පොලිස් වැටලීමක් මුවාවෙන් මහනුවර අරුප්පල පදිංචි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පිරිසක් සමඟ කඩා වැදී රුපියල් ලක්ෂ 85ක් කොල්ලකෑමක් සම්න්ධයෙන් අත්අඩංගුවටගත් මහනුවර සහ පොලිස් මූලස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු 06 දෙනකුගේ කොල්ලකල්ලියක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙසේ මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගතකර ඇත්තේ පැය 48ක කාලයක් රදවා ගෙන ප්‍රශ්න කිරීමෙන්ද අනතුරුවය.
මෙම කොල්ලය සිදුකර තිබුණේ පසුගිය 15 වෙනිදා රාත්‍රී කාලයේදීය. ව්‍යාපාරිකයා ඔහුට අයත් මහනුවර පිහිටි නිවස සහ ඉඩම රුපියල් කෝටි 06කට අලෙවිකර ඇති බව දැනගෙන එම මුදල් කොල්ලකෑම සඳහා ව්‍යාජ වැටලීමක් මහනුවර පොලීසියේ කොස්තාපල්වරයා විසින් සංවිධානයකර ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ.
පොලීසියේ වැටලීමක් ලෙස ව්‍යාපාරිකයාගේ නිවස පරීක්ෂාකර මුදල් කොල්ලකා අනතුරුව ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ නෝට්ටු ජාවාරමකට ඔහු සම්බන්ධබවට චෝදනා එල්ලකරමිනි. එය ඔප්පු කිරීමට නිවසේ සිට සොයාගත් බව සඳහන් කරමින් රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 107ක්ද ඉදිරිපත්කර ඇත. මේ වන විට එම ව්‍යාජ නෝට්ටු පොලීසියට ලැබුණු ආකාරය ගැන විමර්ශනයක් පවත්වන බවත් පොලිස් නිලධාරීන් සැළසුම් සහගතන මෙම අපරාධය සිදුකර ඇති බවත් හෙළිවී තිබේ.
ඒ අනුව පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමටද මේ වන විට පියවර ගෙන ඇත.