fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ගෑස් ගැන තවම 100%ක් වගකීම ගන්න බෑ.. සිලින්ඩරත් පරණයි"

    “ගෑස් ගැන තවම 100%ක් වගකීම ගන්න බෑ.. සිලින්ඩරත් පරණයි”

    ගෑස් සම්බන්ධයෙන් තවමත් පාරි‍භෝගිකයාට 100%ක වගකීම සහතික විය නොහැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ වත්මන් අර්බුදයට විසඳුමක් දුන් පසුව වුවද, පාරිභෝගිකයා 100%ක් ආරක්ෂා වනතුරු දැනට සිදුකෙරෙන නිරීක්ෂණ, නීති සංශෝධන, රසායනාගාර පරීක්ෂණ, මෙම ක්‍රියාවලිය පිළිබඳ වෙනස්කම් ආදිය අඛණ්ඩව සිදුකිරීමට රජය තීරණය කර ඇති බවය.

    ගෑස් පිළිබඳ සොයාබලන ජනපති කමිටුවේ අවසන් වාර්තාව ඉිදිරි දින කිහිප‍යේදී ලැබීමෙන් පසුව ගෑස් ක්‍රියාවලියට අදාළව අලුතින් නීති පැනවීම, පවතින නීති සංශෝධනයට ද පියවර ගන්නා බව හෙතෙම අවධාරණය කළේය.

    කමිටුවේ අවසන් වාර්තාව තවම ලැබී නැතත් දැනට පෙනී ‍ගොස් ඇති පරිදි ගෑස් සංයුතිය වෙනස් වීම, පීඩනය මෙම අර්බුදයට බලපා ඇති බව හෙතෙම කීය.

    එපමණක් නොව ගෑස් සිලින්ඩර පැරණි වීම මෙන්ම ගෑස් නිෂ්පාදන ක්‍රියාවලියේද දැවැන්ත ප්‍රශ්න ගණනාවක් පෙනී ගොස් ඇති බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ගෑස් සමාගම් දෙකටම මේ වනවිටත් නඩු පවරා ඇති බවය.

    අද පාර්ලිමේන්තුවේදී ගෑස් ප්‍රශ්නය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙසේ කීය.

    “අපට අවබෝධ වෙලා තිබෙන ආකාරයට, ඉදිරියේ දී පරීක්ෂණ වාර්තා ආවොත් මේක හින්ද නෙමෙයි මෙන්න මේක හින්දයි මේක සිද්ධ වෙලා තියෙන්නෙ කියලා ඉදිරියේදී අපි ඒක නිවැරදි කර ගන්නම්. නමුත්, මගේ පෞද්ගලික නිගමනය ගෑස්වල සංයුතිය වෙනස්වීම නිසා මේ ප්‍රශ්නය ඇති වුණා කියන එක විශේෂයෙන්ම අප පිළිගත යුතුයි. අපේ රටේ ප්‍රමිති ආයතනය විසින් ගෘහස්ථ ගෑස් සඳහා සකස් කරපු ප්‍රමිතියට, අද මේ අපේ නරකයි කියන ගැසූ ප්‍රමිති ආයතනය විසින් සකස් කර තිබෙන ප්‍රමිතියට අනුකූලයි. පලවෙනි ප්‍රශ්නය තියෙන්නෙ මෙන්න මේකයි. අපේ රටේ ප්‍රමිති ආයතනය විසින් සකස් කරපු ප්‍රමිතියේ මේකේ සංයුතිය පිළිබඳ කිසිවක් සඳහන් කරලා නෑ. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ප්‍රමිතිය තිබෙන්නේ පීඩනය තුළ . පීඩනය 1100ක් විතර තියෙනවා. එතකොට මේ ප්‍රොපේන් බියුටේන් සංයුතිය, ප්‍රොපේන් 100% වුණත් අර පීඩනය පනින්නෙ නෑ . දැන් අපි මේකෙන් නියැදි 12ක් අපි යැව්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට. ඒ දොළහෙ ම තිබෙන්නේ ප්‍රොපේන් 47/ 48ක් වගේ. මට ඒ වාර්තා පාර්ලිමේන්තුවට සභාගත කරන්න පුළුවන් කිසිදු ගැටලුවක් නෑ . ඒ වගේම ප්‍රමිති ආයතනයට ඇරියා 10ක් . මේ ආයතනයෙන් කියන්නේ ප්‍රමිතියට අනුව තියෙන පීඩනයට අනුකූලයි මේක කියන එක. ඉතිං ඒ කියන්නේ මේක තාක්ෂණිකමය ප්‍රශ්නයක් තිබෙනවා.

    මේ ගෑස් සමාගම් දෙකේ නිෂ්පාදන ක්‍රියාවලිය දිහා බලපුවාම මමත් පෞද්ගලිකව නිරීක්ෂණය කළ අප නිලධාරීන් පාරිභෝගික අධිකාරියේ සභාපති තුමා ඇතුළු ප්‍රමිති ආයතනයේ නිලධාරීන් ගිහිල්ලා නිරීක්ෂණය කළා අපේ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ලේකම්තුමාත් ගියා. විශේෂයෙන්ම මේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පාරිභෝගිකයාගේ ආක්ෂාව පිළිබඳ මං හිතන්නේ දැනට වඩා ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් තිබෙනවා. ඒ වගේම සිලින්ඩර්වල නඩත්තුව පිළිබඳව. මේ සිලින්ඩරයේ අයිතිය තියෙන යම්කිසි ආකාරයකට, සැබෑ අයිතිය තියෙන්නේ සමාගම්වලට. එක්දහස් නවසිය අනූ ගණන්වල ඉඳන් ඒ සිලින්ඩර අපේ භාවිතයේ තියෙනවා. 1998 නිකුත් කරපු සිලින්ඩරත් තියෙනවා. එතකොට මේ සිලින්ඩර්වල අංකයක් නැත. පැහැදිලිවම නැත. රජයේ ආයතනවල වගේම මේ සමාගම්වල නිෂ්පාදන ක්‍රියාවලියෙන් දැවැන්ත ප්‍රශ්න ගණනාවක් තිබෙන බව බොහොම පැහැදිලිව අපේ නිරීක්ෂණයට ලක් වුණා. තාම අවසාන වාර්තාව ආවෙ නැති වුණත්. මේ තත්ත්වය නිරාකරණය කරගැනීම වෙනුවෙන් අපි තීරණ කිහිපයක් ගත්තා. පාරිභෝගික අධිකාරිය, ප්‍රමිති ආයතනය, ITI ආයතනය නැවට ගිහිල්ලා නියැදි ලබාගෙන 30/32/20 ගණන්වල ප්‍රොපේන් තිබුනොත් විතරයි ඒවා රට ඇතුළට එන්න දෙන්නෙ.” යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.