fbpx
තවත්

    රාජ්‍ය සේවයේ වැඩකරන දින ගණන සීමා වෙන හැටි

    0

    සෑම සිකුරාදා දිනයකදීම රාජ්‍ය සේවකයන් නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    ඒ අනුව රාජ්‍ය සේවකයන් රාජකාරියට පැමිණිය යුතු දින ගණන සතියකට දින 4ක් දක්වා අඩුවන බව ඇමතිවරයා සඳහන් කළේය.

    රටේ පවතින ඉන්ධන හා මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙම පියවර ගන්නා බව ඔහු පැවසීය.

    කෙසේවෙතත් ඉදිරියේදි මේ සම්බන්ධයෙන් වන යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    නෑ කිය කිය ගෑස් පෙන්නූ ලාෆ්ස් මිල

    0

    ගෑස් මිල ඉහළ නොදමන බවට පවසා තිබියදීත් ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ඉහළ නංවා තිබේ.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6,850 දක්වා ඉහළ ගොස් ඇත.

    කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,740 දක්වාත් ඉහළ නංවා තිබේ.

    ලාෆ්ස් සමාගම ගෑස් සිලින්ඩර් වෙළෙදපොලට නිකුත් කිරීම අද යළි ආරම්භ කළේ මාස ගණනාවකට පසුවයි.

    ලාෆ්ස් ගෑස් වෙළෙඳපොළට නිකුත් කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ ජනතාව ගෑස් ලබාගැනීමට දිගු පෝලිම්වල රැඳී සිටි.

    මත්කුඩු ජාවාරම්කරුවන් පොලීසියට අභියෝග කරයි – එකදිගට වෙඩිතැබීම් රැසක්

    0
    Israeli practice shooting with in a shooting range called Magnum 88 in Jerusalem, on March 08. 2007. Photo by Olivier Fitoussi /Flash90. *** Local Caption *** ?????????? ??? ???? ??? ??? ????? ???? ??

    මෙරටින් පළා ගොස් ඩුබායි හී රැදී සිටිමින් මත්කුඩු ඡාවාරමේ නිරතව සිටින පාතාලයේ ප්‍රබලයින් තමන්ව පාවාදෙන්නන් ඝාතනය කිරීමට පටන්ගෙන ඇතැයි බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.

    පසුගිය දින කිහිපය තුළ ඩුබායිහී රැදී සිටින පාතාල අපරාධකරුවන්ගේ මෙහෙයුම්වලට අනුව ඝාතන සහ ඝාතන තැත්කිරීම් කිහිපයක්ම සිදුවූ අතර ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ ඊයේ සවස් කාලයේදී අහංගමිනි.

    දික්වැල්ලේ පදිංචිකරුවෙක් වන 27 හැවරදි තරුණයෙක් එහිදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වන අතර ඔහු හරක් කටා නැමැති පාතාලයේ ප්‍රබලයාගේ මත්කුඩු ඡාවාරමට සම්බන්ද පුද්ගලයෙකි.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මෑතකදී හොරොයින් කිලෝ 200 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් අතර එම මත්කුඩු තොගය හරක් කටාට අයත් බව අනාවරණය විය. එම ඡාවාරම සම්බන්ධවෙන් මෙම තරුණයාවද අත්අඩංගුවටගත් අතර ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් ඉරාන් බෝට්ටුවකින් මත්කුඩු තොගය ගොඩබිමට රැගෙන ඒමට ඔහු සම්බන්ධ වී සිටි බව කියැවිණි.

    පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු හරක් කටා ගැන තොරතුරු හෙළිකර තිබීම මෙම ඝාතනයට මුල් වී ඇතැයි පොලීසිය සැකකරයි.

    ඩුබායි හී රැදී සිටින මත්කුඩු ඡාවාරම්කරුවන් පිරිසක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් කළ මත්කුඩු ඡාවාරමක රජයේ සාක්ෂිකරුවෙක් වූ තැඹීලි වෙළෙන්දෙක්වද ඉකුත් සතියේදී අලුත්ගමදී වෙඩි තබා ඝාතනයකර තිබුණි. එසේම තවත් සාක්ෂිකරුවෙක් වූ ඔහුගේ මස්සිනා යැයි සැකකර ඊට දින කිහිපයකට පෙර කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට බැසිටියන් මාවත බස් නැවතුම් පොල ආසන්නයේදීද හිටපු කමාන්ඩෝ භටයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබුණි.

    මේ වන විට ඩුබායි හී රැදී සිටින පානදුරේ කුඩු සළිඳු නැමැති පාතාල අපරාධකරුගේ මත්කුඩු ඡාවාරම ගැන තොරතුරු හෙළිකළ බව කියන සළිඳුගේ මත්කුඩු ඡාවාරමට සම්බන්ධ පුද්ගලයෙක්ටද ඉකුත් සතියේ පානදුරේදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.

    මෙම ඝාතන සියල්ලකගේම වෙඩික්කරුවන් ඉලක්කයට වෙඩි තැබීම සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති පුද්ගලයින් බව පොලිස් විමර්ශන විලින් පෙනී ගොස් ඇත.

    වතුර බිල ඊ-මේල් මගින්

    0

    ජලබිල්පත් ඊමේල් මගින් ලබාගැනීම සඳහා ලියාපදිංචි වන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

    එහි නියෝජ්‍ය වාණිජ සාමාන්‍යාධිකාරි පියල් පද්මනාථ මහතා සඳහන් කරන්නේ 0719399999 දුරකථන අංකයට ජල ගිණුම් අංකය හා ඊමේල් ලිපිනය යොමුකිරීමෙන් ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවයි.

    බිල්පත් මුද්‍රණය කිරීමට අවශ්‍ය කඩදාසි නොමැති නිසා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අර්බුදයකට ලක්ව සිටින බව ඔහු සඳහන් කළේය.

    කෙසේ වෙතත් ඉදිරි මාස 03 ක කාලය සඳහා ජල බිල්පත් මුද්‍රණය කිරීමට අවශ්‍ය කරන කඩදාසි එම මණ්ඩලය සතුව පවතින බවද නියෝජ්‍ය වාණිජ සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය

    ප්‍රයිවට් බස් හෙට දුවයිද?

    0

    පවතින ඩීසල් අර්බුදය හමුවේ පෞද්ගලික බස් රථ ධාවනය හෙට (06) සිට 50%ක් දක්වා අඩු කරන බව බස් සංගම් පවසයි.

    ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ලංගම ඩිපෝ හරහා ඩීසල් ලබාදෙන බව පැවසුවද එය ප්‍රායෝගික තත්ත්වයක් නොවන බවයි.

    එබැවින් මෙම තීරණය ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

    අන්තර් පළාත් පෞද්ගලික බස් සංමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පවසන්නේ බස්රථ ධාවනය අඩාලවීම හේතුවෙන් දුරගමන් සේවා බස්රථ ද ධාවනය අඩාලවන බවයි.

    මේ අතර මගී ප්‍රවාහන බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා සඳහා ඉන්ධන ලබාදීමේ වැඩපිළි‌වෙළක් සකස් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

    එහි ලේකම්, ආර්.ඩබ්ලිව්.ආර් පේමසිරි මහතා පැවසුවේ, විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා සමග සාකච්ජා කර මේ සඳහා අවශ්‍ය පියවර ගැනීමට තීරණය කර ඇති බවයි.

    මන්ත්‍රී අමරකීර්ති ඝාතනයට ලක්වූ රෙදිපිළි වෙළඳසලේ කළමනාකරුත් අත්අඩංගුවට

    0

    පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ගුණතිලක ඝාතනය සම්බන්ධයෙන් නිට්ටඹුවේ රෙදිපිළි වෙළද සැළක කළමනාකරුවෙක් සහ ත්‍රීරෝද රථ රියදුරෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. කළමනාකරු 53වන වියේ පසුවන්නෙක් අතර ත්‍රීරෝද රථ රියදුරු 27 වන වියේ පසුවන හපුලේ පදිංචිකරුවෙකි.

    අමරකීර්ති අතුකෝරාළ මහතා ආරක්ෂක නිලධාරියා ඝාතනය වූ රෙදිපිළි වෙළද සැලේ කළමනාකරු එසේ අත්අඩංගුවට පත්ව තිබේ. ත්‍රීරෝද රථ රියදුරු එම වෙළඳ සැල ඉදිරිපිට ත්‍රීරෝද රථය නවතාගෙන කුළී ගමන් යන අයෙකි.

    මෙම අත්අඩංගුවට ගැවීමත් සමඟ අතුකෝරාල මන්ත්‍රීවරයාත් ආරක්ෂක නිලධාරියාත් ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකපිට පුද්ගලයින් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්ස මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    අරපිරිමැසුම්දායී නවෝත්පාදනය ලිපක් ලෙස පැමිණිය හැක

    🖊️ ආචාර්ය දිනෙත් සමරවික්‍රම විසිනි

    ගෑස් හිඟය සහ භූමිතෙල් හිඟය අද ශ්‍රීලංකාව වෙලාගත් එක් අර්බුදකාරී තත්ත්වයකි. ග්‍රාමීය ජනතාවට වඩා නාගරික ජනතාව ඉන් ඉමහත් ලෙස පීඩාවට පත්වී ඇත.
    ඉන්ධන පෝලිම්, කලබැගෑනි දිනපතා ප්‍රවෘත්තිවල අනිවාර්යය අංගයක් වී ඇත.
    සමහර නාගරික ජනතාව පොල්කටු අඟුරු ලිප් වෙතද, විදුලි උදුන් වෙතද යොමුවී ඇත. එලෙසටම විකල්ප ඉන්ධන ලිප් වල ඉල්ලුම සහ සැපයුම අතර වෙනසින් පීඩාවට පත්ව ඇත්තේද අහිංසක පුරවැසියන්මය.

    මින් පෙර ලිපියකින් අප සාකච්ඡා කළ  අරපිරිමැසුම්දායී නවෝත්පාදන මාතෘකාවෙහි තවත් දිගුවක් ලෙස මෙම ලිපිය සංග්‍රහ කිරීමට කැමැත්තෙමි.

    දෙස් විදෙස් යූටියුබ් නාලිකාවල ජනප්‍රිය මාතෘකාවක් ලෙස අරපිරිමැසුම්දායී ලිප් රාශියක් අපහට අධ්‍යයනය කළ හැක.

    අධික උද්ධමනකාරී වාතාවරණය හමුවේ, විදෙස් විනිමය අර්බුදය තුල තවදුරටත් පෙට්‍රෝලියම් ඉන්ධන මත යැපෙන ජීවන රටාවෙන් යම් දුරකට හෝ මිදීමට අපට සිදුවී ඇත. එය අප සුපුරුදු  “පහසු කලාපයෙන්” (comfort zone) ඉවත්වීමකි. අපි පහසු කලාපය තුල රැඳෙන තෙක් නවෝත්පාදනය වෙත නැඹුරු නොවන්නෙමු. මෙනිසා අද තමාට හැකි ආකාරයට නිවසේදී ම අරපිරිමැසුම්දායී ලිප් කරා ජනතාවගේ යොමුවීම සාධනීයව දකින්නට ලැබේ.

    නවෝත්පාදිත ලිප් වර්ග

    මූලික ඉන්ධන වර්ග අනුව ජනතාව විසින් නවෝත්පාදිත ලිප් වර්ග කාණ්ඩ කොට දැක්වීමට කැමැත්තෙමි

    1.  දර හෝ පොල්කටු යොදාගත් ලිප් (දර වායු ලිප)
    2.  අඟුරු ලිප්
    3. ඉවත ලන තෙල් භාවිතා කරන ලිප්
    4. ජීවවායු ඒකක
    5. රොකට් ලිප්

    තාපය හානි නොවන සේ තාප සන්නායක සහ පරිවාරක ද්‍රව්‍ය, විද්‍යාත්මකව යොදාගත් ලිප් වර්ග මෙන්ම, නිසි විද්‍යාත්මක පදනමක් නොමැතිව හුදෙක් නිර්මාණ ලෙස සකසා ඇති ලිප් වර්ග ද අප හට නිරීක්ෂණය කළ හැක.
    එහෙත් සෑම නවෝත්පාදන සංකල්පයක්ම එකසේ වැදගත් බව අවධාරණය කරන්නෙමු.

    එක් එක් වර්ගවල නවෝත්පාදිත ලිප් සළකා බලමු

    දර වායු ලිප්

    දර භාවිතා කරන ලිප් විවිධ  ආයතන හෝ පුද්ගලයින් විසින් නවෝත්පාදනය කර ඇත. සමහර ලිප් වර්ග බාහිර පංකාවක් හරහා කාර්‍යක්ෂම ව දර දහනයෙන් ඉහල සාර්ථකත්වයක් සහිතව නිර්මාණශීලී ලෙස සකසා ඇත. එමෙන්ම පංකා යොදා නොගෙන, එනමුදු  කාර්‍යක්ෂමව දහනය වන විශේෂිත ලිප් වර්ගද පවතී. සංචාරයකදී වුවද, විදුලිය අවශ්‍යය නොවන එහෙත් කාර්‍යක්ෂම ලිප් වර්ග ලොව පුරා නිර්මාණය වී ඇත.

    දර හෝ පොල්කටු යොදාගත් ලිප් වල හොඳ දැල්ලක් සහ තාපයක් ලැබුනද, අධිකව දැලි සහ දුම අත්විඳීමට ගෘහණියන් හට සිදුවී ඇත.  මේ හේතුවෙන් ගෘහස්ථ වායු දූෂණය අධික වී ඇත. අතීතයේ සිට  දර ලිපට සුළං පිඹීම හේතුවෙන්  ස්වසන ආබාධ රාශියක්  කාන්තාවන් අතර පැවතියද, පෙට්‍රෝලියම් ගෑස් ලිප් භාවිතය ප්‍රචලිත වීමත් සමග එම ප්‍රවනතාව බෙහෙවින්ම අඩු වී ඇත.

    අඟුරු ලිප්

    දර ලිපට සාපේක්ෂව අඩු වායු දූෂණයක්, වැඩි තාපයක් ලබාදෙන පහසු ක්‍රමවේදයක් ලෙස අඟුරු ලිප් හඳුන්වා දිය හැක. ශ්‍රී ලංකාවේ අඟුරු ලිප් ඉතිහාසය සැලකීමේදී රාජ්‍ය දැව සංස්ථාවේ “ටිම්කෝ ලිප්” සහ “ටිම්කෝ දැව අඟුරු” පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ලැබින. කාලයත් සමග පෙට්‍රෝලියම් ගෑස් ලිප් ප්‍රචලිත වීමත් සමග අඟුරු ලිප් ජනතාවගෙන් ඈත් විය.

    දරවලට සාපේක්ෂව ඉහල තාපජනක අගයයක් අඟුරු වල ඇති අතර, පොල්කටු අඟුරු වල තාපජනක අගය දැව අඟුරු වලට සාපේක්ෂව ඉහල අගයයක් දරයි.

    අඩු ඉඩකඩක නාගරිකව වෙසෙන ජනතාව හට දර ලිප් භාවිතය අපහසු වීම හේතුවෙන් අඟුරු ලිප් කරා නැඹුරුවක් ඇතිකර ගත්හ. එහෙත්, එම සංකල්පය ප්‍රායෝගික කිරීමේදී දක්නට ලැබුන ප්‍රධානතම ගැටළුව වනුයේ පොල්කටු අඟුරු සොයා ගැනීමේ අපහසුතාවයි.

    නිසි පරිදි පොල්කටු අඟුරු මිළදී ගැනීමට නොමැති වීම හේතුවෙන් බොහෝදෙනෙක් අසීරු භාවයට පත් වූහ. සමහර අයෙක් ඒ සඳහා “චාකෝල් බ්‍රිකට්ස්” භාවිතා කරති.

    පොල්කටු අඟුරු නිසි බෙදාහැරීමක් නොමැතිවීමත් ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීමත් ප්‍රමුඛව දක්නට ලැබේ.

    වෙළෙඳපොලෙහි පවතින අඟුරු ඉල්ලුම සැළකීමේදී ව්‍යාපාරිකයෙකුට විශාල වෙළඳපොළ අවකාශයක් සැපිරීමට හැකියාව පවතී. දැනට පොල්කටු අඟුරු කර්මාන්ත උපයෝගීතා සඳහා බෙහෙවින් සැකසුවද, නිපදවීමේදී පරිසර හිතකාමී නොවීම හේතුවෙන් ගැටළුකාරී තත්ත්ව පැණ නැගී ඇත.

    භාවිතයෙන් ඉවත් කරන තෙල්වර්ග දහනය කරන ලිප්

    පෙට්‍රෝලියම් ඉන්ධන හිඟය සහ ධරණීය භාවිතය සළකා බැලීමෙන් ලොවපුරා නව නිර්මාණ කරුවන් විවිධාකාර ලිප් වර්ග නිර්මාණය කර ඇත. කිහිපවරක් භාවිතා කොට ඉවතලන තෙල්වර්ග දහනය කිරීමට අරපිරිමැසුම්දායී නවෝත්පාදන ලිප් වර්ග සකසා ඇත. එම ලිප් ඉවතලන ටින් කැබලි වලින් වුවද සකසා ගත හැක. මෙවැනි සරළ ලිප් වර්ග රාශියක් අන්තර්ජාලය තුල දක්නට ඇත. නිවසේදීම අප සැමට පහසුවෙන් ඒවා සකසා ගත හැක.

    ජීවවායු ලිප්

    අනාදිමත් කාලයක සිට ජීවවායු ඒකක පිළිබඳව පර්‍යේෂණ සිදුව, ජනතාව වෙත හඳුන්වා දී තිබුනද, ඒවා එතරම් ප්‍රචලිත වූයේ නැත. එයට හේතුන් ලෙස සාම්ප්‍රදායික ව විශාල ඒකක ගොඩනැංවීමත්, ගොම සහ අනෙකුත් අමුද්‍රව්‍ය සපයාගැනීමේ දුෂ්කරතා, සහ ඒ සඳහා වැඩි ඉඩක් අවශ්‍ය වීමත් ය. ඒකකයේ නිපදවන ජීවවායුව නිවසේ ඇති සාමාන්‍ය ගෑස් කුකර් එකකට සැපයීමට හැක.

    සාම්ප්‍රදායික ජීවවායු ඒකක වල පවතින දුර්වලතා සලකා බලා අරපිරිමැසුම්දායී නවෝත්පාදිත ජීවවායු ඒකක ප්ලාස්ටික් බැරල්, පීවීසී බට, බර වාහන ටයර්-ටියුබ් භාවිතයෙන් සකසා ඇත. නවෝත්පාදිත ජීවවායු ඒකක අරපිරිමැසුම්දායී මෙන්ම භාවිතයෙන් පහසුය. ඉන් සැකසෙන දියර පොහොර නැවත වගාවන් වෙත යොමු කළ හැක.

    නාගරික පරිසරයක, යම් ඉඩකඩ සහිත නිවෙසක වුවද  පහසුවෙන් ජීවවායු ඒකක තමාටම සකසා ගත හැක. එය භාවිත කිරීමෙන් පෙට්‍රෝලියම් ගෑස් ලිපකින් අපේක්ෂිත කාර්යය මනාව ඉටු කරගත හැක.

    රොකට් ලිප

    දරවායු ලිපෙහි සරළම එහෙත් වැදගත්ම නවෝත්පාදනය වන රොකට් ලිප  බෙහෙවින් කාර්‍යක්ෂම ලිපකි. එය බාහිර ස්ථානයක දී වුවද, විදුලිය හෝ විදුලි පංකා නොමැතිව ක්‍රියාත්මක කළ හැක. මෙවැනි ලිප් සංචාරකයින් හට “කෑම්පින්ග්” වලදී භාවිතය සඳහා සැකසූවකි. මීට අමතරව බියර් කෑන් වලින් සැකසූ, මද්‍යසාර ඉන්ධනයක් ලෙස යොදාගත් කෑම්පින්ග් ලිප් දක්නට ඇත.

    මද්‍යසාර ලිප


    මද්‍යසාර ලිප් මගින් නිල් පැහැ දැල්ලක් ලබාදෙන අතර රොකට් ලිපෙන් වේගවත්ව “ආවේගශීලී” (speed and aggressive) දැල්ලක් ලබා දෙයි. යූටියුබ් සහ අන්තර්ජාලය තුලින් ඒ පිලිබඳව පහසුවෙන්ම අධ්‍යයනය කළ හැක.

    රොකට් ලිපක් බොක්ස් බාර් බට කැබලි වලින් පහසුවෙන් නිර්මාණය කළ හැක. එහි අංශක 45 ක ආනතියකින් යුතු බටයෙන් දර යොදන අතර තිරස් බටයෙන් සිසිල් වාතය ඇදගනී. සිරස් බටයෙන් දැල්ල නිකුත් වේ. සිරස් බටයට වලං රඳවනයක් සවිකිරීමෙන් ආහාර පිසීම කාර්‍යක්ෂම ලෙස සිදු කළහැක.

    ලිප කාර්‍යක්ෂම කිරීමේ විද්‍යාත්මක පදනම

    ලිපක අරමුණ වන්නේ, ඉන් නිපයෙන තාපය හානියකින් තොරව ඉලක්කගත බඳුන වෙත කාර්‍යක්ෂම ලෙස ලබාදීමයි. තාපය ගමන් කරන ආකාර තුනකි. මෙනිසා තාප හානියක් සිදුවේ. එය වලක්වාගැනීමට උපායමාර්ගිකව ලිප නිර්මාණය කල යුතුය.

    තාපහානිය සිදුවනුයේ  සන්නයනය, සංවහනය සහ විකිරණය යන ස්වභාවික සංසිද්ධි තුන අනුවය. කාර්‍යක්ෂම ලිපක සන්නායක සහ පරිවාරක ද්‍රව්‍ය නිසිලෙස යෙදීමෙන් වැඩිදියුණු කිරීම කළ හැක. බොහෝ ලිප් මැටි, චීනච්චට්ටි, යකඩ ඇලුමිනියම් වැනි ද්‍රව්‍ය වලින් සකසා ඇත.

    මැටි හෝ සිමෙන්ති හෝ ලී  වැනි පරිවාරක ද්‍රව්‍ය  භාවිතයෙන් බාහිර ආවරණය සැකසූ ලිප් දැකිය හැක. දර හෝ පොල්කටු යොදන ස්ථානය මැටිවලින් සැකසූ ලිප් මෙන්ම ලෝහ වලින් නිපයූ ලිප් ද දක්නට ඇත. එලෙසටම සමස්ත ඒකකයම ලෝහවලින් නිපයූ ලිප් වෙළෙඳපොලෙහි දක්නට ඇත.

    කිරිහට්ටි හෝ සිමෙන්ති මල් පෝච්චි වලින්ද, ගඩොල් කැට යොදා තමන් හට පහසුවෙන්ම කාර්‍යක්ෂම ලිප් සකසා ගැනීමට උපදෙස් අන්තර්ජාලය තුල පවතී.

    සියල්ල බුද්ධිමත්ව අධ්‍යයනය කිරීමෙන් ඔබට නිවසේදීම  අරපිරිමැසුම්දායී ලෙස ලිපක් නවෝත්පාදනය කළ හැක.

    අධ්‍යයනය, විමර්ශනය, විශ්ලේෂණය නවෝත්පාදනයක පදනමයි. යම් සමාජ-ආර්ථික අර්බුදයකදී අරපිරිමැසුම්දායී නවෝත්පාදනය නිතැතින්ම ජනතාව තුලින්ම බිහිවේ. අප සැවොම අරපිරිමැසුම්දායී නවෝත්පාදනය අවදි කර ගනිමු.

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම
    ජ්‍යෙෂ්ඨ පර්‍යේෂණ තාක්ෂණඥ
    ද්‍රව්‍ය තාක්ෂණ අංශය
    කාර්මික තාක්ෂණ ආයතනය
    363, බෞද්ධාලෝක මාවත
    කොළඹ 07
    ඊමේල් [email protected]

    ගලිගමුවේ නිවසකින් පුරාවිද්‍යා වටිනාකම් ඇති භාණ්ඩ රැසක් මතුවේ

    0

    ගලිගමුව බෝයගම පිහිටි නිවසක් ඊයේ පරික්ෂාවට ලක්කල විශේෂ කාර්ය බලකාය පුරා විද්‍යාත්මක වටිනාකම් ඇති භාණ්ඩ කිහිපයක් සමඟ නිවෙස් හිමියා අත්අඩංගුවයට ගෙන තිබේ.

    නාරම්බැද්ද සහ වවුනියාව විශේෂ කාර්ය බලකා කඳවුරුවල නිලධාරීන් විසින් ඒකාබද්ධව මෙම වැටලීම කර ඇත්තේ පුරා විද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන නීති විරෝධිව කැණීම්කර ගොඩගන්නා පුරා විද්‍යාත්මක වටිනාකම් ඇති භාණ්ඩ මෙම නිවසේ සඟවා ඇතැයි ලද තොරතුරකට අනුවය.

    මෙම වැටලීමේදී ඉපැරණි අක්ෂර සහිත ගල්පතුරු 17ක් ගල්වලින් සකස් කළ කුප්පි 06 ක් එහිදී එම නිවසේ තිබී සොයාගෙන ඇත. ඊට අමතරව පොළොවේ ඇති ද්‍රව්‍ය හදුනා ගැනීමේ ස්කෑන් යන්ත්‍රයක් සහ බෝර 12 ගිනි අවියක්ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් එම නිවසේ තිබී සොයාගෙන ඇත.

    අත්අඩංගුවට ගත් නිවෙස් හිමියා 59 වන වියේ පසුවන්නෙකි. වැඩිදුර විමර්ශනය සඳහා සැකකරු පිංදෙනිය පොලිස් ස්ථානයට භාරදී තිබේ.

    පොලිස් ලේකම්-පොලිස්පති ගැන රා.සේ.කො. තීන්දුවක් ගන්න යයි

    0

    මහජන ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා සිය බලය අභිබවා සිදුකර ඇති පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් ලබන 07 වෙනිදා රැස්වන රාජ්‍ය සේවා කොමිෂම විශේෂ අවධානයටකට යොමු කිරීමට නියමිතව ඇත.

    සේවා අවශ්‍යතා මතයැයි සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක්ට ස්ථාන මාරු කිරීම සහ දේශපාලන බලපෑම් මත පොලිස් ස්ථානාධිපතිවරු 182 දෙනෙක් පත්කිරීම යන කරුණු දෙක කෙරෙහි එහිදී විශේෂ අවධානයකට යොමුවනු ඇතැයි රාජ්‍ය සේවා කොමිසමේ තොරතුරු අනාවරණය කළේය.

    ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වාර්තා කැදවා ඇති බවත් එම වාර්තතා මෙදින සමාලෝචනය කිරීමට නියමිතව ඇති බවත් එම තොරතුරු සඳහන් කළේය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අජිත් රෝහණ, රජිත ශ්‍රී දමින්ද සහ කමල් සිල්වා යන නිලධාරීන් තිදෙනා කොමිෂමටත් නොදන්වා හදිසියේම ස්ථාන මාරු කිරීමට තරම් ඇතිවූ සේවා අවශ්‍යතාවය කුමක්දැයි මෙහිදී විශේෂ අවධානයට යොමු වනු ඇත.

    පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීම සහ නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීමේ බලය ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂමටය. පරිපාලනම පහසුව සඳහා එම බලතලවලින් කොටසක් පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක ලේකම්වරයාට පවරා තිබේ.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනාගේ ස්ථාන මාරුවීම් සහ පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීම් සම්බන්දයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා සිය බලය අභිබවා කටයුතු කර ඇති බවයි කොමිෂමේ නිරීක්ෂණය වී ඇත්තේ.

    ඒ අනුව ලබන 07 වෙනිදා කොමිෂන් සභාව විසින් එම ස්ථාන මාරුවීම් සහ ස්ථානාධිපතිවරු පත්කිරීම් සම්බන්ධයෙන් තීරණයක්ද ගැනීමටද නියමිතය.

    අදත් වැසි – තද සුළං – අකුණු

    0

    බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද (05) දිනයේ දී ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යාඥයන් ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

    කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. මන්නාරම සිට පුත්තලම දක්වා සහ ගාල්ල සිට සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

    මන්නාරම සිට පුත්තලම දක්වා සහ ගාල්ල සිට සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර විටින් විට රළු විය හැක. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

    ප්‍රවීන සිනමා නිළියක් දිවියට සමුදෙයි

    0

    ප්‍රවීණ සිනමා නිළියක මෙන්ම, විත්‍රපට නිෂ්පාදිකාවකද වූ සුමනා අමරසිංහ මහත්මිය අද (5)අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    70 දශකයේදී මෙරට සිනමාවේ ජනප්‍රිය නිළියකව සිටි ඇය විවාහයෙන් පසුව රංගනයට වඩා චිත්‍රපට නිෂ්පාදනයට ප්‍රමුඛතාව දී කටකළාය.

    සිංහල සිනමාවේ ජනප්‍රිය නළුවකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ද වූ රෝයි ද සිල්වා සමඟ විවාහ වී සිට ඇය මිය යනවිට 74වැනි වියේ පසුවිය.

    60 දශකයේදී ජනතා පුවත්පත විසින් සංවිධාන කරනලද “ලස්සන මුහුණ “නැමැති තරඟයේ දෙවැනි ස්ථානය ලද ඇය ඒ ඔස්සේ සිනමා වරම් ලැබීය.

    පිපෙන කුමුදු චිත්‍රපටයෙන් සිනමා වරම් හිමිකරගත් සුමනා අමරසිංහ අනතුරුව සූකිරි කෙල්ල,ඔබයි මමයි,සුනේත්‍රා, රෑන ගිරවු,මේ දෑස කුමකටද,දැන් මතකද,ටොම් පචයා, රෑ දැනියෙල් දවල් මිගෙල්,ලොකුම හිනාව,ගෙදර බුදුන් අම්මා,තණ ගිරවි,චෙරියෝ ඩොක්ටර්,චෙරියෝ සාජන්ට්,කඩවුණු පොරොන්දුව (නව නිෂ්පාදනය) ,හතර පෙරළිය,මිහිඳුම් සිහින වැනි චිත්‍රපට රාශියකට රංගනයෙන් දායකවිය.

    සිය සැමියා වූ අභාවප්‍රාප්ත රෝයි ද සිල්වා අධ්‍යක්ෂනය කළ බොහොමයක් චිත්‍රපට නිෂ්පාදන කරනු ලැබුවේ ද ඇය විසිනි.

    අභාවප්‍රාප්ත සුමනා අමරසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

    ජලාශ 3ක ගංවතුර අවදානම ඉවතට

    0

    නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගඟට නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉවත් කර තිබේ.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසන්නේ පසුගිය පැය 24 තුළ එම ගංගා ද්‍රෝණිවලට සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා නොවීම නිසා එම ජල මට්ටම් පහළ බැසයමින් පවතින බැවින් ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කරන බවයි.

    පසුගිය දිනවල නිල්වලා ගංඟාවේ තල්ගහගොඩ, පානදුගම, පිටබැද්දර හා ඌරව ජලමිනුම් ස්ථානවලින් වාර්තා වූ තරමක් ඉහල ජල මට්ටම් මේ වන විට සැලකිය යුතු ලෙස පහල යමින් පවති. එම ගංඟාවේ ගංවතුර සම්බන්ධයෙන් වූ අවදානම් සහගත තත්ත්වය මේ වන විට පහව යමින් පවතී.

    ඒ අනුව නිල්වලා ගඟ ද්‍රෝණියේ පහල ධාරා ප්‍රදේශයේ පහත් බිම්වල තවදුරටත් පිටාර ජලය රැඳී ඇත්නම් එම ජලයද ඉක්මනින් ක්‍රමයෙන් බැස යනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසයි.

    පසුගිය දිනවල ගිං ගංඟාවේ තවලම හා බද්දේගම ජලමිනුම් ස්ථානවලින් වාර්තා වූ තරමක් ඉහල ජල මට්ටම් මේ වන විට සැලකිය යුතු ලෙස පහල යමින් පවති.

    ඒ අනුව ගිං ගඟ ද්‍රෝණියේ පහල ධාරා ප්‍රදේශයේ පහත් බිම්වල තවදුරටත් පිටාර ජලය රැඳී ඇත්නම් එම ජලයද ඉක්මනින් ක්‍රමයෙන් බැස යනු ඇත.

    කළු ගඟ ද්‍රෝණියට සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා නොවීම නිසාත්, පසුගිය දිනවල එම ගංඟාවේ පුටුපාවුල, ඇල්ලගාව, රත්නපුර, මගුර හා කලවැල්ලෑව(මිල්ලකන්ද) ජලමිනුම් ස්ථානවලින් වාර්තා වූ තරමක් ඉහල ජල මට්ටම් මේ වන විට සැලකිය යුතු ලෙස පහල යමින් පවතින නිසාත් එම ගංඟාවේ ගංවතුර සම්බන්ධයෙන් වූ අවදානම් සහගත තත්ත්වය මේ වන විට පහව යමින් පවතී.

    ඒ අනුව කළු ගඟ ද්‍රෝණියේ පහල ධාරා ප්‍රදේශයේ පහත් බිම්වල තවදුරටත් පිටාර ජලය රැඳී ඇත්නම් එම ජලයද ඉක්මනින් ක්‍රමයෙන් බැස යනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    කටුනායක රඳවා තිබෙන රුසියානු ගුවන් යානය ගැන රජයෙන් ප්‍රකාශයක්

    0

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මේ වනවිට පවතින Aeroflot මගී ගුවන් යානය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි දැක්වෙන්නේ මෙම කාරණය පිළිබඳ තවමත් අධිකරණයේ අවසන් තීරණය අපේක්ෂාවෙන් සිටින බවය.

    එමෙන්ම මේ පිළිබඳ සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ද සාකච්ඡා කෙරෙමින් පවතින බව විදේශ කටයුුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

    දැනට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) ඇති Aeroflot මගී ගුවන් යානා SU-289 ගුවන් යානය පසුගිය 2 වන දින බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණය විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන්ගත වීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලදී.

    මිල ඉහළ යන්නෑ – ලාෆ්ස් ගෑස් හෙට සිට නිකුත් වෙයි

    0

    ලාෆ් ගෑස් හෙට (5) දිනයේ සිට වෙළෙඳපොළට නිකුත් කරන බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි.

    ගෑස් මේට්ට්‍රක් ටොන් 3500ක් රැගත් නැවක් මෙරටට පැමිණි අතර එහි ගෑස් ගොඩබෑම මේවනවිට ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.

    මේ අතර ලාෆ් ගෑස් මිල ඉහළ නංවන බවට පැතිරයන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නැතැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙලෙස ලාෆ් ගෑස් වෙළෙඳපොළට නිකුත් කරනු ලබන්නේ මාස කිහිපයකට පසුවය.

    මන්දපෝෂණය ඉහළට -“දරුවන්ට චීස් බටර් ඕන නෑ කොස් දෙල් දෙන්න”

    0

    කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් යොදාගනිමින් කළ පර්යේෂණයකදී ඒ අතුරින් කොටසක් මන්ද පෝෂණයෙන් පෙළෙන බවට අනාවරණය කරගත් බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

    මේ සඳහා 2 වාට්ටුවේ දරුවන් 53 දෙනකු පරීක්ෂණයට ලක්කළ බවත් ඉන් 11 දෙනකු මන්දපෝෂණයටත් 4 දෙනකු තීව්‍ර මන්දපෝෂණයටත් ගොදුරු වී සිටින බව හෙතෙම අනාවරණය කළේය.

    දෙමව්පියන්ගේ ආර්ථික ශක්තිය අඩුවීම හා පෝෂණය පිළිබද අවධානය අඩුවීමත් මීට හේතුව බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කීය.

    පසුගිය කාලය තුළ දරුවන්ගේ වයසට සාපේක්ෂව බර අඩුවීමේ තත්ත්වයන් දිගින් දිගටම දැකගත හැකිවීම නිසා මෙම පර්යේෂණය කිරීමට යොමුවූ බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

    කුඩා දරුවන්ගේ පෝෂණය නිසි පරිදි ලබාදීමට චීස්, බටර් ආදි ආහාර ලබාදීම අවශ්‍ය නොවන අතර ඒ සඳහා කොස්, දෙල්, කොස්ඇට, ගොටුකොළ, හාල්මැස්සන්, බිත්තර, මෑකරල් ආදිය ඉතා ප්‍රමාණවත් බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කළේය.

    එමෙන්ම පලතුරුවර විටමින් ලබාදීමට දරුවන්ට මෙරට වැවෙන අඹ, රඹුටන්, වෙරළු ආදී පලතුරු ඉතාම ගුණදායක බවත් විශේෂඥ වෛද්‍යවරයා කීවේ මෙසේය.

    රුසියා ගුවන් යානයේ ප්‍රශ්නය ඉක්මනින් නොවිසඳුවොත් වෙන දේ ඇමති දිනේෂ් කියයි

    0

    මෙරට රඳවා තබාගෙන තිබෙන රුසියාවේ එරෝෆොලොට් ගුවන්යානය සම්බන්ධ ප්‍රශ්නය කඩිනමින් විසඳාගත යුතුව ඇතැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    එසේ නොවුනොත් මෙරටට ආර්ථික වශයෙන් විශාල පාඩුවක් සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    එබැවින් මෙම ප්‍රශ්නය වහාම විසඳාගත යුතු බව හෙතෙම සඳහන් කළේය.

    දැනටමත් රුසියානු Aeroflot ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත වාණිජ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

    ඒ, Aeroflot ගුවන් සේවයට අයත් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය පසුගියදා වාරණ නියෝගයක් නිකුත් කිරීම හේතුවෙනි.

    විදුලි බිල වැඩිකරන යෝජනාව ලබන සතියේ කැබිනට්ටුවට

    0

    විදුලි බිල වැඩි කිරීම පිළිබඳ යෝජනාව ලබන සඳුඳා කැබිනට් මණ්ඩලයට යොමුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

    එහි සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළේ, විදුලි බල මණ්ඩලය ලබන අසීමිත පාඩුව අඩුකර ගැනීම සඳහා මෙලෙස විදුලි ඉහළ දැමීමේ යෝජනා සකස් කර ඇති බවය.

    මේ වනවිට විදුලි බල මණ්ඩලයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 276 ක් වන බවත් වියදම රුපියල් බිලියන 750 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු ප්‍රකාශ කළේය

    චීනයේ තියනෑන්මන් චතුරශ්‍රයේ සංහාරයට වසර 33ක්

    0

    ලෝක ඉතිහාසයේ අදුරුතම දිනයක් වන චීනයේ තියනෑන්මන් චතුරශ්‍රයේ සිදුවූ ඝාතනයෙන්ට අදට වසර 33ක් සපිරෙනවා.

    1989 වර්ෂයේ ජුනි 4 වැනිදා චීනයේ ඒකාධිපති තනි පක්ෂ පාලනය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා පැවති උද්ඝෝෂණ පාලනය කිරීමට ඊට සම්බන්ධ වූ දහස් ගණනක් ඝාතනය කිරීමට චීන බලධාරීන් පියවර ගනු ලබනවා.

    විරෝධතාවල මූලික ආරම්භය

    යාඕබැන්ග් යනු චීන කොමියුනිස්ට් පක්ෂයෙක් හිටපු නාකයකු වන අතර ඔහු ප්‍රජාතින්ත්‍රික වෙනස්කම් චීනයට හදුන්වා දීමට උත්සහ කළා.

    ඔහු නිදහස් වෙළෙඳපොල ප්‍රතිපත්ත ස්ථාපිත කළයුතු බවට මත පළකිරීමත් සමඟ පක්ෂයේ අනෙක් පිරිස් ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ සතුරෙකු විදිහටයි දැක්කේ.

    මේ අතර 1986 සිට 1987 ජනවාරි මස මැද කාලය දක්වා සිසුන් විසින් චීනයේ නගර කිහිපයම විරෝධතා රැලි පැවැත්වුවා.

    මෙම විරෝධතා රැලි හෙෆෙයි නගරයේ ආරම්භ වු අතර ඒවා ශැංහයි දක්වා පැතිරිගියා.

    මෙම විරෝධතා වල මූලික අරමුණ වූයේ චීනය තුල දේශපාලන ප්‍රතිසංස්කරනයක් ඇති කිරීමයි.

    එහෙත් ආණ්ඩුව සිය බලය යොදාගනිමින් මෙම විරෝධතා ඉක්මණින්ම පාලනය කිරීමට සමත්වුනා.

    මේ අතර සිසු විරෝධතා පිටුපස යාඕබැන්ග් සිටින බවට චීන කොමියුනිස්ට් පක්ෂයේ බොහො පිරිසක් විශ්වාස කළා.

    ඒ අනුව 1987දී කොමියුනිස්ට් පක්ෂයේ ඔහු දරූ තනතුරුවලින් ඉවත් කරනු ලැබුවා.

    1989 අප්‍රේල් 15වැනිදා යාඕබැන්ග්ගේ මරණයට පත්වීමත් සමඟ ඔහුට චීන කොමියුනිස්ට් පක්ෂයේ තිබුණු ගෞරවය සහ පිළිගැනීම යලිත් ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත්වෙමින් තිබුනා.

    යාඕබැන්ග්ගේ මරණයත් සමඟම සිසුන් චීනයේ බීජිං නගරයේ තියනෑන්මන් චතුරශ්‍රයට රැස්වෙමින් තිබුණා.

    එහිදී සිසුන් තනි පක්ෂ පාලනය ඉවත්කර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කරන මෙන් සටන් පාඨ ඉතිරිපත් කිරීම ආරම්භ කලා.

    මේ අතර මැයි 13 වැනිදා වන විට සිසුන් විශාල පිරිසක් ආහර ගැනීමෙන් වැලකී මාරන්තික උපවාසයක් ආරම්භ කළා.

    මේත් එකක්ම චීනයේ අනෙක් පලාත්වලද විරෝධතා ඇතිවෙමින් පැවතියා.

    විරෝධතා වලින් චීන රජය වඩාත්ම උරණ කරන්න හේතුවූයේ මැයි 15 වැනිදා සෝවියට් සමූහාණ්ඩුවේ අවසාන නායකයාවූ මිහායිල් ගොර්බචෝෆගේ ඓතිහාසික චීන නිලසංචාරයට බාදා පැමිණවීමත් සමඟයි.

    චීන රජය ගොර්බචෝෆ්ගේ පිළිගැනීමේ උත්සවය තියනෑන්මන් චතුරශ්‍රයේ පැවැත්වීමට සැලසුම්කර තිබුණත් විරෝධතා හේතුවෙන් එය ගුවන් තොටුපළේදී පැවැත්වීමට සිදුවුනා.

    මේත් සමඟම විරෝධතා කරුවන්ව පාලන කළයුතු බවට චීන රජයට දැනෙන්නට පටන් ගත්තා. ඒ අනුව චීන රජය මැයි 20 වැනිදා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළා.

    ඒත් එකක්ම හුමුදා සාමාජිකයින් 250,000ක් පමණ බීජිං වෙත ඇතුලු වුනා.

     

    ඒත් මැයි මස අගවන විට ලක්ෂ දහයකට අධික විරෝධතාකරුවන් පිරිසක් තියනෑන්මන් චතුරශ්‍රයට එක්ව සිටියා.

    ඔවුන්ගේ මේ විරෝධතා ජාත්‍යන්තර අවදානය දිනාගැනීමට සමත්වූ අතරම දිනපතාම ජාත්‍යන්තර මාධ්‍ය වල විරෝධතා ප්‍රධාන පුවතක් බවට පත්ව තිබුණා.

    ඒ නිසා ජුනි 4 වැනිදා අලුයම 1කට චීන හමුදා නිලධාරීන් සහ පොලිසිය යුධ ටැංකි සමඟ තියනෑන්මන් චතුරශ්‍රයට කඩා වැදුනා.

    එහිදී විරෝධතාකරුවන් පලවා හැරීමට ඔවුන් ජීව උණ්ඩ යෙදා වෙඩි තැබුවා.

    ඇතැමෙක් තව ජීවිතය ආරක්ෂාව පතා පලායෑමට උත්සහ කළත් තවත් පිරිසක් ආරක්ෂක අංශ වලට විරුද්ධව නැගී සිටියා.

    විරෝධතාකරුවන් ආරක්ෂ අංශ සාමාජිකයින් වෙත ගල්මුල් වලින් පහරදෙන්න පටන්ගත්තා. ඒවගේම හමුදා රථවලට ගිණි තැබීමද සිදු කළා.

    එහෙත් අවසානයේ විරෝධතාකරුවන් දහස් ගණනකට දිවි අහිමිකරමින් තවත් දහස් ගණනක් අත් අඩංගුවට පත්වුනා.

    සිද්ධිය සම්බන්ධයෙන් ජුනි 6 වැනිදා චීන රජය ප්‍රකාශ කර සිටියේ සිදුවීමන් 300 දෙනෙකු මරණය පත්වූ බවයි.

    එහිදී සිසුන් 23ක් මරණයට පත්වූ බවත් ඉතිරි පිරිස ආරක්ෂක අංශ සමාජිකයින් බවද චීන රජය සඳහන් කර සිටියා.

    කෙසේ වුවත් චීනයේ රැදී සිටි විදෙස් තානාපති නිලධාරීන් සඳහන් කර තිබුනේ. සත්‍ය වශයෙන්ම මරණයට පත්වූ සංඛ්‍යාව අවම වශයෙන් දස දහසක්වත් වනු ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් එවකට චීනයේ එක්සත් රාජධානියේ තානාපති වශයෙන් කටයුතු කළ ඇලස් ඩොනල්ඩ් විසින් යැවූ රහසිගත රාජ්‍ය තාන්ත්‍රික පණිවුඩයකද සඳහනය.

    ඩොනල්ඩ් විසින් එම පණිවුඩයේ ප්‍රකාශ කර ඇත්තෙ තමන්ට ඉතා විශ්වාසනීය ලෙස මෙම තොරතුරු ලැබුණු බවයි.

    “චතුරශ්‍රයෙන් ඉවත් වීමට තමන්ට තවත් පැයක ඇති බවයි විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටි ශිෂ්‍යයන්ගේ තේරුම් ගැනීම වී තිබුණේ. ඒත් විනාඩි පහක් ඇතුළත හමුදා ප්‍රහාරය එල්ල වුනා”

    “ශිෂ්‍යයන් අත් අල්ලා ගනිමින් මිනිස් දම්වැලක් ලෙස බැඳී සිටියා. එහෙත් හමුදා භටයන් ඔවුන්ව මරා දැම්මා.”

    “ඊට පසුව හමුදාව වරින්වර මළ සිරුරු උඩින් දුවන්න පටන් ගත්තා. ඊට පස්සේ මළ සිරුරු එකතු කළේ බුල්ඩෝසර් යොදා ගනිමින්. පසුව මළ සිරුරු පුළුස්සා දමල පොළොව හෝදලා දැම්මා”

    “තුවාල ලබා සිටි සිසුවියන් හතර දෙනෙක් ඔවුන් මරන්න එපාය කියල ආයාචනය කළා. ඒත් හමුදා භටයන් ඔවුන්ව මරල දැම්මා”
    යනුවෙන් ඩොනල්ඩ් සිය පණිවුඩයේ සඳහන් කර තිබිණි.

    ජුනි 5 ඓතිහාසික ඡායරූපය

    විරෝධතාකරුවන් මැඩ පැවැත්වීමන් පසුව චීන හමුදාවට අයත් යුධ ටැංකි තියනෑන්මන් චතුරශ්‍රයේ පිටත්වෙමින් තිබුනා.

    මෙම යුධ ටැංකි ඉදරියේ එක් පුද්ගලයෙකු නොබියව සිටගෙන සිටියා. මෙය ලෝක ඉතිහාසයේ වැදගත්ම ඡායාරුපයක් වන අතර එය් ඇසෝසියෝටඩ් පුවත්සේවයේ ඡායාරූප ශිල්පියෙකු වන ජෙෆ් වයිඩ්නර් විසින් ගන්නා ලද්දකි.

    කෙසේ වෙතත් යුධ ටැංකි ඉදිරිපිට සිටගෙන සිටි පුද්ගලයා කවරෙකුද යන්න අදටත් අභිරහසකි.

    තියනෑන්මන් චතුරශ්‍රයේ ජනඝාතනය සැමරීමට ඇති තහනම

    මේ මහා ජනඝාතනය සිදුව වසර 32ක් ගතවුවත් චීනය තවමත් මේ සිදුවීම සැමරීමට අවසර ලබාදීමක් සිදුවන්නේ නැහැ.

    බිස්නස් ඉන්සයිඩර් වේබ් අඩවිය සඳහන් කරනන පරිදි මෙම වසරේදීත් චීනය මෙම දිනය සමාජ ජාල තුල සැමරීම සම්බන්ධයෙන් යම් වාරණයකට ලක්කර ඇති බවයි.

    කෙසේ වෙතත් මෙම මානව ඉතිහාසයේ අදුරු දවස චීනයේ එවකට පැවති පාලනයේ දරදඬු බවට කදිම නිදසුනක් වනු නොඅනුමානයි.

    සඳුදා ඉඳන් ආයෙත් ඉස්කෝලේ

    0

    2022 වර්ෂයේ පළමු පාසල් වාරයට නියමිත දෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු සඳහා දිවයිනේ සියලුම පාසල් ජුනි මස 06 වැනිදා එනම් සඳුදා දිනයේ දී ආරම්භ කරණ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඒ අනුව සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් එදින විවෘත කෙරෙනු ඇත.

    Exclusive: “ගුවන් යානය රඳවා ගත්තැයි රුසියානු රජය ශ්‍රී ලංකාවට අප්‍රසාදය පළ කළා” – රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය

    0

    එරොෆ්ලොට් ගුවන් යානයක් අධිකරණ නියෝගයක් මත බව පවසා කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ පරිශ්‍රයේ රඳවා ගැනීම සම්බන්ධයෙන් රුසියානු රජය තමන් විදේශ අමාත්‍යාංශයට කැඳවා සිය අප්‍රසාදය ශ්‍රී ලංකාවට පළ කරන බව දැනුම් දුන්නේයැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මාහාචාර්ය ජනිතා අබේවික්‍රම මහත්මිය නිවුස්වේව් අද (04) කළ විමසීමේ දී පැවසුවාය.

    රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රඳවා නොගන්නාබවට එකඟතාවක් පැමිණ තිබිය දී අධිකරණ නියෝගයක් මත බව පවසා ගුවන් යානය රඳවා ගැනීම මෙම අර්බුදයට හේතු වී තිබේ.

    ජූනි 2 වන දා රුසියාවේ සිට මෙරටට සේන්දු වූ එරොෆ්ලොට් ගුවන් යානයෙන් රුසියානු සංචාරකයන් 250ක පමණ පිරිසක් පැමිණ ඇත. රුසියානු ජාතික ගුවන් සේවය වන එරොෆ්ලොට් සෑම සතියක ම බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා කටුනායක ගුවන්තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සලසමින් සිටියදී මෙම සිදුවීමට බලපා ඇත්තේ ගුවන් යානා රක්ෂණය සම්බන්ධයෙන් උද්ගතවූ තත්ත්වයකි.

    මෙයට පෙර රුසියාව අදාළ ගුවන් යානා අයර්ලන්ත රක්ෂණ සමාගමක රක්ෂණය කර තිබී ඇති අතර යූක්‍රේන-රුසියා යුද ගැටුම් සමඟ එම රක්ෂණ වාරික ගෙවීම නවතා දමා රුසියාවේ රක්ෂණ ආයතනයකම ප්‍රතිරක්ෂණය කර තිබේ.

    ඒ අනුව අදාළ අයර්ලන්ත රක්ෂණ සමාගම වාරික ගෙවීම අත්හිටුවීමට අදාළව කොළඹ වාණිජ මහාධිකරණය වෙත පැමිණිළි කර ඇත. අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇත්තේ ඊට අදාළව බව සඳහන්ය.

    මෙලෙස රඳවා තිබෙන රුසියානු එයරෝෆ්ලොට් ගුවන් සේවයේ SU288 දරන ගුවන් යානය ජුනි 02 වැනිදා උදෑසන 10.10ට රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත සේන්දු වී නැවත දහවල් 12.50ට මොස්කව් බලා යාමට තිබියදී අධිකරණ තීන්දුව අනුව සිය ගමන අවලංගු කර තිබේ.

    මේ සම්බන්ධයෙන් මෙරට රුසියානු තානාපති නියෝජිතයන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇතැයි නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි. අදාළ නියෝගය ලබා දී ඇත්තේ නැවත පියාසර කළ නොහැකි බවට ද නැතිනම් රක්ෂණ වාරික ගෙවීම සම්බන්ධයෙන්ද යන්න ගැන නිශ්චිතව මෙතෙක් කරුණු හෙළිදරව් වී නැත.

    අද හෙට ලීට්‍රෝ නෑ

    0

    අද (04) සහ හෙට (05) දිනයේ ගෑස් මිලදී ගැනීම සඳහා පෝළිම්වල රැඳීසිටීමෙන් වළකින ලෙස ලීට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ඒ ලිට්‍රෝ සමාගම සතුව තිබූ ගෑස් තොග අවසන් වීම නිසයි.

    හෙට (05) දිනයේ ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් රැගත් නෞකාවක් පැමිණීමට නියමිත ය.

    ඉන් අනතුරුව නැවත ගෑස් බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

    පානදුරේ වෙඩි තැබීම ඩුබායි පාතාලයේ මෙහෙයුමක් – කුඩු සළිඳුගේ වැඩක් බවට සැක

    0

    පානදුර නිර්මල මාවතේදී ඊයේ (03) සිදුවූ වෙඩි තැබීම මෙරටින් පළාගොස් ඩුබායි හී රැදී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන පානදුරේ කුඩු සළිඳුගේ වැඩක් බව පොලීසියය සැකකරයි.

    පොලීසියේ ඉහළ නිලධාරීයෙක් ඉතා කිට්ටුව ඇසුරුකර ඇතැයි කියනු ලබන කුඩු සළිදුගේ මෙරට අපරාධවලට එම නිලධාරියාගේ රැකවරණය ලැබෙන බව පොලීසිය අභ්‍යන්තරයේද විවිධ කථාබහ පවතී.

    කුඩු සළිඳු ඩුබායි පළායන්නේ ද එම නිලධාරියාගේ ආශිර්වාදයෙන් බව ද කියති. මේ වන විට ඩුබායි සිට මත්කුඩු ඡාවාරම මහා පරිමාණයෙන් මෙහෙයවමින් පාතාල අපරාධවද ඔහු නිරතව සිටින බව පොලිස් වාර්තාවලම දැක්වේ.

    පානදුර පල්ලියමුල්ලේදී ඉකුත් 2021 වසරේ ජනවාරි 25 වෙනිදා ත්‍රී රෝද රථ රියදුරෙකුට වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ කුඩු සළිඳු කරලියට ආවේය. කළුතර දිස්ත්‍රික්කයේ ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතයෙක් වන කුඩු සළිඳුගේ කොන්ත්‍රාත්තුවකට අනුව ත්‍රී රෝද රථ රියදුරාව ඝාතනය කළ බව පොලිස් විමර්ශනයේදී හෙළිවිය. එම ඝාතනයට සම්බන්ද වෙඩික්කරු සහ යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම පරීක්ෂණ පවත්වන විට උසස් පොලිස් නිලධාරියෙක් එය වලක්වමින් ඔවුන් දෙදෙනා වෙඩි තැබූ ආයුධය සමඟ පොලීසියට භාරවන බව සඳහන්කර තිබුණි. නමුත් ඔවුන් භාරවනවා වෙනුවට වෙඩික්කරුවා බෝට්ටුවකින් ඉන්දියාවට පළාගොස් තිබුණු අතර වෙඩික්කරුවා සමඟ එම ඝාතනයට යතුරුපැදියක් පදවාගෙන ගිය සැකකරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි.

    ඒ අතර පොලිස් ලොක්කෙකුට ලැබුණු තොරතුරක් අනුව යැයි කියා පානදුර පැත්තේ සුසාන භූමියක ගසක් පාමුල තිබී වෙඩි තැබූ අවිය බව කියමින් ටී 56 අවියක්ද සොයා ගත්තේය. එම අවිය රස පරීක්ෂකට යොමු කිරීමෙන් අනතුරුව හෙළිවී ඇත්තේ වෙඩි තබා ඇත්තේ එයින් නොවන බවය.

    අනතුරුව බොල්ගොඩ ගඟේ ගිල්වා තිබී වෙඩික්කරු ගමන් ගත්තේ යැයි කියන යතුරු පැදියක්ද ගොඩගත්තේ මාධ්‍ය මෙහයුමක්ද දියත් කරමිනි. අවසානයේදී කළ විමර්ශනයේදී පෙනී යන්නේ එම යතුරු පැදියද සැබෑ යතුරු පැදිය නොවන බවය.

    අනතුරුව කුඩු සළිඳු ප්‍රබල චරිතයක් බවට පත්වන අතර පානදුර කේතුමකතී රෝහල් භූමියේදී ඉකුත් ජනවාරි 27 වෙනිදා ගිලන්රථ රියදුරෙක් ඉලක්කර එල්කරන වෙඩි ප්‍රහාරයද කුඩු සළිඳුගේ කොන්ත්‍රාත්තුවක් බව හෙළි විය. කුඩු සළිදුගේ මත්කුඩු බෙදා හැරීමේ ඡාලයේ සිටි ප්‍රබල චරිතයක් වූ ගිලන් රථ රියදුරාගේ ඔත්තුවකින් කළුතර විශේෂ පොලිස් කණ්ඩායමත් සළිඳුගේ මත්කුඩු තොගයක් අල්ලා ගැනීම එම වෙඩි තැබීමට මුල්වූ බව විමර්ශන වලින් අනාවරණය විය. පොලීසිය ඉතා කෙටි කාලයක් තුළ වෙඩික්කරුවන්ද අත්අඩංගුවට ගත්තද අදටත් වෙඩි තැබූ ගිනි අවිය සොයාගැනීමට සමත්වූයේ නැත.

    කුඩු සළිඳු සම්බන්ධයෙන් කෙරන සෑම විමර්ශනයකදීම පාහේ ඔහු සහ ඉහළ පොලිස් නිලධාරියෙක් අතර ඇති සම්බන්ධකමක් හෙළිවන අතර එම නිලධාරියා සමඟ සළිඳු දුරකතන සංවාදයේ පවා නිරතව ඇති බව හෙළිවී තිබුණි. සළිඳු සම්බන්ධයෙන් කෙරන විමර්ශන වලදී එම නිලධාරියාගෙන් විමර්ශන අධික්ෂණ නිලධාරීන්ට නිරන්තර බාධා එල්ලවී තිබෙන බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

    ඊයේ සිදුවූ වෙඩි තැබීමෙන්ද මිය ගොස් ඇත්තේ කුඩු සළිඳුගේ මත්කුඩු ඡාලය හා සම්බන්ධව කළක් සිටි පුද්ගලයෙක් බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ. මත්කුඩු අලෙවිය හා සම්බන්ධ මුදල් ආරවුලක් හේතුවෙන් කුඩු සළිඳු මෑතක සිට මෙම පුද්ගලයා සමඟ ආරවුලකින් සිට ඇති බවද පොලීසියට තොරතුරු ලැබී ඇත.

    එම පුද්ගලයාට එරෙහිය කළුතර සහ පානදුර අධිකරණවල මත්ද්‍රව්‍ය නඩු දෙකක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    යතුරුපැදියක නැගී තවත් පුද්ගලයෙක් සමඟ ඔහු ගමන් කරමින් සිටියදී ඔවුන් ගමන් කරමින් සිටි දෙසට පිටුපසින් පැමිණි යතුරුපැදියක පිටුපස ගමන් කළ පුද්ගලයෙක් විසින් මෙම වෙඩි තැබීම කර ඇති බව නිහාල් තල්දූව මහතා පවසයි. එම වෙඩි තැබීම ආරක්ෂක කැමරාවකද සටහන් වී ඇති බවත් වෙඩි වැදී මිය ගිය පුද්ගලයා යතුරු පැදිය සමඟ බිම ඇද වැටී ඇති බවත් ඔහු සමඟ ගමන් කරමින් සිටි පුද්ගලයා දුව ගොස් දිවි බේරාගෙන ඇති බවත් තල්දූව මහතා සඳහන් කළේය. වෙඩික්කරු ගමන් කළ යතුරු පැදිය වෙඩි තැබීමෙන් පසු මදක් ඉදිරියට ගමන් කර නැවත හරවාගෙන පැමිණ වෙඩි වැදී බිම වැටී සිටි පුද්ගලයාට නැවතත් වෙඩි තබා පළායන බවද නිහාල් තල්දූව මහතා පැවසීය.

    මෙම වෙඩි තැබීමට යොදාගෙන ඇත්තේ 0.38 වර්ගයේ පතොරම් යොදන රිවොල්වරයක් බවත් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් අතර ආරවුලක් මෙම ඝාතනයට මුල්වී ඇතැයි සැකකරන බවත් නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම ඝාතන විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 06 යොදවා ඇත.

    අලුත්ගමදී ඝාතනයට ලක්වූ තැඹිලි වෙළෙන්දා රජයේ සාක්ෂිකරුවෙක්

    0

    අලුත්ගම මොරගොල්ලේදී වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වූ තැඹිලි වෙළෙන්දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මත්කුඩු ඡාවාරම්කරුවන් පිරිසක් සමඟ එක්ව කළ මත්කුඩු ඡාවාරමක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාගවන නඩුවක ප්‍රබල සාක්ෂිකරුවෙක් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ ඔහු මේ වන විට රජයේ සාක්ෂිකරුවෙක් ද වන බවය.

    මෑතකදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් නාවික හමුදාවේ සහය ඇතිව අල්ලාගත් හෙරොයින් කිලෝ 200කට වැඩි ප්‍රමාණයේ ඔත්තුකරුවා බව කියනුයේදී මෙම තැඹිලි වෙළෙන්දා බව සඳහන්ය.

    මෙම ඝාතනය එම ඔත්තුව හේතුවෙන් සිදුවූවක්ද නැතිනම් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ මත්කුඩු ඡාවාරමේ සාක්ෂිකරුවෙක් වීම මෙම ඝාතනයට මුල්වුවාද යන්න පිළිබදව පුළුල් විමර්ශනයක් මේ වන විට සිදුවෙමින් තිබේ.

    මෙම පුද්ගලයා රජයේ සාක්ෂිකරුවෙක් බවට පත්වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සම්බන්ධ බව කියන මත්කුඩු ඡාවාරමට සැකකරුවෙක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවය. ඒ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් නිලධාරීන් 12 දෙනෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්විය.

    මෙම ඡාවාරම හෙළිවන්නේ ඉකුත් 2020 වසරේදීය. කොවිඩ් වසංගතය පැතිරයමින් තිබියදී නිරෝධායන ඇදිරිනීතියට මුවා වී මෙම ඡාවාරම සිදුකර තිබුණි. පකිස්තානයේ සිට ඡාවාරම්කරුවන් විසින් ඡාත්‍යන්තර මුහුදේ ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයට කුඩා නෞකාවකින් රැගෙන පැමිණි හෙරොයින් කිලෝ 200කට වැඩි ප්‍රමාණයක් ගොඩබිමට රැගෙන ඒමට මෙරට මුහුදු තීරයෙන් ගිය යාත්‍රාවේ සිටි පිරිස අතර ඝාතනය වූ තැඹිලි වෙළෙන්දාද සිට ඇත.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාශයේ නිලධාරීන් විසින් එම මත්කුඩු තොගය දින ගණනාවකට පසු අත්අඩංගුවට ගෙන ඇතත් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද අඩුවී තිබී ඇත. එම වැටලීමද ප්‍රශ්නගත වැටලීමක් බවට පත්වන අතර මිනුවන්ගොඩදී අහඹු ලෙස පොලීසියට හසුවන මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මත්කුඩු තොග නැවතත් ඡාවාරම්කරුවන්ට අලෙවි කරන බව හෙළිවී තිබුණි. ඒ අනුව කළ විමර්ශනවලින් එම පොලිස් නිලධාරීන් විසින් මත්කුඩු අලෙවියෙන් උපයාගත් කෝටි ගණනක මුදල් සහ දේපොලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගන්නා ලදි. ඊට අමතරව මත්කුඩු සමඟ පකිස්තානු ඡාවාරම්කරුවන් මෙරටට එවා තිබුණු ගිනි අවි කිහිපයක්ද මෙම නිලධාරීන් විසින් සඟවා තිබියදී සොයා ගත්තේය.

    මෙම ඡාවාරමට සම්බන්ධ මත්කුඩු ඡාවාරම්කරුවන් රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය. ඇතැම් ඡාවාරම්කරුවන් ඩුබායි රටට පළා ගොස් තිබුණි. ප්‍රබල පාතාල අපරාධකරුවන්ද මෙම ඡාවාරම හා සම්බන්ධව සිටියේය.

    මෙම විමර්ශනය භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතාට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද පසුව ලබාදී තිබුණි. එසේ ආරක්ෂාවක් ලබාදුන්නේ යැයි සඳහන් වූයේ ඔහුට ජීවිත තර්ජනයන් එල්ලවී ඇති බවට තොරතුරු ලැබී තිබීමක් හේතුවෙනි. නමුත් එම මත්කුඩු ඡාවාරමේ ප්‍රබලතම සාක්ෂිකරුවෙක් මෙන්ම රජයේ සාක්ෂිකරුවෙක් වූ තැඹිලි වෙළෙන්දාට කිසිදු රැකවරණයක් නොවීය. දෛනිකව සිය ලොරි රථයේ ගමින් ගමට ගොස් ඔහු තැඹිලි කපා ලොරි රථයේ පටවාගෙන ගොස් අලෙවි කරමින් සිටියේ අනාවරක්ෂිතවය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
    නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනුයේ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම කර ඇති බවකි. මෙම ඝාතනය මත්ද්‍රව්‍ය ඡාවාරම සම්බන්ධයෙන් වූ පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක්දැයි සැකයක් පවතින බව ඔහු සඳහන් කරයි. පොලිස් කණ්ඩායම් 05 ක් විමර්ශන සඳහා යොදවා ඇති බවත් සැබෑ තත්ත්වය අනාවරණය කර ගැනීමට විමර්ශන සිදුවන බවත් නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවැසීය.

    දුම්රියේ ගැටී අලි පැටව් දෙදෙනෙක් මියයති

    0

    හබරණ හා ගල්ඹය දුම්රිය ස්ථාන දෙක අතර රක්ෂිත ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රී කාලයේදී වන අලි රංචුවක් දුම්රියක ගැටී ඇත.

    එම අනතුරින් අලි පැටවුන් දෙදෙනෙක් මිය ගොස් එක් අලියෙකු තුවාල ලබා තිබේ.

    මෙම අනතුරත් සමඟ දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇත.එම දුම්රිය තිරිඟු පිටි ප්‍රවාහනය කරන දුම්රියකි.

    ඒ හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය ධාවනයද අත්හිටුවීමට සිදුවී තිබුණි.

    අද විදුලි කප්පාදුව පැයයි

    0

    අද(04) දිනයේදී රට පුරා පැයක කාලයක් පමණක් විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL)අනුමැතිය ලබා දී තිබේ.

    අද විදුලි කප්පාදු කරන කාලසටහන කලාප සහ ප්‍රදේශ වශයෙන් පහත දැක්වේ.

    Demand-Management-Schedule-for-02_03_04-June-2022-cropped

    21 ගැන අද ගත් තීරණය

    0

    21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද පැවැති පක්ෂ නායක රැස්විමේ දී ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව සියලු පාර්ශ්ව අතර පොදු එකඟතාවකට පැමිණිමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

    අග්‍රාමාත්‍යවරයා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සමඟ අද (03) සාකච්ඡාවක් කැඳවා තිබුණේ දෙවන වරටයි.

    සමගි ජනබලවේගය ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලියවිල්ලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ද අවධානයට ගැනීමට මෙහිදී යෝජනා වී තිබේ.

    අධිවේගයේ පොලීසියට කුණුහරුප කියල හැංගිලා ඉන්න ජෝඩුවට රැකවරණය දුන් කාන්තාවකට වැඩ වරදී

    0

    දක්ෂිණ අධිවේගී මාර්ගගයේ බැදිගම පිවිසුමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් අසභ්‍ය වචනවලින් නිලධාරීන්ට බැන වැදී මේ වන විට සැඟවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුතා සහ ලේලියට රැකවරණය ලබාදුන් බව කියන කාන්තාවක් මාතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (03) අත්අඩංගුවට ගෙන තිබේ.

    එම කාන්තාව මාතර බතලවත්තේ පදිංචිකාරියක් වන 31 වියැති තැනැත්තියකි.

    එදින පොලිස් නිලධාරීන් සමඟ ඔවුන් දෙදෙනා ගැටෙන්නේ අන්තරාකාර ලෙස ශීතිකරණයක් සිය කැබ් රථයේ පිටුපස කොටසේ තබාගෙන අධිවේගී මාර්ගයට ඇතුළුවීමට සූදානම් වීමේදී පොලිස් නිලධාරීන් ඊට ඉඩ නොදීම නිසා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    ඔවුන් එදා ශීතකරනය රැගෙන අධිවේගී පිවිසුමට පැමිණි කැබ් රථයද මාතර කඹුරුගමුව ප්‍රදේශයේ හෝටලයක සගවා තිබියදී සොයාගත් බවද නිහාල් තල්දූව මහතා පැවසීය.

    මෙම සිදුවීමට අදාලව රවිදු වෙදආරච්චි සහ නෙත්මි හරින්දිද සිල්වා යන සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ පවත්වන බව නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. මොවුන් දෙදෙනා කැබ් රථය සඟවා තිබුණු හෝටලයේ දිනක් නවාතැන් ගෙන සිට කොළඹ බලා ගමන් කර ඇති බවට තොරතුරු පොලීසියට ලැබී තිබේ.

    මෙම පුද්ගලයන්ට රැකවරණය දෙන ඕනෑම පුද්ගලයෙක්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ද නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ත්‍රීවිල්වලට තෙල් දෙද්දී අවුලක් නොවෙන්න රජයෙන් ක්‍රමවේදයක්

    0

    ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන ලබාදීම ඉදිරියේදී ගැටලුවක් නොවන අකාරයන් පවත්වාගෙන යමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ත්‍රීරෝද රථ සංගම් නියෝජිතයන් සමග ඊයේ පස්වරුවේ පැවති රැස්විමකදි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

    ත්‍රීරෝද රථ නියාමන ආයතනයක් පිහිටුවීම සඳහා සහයෝගය ලබා දීමට අගමැතිවරයා මෙහිදී එකඟත්වය පල කර තිබේ.

    රටට මාසයකට අවශ්‍ය ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක් අවශ්‍ය බව අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    එබැවින් ඉදිරියේදී රට මුහුණ දෙන අර්බුදය හමුවේ ත්‍රීරෝද රථ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් දිර්ඝ ලෙස එහදි සාකච්ඡා කළේය.

    මේ අතර ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ නියොජිතයන් සමග ද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවකට එක්විය.

    ඉන්ධන පිරවුම්හල් වල ආරක්‍ෂාව හා ඉන්ධන ලබාදීම ක්‍රමවත් කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා වී ඇත.

    ශ්‍රීලංකන් ඉංජිනේරුවෝ ලංකාවට විදෙස් මුදල් ගෙන එන හැටි

    0

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය පාරිභෝගික ගුවන් සේවයක් වන SalamAir සඳහා “C” පරීක්ෂාව ඉතා සාර්ථකව පසුගියදා සම්පූර්ණ කළ අතර එය ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය ලඟාකරගත් සාර්ථක ජයග්‍රහණයක් සේ සැලකිය හැකි වේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය 2020 වසරේ සිට අනෙකුත් ගුවන් සමාගම් වෙත
    නඩත්තු සේවා , අලුත්වැඩියා සහ පිරිපහදු සේවා (Maintenance, Repair and Overhaul –MRO) සැපයීම සිදුකරන අතර එමගින් ගුවන් සමාගමට සහ රටට අවශ්‍ය විදේශ මුදල් ප්‍රමාණයක් ගෙන ඒමට හැකි වී තිබේ.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ MRO අංශය යුරෝපීය ගුවන් සේවා නිරුපද්‍රිතා එජන්සිය (European Aviation Safety Agency) විසින් ලබාදෙන තත්ත්ව සහතිකය ලබා ගනිමින් එයාර් බස් සමාගමේ A320neo ගුවන් යානා සඳහා ද විශිෂ්ඨතම සේවාවක් සැපයීමට අනුමැතිය හිමිකර ගෙන තිබේ. ඒ අනුව SalamAir හි A320neo ගුවන් යානය සඳහා සිය සේවාව ලබාදෙන ලදී. මෙවැනි නඩත්තු කිරීමේ කොන්ත්‍රාත්තු මගින් ගුවන් සමාගමට ලාභදායී තත්වයක් වර්ධනය කර ගත හැකි වනු ඇත. තවද, එවැනි MRO ව්‍යාපෘති වලින් උපයන ආදායම සාමාන්‍යයෙන් විදේශ මුදලින් හිමි වන අතර එමඟින් මෙම තීරණාත්මක අවස්ථාවේදී ගුවන් සමාගමට සහ රට සඳහා විදේශ මුදල් උත්පාදනය කරයි.

    වසර ගණනාවක් පුරා, ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය උසස් තත්ත්වයේ MRO සේවාවන් සැපයීම සඳහා ශක්තිමත් වාර්තාවක් තබා ඇත. ඔවුන් සතුව අවශ්‍ය මානව හා තාක්ෂණික සම්පත් තිබීම, ගුවන් සේවය ඉන්දියන් සාගරයේ උපාය මාර්ගිකව පිහිටා ඇති ගුවන් කේන්ද්‍රස්ථානයක් වීම සහ ජාත්‍යන්තර සහතික කිරීම් ලබාගෙන තිබීම මෙම කටයුතු සඳහා වඩා වැදගත් වනු ඇත. එසේම ඉංජිනේරු අංශය අවශ්‍ය ජාත්‍යන්තර සහතික කිරීම් සහ කලාපයේම විධිමත් ගුවන් සේවා නඩත්තු පහසුකම් සපයන ගුවන් සේවය වශයෙන් කීර්ති නාමයට පත් වී ඇත. එබැවින් කලාපයෙන් සහ ඉන් ඔබ්බට නව ඉහළ වටිනාකම් සහිත ගිවිසුම් ලබාගැනීමට ගුවන් සේවයට හැකි වී තිබේ. පසුගිය මාස 12 තුළ ගුවන් යානා MRO ක්‍රියාකාරකම්වලට අදාළව සේවා සැපයීම සඳහා ආසියාවේ සහ මැදපෙරදිග අනෙකුත් ගුවන් සේවා සහ ලීසිං සමාගම් සමඟ නව ගිවිසුම් පහක් අත්සන් කිරීම මෙයට ඇතුළත් වේ.

    අනාරක්ෂිතව දිය නාන අය ගැන කියන්න අංකයක්

    0

    ජල මට්ටම ඉහළගොස් තිබෙන ජලාශ, දිය කඩිති, දිය ඇලි ආදියේ අනාරක්‍ෂිත අයුරින් දියනෑමේ සහ ජල ක්‍රීඩාවල යෙදී සිටින පුද්ගලයන් සම්බන්ධ තොරතුරු 117 ක්‍ෂණික දුරකතන ඇමතුම් අංකයට දැනුම් දෙන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා සඳහන් කරන්නේ එවැනි අවස්ථාවල මත්පැන් භාවිතා කර ජලාශ ආදියේ දියනෑම, විනෝදවන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

    පසුගිය වසරේ දියේ ගිලීම්වලින් සිදුවූ මරණවලින් සියයට 99 කටම හේතුව විනෝද චාරිකාවලදී මත්පැන් භාවිතා කර අනාරක්‍ෂිතව ජල ක්‍රීඩා කිරීම බව හෙතෙම සඳහන් කළේය.