fbpx
තවත්
    මුල් පිටුවspecialසිරිල් ගාමිණි පියතුමාට සහරාන් කලින්ම දීපු උත්තර (වීඩියෝ සහිතයි)

    සිරිල් ගාමිණි පියතුමාට සහරාන් කලින්ම දීපු උත්තර (වීඩියෝ සහිතයි)

    දේශපාලනය ගැන විවිධ මත තිබීම සාධාරණය. ඊට එරෙහි වීමට හෝ හෙළා දැකීමට හැකිය. ඉන් වඩා වැදගත්වෙන්නේ මතවාදී අරගලවල නිරතවී වඩා හොඳ දේ ස්මතු කිරීමය.

    එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය මීට හාත්පස වෙනස්ය. ජාතික ආරක්ෂාව වුවද දේශපාලන පොර පිටියේ දෙපසට ඇදෙයි. රටක ජීවත්වන සියලුම ජනතාවට ජාතික ආරක්ෂාව වැදගත් බව ඔවුහු අමතක කරති.

    දැන් දැන් දේශපාලන වේදිකාවේ මෙන්ම උතුම් ආගමික නායකයන්ගේ මුවින් ද පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් ගැන කතා මැවෙයි. ඒ බොහෝ කතා මුලින් පවතින ආණ්ඩුව මුරුංගා අත්තේ තැබූවේය. ඒ තමන්ගේ ජනතාව ලෙස වර්ග කළ එක් පිරිසක් සැනසීම උදෙසාය. එය ඇතැම්විට රටක දේශපාලනයට සුදුසු වුවද ජාතික ආරක්ෂාව වැනි ජනතාවගේ ආරක්ෂක වැට කඩොලු විනාශ කර දමන පිළිවෙතකි.

    2019 වසරේ දී අප්‍රේල් 21 දින පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයත් එහි පසු විපරම් පරීක්ෂණත් පඹ ගාලක පැටලෙන්නේ කාගේ උවමනාවට දැයි ඔබටම පැහැදිලි වනු ඇත. එය ඔබ විසින් සූක්ෂමව සොයා බැලිය යුතුය.

    පවතින පරීක්ෂණවලට වැඩි වටිනාකමක් දිය යුතුව තිබිය දී ප්‍රහාරයෙන් බින්දුවට වැටුණු ජාතික ආරක්ෂාව නැවත බින්දුවට හෙළීමට සමහරු දත නියවති.

    ඊට ආසන්නම හේතුව ලෙස සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රකාශය සඳහන් කළ හැකිය. එය එතැනින් ඇරඹුණක් නොවුනද දැන් එම වැරදි ප්‍රකාශනවල කූට ප්‍රාප්තිය පැමිණ තිබේ.

    රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේශ් සලේ පොලිසියට පැමිණල්ලක් ඉදිරිපත් කොට ඒ ගැන රටේ අවධානයට යොමු නොකරන්න. තව තවත් හිතට එන හිතලු රැසක් රට හමුවේ ජනගතවීම දිනෙන් දින ඉහළ යාමට ඉඩ තිබිණි. ඒ නිසා රටක ජාතික ආරක්ෂාවේ වගකීම ඉටු කරන ගමන් වැරදි ප්‍රකාශ ජනගතවීම වැළැක්වීම ගැන සුරේශ් සලේට ජාතියේ ප්‍රණාමය පුද කළ යුතුය.

    සුරේශ් සලේ ගෙන් බුද්ධ් අංශයෙන් අල්ලා මේ බලවේග හැරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දේශපාලන පහර ගසන්නටය. සලේ ලවා පාස්කු ප්‍රහාරය සිදුකොට බලයට පැමිණියා වැනි අදහසක් බිම් තලයට ගැනීමටය. බළලා කල් තබා මල්ලෙන් එළියට පැමිණි නිසා ජනතාවට දැන් මේ බේගල් තේරුම් ගැනීමට කාලයක් ඇත.

    එසේ වුවද ගෝඨාභය කරේ තියාගෙන දේශප්‍රේමය පෙන්නු බොහෝ දේශපාලඥයන්ට දැන් මේ ප්‍රකාශ වගේ වගක් නැත. ඔවුන් දැන් තමන්ගේ කාර්යය ඉටු කරගත් පසු ගිලෙන නැවෙන් පනින්නට බලා සිටින මීයන් මෙනි.

    එසේ වුවද බුද්ධි අංශ අනුග්‍රහය ලබා පාස්කු ප්‍රහාරය එල්ල කළ බවටත් එය ජනාධිපති ගෝඨාභයගේ පිට පැටලීමටත් විරුද්ධ බලවේග නොගන්නා උත්සාහයක් නැති තරම්ය. ජාත්‍යන්තර කුමන්ත්‍රණ යන්න යහපාලනය විසින් විහිළුවක් කළ ද මේ රට හමුවේ පවතින සැබෑ කුමන්ත්‍රණ එමගින් යට යන්නේ නැත.

    පාස්කු ප්‍රහාරයෙන් බලය ගිලිහී යෑම තහවුරු වූ නිසා, වැටුණු ළිඳෙන්ම ගොඩ එන්නට විරුද්ධ පක්ෂය මාන බැලීම, පොදු යහපත නොව තම යහපත මූලික කරගත් වෑයමකි.

    එසේ වුවද දේශපාලනයේ දී අඩුපාඩු ජාතික ආරක්ෂාවේ දී සිදුවිය නොහැකිය. හේමසිරි ප්‍රනාන්දු වැනි ආරක්ෂක ලේකම්වරයකු අපි එච්චර ඒ ගැන ගණන් ගත්තෙ නෑ කියන තැනට මේ රටේ ජාතික ආරක්ෂාව වැටී තිබුණ බව අමතක නොකළ යුතුය.

    දේශපාලව මුදුනේ තබා ගැනීම නිසා රටක් හමුවේ ජාතික ආරක්ෂාව පමණක් නොව ජාතික වැඩපිළිවෙලක් ද නැත. එසේ වැඩපිළිවෙලක් තිබුණේ නම් එදා යහපාලන ආණ්ඩුව ද කළ යුතුව තිබුණේ තිබු තනතුරු ද ඉවත් කරමින් සුරේශ් සලේ ලා රටින් පිටමං කිරීම නොව ඔවුන්ගේ සේවය රට වෙනුවෙන් ලබා ගැනීමය.

    ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දිය නොහැකි බව ඇත්තය. දැන්වත් ඒ නුවණ භාවිතා කරන්නට විරුද්ධ පක්ෂය අසමත් වී සිටියි. ඊට හේතුව ඔවුන් සෑම විටම ජාතික ආරක්ෂාව තහවුරු කරන රණවිරුවා ඉලක්ක කිරීමයි.

    හරින් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරයේ වරද වර්තමාන ආණ්ඩුව පිට පැටවෙන ආකාරයට අදහස් ඉදිරිපත් කරන්නේ ජනතාව තුළ සැකය වර්ධනය කිරීමේ දේශපාලන අදහසක් විධියටය. ඔවුන් දේශපාලනය කරයි. ඔවුන් ආණ්ඩුවට විරුද්ධවීම ද අරුමයක් නොවේ. ඔවුන් පෙන්වූ තැනින් කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු තුමා මෙන්ම සිරිල් ගාමිණී පියතුමා මේ ගැටලුව වැරදි තැනින් අල්ලා ගත්හ.

    මෙහි දී පාස්කු ප්‍රහාරය කළ ත්‍රස්තයන්ට හා මෙහෙය වූ පිරිසට දඬුවම් දීම සියලු දෙනා පිළිගන්නා කරුණකි. එය නෛතික ක්‍රියාවලියක් ඔස්සේ සිදුවෙමින් තිබෙනුයේ යහපාලන ආණ්ඩු සමයේ සිටය. එසේ වුවද වර්තමාන ආණ්ඩුව ද මෙම පරීක්ෂණ ඉටු කිරීම මගහැර ඇතැයි වාර්තා නොවේ.

    මෙසේ තිබිය දී මේ ආණ්ඩුව ගැන විශ්වාසය තබන බව කලින් පැවසූ ආගමික නායකයන් තමන්ගෙ වැඩේ ඉටු නොවන තැන ජනතාවගෙන් මෙන්ම ආගමික ලබ්දිකයන්ගේ විවේචනවලින් වැළකීමට දල්වන්නේ ආත්මාර්තකාමීත්වයකි.

    කතෝලික ජනතාව මේ තත්ත්වය තේරුම් නොගතහොත් මෙසේ ඔවුන් වැළඳ ගනිමින් සිටින්නේ ඇතැම්විට ඔවුන්ට එදා හතුරු වූ සතුරාම නොවේ දැයි කිව හැක්කේ කාට ද? පාස්කු ප්‍රහාරයට බුද්ධි අංශ අනුග්‍රහයක් ලැබුනේ ද ? ඒ කාගෙන් ද ? යන්න පැහැදිලි ව ප්‍රකාශ කළ හැකි නම් මෙතරම් කල් එය හෙළි නොකිරීමෙන් සිරිල් පියතුමා මෙන්ම විරුද්ධ පක්ෂ දේශපාලඥයෝ රට හමුවේ සිදු කරමින් සිටිනුයේ පිරිමැසිය නොහැකි වරදකි.

    දේශපාලනිකව හෝ ආගමික වශයෙන් දෙපැත්තට දෝලනය වන ප්‍රකාශ නිකුත් කිරීමෙන් සිදුවන්නේ මහජනතාව තුළ සැකය වර්ධනය කිරීමය. සහරාන් සිය ප්‍රහාරයට පෙර කළ ප්‍රකාශවල සම්පූර්ණ වීඩියෝ පට විධිමත් පරිවර්තන සමඟ ජනතාවට මුදා හැර තිබුණේ නම් මේ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු කලින්ම විසඳාගත හැකිව තිබිණි. නමුත් කාගේ හෝ උවමනාවකට සහරාන්ගේ ප්‍රකාශය ඇතුළත් සම්පූර්ණ වීඩියෝව එලෙස ක්‍රමවත්ව මුදා හැරීමට යහපාලන ආණ්ඩුව ක්‍රියා නොකළේය. ඉන් සිදුවූයේ සැකය වර්ධනය කරමින් පාස්කු ප්‍රහාරයේ වගකීම කණපිටගහන කණපිටකාරයන්ට වේදිකාවක් වීමය.

    මේ සම්බන්ධයෙන් යුද විශ්ලේෂකයකුවන මහාචාර්ය රොහාන් ගුණරත්න පසුගියදා ස්වර්ණවාහිනී නාලිකාවේ රතුඉර වැඩසටහනේ දී අදහස් දැක්වූයේය. පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර සහරාන් පවත්වන්නට යෙදුණ දේශනයත්, ප්‍රහාරයේ අරමුණ ඇතුළු බොහෝ තතු එම වැඩසටහනේ දී එළිදැක්විණි. ඊට සත්‍ය වීඩියෝ පටය ද ඇමුණා තිබිණි.

    මෙහි එන ප්‍රහාරයට පෙර සහරාන් කළ කතාවට සවන් දෙනවිට පෙනී යන්නේ සිරිල් ගාමිණි පියතුමාගේ ප්‍රශ්න බොහොමයකට සහරාන් කලින්ම උත්තර දී තිබුණා වැනි අදහසකි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.