තවත්

    නිසි ප්‍රමිතියෙන් ගුණාත්මක පොහොර ආනයනයට තීරණයක්

    0

    නිසි ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක ශාක පෝෂක බෝග වගාවන් සඳහා ආනයනයට අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කරයි.

    කෘෂි විද්‍යාඥයින් සහ පරිපාලන නිලධාරීන් 11 දෙනෙක් විසින් එක්ව කෘෂිකර්මාන්තයේ පවතින තත්ත්වය පිළිබදව සකස්කර ජනාධිපතිවරයාට යොමු කළ කෘෂිකර්මාන්ත මාර්ගගත සැලැස්මට අනුව මෙම අවසරය හිමිව තිබෙන බව මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පවසයි.

    “එය සංකල්ප පත්‍රිකාවක්. එහිදී අපි කෘෂි සිතියමක් පවා හැදුවා ආහාර සුරක්ෂිතතාවය පිළිබදව විශේෂ අවධානයක් පවා යොමු කලා“ යැයිද ලේකම්වරයා පැවැසීය.

    ඒ අනුව, තේ, පොල්, රබර්, එළවළු , වී ගොවිතැන, පළතුරු සහ මල් වගාවන්ට අවශ්‍ය ගුණාත්මක බවින් ඉහළ නිර්දේශිත සියළුම පොහොර වර්ග ගොවි බිම් වෙත නිකුත් කිරිමට මේ වන විටත්, අවශ්‍ය පසුබිම් සකස් කරමින් සිටින බවද කෘෂිකර්ම ලේකම්වරයා සදහන් කළේය.

    කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා පවසන්නේ යූරියා ඇතුළු හඳුනා ගත් ශාක පෝෂක දැනටමත් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය ඇනවුම් සිදු කර අවසන් බව ය.

    "මේ මහ කන්නයේ තමයි වැඩියෙන්ම ගොවිතැන් කටයුතුවල නිරත වන්නේ. වී වගාව, විශේෂයෙන්ම බඩඉගුරු වගාව එලවළු වගාව සහ අපේ වැවිලි කර්මාන්තය වන තේ පොල්, රබර් සියල්ල. මේවාගේ නිර්දේශිත උපරිම වගා ප්‍රමාණය ලබා ගෙන ආහාර සුරක්ෂිතබාවය ලබා ගැනීම තමයි අපේ පළවෙනි පියවර. ඒ සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියේ අනුගත වෙලා සිටිනවා. ඇත්ත වශයෙන්ම මොකටද අපි පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයක් සඳහා යොමු වන්න. පරිසර හිතකාමි කියන්නේ විෂදායක නොවන ඉහළ ප්‍රමිතියකින් යුත් නිර්දේශිත ශාක පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදමින් පැළයට ශාක පෝෂණය සහ ආරක්ෂාව යොදමින් ජලය ද වාතය ද ඉතුරු පරිසර පද්ධතියට හානියක් නොවෙමින් කෘෂි කර්මාන්තය රැක ගැනීම. මේ සඳහා අවශ්‍ය කරන නිර්දේශීත නියමිත ප්‍රමාණයන් කෘෂිකර්මාන්ත අධ්‍යක්ෂවරයාගේ සහ කමිටු අධීක්ෂණය යටතේ කුමක් ද අවශ්‍ය කියලා නිගමනය කරලා ඒ ප්‍රමාණ වලින් අපිට රජය විසින් බලතල දීලා තියෙනවා අවශ්‍ය ප්‍රමාණයෙන් මේකට විද්‍යාත්මකව කටයුතු කරන්න කියලා. පොහොර සහ කෘෂි රසායනික වශයෙන් කුමක්ද ගෙන්නන්නේ කියලා රසායනික ඒ ක්‍රියාවලිය පිළිබඳව කෘෂිකර්මාන්ත අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි නිර්දේශ කරන්නේ කමිටුවක් හරහා. විශේෂයෙන්ම අපි අවුරුදු 3-4ක මේවා ගෙන්නලා තියෙනවා ඒ ගෙන්නපු ඒවාගෙන් ඉහළ පරම්පරාවට අයිති නිර්දේශිත ඒවා පමණයි ගෙන්නන්නේ" යැයිද කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    ඉන්දියාවේ සිට රැගෙන පැමිණි තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

    0
    Explosive sign yellow with stripes, 3D rendering

    ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ රැගෙන පැමිණි පිපුරුම් ද්‍රව්‍යක් වන ජෙලට් නයිට් කූරු 1206 ක් යුද හමුදාවෙන් ලබාදුන් තෙරතුරකට අනුව මන්නාරම පොලීසිය අද අළුයම කළ මෙහෙයුමකදී සොයාගෙන තිබේ.

    බෝට්ටු මගින් හොර රහසේ රැගෙන පැමිණ ඇති මෙම ජෙලට් නයිට් කූරු තොගයේ බර කිලෝ 150 යි ග්‍රෑම් 750 කි.

    මන්නාරම උප්පුකුලමේ පිහිටි නිවසක මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සඟවා තිබී ඇත.

    මේ වන විට ඉන්දියාවේ සිට හොර රහසේ විවිධ පුපුරණ ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ ප්‍රවනතාවක් ඇතැයි බුද්ධි අංශ සඳහන් කරයි.

    නාවික හමුදාවෙන් ලබාදුන් තොරතුරකට අනුවද ඊයේ සවස මන්නාරම පොලීසිය විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව

    ඉන්දියාවේ VETRIVEL EXPLOSIVES PVT. LTD. ආයතනයේ නිෂ්පාදිත කරලක් ග්‍රෑම් 125 ක් බරකින් යුත් ඉමල්ෂන් වර්ගයේ උසස් පුපුරණ ද්‍රව්‍ය කරල් 7,990 ක් සොයාගත්තේය එම පුපුරණ ද්‍රව්‍ය තොගයේ සම්පූර්ණ බර කිලෝ 998 යි ග්‍රෑම් 750 කි.

    මන්නාරම ශාන්තිපුරම් ගෙවල් 100 ප්‍රදේශයේ නිවසක සඟවා තිබුණු මෙම පුපුරණ ද්‍රව්‍ය සමඟ අවුරුදු 55 ක් වයසැති පුද්ගයෙක්ද අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-21

    0
    ඉංග්‍රීසීන් විසින් උඩරට ගිවිසුම අවලංගු කරමින් උඩරට ප්‍රකාශනය නිකුත් කරන ලද්දේ 1818 නොවැම්බර් 21 වන දිනයි
    ඉංග්‍රීසීන් විසින් උඩරට ගිවිසුම අවලංගු කරමින් උඩරට ප්‍රකාශනය නිකුත් කරන ලද්දේ 1818 නොවැම්බර් 21 වන දිනයි

    ඉංග්‍රීසීන් විසින් උඩරට ගිවිසුම අවලංගු කරමින් උඩරට ප්‍රකාශනය නිකුත් කරන ලද්දේ 1818 නොවැම්බර් 21 වන දිනයි

    පාසල්වල සියලු ශ්‍රේණි හෙට සිට ඇරේ

    0

    කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා තිබූ රටපුරා සියලුම රජයේ පාසල්වල හයවන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට (22) සිට ඇරඹේ.

    මීට පෙර පළමුවන ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා මෙන්ම 10 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ශ්‍රේණි ද ආරම්භ විය.

    උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ සහිත දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.

    ඒ අනුව හෙට (22) සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත වනු ඇත.

    අද එන්නත් දෙන මධ්‍යස්ථාන 70ක්

    0

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද දිස්ත්‍රික් 9ක පිහිටි මධ්‍යස්ථාන 70 කදී ලබාදෙන බව රජය නිවේදනය කරයි.

    අද දිනයේ එන්නත් ලබාදෙන, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 21.11.2021

    අදාළ එන්නත් වර්ග, පාසල් දරුවන් එන්නත්කරණ මධ්‍යස්ථාන සහ සෙසු කොවිඩ් එන්නත් ඇතුළුව අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ ලැයිස්තුව පහත දැක්වේ.

    Tentative vaccination schedule 21.11. 2021

    ශාක පෝෂක කෘෂි රසායන ගෙන්වන්න අවසරයක්

    0

    මහ කන්නයට කෘෂි බෝග වර්ග සඳහා ශාක පෝෂක සහ කෘෂි රසායන ආනයනය කිරීමට අවසර ලබාදී තිබේ.

    ඒ අනුව වී, බඩඉරිඟු, එළවළු සහ අනෙකුත් භෝග සඳහා මෙලෙස අවසර දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

    මහ කන්නයට හදිසි අවශ්‍යතාවයක් සේ සළකා මෙම පියවර ගෙන තිබේ.

    නිසි ප්‍රමිතියෙන් යුත්, ගුණාත්මක ශාක පෝෂක මෙරටට ගෙන්වීමට යළි අවසර දී තිබේ.

    ඒ අනුව, මෙරටට අවශ්‍ය සියලු ගුණාත්මක බවින් යුත්, නිර්දේශිත පොහොර ආනයනය කර, කඩිනමින් ගොවි බිම් වෙත නිකුත් කිරිමට අවශ්‍ය පසුබිම් සකස් කරමින් ඇතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

    යූරියා ඇතුළු හඳුනා ගත් ශාක පෝෂක දැනටමත් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය ඇනවුම් සිදු කර අවසන් බව ද වාර්තා වේ.

    කෘෂි විද්‍යාඥයින් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට යොමු කළ කෘෂි මාර්ගගත සැලැස්මට අනුව මෙම පියවර ගෙන ඇත.

    නතර වූ මහනුවර – කොළඹ දුම්රිය හෙට සිට වැඩ

    0

    නායයෑමේ තර්ජන හේතුවෙන් තාවකාලිකව නතර කෙරුණු මහනුවර – කොළඹ දුම්රිය ධාවනය හෙට (22) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යධිකාරීවරයා පවසයි.

    මෙම දුම්රියෙන් සීමා සහිත නැවත ධාවනය වන බවද ඔහු සඳහන් කළේය.

    ඊට අදාළ කටයුතු මේ වනවිට සූදානම් කරමින් කර ඇති බවද දුම්රිය සාමාන්‍යධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

    නවක සාමණේර ස්වාමීන් වහන්සේ පුහුණු කිරීමේ ජාතික වැඩසටහන අද සිට

    0

    සුපසන් භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් සකස් වීම පිළිබඳව නවක සාමණේර ස්වාමීන් වහන්සේ පුහුණු කිරීමේ ජාතික වැඩසටහන අද (21) සිට පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබේ.

    මෙම වැඩසටහන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අද (21) සිට ලබන 27 වන දින දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේය.

    මෙහිදී ශාසනික වත්පිළිවෙත්, ඇවතුම් පැවතුම්, විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් දායක කාරකාදීන්ට සිදුකළ යුතු යුතුකම්, ශාසනික කාර්යභාරය වැනි කරුණු යටතේ නවක සාමණේර ස්වාමීන් වහන්සේ සඳහා ප්‍රායෝගික පුහුණුවක් පැවැත්වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

    රංජන් මඩුගල්ලේ අද පිහිටුවන වාර්තාව

    0

    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර අද (21) ගාල්ලේ දී ආරම්භවන ටෙස්ට් තරගයේ තරග තීරක ලෙස කටයුතු කිරීමත් සමඟ සිය ටෙස්ට් තරග තීරක දිවියේ 200 වැනි කඩඉම ළඟා කර ගැනීමට රංජන් මඩුගල්ලේ මහතා සමත්ව සිටියි.

    අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම අවස්ථාව ලබා දීමත් සමඟ ලොව ටෙස්ට් තරග 200ක තීරක ලෙස කටයුතු කළ පළමු පුද්ගලයා ලෙස රංජන් මඩුගල්ලේ මහතා ඉතිහාසයට එක්වෙයි.

    1993 වසරේ පාකිස්ථානය සහ සිම්බාබ්වේ අතර පැවැති ටෙස්ට් තරගයේ තීරක ලෙස කටයුතු කරමින් මඩුගල්ලේ මහතා ටෙස්ට් තරග තීරක කාර්යය ආරම්භ කර තිබිණි.

    මේ වනවිට හැට දෙවැනි වියෝ පසුවන රංජන් මඩුගල්ලේ මහතා පසුගියදා නිමාවට පත් විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ තීරකවරයා ලෙස ද කටයුතු කළේය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 21 කට ක්‍රීඩා කර ඇති රංජන් මඩුගල්ලේ මහතා අවස්ථා දෙකකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින්ද කටයුතු කර ඇති රංජන් මඩුගල්ලේ මහතා එක්දින තරග 63කට එක්වී ඉන් 13කට නායකත්වය දී තිබේ.

    මඩුගල්ලේ මහතාගේ මෙම වාර්තාවට ආසන්නයෙන් සිටින තීරකයා ක්‍රිස් බ්‍රෝඩ් ය. ඔහු මේ වනවිට ටෙස්ට් තරග 112ක තීරක කාර්යය ඉටු කර තිබේ.

    කෙසේ වෙතත් ක්‍රිස් බෝඩ්ට උවද රංජන් මඩුගල්ලේ ගේ ඉලක්කයට ළඟාවීම අපහසු බව ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි.

    සය නිවුන් දරුවෝ නිවහනට

    0

    පසුගියදා උපන් නිවුන් දරුවන් සයදෙනා අද (20) නිවෙසට රැගෙන යාම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් රෝහල් පරිශ්‍රයේ දී උත්සවයක් සංවිධාන කර තිබුණි.

    පසුගිය ඔක්තෝබර් මස නයින්වේල්ස් රෝහලේදී උපන් මෙම නිවුන් දරුවන් සය දෙනාගේ පැමිණීම වෙනුවෙන් අයි.ඩී.එච්. ප්‍රදේශයේ පිහිටි නිවස අලංකාර කර තිබුණු අයුරු ද දක්නට හැකිවිය.

    කොළඹ නයින්වෙල්ස් රෝහලේ දී පසුගිය ඔක්තෝබර් මස 21 වනදා මෙලොව උපත ලැබු බිළිඳුන් නිරෝගි සුවයෙන් පසු වේ.

    කොළඹ අයි.ඩී.එච්. ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දිලිනි වාසනා නම් මවකට දාව මෙම සය නිවුන් දරු උපත සිදුවිය.

    ඉන්දියාවේ සිට රැගෙන පැමිණි පුපුරණ ද්‍රව්‍ය තොගයක් මන්නාරමෙන් සොයාගනී

    0

    ඉන්දියාවේ සිට බෝට්ටු මගින් හොර රහසේ මෙරටට රැගෙන පැමිණි බව කියන පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ ද සහය අතිව අද සවස සැකකරුවෙක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඉන්දියාවේ VETRIVEL EXPLOSIVES PVT. LTD. ආයතනයේ නිෂ්පාදිත කරලක් ග්‍රෑම් 125 ක් බරකින් යුත් ඉමල්ෂන් වර්ගයේ උසස් පුපුරණ ද්‍රව්‍ය කරල් 7,990 ක් සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර ඇතැයි විශේෂ කාර්ය බලකාය සදහන් කරයි. එම පුපුරණ ද්‍රව්‍ය තොගයේ සම්පූර්ණ බර කිලෝ 998 යි ග්‍රෑම් 750 කි.

    මන්නාරම ශාන්තිපුරම් ගෙවල් 100 ප්‍රදේශයේ නිවසක සඟවා තිබුණු මෙම පුපුරණ ද්‍රව්‍ය සමඟ අවුරුදු 55 ක් වයසැති පුද්ගයෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ප්‍රනාන්දු ජෝෂප් නැමැති අයෙකි.

    මෙම පුපුරණ ද්‍රව්‍ය අධිබල පුපුරණ ද්‍රව්‍ය ගණයට නොවැටෙන බවත් මේවා භාවිතා කරනුයේ ගල්වෙඩි දැමීමට බවත් ආරක්ෂක අංශයක පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයෙක් අප කළ විමසුමකදී සදහන් කළේය.

    එය එසේ වූවත් මෙසේ පුපුරණ ද්‍රව්‍ය ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ආරක්ෂක අංශවලට හසුනොවන ලෙස ගොඩබිමට රැගෙන ඒම සම්බන්ධයෙන් සහ මේවා සැබෑ ලෙසම ගල්වෙඩි සදහා යොදා ගැනීමටමදැයි වැඩි දුර විමර්ශන මන්නාරම පොලිසීය විසින් සිදුකරයි.

    තලෛමන්නාරම නාවික හමුදා කදවුරේ නිළධාරීන්ගෙන් මන්නාරම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය හා යාපනය කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ ප්‍රධන පොලිස් පරීක්ෂක එන්.පී.ඒ.එස්. නිරෝෂන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්, විශේෂ කාර්ය බලකාය බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් ද මන්නාරම පොලිස් ස්ථානයේ නිළධාරීන් සමඟ ඒකාබද්ධව මෙම වැටලීම කළ බව විශේෂ කාර්ය බලකා මාධ්‍ය අංශය සදහන් කළේය.

    ජනපති කාර්යාලයේ සමස්ත සේවක – වාහන ගණන යහපාලනයේ ගණනින් තුනෙන් එකයි

    0

    ජනාධිපති කාර්යාලය යටතේ වූ සමස්ත සේවක සහ වාහන සංඛ්‍යාව යහපාලන ආණ්ඩුව යටතේ වූ සේවක සහ වාහන සංඛ්‍යාව මෙන් තුනෙන් එකක් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත වූ දෙවර්ෂයක පාලන කාලය තුළ අභියෝග රැසක් හමුවේ අවම සම්පත් දායකත්වයකින් විශාල කාර්යභාර්යක් ඉටු කරමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

    කරුණු එසේ තිබියදී නිවැරදි තොරතුරු හෝ සංඛ්‍යාලේඛන අධ්‍යනයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සිය කතාවක් මගින් ජනාධිපති කාර්යාලයේ වාහන භාවිතය සම්බන්ධයෙන් ඊයේ (19) දිනයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සාවද්‍ය මෙන්ම කරුණු අධ්‍යනයකින් තොරව කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කර සිටී.

    ජනාධිපතිවරයා අනුව යමින් ජනාධිපති කාර්යාලයේ සේවයේ නියුතු කිසිඳු නිලධාරියෙකු රථ පෙළපාළි භාවිත නොකරන බව වගකීමෙන් ප්‍රකාශ කරන බව ද එම නිවේදනයේ සඳහන් ය.

    එමෙන්ම බොහෝ නිලධාරීහු සිය නිලයට අයත් වාහනය ද නොගෙන රාජකාරීමය අවශ්‍යතාවය වෙනුවෙන් සංචිතයට අයත් වාහන අදාළ රාජකාරී කටයුත්ත සඳහා ම පමණක් යොදා ගන්නා බව ද එහි දැක්වේ.

    එම නිසා චන්දිම වීරක්කොඩි මහතා නිසි කරුණු අධ්‍යයනයකින් තොරව මෙලෙස වැරදිසහගත තොරතුරු ඉදිරිපත් කිරීම ඉතා කණගාටුදායක බව ජනාධිපති කාර්යාලය පෙන්වා දෙයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යුරෝපයට අනතුරු ඇඟවීමක්

    0

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේවන විට යුරෝපා කලාපය තුල කොරෝනා ආසාදිතයින්ගේ වර්ධනය සම්බන්ධයෙන් අනතුර අඟවමින් තත්ත්වය නොවෙනස්ව පැවතියහොත් එළැඹෙන වසරේ මුල් කාර්තුව වන විට මරණ ලක්ෂ පහක් පමණ අපෙක්ෂා කළ හැකි බවද සඳහන් කරයි.

    පවතින තත්ත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කළාපයේ අධ්‍යක්ෂක වෛද්‍ය හෑන්ස් ක්ලූ බීබීසී පුවත් සේවයට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් මේ බව පවසා තිබේ.

    ඒ අනුව ආසාදිතියන්ගේ සංඛ්‍යාවත් මරණ අවම කිරීමටත් වහාම පියවර ගතයුතු බවත් ඒ සඳහා මුඛ ආවරණ පැළදීම ඇතුලු මූලික සෞඛ්‍ය මර්ගෝපදේශ අනුගමනය කළයුතු බවටද වෛද්‍යවරයා පෙන්වා දී ඇත.

    මේවන විටත් යුරෝපා කළාපයට බලපෑ ඇති ශීත කාලගුණ තත්ත්වයත් වේගයෙන් ව්‍යාපත් වන ඩෙල්ටා ප්‍රභේදයත් ආසාදිතයින්ගේ සහ මරණ වල වර්ධනයට හේතුවී ඇති බවද ඔහු පවසා තිබේ.

    “නැවතවරක් යුරෝපා කළාපයේ මරණ වලට මූලික හේතුව බවට කොරෝනා වෛරසය පත්ව තිබෙනවා. අපි දැනටමත් මෙම තත්ත්වය පාලනය කිරීමට කළයුත්තේ මොනවාද කියලා දැණුම්වත්.” යනුවෙන්ද සඳහන් කර ඇත.

    මේවන විට යුරෝපය පුරා යලිත් සංචරණ සීමා පැනවීමේ හැකියාවක් පවතින අතර ඔසටි්‍රයාව මේවන විටත් පූර්ණ සංචරණ සීමා පැණවීමක් සිදුකර ඇති අතර චෙක් රාජ්‍ය සහ ස්ලොවැකියාව මේවන විට එන්නත් කරණයට ලක්නොවූවන්ට සංචරණ සීමා පනවා ඇත.

    එමෙන්ම ජර්මනියද මේවන විට එරට තුල ආසාදිතයින්ගේ සීඝ්‍ර වර්ධනයක් වර්තා වීම හේතුවෙන් සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් අවාදානය යොමුකර ඇති අතර එන්නත් ලබාගත් තැනැන්තන්ට පමණක් පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට අවසර දීම සම්බන්ධයෙන් එරට පර්ලිමේන්තුවෙන් මේවන විටත් අනුමැතිය හිමිව තිබේ.

    පළාත් පාලන අය-වැය ඡන්දෙදි එජනිස මන්ත්‍රීන්ට ස්වාධීන තීරණයකට ඉඩ

    0

    පළාත් පාලන ආයතනවල අයවැය ජන්ද විමසන අවස්ථාවන්වදී ස්වාධීන තීරණයක් ගැනීමට තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සම්පූර්ණ නිදහස තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා Newswave.LK වෙත පැවසීය.

    ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමට හෝ ඔවුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමක් නොකරන බවද ඔහු සඳහන් කළේය.

    අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    පළාත් පාලන ආයතනවල ජන්දය විමසන අවස්ථාවන්වලදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන්නේ නැහැ.

    තමන් නියෝජනය කරන ප්‍රාදේශීය සභාවෙන් තමන්ට සහයෝගයක් නැත්නම් තමන්ට ස්වාධීන තීරණයක් ගන්න පුළුවන්. අපි බලපෑම් කරන්නේ නැහැ.

    අපේ කරමතින් බලය අරගෙන ඒ අයට බඩපිනුම් ගහන්න දෙන්න බැහැ. තමන්ට කැමති තින්දුවක් ගන්න පුළුවන්. ඒ අයිතියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාධා කරන්නේ නැතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

    පහළ කඩුගන්නාව ආශ්‍රිත මාර්ගය සහ දුම්රිය මාර්ගයේ ගැටලුවක් නොමැති බව තහවුරු වෙයි

    0

    නායයෑමේ අවදානමට ලක්ව ඇති පහළ කඩුගන්නාව ප්‍රදේශය ආශ්‍රිත මාර්ගය සහ දුම්රිය මාර්ගයේ ද කිසිදු අස්ථායිතාවක් නොමැති බව තහවුරු වූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්ෂණික අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා NewsWave.LK වෙත සඳහන් කළේය.

    එම ප්‍රදේශය ආශ්‍රිතව නායයෑමේ අනතුරු ඇගවීමේ සංඥා ස්ථාපිත කිරීමට තීරණය කළ බවද ඔහු පවසයි.

    එළවළු මිල අසාමාන්‍ය ලෙස ඉහළට

    0

    එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස මේ වන විට ඉහළ ගොස් තිබේ.

    පෑලියගොඩ මැනිං වෙළඳ පොළේ අද උදෑසන වන විට බොහෝ එළවළු කිලෝ එකක මිළ රුපියල් 300 ඉක්මවා ගොස් තිබුණි.

    කැරට් , ලීක්ස්, බෝංචි, තක්කාලි, ඇතුළු බොහො එළවළු කිලෝවක මිල රුපියල් 300 ඉක්මවා තිබුණු ඇතර මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 400 ඉක්මවා ගොස් තිබුණි.

    තොග මිල එසේ ඉහළ යන විට එළවළු සිල්ලර මිලද ඉහළ ගොස් ඇති අතර බොහෝ එළවළු ග්‍රෑම් 250 රුපියල් 80 න් ඉහළ අගයක් ගන්නා බව සිල්ලර වෙළද පොළ නිරීක්ෂණයේදී පෙනී යයි.

    මැනිං වෙළඳ පොලේ ප්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් සදහන් කරනු ලැබුවේ පවතින තත්ත්වය හමුවේ එළවළු මිල ඉදිරි දිනවලත් ඉහළ යනු ඇති බවය. පෙර නොවූ විරූ ලෙස එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවද ඔහු කීය. “මෙහෙම ගියොත් ජනතාවට දෙවියන්ගේම පිහිටයි“ යැයි ද ඔහු පැවසීය.

    ලබන සතියේ සිට අධිවේගයේ කුරුණෑගලටම යන්න පුළුවන්

    0
    Highway

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන 28 වැනි දා විවෘත කිරීමට සැලසුම් කෙරේ.

    මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස හුවමාරු මධ්‍යස්ථාන 5කින් සමන්විත ය.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අදියර 4ක් යටතේ සිදු කෙරෙන බව මහා මාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.

    අවසන් මොහොත තෙක් අත්නොහළ සහෝදරත්වය

    0

    දෙවන ලෝක සංග්‍රාම සමයේදී ජපාන දරුවකු චිකතකය ඉදිරියේ ජීවිතයට සමුදුන් සිය සොයුරා ආදාහනය කිරීමේ වාරය එනතුරු බලාසිටින අයුරු.

    මෙම ඡායාරූපය ගන්නා ලද ඡායාරූප ශිල්පියා සිය අත්දැකීම විස්තර කරමින් පවසා ඇත්තේ එම දරුවා සිය දෙතොල් තදින් සපාකමින් හැඩීම නතර කරගෙන සිටි බවත් තොල් තදින් සපා කෑම නිසාම මුඛයෙන් ලේ බිංදු ඉවතර පැමිණි බවත්ය.

    මෙම සිද්ධිය දුටු එහි සිටි ආරක්ෂකයකු” ඔබේ කරමත තබාගෙන සිටින සොයුරා මට දෙන්න” යනුවෙන් පවස ඇති අතර එහිදී දරුවා පවසා ඇත්තෙ ” එයා මට බර නෑ මේ මගේ සහෝදරයා”  යනුවෙනි.

    පසුව සිය වාරය පැමිණි පසු සොයුරාගේ සිරුර භාර දී නිර්භීතව පිටව ගොස් ඇති අතර අදටත් ජපානය ශක්තිය පෙන්නුම් කිරීමේ සංකේතයක් ලෙස භාවිතා කරයි.

    කොළඹ තුරඟතරඟ පිටියේ අවන්හලක පිපිරීමක් (📹📸)

    0

    කොළඹ 7, රීඩ් මාවතේ, තුරඟ තරඟ පිටිය ආසන්නයේ පිහිටි අවන්හලක අද උදෑසන පිපිරීමක් සිදුව තිබේ.

    එය ගෑස් කාන්දුවක් නිසා සිදුවූවක් බවට සැක කෙරේ.

    පිපිරීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැතැයි පොලීසිය කියයි.

    අද එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව මෙන්න..

    0

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන ගණනාවකදී ලබාදෙන බව රජය නිවේදනය කරයි.

    අද දිනයේ එන්නත් ලබාදෙන, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 20.11.2021

    අදාළ එන්නත් වර්ග, පාසල් දරුවන් එන්නත්කරණ මධ්‍යස්ථාන සහ සෙසු කොවිඩ් එන්නත් ඇතුළුව අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන පිළිබඳ සෞඛ්‍ය අමාතයාංශය විසින් නිකුත් කළ ලැයිස්තුව පහත දැක්වේ.

    Tentative vaccination schedule 20.11. 2021 - Sheet1-pages-deleted

    ඉරුවාරදයෙන් මිදීමට ආයුර්වේද පිළියම්

    0

    නිතර නිතර පීඩා දෙන තදබල හිසරදය දරා ගැනීමට අපහසුයි. ඒ වගේම තදබල හිසරදය ඇති වීම තුළ දෛනික ජිවිතය තුළ දී සිදු කරන කාර්යයන්ට පවා එය ප්‍රබල බාධාවක් වෙයි. කුමන හෝ වේදනා නාශක ඖෂධ ඇතුළත බාහිර භාවිත කළ ද ක්ෂණික සහනය ලැබූවත් මේ රෝගී තත්ත්වය නැවත මතුවෙයි.

    හිතටත් ගතටත් වද දෙන මේ ඉරුවාරදය රෝගයෙන් මිදෙන්නේ කෙසේද යන වග කතා කරන්න හිතුවා. ඒ සඳහා අප හා එක්වුණේ,
    ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීණී සෙව්වන්දි කොඩිතුවක්තු,
    නාගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය

    ආයුර්වේද විද්‍යාවට අනුව අර්ධාව වේදක හා සුර්්‍යාවර්ථ යන රෝග අවස්ථා දෙකට අභ්‍යන්තර ලක්ෂණ අතින් සමානත්වයක් පෙන්වයි. නමුත් හිසෙහි ඇතිවන දැරිය නොහැකි තද බල වේදනාව මූලික ලක්ෂණයයි. අර්ධාව වේද අවස්ථාව ද හිසෙහි එක් කොටසක ඇති වන වේදනාවක් ලෙස පෙන්වයි. රෝගය හටගැනීමට හේතු අවස්ථානූකූලව වෙනස් වේ.

    නමුත් සුර්්‍යාවර්ථය දී සිදුවන්නේ සුර්යයාගේ බලපෑමට අනුව හිසෙහි ඇතිවන වේදනාව වෙනස් වීමයි. උදාහරණයක් ලෙස සුර්යා නැඟී එන විට හිස වේදනාව ඇරඹෙන අතර දිවා කාලයේ දී ක්‍රමයෙන් හිස වේදනාව වර්ධනය වෙයි. සවස් වන විට ක්‍රමයෙන් හිස වේදනාව අඩු වී යයි. සුර්යයාගේ ප්‍රභාව අනුව වෙනස් වීම නිසා සිදුවන බැවින් සුර්යයා වර්ථ නම් වේ.

    නමුත් ඉරුවාරදය රෝග ලක්ෂණ ආයුර්වේදනූකූලව බොහෝ දුරට අර්ධාව වේදක තත්ත්වය වෙයි.

    මෙහි දී පොදු ලක්ෂණ ලෙස අධික හිසි කැක්කුම, වමනය, ඔක්කාරය, කරකැවිල්ල, ක්ලාන්තය පවා ඇති වීමට පුළුවනි. ඇස් නිලංකාර වීම වැනි ලක්ෂණ දැකිය හැකියි. ඉරුවාරදය රෝගය යම් රෝගයක ලක්ෂණයක් වීමට පුළුවනි. රෝගයට හේතු වූ ප්‍රධාන රෝග නිධානය අනුව ලක්ෂණ වෙනස් වේ. බොහෝ වේලාවට ඇස්වල පෙනීම වෙනස්කම් සමඟ ද මේ රෝගය සම්බන්ධ වීමට පුළුවනි.

    ඉරුවාරදය රෝගයට බලපාන හේතු ලෙස රෝගීයාට පවතින සෙම් ආශ්‍රීත රෝග ( කෝඨාරක ප්‍රදාහය ( Sinusitis) හෝමෝන පද්ධතියේ වෙනස්කම් ( අර්ථවාහරණය, ඔසප් චක්‍රය) මානසික ආතතිය ( නින්ද අඩුවීම, මානසික ගැටලු) හිසෙහි ඇති වන අර්බුද තත්ත්ව ඇතැම් ආහාර පාන වර්ග මේ රෝගය වැඩිවීමට හේතුවකි. ( රට කජු, චීස්, අධික තෙල් යෙදු ආහාර)

    ආහාර රටාව වගේම විහරණ රටාව මේ රෝගයෙන් සුවයට බොහෝ දුරට බලපායි. ඒ සඳහා රාත්‍රී ස්නානය වැළකීම, සුව නින්ද, පාද සුර්යාලෝකයට නිරාවරණය අවම කිරිම, වායු සමීකරණ, විදුලි පංකාව රැඳීම අවමය, පිරිසිදු වටපිටාව, ක්ෂණික සුවතිම, විෂ රසායනික යෙදු ආහාර භාවිතය අවම කිරීම ( සෝස්/ රට කජු / චීස් / කෝපි) මත් පැන් දුම්වැටි වලින් ඉවත්වීම. ඒ වගේම සැර සුවඳ බාහිර ආලේපන භාවිතය ද ඇතැම් අයට අසාත්මිකතා දක්වයි. ඒවායින් ඉවත්වීම.

    රෝගය සුවවීමට නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත් යොමු වී රෝගය මුලික අවදිය හා හේතුන් සොයා ප්‍රතිකාර ලබා ගැනීම තුළ හා නිසි ඖෂධ රටාව මගින් රෝගය සුව කර ගැනීමට හැකියාව තිබේ.

    • නිවසේ දී වේදු ඇල්ලීම ( වාෂ්ප ඇල්ලිම) ඒ සඳහා ආඩතෝඩා කොළ, නික කොළ, බෙලි කොළ යොදා ගත හැක.
    • හිසට බාහිර ආලේපය ( තෙල් අභ්‍යාංග) නිර්ගුණඩයාදි නිශාදි දිව්‍යංගනාදි තෙල් වර්ගයක් භාවිත කිරිමට පුළුවනි. (වෛද්‍ය උපදෙස් මත)
    • වියළි කහ කැබැල්ලක් පුළුස්සා නැගෙන දුම නාස් පුඩු තුළින් ආඝාණය කිරිම.
    • ඉඟුරු / කොත්තමල්ලි / වෙනිවැල්ගැට / ආඩතෝඩ දඩු ආදි පේයාව පානය
      නළල තැවිමට උඳු පියළිය, රතුළුණු, සියඹලා කොළ පොට්ටනියක් වණ්ඩුවේ තම්බා ගෙන සර්වවිෂාදි තෛලය නළල ගා ඖෂධිය පොට්ටනියෙන් තැවීම.

    මෙවැනි නිසි වෛද්‍ය ප්‍රතිකාර හා නිවැරදි ආහාර විහරණ රටාව මගින් රෝගය සුව කර ගැනීමට හැකි වේවී.

    අමෙරිකාවේ ජනපති බලතල කමලාට දීලා

    0
    Democratic presidential candidates former Vice President Joe Biden, left, and Sen. Kamala Harris, D-Calif. shake hands Thursday, Sept. 12, 2019, after a Democratic presidential primary debate hosted by ABC at Texas Southern University in Houston. (AP Photo/David J. Phillip)

    අමෙරිකාවේ උප ජනාධිපති කමලා හැරිස් ජනාධිපති බලතල ලැබූ පළමු කාන්තාව බවට අද පත් විය.

    ඒ ජනපති ජෝ බයිඩන් සිය සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් වීම සඳහා තාවකාලිකව සිය ජනපති බලතල උප ජනාධිපතිවරියට පැවරීම හේතුවෙනි.

    අද උදෑසන ජනාධිපතිවරයා වෛද්‍ය පරීක්ෂණයක් වෙනුවෙන් නිර්වින්දනය කෙරෙන බැවින් බයිඩෙන් ව්සින් එම විනාඩි 85 ක පමණ කාලය සඳහා හැරිස් වෙත බලය මාරු කළේය.

    වෛද්‍ය පරීක්ෂණය බිඩෙන් ජනාධිපති ලෙස පත් වූ පසුව සිදු කළ ප්‍රථම පරීක්ෂණය වූ අතර ඔහුගේ 79 වැනි උපන්දිනයට ආසන්න දිනක දී මෙය සිදුවිය.

    හැරිස් ඒ අනුව එක්සත් ජනපද හමුදාවේ සහ න්‍යෂ්ටික අවිවල පාලනය එම අවස්ථාවේදී තාවකාලිකව ලබා ගත්තාය.

    මුරුත්තෙට්ටුවේ හිමිගේ පත්වීමට කොළඹ සරසවියේ තවත් පීඨයකින් විරෝධයක්

    0

    කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් පත්කිරීම පිළිබඳ අප්‍රසාදය පළකරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    විශ්ව විද්‍යාලයක කුලපතිවරයා බහුවාර්ගික හා බහුආගමික සංකල්පයට ගරු කළයුතු අතර මුරුත්තෙට්ටුවේ නාහිමියන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

    කොළඹ විශ්ව විද්‍යාලය හෙද පීඨයකින්ද සමන්විත විශ්ව විද්‍යාලයක් වන අතර හෙද වෘත්තීය සමිතියක නායකයෙකු කුලපති ධූරයට පත් කිරීම ලබැඳියාවන් අතර ගැටුමක් හට ගැනීමක් වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    කොළඹ විශ්වවිද්‍යාලය ගෞරවනීය තත්ත්වයක් ලබා සිටින විශ්වවිද්‍යාලයක් හෙයින් ඊට පත්වන කුලපතිවරයා විශිෂ්ට ශාස්ත්‍රීය හා සමාජයීය වැදගත්කමකින් යුතු පුද්ගලයකු විය යුතු වීම සම්මතය වන නමුත් මුරුත්තෙට්ටුවේ නාහිමියන් පත්කිරීමෙන් එම සම්මතය අභියෝගයට ලක් කර ඇතැයි එම පීඨය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    ඉන්දීය ගොවීන්ට දණ ගැසූ මෝදි

    0

    ඉන්දීය ගෝවීන්ගේ සටන් හමුවේ පරාජය භාර ගනිමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ආණ්ඩුව විසින් කෘෂි කර්ම ක්ෂේත්‍රය හදුන්වා දුන් නීති ඉවත් කරගැනීමට අද පෙරවරුවේ තීරණය කර ඇත.

    සිය තීරණ සම්බන්ධයෙන් අග්‍රාමත්‍ය මෝදි අද පෙරවරුවේ ජනතාවට දැණුම් දුන් අතර ඒත් සමඟ ඉන්දියාව පුරා සිටින ගෝවීන් ප්‍රීති ඝෝෂා නංනවමින් සිය ජය සමරා ඇති අතර බොහෝදෙනෙකු වීදි පුරා ගිනි කෙළි දල්විමින් රස කැවිලි පවා අනුභව කර ඇති බවට වාර්තාවේ.

    ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්දීය රජය විසින් ගෝවීන්ට සිය නිෂ්පාදන පාලන මිලට ඉහළ මිලකට සෘජුව අලෙවි කිරීමට අවස්ථාව ලබාදෙමින් නීති තුනක් සම්මකර කරගනු ලැබීය.

    එමගින් ගොවීන් සිය නිෂ්පාදන සඳහා වැඩි මිලක් ලබැ ගැනීමට අවස්ථාව හිමි වන බවට රජය පැවසුවද එමගින් පුද්ගලික අංශයට කෘෂි කර්මාන්තයට ඇතුලු වීමට අවස්ථාව හිමිවෙන බවට ගොවීහූ චෝදනා කළහ.

    ඒ අනුව ගොවීහූ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ සිට නව දිල්ලි නුවරට ආසන්යේ රැදී සිටිමින් සිය විරෝධතා දැක්වූ අතර ජනවාදී 26 පැවති ජනරජ දිනයේ පැවති විරෝධතා දරුණු අතට හැරිණි.

    කෙසේ වෙතත් සිය තීරණ වෙනස් කළ මෝදී ජනතාව අමතමින් පවසා ඇත්තේ සිය රජය යහපත් චේතනාවෙන් ගෙන එන ලද නීති ගොවී සහෝදරයින් හට අවබෝධ කරදීමට නොහැකි වූ බැවින් එම නීති හකුලා ගන්නා බවයි.

    බන්ධනාගාර රැඳවූවන් වීඩියෝ තාක්ෂණයෙන් බලන්න ඥාතීන්ට අවස්ථාව

    0

    බන්ධනාගාරගතව සිටින රැඳවියන් බැලීම සඳහා ඥාතීන්ට ඊ-විසිට් නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ ඥාතීන්ට ඔවුන්ගේ නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ බන්ධනාගාරයේ සිටින තම ඥාතියා සමග සාකච්ඡා කිරීමටත් ඔවුන්ගේ සුවදුක් විමසීමටත් මෙමගින් අවස්ථාව සැලසෙන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.

    බන්ධනාගාර නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ බන්ධනාගාර රැඳවියන්ට තම ඥාතීන් සමග තම පවුලේ ඥාතීන් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ මසකට වරක් සම්බන්ධ වීමේ අවස්ථාව සලසන බව ද බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.

    කොවිඩ් වසංගතය හේතුවෙන් රැඳවියන් බැලීම මේ වන විට සම්පූර්ණයෙන්ම නතර කර තිබෙන හෙයින් රැඳවියන්ගේ මානසික සුවය හා ඔවුන්ගේ ඥාතීනගේ හිත සුව පිණිස නව වැඩසටහන හඳුන්වා දුන් බවද එය මේ වන විට සියලුම බන්ධනාගාරවල සාර්ථකව සිදුකරන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.

    ඒ විසින් ක්‍රමය යටතේ දිනකට රැඳවියන් 400 දෙනකුට පමණ සිය ඥාතීන් සමග සම්බන්ධතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට අවස්ථාව සැලසෙන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.

    කොවිඩ් නිසා අක්ෂි රෝග ඉහළ ගිහින්

    0

    කොවිඩ් වසංගතය හේතුවෙන් අක්ෂි රෝගී තත්ත්වයන් ඉහළ ගොස් ඇතැයි ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා පැවසීය .

    කොවිඩ් වසංගතය හේතුවෙන් දියවැඩියා රෝගීන්ට නියමිත පරිදි සායනවලට සහභාගි වීමට නොහැකි වීමත් දියවැඩියා ඖෂධ ලබා ගැනීමට නොහැකිවීමත් නිසා ඔවුන්ගේ අක්ෂි රෝග තත්ත්වයන් ඉහළ ගොස් ඇති බවට වාර්තා වන බව වෛද්‍ය අලහප්පෙරුම මහතා පැවසීය.

    දියවැඩියාව අක්ෂි රෝග වලට ප්‍රබල ලෙසම බලපාන හෙයින් දියවැඩියා රෝගීන් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව වෛද්‍යවරයා පැවසීය.

    කොළඹ ජාතික අක්ෂි රෝහලේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුකරන අතර දිනපතා පෙරවරු 8 සිට පස්වරු 8 දක්වා බාහිර ප්‍රතිකාර ඒකකද දිනපතා පස්වරු 4 දක්වා සායනද පැවැත්වෙන බැවින් අක්ෂි රෝගීන්ට එහි පැමිණ ප්‍රතිකාර ලබාගත හැකි බව ද රෝහල් අධ්‍යක්ෂවරයා කීය.

    මීට අමතරව දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල්වල අක්ෂි සායන හා අක්ෂි ප්‍රතිකාර ඒකක පැවැත්වෙන අතර ඒවායින්ද රෝගීන්ට ප්‍රතිකාර ලබාගත හැකි බව රෝහල් අධ්‍යක්ෂවරයා කීය.

    සිරිල් ගාමිණි පියතුමාට සහරාන් කලින්ම දීපු උත්තර (වීඩියෝ සහිතයි)

    0

    දේශපාලනය ගැන විවිධ මත තිබීම සාධාරණය. ඊට එරෙහි වීමට හෝ හෙළා දැකීමට හැකිය. ඉන් වඩා වැදගත්වෙන්නේ මතවාදී අරගලවල නිරතවී වඩා හොඳ දේ ස්මතු කිරීමය.

    එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය මීට හාත්පස වෙනස්ය. ජාතික ආරක්ෂාව වුවද දේශපාලන පොර පිටියේ දෙපසට ඇදෙයි. රටක ජීවත්වන සියලුම ජනතාවට ජාතික ආරක්ෂාව වැදගත් බව ඔවුහු අමතක කරති.

    දැන් දැන් දේශපාලන වේදිකාවේ මෙන්ම උතුම් ආගමික නායකයන්ගේ මුවින් ද පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් ගැන කතා මැවෙයි. ඒ බොහෝ කතා මුලින් පවතින ආණ්ඩුව මුරුංගා අත්තේ තැබූවේය. ඒ තමන්ගේ ජනතාව ලෙස වර්ග කළ එක් පිරිසක් සැනසීම උදෙසාය. එය ඇතැම්විට රටක දේශපාලනයට සුදුසු වුවද ජාතික ආරක්ෂාව වැනි ජනතාවගේ ආරක්ෂක වැට කඩොලු විනාශ කර දමන පිළිවෙතකි.

    2019 වසරේ දී අප්‍රේල් 21 දින පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයත් එහි පසු විපරම් පරීක්ෂණත් පඹ ගාලක පැටලෙන්නේ කාගේ උවමනාවට දැයි ඔබටම පැහැදිලි වනු ඇත. එය ඔබ විසින් සූක්ෂමව සොයා බැලිය යුතුය.

    පවතින පරීක්ෂණවලට වැඩි වටිනාකමක් දිය යුතුව තිබිය දී ප්‍රහාරයෙන් බින්දුවට වැටුණු ජාතික ආරක්ෂාව නැවත බින්දුවට හෙළීමට සමහරු දත නියවති.

    ඊට ආසන්නම හේතුව ලෙස සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රකාශය සඳහන් කළ හැකිය. එය එතැනින් ඇරඹුණක් නොවුනද දැන් එම වැරදි ප්‍රකාශනවල කූට ප්‍රාප්තිය පැමිණ තිබේ.

    රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේශ් සලේ පොලිසියට පැමිණල්ලක් ඉදිරිපත් කොට ඒ ගැන රටේ අවධානයට යොමු නොකරන්න. තව තවත් හිතට එන හිතලු රැසක් රට හමුවේ ජනගතවීම දිනෙන් දින ඉහළ යාමට ඉඩ තිබිණි. ඒ නිසා රටක ජාතික ආරක්ෂාවේ වගකීම ඉටු කරන ගමන් වැරදි ප්‍රකාශ ජනගතවීම වැළැක්වීම ගැන සුරේශ් සලේට ජාතියේ ප්‍රණාමය පුද කළ යුතුය.

    සුරේශ් සලේ ගෙන් බුද්ධ් අංශයෙන් අල්ලා මේ බලවේග හැරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දේශපාලන පහර ගසන්නටය. සලේ ලවා පාස්කු ප්‍රහාරය සිදුකොට බලයට පැමිණියා වැනි අදහසක් බිම් තලයට ගැනීමටය. බළලා කල් තබා මල්ලෙන් එළියට පැමිණි නිසා ජනතාවට දැන් මේ බේගල් තේරුම් ගැනීමට කාලයක් ඇත.

    එසේ වුවද ගෝඨාභය කරේ තියාගෙන දේශප්‍රේමය පෙන්නු බොහෝ දේශපාලඥයන්ට දැන් මේ ප්‍රකාශ වගේ වගක් නැත. ඔවුන් දැන් තමන්ගේ කාර්යය ඉටු කරගත් පසු ගිලෙන නැවෙන් පනින්නට බලා සිටින මීයන් මෙනි.

    එසේ වුවද බුද්ධි අංශ අනුග්‍රහය ලබා පාස්කු ප්‍රහාරය එල්ල කළ බවටත් එය ජනාධිපති ගෝඨාභයගේ පිට පැටලීමටත් විරුද්ධ බලවේග නොගන්නා උත්සාහයක් නැති තරම්ය. ජාත්‍යන්තර කුමන්ත්‍රණ යන්න යහපාලනය විසින් විහිළුවක් කළ ද මේ රට හමුවේ පවතින සැබෑ කුමන්ත්‍රණ එමගින් යට යන්නේ නැත.

    පාස්කු ප්‍රහාරයෙන් බලය ගිලිහී යෑම තහවුරු වූ නිසා, වැටුණු ළිඳෙන්ම ගොඩ එන්නට විරුද්ධ පක්ෂය මාන බැලීම, පොදු යහපත නොව තම යහපත මූලික කරගත් වෑයමකි.

    එසේ වුවද දේශපාලනයේ දී අඩුපාඩු ජාතික ආරක්ෂාවේ දී සිදුවිය නොහැකිය. හේමසිරි ප්‍රනාන්දු වැනි ආරක්ෂක ලේකම්වරයකු අපි එච්චර ඒ ගැන ගණන් ගත්තෙ නෑ කියන තැනට මේ රටේ ජාතික ආරක්ෂාව වැටී තිබුණ බව අමතක නොකළ යුතුය.

    දේශපාලව මුදුනේ තබා ගැනීම නිසා රටක් හමුවේ ජාතික ආරක්ෂාව පමණක් නොව ජාතික වැඩපිළිවෙලක් ද නැත. එසේ වැඩපිළිවෙලක් තිබුණේ නම් එදා යහපාලන ආණ්ඩුව ද කළ යුතුව තිබුණේ තිබු තනතුරු ද ඉවත් කරමින් සුරේශ් සලේ ලා රටින් පිටමං කිරීම නොව ඔවුන්ගේ සේවය රට වෙනුවෙන් ලබා ගැනීමය.

    ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දිය නොහැකි බව ඇත්තය. දැන්වත් ඒ නුවණ භාවිතා කරන්නට විරුද්ධ පක්ෂය අසමත් වී සිටියි. ඊට හේතුව ඔවුන් සෑම විටම ජාතික ආරක්ෂාව තහවුරු කරන රණවිරුවා ඉලක්ක කිරීමයි.

    හරින් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරයේ වරද වර්තමාන ආණ්ඩුව පිට පැටවෙන ආකාරයට අදහස් ඉදිරිපත් කරන්නේ ජනතාව තුළ සැකය වර්ධනය කිරීමේ දේශපාලන අදහසක් විධියටය. ඔවුන් දේශපාලනය කරයි. ඔවුන් ආණ්ඩුවට විරුද්ධවීම ද අරුමයක් නොවේ. ඔවුන් පෙන්වූ තැනින් කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු තුමා මෙන්ම සිරිල් ගාමිණී පියතුමා මේ ගැටලුව වැරදි තැනින් අල්ලා ගත්හ.

    මෙහි දී පාස්කු ප්‍රහාරය කළ ත්‍රස්තයන්ට හා මෙහෙය වූ පිරිසට දඬුවම් දීම සියලු දෙනා පිළිගන්නා කරුණකි. එය නෛතික ක්‍රියාවලියක් ඔස්සේ සිදුවෙමින් තිබෙනුයේ යහපාලන ආණ්ඩු සමයේ සිටය. එසේ වුවද වර්තමාන ආණ්ඩුව ද මෙම පරීක්ෂණ ඉටු කිරීම මගහැර ඇතැයි වාර්තා නොවේ.

    මෙසේ තිබිය දී මේ ආණ්ඩුව ගැන විශ්වාසය තබන බව කලින් පැවසූ ආගමික නායකයන් තමන්ගෙ වැඩේ ඉටු නොවන තැන ජනතාවගෙන් මෙන්ම ආගමික ලබ්දිකයන්ගේ විවේචනවලින් වැළකීමට දල්වන්නේ ආත්මාර්තකාමීත්වයකි.

    කතෝලික ජනතාව මේ තත්ත්වය තේරුම් නොගතහොත් මෙසේ ඔවුන් වැළඳ ගනිමින් සිටින්නේ ඇතැම්විට ඔවුන්ට එදා හතුරු වූ සතුරාම නොවේ දැයි කිව හැක්කේ කාට ද? පාස්කු ප්‍රහාරයට බුද්ධි අංශ අනුග්‍රහයක් ලැබුනේ ද ? ඒ කාගෙන් ද ? යන්න පැහැදිලි ව ප්‍රකාශ කළ හැකි නම් මෙතරම් කල් එය හෙළි නොකිරීමෙන් සිරිල් පියතුමා මෙන්ම විරුද්ධ පක්ෂ දේශපාලඥයෝ රට හමුවේ සිදු කරමින් සිටිනුයේ පිරිමැසිය නොහැකි වරදකි.

    දේශපාලනිකව හෝ ආගමික වශයෙන් දෙපැත්තට දෝලනය වන ප්‍රකාශ නිකුත් කිරීමෙන් සිදුවන්නේ මහජනතාව තුළ සැකය වර්ධනය කිරීමය. සහරාන් සිය ප්‍රහාරයට පෙර කළ ප්‍රකාශවල සම්පූර්ණ වීඩියෝ පට විධිමත් පරිවර්තන සමඟ ජනතාවට මුදා හැර තිබුණේ නම් මේ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු කලින්ම විසඳාගත හැකිව තිබිණි. නමුත් කාගේ හෝ උවමනාවකට සහරාන්ගේ ප්‍රකාශය ඇතුළත් සම්පූර්ණ වීඩියෝව එලෙස ක්‍රමවත්ව මුදා හැරීමට යහපාලන ආණ්ඩුව ක්‍රියා නොකළේය. ඉන් සිදුවූයේ සැකය වර්ධනය කරමින් පාස්කු ප්‍රහාරයේ වගකීම කණපිටගහන කණපිටකාරයන්ට වේදිකාවක් වීමය.

    මේ සම්බන්ධයෙන් යුද විශ්ලේෂකයකුවන මහාචාර්ය රොහාන් ගුණරත්න පසුගියදා ස්වර්ණවාහිනී නාලිකාවේ රතුඉර වැඩසටහනේ දී අදහස් දැක්වූයේය. පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර සහරාන් පවත්වන්නට යෙදුණ දේශනයත්, ප්‍රහාරයේ අරමුණ ඇතුළු බොහෝ තතු එම වැඩසටහනේ දී එළිදැක්විණි. ඊට සත්‍ය වීඩියෝ පටය ද ඇමුණා තිබිණි.

    මෙහි එන ප්‍රහාරයට පෙර සහරාන් කළ කතාවට සවන් දෙනවිට පෙනී යන්නේ සිරිල් ගාමිණි පියතුමාගේ ප්‍රශ්න බොහොමයකට සහරාන් කලින්ම උත්තර දී තිබුණා වැනි අදහසකි.

    ගන්දර සමන් අවි සමඟ කොටුවේ

    0

    සංවිධානාත්මක අපරාධකරුවකු වන ගන්දර සමන් නැමැත්තා ටි 56 වර්ගයේ ගිනිඅවිවලට යොදන පතොරම් යෙදිය හැකි ගිනි අවියක් පතොරම් කිහිපයක් සහ කඩුවක් සමඟ විශේෂ කාර්ය බලකාය අද අත්අඩංගුවට ගෙන තිබේ.

    තංගල්ල කදවුරේ නිලධාරීන් විසින් ගන්දර තලල්ලේ කළ වැටලීසකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත.

    විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.සි.කේ. මාරපන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම කර ඇති අතර සැකකරු සහ සොයාගත් ආයුධ වැඩිදුර විමර්ශන සදහා ගන්දර පොලිස් ස්ථානයට භාරදී තිබේ.

    මෙරටින් තවත් ඩෙල්ටා උප ප්‍රභේදයක්

    0

    ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා උප පෙළපතක් හඳුනාගෙන තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්න් ශ්‍රී ලංකාවේ තවත් උප පෙළපතක් ලෙස B.1.617.2.104 ලෙස හඳුනාගෙන ඇති බවයි.

    ඒ මීට පෙර ශ්‍රී ලංකාවේන් හඳුනාගැනුණු ඩෙල්ටා උප පෙළපතක් වූ B.1.617.2.28 උප පෙළපතට අමතරව ය.

    දෙමටගොඩ රුවන්ගේ මුදල් හා රන්භාණ්ඩ බැංකුවලින් මතුවෙයි

    0

    දෙමටගොඩ රුවන්ට අයත් රුපියල් කෝටි 05 ක මුදලක් දෙමටගොඩ පිහිටි පෞද්ගලික බැංකුවකින් සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන ඒකකය සමත්ව ඇත.

    දෙමට‌ගොඩ රුවන්ගේ බිරිඳගේ සහ පුතාගේ නමින් ඇති ස්ථාවර තැන්පතු වල ඒම මුදල් තැන්පත්කර තිබුණු බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. එම ගිණුමේ මුදල් සංසරණය තාවකාලිකව තහනම් කළ බවද ඒම නිලදාරියා කීය.

    එමෙන්ම ඔවුන්ට අයත් කෝටි එකහමාරක් වටිනා රත්‍රං සහිත සේප්පුවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.

    දෙමටගොඩ රුවන්ගේ බිරිඳගේ නමින් ඇති බැංකු ගිණුම් 03 ක ඇති රුපියල් කෝටි දෙකකට අධික මුදලක් සම්බන්දයෙන්ද චමින්දට අයත් බව කියන බැංකු සේප්පු දෙකක් සම්බන්ධයෙන්ද, රුවන්ලාට අයත් රුපියල් කෝටි එකහාමාරක් පමණ වටිනා රන් භාණ්ඩ මෑතකදී ඔහුගේ ඥාතියෙක් විසින් උකස් කිරීම සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වෙන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    රුවන්ට අයත් මුදල් හෝ දේපොළ තිබේදැයි සොයා බැංකු සහ මූල්‍ය සමාගම් 53ක ගිණුම් පරීක්ෂාවක්ද ඉදිරියේදී සිදුකරන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.