තවත්

    වටවලදී දුම්රියේ ගැටුණු තිදෙනා සියදිවි හානිකර ගත්තා දැයි සැකයක්

    0

    බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන දෙක අතරදී මෙම අනතුර සිදුව ඇත්තේ 103 1/2 සැතපුම් කණුව ආසන්නයේදීය.

    මව (65) , පියා (75) සහ පුතා (41) මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මොවුන් තිදෙනාම මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වටවල පොලිසිය සඳහන් කරයි.

    උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානය වෙත ළඟාවීමට ප්‍රථම එම පුද්ගලයින් දුම්රිය ධාවනය වන වේලාව අසා වටවල දුම්රිය ස්ථානය දෙසට ගමන් කළ බව දුම්රිය සේවකයෙක් පොලීසියට පවසා තිබේ. ඒ අනුව මොවුන් තිදෙනා සියදිවි හානිකර ගත්තේදැයි සැකයක් මතුව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.

    අලි වදින ගම්වලට තව එකක්

    0

    වන අලීන් බහුලව ගම්වදින ප්‍රදේශවල දැනට ස්ථාපිත විදුලි වැට සඳහා දෙවැනි බාධකයක් ඉදිකිරිමට පියවර ගෙන ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සදහන් කරයි.

    ඒ අනුව දැනට පවතින විදුලි වැටට අමතරව අගල් කැපීම ,එල්ලෙන විදුලි වැට ඉදි කිරීම හෝ ජෛව වැටක් ඉදිකිරීම වැනි විකල්ප ක්‍රමවලින් එකක් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇතැයිද ඔහු සඳහන් කළේය.

    පසුගිය කාලයේ කළ අධ්‍යයන අනුව දෙවැනි බාධකයක් ඉදිකිරීම මගින් වන අලි ඒ හරහා ගම් වැදීම පාලනය වන බව තහවුරු වු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    ඒ අනුව හඳුනා ගත් ප්‍රදේශවල කිලෝමීටර් 300 ක විදුලි වැටට අමතරව දෙවැනි බාධකයක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

    කිලෝමීටර් 4500 ක දුරක් දැනට විදුලි වැට ස්ථාපිත කර ඇති අතර ලබන වසරේදි තවත් කිලෝමීටර් 1500 ක් අලුතින් විදුලි වැට ඉදි කිරීමට සැලසුම් කර ඇත.

    “ගෑස් ගැන තවම 100%ක් වගකීම ගන්න බෑ.. සිලින්ඩරත් පරණයි”

    0

    ගෑස් සම්බන්ධයෙන් තවමත් පාරි‍භෝගිකයාට 100%ක වගකීම සහතික විය නොහැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ වත්මන් අර්බුදයට විසඳුමක් දුන් පසුව වුවද, පාරිභෝගිකයා 100%ක් ආරක්ෂා වනතුරු දැනට සිදුකෙරෙන නිරීක්ෂණ, නීති සංශෝධන, රසායනාගාර පරීක්ෂණ, මෙම ක්‍රියාවලිය පිළිබඳ වෙනස්කම් ආදිය අඛණ්ඩව සිදුකිරීමට රජය තීරණය කර ඇති බවය.

    ගෑස් පිළිබඳ සොයාබලන ජනපති කමිටුවේ අවසන් වාර්තාව ඉිදිරි දින කිහිප‍යේදී ලැබීමෙන් පසුව ගෑස් ක්‍රියාවලියට අදාළව අලුතින් නීති පැනවීම, පවතින නීති සංශෝධනයට ද පියවර ගන්නා බව හෙතෙම අවධාරණය කළේය.

    කමිටුවේ අවසන් වාර්තාව තවම ලැබී නැතත් දැනට පෙනී ‍ගොස් ඇති පරිදි ගෑස් සංයුතිය වෙනස් වීම, පීඩනය මෙම අර්බුදයට බලපා ඇති බව හෙතෙම කීය.

    එපමණක් නොව ගෑස් සිලින්ඩර පැරණි වීම මෙන්ම ගෑස් නිෂ්පාදන ක්‍රියාවලියේද දැවැන්ත ප්‍රශ්න ගණනාවක් පෙනී ගොස් ඇති බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ගෑස් සමාගම් දෙකටම මේ වනවිටත් නඩු පවරා ඇති බවය.

    අද පාර්ලිමේන්තුවේදී ගෑස් ප්‍රශ්නය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙසේ කීය.

    “අපට අවබෝධ වෙලා තිබෙන ආකාරයට, ඉදිරියේ දී පරීක්ෂණ වාර්තා ආවොත් මේක හින්ද නෙමෙයි මෙන්න මේක හින්දයි මේක සිද්ධ වෙලා තියෙන්නෙ කියලා ඉදිරියේදී අපි ඒක නිවැරදි කර ගන්නම්. නමුත්, මගේ පෞද්ගලික නිගමනය ගෑස්වල සංයුතිය වෙනස්වීම නිසා මේ ප්‍රශ්නය ඇති වුණා කියන එක විශේෂයෙන්ම අප පිළිගත යුතුයි. අපේ රටේ ප්‍රමිති ආයතනය විසින් ගෘහස්ථ ගෑස් සඳහා සකස් කරපු ප්‍රමිතියට, අද මේ අපේ නරකයි කියන ගැසූ ප්‍රමිති ආයතනය විසින් සකස් කර තිබෙන ප්‍රමිතියට අනුකූලයි. පලවෙනි ප්‍රශ්නය තියෙන්නෙ මෙන්න මේකයි. අපේ රටේ ප්‍රමිති ආයතනය විසින් සකස් කරපු ප්‍රමිතියේ මේකේ සංයුතිය පිළිබඳ කිසිවක් සඳහන් කරලා නෑ. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ප්‍රමිතිය තිබෙන්නේ පීඩනය තුළ . පීඩනය 1100ක් විතර තියෙනවා. එතකොට මේ ප්‍රොපේන් බියුටේන් සංයුතිය, ප්‍රොපේන් 100% වුණත් අර පීඩනය පනින්නෙ නෑ . දැන් අපි මේකෙන් නියැදි 12ක් අපි යැව්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට. ඒ දොළහෙ ම තිබෙන්නේ ප්‍රොපේන් 47/ 48ක් වගේ. මට ඒ වාර්තා පාර්ලිමේන්තුවට සභාගත කරන්න පුළුවන් කිසිදු ගැටලුවක් නෑ . ඒ වගේම ප්‍රමිති ආයතනයට ඇරියා 10ක් . මේ ආයතනයෙන් කියන්නේ ප්‍රමිතියට අනුව තියෙන පීඩනයට අනුකූලයි මේක කියන එක. ඉතිං ඒ කියන්නේ මේක තාක්ෂණිකමය ප්‍රශ්නයක් තිබෙනවා.

    මේ ගෑස් සමාගම් දෙකේ නිෂ්පාදන ක්‍රියාවලිය දිහා බලපුවාම මමත් පෞද්ගලිකව නිරීක්ෂණය කළ අප නිලධාරීන් පාරිභෝගික අධිකාරියේ සභාපති තුමා ඇතුළු ප්‍රමිති ආයතනයේ නිලධාරීන් ගිහිල්ලා නිරීක්ෂණය කළා අපේ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ලේකම්තුමාත් ගියා. විශේෂයෙන්ම මේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පාරිභෝගිකයාගේ ආක්ෂාව පිළිබඳ මං හිතන්නේ දැනට වඩා ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් තිබෙනවා. ඒ වගේම සිලින්ඩර්වල නඩත්තුව පිළිබඳව. මේ සිලින්ඩරයේ අයිතිය තියෙන යම්කිසි ආකාරයකට, සැබෑ අයිතිය තියෙන්නේ සමාගම්වලට. එක්දහස් නවසිය අනූ ගණන්වල ඉඳන් ඒ සිලින්ඩර අපේ භාවිතයේ තියෙනවා. 1998 නිකුත් කරපු සිලින්ඩරත් තියෙනවා. එතකොට මේ සිලින්ඩර්වල අංකයක් නැත. පැහැදිලිවම නැත. රජයේ ආයතනවල වගේම මේ සමාගම්වල නිෂ්පාදන ක්‍රියාවලියෙන් දැවැන්ත ප්‍රශ්න ගණනාවක් තිබෙන බව බොහොම පැහැදිලිව අපේ නිරීක්ෂණයට ලක් වුණා. තාම අවසාන වාර්තාව ආවෙ නැති වුණත්. මේ තත්ත්වය නිරාකරණය කරගැනීම වෙනුවෙන් අපි තීරණ කිහිපයක් ගත්තා. පාරිභෝගික අධිකාරිය, ප්‍රමිති ආයතනය, ITI ආයතනය නැවට ගිහිල්ලා නියැදි ලබාගෙන 30/32/20 ගණන්වල ප්‍රොපේන් තිබුනොත් විතරයි ඒවා රට ඇතුළට එන්න දෙන්නෙ.” යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    වසර 200 සපුරන පේරාදෙණිය උද්‍යානය ශාක කෞතුකාගාරයකට

    0

    පේරාදෙණිය උද්භිත උද්‍යානයට වසර 200 ක් පිරීම නිමිත්තෙන් ජාතික ශාක කෞතුකාගාරයක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.

    පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානය තුළ මෙම ශාක කෞතුකාගාරය පිහිටුවීමට නියමිතව ඇත.

    මෙරටට ආවේණික ශාක, මල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන මෙම ශාක කෞතුකාගාරයට ඇතුළත් කිරීමට නියමිත බව සඳහන්ය.

    සංචාරකයින්ගේ තවත් එක් ගමනාන්තයක් වන පේරාදෙණිය උද්භිත උද්‍යානය ජාතික ශාක කෞතුකාගාරයෙන් තවදුරටත් ලොව ප්‍රකට ශාකාගාරයක් බවට පත් කිරීම රජයේ අරමුණ වී තිබේ.

    ඇමති ධුර ගැන උසාවියෙන් වාර්තාවක් කැඳවයි

    0
    FILE- In this Nov. 22, 2019 file photo, Sri Lankan President Gotabaya Rajapaksa, center, stands during an oath-taking ceremony of his new cabinet members in Colombo, Sri Lanka. A proposed amendment to Sri Lanka’s constitution that will consolidate powers in the President’s hands has raised concerns about the independence of the country’s institutions and the impact on its ethnic minorities who fear their rights could be undermined by the majoritarian will.(AP Photo/Eranga Jayawardena, File)

    අමාත්‍ය ධුර සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත ඊට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයා වෙත නියෝග කර තිබේ.

    වර්තමානයේ පවතින සහ මේ වන විට අහෝසි වී ඇති අමාත්‍ය ධුර සම්බන්ධයෙන් එම වාර්තාව කැඳවා ඇත.

    වත්මන් අමාත්‍ය මණ්ඩලය පත් කර ඇති ආකාරය නීති විරෝධී යැයි තීන්දු කොට එහි ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

    වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා විසින් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය අමාත්‍යවරු පත් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (1) (අ) සහ(ආ) ව්‍යවස්ථාවට පටහැනි බවය.

    ව්‍යවස්ථාවේ සීමාව ඉක්මවා කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු ජනාධිපතිවරයා විසින් අතිරේකව පත්කර ඇති බවත් ඒ අනුව ඉකුත් ජුනි මස 07 වන දායින් පසුව මෙරට අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සම්කරු පෙන්වා දී තිබේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මෙවැනි අමාත්‍ය මණ්ඩලයකට සිය නිල කටයුතු ඉටු කිරීමට නිත්‍යානුකුල හැකියාවක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු මේ තුළින් ඔවුන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවට චෝදනා කරයි.

    එමෙන්ම වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.

    ඊට අමතරව ව්‍යවස්ථානුකූල සීමාවන් අභිබවා රාජ්‍ය අමාත්‍යවරු වශයෙන් පත්කොට තිබෙන චමල් රාජපක්ෂ, දිළුම් අමුණුගම, නාමල් රාජපක්ෂ සහ සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ යන අයගේ කටයුතු අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.

    අදාළ පෙත්සම අද විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී මෑතකදී පත් කරන ලද ඇතැම් අමාත්‍ය ධුර අහෝසි වී ඇති බවට තමන්ට තොරතුරු දැනගන්නට ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

    ඒ අනුව අදාළ නියෝගය ලබාදුන් අධිකරණය අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා ජනවාරි මස 27 වනදා කැඳවීමට නියම කර තිබේ.

    ජනපති වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, සියලුම රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු 82 දෙනෙකු නම් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

    ලීට්‍රෝ සමාගමට රජයෙන් හදිසි නියෝගයක්

    0

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලිට්‍රෝ ගෑස් සමාගමට නියෝගයක් කර තිබේ.

    ඒ දෙසැම්බර් 04 වැනිදාට පෙර නිකුත් කරන ලද සියලුම මුද්‍රා තැබූ (නිල් වර්ණ මුද්‍රා) ගෑස් සිලින්ඩර් නැවත කැඳවන ලෙස ය.

    අලෙවි නියෝජිතයන් ළඟ සහ නිවෙස් තුළ ඇති සියලුම ලීට්‍රෝ ගෑස් සිලින්ඩර මෙලෙස කැඳවන ලෙස දැනුම් දී ඇත.

    මැතිසබේ ආරවුල ගැන හොයන කමිටුව පත්කරයි

    0

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගර්භය තුළදී පසුගිය දිනවල කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (08) නිවේදනය කර තිබේ.

    නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් 11 දෙනෙකුගෙන් එම කමිටුව සමන්විත ය.

    මේ අතර බන්දුල ගුණවර්ධන, චමල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, විජිත හේරත්, රංජිත් මද්දුම බණ්ඩාර සහ එම්.ඒ.සුමන්තිරන් එහි සාමාජිකයින් ලෙස කටයුතු කරනු ඇත.

    පාර්ලිමේන්තු සැසිවාරය ඇමතීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට විනාඩි පහක් ලබා නොදුන් බවට දෙසැම්බර් 03 සහ 04 යන දිනවල සභාවේ උණුසුම් වාද විවාද ඇති විය.

    ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නානායක්කාර මන්ත්‍රීවරයා වෙත පැමිණ අවස්ථා දෙකකදී පහරදීමට උත්සාහ කළ බවට විපක්ෂය චෝදනා කළේය.

    සූරියවැව ක්‍රීඩාංගනයේ සේවකයින් දෙදෙනක් වන අලි ප්‍රහාරයකින් මරුට

    0
    Asian elephant head close up.

    සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සේවකයින් දෙදෙනෙක් වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් තිබේ.

    ක්‍රීඩාංගනයේ ඊයේ රාත්‍රියේ රැදී සිටි ඔවුන් දෙදෙනාගේ සිරුරු ක්‍රීඩාංගනයට ආසන්න අතුරු මාර්ගයක තිබී හමුවී ඇත්තේ අද උදෑසනය.

    පොලීසිය සඳහන් කරන්නේ ඔවුන් දෙදෙනාගේ සිරුරු ආසන්න ස්ථාන දෙකක තිබුණු බවය.

    ක්‍රීඩාංගනයේ රැදී සිටි ඔවුන් රාත්‍රී කාලයේ පිටතට යාම නිසා මෙසේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවද පොලීසිය කියයි.

    සාමාන්‍ය ජනතාවටත් මැණික් ගරන්න බලපත් ගන්න අවස්ථාවක්

    0

    ඇළහැර ප්‍රදේශයේ මැණික් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කිරීමෙන් සාමාන්‍ය ජනතාවටද මැණික් ගැරීමේ ව්‍යාපාරයට සම්බන්ධ වීමටත් ලබන ජනවාරියේ සිට බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

    කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී හෙතෙම මේ බව කීය.

    රත්නපුර ‘වේ ගඟ’ ආශ්‍රිතව මැණික් ගැරීම සදහා දියත් කළ ව්‍යාපෘතිය, ඇති වූ විරෝධයක් හේතුවෙන් දැනට නතර වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

    මේ අනුව විශේෂ සංවර්ධන කමිටු රැස්වීමකදී මේ පිළිබඳව සාකච්ඡා කොට රටටත් විශාල ආදායමක් හිමිවන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පෙන්වා දුන්නේය.

    වටිනාකම ඇ.ඩො. 3000 දක්වා වන මැණික් අලෙවි කිරීමේ ඇනවුම්, මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදයට සිදුකිරීමට අදාළ ගැසට් පත්‍රයට කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය පෙරේදා (06) හිමිවිය.

    පවතින කොවිඩ් තත්ත්වය මත සංචරණ කටයුතු සීමා වීම නිසා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සදහා මෙම පියවර ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය. එසේම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් අයකරනු ලැබූ සියයට 0.5 ක ගාස්තුව සියයට 0.25 දක්වා අඩු කිරීමද මෙම ගැසට් පත්‍රය මගින් සිදුවී ඇත.

    1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග ඇතුළත් අංක 2165/2 දරන ගැසට් පත්‍රයට මෙලෙස කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

    කර්මාන්ත කටයුතු අමාත්‍ය විමල් වීරවංශ, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එදින (06) පැවති කාරක සභා රැස්වීමට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා ඇතුළු නිලධාරිහු සහභාගී වූහ.

    දිවයිනේ විවිධ කර්මාන්තපුරයන් සහ කර්මාන්තයන් ආශ්‍රිතව ඇති ගැටලු පිළිබඳවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කමිටුවේ අවධානය යොමු කළහ. අදාළ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් ඒවාට කඩිනම් විසදුම් ලබා දීමට කටයුතු කරන ලෙසත් නොඑසේ නම් ඒ පිළිබඳව ඉදිරි කාරක සභාවට අදාළ සවිස්තරාත්මක වාර්තාවන් ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

    අද එන්නත් මධ්‍යස්ථාන 124ක්

    0

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 124කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 08.12.2021

    එළියට ගිය සජබය හෙට යළි ඇතුළට

    0

    සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හෙට (08) සිට යළි පාර්ලිමේන්තු රැස්වීමට පැමිණීමට තීරණය කර තිබේ.

    ඒ අද පස්වරුවේ කථානායකවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

    තම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ ආරක්ෂාව නැතැයි පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දින කිහිපයක් තිස්සේ පාර්ලිමේන්තුව කටයුතු සඳහා සහභාගී වූයේ නැත.

    ඒ වෙනුවට ඔවුන් පාර්ලිමේන්තුවෙන් පිටත විරෝධතාවක නිරත විය.

    වැඩි වැටුප් ඉල්ලා රාජ්‍ය සේවකයෝ පිරිසක් හෙට ලෙඩ වෙති

    0

    රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කර දෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවකයින් පිරිසක් හෙට ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණ සිටීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.

    සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් කෘෂි කෘෂි පර්යේෂණ නිලධාරීන්, තැපැල් සේවකයින් ඇතුළු වෘත්තීන් ගණනාවකට අයත් රාජ්‍ය සේවකයෝ එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව, වැටුප් වැඩි කර ගැනීමේ වෘත්තීය සමිතියෙ කමිටු සාමාජික ධම්මික මුණසිංහ මහතා පැවසීය.

    රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවීම, විශ්‍රාම වයස අවුරුදු 65 කිරීමේ යෝජනාව හකුළා ගැනීම, රාජ්‍ය සේවකයා රටට බරක් ඇයි මුදල් ඇමතිවරයා ගැන ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීම, රාජ්‍ය සේවකයින්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීම යන ඉල්ලීම් මුල්කර ගනිමින් එම ක්‍රියාමාර්ග ගන්නා බවද මුණසිංහ මහතා කීය.

    මේ අතර රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් හෙට දවල් 12ට බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අසලට රැස් වී එහිදී දැවැන්ත විරෝධතාවක් නිරතවන බවද මුණසිංහ මහතා කීය.

    රෝහින්‍යාවරුන් ෆේස්බුක් සමාගමෙන් වන්දි ඉල්ලයි

    0

    රෝහින්‍යා ජාතිකයින් විසින් ෆේස් බුක් සමාගමට විරුද්ධව ඇමරිකානු ඩොලර් බිලියන එකසිය පනහක වන්දියක් ඉල්ලා ඇමරිකානු අධිකරණයක නඩුවක් පවරා තිබේ.

    ඒ අනුව රෝහින්‍යා ජාතිකයින් සම්බන්ධයෙන් වෛරයක් ඇතිකරවන අන්දමින් ෆේස්බුක් හී පළකර තිබූ ප්‍රකාශ ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම නිසි ලෙස ක්‍රියා කර නොමැති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇත.

    එහිදී රෝහින්‍යා ජාතිකයින් පෙන්වා දී ඇත්තේ ෆේස්බුක් සමාගම අදාල වෛරී ප්‍රකාශ ඉවත් කිරීමට අසමත්වීම හේතුවෙන් තම ජාතිකයින්ට ඉතා අමානුෂික වදබන්ධනයන්ට මුහුණ දීමට සිදුවූ බවයි.

    මේ චෝදනා සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම මේවන තෙක් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

    2017 වර්ෂයේදී රෝහින්‍යා ජාතිකයින්ට මියන්මරා රජය සහ හමුදා විශාල වදබන්ධනයන්ට ලක්කර බවත් දස දහසකට ආසන්න පිරිසක් මරණයට පත්වූ බවද පවසන අතර ඒ සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසමේද විශාල අවදානය යොමුවිය.

    මත්කුඩු බෙදමින් ගිය මෝටර් රථයට නාකොටික් නිලධාරීන්ගෙන් වෙඩි ප්‍රහාරයක්

    0

    කුඩා දරුවෙක් මෝටර් රථයක ඉදිරිපස අසුනේ තබාගෙන කොළඹ සහ ඒ අවට තදාසන්න නගර ආශ්‍රිතව මත්ද්‍රව්‍ය බෙදාහැරී‍මේ ඡාවාරමක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අනාවරණයක‍රගෙන එම දරුවා සමඟ ඡාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

    කොට්ටාවේ පිහිටි පුද්ගලික බැංකුවක් ආසන්නයේදී අදාල මෝටර් රථය ඊයේ (06) රාත්‍රියේ නතරකර පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්තාවේදී එම ඡාවාරම්කරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ වාහනයේ එම මෝටර් රථය ගැටීමට සලස්වා පළා ගොස් ගොස් තිබේ. එම අවස්ථාවේදී පළායන මෝටර් රථය දෙසට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙඩි තබා ඇත. එහෙත් මෝටර් රථය නොනවත්වා ධාවනය වී තිබේ. එහිදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ද ඔවුන් පැමිණි මෝටර් රථයේ නැගී සැකකාරු ගමන්ගත් මෝටර් රථය හඹා යමින් එහි ටයර් වලට වෙඩි තබා ඇත. ටයර්වලට වෙඩි වැදීම හේතුවෙන් මෝටර් රථයට වැඩි දුරක් ගමන් කිරීමට නොහැකි වීම හේතුවෙන් කොළඹ අවිස්සාවේල මාර්ගයේ වාහනය දමා පළායාමට ඔහු සූදානම් වී තිබේ. එහෙත් ඊට පෙර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සදහන් කරනුයේ ඡාවාරම්කරු විසින් එම අවස්ථාවේදීත් අවුරුදු 08 ක් පමණ වයසැති දරුවෙක් මෝටර් රථයේ ඉදිරි අසුනේ තබාගෙන සිටි බවය. එම දරුවා සෙල්ලකතරගම පදිංචි යුවලකගේ බවද අනාවරණය වී තිබේ. අත්අඩංගුවටගත් ඡාවාරම්කරු මහරගම දුම්රිය පාර මාවතේ පදිංචිකරුවෙක් වන චමක ධනුෂ්මත් හේමන්ත නැමැති අයෙකි. ඔහු සන්තකයේ තිබී අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 138 හා ගංජා ග්‍රෑම් 290 ක් හමුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.

    ඡාවාරම්කරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත පිළියන්දල මාවිත්තරදී ගාල්ල පිලානේ පදිංචිකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සතුව තිබියදීද අයිස් මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් හමුවී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සදහන් කරයි.

    මේ වන විට මෙම මත්කුඩු ජාල‍යේ බොහෝ රහස් තොරතුරු හෙළිවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සදහන් කරයි.

    යුගදනවි ගිවිසුමේ තතු වසර 2ක් යනකල් කියන්න බැරි කතා බොරු

    0

    යුගදනවි ගිවිසුම සම්බන්ධ තොරතුරු වසර දෙකක් යනතුරු පිටතට නොදෙන බවට වන වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි .

    මේ පිළිබඳ කරුණු සහ ඊයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව පිළිබඳ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කැබිනට් සම-ප්‍රකාශක, රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙසේ කීය.

    අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීය.

    සජබෙන් කථානායකට විශේෂ ලිපියක්

    0

    තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අද(7) කථානායකවරයාට ලිපියක් භාරදෙන බව සමඟි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පාර්ලිමේන්තුව වර්ජනය කරන බවය.

    පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ හේතු සදහන් කර කතානායකවරයාට අද ලිපියක් බාරදෙන බවද ඔහු සදහන් කළේය.

    ඉන්පසුව කතානායකවරයා ගනු ලබන තීන්දුව දෙස බලා තම පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කරන බවද මහලේකම්වරයා පැවසීය.

    පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව නොමැති බව කියමින් සමඟි ජන බල වේගය පක්ෂය මේ වනවිට පර්ලිමේන්තුවට සහභාගීවීම ප්‍රතික්ෂේප කර තිබේ.

    මේජර් ජෙනරල් විකුම් ලියනගේ නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයට

    0

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර් ජෙනරල් විකුම් ලියනගේ පත් කර තිබේ.

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම පත්කිරීම කර ඇත්තේ අද (07) සිට ක්‍රියාත්මක වන ලෙසිණි.

    ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් විකුම් ලියනගේ මෙම ධූරයේ රාජකාරි භාර ගැනීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බල සේනාවේ සේනා විධායක ධූරය හෙබවීය.

    58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි ඉටුකළ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් විකුම් ලියනගේ එම ධූරයට පත්කෙරිණ.

    අලුත් ක්‍රමයට පොහොර දෙන්න ලෑස්තියි

    0

    පළාත්වල පස පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා පසේ සංයුතිය අනුව යල කන්නයේ සිට වගාවන් සදහා ගොවීන්ට පොහොර ලබාදෙන බව කෘෂිකාර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

    අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා එසේ කිරීමෙන් අනවශ්‍ය ආකාරයට කෙරෙන රසායනික පොහොර ආනයනය සීමා කළ හැකිවනු ඇති බවයි.

    කෘෂිකර්ම අමාත්‍යාංශයට 2022 වර්ෂය සඳහා අය – වැයෙන් වෙන්කර දී ඇති මුදල් වියදම් කරන ආකාරය පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

    පස පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන 362කට ලබා දී තිබෙන බවත් තවත් මධ්‍යස්ථාන 200කට ලබන වසර තුළ පස පරීක්ෂා කිරීමේ උපකරණ ලබා දෙන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.

    පස පරික්ෂා කිරීම මගින් මෙරට සෑම ප්‍රදේශයකම පසේ සංයුතිය අවබෝධ කර ගත හැකි බව කී අමාත්‍යවරයා එමඟින් ඒ ඒ ප්‍රදේශවල පසට අවශ්‍ය පොහොර වර්ගය හා ප්‍රමාණය තීරණය කර ගන්න පුළුවන් යැයිද සදහන් කළා.

    නැගෙනහිර රාජ්‍ය නිලධාරීන් 1500කට තාක්ෂණ වැඩමුළුවක්

    0

    තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක කළ නැගෙනහිර කලාපීය තාක්ෂණ වැඩමුළුවේදි රාජ්‍ය නිලධාරීන් 1500කට අධික පිරිසකට තාක්ෂණ දැනුම ලබාදුන් බව එම ආයතනය කියයි.

    එම වැඩසටහනේදී රාජ්‍ය ආයතන විදුලි සංදේශ හා තාක්ෂණ කර්මාන්ත නිලධාරීන්, කෘෂි කර්මාන්තයේ නියුතු සුළු හා මධ්‍ය පරිමාණ ආයතන, අධ්‍යාපන ක්ෂේත්‍ර නිලධාරීන් එම වැඩමුළුවට සහභාගිවූ අතර නව තාක්ෂණික පර්යේෂණ හා සංවර්ධන සදහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම මෙන්ම විශේෂඥයන්ගේ සහයෝගයෙන් උසස් තාක්ෂණය හඳුන්වාදීමද සිදුකෙරිණි.

    මහවැලි ඉඩම් කෘෂි අයෝජකයන්ට

    0

    මහවැලිය සතු හෙක්ටයාර් 1750 ක ඉඩම් වාණීජ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා දීර්ඝ කාලීන බදු පදනමින් ආයෝජකයන්ට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

    ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සහ අපනයනය ඉලක්කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නන්වයි.

    ඒ සම්බන්දයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිතුත් කළ නිවේදනය මෙසේය.

    කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ ආහාර ආනයනය සඳහා විදේශ විනිමය පිටරටවලට ගලා යාම මඟින් මෙරට ආර්ථිකයට වන සෘණාත්මක බලපෑම අවම කිරිමේ අරමුණින් දේශීයව වගා කළ හැකි අත්‍යවශ්‍ය ආහාර බෝග වගා කිරීම සඳහා ආයෝජකයින් දිරි ගැන්වීමට සැලසුම් කර ඇත. එමෙන්ම, දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම හා සත්ත්ව ආහාර දේශීය වශයෙන් නිෂ්පාදනය කර ගැනීම සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන ප්‍රවර්ධන ප්‍රතිපත්තියෙහි මූලික අරමුණක් වී තිබේ. ඒ අනුව, ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සහ අපනයනය ඉලක්ක කරගත් වාණිජ කෘෂිකාර්මික ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා මහවැලි බල ප්‍රදේශවල පිහිටි ඉඩම් හෙක්ටයාර 1,750ක් පමණ විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් තෝරාගත් ආයෝජකයින් වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    උපන් ගමන් අංකයක්

    0
    Baby Girl
    Baby Girl

    ශ්‍රී ලංකාවේ උපදින සෑම දරුවෙකුටම උපතේදීම අනන්‍යතා අංකයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    ඒ සම්බන්දයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිතුත් කළ නිවේදනය මෙසේය.

    ප්‍රියන්තගේ පවුලට රජයෙන් මුදලක් වෙන් කරයි

    0

    පකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේදී මැර පිරිසක් විසින් ඝාතනය කරන ලද දියවඩනගේ ප්‍රියන්ත කුමාරගේ පවුලට රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බව කැබිනට් සම ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා මුදල් ගෙවීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ඔහු පැවසීය.

    ප්‍රියන්ත දියවඩන සියල්කොට්හි රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් හි මෙහෙයුම් සාමාන්‍යාධිකාරීවරයා ලෙස සේවය කළේය.

    ගෑස් අනතුරින් තුවාල ලැබූ කතක් මිය යයි

    0

    ගෘහස්ත ගෑස් සිලින්ඩර් අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා සිටි මාතලේ උඩුපිහිල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මියගොස් ඇත.

    චන්ද්‍රා කුමාරි නම් වූ හැට නම වියැති එම කාන්තාව මිය ගොස් ඇත්තේ ඊයේ (06) ය.

    ඉකුත් 19 වෙනිදා උදෑසන 5.30 ට පමණ තේ පිළියෙල කිරීමට ඇය ගෑස් ලිප දල්වන විට සිරුරට ගිනි ඇවිලී ඇති බව පොලීසිය සදහන් කරයි. ඇය මිය ගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබා නිවසට පැමිණ දින දෙකකට පසුව නැවත රෝහල්ගත කිරීමෙන් අනතුරුවය.

    වැලිකන්දේ නිවසකද ඉකුත් 12 වෙනිදා සිදුවූ බව කියන සිදුවීමකින් තරුණ කාන්තාවක් ගිනි ඇවිලීමකින් රෝහල් ගත කර සිටියදී 25 වෙනිදා මිය ගියේය. එම තරුණිය ගිනි ඇවිලීමෙන් පසු වැලිකන්ද රෝහල ඇතුලත් කිරීමෙන් පසු පොලොන්නරුව රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් මාරුකර යවා තිබුණි. ඇය මිය යන්නේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    ඇය මිය යාමට පෙර මරදාන පොලීසියට ප්‍රකාශයක් දෙමින් සදහන් කර තිබුණේ මාළු ව්‍යාංජනය ලිපේ තබා ගෑස් ලිප දැල්වීමේදී සිරුරට ගිනි ඇවිළුණු බවය. පොලීසිය එම මරණය සම්බන්ධයෙන් ප්‍රකාශකරන්නට යෙදුනේ ඇය සිය දිවි හානිකරගෙන ඇති බවත් සැමියා සමග ඇති වූ ආරවුලක් ඊට මුල්වී ඇති බවත්ය. ඒ බව සනාථ කිරීමට පොලීසිය පවසා තිබුණේ සැමියා රැකියාව සදහා නිවසින් පිටත්ව ගිය පසු ඇය වට්ස්ඇප් වීඩියෝ ඇමතුමක් සැමියාට ගෙන භූමිතෙල් බෝතලය පෙන්වමින් ගිනි තබා ගන්නා බව පවසා ඇති බවය. ඒ අනුව සැමියා නිවසට පැමිණ බැලීමේදී බිරිද ගිනි තබාගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළේය. එහෙත් එම මරණය සම්බන්ධයෙන් කොළඹ හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ පැවති මරණ පරීක්ෂණයේදී සැමියා පවසා ඇත්තේ සිය දුරකතනය නිවසේ දමාගොස් තිබුණු බැවින් එය රැගෙන යාමට ආපසු එන විට බිරිද ගිනි ගැනීමකට ලක්ව සිටි බවය. ඒ අනුව මරණ පරීක්ෂකවරවයා පොලීසියට දැනුම් දී ඇත්තේ ගෑස් ටැංකිය ඇතුළු උපකරණ පරික්ෂණ කටයුතු සදහා රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත්කරන ලෙසය. මරණයට හේතුව මරණ පරීක්ෂකවරයා සිය වාර්තාවේ සදහන් කර නැත. ඒ ඉදිරි විමර්ශනයක් පැවැත්වෙමින් තිබෙන බැවිණි.

    අද එන්නත් මධ්‍යස්ථාන 132ක්

    0

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 132කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 07.12.2021

    උත්සව සමයේ නාඩු හා කැකුළු සහල් රු.100 අඩුවෙන්

    0

    එළඹෙන උත්සවය සමයේදී සතොස වෙළෙඳසැල් මගින්
    රුපියල් 100කට වඩා අඩුවෙන් නාඩු සහල් සහ කැකුළු සහල් කිලෝවක් අළෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා newswaveLK වෙත පැවසීය.

    එමෙන්ම ජනතාවට අත්‍යාවශ්‍ය සතොස හරහා තවත් ආහාර ද්‍රව්‍යයන් සහනදායී මිලට ලබාදීමට ඉදිරියේදි කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම සතොස වෙළෙඳසැළක් නොමැති ස්ථානවල ජනතාවට 1998 දුරකථන අංකය හරහා තමන්ගේ නිවසටම භාණ්ඩ ගෙන්වා ගැනීමට හැකි බවද ඔහු සදහන් කළේය.

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-07

    0
    ශ්‍රී ලංකාවේ ආදී ව්‍යවස්ථාදායකය වූ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හැරුණේ 1935 දෙසැම්බර් 07 වන දිනයි
    ශ්‍රී ලංකාවේ ආදී ව්‍යවස්ථාදායකය වූ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හැරුණේ 1935 දෙසැම්බර් 07 වන දිනයි

    ශ්‍රී ලංකාවේ ආදී ව්‍යවස්ථාදායකය වූ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හැරුණේ 1935 දෙසැම්බර් 07 වන දිනයි

    වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

    0

    කොවිඩ් අසාධිතව ප්‍රතිකාර ලබමින් සිටි වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අද(07) දින අභාවප්‍රාප්ත වී ඇත.

    රාජා කොල්ලුරේ මහතා ලංකාවේ පළමු ශිෂ්‍ය සංගමය වූ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ පුරෝගාමි නායකයෙක් ලෙස හා එහි සභාපති ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ කෘතහස්ත දේශපාලකයයෙකි.

    ශ්‍රී ලංකා නීති සංගමයේ ප්‍රථම නීති සභාවේ නිර්මාතෘ නියෝජිතයකු වූ එතුමා නීති සභාවේ නියෝජිතයෙකු වශයෙන් ද කටයුතු කළේය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ලෙසද රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ හිටපු සභාපති වරයා ලෙසද හෙතම රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළේය.

    ජාත්‍යන්තර නායකයින් රැසක් සමඟ සම්බන්ධතා ඇති ජාත්‍යන්තරය පිළිගත් වමේ නායකයකු වූ ඒ මහතා 1981 සිට 1985 දක්වා කාලය තුළ චෙකොස්ලොවැකියාවේ ප්‍රාග් නුවර සිට ක්‍රියාත්මක වූ ලෝක ප්‍රසිද්ධ පුවත්පත් කීපයකම සංස්කාරක ධූරයද දැරුවේය.

    අවුරුදු 32 කට පසු ලංකා ජාතික ශිෂ්‍ය සංගමය නැවත ගොඩ නැංවීමට නායකත්වය ලබාදුන් අයෙකු ලෙසද ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ 12 ජාතික සම්මේලනයෙන් පත්වූ සභාපති වරයා ලෙසටද කටයුතු කළ ඒ මහතා, මිය යන තුරු සමාජවාදී අදහස් සුපෝෂණය කිරීමට දායක වූයේය.

    සාමාන්‍ය ජනතාවගේ පොකට් මනි නිසා ආඩම්බර වෙන අමෙරිකානු ජනපති

    0

    “ඇමරිකාවේ ගලවා ගැනීමේ සැලැස්මට ස්තූතිවන්ත වන්නට, සාමාන්‍ය ඇමරිකානු පවුලක පසුගිය වසරේ හෝ ඊට පෙර වසරට වඩා වැඩි මුදලක් ඔවුන්ගේ සාක්කුවල ඇති බව පැවසීමට තරම් මම ආඩම්බර වෙමි.”

    මීට ටික වේලාවකට පෙර මේ සටහන තබා තිබුණේ අමෙරිකානු ජනපති ජෝ බයිඩෙන් ය.

    ‘ඇමරිකානු මුදාගැනීමේ සැලැස්ම’ නමින් බයිඩෙන් රජය හඳුන්වා දුන් නව වැඩසටහන කොවිඩ් වසංගතයෙන් රටවැසියන්ගේ ආර්ථිකය යළි නැගිටුවීමේ තවත් එක් වැඩපිළිවෙළකි. ඍජු සහනාධාර ක්‍රමයක් මෙමගින් ක්‍රියාත්මකය.

    2021 ඇමරිකානු මුදාගැනීමේ සැලසුම් පනත සඳහා සුදුසුකම් ලබන්නේ ඩොලර් 80,000 ට වඩා අඩුවෙන් ඉපැයූ පුද්ගලයන් ය. ඩොලර් 160,000 ට අඩු විවාහක ජෝඩු සහ ඩොලර් 120,000 ට අඩු ආදායම් ලැබූ පවුල් ය. 2020 බදු වර්ෂයේ සිට මෙය පනතක් ලෙස ක්‍රියාත්මක වන අතර, බදු මත සකස් කළ දළ ආදායම මත මෙම වැඩසටහනේ ප්‍රතිලාභීන් පදනම් වේ.

    යම් කාලසීමාවක් දක්වා 100% ෆෙඩරල් අඛණ්ඩ සෞඛ්‍ය ආවරණයක් (COBRA) සහනාධාරයක් ලබා දෙන අතර, අඩු පැය ගණනක් හේතුවෙන් රැකියා අහිමි වන හෝ ඔවුන්ගේ සෞඛ්‍ය සේවය අහිමි වන අයට ඔවුන්ගේ සෞඛ්‍ය සේවය අහිමි නොවන බව මෙමගින් සහතික කරයි.

    ඇමරිකානු මුදාගැනීමේ සැලැස්ම සෞඛ්‍ය රක්‍ෂණ වෙලඳපොලවල ලියාපදිංචි වී ඇති මිලියන ගණනක අඩු සහ මධ්‍යම ආදායම් ලබන පවුල් සඳහා සෞඛ්‍ය රක්‍ෂණ වාරික අඩු කිරීම හෝ ඉවත් කිරීම සිදු කරනු ඇත. මෙය මිලියනයකට අධික අනාරක්ෂිත ඇමරිකානුවන්ට ආවරණය ලබා ගැනීමට උපකාරී වනු ඇත.

    අමෙරිකාවේ ක්‍රියාත්මක ගලවාගැනීමේ සැලසුම ක්‍රියාත්මක වන අයුරු https://www.whitehouse.gov/american-rescue-plan/ මගින් දැනගත හැකිය.

    ගෑස් කාන්දු 244ක් – ගෑස් කමිටුවෙන් ජනතාවට විශේෂ පණිවුඩයක්

    0

    ගෑස් සිලින්ඩරවල කාන්දුවීම් පරීක්ෂා කිරීම නොකරන ලෙසට ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරා යෑම පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ කමිටුව ජනතාව වෙත දන්වා තිබේ.

    එම කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ගෑස් පිපිරීම් පිළිබඳ සහ ඒ සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පහත නිවේදනය නිකුත් කර ඇත.

    ජනපති ඩුබායි එක්ස්පෝ බලන්න යද්දී ලංකාවේ මැණික් ප්‍රදර්ශන කුටි හිස්

    0

    ඩුබායිහි දී පැවැත්වෙන dubai expo-2021 ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහි ගිය අවස්ථාවේදී ශ්‍රී ලංකාවට වෙන්කර තිබූ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන කුටි දෙකම හිස්ව තිබී ඇතැයි ඒ වන විට එය භාරගත් ප්‍රදර්ශකයින් එම රටට ගොස් නොසිටි බවත් වාර්තා වේ.

    ජනාධිපතිවරයා ඊයේ එම වෙළෙඳ ප්‍රදර්ශනය නැරඹීමට ඩුබායි රටට ගිය අතරේ ශ්‍රී ලංකාවට වෙන්කර තිබූ මැණික් හා ස්වර්ණාභරණ කුටි හිස් ව තිබීම ගැන එහි සිටි නිලධාරීන්ගෙන් කරුණු විමසා ඇතැයිද වාර්තා වේ.

    මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශකයින් දෙදෙනෙකුට එම කුටි භාර දී ඇතත් වීසා ලබා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් ඩුබායි යෑම ප්‍රමාද වී ඇතැයිද ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

    එම ප්‍රදර්ශක in දෙදෙනාට ඩුබායි යෑම සදහා සඳහා වීසා ලබා ගැනීමට මැණික් හා ස්වර්ණාභරණ මැනික් හා ස්වර්නාභරන අදිකාරියේ කලමනාකාර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කළමනාකාරීත්වයෙන් සහ සංචාරක මණ්ඩලයෙන් නිසි සහායක් සහ සම්බන්ධීකරණයක් ලබාදීමක් සිදුව නැතැයි ද එම ආරංචිමාර්ග කියයි.

    එක ප්‍රදර්ශකයකු අද (06) ඩුබායි ගොස් ඇතත් ඒ වන විට ජනාධිපතිවරයා ආපසු ලංකාවට පැමිණ සිටි බවද වාර්තාවේ.

    මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ නොසැලකිල්ල හා අදක්ෂභාවය නිසා මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශකයින් මහත් අපහසුතාවයට පත්වන අතර රටට ලැබීමට තිබෙන ඩොලර් අහිමිවන බව ද එම කර්මාන්තයේ නියැළෙන්නෝ පෙන්වා දෙති.