fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් අනතුරින් තුවාල ලැබූ කතක් මිය යයි

    ගෑස් අනතුරින් තුවාල ලැබූ කතක් මිය යයි

    ගෘහස්ත ගෑස් සිලින්ඩර් අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා සිටි මාතලේ උඩුපිහිල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මියගොස් ඇත.

    චන්ද්‍රා කුමාරි නම් වූ හැට නම වියැති එම කාන්තාව මිය ගොස් ඇත්තේ ඊයේ (06) ය.

    ඉකුත් 19 වෙනිදා උදෑසන 5.30 ට පමණ තේ පිළියෙල කිරීමට ඇය ගෑස් ලිප දල්වන විට සිරුරට ගිනි ඇවිලී ඇති බව පොලීසිය සදහන් කරයි. ඇය මිය ගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබා නිවසට පැමිණ දින දෙකකට පසුව නැවත රෝහල්ගත කිරීමෙන් අනතුරුවය.

    වැලිකන්දේ නිවසකද ඉකුත් 12 වෙනිදා සිදුවූ බව කියන සිදුවීමකින් තරුණ කාන්තාවක් ගිනි ඇවිලීමකින් රෝහල් ගත කර සිටියදී 25 වෙනිදා මිය ගියේය. එම තරුණිය ගිනි ඇවිලීමෙන් පසු වැලිකන්ද රෝහල ඇතුලත් කිරීමෙන් පසු පොලොන්නරුව රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් මාරුකර යවා තිබුණි. ඇය මිය යන්නේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    ඇය මිය යාමට පෙර මරදාන පොලීසියට ප්‍රකාශයක් දෙමින් සදහන් කර තිබුණේ මාළු ව්‍යාංජනය ලිපේ තබා ගෑස් ලිප දැල්වීමේදී සිරුරට ගිනි ඇවිළුණු බවය. පොලීසිය එම මරණය සම්බන්ධයෙන් ප්‍රකාශකරන්නට යෙදුනේ ඇය සිය දිවි හානිකරගෙන ඇති බවත් සැමියා සමග ඇති වූ ආරවුලක් ඊට මුල්වී ඇති බවත්ය. ඒ බව සනාථ කිරීමට පොලීසිය පවසා තිබුණේ සැමියා රැකියාව සදහා නිවසින් පිටත්ව ගිය පසු ඇය වට්ස්ඇප් වීඩියෝ ඇමතුමක් සැමියාට ගෙන භූමිතෙල් බෝතලය පෙන්වමින් ගිනි තබා ගන්නා බව පවසා ඇති බවය. ඒ අනුව සැමියා නිවසට පැමිණ බැලීමේදී බිරිද ගිනි තබාගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළේය. එහෙත් එම මරණය සම්බන්ධයෙන් කොළඹ හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ පැවති මරණ පරීක්ෂණයේදී සැමියා පවසා ඇත්තේ සිය දුරකතනය නිවසේ දමාගොස් තිබුණු බැවින් එය රැගෙන යාමට ආපසු එන විට බිරිද ගිනි ගැනීමකට ලක්ව සිටි බවය. ඒ අනුව මරණ පරීක්ෂකවරවයා පොලීසියට දැනුම් දී ඇත්තේ ගෑස් ටැංකිය ඇතුළු උපකරණ පරික්ෂණ කටයුතු සදහා රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත්කරන ලෙසය. මරණයට හේතුව මරණ පරීක්ෂකවරයා සිය වාර්තාවේ සදහන් කර නැත. ඒ ඉදිරි විමර්ශනයක් පැවැත්වෙමින් තිබෙන බැවිණි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.