තවත්

    ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රිය වෙයි – 13කට දිවි අහිමිවෙයි

    0

    ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි සෙමෙරු ගිණි කන්ද විධාරණය වීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු මරණයට පත්ව තවත් සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවට වාර්තවේ.

    මෙම ගිණි කන්ද විධාරණය වීමෙන් තුවාල ලැබූවන් අතරේ ගැබිණි මව්වරුන් දෙදෙනෙකුද සිටින බවත් තවත් දහසක අධික පිරිසකට උන්හිටි තැන් අහිමිවී ඇති බවත් ඉන්දුනීසියානු ජාතික ආපදා කළමනාකරණ මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

    ගිනි කන්ද විධාරණය වීම ඊයේ ආරම්භ වී ඇති අතර ඒත් සමඟ විශාල වශයෙන් අළු පිටවීමත් සමඟ අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අළු වලින් වැසීගොස් ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

    පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ගිණි කන්ද ආසන්නයේ ජීවත් වූ පවුල් තුන්සියයක් පමණ සිය නිවාස වලින් ඉවත් කර ඇති අතර පාසල්, පල්ලි වල මේවන විට ඔවුන් තාවකාලිකව රඳවා ඇති බවද එරට රජය පවසිය.

    සෙමෙරු ගිණි කන්ද ඉන්දුනීසියාවේ උසම ගිණි කන්ද වන අතර එය අඩි දොළොස් දහසක උසකින් යුක්ත වේ. මෙම ගිණි කන්ද ඉකුත් ජනවාරි මාසයේද විධාරණය වූවද එහිදී කිසිම හානියක් සිදු නොවිය. ඉන්දුනීසියාව තුල සක්‍රිය ගිණි කඳු 130ක් පමණ පවති.

    කින්නියා පාලම් පාරු අනතුරට ලක්ව සිටි තවත් අයෙක් මරුට

    0

    කින්නියා හි පසුගියදා පාලම් පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයකු මියගොස් තිබේ.

    ඒ අනුව එම අනතුරින් මේ වනවිට මියගොස් ඇති ගණන 8කි.

    රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.

    අද එන්නත් දෙන මධ්‍යස්ථාන මෙන්න..

    0

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන ගණනාවකදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 05.12.2021

    ශ්‍රී ලාංකිකයාගේ සියල්කොට් ඝාතකයන් අල්ලන්න දුරකතන ඇමතුම් දහස් ගණනක් චෙක් කරලා

    0

    පාකිස්ථානයේ සියල්කොට්හි දී අන්තවාදීන්ගේ මැර ප්‍රහාරයකින් මියගිය ප්‍රියන්ත දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ ජංගම දුරකතන ඇමතුම් දහස් ගණනක් එරට ආරක්ෂක අංශ විසින් දැනටමත් විශ්ලේෂණය කර ඇතැයි වාර්තා වේ.

    අමානුෂික ප්‍රහාරයක් ඇති කරමින් ඊට පිරිස පොළඹවමින් ප්‍රහාරය සිදු කළ ප්‍රධාන සැකකරුවන් 13 දෙනකු සහ ප්‍රහාරයට සමබන්ධ වූ බවට සැකපිට සැකකරුවන් 118 දෙනකු අත්අඩංගුවට ගත් බව එරට ආරක්ෂක අංශ පවසා තිබේ.

    මේ සඳහා එරට පොලිසිය විසින් වැටලීම් 200ක් පමණ මේ දක්වා දියත් කොට ඇත.

    කැමරා 160ක පැය 12ක පමණ DVR පටිගත දර්ශන ද ආරක්ෂක අංශ විමර්ශනයට ලබාගෙන ඇති අතර අධිකරණ වෛද්‍ය විශ්ලේෂණය ද සිදුකරමින් සිටින බවට එඑරට ආරක්ෂක අංශ වාර්තා සඳහන් කර තිබේ.

    ඩුබායි නියෝජ්‍ය පාලකවරයා සහ ජනපති අතර හමුවක්

    0

    ඩුබායි හි මේ වනවිට නිල සංචාරයක යෙදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඩුබායි හි නියෝජ්‍ය පාලක, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටුම් බින් මොහොමඩ් රෂීඩ් අල් මක්ටුම් මහතා අතර හමුවක් අද (04) පස්වරුවේ එක්ස්පෝ -2020 (EXPO – 2020) ප්‍රදර්ශන භූමියේ දී සිදුවිය.

    මෙම හමුව දෙරට අතර මිතුදම ශක්තිමත් කරන්නක් බව රාජ්‍ය නායකයෝ දෙපොළ සඳහන් කළහ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 50වන ජාතික දින සැමරුම වෙනුවෙන් සුබ පැතීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කරගනු ලැබීය.

    කොවිඩ් මර්දන සහ එන්නත්කරණ වැඩපිළිවෙළහි ප්‍රගතිය සහ කොවිඩ් පසුබිමක ආර්ථිකයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා, ඩුබායි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාව දැනුම්වත් කළේය.

    ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ අනන්‍යතාවය ලොවට රැගෙන යාමට එක්ස්පෝ ප්‍රදර්ශන කුටිය ඉවහල් වන බව පැවසූ ජනාධිපතිවරයා ඊට අවස්ථාව ලබාදෙමින් දැක්වූ සහායට සිය ස්තූතිය පිරිනැමීය.

    නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනය අනුව “එක්ස්පෝ 2020” ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිවරයා එක් විය.

    අක්කර 1083ක කාන්තාර බිමක පැවැත්වෙන “එක්ස්පෝ” ප්‍රදර්ශනය සඳහා රටවල් 192ක් සහභාගී වී සිටී. “සිත් සම්බන්ධ කිරීම, අනාගතය නිර්මාණය කිරීම” යන ආදර්ශ පාඨය යටතේ ඔක්තෝබර් මස පළමුවැනිදා ඇරඹි ප්‍රදර්ශනය ලබන මාර්තු 31 වනදා දක්වා පැවැත්වේ. ප්‍රදර්ශනය නැරඹීමට මේ වන විට ලොව පුරා රටවල් රැසකින් මිලියන 03කට අධික පිරිසක් පැමිණ ඇති බව සංවිධායකයෝ පවසති.

    ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රදර්ශන කුටිය නැරඹීමට එක් වූ අතර විශේෂ අමුත්තන් වෙනුවෙන් එහි තබා ඇති සමරු පොතේ සටහනක් ද තැබීය.

    මේ අතර ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය නරඹමින් සිටිය දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක ෂෙයින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් මහතා හමුවීම ද විශේෂ සිදුවීමක් විය. ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සහ වෙළෙඳ සහ සංස්කෘතික සබඳතා පිළිබඳ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට ද ජනාධිතිවරයා මෙය අවස්ථාවක් කර ගනු ලැබීය.

    “එක්ස්පෝ – 2020” ප්‍රදර්ශනය මෙරට සංචාරක කර්මාන්තයේ සහ තේ, ඇගලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍ර රැසක ප්‍රගතියට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා යන මහත්වරු ජනාධිපතිවරයා සමග මේ අවස්ථාවන්ට එක් වූහ.

    මෛත්‍රී ගිහිං රනිල් එයි ද?

    0

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින විරසකය උඩු දුවමින් තිබේ. මේ තත්ත්වය තුළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම ඔහුගේ අනුගාමිකයන් ද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මෛත්‍රීවරු අතර හිත් නොහඳකම් උඩු දුවමින් තිබේ.

    මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කෙළින්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හා ගැටුනේය. ආණ්ඩුවට ශ්‍රීලනිපය ගාවා ගන්නට එපා යැයි මුල පටන්ම කී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා, මෙවරත් ආණ්ඩුවෙන් එළියට යන්නයි මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායමට එළිපිටම කීවේය.

    කෙසේ වෙතත් මෙම තත්ත්වය උත්සන්න වී මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවෙන් ඉවත්ව යන දිනය ළංවන බව පාර්ලිමේන්තුවේත් ඇතැම් දේශපාලන රහස් කතාවලත් පසුගියදා සාකච්ඡාවට ලක්වී තිබේ. මෙසේ ආණ්ඩුවෙන් ඉවත්ව යනවිට ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් පමණක් නොව පොහොට්ටු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද මෛත්‍රී සමඟ ආණ්ඩුවෙන් එළිය යනු ඇතැයි යන්න එම කතා බහේම කොටසකි.

    මේ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ සජබ කණ්ඩායමක් කැඩි ගොස් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ එක්වන බවට ද මේ හා සමඟාමී කතා බහක් පසුගියදා කොළඹ එක්තරා තරු පංතියේ හෝටලයක රහස් කතා බහකින් එළියට පැමිණ තිබිණි.

    ඒ අනුව මෛත්‍රී ගිහිං ආණ්ඩුවට රනිල් එයි දැයි කතාබහට තටු ලැබී තිබේ.

    අනිල් ජාසිංහටත් වඩා ප්‍රභල ඔමික්‍රොන් වැළඳුණු මෙරට කාන්තාව

    0

    දකුණු කොරියාවේ පැවති සමුළුවකට සහභාගිවීමට ඉකුත් ඔක්තෝම්බර් 03 වෙනිදා මෙරටින් පිටත්ව යාමට ගුවන් තොටුපොලට ගිය පරිසර අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට එන්නත්කරණ කාඩ්පත නොමැතිකම හේතුවෙන් ගුවන් යානයට ගොඩවීමට ඉඩ නොදුන් තත්ත්වයක් හමුවේ ඔමික්‍රොන් ආසාදිත කාන්තාවටත් ඇගේ සැමියාටත් එන්නත් කාඩ්පත් තබා කිසිදු එන්නතක් නොලබා තිබියදී එම දිනවලම නයිජීරියාවේ සමුළුවකට සහභාගිවීමට යාමට අවස්ථාව ගුවන් තොටුපොලෙන් හිමි වීම පුදුම සහගතය.

    අනිල් ජාසිංහ මහතා මුළු රටම දන්නා චරිතයක් මෙන්ම තමන් එන්නත් දෙකම ලබාගෙන ඇතැයි කියද්දීත් ගුවන් තොටුපොලෙන් ඔහුට ගුවන්යානාවට ගොඩවීමට ඉඩදුන්නේ නැත. අතපසු වීමකින් එන්නත් කාඩ්පත රැගෙන ඒමට නොහැකි වූ අනිල් ජාසිංහ මහතාට අවසාන මිනිත්තුවේදී ගුවන් යානයට ගොඩවීමට අවස්ථාව ලැබෙන්නේද එන්නත් කාඩ්පතේ ඡායාරූපයක් සිය ජංගම දුරකතනයට ගෙන්වාගෙන එය ගුවන්තොටු පොළ බලධාරීන්ට පෙන්වමිනි.

    එසේ තිබියදී මාරවිල මහවැව පදිංචිකාරියක් වන 25 වියැති මෙම කාන්තාව සහ 32 වියැති සැමියා සමඟ නයිජීරියාව බලා මෙරටින් පිටත්ව යන්නේ එන්නත් කාඩ්පත නොමැතිව ගුවන් යානයට ගොඩවීමට ඉඩ නොලැබුණු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලින්මය.

    එම කාන්තාව කිසිදු එන්නතක් ලබාගෙන නොමැති බව කියන්නේද මේ වන විට ලෝකයටම දැඩි තර්ජනයක් මතුකර ඇති කොවිඩ් විකෘති ප්‍රභේදය ඇයට ආසාදිත බව තහවුරුකර ගැනීමට ජාන විශ්ලේෂණය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතාය.

    සමුළුවකට සහභාගි වීමට බව කියා මෙරටින් පිටත්ව ගිට මෙම කාන්තාවත් ඇගේ සැමියාත් මාසයක් පමණ නයිජීරියාවේ රැදී සිට මෙරටට පැමිණෙන්නේ ඉකුත් 24 වෙනිදාය. එහිදී ඔවුන්ව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පරීශ්‍රයේදී ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකට ලක්කරනුයේ අප්‍රිකානු රටවල මේ වන විට දරුණු ලෙස කොවිඩ් හී දරුණුතම මුහුණුවරක් වන ඔමික්‍රොන් ව්‍යාප්තිය හේතුකොටගෙනය.

    එම ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවේදී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස හදුනා ගැනීමෙන් අනතුරුව ඇයව යොමු කෙරන්නේ පානදුර ලුනාවේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකටය. ඇය ඊට පසුදින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන්නේ නිවෙස් නිරෝධායනය සදහා යොමු වන බව කියමිනි. එහිදී ඇය විසින් නිවෙස් නිරෝධායනය වන බව සදහන් කරන්නේ ඔවුන් පදිංචි නිවසේය.

    මේ අතර ඇගේ සම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයට යොමු කරනුයේ ජාන විශ්ලේෂණයක් කිරීම සඳහාය. ඇයට ආසාදිතව ඇත්තේ කොවිඩ් දරුණු ප්‍රභේදය වන ඔමික්‍රොන් බව හදුනා ගන්නේ ඒ එහිදීය. ඒ ඉකුත් 03 වෙනිදාය.

    ඒ අනුව ඇය නිවෙස් නිරෝධායනය වෙමින් සිටින ස්ථානයට සෞඛ්‍ය බලධාරීන් යොමු වන්නේ ඇය මෙරටින් හමුවන පළමු ඔමික්‍රොන් රෝගියා වන බැවින් වෛරසය ඇගෙන් තව පිරිසකට බෝවීම පාලකය කිරීමට හැකි උපරිම පියවර ගැනීම සඳහාය. එහෙත් ඒ යන විටත් ඇය සෞඛ්‍ය අංශ වෙත ලබාදී සිටි නිවසේ නොවූවාය. සොයා බැලීමකදී ඇය හමුවන්නේ මාරවිල සමනල මාවතේ නිවසක රැදී සිටියදීය. මාරවිල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ ඇය පදිංචිව සිටින ප්‍රදේශයේ කිසිදු සෞඛ්‍ය බලධාරියෙක් හෝ රාජ්‍ය නිලධාරියෙක් තබා අසල්වැසියෙක් වත් ඇය කොවිඩ් රෝගියෙක් බව හෝ ඇය නිවෙස් නිරෝධායනය වෙමින් සිටින්නියක් බව පවා දැන නොසිටියාය. එම වැරැද්ද සිදුවූයේ කොනනක ඇති වූ දෝෂයකින්දැයි පැහැදිලි නැත. ඒ දෝෂය සිදුවූයේ කොසේදැයි කියාවත් සෞඛ්‍ය බලධාරීන් කියන්නේ නැත. ඒ අය ඒ ගැන විමසන විට සිටින්නේ ඇටිකෙසෙල් කෑ රිලවුන් ලෙසිනි.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ එම කාන්තාවත් ඇගේ සැමියාත් බොහෝ තොරතුරු සඟවන බවය.

    අප මේ ගැන තොරතුරු සොයා බැලීමක් කළේය. එහිදී හෙළිවන්නේ ඇය සහ සැමියා ඔක්තෝබර් 28 වෙනිදා මෙරටින් පිටත්ව යන බවකි. එසේම ඔවුන් ගුවන්තොටුපොල රේගුවට පවසා ඇත්තේ ක්‍රිස්තියානි හා ව්‍යාපාරික සමුළුවකට සහභාගි වීමට නයිජීරියාව බලා යන බවකි. සැමියා කරන රැකියාවක් ගැන කිසිවක් අනාවරණය වන්නේ නැත. එහෙත් ඇය පෙනී සිටින්නේ ඉංග්‍රීසි කථිකාචාරිනියක් ලෙසිනි. ඇය මාර්ගගත ක්‍රමයට ඉංග්‍රීසි පංති පවත්වන බව ඒ ගැන වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී හෙළිකර ගැනීමට හැකි විය.

    ඇය සහ සැමියා සම්බන්ධයෙන් වැඩි යමක් දැන ගැනීමට අප වාර්තාකරුවන්ගේත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරන්ගේ මෙන්ම පොලීසියේද සහය ලබා ගැනීමට අප අමතක නොකලේය. එම තොරතුරුවලට අනුව මෙම යුවල පදිංචිව සිටින්නේ මාරවිල පොලිස් වසමේ තල්විල සමෘද්ධි මාවතේ පිහිටි නිවසකය. එහෙත් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථනයට ලබාදී තිබුණේ සමනල මාවතේ නිවසක තොරතුරුය.

    කෙසේ වෙතත් ඔවුන් නයිජිරියාවේ මාසයක් තිස්සේ සහභාගිවූ සමුළුව ගැන කිසිවක් කියන්නේ නැත. ඒ ගැන හාරඅවුස්සමින් සෞඛ්‍ය අංශ මෙන්ම පොලීසියද විමසා ඇතත් ඔවුන්ගෙන් නිෂ්චිත පිළිතුරක්ද ලැබී නැත. එන්නත්කරණ කාඩ්පත නොමැතිව රටම දන්නා අමාත්‍යාංශ ලේකම්වරයෙකුට රට නියෝජනයකරමින් ලෝකයම පිළිගත් සමුළුවකට යාමට ඉඩ නොලැබෙන විට මාරවිල යුවලකට කිසිදු එන්නතක් නොමැතිව කිසිවෙක් නොදන්නා සමුළුවකට යන්නට ඉඩ ලැබුණේ කෙසේ දැයි බලධාරීන්ගේ සැබෑ අවධානය යොමුවිය යුතු නොවේද?

    සන්ෂයින් සුද්දාව මරා දැමූ ටී 56 මාස තුනක්ම පාර අයිනේ තිබිල

    0

    මාකඳුරේ මධුෂ්ගේ සමීපතයෙක් බව කියන සන්ෂයින් සුද්දා නැමැති අපරාධකරු ඝාතනයට යොදාගත්තේයැයි කියන ටී 56 අවිය බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශය විසින් ඔවුන්ට ලද තොරතුරකට අනුව යාගෙන ඇත්තේ එම ඝාතනය වූ ස්ථානයේ සිට මීටර් 100 ක් පමණ දුරකින් පිහිටි පාළු ස්ථානයක තිබියදී බව පොලිස් තොරතුරු සඳහන් කරයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ කොටුවිල පොලිස් වසමේ හේන්වල දී ඊයේ (03) ගිනි අවිය හමුවී ඇති බවය.

    සන්ෂයින් සුද්දාගේ ඝාතනය සිදුවන්නේ ඉකුත් සැත්තැම්බර් 03 වෙනිදාය. ගිනි අවිය සොයා ගන්නේ හරියටම එම ඝාතනයෙන් මාස 03 කට පසුවය.

    සන්ෂයින් සුද්දාගේ ඝාතනයෙන් පසුව පොලිස් නිල සුනඛයින් පවා යොදා පොලීසිය පරීක්ෂණ පවත්වනු ලැබීය.

    අනතුරුව එම ඝාතනයට සම්බන්ධ වූ කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගත් අතර එම සැකකරුවන් අතර සන්ෂයින් සුද්දාගේ අනියම් බිරියද සිටියේය.

    ඉකුත් නොවැම්බර් 26 වෙනිදා කළුතර දී පොලිස් වෙඩිල්ලකින් මරුමුවට පත්වූ ටිංකරින් ලසන්ත නැමැත්තා සන්ෂයින් සුද්දාගේ ඝාතකයා බව පොලීසිය කීවේය. ආයුධ පෙන්වීමට ගොස් ඔහු පොලිසිය සමඟ ගැටී මුරුමුවට පත්වූ බව පොලීසිය සඳහන් කළේය. කළුතර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පවා සන්ෂයින් සුද්දාට වෙඩි තැබූ ගිනි අවිය සැඟවූ ස්ථානය ගැන ටිංකරින් ලසන්ත පවසා තිබුණි නම් එම අවිය සොයා ගන්නේ මෙයට පෙරය.

    කෙසේ වෙතත් සන්ෂයින් සුද්දා ඝාතනයට යොදා ගත්තේ යැයි කියන ටී 56 ගිනි අවිය මාස 03 ක් තිස්සේ මහපාර අයිනේ පදුරක් අස්සේ තිබියදී සන්ෂයින් සුද්දාගේ ඝාතන විමර්ශන පැවැත්වූ කොටවිල පොලීසියට සොයා ගැනීමට හැතියාවක් ලැබී තිබුණේ නැත. පොලීසිය පවසන්නේ ගිනි අවිය හොදින් ඔතා ආරක්ෂාකාරීව එම ස්ථානයේ දමාගොස් තිබුණු බවය.

    පාකිස්තාන අගමැතිගෙන් ජනපති ගෝඨාභය වෙත අබුඩාබියට ඇමතුමක්

    0

    පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා විසින් මේ වනවිට අබුඩාබි හි නිල සංචාරයක යෙදී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.

    ඒ පාකිස්තානයේ සියල්කොට් හිදී අන්තවාදී ප්‍රහාරයෙන් මියගිය ප්‍රියන්ත දියවඩන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිය සංවේගය පළ කරමින් එහි විමර්ශනවල තත්ත්වය පැහැදිලි කිරීම සඳහායි.

    “සියල්කොට් හි ප්‍රියන්ත දියවඩන නමැති කළමනාකාරවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට අපගේ ජාතියේ කෝපය සහ ලැජ්ජාව ප්‍රකාශ කිරීමට අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කතා කළෙමි. මේ සම්බන්ධයෙන් 100+ පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව මම ඔහුට දන්වා සිටියෙමි. ඔවුන්ට නීතියේ දැඩි ලෙස ක්‍රියාත්මක බවට සහතික වීමි” යැයි ඉම්රාන් ඛාන් අගමැතිවරයා කියා සිටී.

    මේ වනවිට මෙම ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තානයේ පුද්ගලයන් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම ඝාතනය සඳහා පිරිස පෙළඹ වූ ප්‍රධානතම සැකකරුවන් පිරිස ද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි එරට බලධාරීහු පවසති.

    කුරානයේ වැකියක් තිබූ පෝස්ටරයක් ඉරා දැමූයේ යැයි එම කර්මාන්ත ශාලාවේ ඒ පිරිසක් ප්‍රියන්ත මහතාට් පහරදී ඝාතනය කර ඇති අතර ඉන් අනතුරුව එහි වැසියන් සමඟ එක්ව පුළුස්සා දමා තිබුණි.

    පොලීසිය එහි යන විටත් ප්‍රියන්ත මහතා මියගොස් තිබී ඇත.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තානයේ දේශපාලන කලාකරුවන් ආගමික නායකයන් ඇතුළු බොහෝ පිරිසක් හෙළා දැක තිබුණි.

    සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් බව කියන පහත පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවට වාර්තා සඳහන් කළේ ය.

    කාන්දුවක දී ගඳ සුවඳ එන ගෑස් හෙට සිට

    0

    ගෑස් කාන්දුවක දී ගඳ සුවඳ හඳුනාගත හැකි මර්කප්ටන් අඩංගු ප්‍රමිතිගත ගෘහස්ත ගෑස් හෙට හෝ අනිද්දා සිට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද(04) දින පාර්ලිමේන්තුවේ දී මෙයට සුළු මොහොතකට පෙර පැවසීය.

    කොළඹ වරායට සේන්දු වී තිබෙන ලිට්රෝ සහ ලාෆ් ගෑස් නෞකා දෙකේ අඩංගු ගෑස් ප්‍රමිතියට අනුකූල බව පරීක්ෂණ වාර්තා තහවුරු කොට ඇතැයි ද හෙතම සඳහන් කළේය.

    මෙලෙස ආනයනය කළ ගෑස් නැව් අධීක්ෂණයට පත් කළ කමිටුවේ ප්‍රතීතන මණ්ඩලය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය,කාර්මික තාක්ෂණ ආයතනය සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ ඊයේ දිනයේ එම නෞකාවල ගෑස් නියැදි ලබාගෙන ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ පරීක්ෂණාගාරයට යොමුකර තිබිණි.

    ඒ අදාළ වාර්තාව අනුව දැනට ආනයනය කර තිබෙන ගෑස් ප්‍රමිතියට ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරයි.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ ගෘහස්ථ ගෑස් හෙට සිට වෙළඳපොළට නිකුත් කිරීමේ දී පහත සඳහන් තීරණවලට එළැඹි බවයි.

    1. පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම

    2. නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගඳ සුවඳ හඳුනාගැනීම සඳහා මර්කප්ටන් අඩංගු කිරීම

    3. මෙම නිෂ්පාදනය කරනු ලබන ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේ දී සෑම 100කින් එකක්ම පරීක්ෂා කර Serial Number කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබා දීම

    “පාකිස්ථානයේ ඉන්න සෙසු ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න”- ජනපති ඉල්ලයි

    0

    පාකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයකු වන ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමේ සිද්ධියෙන් තමා මහත් සංවේගයට පත්වන බවත් එරට වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙසත් එරට රජයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    එම නිවේදනය මෙසේය.

    “පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ මම මහත් සංවේගයට පත් වීමි.

    එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට සේ ම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයකි.

    අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ පාකිස්තානු රජය මෙම ම්ලේච්ඡ ඝාතනය සිදු වූ වහා ම යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ග පාකිස්ථානයේ අත්‍යන්ත මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව අගය කරන අතර මේ පිළිබඳ පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ද ශ්‍රී ලංකා රජයත්, සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් බලා සිටින බව කියනු කැමැත්තෙමි.

    එසේ ම පාකිස්තානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස පාකිස්තාන රජයෙන් මම ඉල්ලා සිටිමි.

    සිදුවීම සැලවූ වහා ම ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට මා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා දුන් උපදෙස් අනුව ඔවුන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් සිටී.

    කුමන ස්වභාවයකින් පැමිණිය ද අන්තවාදී ක්‍රියාකාරකම් සමාජය දැඩිව ව්‍යාකූල කරන්නේය. එබැවින් අන්තවාදයට එරෙහිව ලෝකය ම එක ම අරමුණක සිට ක්‍රියා කළ යුතු බව මෙවැනි සිදුවීම් තුළින් තව තවත් තහවුරු වේ.

    මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මේ මොහොතේ දැඩි කම්පනයට පත් ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සමීපතමයන් සමඟ මමත්, රජයත්, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවත් සිටින බව සිහිපත් කරමි.”

    සජබ මන්ත්‍රීවරු මැතිසබෙන් යති

    0

    සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් අද පිටව ගොස් තිබේ.

    ඒ පාර්ලිමේන්තුවේ තම ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමිනි.

    ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ ඊයේ (03) පැවැති පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ විවාදය අතරතුර පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

    පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේ ඒ පිළිබඳ පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගන්නා බවය.

    අද පාර්ලිමේන්තුව රැස්වු අවස්තාවේදීත් ඒ පිළිබඳව යළිත් කතාබහක් මතුවී තිබු අතර ඊයේ විපක්ෂයට කාලය අහිමි වූ බවට ඔවුහු චෝදනා කර සිටියහ.

    පාකිස්ථානයේදී ලාංකිකයා ඝාතනය කළ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි අගමැති අවධානයෙන්

    0

    පාකිස්ථානයේ දී කෲර ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත දියවඩන මහතා ඝාතනය කළ අන්තවාදීන් සියලු දෙනාට එරෙහිව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා විසින් නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ඒ පිළිබඳ අගමැතිවරයා පළ කළ සටහන මෙසේය.

    “පාකිස්ථානයේ දී ප්‍රියන්ත දියවඩන මහතාට අන්තවාදීන් පිරිසක් එල්ල කළ කුරිරු මාරාන්තික ප්‍රහාරය පිළිබඳ අසා බෙහෙවින් කම්පාවට පත් වුණෙමි.
    ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සියලු දෙනාට ම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි. අගමැති ඉම්රාන් ඛාන් මැතිතුමා මෙම කුරිරු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කැප වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.” යනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.

    පළමු හදවත් බද්ධය සමඟ සිහිවන විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම

    0

    ලොව පළමු හදවත් බද්ධය සිදුවූයේ මීට දශක පහකට එපිට 1967 වසරේ දෙසැම්බර් 03 වැනිදා දකුණු අප්‍රිකාවේ දී ය. ඊයේ දිනට වසර 54ක් ගතවන ලොව පළමු හදවත් බද්ධය සමඟ ලංකාවේ පළමු හදවත් බද්ධය ගැන ද නිතැතින් සිහියට නැගෙයි. 2017 ජුලි 07 මහනුවර රෝහලේ දී මෙරට පළමු හදවත් බද්ධය සිදුවිය. ඒ මීට සිවු වසරකට පෙරය. විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම නොවන්නට තාක්ෂණික විද්‍යාත්මක පහසුකම් අතින් ලංකාව කොපමණ දියුණු වුවද තවමත් අප රටේ හදවත් බද්ධයක් සිදු නොවන්නට ඉඩ තිබුණි. වෘත්තියෙන් වෛද්‍යවර‍යකු වුවද ඉතාම සරල චාම් දිවිපෙවෙතක් ගත කරන, හදවත් බද්ධය මෙරටට ගෙන එන්නට මහත් මෙහෙයක් සිදු කළ හෘදය හා උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රමයන් පිළිබඳ වසරක් පසා මෙවැනි සුවිශේෂී දින අරඹයා කළ ගුණ දත් ජාතියක් ලෙස මෙලෙස මතකාවර්ජනයන්හි යෙදිය යුතුය. මන්දයත් ඔහුගේ සරල දිවි පැවැත්ම අපගේ දිවියට ද වටිනාකම් රැසක් එක් කරන බැවිනි. පරාර්ථ සේවයට කැපවන්නට එතරම් නිර්ලෝභී වෛද්‍යවරුන් මෙහිපිට සිටිනවාදැයි හැඟෙන තරමට විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම වෛද්‍ය භූමිකාවෙන් ඔබ්බට යමින් මිනිසුන් ජීවත් කරන්නට වෙර දරණ මිහිපිට දෙවියෙකි.

    නිව්ස්වේවි මෙලෙස දිගහරින්නේ තුෂාරි නේරංජා වික්‍රමසිංහ,/ගාමිණී රණසිංහ,සිත්මල්යාය, පුවත් -2018.10.06  පළ කරන ලද ලිපියකි. මෙහි ඇතැම් තොරතුරු අදට යාවත්කාලීන නොවුණ ද විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාට උපහාරයක් ලෙස ඒ මහතා සමඟ පවත්වන ලද මෙම සම්මුඛ සාකච්ඡාව මෙලෙස උපුටා පළ කරයි.

    මුලින්ම ඔබ ගැන හඳුනා ගන්නට කැමැතියි?

    වෛද්‍ය අනිල් අබේවික්‍රම

    මම වෛද්‍ය අනිල් අබේවික්‍රම. මගේ කුඩා ම කාලෙ ගෙවී ගියේ මොරවක අලපලාදෙනිය කියන සුන්දර ගම්මානයේ. එහෙ තමයි අපි පදිංචිව හිටියේ. පළමුවන ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තේ අලපලාදෙනිය මධ්‍ය මහා විද්‍යාලයෙන්. ඉන්පසුව දෙවැනි පන්තියේ සිට පාසල් ගියේ ගාල්ල මහින්ද විද්‍යාලයට. මම ශිෂ්‍යත්වය අසමත් දරුවෙක්. සාමාන්‍ය පෙළ විභාගයෙනුත් මට විශිෂ්ට සාමාර්ථ තිබුණේ නැහැ. උසස් පෙළ සඳහා මම තෝරා ගත්තේ විද්‍යා විෂයන්. විද්‍යාවට මට තිබුණේ සාමාන්‍ය සාමාර්ථයක්. නමුත් ගණිතයට සම්මාන තිබුණා. විදුහල්පතිතුමාගේ විශේෂ අවසරය මත, ඊළඟ විභාගයෙන් විද්‍යාවට විශිෂ්ට සම්මාන සාමාර්ථයක් ලබාදෙන පොරොන්දුව පිට මම විද්‍යාව තෝරා ගත්තා. ඒ තෝරා ගැනීම සිදු වුණෙත් මගේ මිතුරන් විද්‍යාව හදාරන්නට පටන්ගත් නිසයි. ඒ ඇරෙන්න විද්‍යාව හදාරන්න විශේෂ කැමැත්තක් තිබුණෙ නැහැ. අපේ ජීවිතවල මේ මේ තැන්වලට එනවා කියලා ඉලක්ක තිබුණෙත් නැහැ.

    ඔබේ මවුපියන් ගැනත් කතා කරමු?

    මගේ අම්මා ගුරුවරියක්. තාත්තා සමූපකාර දිස්ත්‍රික් නිලධාරීවරයෙක්. මට නිවුන් සහෝදරයෙකුත්, සහෝදරියන් දෙදෙනකුත් ඉන්නවා. අයියා ඇමෙරිකාවේ භෞතික විද්‍යා පශ්චාත් උපාධිධරයෙක් එහි රැකියාව කරනවා. නංගී ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස සේවය කරනවා. අක්කා මේ වන විට ස්වාධීන රූපවාහිනී ආයතනයේ සේවය කරනවා. මං මගේ අම්මව නිතර මහනුවර රෝහලට එක්ක එනවා. මං රෝගීන්ට සේවය කරන හැටි දකින අම්මා හරිම සතුටට පත් වෙනවා.

    ඔබේ ළමා විය ගෙවුණු අන්දම ගැන කතා කරමුද?

    මම පුංචි කාලෙ ඉඳන් ම ඉගෙනීමට වඩාත් දක්ෂතාවය දැක්වූ දරුවෙක් නෙවෙයි. සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරන අවදියේ සිට වගේ ම රුහුණු වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුවෙක් ලෙස අධ්‍යාපනය හදාරන අවදියේත් මගේ අධ්‍යාපනයට වඩා වැඩි නැඹුරුවක් තිබුණේ සෙල්ලම් කරන්න ක්‍රිකට් ගහන්න තමයි. ඒ කාලෙ අද වගේ නෙවෙයි. අපේ ජීවිත හරි සැහැල්ලුයි. රේස් එකක් අධ්‍යාපනය වෙනුවෙන් තිබුණෙ නැහැ. අපේ ගෙදර තියෙන්නේ ගාල්ල කොටුවෙ. මේ කොටු පවුර උඩට හවස් වෙන‍කොට යාළුවො ටික එකතු වෙනවා. ඇති වෙනකම් ම රෑ බෝවෙනතුරුම ක්‍රිකට් ගහනවා. මොකද ගාල්ලෙ ඉන්න වගේම විවිධ ජනතාව මෙතැනට එනවා. සෙල්ලම් කරනවා. ඉතින් ගෙදරින් අම්මා හැම තිස්සෙම පාඩම් කරන්න උනන්දු කරවනවා. සෙල්ලම් කරමින් තමයි අධ්‍යාපන කටයුතුත් කරගෙන ගියේ. මම පළමු වරට උසස් පෙළ විභාගය ලිව්වා ම මට ලැබුණේ සාමාන්‍ය සාමාර්ථ හතරක්. දෙවන වරත් උසස් පෙළ ලිව්වා. ඒ ගමන සාමාන්‍ය සාමාර්ථ තුනක් විතරයි ලැබුණ්. භෞතික විද්‍යාව ෆේල් වුණා.‍

    ඔබට මොකද හිතුණේ?

    ඒත් ඒ ගැන ගාණක් තිබුණෙ නැහැ. මේ අතර මගෙ යාළුවො බහුතරයක් විශ්වවිද්‍යාලයට තේරිලා. මගේ අම්මයි තාත්තයි නිතර මා දිරිමත් කළා. “ඔයා නැවත විභාගය ලියන්න. ඔයාට පුළුවන් පුතා” කියන වචන මට නිතර ඇහුණා. ඒ වෙනකොට මං ළඟ මගේ විද්‍යා සටහන් මොනවත් ම නැහැ. ‘බයෝ’ හදාරමින් සිටි මගේ නංගිගේ සටහන් පොත් කියවා මේ පාර නම් විභාගය සමත් වෙනවා කියන අධිෂ්ඨානයෙන් පාඩම් කර උසස් පෙළ ලිව්වා. සෙල්ලම් ජීවිතයෙන් අත් මිදිලා හිත එක අරමුණකට අරගෙන විභාගයට සැලැස්මක් සහිතව සූදානම් වෙලා හොඳින් මුහුණ දුන්නා. විශිෂ්ට සාමාර්ථ දෙකකුත් බී සාමාර්ථ දෙකකුත් ඇතිව සමත් වී විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.

    පරාජය ඔබේ දිවිය ජය මාවතට ගෙන ආවා?

    ඔව්. මා ලැබූ පරාජයත් එක්ක තමයි මගේ අනාගතය මම ජය ලැබුවේ. පාඩම් නොකර සෙල්ලමට වැඩිපුර සිත යොමු කළ නිසා මට පසුකලෙක තේරුණා යාළුවොත් නැහැ යන්න එන්න තැනකුත් නැහැ. අම්මයි තාත්තයි තමයි මා දිරිමත් කරමින් මා ළඟ හිටියේ.

    විභාග ජීවිතයට අමාරු ද?

    අමාරු දෙයක් නෙමෙයි කිසිසේත් ම. එයට ඉලක්කයක් ඇතිව අනුගත වුණාම පහසුවෙන් ජය ගන්න පුළුවන්. එය මම අත්දැකීමෙන් දන්නවා.

    වෛද්‍ය සිස‍ුවෙක් ලෙස ඔබ ගෙවූ දිවිය?

    ඉතාම තෘප්තිමත්. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමයේ සිටි කෙළිලොල් කොලු පැංචා ආයෙත් ඉස්මතු වුණා. අපේ ගෙදර තිබුණෙ කරාපිටිය වෛද්‍ය පීඨයට කිලෝමීටර් හතරක් පමණ දුරින්. මමත් සුපුරුදු විදිහට වෛද්‍ය පීඨයට ගිහින් සායනික පුහුණුවේ යෙදිලා හවසට කොටුපවුරට වෙලා යාළුවොත් එක්ක ක්‍රිකට් ගහනවා. හුඟක් වේලාවට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයන් කළේ පාඩම් කරන එකනෙ. මම එහෙම නැහැ. මම ටිකක් පාඩම් කරනවා. වැඩිපුර ක්‍රිකට් ගහනවා. මොනවා කළත් විභාගය ළං වෙන කොට හොඳින් පාඩම් කරනවා. හිතට අරගෙන ඒ වෙනුවෙන් කැපවී පාඩම් කරනවා. මේ නිසා විභාග සියල්ල හොඳින් සමත් වෙනවා. විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙනකොට මට පන්ති සාමාර්ථ තිබුණෙ නැහැ.

    ඔබ වෛද්‍යවරයෙකු ලෙස පත්වීම ලබන්නේ?

    සීමාවාසික පුහුණුව ලබන්නේ පළමු වරට රිජ්වේ ආර්යා ළමා රෝහලේ මහාචාර්ය ඒකකයේ. ඉන්පසුව, දෙවන පුහුණුව කාසල් රෝහලේ දී ලබනවා. ඉන්පසුව අනුරාධපුරේ මහ රෝහලට අනුයුක්ත වෙනවා. ඒ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයකු යටතේ සේවය කිරීම උදෙසා.

    ඒ කාලෙ ඔබට කොහොමද දැනුණේ?

    එතකොට ලංකාවේ දරුණු ලෙස යුද්ධය පැතිරී යන සමය. හුඟක් වෙලාවට වෛද්‍ය ශිෂ්‍යයන් ශල්‍ය වෛද්‍ය අංශය තෝරා ගන්නේ, එයින් පශ්චාත් උපාධිය කරන්න බලාගෙන. නමුත් මම එහෙම නැහැ. මට වැඩ කරන්න ලැබුණේ එවකට අනුරාධපුර රෝහලේ සිටි ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා වූ පී.කේ. හරිශ්චන්ද්‍ර වෛද්‍යවරයා සමඟයි. මට ආසාව තිබුණේ ශල්‍ය වෛද්‍ය අංශයේ වැඩ කරන්නයි. ඒ ආශාව නිසා ම මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නාරි වෛද්‍ය අංශයට අයදුම්පත් යොමු කරනවා. එයට මම ‍තෝරා ගන්නවා. නමුත් මම එයට ගියේ නැහැ. අනුරාධපුරයේ ම ඉන්න තීරණය කළා.

    ඒ වෙනකොට යුද හමුදවේ ජයසිකුරු මෙහෙයුම ක්‍රියාත්මක වෙන අවදිය. යුද්ධය නිසා තුවාල ලැබූ සොල්දාදුවෝ දවසකට සීයක් දෙසීයක් අනුරාධපුර රෝහලට එවනවා. මට හිත දුන්නේ නැහැ ඔවුන් දමා යන්නට. සමහර දවසට පැය හැත්තෑ දෙකක් පමණ (දින තුනක් පමණ) එක දිගට නිදි නොලබා තුවාල ලද සොල්දාදුවන්ට ඔපරේෂන් කරන්න වුණා. ඔවුනට ජීවිතය දෙමින් ඔවුන් සුවපත් කරමින් එයින් අපි පුදුමාකාර මානසික සතුටක් ලැබුවා. එනිසා සොල්දාදුවන් වෙනුවෙන් ම ඔවුනට සේවයකරමින් රටට දැයට සේවයක් කරන්නට ලොකු ආසාවක් ඇති වුණා. හමුදා සෙබළුන්ගේ ජීවිත බේරා ගැනීමේ සටනක අපි ඒ කාලයේ නිරත වුණා. මේ නිසා තියටර් එකේම තමයි කාලය ගත වුණේ. ඔපරේෂන්වලට අත ඉතාම හොඳට හුරු වුණා.

    මේ අතර ජයසිකුරු මෙහෙයුම නිමාවට පත්වුණා. පී‍. කේ. හරිශ්චන්ද්‍ර වෛද්‍යතුමා මහනුවර රෝහලේ වකුගඩු හා අක්මා බද්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ලෙස පත්ව යනවා. ඔහු මට නිතරම කිවූ දෙයක් තමයි ශල්‍ය වෛද්‍ය අංශයෙන් පශ්චාත් උපාධිය කරන්න කියලා. ඉන්පසුව මට 2002 දි කොළඹ මහ රෝහලට පත්වීමක් ලැබෙනවා. එහිදී සේවය කරන්න සිදුවන්නේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් යටතේ. මේ අතර මම ඇමෙරිකාවට යන්න අදහස් කරනවා. මොකද මගේ සහෝදරයන් එහේ සිටිය නිසා.

    ඒ අතර මම ඇමෙරිකාවේ USMLE විභාගයට පෙනී සිටීමට ලියාපදිංචි වෙනවා. මේ අතරම ලංකාවේ ශල්‍ය වෛද්‍ය පශ්චාත් උපාධියට මම ලියනවා. සමත් වෙනවා. ඇමෙරිකා යන අදහස අත්හැර දමනවා. එම්. එම්. ජනප්‍රිය විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා යටතේ තවදුරටත් පුහුණු වෙලා දෙවන විභාගය සමත් වුණාට පසුව මම ‍තෝරා ගන්නවා හෘදය හා උරස් ශල්‍ය වෛද්‍ය අංශය. එහිදී උරස් හා හෘදය විශේෂඥ ශල්‍ය වෛද්‍ය පී. එස්. රාජපක්ෂ යටතේ සේවය කරනවා. එහි පුහුණුව ලබලා මම එංගලන්තයේ වෛද්‍යවරයකු ලෙස සේවය කරන්න ඕන විභාගය සමත් වෙනවා. ඉන්පසු එංගලන්තයට යනවා. ඒ එහි තිබෙන ‘Liverpool Heart & Chest’ රෝහලට.

    එහිදී ඔබට ලැබුණු අත්දැකීම් මොනවාද?

    එම රෝහලේ දී මට සිදුකරන්නට වුණේ මුලින් ම මහා ධමනියේ ශල්‍යකර්ම. ඒ හෘදය රෝග හා ශල්‍ය වෛද්‍ය අංශයේ සේවය කරමින්. එය එංගලන්තයේ තිබෙන ප්‍රධාන රෝහලක්. එරට තිබෙන ප්‍රධාන පෙළේ රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරු එහි සේවය කළා. මේ අතර වාරයේ මම එරටේ ම New castle freeman රෝහලෙත් වැඩ කරනවා. එය හෘද හා පෙණහලු බද්ධ කිරීමේ රෝහලක්. වැඩිම හෘදය හා පෙණහළු බද්ධ කිරීමක් සිදු වන්නේ එම රෝහලේ ම යි. මම හැම සති අන්තයකම ඒ රෝහලේ සේවය කරන්නට එක්කාසු වෙනවා. පසුව මම එතැනම ස්ථිර ලෙස සේවය කරන්නට පටන් ගත්තා.

    එංගලන්තෙ තිබෙනවා ලෝක හෘදය හා පෙණහලු බද්ධ කිරීමේ ජාත්‍යන්තර ආයතනය (I S H L T) දැනට එහි සභාපති ලෙස සේවය කරන්නේ ලෝක පූජිත හෘද හා පෙණහලු බද්ධ කිරීමේ වෛද්‍ය මහාචාර්ය ස්ටීව් ක්ලාක්. ඔහු මාව සම්මුඛ පරීක්ෂණයට භාජනය කරමින් ඇසුවේ මොකටද ඔබ මේ පිළිබඳ හදාරන්නෙ කියලයි.

    ඉතින් ඔබේ පිළිතුර වුණේ?

    මම කිව්වේ ජාත්‍යන්තරව සිදුවන මේ කර්තව්‍යය මම ලංකාවේදී ලංකාවේ ජනතාව වෙනුවෙන් දියත් කරන්න කැමැතියි කියලයි. ඒ අනුව හෘදය හා පෙණහළු බද්ධ කිරීමේ ඒ ජාත්‍යන්තර ආයතනයේ වසර දෙකක කාලයක් මම හැම අංශයක ම වැඩ කරමින් ඉගෙන ගත්තා. හෘදය හා පෙණහලු බද්ධ කිරීමට ලොකු කණ්ඩායමක් අවශ්‍යයි. ඒ සඳහා තනි වෛද්‍යවරයකුට මනා පුහුණුවක් තිබිය යුතුයි. ලංකාවෙන් හිටියේ මම පමණක් නිසා හැම අංශයක ම දැන ගැන්ම වැදගත් වුණා. ඒ අනුව ඒ ඒ අංශවල ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරලා සැලසුම් සකස් කරගෙන සියල්ල ඉගෙන ගෙන ලංකාවට එන්නට මට අවකාශ ලැබුණා.

    හෘදය වස්තුවක් බද්ධ කිරීම ලෙහෙසි පහසු දෙයක් ද?

    මෙහෙමයි. හෘදය වස්තුවක් බද්ධ කරත් දී පැය තුනක් ඇතුළත බද්ධ කර අවසන් කළ යුතු වෙනවා. එහිදී ගුවන් මඟින් තමයි හෘදයක් සහ පෙණහලු අරන් එන්නේ. එක මිනිත්තුවක්වත් තත්පරයක්වත් අපතේ යවන්නේ නැහැ.

    ඔබ ඒ රෝහලේ කටයුතු කළේ කොහොමද?

    එක සතියකට හෘදය වස්තු මොළය මිය ගිය රෝගීන්ගෙන් ගලවා ගැනීමත්, අනෙක් සතියේ හෘද වස්තු බද්ධ කිරීමත් මම මාරුවෙන් මාරුවට සිදුකළා. ඒ පුහුණුව ලැබීම අනිවාර්යයෙන් ම ලංකාවට පැමිණ මේ කටයුතු සිදු කිරීමට විශාල පහසුවක් වුණා.

    හෘදය වස්තුවක් බද්ධ කළ යුතු ම වන්නේ කුමන වර්ගයේ ලෙඩුනට ද?

    සාමාන්‍යයෙන් හෘද රෝගියකුගේ එකෝ පරීක්ෂණයකින් පසුව E / f අගය සියයට විස්සට වඩා අඩු වුණා ම ඒ රෝගියාගේ ආයු කාලය ඉදිරියට වසරක් වගේ තමයි තිබෙන්නේ. එම රෝගියාට මරණය නිශ්චිතයි. ඒ නිසා රෝගියාට කළ යුතු එකම ප්‍රතිකර්මය තමයි හෘදය වස්තුවක් බද්ධ කරන එක.

    ලංකාවේදී හෘදය වස්තු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදුකිරීම ඔබට පහසු වුණාද?

    ඇත්තට ම එංගලන්තයේ මා සමඟ සේවය කළ වෛද්‍යවරුනගේ මතය වුණේ ලංකාවෙදි මේ කටයුතු පටන් ගන්න ඔවුන් පූර්ණ සහයෝගය ලබා දෙන්නම් කියන එකයි. ඒ වගේ ම ඔවුන් ඒ නොමසුරු ස‍හයෝගය ලබා දුන්නා. මම ලංකාවට ඇවිත් ඒ සඳහා අවශ්‍ය නීතිමය රාමුව, සදාචාරාත්මක හා සෞඛ්‍යමය අවශ්‍යතා සූදානම් කළා. ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වගේම නීතිපතිතුමා විශාල සහයෝගයක් ලබා දුන්නා. ඉන්පසුව මගේ සහෝදර වෛද්‍යවරුන් බොහෝ දෙනෙක් මේ කාර්යය සාර්ථක කර ගන්නට විශාල සහයෝගයක් ලබා දුන්නා. සාකච්ඡා වට ගණනාවක් පවත්වා ‍හෘදය වස්තු බද්ධ කිරීමට අවශ්‍ය සියල්ල සම්පාදනය කරගෙන තමයි මේ කාර්යය සාර්ථක කර ගත්තේ.

    එංගලන්තයේ ගෙවුණු ජීවිතය ඔබට දැනුණේ කොහොමද?

    එහෙ හරිම සරල ජීවිතයක් තමයි ගෙන ගියේ. මා සමඟ වැඩ කළ වෛද්‍යවරු පවා ඉතාම සරලයි. ඔවුන් සේවයට එන්නේ ෆුට් සයිකලය පැදගෙන. හරිම මානුෂික සේවාවක් ඔවුන්ගෙන් සිදු වෙනවා. වාණිජමය පැත්ත ගැන නෙමෙයි ඔවුන් තමාගේ අතින් අනෙක් පුරවැසියනට සිදු කළ යුතු සේවය ගැනයි නිතර හිතන්නේ. හරිම අව්‍යාජව ඔවුන් ඒ දේ කරනවා. මමත් ඒ හොඳ දේ මගේ ජීවිතයට ලබා ගත්තා. මං පාවිච්චි කරන්නේ පරණ වාහනයක්. දවසින් දවස අලුතින් එන වාහන ගන්න මට අවශ්‍ය නෑ. මොකද මගේ වාහනය ගැන මට සතුටුයි.

    ඔබ ලක්ෂ 20 ක පමණ වැටුපක්  අහිමි කරගෙනයි මෙරටට එන්නේ?

    වෛද්‍ය වෘත්තිය කියන්නේ ආත්ම ගණනකින් පසුව ලැබෙන උතුම්ම වරමක්. එයින් ලෝකයට සේවයක් කරලා හැමදේම අතහැරලා යන දවසට නමක් තියලා යන්න අවශ්‍යයි. එය අපි කවුරුත් හිතට ගත යුතුයි. ලෙඩෙක් සුවපත් කරලා ඔවුනට අලුත් ජීවිතයක්, අලුත් බලාපොරොත්තුවක් ලබා දීලා අත්කර ගන්න පින තරම් දෙයක් මිහිපිට තිබෙනවා ද?

    ඔබ ගෙවන්නේ ඉතාම සරල ජීවිතයක්?

    ඇත්තටම. එහෙම වුණාම ජීවත් වෙන්න පහසුයි. ජීවිතේ කිසිම‍ දෙයක් සඟවාගෙන කටයුතු කරන්න අවශ්‍ය නැහැ. එය ජීවිතය ආතතියට පත් කරනවා. මනස සරල වුණාම ජීවිතේ හරිම සැහැල්ලුයි.

    අනාගත බලාපොරොත්තු?

    ඉතාම නොබෝ දිනකදී මහනුවර රෝහලේ පෙණහලු බද්ධ කිරීමේ සැත්කම් පටන් ගන්නවා. ඒ වෙනුවෙන් තමයි මමත් මගේ සහෝදර වෛද්‍යවරු හැමදෙනාමත් වෙහෙසෙන්නේ.

    රසායනික පොහොර ආනයනකරුවෝ ගිවිසුම් ගතවෙයි

    0

    රසායනික පොහොර ආනයනයට අදාළව විදේශ සමාගම් සමඟ ගිවිසුම්වලට එළඹ්මට අවශ්‍ය ලිපි ලේඛන මේ වනවිට සකස් කරමින් සිටින බව පොහොර ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් සුජීව වලිසුන්දර මහතා NewswaveLK වෙත පැවසීය.

    සාමාන්‍ය ක්‍රමවේදය අනුව රසායනික පොහොර තොග මෙරටට ලැබීමට මාස තුනක කාලයක් ගතවන බව ඔහු සදහන් කළේය.

    ඒ අනුව ලබන වසරේ මාර්තු මාසය වනවිට රසායනික පොහොර තොග මෙරටට ලැබෙනු ඇතැයිද වලිසුන්දර මහතා විශ්වාසය පළ කරයි.

    විදුලිය කැපෙන වෙලාවල් මෙන්න..

    0

    දින කිහිපයක් යනතුරු පස්වරු 6.00 සිට රාත්‍රී 9.30 දක්වා පැයක පමණ කාලයක් ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

    නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වනතුරු මෙම විදුලි බිඳවැටීම සිදුවනු ඇති බව එම අමාත්‍යාංශය පැවසීය.

    විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ එම බලාගාරයෙන් සපයන මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක්කිරීමට දින 3ක පමණ කාලයක් ගතවිය හැකි බවට අනුමාන කරන බවය.

    දිවයින පුරා ඊයේ (03) සිදුවූ විදුලි බිඳ වැටීමෙන් නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටුණි.

    ගෑස් නැවක් ඇවිත් – ප්‍රමිති පරීක්ෂාවට කණ්ඩායමක් යයි

    0

    ලාෆ් ගෑස් සමාගමට අයත් නෞකාවක් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

    එහි ගෑස් සිලින්ඩරවල තත්ත්වය පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරීය පියවර ගෙන ඇත.

    මෙහි සාම්පල පාරිභෝගික අධිකාරීයේ රසායනාගාර මගින් පරීක්ෂාවට ලක්කෙරෙනු ඇත.

    ගෑස් සම්බන්ධයෙන් රට තුළ ගැටලුකාරී වාතාවරණයක් මතුව ඇති අතර දිවයිනට රැගෙන එනු ලබන සියලුම ගෑස් නෞකා පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.

    මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් නෞකාවකින් ලබාගත් ගෑස් සාම්පල පරීක්ෂා කිරීම් කටයුතු තවදුරටත් සිදුකරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

    ගෑස් නැතිව ආපනශාලා වැසීයාමේ අවදානමක්

    0

    ඉදිරි දින කිහිපය තුළ ආපනශාලාවල බත් ඇතුළු පිසූ ආහාර අළවි කිරීම නතරවීමට ඉඩ ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා newswaveLK වෙත සඳහා හන් කළේය.

    ලිට්ට්‍රෙෝ ගෑස් සමාගම වෙළෙඳපොළට ගෑස් සැපයූම නතර කිරීමට තීරණය කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ඔහු පැවසීය.

    ගෑස් සැපයුම අත්හිටුවීමත් සමග නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ලොකු කුඩා ආපනශාලා දින කිහිපයකට වැසී යාමේ අවදානමක් පවතින බවද හෙතෙම කියා සිටියේය.

    මහාචාර්ය සුනිල් ආරියරත්න “සාහිත්‍යරත්න”සම්මානයෙන් පිදුම් ලබයි

    0

    සිංහල සාහිත්‍යයට කළ මෙහෙවර උදෙසා සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාට ඊයේ (03) පැවති 2021 රාජ්‍ය සාහිත්‍යය සම්මාන උළලේ දී සාහිත්‍යරත්න සම්මානය ප්‍රදානය කර තිබේ.

    ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථියෙකු මෙම සම්මානයෙන් පිදුම් ලැබූ ඉතිහාසයේ පළමු අවස්ථාවට මෙය වේ.

    කරන්ට් නැතිවෙලේ විනාඩි 20ක් පාර්ලිමේන්තු සෝපානයේ හිරවුණු මන්ත්‍රීවරු දෙන්නා

    0

    හදිසියේ සිදුවූ විදුලිය බිඳ වැටීම හේතුවෙන් ඊයේ (3) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉඳුනිල් හා ලලිත් එල්ලාවල පාර්ලිමේන්තු විදුලි සෝපානයේ විනාඩි 20 ක පමණ කාලයක් සිරව ඇත.

    ආරක්ෂක අමාත්‍යංශයෙ අයවැය විවාදයට සහභාගීවීමට මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසෙන විදුලි සෝපානයට ඇතුළුවී සිටියදී මෙම සිදුවීමට මුහුණ දී ඇත.

    විදුලිය විසන්ධි වීමත් සමඟ පාර්ලිමේන්තුවේ විදුලි ජනන යන්ත්‍ර (ජෙනරේටර) ද නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් මන්ත්‍රීවරුන් දෙදෙනා සමග විදුලි සෝපානය අතරමග නතරවී වූ බව තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා පැවසීය.

    පසුව පාර්ලිමේන්තු නිලධාරීන්ට මේ බව දැන්වීමත් සමග ඔවුන් විසින් මන්ත්‍රීවරුන් දෙදෙනා විදුලි සෝපානයෙන් පිටතට ගෙන තිබේ.

    ඒ වනවිට තමන් හා ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා විනාඩි 20ක් පමණ විදුලි සෝපානයේ සිරවී සිටි බවද තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා සදහන් කළේය.

    අද එන්නත් මධ්‍යස්ථාන 144ක්

    0

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 144කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 04.12.2021

    ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි ජීවන වේදිකාවෙන් නික්ම යයි

    0

    ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අද (04) අලුයම කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වී තිබේ.

    ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ දින 21 ක් ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද දින අභාවප්‍රාප්ත වී ඇත.

    වේදිකාව ටෙලිනාට්‍ය ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන මතක රැසක් ඉතිරි කරමින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් සරත් චන්ද්‍රසිරි කලා කරුවාට newswaveLK අපි මෙලෙස නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

    ජනපති අබුඩාබි යද්දී ගුවන්තොටේ ප්‍රභූ පර්යන්තය මඟහැරියේ ඇයි?

    0

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පස්වරුවේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ප්‍රභූ පර්යන්තයෙන් නොගොස් සාමාන්‍ය මගී පර්යන්තය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි සිටි ගුවන් මගීන් සමග කතාබහක ද නිරත වී තිබේ.

    අනතුරුව පසුගියදා විවෘත කරන ලද ගුවන් යානා අංගනය ද නිරීක්ෂණය කොට ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැත්වෙන පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු පිරිස මෙලෙස පිටත්ව ගොස් තිබේ.

    ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාශ හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් 2016 වසරේදී “ඉන්දියානු සාගර සමුළුව” ආරම්භ කෙරිණ.

    මෙහි සිව්වන සමුළුව 2019 වසරේ දී මාලදිවයිනේදී පැවැති අතර එහිදී “ඉන්දියානු සාගර කලාපයේ සුරක්ෂිතතාව හා සම්ප්‍රදායික නොවන අභියෝග” පිළිබඳ පුළුල් සංවාදයට ගනු ලැබීය.

    “පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් පස්වන සමුළුව හෙට (04) සහ අනිද්දා (05) දෙදින තුළ අබුඩාබිහි දී පැවැත්වේ. මෙවර සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කෙරේ.

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටිති.

    මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන්නන්ට සුබ ආරංචියක්

    0

    මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියලෙනන්හට රුපියල් ලක්ෂයක ණය ආධාර මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇත.

    ඒ අනුව මිරිදිය මත්ස්‍ය වගාව සදහා පොකුණු සහ ටැංකි ඉදිකරන්නන් සදහා මෙම ණය ආධාර ලබාදීමට නියමිතය.

    මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට ජනතාව වැඩිවශයෙන් නැඹුරු කර ගැනීම සදහා ඉදිරියේදි තවත් ආධාර ලබාදෙන බව ජලජීවි වගා සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

    ශ්‍රී ලංකිකයෙකු පාකිස්ථානයේදී මරා පුළුස්සලා

    0

    පාකිස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකිකයෙකුට අමානුෂීය ලෙස පහරදී ඝාතනය කර පසුව පුළුස්සා දමා ඇති බවට වාර්තාවේ.

    එරට පන්ජාබ් හී සියල්කොට් නගරයේ කර්මාන්ත ශාලාවක කළමනාකරුවකු ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකිකයා සේවය කර ඇත.

    ඔහු නමින් ප්‍රියන්ත කුමාර ලෙස හඳුනාගනෙ ඇති බවද පාකිස්ථාන පොලිසිය සඳහන් කරයි.

    මරණයට පත්වු කුමාර විසින් තමන් සේවය කළ කර්මාන්ත ශාලාවේ අන්තවාදී ඉස්ලාමීය දේශපාලන පක්ෂයක් විසින් අලවා තිබූ පෝස්ටරයක් ගලවා කසල බඳුනකට තමා ඇතැයි වාර්තවේ.

    අදාල පෝසටරයේ කුරානයේ පද්‍යක්ද අන්තර්ගතව තිබී ඇති අතර එය දුටු කර්මාන්ත ශාලාවේ සේවකයින් ඊට උරණ වී කුමාරට පහරදී ඇතැයි වාර්තවේ.

    පසුව ඔහු අසල මාර්ගය වෙත ඇදගෙන ගොස් එහිදී සියයකට අධික පිරිසක් ඉතා අමානුෂික ලෙස කුමාර හට පහර දී ඇති අතර ඊට තරුණ පිරිස් වැඩි වශයෙන් එක්ව ඇති බවත් සඳහන්ය.

    අධික පහරදීම් වලින් එම ස්ථානයේදීම මරණයට පත් කුමාරගේ සිරුරට පහරදීමට පැමිණ පිරිස විසින් ගිණි තබා ඇති බවත් එහිදී ඔහුගේ සිරුර දැඩි ලෙස පිලිස්සී ඇති බවටද වාර්තවේ.

    සිද්ධිය එරට වෙලාවෙන් අද උදෑසන 11.26 පමණ සිදුව ඇති අතර එම ස්ථානයට පොලිසිය 11.46ට පැමිණියද ඒවන විටත කුමාර ඝාතනය වී අවසන් බව පාකිස්ථාන පොලිසිය සඳහන් කරයි.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් සියයකට අධික පිරිසක් මේවන විටත් අත් අඩංගුවට ගෙන ඇති බවද එරට පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය මේවන තෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.

    විදුලිබලේ නිලධාරීන් ජනපති කැබිනට්ටුවට කැඳවන්න යයි

    0

    ලංකා විදුලිබල මණ්ඩලය සතු යුගදනවි බලාගාරයේ කොටස් අයිතියෙන් සියයට 40ක ප්‍රමාණයක් ඇමෙරිකානු සමාගමකට විකිණීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු පැහැදිලි කරදීමට ලංකා විදුලි බල මණ්ඩලය හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ.

    එමෙන්ම රටේ විදෙස් සංචිතය, ඩොලර් ප්‍රමාණය සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරදීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාද කැබිනට් මණ්ඩලය හමුවට කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

    යුගදිවි බලාගාරය හා රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනාවලට පිළිතුරු දීම සදහා කැබිනට් මණ්ඩලය දැනුවත් විය යුතු බැවින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවේ.

    ගෑස් කාන්දු වී පිපිරීම – විමර්ශන වාර්තාව අනිද්දා ජනපතිට

    0

    දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෘහාශ්‍රිත ගෑස් සිලින්ඩර පුපුරා යෑම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාව ලබන 5 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙන බව ඒ සඳහා පත් කළ ජනාධිපති කමිටුවේ සාමාජික ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක මහතා newswave.lk වෙත පැවසීය.

    ගෑස් ආශ්‍රිත අනතුරු වාර්තා වූ සෑම ස්ථානයකටම ගොස් මෙම දිනවල අදාළ නිරීක්ෂණ කටයුතු සිදුකරන බවද ඔහු පැවසීය.

    එමෙන්ම පරීක්ෂණ කටයුතු සඳහා කමිටු සාමාජිකයින් ලිට්රෝ ගෑස් සමාගමේ නිරීක්ෂණයක ද නිරත වූ බව ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක මහතා සඳහන් කළේය

    දින කිහිපයක් සැරින් සැරේ විදුලිය නෑ

    0

    බිඳ වැටී තිබූ නොරොච්චොලේ බලාගාරයේ විදුලි ධාරිතාව සම්පූර්ණයෙන්ම ජාතික විදුලි පද්ධතියට එක් කරන තුරු ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා කෙටි කාලීන විදුලි විසන්ධිවීම් සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    ඒ අනුව දිවයිනේ පළාත් කිහිපයක කෙටි කාලීන විදුලි විසන්ධි වීම් වාර්තා වේ.

    පැය ගණනාවක් මෙලෙස විදුලිය විසන්ධි වී තිබු බවත් ඇතැම් ප්‍රදේශවල මේවන විටත් විදුලිය විසන්ධි වී ඇති බවත් newswave.lk පාඨකයෝ දැනුම් දුන්හ.

    ලංවිම ඉංජිනේරුවරු අකුරට වැඩ ක්‍රියාමාර්ගය අත්හිටුවයි

    0

    ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් පිරිසක් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මීට ස්වල්ප වේලාවකට පෙර නතර කළ බව ලංවිම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.

    යුගදනවි බලාගාරයේ කොටස් අයිතිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට විරුද්ධව ඉංජිනේරු සංගමය එම අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය කළේය.

    එම ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් ලබන සඳුදා ලබාදෙන බව පොරොන්දුවක් ලබන හෙයින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කළ බව ද සෞම්‍ය කුමාර වඩු මහතා කීය.

    මේ අතර දිවයින පුරා විදුලිය විසන්ධි වීම යථා තත්ත්වයට පත් කරන බව ද ඔහු සඳහන් කළේය.

    මේ වන විටත් ප්‍රදේශ කිහිපයකට විදුලිය ලබා දී ඇති අතර තව පැය කීපයක් ඇතුළත දිවයිනම ආවරණය වන පරිදි විදුලිය ලබා දිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

    වයඹ ආණ්ඩුකාරවරයාටත් කොවිඩ්

    0

    වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාට කොවිඩ් ආසාදිතව ඇතැයි තහවුරු වී තිබේ.

    කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කළ පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් ආසාදිතව ඇතැයි තහවුරු වූ බව ආණ්ඩුකාර කාර්යාලයට සම්බන්ධ තොරතුරු අනාවරණය කළේය.