ කියන පුද්ගලයා පසුදින පොලිස් ස්ථානයට එන්නේ පොලිස් වාර්තාව රැගෙනයාමේ සූදානමිනි. පෙරදින සිටි නිලධාරීන් එහි නොවීය. සිටියේ අලුත් නිලධාරීයෙකි. ඉල්ලුම් කිරීමේ අංකය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු පොතක් පෙරලා බලා “තාම වාර්තාව හදල නැහැ.“ යැයි ගාම්බීරව උස් හඬින් කීවේය.

    “සර්, සඳුදා පොලිස් වාර්තාව අරගෙන ගියේ නැත්නම් රක්ෂාව ලැබෙන්නේ නැහැ.“ ඉතා යටහත්පහත්ව බයාදු ලෙස ඔහු පොලිස් නිලධාරියාට පැවසුවේය.

    “අපිට දිනයක් කියන්න බැහැ. ගෙවල්වලට ඇවිල්ල පරීක්ෂා කරල දෙන්න ඕනේ.“ පොලිස් නිලධාරීයා ටිකක් සැරපරුෂ ලෙස කීවේ පොලීසියේ බලය ගැන කියා පාන්නක් මෙනි.

    මේ සියල්ලක්ම වන්නේ මෙම පුද්ගයාගේ ඥාතියෙක් පොලීසිය සමග ඉතා කිට්ටු සම්බන්ධයක් පැවතියදීය. මේ තත්ත්වය මත ඥාතියා මගින් මේ ගැන පොලීසියේ ඉහළ නිලධාරියෙකු දැනුවත් කර පොලිස් වාර්තාව ඉක්මනින්ම ලබාගැනීම ඔහුගේ අපේක්ෂාව විය. ඔහු ඥාතියාට සියල්ල පැවසුවේ පොලිස් වාර්තා නිකුත් කරන අංශයට පැමිණ හිස් අතින් යන පුද්ගලයින් ගැනද කියමිනි.

    මේ පුද්ගලයාගේ ඥාතියා කල්පනා කරන්නේ මේ ගැන පොලීසියේ ඉහළම නිලධාරියාවන පොලිස්පතිවරයාව දැනුවත් කරන්නටය. ඒ රැකියාවන් අහිමිවන කාලයක ලැබෙන රැකියාව පවා නොලැබෙන තැනට පොලීසිය කරන මේ කැත වැඩේ නතරකර ජනතාවට පොලීසියෙන් සැබෑ සේවයක් ලබා දීමට හැකි වාතාවරණයක් ගම්පහ පමණක් නොව, මුළු රටේම ඇතිකර දීමටය.

    වැඩේ පත්තුවන්නේ එවිටය. පොලිස් වාර්තා නිකුත් කරන අංශයේ නිලධාරීන්ට එතෙක් නොතිබුණු මහා උනන්දුවක් එකවරම ඇති වන්නට විය. කඩිගුලක් ඇවුස්සුනාක් මෙන් එක එක නිලධාරීන් එහේ මෙහේ දුවන්නට ගත්තේය. “ මහත්තයා විනාඩි දෙකක් ඉන්න. ඔයාගේ රිපෝට් එක දැන් දෙනවා“ පොලිස් නිලධාරීන් කියන්නට ගත්තේය.

    කතාව එය නොව. ගම්පහ පොලීසිය පොලිස්පතිවත් ඒ වන විට අන්දවන්නට උත්සහයක් ගෙන තිබීමය. “ සර් අපි හැම රිපෝට් එකක්ම දින දෙක තුනක් ඇතුලත නිකුත් කරනවා. ඇත්තටම සර් ඔය කියන රිපෝට් එකයි තවත් දෙකකුයි විතරයි ඉතිරිවෙලා තියෙන්නේ.“ ඒ වන විට අතවත් කියා නැති පොලිස් වාර්තා ඉල්ලුම්පත් පිරවූ ගොනු තුනක් පොලිස් ස්ථානයේ තිබියදීත් පොලිස්පතිවරයාව අන්දන්නට යන්නේ එසේය.

    සී.ඩී. වික්‍රමරත්න යනු ශ්‍රී ලංකා පොලීසියේ සිටි වෙනත් පොලිස්පතිවරුන් ලෙස ඇන්දවීමට පහසු පුද්ගලයෙක් නොවන බව ගම්පහ පොලීසියේ නිලධාරීන් දැන නොසිටියා වන්නට පුළුවනි. පොලිස්පතිවරයාත් ඇන්දුනා වගේ පෙන්වමින් ගම්පහ කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා ඒ මොහොතේම ගම්පහ පොලිස් ස්ථානයට යැව්වේය. පොලිස් වාර්තා සම්බන්ධයෙන් වූ ලිපි ගොනු පරීක්ෂා කරන ලෙස දැනුම් දුන්නේය. ඒ වන විටත් ඔක්තෝම්බර් මාසය අවසන්ව සතියක් ඉක්මව ගොස් තිබුණත් ඔක්තෝම්බර් මාසයේ ඉල්ලුම් කළ පොලිස් වාර්තාවලින් නිකුත්කර තිබුණේ යැයි හෙළිවන්නේ සියයට 10 ක් පමණ වූ ප්‍රමාණයක් පමණි. ගම්පහ පොලීසිය පොලිස්පති ඇන්දවීමට ගොස් ඔවුන්ම ඇද ගන්නේ එසේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.