තවත්

    කරාපිටිය රෝහල් වෛද්‍යවරියගේ ගෙලබැදි රන් මාලය කොල්ලකාලා

    0

    ගාල්ල කරාපිටිය රෝහලේ සේවයේ නිරත වෛද්‍යවරියක් රෝහලේ සිට සිය නිවස වෙත ඊයේ (27) පා ගමනින් යමින් සිටියදී පසුපසින් පැමිණි පුද්ගලයකු විසින් ඇගේ ගෙල බැදි රන් මාලය සහ ජංගම දුරකථනය කොල්ලකා පළාගොස් ඇත.

    ගාල්ල ඒ.එච්.ඊ. ප්‍රනාන්දු මාවතේදී මෙම මංකොල්ලය සිදුව ඇත්තේ රාත්‍රී 7.30ට පමණ බව ගාල්ල පොලිසිය සඳහන් කළේය.

    මෙම වෛද්‍යවරියගේ නිවස පිහිටා ඇත්තේද එම මාර්ගයේම බව පොලිසිය සඳහන් කරයි.

    කොල්ලකෑ රන් මාලය පවුමක් පමණ බරැති බවත් ජංගම දුරකථනය හා එම රන් මාලය රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනාබවත් වෛද්‍යවරිය විසින් මේ ගැන පොලිසියට පැමිණිලිකරමින් සඳහන් කර ඇත.

    පංසල්වත්තේ බෝම්බයක් පුපුරයි

    0

    බෙලිඅත්ත, නිහිළුව, පටිට්යවෙල ගල්කෙම පුරාණ විහාර භූමිය පිරිසිදු කිරීමේදී ට්‍රැක්ටරයකට හසුවී බෝම්බයක් පුපුරාගොස් ඇත.

    ට්‍රැක්ටරයෙන් විහාර භූමිය පිරිසිදුකරමින් තිබියදී මෙම පිපුරුම වී ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    පුපුරාගිය බෝම්බය SFG 87 වර්ගයේ විදේශීය නිෂ්පාදිත එකක් බව බෙලිඅත්ත පොලිසිය කියයි.

    මෙම බෝම්බ පිපුරුමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැත.

    එළුවන් හපා කෑ බල්ලාගේ දිවි තොර කළ කතක් අත්අඩංගුවට

    0

    සිය එළු රංචුව හපා කෑ බල්ලෙකුව ගෙල සිරකර ගසක එල්ලා මරා දැමූ කාන්තාවක් මාන්කුලම පොලිසිය අද අත්අඩංගුවට ගත්තේය.එම බල්ලාව තමාට හදාවඩා ගැනීමට නොහැකි බව බල්ලාගේ හිමිකරු සමථ මණ්ඩලය හමුවේ පැවසීමත් සමග බල්ලාව හදාවඩා ගැැනීමට තමන්ට භාරදෙන ලෙස ඉල්ලාගෙනවිත් මෙසේ එල්ලා මරා ඇති බව පොලිසිය කියයි.
    මෙම අපරාධය සිදුකර ඇත්තේ පසුගිය 25 වෙනිදා රාත්‍රී කාලයේදීය.සැකකාරිය වයස අවුරුදු 48ක් වන මාන්කුලම චෛත්‍යකුලමේ පදිංචිකාරියකි.මෙම අපරාධය සුනඛයාගේ හිමිකරු විසින් ජංගම දුරකථනයකින් වීඩියෝගතකර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුකර ඇත. ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් පොලිසිය විමර්ශන පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සැකකාරිය සහ සුනඛයාගේ හිමිකරු අසල්වැසියන් බව පොලිසිය සඳහන් කරයි. සැකකාරිය එළුවන් ඇති කරන බවත් මෙම සුනඛයා එම එළුවන් හපා කන බවත් පොලිසියය සඳහන් කරයි.. සුනඛයාගේ සපා කෑම්වලින් එළුවෙක් මියගොස් ඇති බවද සඳහන්ය.මේ සම්බන්දයෙන් සැකකාරිය විසින් මාන්කුලම පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලක් පොලිසිය සමථ මණ්ඩලයට යොමුකර තිබී ඇත. එම පැමිණිල්ල මුලතිව් ඔඩ්ඩුසුඩාන් සමථ මණ්ඩලයේදී පසුගිය 25 වෙනිදා විභාගයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.සුනඛයා තමාටද කරදරයක් වී ඇති බවත් එම සතාව තමාට බලා ගැනීමට පවා නොහැකි බවත් එහිදී සුනඛයාගේ හිමිකරු පවසා ඇති බව පොලිසිය කියයි. එම අවස්ථාවේදී සුනඛයාව තමාට භාරදෙන්නේ නම් හදා දෙන්නම් යැයි සැකකාරිය පවසා ඇති බව පොලිසිය පවසයි. සමථ මණ්ඩලයේදී දෙපාර්ශවයේ එකඟතාවය මත සුනඛයාගේ හිමිකරු සුනඛයා අසල්වැසි කාන්තාවට භාරදී ඇති බව පොලිසිය සඳහන් කළේය.පසුගිය 25 වෙනිදා රාත්‍රීයේ සුනඛයා වේදනාවෙන් කෑ ගසන හඩ ඇසී සුනඛයාගේ හිමිකරු අසල්වැසි නිවසට ගොස් බැලීමේදී සුනඛයාව ගසක එල්ලා මරා දමා ඇතිඅයුරු දැක ඇති බවද පොලිසිය සඳහන් කළේය.මෙම කාන්තාව එදින සමථ මණ්ඩලයට යාමට පෙර සුනඛයෙකු මරා දැමීමට පුද්ගලයකු සොයා ඇති බවට තොරතුරුද පොලිසියට ලැබී ඇත.1907 අංක 13 දරණ සත්ත්ව හංසා වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන යටතේත් දණ්ඩ නීති සංග්‍රහ පනතේ ප්‍රතිපාදන යටතේත් මෙම කාන්තාවට එරෙහිව පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග මහකා පැවසීය.

    යුක්රේන් පියාත් දියණිවරු දෙදෙනාත් දියවැලකට හසුවේ

    0

    මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින යුක්රෙන් ජාතික පියෙක් සහ දියණියන් දෙදෙනෙක් ඔවුන් නවාතැන් ගෙන සිටි අහුංගල්ලේ පිහිටි සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරළේ ඊයේ (26) සවස දියනාමින් සිටියදී දියවැලකට හසුවී ගසාගෙන ගොස් ඇත.

    මෙසේ ගසාගෙන ගොස් ඇත්තේ අවුරුදු 54ක් වයසැති පියා සහ අවුරුදු 17 හා 13 යන වයස්වල පසුවන දියණිවරු දෙදෙනාය.

    ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බේරාගෙන ගොඩට රැගෙන විත් ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. එහිදී පියා මියගොස් ඇතැයි පොලිසිය සඳහන් ක‍ළේය.

    ත්‍රීවිල් එකක් හප්පල පැනල ගිය එස්.අයි.ට උන දේ

    0

    බීමත්ව පොලිස් කැබ් රථයක් පදවා රිය අනතුරක් සිදුකර පළාගිය කෑගල්ල පොලිස් ස්ථානයේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් කෑගල්ල පොලිසියේ නිලදාරීන් විසින්‍‍‍ අත්අඩංගුවට ගෙන ඇත.

    රිය අනතුර සිදුකර පළායමින් තිබුුණු පොලිස් කැබ් රථය පස්සේ පන්නා ගොස් කැබ් රථය නතරකර නිලධාරියාව අල්ලා පොලිසියට භාරදී ඇත්තේ ත්‍රීරෝද රථ රියදුරන් පිරිසකි.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (26) රාත්‍රී කාලයේදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 70-71 කිලෝ මීටර් කණු දෙක අතර කොටසේදීය.

    කෑගල්ල කො‍ට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අර්ධවාර්ෂික පරීක්ෂණය සඳහා අඹේපුස්ස හමුදා කඳවුරෙන් රැගෙන ආ කාප්ටුවක් ලබාදීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

    පොලිස්් කැබ් රථය අනතුරට ලක්ව ඇත්තේ ත්‍රී‍රෝද රථයක ගැටීය. එහිදී පොලිස් කැබ් රථය නොනවත්වා අධික වේගයෙන් ධාවනයකර ඇති බව එම අනතුර සිදුවූ ස්ථානය අසල ඇති ත්‍රීරෝද රථ නැවතුමේ සිටි ත්‍රීරෝද රථ රියදුරෝ පවසති. එම අවස්ථාවේදී ත්‍රීරෝද රථ නැවතුම් පොලේ සිටි ත්‍රීරෝද රථ රියදුරන් පිරිසක් ත්‍රීරෝද රථවල නැගී පොලිස් කැබ් රථය පසු පස හඹාගොස් රථය නවතා රියදුරු අල්ලා පොලිසියට භාරදී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා වරකපොල රෝහලට ඇතුලත්කර ඇත. පොලිස් කැබ් රථයටද හානි සිදුව තිබේ.

    වන අලි 05ගේ සිරුරු එක දවසේ හමුවෙයි

    0

    මියගිය වන අලි පස් දෙනෙකුගේ සිරුරු පසුගිය 24 වෙනිදා හමුවී තිබේ.

    මකුළුගස්වැව, ඇහැටුවැව, අඹන්පොල, කින්නියා සහ උහන යන පොලිස් වසම්වලින් මෙම වන අලි සිරුරු හමුවී ඇත.

    මකුළුගස්වැව පොලිස් වසමේ දේවහූව ප්‍රදේශයේ වගා ඉඩමක් වටා ඇද තිබුණු අනවසර විදුලි රැහැනක පැටලී වන අලියා මියගොස් තිබේ.

    අඹන්පොල දී මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ත් 40ක් පමකි වන අලියෙකි. දංගහවත්ත වරාගම්මන ප්‍රදේශයේ තිබී එම වන අලියාගේ දිරුර හමුවී ඇත.

    ඇහැටුවැව දී මියගොස් ඇත්තේ අවුරුදු 16ක වන අලියෙකි. කඳුරුවැව ගම්මානයේ සමිති ශාලාව අසල ඉඩමක මෙම වන අලියා මියගොස් සිටි බව ඇහැටුවැව පොලිසිය සඳහන් කළේය.

    කින්නියා කිරාන් මහවැලි ගඟ අසබඩ අතුරු ඇල මාර්ගයේ සිව් වැනි වන අලියා මියගොස් සිට ඇත.

    උහනදී මියගොස් ඇත්තේ හක්ක පටස් හේතුවෙන් මුඛය තුවාල වී ආහාර හා ජලය ලබා ගැනීමට නොහැකිව රෝගීව සිටි වන අලියෙකි.

    බිරිඳට ඇති වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට ස ැමියෙකුගෙන් අල්ලස් ඉල්ලූ සැරයන්ට වූ දේ

    0

    සැමියෙකු විසින් සිය බිරිඳට එරෙහිව ගොනුකර ඇති වන්දි නඩුවකට අදාලව බිරිඳට එරෙහි වරෙන්තුව ක්‍රියාත්මක කරමින් බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සහ වන්දි මුදල් ලබා ගැනීමට උදව් කිරීමට සැමියෙකුගෙන් රුපියල් 20,000 මුදලක් අල්ලස් ලෙස ලබාගත් ගිරිබාව පොලිසියේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට නිකවැරටිය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.

    මෙම සැරයන්වරයා අදාල අල්ලස් මුදල සැමියාගේ නිවසේදී ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් පසුගිය 24 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම අල්ලස් මුදල නොදෙන්නේනම් සැමියාට ව්‍යාජ චෝදනාවක් ගොනුකර සිරගත කරන බවට පොලිස් සැරයන්වරයා තර්ජනයකර ඇති බවද සඳහන්ය.

    අල්ලස් කොමිෂන් සභාවට මේ ගැන සැමියා විසින් කළ පැමිණිල්ලකට අනුව කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ සිට ගිරිබාවට පැමිණ වැටලීම සිදුකර තිබේ.

    මෙම සැරයන්වරයා ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (25) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    උඩුමුල්ල ගල්ලෙන් විහාරස්ථානයේ බෝධි ප්‍ර ාකාරයේ රන් වැට සොරාගෙන

    0

    පාදුක්ක උඩුමුල්ලේ පිහිටි පුරාණ ගල්ලෙන් විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය වටා ඉදිකර තිබූ රන් ආලේපිත පිත්තල වැටේ ඇති කණු 20ක් සම දොලොස්මහේ පහන සොරාගෙන ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය කියයි.

    මෙම සොරකම පසුගිය 24 වෙනිදා රාත්‍රී 11.00ත් 25 වෙනිදා උදෑසන 6.45ත් අතර කාලය තුළ සිදුව ඇතැයි පොලිසිය කියයි.

    සොරකම සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භකර තිබේ.

    පොඩි පැටීගේ ඥාතියාට අහුන්ගල්ලේදී වෙඩි තැ බූ වෙඩික්කරු අල්ලයි – කුඩු මධූෂාගේ කොන්ත්‍රා ත්තුවක් බව හෙළිවේ

    0

    විදේශගතව සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ලොකු පැටීගේ ඥාතියෙකුටපසුගිය 09 වෙනිදා අලුයම 5.50ට පමණ ගාලු පාරේ අහුන්ගල්ල බෝධිය අසල ත්‍රීරෝද රථ ගාලේදී වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ වෙඩික්කරු සහ යතුරුපැදිකරු අහුන්ගල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම වෙඩි තැබීම කුඩු මධූෂා නැමැති මත්කුඩු ජාවාරම්කාරියගේ මෙහෙයැවීම මත සිදුව ඇති බව අනාවරණය වී තිබේ. මෙම මත්කුඩු ජාවාරම්කාරිය කොස්ගොඩ සුජීගේ මත්කුඩු ජාලයට සම්බන්ධ තැනැත්තියක් බව පොලිසිය සඳහන් කරයි.

    වෙඩික්කරු ඌරගස්මංහන්දියේ පදිංචි යුධ හමුදාවේ හිටපු සෙබලෙකු බව පොලිසිය කියයි. ඔහු අවුරුදු 21ක් වයසැති අයෙකි. යතුරුපැදිකරු කරන්දෙණියේ පදිංචි අවුරුදු 27ක් වන පුද්ගලයකි.

    මෙම සැකකරුවන් දෙදෙනා මත්කුඩු ළඟ තබාගැනීමක් සම්බන්ධයෙන් පසුගිය 20 වෙනිදා අත්අඩංගුවට ගෙන රදවාගෙන කළ විමර්ශනයේදී ඔවුන් අහුන්ගල්ලේ වෙඩි තැබීමට සම්බන්ධ අය බව අනාවරණය වී තිබේ.

    වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා අහුංගල්ල ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිවරයා ද වේ.

    වංචා සොයන්න තියෙන අංශයේ කොස්තාපල් අයිස් එ ක්ක මාට්ටු

    0

    අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

    කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ සේවයේ නිරතව සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ දුම්රිය ස්්ථානය අසලදීය.

    ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් තිබී හමුවි ඇතැයි සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය සහන් කරයි.

    පොලිස් කොස්තාපල්වරයෙක් සිය ඥාතියෙකුට පොර ොවෙන් හිසට කොටයි

    0

    ප්‍රිය සම්භාෂණයකදී ඥාතීන් පිරිසක් සමග ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් තමාට පහරදීමට නිවසට පැමිණි ඥාතියෙකුට පොරවකින් පහරදුන් නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු මහියංගනය පොලිසිය පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත.

    පොරෝ පහර වැදී ඇත්තේ හිසට බවත් ඔහු බදුල්ල රෝහලට ඇතුලත් කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    ප්‍රිය සම්භාෂණයේ ඇතිවූ ආරවුලින් පසු මෙම නිලධාරියා නිවසට පැමිණ සිටියදී ඥාතීන් පිරිසක් නිලධාරියාගේ නිවසට පැමිණ ඔහුට අයත් ත්‍රීරෝද රථයකට සහ නිවැසියන්ට පහරදී ඇති බව පොලිසිය කියයි. මෙම නිලධාරියා පොරවකින් පහරදී ඇත්තේ එහිදීය.

    නිලධාරියාත්, ඔහුගේ බිරිද සහ මව තුවාල ලබා මහියංගනය රෝහලට ඇතුලත්කර ඇත. නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බව පොලිසිය සදහන් කළේය.

    මාතර උසාවියේ අකුණු සන්නායකය උස්සල .

    0

    මාතර කොටවිල අධිකරණ සංකීර්ණයේ අකුණු සන්නායකයට සවිකර තිබූ තඹ පටි අඩි 700ක් සොරාගැනීමක් සම්බන්ධයෙන් කොටවිල පොලිසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

    මෙම සොරකම සම්බන්ධයෙන් අධිකරණයේ තාක්ෂණ නිලධාරියා විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලට අනුව එම අකුණු සන්නායකයේ වටිනාකම රුපියල් ලක්ෂ 06කට අධිකය.

    මෙම සොරකම සිදුව ඇතැයි සැකකරනු ලබන්නේ පසුගිය 20 වෙනිදාට පෙර දිනයකදීය.

    ඇතිලිවැව විදුහල්පතිට සිසු මැරයෙකුගෙන් ප්‍රහාරයක්

    0

    විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් පාසලෙන් ඉවත් කර ඇති ඇතිලිවැව මහා විද්‍යාලයේ සිසුවෙකු තමාව නැවත පාසලට ඇතුලත් කර ගන්නා ලෙස තර්ජනය කර විදුහල්පතිවරයාට පහරදී ඇතැයි ඌව කුඩාඔය පොලිසිය සඳහන් කරයි.

    දොලොස්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලපන මෙම සිසුවා විදුහල්පතිවරයාට පහරදී ඇත්තේ පසුගිය 21 වෙනිදා පාසල් භූමියේදී බව පොලිසිය පවසයි.

    එම පැමිණිල්ලට අදාලව විමර්ශන පවත්වා සිසුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා ය.

    වයස අවුදරුදු 19ක් වන ඔහු ඇතිලිවැව පදිංචිකරුවෙකි.

    අතට අත දීල වෙඩික්කරුට ඉලක්කය පෙන්නල

    0

    මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන ද්විත්ව ඝාතන නඩුවකට පෙනි සිටීමට පැමිණි දෙදෙනෙකු ඝාතනයකරමින් දෙදෙනෙකුට තුවාල සිදුකරමින් එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාලව යුධ හමුදාවේ සන්නද්ධ බුද්ධි බලකායේ සෙබලෙකු මන්නාරම පොලිසිය පෙරේදා (22) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු වූ නාරාහේන්පිට යුද හමුදා රෝහලේ සේවයේ නිරතව සිටි කෝප්‍රල්වරයාට මන්නාරම උසාවිය අසලදී ඉලක්කගත පුද්ගලයන් පෙන්වා දී ඇත්තේ මෙම සෙබලා බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

    වෙඩික්කරු යතුරුපැදියක නැගී මන්නාරම අධිකරණය ආසන්නයේ රැදී සිටියදී වෙඩි මන්නාරම අධිකරණය වෙත පැමිණෙනමින් සිටි ඝාතනය වූ පුද්ගලයන් දෙදෙනා අතර සිටින ජූඩ් නැමැත්තා අසලට ගොස් අතට අත දී ඇති බවත් එසේ අතට අත දී ඇත්තේ වෙඩික්කරුට ඉලක්කය හදුන්වාදීමක් බවක් බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    ඒ වෙනුවෙන් මෙම සෙබලාට රුපියල් ලක්ෂ 06ක මුදලක් ලබාදීමත් වැලිමඩ පිහිටි නිවස ඉදිකර දීමටත් මෙම ද්විත්ව ඝාතනයේ කොන්ත්‍රාත්කරු වන ජේසු දාසන් නැමැති මත්කුඩු ජාවාරම්කරු පොරොන්දු වී ඇතැයිද විමර්ශන වලින් හෙළිවී තිබේ. විටෙන් විට මෙම සෙබලා රුපියල් ලක්ෂ තුන හතරක මුදලක්ද මෙම මත්කුඩු ජාවාරම්කරුගෙන් ලබාගෙන ඇති බවද හෙළිවී ඇත

    මන්නාරම අධිකරණය අසල දී පසුගිය 16 වෙනිදා වෙඩි තැබීම සිදුවිය. වෙඩික්කරු සහ වෙඩික්කරු ඊට සම්බන්ධකර දුන් ආබාධිත විශ්‍රාමික හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙක් පොලිසිය මුලින්ම අත්අඩංගුවට ගත්තේය. එහිදී හෙළිවන්නේ රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවකට අනුව ඔවුන් දෙදෙනා ඊට සම්බන්ධ වී ඇති බවය.

    මෙම මත්කුඩු ජාවාරම්කරුගේම රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට අනුව විශ්‍රාමික ආබාධිත ලාන්ස් කෝප්‍රල්වරයා 2023 වසරේදී මන්නාරමේදී ද්විත්ව ඝාතනයක් සිදුකර ඇති බවද මෙම විමර්ශනයේදී හෙළිවී තිබුණි. ඒ සම්බන්ධයෙන්ද කැලණියේ පදිංචි සැකකරුවෙක් පොලිසිය අත්අඩංගුවට ගත්තේය.

    වෙඩික්කරුට ඉලක්කය හදුන්වාදීමට සම්බන්ධ වූ සන්නද්ධ බුද්ධි බලකායේ සෙබලා වයස අවුරුදු 36ක් වන මන්නාරමේ සේවයේ නිරතව සිටින්නෙක් බව පොලිසිය කියයි.

    ඉන්දියාවේ 76වන ජනරජය දිනය වෙනුවෙන් “පැපොන් ලයිව්” කොළඹ හොල්ලයි

    0

    කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ එහි සංස්කෘතික
    අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය (SVCC) විසින් 2025 ජනවාරි 26 වන දිනට යෙදෙන 76වන ඉන්දීය ජනරජ දිනය
    නිමිත්තෙන් සංවිධානය කර තිබූ ‘පැපොන් ලයිව්’ සජීවි සංගීත ප්‍රසංගය
    නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණ.

    පසුගිය 22 දා පැවති මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ වැඩ බලන ඉන්දීය මහ කොමසාරිස්
    වෛද්‍ය සත්‍යාංජල් පාණ්ඩේ, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ
    සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, වෘත්තීය අධ්‍යාපන
    නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන
    නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය
    අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
    සුනිල් වටගල සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන
    මහත්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන්
    රැසක් සහභාගී වූහ.

    මෙහිදී සංස්කෘතික සබඳතා සඳහා ඉන්දීය කවුන්සිලය (ICCR) විසින්
    නිර්දේශිත ඉන්දීය කලාකරුවකු වන අංගරාග් මහන්තා හෙවත්
    ‘පැපොන්’ විසින් මනහර සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කරන ලදී.

    සම්මානලාභී බොලිවුඩ් පසුබිම් ගායකයකු වන ‘පැපොන්’ ප්‍රවීණ සංගීත
    ශිල්පියකු වන අතර ඔහු ගායකයක්, සංගීත භාණ්ඩ රැසක් වාදනය කළ

    හැකි වාදකයෙක්, සංගීතඥයෙක්, රෙකෝඩ් නිෂ්පාදකයෙක් සහ සජීවී
    ඉදිරිපත් කරන්නෙක් වේ. පැපොන් ලයිව් ප්‍රසංගය ඉන්දීය ජන, සම්භාව්‍ය
    සහ සමකාලීන සංගීත ඉදිරිපත් කිරීම් සමඟින් ප්‍රේක්ෂකයන්
    අමන්දානන්දයට පත් කළේය.

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පොහොසත් සංස්කෘතික සබැඳියාව
    විදහා දක්වමින් සන්ධ්‍යාව ‘ස්වස්ති’ නම් වූ ජව සම්පන්න ඉදිරිපත්
    කිරීමකින් ආරම්භ විය. ප්‍රවීණ ශ්‍රී ලාංකේය බෙර වාදන ශිල්පී රවිබන්ධු
    විද්‍යාපති මහතා සහ කණ්ඩායම ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් රිද්මය සහ
    සාම්ප්‍රදායික ශබ්ද සමඟින් ‘වන්දේ මාතරම්’ ගීතය ඇතුළු ඉන්දීය තනු
    රැසක් ඉදිරිපත් කළේය.

    මෙම ආනන්දජනක සංගීත සන්ධ්‍යාව සඳහා ශ්‍රී ලංකාවේ
    ආරක්ෂක සහ සිවිල් සේවයේ සාමාජිකයන්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ
    සාමාජිකයන්, විද්වතුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත වන්නන්,
    ව්‍යාපාරික සහ මාධ්‍ය ක්ෂේත්‍රෙය් සාමාජිකයන්, ඉන්දීය ඩයස්පෝරාව සහ
    ඉන්දියාවේ මිතුරන් රැසක් ඇතුළු දහසකට අධික ආරාධිතයන් පිරිසක්
    සහභාගී වූහ. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාර දෙරට
    ජනතාව අතර ගැඹුරු ලෙංගතුකම සහ සංස්කෘතික බැඳීම පිළිඹිබු
    කළේය.

    බොරැල්ල ආයුර්වේද රෝහල නව්‍යකරණයට

    0

    බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ සියලු සේවාවන් නව්‍යකරණයට ලක්කර වඩාත් පුළුල් නව සැලැස්මක් යටතේ අංග සම්පූර්ණ ජාතික රෝහලක් බවට පත්කිරීමට අවශ්‍ය කඩිනම් සැලසුම් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ පාලන අධිකාරිය සමග පසුගිය දා දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

    අමාත්‍යවරයා මෙම සාකච්ඡාවට එක්වූයේ බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ සියලු සේවාවන් වඩාත් පුළුල් කර ප්‍රතිකාර සේවාවන් තවදුරත් ඵලදායී ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව, භෞතික සහ අනෙකුත් සම්පත් ලබාදීම පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් පසුගිය දා එම රෝහලේ සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව පැවති සාකච්ඡාවේදී ය.

    බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මේ වනවිට ඇඳන් ධාරිතාවය 216 කි. එහි වාට්ටු සංඛ්‍යාව 11 ක් වන අතර ගෙවන කාමර 87 කින් ද යුක්ත වේ. වාර්ෂික ව බාහිර රෝගීන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසකට ප්‍රතිකාර සේවාවන් මෙම රෝහලෙන් ලබා දෙන අතර තුන්දහස් පන්සියයකට අධික පිරිසකට වාර්ෂික ව නේවාසික ප්‍රතිකාර සේවාවන් ලබාදෙනු ඇත. මෙරට එකම ආයුර්වේද ජාතික රෝහල ද මෙය වේ.

    මෙහි දී අමාත්‍යවරයා රෝහලේ බාහිර රෝගී අංශය, වාට්ටු, ගෙවන කාමර, සායන පරිශ්‍රය, මුළුතැන්ගෙය, ඖෂධාලය, පංච කර්ම ඒකකය, ඇතුළු රෝහලේ සියලු අංශ මෙන් ම රෝහල් පරිශ්‍රය නිරීක්ෂණයට ලක්කළ අතර රෝගී සත්කාර සේවාවන් සිදු වන ආකාරය මෙන් ම රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සියලු කාර්ය මණ්ඩලවල අවශ්‍යතාවයන් පිළිබඳවත්, රෝහලෙන් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන් පිළිබඳවත් විශේෂ අවධානය යොමු කරමින් සොයා බලන ලදී.

    රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ද සාකච්ජාවක නිරත වෙමින් කාර්ය මණ්ඩලයට පවතින රාජකාරි ගැටලු, යෝජනා, විසඳුම් පිළිබඳවත්, ඉදිරියේ දී රෝහල සංවර්ධනය කිරීමේ දී කාර්ය මණ්ඩලයේ යෝජනා සහ අදහස් පිළිබඳවත් මෙහි දී අමාත්‍යවරයා විමසා බලන ලදී. එහි දී විශේෂයෙන් ම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීම සහ සායන සඳහා සහභාගිවන රෝගීන්ට දැනට සපයනු ලබන පහසුකම් හා සේවාවලට අමතරව තවදුරටත් අලුතින් එක්කළ යුතු සේවා පිළිබඳව අමාත්‍යවරයා මෙහි දී විශේෂයෙන් සොයා බැලීමක් සිදු කරනු ලැබී ය.

    රෝගී සත්කාර සේවාවේ දී සියලු ප්‍රතිකාර ක්‍රමවේදයන් ඒකාබද්ධ කරමින් ඒකාබද්ධ ප්‍රතිකාර සේවාවක් ලෙස පවත්වාගෙන යාමට යම් ක්‍රමවේදයක් සියලු දෙනාගේ සහයෝගය ඇතිව සකස් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේ ය.

    නිවැරදි තීන්දු තීරණ ගෙන ගුණාත්මක හා කාර්යක්ෂම රෝහලක් ලෙස මෙම රෝහල ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහි දී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

    මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත පද්මකුමාර, පරිපාලන නිලධාරිනී මයෝමි පෙරේරා යන මහත්ම මහත්මීන් මෙන් ම ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්, ආයුර්වේද වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා සි.අයි.ඩ ී අත්අඩංගුවට

    0

    හිටපු අමාත්‍යවරයෙක් වන අනුර ප ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස්‌ කණ්ඩායමක් අද රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

    ගංවතුර ආධාර ලෙස බිංගිරියේ ජනතාවට බෙදා දීමට යැයි සඳහන් කරමින් 2014 වසරේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගත් රුපියල් ලක්ෂ හැට එකක මුදලක් සිය දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

    මෙම මුදල් වංචාව සිදුවන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භාර අමාත්‍යවරයා ලෙස සේවයේ නිරතව සිට ඇත්තේ අනුර පියදර්ශන යාපා මහතාය.

    ලැප්ටෝප් 10ක් උස්සපු එරිත්තියානුවෙක් අත්අඩංගුවට

    0
    Man on the chair in Handcuffs. Rear view and Closeup ,Men criminal in handcuffs arrested for crimes. With hands in back,boy prison shackle in the jail violence concept.

    කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථනයේ 26 වෙනි මහලේ පිහිටි ආයතනයකින් ලැප්ටොප් පරිගණක 10ක් සොරාගැනීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කොටුව පොලිසිය ඒ් සම්බන්ධයෙන් එරිත්තියානු ජාතිකයෙකු ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම විදේශිකයා කොළඹ රැදී සිටින බෝඩ්ම් කාමරයේ තිබී සොරාගත් ලැප්ටොප් 10 ද පොලිසිය සොයාගෙන තිබේ.

    වයස අවුරුදු 24ක් වන මෙම විදේශිකයා 2017 වසරේ මෙරටට පැමිණ ඇති අයෙකි. කල්මුනකුඩි වෛද්‍ය රිදස්වි පාරේ ඔහු පදිංචිව සිටින බව විමර්ශන වලින් හෙළිවී ඇත.

    මෙම සැකකරු පසුගිය 17 වෙනිදා රාත්‍රී කාලයේ ලෝක වෙළද මධ්‍යස්ථානයේ 26 වෙනි මහලේ ඇති ව්‍යාපාරික ස්ථානයට ඇතුළු වී ලැප්ටොප් පරිගණක 10 සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

    බිරිඳ පැහැරගන්න සැමියා හවුල්වෙලා!

    0

    නාරාහේන්පිට පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක සේවය කරන හෙදියක් වැල්ලවත්තේ පිහිටි නේවාසිකාගාරයක් අසලදී වෑන් රථයකින් පැහැරගත් අමාත්‍ය සම්බන්ධීකරණ කොට්ඨාශයේ සේවයේ නිරතව සිටි පොලිස් සැරයන්වරයකු වැල්ලවත්ත පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම පැහැරගැනීමට ඇගේ සැමියාද සම්බන්ධ බව අනාවරණය වී තිබේ. මෙම සිදුවීමෙන් පසු ඔහු රුමේනියාව බලා පලාගොස් ඇති බවට සැකකරේ.

    අත්අඩංගුවට ගත් සැකකරු අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා සේවය අතහැර ගිය නිලධාරියෙකි.

    දැදිගම කිරිවිට ප්‍රදේශයේ පදිංචි හෙද නිලධාරිනිය වැල්ලවත්තේ පෞද්ගලික රෝහලක නේවාසිකාගාරයක් ඉදිරිපිට රැඳී සිටියදී වෑන් රථයකින් පැමිණි ඇයගේ ස්වාමිපුරුෂයා හා පොලිස් නිල ඇදුමට සමාන නිල ඇඳුමින් සැරසුණු සැකකරු හා තවත් පුද්ගලයන් දෙදෙනකු ඇයව බලෙන් වෑන් රථයට දමාගෙන පැහැරගෙන පහරදී ඇය සතුව තිබූ රුපියල් 31,500/= ක් වටිනා මුදල් සහ දේපළ කොල්ලකා වැලිකඩ පොලිස් වසමේ දමා ගොස් තිබූ බව පොලිසිය කියයි.

    එම හෙද නිලධාරිනිය ඉකුත් 18 වෙනි දින වැල්ලවත්ත පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් අනුව පැහැර ගැනීමට යොදාගත් වෑන් රථය කුලී පදනම මත ලබාගත් සැකකරු වන පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකාර සැරයන්වරයා ට එරෙහිව ඉකුත් වසරේ මාර්තු මස 11 දින තනතුර අතහැර යාමේ නියෝග නිකුත් කර ඇති තැනැත්තෙක් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

    එම සැකකරු එම අපරාධය කිරීම සඳහා පොලිස් නිල ඇඳුමට සමාන නිළ ඇඳුමින් සැරසී පැමිණ ඇති බවද අනාවරණය වී තිබේ.

    නුගේගොඩ ඉඩමක් හොර ඔප්පු හදලා උකස් කරපු ව්‍යාපාරිකයා අත්අඩංගුවට

    0

    බැංකු නිලධාරියෙකුට අයත් නුගේගොඩ කන්දෙවත්තේ පිහිටි රුපියල් කෝටි 37කට අධික වටිනාකමක් ඇති පර්චර්ස් 57.5ක හිස් ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස්කර ඒය උකස්කර මුදල් වංචාවක නිරත වූ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මාලබේ, තලාහේනේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන 61 හැවිරිදි සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (21) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    කතුන්ගේ විවහා වයස් සීමාව ගැන මැති සබේ මන් ත්‍රීවරියන්ගෙන් පොදු යෝජනාවක්

    0

    ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වසය් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත්කර ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්විය. එම අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.

    මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ලංකාවේ විවාහවන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇත.

    ඒ අනුව ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබාගැනීමටත්, ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමත් යෝජනා වී ඇත.

    මේ අතර ‘ළමයා’ යන්නට නිවැරදි ලෙස අර්ථකථනයක් ලබාදීමට අවශ්‍ය සංශෝධන සිදුකිරීමටද මෙහිදී මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු වී ඇත.

    මෙම අවස්ථාවට සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල, සමන්මලී ගුණසිංහ යන අය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහභාගි වූහ.

    එමෙන්ම නවවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග කාන්තා අභිවෘද්ධිය නගා සිටුවීම සහ සවිබල ගැන්වීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි විජේරත්න මහත්මිය විසින් ඉදිරිපත්කළ සංශෝධන කළ යුතු කරුණු ඇතුළත් පනත් කෙටුම්පත් නැවත ඉදිරිපත් කිරීමටත් යෝජනා කර ඇත.

    එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ හිටපු සභාපති සුදර්ශිනී ප්ර්නාන්දුපුල්ලේ මහත්මිය විසින් ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් සඳහා වන සංශෝධන තව දුරටත් අධ්‍යයනය කර ඒ සඳහා නව යෝජනා ඇතුළත් කරමින් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට තීරණය විය.

    හාල් මාෆියාවට එරෙහිව ජනපති කෙවිට අතට ගනී – වී මෝල් හමුදා භාරයට ගන්නා බව කියයි

    0

    හාල් මාෆියාවේ නිරත මහා පරිමාන මෝල් හිමියන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනතුරු අගවමින් නැවතත් කූඨ ව්‍යාපාර කිරීමට සූදානම් උවහොත් සහල් මෝල් හමුදා භාරයට ගන්නා බව සඳහන් කරයි.

    මහ කන්නයේ සිට සහතික මිලට සහල් අලෙවි කිරීමත් වෙළෙඳපොළට සහල් නිකුත් කිරීමත් අනිවාර්ය බව ද අනුර කුමාර දිසානායක මහතා පවසයි. තොග රැස්කරන්නේ නම් සහතික මිලට සහල් වෙළඳ පොලට නිකුත් කිරීමට හැකි මිලකට වී මිලදී ගත යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

    වී තොග රැස්කරන්නන් වී අලෙවි මණ්ඩලයේ සහ පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචිය අනිවාර්ය බවත් ඒසේ නොකර වී රැස්කරන වී සියල්ල රාජසන්තක කරන බවත් ජනාධිපතිවරයා වී මාෆියාකරුවන්ට අනතුරු අගවයි.

    රූපවාහිනී නාලිකාවක පැවති සජීවී වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා ඊයේ මේ බව සඳහන් කළේය.

    රිදියගහ උපන් සිංහ පැටවුන් 06කට නම් තියන්න අ වස්ථාවක්

    0

    නිදහස් දා මහජන ප්‍රදර්ශණයට එක්කරන රිදියගම සෆාරි උද්‍යනයේ අලුත උපන් සිංහ පැටවුන් 06 දෙනාට නම් තැබීමට මහජනයාටත් අවස්ථාවක් උදාවී තිබේ.

    හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේදී මෙම සිංහ පැටවුන් උඵත ලබන්නේ මාස තුනකට පෙරය.

    හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ සිටින “ඩෝරා“නැමති සිංහ ධේනුවටත් ඩෝරාගේ මව වන “ලාරා“නැමති සිංහ ධේනුවටත් දාව උපන් ගැහැණු පැටවුන් 05 දෙනෙකුට සහ පිරිමි පැටවෙකුට මෙසේ නම් තැබීමට අවස්ථාව ලැබී තිබේ.

    රිදියගම සෆාරි උද්‍යානයේ නිල ෆේස් බුක් ගිණුම ඔස්සේ යෝජිත නම් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින අතර තෝරාගන්නා නම් ඉදිරිපත් කළ අය කවුරුන්දැයි පෙබරවාරි 04 වෙනිදා ප්‍රසිද්ධ කිරීමටද නියමිතව ඇති බව සෆාරි උද්‍යානයේ තොරතුරු සඳහන් කළේය.

    සතොස භාණ්ඩ 10ක මිල අඩුකරයි

    0
    ‘Serendib Delights’ සේවාවේ ‘Oriental’ කාණ්ඩයේ ආහාරපාන එකතුවක්

    මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් ලබාදෙනු ලබන අතවශ්‍ය පාරිභෝගික භාණ්ඩයන් 10ක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබේ.

    ඒ අනුව රටකජු, දුඹුරු සීනි, අර්තාපල්(ආනයනික), රතු කව්පි, හාල් මැස්සෝ, වියල් මිරිස්, බාස්මතී සහල්(ප්‍රිමියර්), ලොකු ලූණු(ආනයනික), පරිප්පු, සුදු සීනි වල මිල ගණන් අඩුකර තිබේ.

    ඒ පිළිවෙලින් රුපියල් 100, 40,30, 30,20, 15, 10, 10, 2, 2 ලෙස කිලෝ එකක මිල ගණන් අඩුකර තිබේ. මෙම භාණ්ඩ ඊයේ(22) දින සිට දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට මිලදී ගත හැක. වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදී මෙම භාණ්ඩවල මිල පහළ දැමීමේ තීරණය ගෙන තිබේ.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය යේ ප්‍රගමනය ට අමෙරිකාවේ අතහිත

    0
    Medical people - doctors, nurse and surgeon in Healthcare institute or doctorate education.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය අතර හමුවක් ඊයේ (21) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

    මෙම හමුවේදී මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවේ මෙන් ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය මෙන් ම මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි ඉදිරි සංවර්ධනය උදෙසා ඇමරිකානු රජය දක්වන සහ‌යෝගය සහ ප්‍රදානයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

    මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීමට වත්මන් රජය ගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙළ මෙන් ම මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට නව රජය ගෙනයන විශේෂ වැඩපිළිවෙළ පිළිබඳව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී ඇමරිකානු තානාපතිනිය දැනුවත් කළේය.

    එමෙන් ම මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවදේ‍‍‍‍‍‍ශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රමුඛ ආයුර්වේදය හා බද්ධ කරමින් සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම ඉලක්ක කර ක්‍රියාත්මක කිරීමට යෝජිත සෞඛ්‍ය සංචාරක ව්‍යාපාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද එවැනි විශේෂ සැලසුම් සහගත ව්‍යාපෘති රාශියක් වත්මන් රජය ගෙන යනු ලබන නව වැඩපිළිවෙළ තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.‍

    මෙරට තුළ යම් යම් අවස්ථාවන් හිදී ඇතිවන ඖෂධ හිඟය මඟහැරවීම සදහා ඉදිරි දෙවසර තුළදී මෙරට රජයේ රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ මෙරට‍ රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත්, මාධ්‍යවේදීන් සදහා වරලත් මාධ්‍ය ආයතනයක් නුදුරේම ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් තිබීම පිළිබඳව ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී ඇමරිකානු තානාපතිනිය දැනුවත් කරන ලදි.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ අදහස්වලට සවන්දුන් ඇමරිකානු තානාපතිනිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව විශේෂ ඇගයීමකට ලක් කරන ලදී. එම සේවාව අඩුපිරිවැයකින් ලබා දෙන උසස් ම සේවාවක් බවද ඇය පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාවේ වත්මන් සෞඛ්‍ය අභියෝග ජය ගැනීම සඳහා ලබා දියහැකි සහය පිළිබඳවත් අමාත්‍යවරයාගෙන් කරුණු විමසමින් ඇමරිකානු තානාපතිනිය දැනුවත් විය.

    මින් පෙර අවස්ථාවන්වලදී මෙරට සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය සදහා අවශ්‍ය සහය මෙන් ම විවිධ ප්‍රදානයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කර තිබෙන බව සිහිපත් කළ ජූලි ජේ.චංග් මහත්මිය ජනමාධ්‍ය ක්ෂේත්‍රය සදහාද අවශ්‍ය ඉදිරි සහය අඛණ්ඩව ලබා දෙන බවද පැවසීය.

    මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි ඉදිරි දියුණුව ඇති කිරීමට ඇමරිකානු රජයේ මුල්‍ය, තාක්ෂණික,දැනුම සහ භෞතික වශයෙන් ලබාදිය හැකි සියලු සහයෝගයන් මෙන් ම උපකාරයන් අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බවද ඇමරිකානු තානාපතිනී ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය මෙහිදී අවධාරණය කර සිටියා ය.

    “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ ප්‍රමුඛ වත්මන් රජය ගෙන යනු ලබන නවමු වැඩපිළිවෙළ ඇයගේ විශේෂ ඇගයීමටද මෙහිදී ලක්විය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ඇමරිකානු තානාපති කාර්යාලයේ මහජන කටයුතු පිළිබඳ උපදේශක හයිඩි හැටන්බැක් (Heidi Hattenbach) යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

    ඊ ටිකට් ජාවාරමට ත්‍රීරෝද රථ රියදුරෙක් කොටුවෙයි

    0

    ඇල්ල ඔඩිසි දුම්රියේ ඊ ටිකට්පත් ජාවාරමට සම්බන්ධ ත්‍රිරෝද රථ රියදුරෙකු මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අද(22) අත්අඩංගුවට ගත්තේය.

    දුම්රිය ආසන 68 කට අදාළ ටිකට්පත් 21 ඔහු සමඟ තිබී සොයාගෙන ඇත.

    එම ටිකට්පත් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව නියම කර තිබෙන මිල අනුව වටිනාකම රුපියල් 114000 ක් බව පොලීසිය පවසයි.

    හොර රස්සාවකට මුදල් ගැරූ එස්.අයි. අත්අඩංගුවට

    0

    නීතිපති දෙපාර්තමේන්තුවේ පුද්ගලික සහකාර රැකියාවක් ලබාදෙන බව සඳහන් කරමින් ව්‍යාජ පත්වීම් ලිපියක් කාන්තාවකට ලබාදෙමින් රුපියල් 437,300කමුදලක් වංචාකල උප්පුවේලි පොලිසියේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන අංශය ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇත.

    නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියකගේ අත්සන සහ නිල මුද්‍රාවද ව්‍යාජ ලෙස යොදා ව්‍යාජ පත්වීම් ලිපිය සකස්කර තිබී ඇතැයි පොලිසිය කියයි.

    අවස්ථා දෙකකදී මුදල් ලබාගෙන ඇති අතර බෝගහකුඹුරේ පදිංචි කාන්තාවකගෙන් මෙම උප පොලිස් පරීක්ෂකවරයා මුදල් ලබාගෙන ඇති බව පොලිසිය කියයි. ව්‍යාජ පත්වීම් ලිපි දෙකක් මේ ආකාරයට මෙම උප පොලිස් පරීක්ෂකවරයා සකස්කර ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    කම්කරු අමාත්‍යාංශයේ සේවක නිල ඇඳුම් දීමනාව කැපෙයි

    0

    කම්කරු අමාත්‍යාංශයේ කාර්‍යාල සේවක සේවයේ සේවකයින් හට මෙම වසරට අදාලව හිමිවිය යුතු නිල ඇදුම් දීමනාව අහිමිකර ඇති බවට වාර්තා වේ.

    රාජ්‍ය පරිපාල චක්‍රලේඛන 05/2013 අනුව රජයේ කාර්‍යාල සේවක සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන්ට සහ I ශ්‍රේණියේ සිටියද II ශ්‍රේණියට අදලා තනතුරක් සේවයේ නියුතු සේවකයින් හට නිල ඇදුම් දීමනාවක් හිමි වන අතර එම දීමනාව මෙතෙක් අඛණ්ඩව ගෙවීම් කර තිබේ.

    කෙසේවෙතත් මෙම වසරට අදාල එම දීමනාවට අදාල ඉල්ලුම් පත් මේවන විටත් යොමු කළද අමාත්‍යාංශයේ ඉහළ පාලනාධිකාරිය විසින් එය නොගෙවා සිටීමට තීරණය කර ඇති බවට Newswave හට අනාවරණය වේ.

    රාජ්‍ය සේවය තුල නිල ඇදුම් දීමනා හිමි නිලධාරීන් රාජකාරි කටයුුතු වල යෙදීමේදී එම නිල ඇදුම් පැළඳ සිටිය යුතුය.

    එවන් පසුබිමක් තුල මෙම දීමනාව නොගෙවීම අදාල සේවයේ නිලධාරීන්ව දැඩි ගැටලුකාරී වී ඇති බවට වාර්තා වේ.

    කෙසේ වුවත් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට හිමිවන දීමනා වල වෙනසක් සිදු නොවී ඇති බවටද වැඩිදුරටත් වාර්තා වේ.

    පූජකයා නිදහස් කරන්න ලක්ෂ 05 ක් ගත්ත ආගමන විගමන නිලධාරියා රිමාන්ඩ්

    0

    ඉන්දියානුවෙක් ලෙස පෙනී සිට වීසා නොමැතිව පොලිසියට හසුවී වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා සිටි යාපනයේ පූජකවරයකු කඩිනමින් නිදහස්කර හැරීමට රුලියල් ලක්ෂ 05ක මුදලක් ලබාගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ බලයලත් නිලධාරියා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඊයේ ඉදිරිපත් කළ සැකකරු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

    ඉන්දායානු ජාතිකයෙක් ලෙස පෙනී සිටි යාපනයේ පූජකවරයා මෑතකදී අත්අඩංගුවට ගෙන තිබුණේ වැල්ලවාය පොලිසිය මගිනි. වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කළ අවස්ථාවේදී පවා පෙනී සිට ඇත්තේ ඉන්දියානුවෙක් ලෙසිනි. එබැවින් ඔහුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රැදවුම් මධ්‍යස්ථානයට යොමු කිරීමට අධිකරණය නියෝගකර ඇත.

    දින ගණනක් එම මධ්‍යස්ථානයේ රඳවා සිටීම නිසා තමාව නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස අදාල රැඳවියා සැකකාර බලයලත් නිළධාරියගෙන් කිහිප අවස්ථාවකදී ඉල්ලා ඇත. එහිදී ඔහු රුපියල් ලක්ෂ පහක මුදලක් ඒ සඳහා අල්ලස් ලෙස ඉල්ලා තිබේ. ඒ බව මෙම පුද්ගලයා දුරකථනයෙන් අල්ලස් කොමිෂමට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබිණි.

    අර්චුනාට වැඩ වරදින ලකුණු!

    0

    රථවාහන නීති උල්ලංඝණය කරමින් මෝටර් රථයක් පැදවීම සහ ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතාට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භකර තිබේ.

    අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බැන වදිමින් ජාතීන් අතර අසමගියක් ඇති කිරීමට තුඩු දුන්නේදැයි සොයා විමර්ශන පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පැවසීය.

    පොලිසිය හා අර්ජුනා මන්ත්‍රීවරයා අතර මෙම යම් සිදුවීමක් ඇතිවන්නේ ඊයේ රාත්‍රී කාලයේදී අනුරාධපුර රඹෑව ප්‍රදේශයේදීය. රතු සහ නිල් පැහැති නිවෙන දැල්වෙන වී.අයි.පී. විදුලි පහන් දල්වාගෙන මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථය පොලිසිය නවතා පරීක්ෂා කිරීමේදී ඊට මන්ත්‍රීවරයා එරෙහි වී තිබේ. තමා පාර්ලිමේන්තු සැසියට සහභාගිවීමට ගමන්කරන බවත් පොලිසියට තමාගේ වාහනය නවතා බාධා කිරීමට හැකියාවක් නැති බවත් සඳහන් කරමින් ඔහු පොලිසිය සමඟ ගැටුමක් ඇතිකර ගැනීමට උත්සහ දරා ඇත. පොලිස් නිලධාරීන්ට ඕයි, යකෝ, මෝඩයෝ ආදී වචන පවසා ඇතත් පොලිස් නිලධාරීන් එම අවස්ථාවේදී ඉවසීමෙන් කටයුතු කර තිබේ.

    මෝටර් රථ වාහන පනතේ විධිවිධාන යටතේත් දණ්ඩනීති සංග්‍රහය යටතේත් මන්ත්‍රීවරයාට එරෙහිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානම් වන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    රථවාහන නීති උල්ලංඝණය කරමින් මෝටර් රථයක් පැදවීම සහ ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතාට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භකර තිබේ.

    අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බැන වදිමින් ජාතීන් අතර අසමගියක් ඇති කිරීමට තුඩු දුන්නේදැයි සොයා විමර්ශන පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පැවසීය.