fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමති ධුර ගැන උසාවියෙන් වාර්තාවක් කැඳවයි

    ඇමති ධුර ගැන උසාවියෙන් වාර්තාවක් කැඳවයි

    අමාත්‍ය ධුර සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත ඊට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයා වෙත නියෝග කර තිබේ.

    වර්තමානයේ පවතින සහ මේ වන විට අහෝසි වී ඇති අමාත්‍ය ධුර සම්බන්ධයෙන් එම වාර්තාව කැඳවා ඇත.

    වත්මන් අමාත්‍ය මණ්ඩලය පත් කර ඇති ආකාරය නීති විරෝධී යැයි තීන්දු කොට එහි ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

    වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා විසින් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය අමාත්‍යවරු පත් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (1) (අ) සහ(ආ) ව්‍යවස්ථාවට පටහැනි බවය.

    ව්‍යවස්ථාවේ සීමාව ඉක්මවා කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු ජනාධිපතිවරයා විසින් අතිරේකව පත්කර ඇති බවත් ඒ අනුව ඉකුත් ජුනි මස 07 වන දායින් පසුව මෙරට අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සම්කරු පෙන්වා දී තිබේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මෙවැනි අමාත්‍ය මණ්ඩලයකට සිය නිල කටයුතු ඉටු කිරීමට නිත්‍යානුකුල හැකියාවක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු මේ තුළින් ඔවුන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවට චෝදනා කරයි.

    එමෙන්ම වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.

    ඊට අමතරව ව්‍යවස්ථානුකූල සීමාවන් අභිබවා රාජ්‍ය අමාත්‍යවරු වශයෙන් පත්කොට තිබෙන චමල් රාජපක්ෂ, දිළුම් අමුණුගම, නාමල් රාජපක්ෂ සහ සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ යන අයගේ කටයුතු අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.

    අදාළ පෙත්සම අද විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී මෑතකදී පත් කරන ලද ඇතැම් අමාත්‍ය ධුර අහෝසි වී ඇති බවට තමන්ට තොරතුරු දැනගන්නට ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

    ඒ අනුව අදාළ නියෝගය ලබාදුන් අධිකරණය අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා ජනවාරි මස 27 වනදා කැඳවීමට නියම කර තිබේ.

    ජනපති වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, සියලුම රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු 82 දෙනෙකු නම් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.