නාරාහේන්පිට පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක සේවය කරන හෙදියක් වැල්ලවත්තේ පිහිටි නේවාසිකාගාරයක් අසලදී වෑන් රථයකින් පැහැරගත් අමාත්‍ය සම්බන්ධීකරණ කොට්ඨාශයේ සේවයේ නිරතව සිටි පොලිස් සැරයන්වරයකු වැල්ලවත්ත පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පැහැරගැනීමට ඇගේ සැමියාද සම්බන්ධ බව අනාවරණය වී තිබේ. මෙම සිදුවීමෙන් පසු ඔහු රුමේනියාව බලා පලාගොස් ඇති බවට සැකකරේ.
අත්අඩංගුවට ගත් සැකකරු අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා සේවය අතහැර ගිය නිලධාරියෙකි.
දැදිගම කිරිවිට ප්‍රදේශයේ පදිංචි හෙද නිලධාරිනිය වැල්ලවත්තේ පෞද්ගලික රෝහලක නේවාසිකාගාරයක් ඉදිරිපිට රැඳී සිටියදී වෑන් රථයකින් පැමිණි ඇයගේ ස්වාමිපුරුෂයා හා පොලිස් නිල ඇදුමට සමාන නිල ඇඳුමින් සැරසුණු සැකකරු හා තවත් පුද්ගලයන් දෙදෙනකු ඇයව බලෙන් වෑන් රථයට දමාගෙන පැහැරගෙන පහරදී ඇය සතුව තිබූ රුපියල් 31,500/= ක් වටිනා මුදල් සහ දේපළ කොල්ලකා වැලිකඩ පොලිස් වසමේ දමා ගොස් තිබූ බව පොලිසිය කියයි.
එම හෙද නිලධාරිනිය ඉකුත් 18 වෙනි දින වැල්ලවත්ත පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් අනුව පැහැර ගැනීමට යොදාගත් වෑන් රථය කුලී පදනම මත ලබාගත් සැකකරු වන පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර සැරයන්වරයා ට එරෙහිව ඉකුත් වසරේ මාර්තු මස 11 දින තනතුර අතහැර යාමේ නියෝග නිකුත් කර ඇති තැනැත්තෙක් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
එම සැකකරු එම අපරාධය කිරීම සඳහා පොලිස් නිල ඇඳුමට සමාන නිළ ඇඳුමින් සැරසී පැමිණ ඇති බවද අනාවරණය වී තිබේ.