fbpx
තවත්
    මුල් පිටුවජීවන රටාවධාවන පිටියේ නළ දත්කාරී - මේරියන් ජොන්ස්

    ධාවන පිටියේ නළ දත්කාරී – මේරියන් ජොන්ස්

    ලංකාවේ මළල ක්‍රීඩා ඉතිහාසය වර්ණවත් කරන එකම ඔලිම්පික් පදක්කම ගෙන එන්නී සුසන්තිකා ජයසිංහයි. ඒ 2000 වර්ෂයේ සිඩ්නි නුවර පැවති සමර් ඔලිම්පික් තරගාවලියේ කාන්තා මීටර් 200 තරග ඉසව්වෙන්. එම තරගයේ ඈ තෙවැනියා වෙද්දී ඉතා පහසුවෙන් මෙන් පළමු තැන දිනා ගන්නේ ඇමරිකාව නියෝජනය කළ මේරියන් ජොන්ස් නැත්නම් මේ ලිපියේ කතානායිකාවයි. නමුත් ඇගේ ඔලිම්පික් රන් පදක්කම පසු කාලයක අහිමි වන්නේ අපේ සුසන්තිකා ට රිදී පදක්කම හිමි කර දෙමින්.

    නීතිවිරෝධී ක්‍රීඩා උත්තේජක භාවිතාව නිසා එවක ක්‍රීඩා ලෝකය ට ඇය වැරදිකාරියක වුවත් ලොව පුරා ඇයට ආදරය කළ සුවහසක් ක්‍රීඩා ලෝලීන් ට ඇය වෙනුවෙන් වන ආදරය හැර දමන්න එය හේතුවක් වන්නේ නැහැ. ජවාධික ක්‍රීඩාශීලී සිරුරට වඩා මේරියන්ට ආභරණයක් වූ නළ දත් පෙන්වන ප්‍රසන්න සිනහව ක්‍රීඩා ලෝලීන්ට ඇයව කිසිදා අමතක නොවන්න එක හේතුවක්.

    බ්‍රසීලියානු සම්භවයක් සහිතව 1975 දී ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හි උපත ලබන මේරියන් ලොයිස් ජොන්සන් පවුලේ සම්බන්ධකම් මත වෘත්තීය ක්‍රීඩාව අරඹන්නට තීරණය කරන්නේ වයස 15 දී පමණයි. ඒ වෙද්දී ඇය ඇමරිකානු උසස් පාසල් අතරේ බාස්කට් බෝල් සහ මළල ක්‍රීඩා අංශ වල කැපී පෙනෙන තරුවක්. නෝර්ත් කැරොලිනා විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් පවා හිමි වන්නට පාසල් අවධියේ ඈ පළ කළ ක්‍රීඩා ප්‍රතිභාව හේතු වූ බව සදහන්.

    නමුත් ලෝකය ඇය හඳුනා ගන්නේ මළල ක්‍රීඩිකාවක ලෙසයි. ඇගේ ක්‍රීඩා දිවියේ කූටප්‍රාප්තිය ලෙස සැලකෙන 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ ඇය විසින් දිනා ගන්නා පදක්කම් ගණන 5ක්. මේ නිසාම මුළු උළෙලේ ම ඇය කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වන්නට වාසනාව ලබනවා. ඇගේ පුහුණුකරු වන්නේත් එවක ඇගේ සැමියා වන සී. ජේ. හන්ටර්. ඔහු විසින් මේරියන්ට තහනම් උත්තේජක එන්නත් කරන ලද බව පිළි ගැනීමෙන් පසු ඇය දිනූ පදක්කම් සියල්ල අහිමි වනවා පමණක් නොවෙයි විවාහ ජීවිතය ද දෙදරා යනවා. එම සිදුවීම් අළලා ඈ විසින් පසු කාලයේ “Marian Jones : Life in the fast lane” නම් ස්වයං චරිතාපදානයක් සම්පාදනය කරනවා. 2004 ඔලිම්පික් උළෙලේ දී ඈ අසාර්ථක වන්නේත් තවත් කම්පනයක හෙලමින්. 2007 දී සිඩ්නි ඔලිම්පික් උළෙලේ චෝදනා විභාගය අවසන් කර තීන්දුව ලැබෙන්නේ ඇය වැරදිකාරියක කරමිනුයි. ඒ වෙනුවෙන් ක්‍රීඩාවෙන් සමුගැනීමටත්, මාස හයක සිර දඩුවම් විදීමටත් ඇයට සිදු වෙනවා.

    2010 දී නැවතත් ඇය විසින් තම ජීවිතය අළලා “Right Track: From Olympic Downfall to Finding Forgiveness and the Strength to Overcome and Succeed” නමින් පළ කරනු ලබන්නේ ඔලිම්පික් පදක්කම අහිමි වීමෙන් පසු ඇගේ ජීවිතය යථා මාර්ගයට ගැනීමට ඈ දරණ උත්සාහය ගැනයි. 2010 වසරෙන් පසු මළල ක්‍රීඩාවට සමු දුන්නත් ඇය ක්‍රීඩාව අත නොහරින්නේ පාසැල් අවධියේ සිට දක්ෂතාව දැක්වූ බාස්කට් බෝල් වෙතට යළි යොමු වෙමින්. එම වර්ෂයේ ම ඇමරිකාවේ ජාතික කාන්තා බාස්කට් බෝල් සංගමය ට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වන්නේත් දෛවය නැවත ඇයට ක්‍රීඩා පිටිය හිමිකර දෙමින්.

    ජීවිතයේ හැල් හැප්පීම් බොහොමයකට බඳුන් වන මේරියන් 2007 වර්ෂයේ දී ම සිඩ්නි ඔලිම්පික් පදක්කම්ලාභියෙකු වන ඔබඩේල් තොම්ප්සන් හා විවාහ වෙනවා. මේ දක්වා ඔහු සමග බිරිඳක හා මවක ලෙස සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන ඇය මේ වන විටත් ක්‍රීඩාවේ තම නැගී සිටීම්, බිඳවැටීම් ඉදිරි පරපුර වෙත පහදා දී ඔවුන්ගේ අනාගත අරමුණු යහපත් කරන්නට දේශන හා වැඩමුළු බොහොමයකටද සම්බන්ධ වෙමින් සිටිනවා.

    කාලයක් කාන්තා මළල ක්‍රීඩාවේ ආකර්ෂණීයම ක්‍රීඩිකාව වෙමින්, ඉන්පසුව ඔලිම්පික් ඉතිහාසයේ එක් කළු පැල්ලමකින් අපකීර්තිය පත් වෙමින්, ඊට දඩුවම් ලබමින්, නමුත් යළිත් උත්සාහය අත නොහැර ක්‍රීඩාවේ නව මාවතකින් යළි නැගී සිටීමට යත්න දරමින් මේරියන් ජෝන්ස් ලෝකයට පළ කරමින් සිටින්නේ ඇය යනු අමතක කළ නොහැකි චරිතයක් බවයි. තවමත් ඒ මුව මත නළ දත් පෙන්වා පළ කරන ආකර්ෂණීය සිනහව පෙන්වා සිටින්නේ ඒ කතාවයි.

    සජිනි උයන්ගොඩ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.