fbpx
තවත්

    දකුණු ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමේ අවදානමක්

    0

    දකුණු ඉන්දියානු ධීවර යාත්‍රාවලට මුහුදු යාමට පනවා තිබුණු තහනම අද(15) දිනෙන් අවසන් වන බැවින් ඉදිරියේදී දකුණු ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට උතුරු මුහුදු සීමාවට ඇතුළු වීමෙ අවධානමක් ඇතැයි යාපනයේ ධීවරයින් සඳහන් කරයි.

    අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දකුණු ඉන්දියානු ධීවරයන්ට මෙම තහනම පනවා තිබුණේ ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාවටද ඇතුළු වීම ද තහනම් කරමින් බව යාපනයේ ධීවරයින් සඳහන් කරති.

    මේ වන විට ඩීසල් හා භූමිතෙල් අර්බුදය හේතුවෙන් මෙරට ධීවරයින් මුහුදුයාම සීමාකර ඇති අවස්ථාවක දකුණු ඉන්දියානු ධීවරයින් මෙරට මත්ස්‍ය සම්පත වෙනදාට වඩා පහසුවෙන් කොල්ලකාගෙන යනු ඇතැයි ධීවරයින් සැක පළ කරති.

    මේ සම්බන්ධයෙන් උතුරේ ධීවර සමිති නායකයින් උතුරේ ආරක්ෂක අංශ සහ යාපනයේ පිහියි ඉන්දියානු කොන්සල් කාර්යාලයේ නිලධාරීන් සමග සාකච්ඡා කර තිබේ.

    බ්‍රිටිෂ් එයාර්වේස් යානයක් සමඟ ගුවනේදී සිදුවීමට ගිය දැවැන්ත අනතුරක් ශ්‍රී ලංකන් යානයක් වළක්වයි

    0

    ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL- 504 ගුවන් යානය තුර්කි ගුවන් සීමාවේ සිටියදී බ්‍රිතාන්‍ය එයාර්වේස් ගුවන් යානයක් සමඟ ගුවනේ මධ්‍යම මට්ටමේදී ගැටී සිදුවිය හැකි විශාලතම අනතුරක් වළක්වා ගනිමින් ඊයේ පස්වරුවේ කටුනායක ගුවන්තොටුපල වෙත ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.

    ඒ වන විට ශ්‍රී ලංකන් ගුවන් යානය මගීන් 275 ක් රැගෙන පියාසර කරමින් සිට ඇත.

    ගුවන් යානය හීතෘ ගුවන්තොටින් පිටත්ව තුර්කි ගුවන් සීමාවට පැමිණි පසුව අන්කාරා හි පාලක මැදිරිය ශ්‍රී ලංකන් ගුවන් නියමුවාට දන්වා ඇත්තේ අඩි 33000 සිට 35000 දක්වා ඉහළ සීමාවට පියාසර කරන ලෙසයි.

    එහිදී අඩි 35000 සීමාවේ ගුවන් සැතපුම් පහළොවක් පමණ දුරින් british airways ගුවන් යානයක් දැනටමත් ගමන් කරමින් ඇති බවට UL ගුවන් නියමුවාට වහාම හඳුනාගන්නට හැකි වී තිබේ.

    ඒ අනුව ගුවන් නියමුවන් අන්කාරා හි පාලක මැදිරියට දන්වා ඇත්තේ දැනටමත් එම සීමාවේ ගුවන් යානයක් ගමන් ගනිමින් සිටින බවයි.

    පාලක මැදිරියේ දැනුම්දීමට අනුව ඉහත අවස්ථාවේදී ශ්‍රී ලංකන් ගුවන් නියමුවා තම යානය එම ඉහළට පියාසර කරවූයේ නම් මධ්‍යම ගුවන් තලයේ මෙම යානා දෙක ගැටී දැවැන්ත අනතුරක් සිදුවීමට ඉඩ තිබුණි.

    british airways ගුවන්යානය හීතෘ ගුවන්තොටුපලින් ඩුබායි බලා නික්ම තිබුණේ සිංගප්පූරුව බලා යාමට වන අතර එම යානය ගුවන්ගත කර තිබුණේ UL යානය ගුවන් ගත කිරීමෙන් මඳකට පසුවයි. ඒ ශ්‍රී ලංකන් ගුවන් යානයට වඩා වැඩි වේගයකිනි.

    පිටත්වීමේදී අන්කාරා ගුවන් පාලක මැදිරිය UL යානයට දැනුම් දී තිබුණේ අඩි 35000 සීමාව කිසිදු ගුවන් යානයක් තම රේඩාර් පද්ධතියට හසු නොවන බවත් ඒ මට්ටමේ ගමන් කළ හැකි බවත් ය.

    කෙසේ වෙතත් UL යානයේ නියමුවන්ගේ අවධානයට ලක් වූ british airways යානය නිසා එම මට්ටමට පියාසර නොකොට, අන්කාරා හි පාලක මැදිරිය යළිත් පරීක්ෂාකර බලා දැනුම් දෙන තෙක් තම යානයේ මගීන් 275 ඇතුළු කාර්ය මණ්ඩලය ද ආරක්ෂා කරගනිමින් පහළ මට්ටමක පියාසර කර ඇති බව දැන ගන්නට තිබේ.

    ශ්‍රී ලංකන් ගුවන් යානයේ නියමුවන්ගේ වැඩි අවධානයත් ප්‍රධාන නියමුවාගේ ක්ෂණික සහ අවස්ථානුකූලව ගත් දැඩි තීරණය මගින් ආරක්ෂා වූයේ ශ්‍රී ලංකන් ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලයේ ජීවිත සහ ගුවන් යානය පමණක් නොව, බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් යානය සහ එහි සියලු මගීන්ගේ ද ජීවිත සහ එම ගුවන් යානය ද මෙමගින් ආරක්ෂා විය.

    ආරණ්‍යවාසී භික්ෂුව අපවත් කළ දඩයක්කරු අල්ලයි

    0

    පන්සියගම නා උයන ආරණ්‍යවාසී 31වියැති භික්ෂුවක් වෙඩි වැදී අපවත් කිරීමට මුල්වූ තුවක්කුව කැළෑවේ ඇටවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.

    පිණ්ඩපාතය සඳහා ආරණයේ සිට උන්වහන්සේ ගම්මානයට වඩිමින් සිටින අතර තුරදී ඉකුත් 13 වෙනිදාට වෙඩි වැදීමකට ලක්ව අපවත් වූහ.

    පාදයට වෙඩි වැදී පැය ගණනාවක් නිසි ප්‍රතිකාර නොමැතිව සිටීමෙන් අපවත් වී තිබේ.

    එසේ උන්වහන්සේ අපවත්වීමට මුල්වූ ගිනි අවිය සතුන් දඩයම් කිරීමට ඇටූවකි. ඒ සම්බන්ධයෙන් පන්සියගම පොලීසිය පරීක්ෂණ පවත්වා ගිනි අවිය ඇටවූ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා 52 හැවරදි වියේ පසුවන පන්සියගම පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.

    අද විදුලි කප්පාදුව මෙහෙමයි

    0

    අද(15) දිවයින පුරා විදුලි කප්පාදු කරන කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් පහත පරිදි නිකුත් කර තිබේ.

    Approved_Power_Interruption_Schedule_13th_to_19th_June

    මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

    0

    මෙම වසරට ඡන්ද හිමි නාමලේඛනය අද 15 වැනිදා සිට ජූලි මස 12 වැනිදා දක්වා සියලුම ග්‍රාම නිලධාරී කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    ඡන්දහිමි නාමලේඛනයයට ඇතුළත්වල හා ඉන් ඉවත්වන නම් පිළිබඳව එම කාලසීමාව තුළදී ජනතාවට දැනුවත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    එමෙන්ම විරෝධතා ඇත්නම් අද 15 වැනිදා සිට ජූලි මස 12 වැනිදා දක්වා ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.

    ඡන්දයහිමි නාම ලේඛනයේ නම සඳහන් නොවන පුද්ගලයන්ට ජන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබෙන බැවින් තමන් පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිවරයා හමුවී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිය තහවුරු කරගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    ඕස්ට්‍රේලියාවට කඩුලු දෙකක ජයක්

    0

    ශ්‍රී ලංකාව කඩුලු දෙකකින් පරාජය කරමින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයේ ජය ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත්විය.
    පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 300ක් ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් ලකුණු 86ක්,ධනුෂ්ක ගුණතිලක 55ක්, පැතුම් නිශ්ශංක 56ක් ලබා ගනිමින් කැපී පෙනෙන පිතිකරණයක නියැලිණි.

    ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියදී වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වූ අතර ඒ අනුව පිළිතුරු ඉනිම පන්දුවාර 44කට සීමා විය. ජයග්‍රහණය සඳහා ලකුණු 282ක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු දෙකක් ඉතිරිව තිබියදී පන්දුවාර 42.3කදී සිය ජයග්‍රහණය වාර්තා කළේය.

    හයේ පහර හයක් සමඟ නොදැවී ලකුණු 80ක් ලබා ගත් ග්ලේන් මැක්ස්වෙල් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

    කුඩා දරුවන් සිටින මාපියන්ට සෞඛ්‍ය බලධාරීන්ගෙන් පණිවුඩයක්

    0

    හඳුනානොගත් උණ රෝගයක් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

    එම උණ රෝගයට ගොදුරු වූ දරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් මේ වනවිට රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කීය.

    ඩෙංගු උණ රෝගයක් නොවන වෛරස් උණ රෝගයක් නොවන හඳුනා නොගත් මෙම උණ රෝගයෙන් දරුවන් බේරා ගන්නැයි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

    දින තුනකට වඩා වැඩි ගණනක් උණ තිබේනම් හෝ වෙනත් රෝග ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමු වන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කීය.

    හෙට-අනිද්දා පාසල් සිසු ප්‍රවාහනය ගැන සංගමය කියන දේ..

    0

    ඩීසල් සපයාගත නොහැකි වීම හේතුවෙන් හෙට(15) සහ අනිද්දා දිනවල පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ ගැටලු මතුව ඇතැයි සමස්ත ලංකා පාසල් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා පැවසීය.

    ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවලින් පාසල් වෑන්වලට ඩීසල් ලබාදෙන බවට ආණ්ඩුව පොරොන්දු වුවද එම වැඩපිළිවෙළ නිසි පරිදි සිදු නොවන බවද සභාපතිවරයා කීය.

    එම නිසා පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ දුෂ්කරතා මතුව තිබෙන බව ද මල් ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේය.

    මීට අමතරව පාසල් වෑන් රථ සඳහා ලීසිං වාරික ගෙවා ගැනීමේ අපහසුතාව හේතුවෙන් පාසල් වෑන් රථ හිමියන් කබලෙන් ළිපට වැටී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

    ඉදිරි සතිවල රටේ තෙල් – ගෑස් තත්වය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    0

    ඉදිරි සතිවලදී මෙරට තුළ ගෑස්, ඉන්ධන බෙදාහැරීමට ඇති හැකියාව, පවතින තොග මෙන්ම මේ වනවිට රජය විසින් ආර්ථික ගැටලු සමනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද කරන ලද විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.

     

    පිවිතුරු

    0

    ඡායාරූපය – තිළිණ කළුතොටගේ

    බස්නාහිර ක්‍රියාත්මක පාසල් සේවා බස් රථවල විස්තර මෙන්න..

    0

    බස්නාහිර පළාත තුළ පාසල් සේවා බස්රථ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ එම පාසල් සේවා බස් රථවල ගමන් මාර්ගය, ආවරණය කරනු ලබන පාසල්, ආරම්භක වේලාවන් සහ බස්රථ අංක ද සහිතවය.

    පාපැදි මංතීරුවලට ප්‍රමුඛතාව

    0

    පවතින ඉන්ධන අර්බුදය හමුවේ දීර්ඝ කාලීන සැළසුමකට අනුව පාපැදි ප්‍රවර්ධනය කිරීම සඳහා පාපැදි මංතීරු ප්‍රධාන හා අතුරු මාර්ග ආශ්‍රිතව හඳුන්වා දීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

    අනුරාධපුර – පාදෙණිය , කඩුවෙල – බත්තරමුල්ල මාර්ග සංවර්ධනය කිරීමේදී එම මාර්ගවල පාපැදි මංතීරු වෙන් කළද මේ වන විට එම මංතීරු මැකී ගොස් ඇත. එම මංතීරු නැවත වෙන්කිරීමටත් දෙහිවල සිට කොල්ලුපිටිය දක්වා මෙන්ම අතුරු මාර්ග ආශ්‍රිතවත් පාපැදි මංතීරු වෙන් කිරීමට මේ වන විට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සැළසුම් සකස්කරමින් තිබේ.

    එසේ නව මංතීරු ඉදිකිරීමේදී පාපැදි මංතීරු පුළුල් කිරීමට අවධානය යොමුවී ඇති අතර ඉදිරියේ සිදුවන මාර්ග සංවර්ධන කටයුතු වලදී විදේශයන්වල දක්නට ඇති අයුරින් පදිකයන්ට මෙන්ම පාපැදි මංතීරු වෙන්ව සකස් කිරීමටද පියවර ගැනීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ප්‍රතිඵත්තිමය තීරණයකට එළඹීමට නියමිතව ඇත.

    අඩු ආදායම්ලාභීන්ට මාස 3ක සහනයක්

    0

    අඩු ආදායම්ලාභීන් සඳහා මූල්‍යාධාර ලබාදීමේ වැඩපිළිවෙළ මාස 3 ක් ක්‍රියාත්මක කරන බව සමෘද්ධි දෙපාර්තමේන්තුව පවසයි.

    එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පැවසුවේ, ඒ යටතේ එක පවුලක් සඳහා මැයි, ජූනි සහ ජූලි මාස තුන වෙනුවෙන් රුපියල් 5000 සිට 7500 ක් දක්වා මූල්‍යාධාරයක් හිමිවන බවයි.

    ලෝක බැංකු සහය යටතේ මෙම මූල්‍යාධාර ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.

    ලොව පුරා න්‍යෂ්ටික අවි වැඩිවීමක්

    0

    ගෝලීය න්‍යෂටික අවි සංචිතය ඉදිරි වසර කිහිපයේදී ඉහළ යාමට හැකියාවක් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණය වේ.

    ලොව පුරා අවි ආයුධ සම්බන්ධනේ සමීක්ෂණ කරනු ලබන ස්ටොක්හෝම් ඉන්ටනැෂනල් පීස් රිසර්ච් ආයතනය විසින් නිකුත් කළ නවතම වාර්තාව මගින් මේබව අනාවරණය වී ඇත.

    ඒ අනුව සීතල යුද්ධයෙන් පසුව මෙලෙස ගෝලීය න්‍යෂ්ටික අවි සංචිත ඉහළ යන පළමු අවස්ථාව මෙය බවද ලොව න්‍යෂ්ටික බලවතුන් නව දෙනාම සිය න්‍යෂ්ටික අවි සංචිත වර්ධනය කරගනිමින් සිටින බවද එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

    “මේවන වට ඉතාම පැහැදිලි කාරණයක් වන්නේ සීතල යුද්ධයෙන් පසුව ක්‍රමානුකූලව ගෝලීය න්‍යෂ්ටික අවි සංචිත අඩුවෙමින් පැවත තත්ත්වය දැන් අවසන් වෙලා තිබෙන බවයි.” යනුවෙන් ස්ටොක්හෝම් ඉන්ටනැෂනල් පීස් රිසර්ච් ආයතනයේ ජේ්‍යෂ්ඨ සාමාජිකයකු වන හෑන්ස් ක්‍රිස්ටියන් පෙන්වා දෙයි.

    ඒ අනුව රුසියාව සතුව න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි මිසයිල ශීර්ෂ 5977ක්ද ඇමරිකා එක්සත් ජනපදය සතුව 5428ක් පවතින අතර එය ගෝලීය න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි මිසයිල ශීර්ෂ වලින් සියයට 90 කි.

    කෙසේ වෙතත් 2021 වර්ෂයේදී රටවල් දෙකෙිම න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි මිසයිල ශීර්ෂ වල යම් අඩුවීමක් වාර්තා වුවත් ඊට හේතුව වී ඇත්තේ දෙරටේම භාවිතය ගත් නොහැකි තත්ත්වයට පත්වූ මිසිල ශීර්ෂ විනාශ කිරීමට ගත් තීරණ නිසාවෙනි.

    ඒ අනුව යුද කටයුතු වලට භාවිතා කිරීමට හැකියාව පවතින න්‍යෂ්ටික අවි සංචිත වල කිසිඳු අඩුවීමක් පසුගිය කාලය තුලදී සිදුව නොමැති බවද ස්ටොක්හෝම් ඉන්ටනැෂනල් පීස් රිසර්ච් ආයතනය පෙන්වාදෙයි.

    එම ආයතනය සඳහන් කරන ආකාරයට ලොව පුරා දැන පවතින න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි මිසයිල ශීර්ෂ සංඛ්‍යාව දොලොස් දහස් හත්සිය පහක් බවට ගණන් බලා ඇති බවත් ඉදිරි දශක කිහිපයේදී මෙම සංඛ්‍යාව වර්ධණය වීමේ වැඩි ඉඩ කඩක් පවතින බවද ඔවුන් සඳහන් කරයි.

    පසුගමනය

    ඉකුත් දශක කිහිපයේදී ගෝලීය න්‍යෂ්ටික අවි සංචිත ක්‍රමානුකූලව අඩුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස සීතල යුද්ධය පැවති කාලයට සාපෙක්ෂව අද වන විට ගෝලීය න්‍යෂ්ටික අවි සංචිත පහෙන් එකක් දක්වා පහත බැස තිබේ. කෙසේ වෙතත් ස්ටොක්හෝම් ඉන්ටනැෂනල් පීස් රිසර්ච් ආයතනය විසින් පසු ගිය කාලයේදී මෙම ප්‍රවණතාවය ආපසු හැරවීමකට ලක්ව ඇති බවට අනාවරණය කරගැනීමට සමත්ව තිබේ.

    මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිශේද බලය හිමි චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය, සහ ඇමරිකා එක්සත් ජනපදය රට රටවල් සියල්ල සතුවම න්‍යෂ්ටික අවි පවතින අතර මෙම වසර ආරම්භයේදී එම රටවල් සියල්ලම න්‍යෂ්ටික අවි සංචිත වර්ධනය නවතා දැමීමට ක්‍රියා කරන බව ප්‍රකාශ කළේය.

    කෙසේවෙතත් මෙම රටවල් පහම මෙම කාලය තුලදී සිය න්‍යෂ්ටික අවි සංචිත වර්ධනය කිරීමටත් වැඩිදියුණු කිරීමටත් පියවර ගෙන ඇති බව ස්ටොක්හෝම් ඉන්ටනැෂනල් පීස් රිසර්ච් ආයතනය පෙන්වා දෙයි. එමෙන්ම රුසියාව විසින් යුක්‍රේන යුද්ධය පදනම් කරගෙන සිය න්‍යෂ්ටික අවි භාවිතා කිරීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්ද කර තිබීම දැඩි අවධානයක් යොමු කළයුතු කාරණයක් බවට පත්ව ඇත.

    අවාදානම්කාරී ප්‍රවනතාවය

    ඉහතින් සඳහන් කළ රටවල අතිරේකව න්‍යෂ්ටික අවි සතුවන ඉන්දියාව, පාකිස්ථානය, ඊශ්‍රායලය සහ උතුරු කොරියාව යන රාජ්‍යන්ද පසුගිය කාලය තුලදී සිය න්‍යෂ්ටික අවි සංචිත වර්ධනය කර ගැනීමටත් අවි පද්ධති වැඩිදියුණු කිරීමටත් පියවර ගෙන තිබිණි. මෙහිදී කිසි විටෙක ඊශ්‍රායලය ප්‍රසිද්ධියේ තමන්ට න්‍යෂ්ටික අවි පවතින බවට ප්‍රකාශ කර නොතිබුනද ඔවුන් සතුව න්‍යෂ්ටික අවි පවතින බවට බොහොදෙනා පිළිගන්නා කාරණයකි.

    මේ අතර චීනය විසින් පසුගි කාලය තුලදී සිය න්‍යෂ්ටික අවි සංචිත සීඝ්‍රයෙන් වර්ධනය කර ගැනීමට පියවර ගත් අතර ගෙවුනු කෙටි කාලයේදී නව මසයිල ස්ථාන ගතකිරීම 300කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති බවද වාර්තාවේ.

    ඒ අනුව ලොව න්‍යෂ්ටික අවි සතු සියලුම රාජ්‍යන්න සිය අවි සංචිත වර්ධනයටත් වැඩිදියුණු කිරීමටත් පියවරගෙන ඇත. මෙහිදී මේවන විට රුසියානු යුක්‍රේන ගැටුම් වර්ධන වීමත් ඉන්දියාව චීනය සහ පාකිස්ථානය අතර තත්ත්වය උණුසුම් විම සහ උතුරු කොරියාවේ ක්‍රියා කලාපය ඉදිරියේදී දැඩි බලපෑමක් එල්ල කිරිමට හැකියක් පවතී.

    අලි-මිනිස් ගැටුමට සාම ව්‍යාපෘතියක්

    0

    හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නිරන්තරයෙන්ම වාර්තා වන අලි මිනිස් ගැටුමට පිළියම් යෙදීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය විසින් ඇමෙරිකානු ඩොලර් 50,000ක් යොදවා අරම්භකළ අලි “මිනිස් සාම ව්‍යාපෘතිය“ අරමුදල යටතේ සිදුවන පළමු ව්‍යාපෘතිය ලෙස එල්ලෙන විදුලි වැට ඉදිකිරීමේ කටයුතු තම්මැන්නාව ගම්මානයෙන් ආරම්භ කෙරිණි.

    තම්මැන්නාව ගම්මානය ආවරණය වන ලෙස කිලෝමීටර් 5.8ක් දිග මෙම එල්ලෙන විදුලි වැටේ ඉදිකිරීම් කටයුතු සිදුවන්නේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේද සහය ඇතිවය.

    ගම්මානයේ ජීවත්වන පවුල් 60 ක 200 ට වැඩි පිරිසකට ඔවුන්ගේ ජීවනෝපායන් බියක් සැකක් නොමැතිව නිදහසේ කරගෙන යාමට මෙන්ම කෘෂි අස්වැන්න සඳහා රැකවරණයක් මේ තුළින් ලැබෙනු ඇති බවත් අපේක්ෂා කරයි.

    “අප අවට ප්‍රජාවන්ගේ පාරිසරික හා සමාජීය සංවර්ධනය අපගේ වරාය සංවර්ධන වැඩසටහනේ අත්‍යවශ්‍ය අංගයක්. අලි මිනිස් සාම අරමුදල අපගේ පරිසර ආරක්ෂණ වැඩසටහන යටතේ පිහිටවූයේ පවතින ගැටුමට විසඳුම් සෙවීම සඳහායි. දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රශ්නයක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා අපගේ පූර්ණ අවධානය යොමු කර ඇති අතර සාම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන සියලුම ක්‍රියාමාර්ග තීරණය කර ක්‍රියාවට නංවන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි. මෙම මූලික පියවරයන්හි සාර්ථකත්වය මත, දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු වන පරිදි, ප්‍රදේශයේ අලි ගහනය සඳහා තිරසාර විසඳුම් ලබා ගැනීමේ අනෙකුත් මුලපිරීම් සඳහා සහය වීමටද අප බලාපොරොත්තු වෙනවා.” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසකි.

    වරාය අවට ප්‍රජාව සහ පරිසරය සුරැකීම තම සමාජ වගකීම යැයි හම්බන්තොට වරාය බලධාරීන් තරයේ විශ්වාස කරයි. තම්මැන්නාවෙහි දැනට පවතින පාරම්පරික විදුලි වැටට අලි ඇතුන් හුරු වී ඇති හෙයින් එය ඉවත් කොට එල්ලෙන වැටක් ඉදි කිරීමට, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත තීරණය වී වූවකි. ඒ අනුව මෙම වැඩපිළිවෙළ තුළින් අලි මිනිස් ගැටුම විසඳීමේ ඉලක්කය කරා සමීප වීමට හැකි වනු ඇතැයි හම්බන්තොය වරාය බලධාරීන්ගේ බලාපොරොත්තුයි.

    කෘෂිකර්මාන්තය තම්මැන්නාව ගම්වාසීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන නිසා හදිසි අලි ප්‍රහාරවලින් ඔවුන්ගේ වටපිටාව ආරක්ෂා කර දීමේ අරමුණින් මෙම වැට ඉදි කරන අතර එතුළින් ඔවුනට සාමකාමීව, බියෙන් තොරව තම එදිනෙදා කටයුතු වල යෙදීමට අවකාශය ලැබෙනු ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය විශ්වාස කරයි.

    මෙම එල්ලෙන විදුලි වැට සඳහා වැයවනු ඇතැයි අපේක්ෂිත මුදල රුපියල් මිලියන10කි.

    මෙයට අමතරව මෙම අලි මිනිස් ගැටළුව විසඳීම සඳහා ඉදිරිපත්ව සිටින දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඒ සඳහා උනන්දු වන විවිධ රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉදිරිපත් කරන ව්‍යාපෘති මාලාවකට සහාය වීමටද සූදානමින් සිටින බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සඳහන් කරයි.

    ව්‍යාපෘතියේ ආරම්භක උත්සවයට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු , ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ ,ප්‍රධාන මූල්‍ය නිලධාරී රේමන්ඩ් මු ,හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී රවී ජයවික්‍රම , හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් හි ප්‍රධාන උපායමාර්ගික නිලධාරි ග්‍රෙග් චෙන්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමනසේකර, දකුණු වනජීවී කලාපයේ සහකාර අධ්‍යක්ෂ පී.ඒ චන්න සුරවීර, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කුමාර මහත්වරු සහ ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා ගලප්පත්ති මහත්මියද , රාජ්‍ය නිළධාරින් මෙන්ම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු ගම්වාසීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

    ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙයි

    0

    තරග පහකින් සමන්විත සීමිත පන්දුවාර 50 තරගාවලිය ආරම්භකරමින් ඕස්ට්‍රේලියාවට එරෙහිව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය.

    ඒ අනුව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මේ වනවිට පැවැත්වෙන තරගයේ පන්දුවාර 7ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 28ක් ලබා සිටියි.

    මුහුදු රළට එකම පවුලේ තිදෙනෙක් බිළිවේ

    0

    උස්සන්ගොඩ වෙරළ පාගමින් සිටි පිරිසක් රැල්ලකට හසුවීමෙන් එකම පවුලේ තිදෙනෙක් අතුරුදන්ව ඇතැයි අම්බලන්තොට පොලීසිය සඳහන් කරයි.

    උස්සන්ගොඩ පිහිටි විහාරස්ථානයකට පැමිණි පිරිසක් වන්දනාමාන කර අනතුරුව රැල්ල පෑගීමට වෙරළට ගොස් සිටියදී මෙම අනපේක්ෂිත අනතුර සිදුව තිබේ.

    මවක්, පුතෙක් සහ එම මවගේ නැගණියගේ පුතා මෙසේ රැල්ලට ගසාගෙන ගොස් ඇත. මව 55 වන වියේ පසුවන්නියකි. පුතා 16 හැවරදිය. නැගණියගේ පුතා 22 හැවරදිය. ඔහු දෙණියාගේ පදිචිකරුවෙක් වන අතර සෙසු අය ඒ කිට්ටුව ප්‍රදේශයක පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

    විහාරස්ථානයට පැමිණ කණ්ඩායම් දෙකක් රැල්ල පාගමින් සිටියදී රැල්ලට ගසාගෙන ගොස් ඇත්තේ එක කණ්ඩායමකි. විශාල රැල්ලක් ඔවුන් සිටි ස්ථානයට පැමිණ මුහුදට ගසාගෙන ගොස් ඇති බවත් සිව් දෙනෙක් එම අවස්ථාවේදී ගසාගෙන ගොස් ඇති බවත් පොලීසිය කියයි. ඒ අයගෙන් දිවි ගලවාගෙන ඇත්තේ එක් අයෙක් පමණි. සෙසු තිදෙනා ගොඩබිමට එන අතර තුර දෙවැනි රැල්ල විසින් ඔවුන්ව මුහුදට ගසාගෙන ගොස් ඇති බව සෙසු අය පවසන බව පොලීසිය සඳහන් කරයි.

    රැල්ලට ගසාගෙන ගිය තිදෙනා සොයා නාවික හමුදාව මේ වන විටත් මෙහෙයුමත් දියත්කර ඇත.

    මට්ටක්කුලියේ ඉදන් ඇලකන්දේ ජිම් එකට ආ කුඩු ඡාවාරම්කරු වෙඩි කා මරුට

    0
    Israeli practice shooting with in a shooting range called Magnum 88 in Jerusalem, on March 08. 2007. Photo by Olivier Fitoussi /Flash90. *** Local Caption *** ?????????? ??? ???? ??? ??? ????? ???? ??

    වත්තල ඇලකන්දේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයක් ආසන්නයේ දී සිදුවූ වෙඩි තැබීමකින් මත්කුඩු ඡාවාරමකට සම්බන්ධ පුද්ගලයෙක් මරුමුවට පත්ව ඇත.

    කායවර්ධන මධ්‍යස්ථානයේ සිට ඔහු පිටතට පැමිණි අවස්ථාවේදී රැක සිටි පුද්ගලයෙක් ටී 56 අවියකින් ඔහුගේ හිසටම වෙඩි තබා ඇතැයි පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    මට්ටක්කුලියේ අල්ලි වත්තේ පදිංචිකරුවෙක් මෙසේ ඝාතනය වී ඇත. ඔහු තදින්ම අයිස් නැමැති මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටියෙක් බවද පැවසේ.

    ඝාතකයා පැමිණ ඇත්තේ යතුරු පැදියකින් බවට තොරතුරුද පොලීසියට ලැබී ඇත.

    මෙම ඝාතනය හා පසුගිය දිනවල සිදුවූ ඝාතන අතර යම් සම්බන්ධයක් තිබෙන්නේදැයි සොයා බලන බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

    ඝාතනයට ලක්වූ පුද්ගලයා නිපුන නැමැති අයෙකි. ඔහුගේ පියාද මත්කුඩු ඡාවාරමකට සම්බන්ධව සිටියෙකි. ඔහු සුදු වෑන් රථ කල්ලියේ පැහැර ගැනීමකට ලක්වූ අයෙක්
    බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම ඝාතනය මේ වන විට ඉන්දියාවට පළාගොස් සිටින වැල්ල සාරංග නැමැති මත්කුඩු ඡාවාරම්කරුගේ කොන්ත්‍රාත්තුවකට අනුව ඔහුගේ ගෝලයින් විසින් කර ඇති බවට පොලීසිය විශ්වාස කරයි.

    වාර්ෂික පිරිවැටුම මිලියන 120 ට වැඩි නම් අලුත් බද්දක්

    0

    වසරකට මුළු පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළදුන් සහ සිල්ලර වෙළදුන් සඳහා සියයට 2.5ක අනුපාතයක් යටතතේ 2022 අයවැය මගින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් හඳුන්වා දීමට රජය තීරණය කළේය.

    ඊට අදාලව නීති කෙටුම්පත් සම්පාදකයන් විසින් සකස් කර ඇති පනත් කෙටුම්පතට නීතිපතිගේ නිශ්කාශන ලැබී ඇති බැවින් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් හා ආර්ථික ස්ථායිකරන අමාත්‍යවරයා ලෙස කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ හිමිව ඇත.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

    2022 අයවැය යෝජනා මඟින් සමාජ ආරක්ෂණ අරමුදලක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ.

    ඒ අනුව, වසරකට මුළු පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළෙඳුන් සහ සිල්ලර වෙළෙඳුන් සඳහා 2.5%ක අනුපාතයක් යටතේ නව බද්දක් වශයෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දීමට තීරණය කර ඇත.

    ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව එකී පනත් කෙටුම්පත අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රට රැකියා පෙන්වා මුදල් වංචා කළ කතක් පැහැරගනී – මුදාහරින්න කප්පම් ගන්න හැදූ 2ක් කොටුවේ

    0

    කාන්තාවක් පැහැරගෙන ගොස් සිරකර තබාගෙන ඇයව මරා දමන බවට තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 05ක කප්පමක් ලබාගැනීමට තැත්කල බව කියන දෙදෙනෙක් වව්නියාව පුවරසන්කුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම කාන්තාව පුද්ගලයින් රට රැකියා සඳහා යවන බව සඳහන් කරමින් මුදල් වංචාවේ නිරතව සිටි අයෙක් බවද විමර්ශන වලින් හෙළිවී ඇත.

    ඇයව පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා ඇත්තේද ඇයට රැවටුණු පිරිසකගේ ඥාතීන් දෙදෙනෙක් බව පොලීසිය කියයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වව්නියාවේ සහ කිලිනොච්චියේ පදිංචි අවුරුදු 26 සහ 49 වයස්වල පසුවන්නන්ය.

    මෙම කාන්තාව පැහැර ගැනීමට ලක්ව ඇත්තේ ඊයේ උදෑසන පුවරසකුලම් පොලිස් වසමේ වාරිකුට්ටූර් හීදීය.

    ඇයව පැහැරගත් පුද්ගලයින් එම කාන්තාවගේ දියණියට දුරකතන ඇමතුම් දෙමින් සිය මව තමන් භාරයේ සිටින බව පවසමින් ඇයව නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 05ක කප්පමක් ඉල්ලා තර්ජනයකර ඇති බව පොලීසිය කියයි. එම මුදල ලබානොදුනහොත් ඇයට වෙඩි තබා මරා දමන බවටද පවසා තිබෙන බව දියණිය විසින් පොලීසියට පවසා ඇත.

    දියණිය විසින් ඒ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීන් විසින් කළ මෙහෙයුමකට අනුව අපරාධකරුවන්ට මුදල් ලබාදෙන අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන පැහැර ගැණුනු කාන්තාව මුදාගෙන තිබේ.

    ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් පවසා ඇත්තේ එම කාන්තාව විසින් රට රැකියා සඳහා යවන බව සඳහන් කර සිය ඥාතීන්ගෙන් ලබාගත් මුදල් ගැනීම සඳහා ඇයව මෙසේ පැහැරගත් බවත් ඉල්ලා සිටියේ කප්පමක් නොව, රට රැකියා සඳහා යවන බව කියා ලබාගත් මුදල් බවත් පවසා තිබේ.

    පොලීසිය සඳහන් කරනු ලැබුවේ එම මුදල් වංචාව සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් සිදුකරන බවය. එහෙත් එසේ බලහත්කාරයෙන් මුදල් ලබාගැනීමට පුද්ගලයින් පැහැර ගැනීමට හෝ මුදල් ඉල්ලා තර්ජනය කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බැවින් මෙම සැකකරුන් දෙදෙනා අධිකරණයට අද ඉදිරිපත්කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    අදත් විදුලිය කැපේවි

    0

    අද(14) දිනයේත් පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    එම විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

    Approved_Power_Interruption_Schedule_13th_to_19th_June

    “ලංකාවේ රාජ්‍ය පාලනයට මිහිඳු හිමි දුන් ඔවදන දැන් ආදර්ශයට ගතයුතුයි”- අගමැති

    0

    මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවේ රාජ්‍ය පාලනය සකස් කිරීමට දුන් ඔවදන මේ මොහොතේ ආදර්ශය බවට පත්කරගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අදට යෙදෙන පොසොන් පොහොය නිමිති කරගෙන අගමැතිවරයා පණිවුඩයක් නිකුත් කර තිබේ.

    අංගම්පොර සටන් කලාවට ඉංග්‍රීසීන් පැනවූ තහනම ඉවතට

    0

    යටත්විජිත පාලන සමයේදී ඉංග්‍රීසීන් විසින් අංගම්පොර සටන් කලාවට පැනවූ තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුවය.

    අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය.

    • මෙරට පවතින සාම්ප්‍රදායික ක්‍රීඩාවක්, සටන් කලාවක් මෙන්ම සංස්කෘතික උරුමයක් වශයෙන් වැදගත් වන අංගම් සටන් කලාව ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබ ඇත.

    අංගම්පොර සටන් ශිල්පය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම පිණිස 2019 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත්, ඒ සඳහා වන ගැසට් නිවේදනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

    එබැවින්, අංගම්පොර සටන් කලාව සංරක්ෂණය කර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ඉංග්‍රීසි යටත් විජිත පාලකයින් විසින් පනවා ඇති තහනම ඉවත් කිරීම ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම පිණිස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    විශ්‍රාම වැටුප – ජ්‍යෙෂ්ඨත්වය තියාගෙනම රජයේ නිලධාරින්ට රට රැකියා යන්න වරම්

    0

    රටතුළ දැනට පවතින ආර්ථික තත්ත්වය සැළකිල්ලට ගෙන ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට අගතියක් බාධාවක් නොවන ලෙස රැකියාවක් කිරීම පිණිස හෝ වෙනත් ඵලදායී කාර්යයක නිරත වීම පිණිස රාජ්‍ය නිලධරයන්ට වැටුප් රහිත විදේශ නිවාඩු ලබා දීමට අවශ්‍ය විධිවිධාන සංශෝධනය කරමින් චක්‍රෙල්ඛයක් නිකුත් කිරීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

    අධ්‍යයන හෝ විදේශ රැකියා සඳහා රජයේ නිලධාරියෙකුට සිය සේවා කාලය තුළ උපරිම වශයෙන් වර්ෂ 05ක කාලසීමාවකට වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට දැනට පවතින විධිවිධාන අනුව හැකියාව තිබේ.

    එහෙත්, එකී කාලසීමාව විශ්‍රාම වැටුප් ගණනය සඳහා සැලකිල්ලට නොගැනීම, ජ්‍යෙෂ්ඨතාවයට බලපෑමක් සිදු වීම හා වෙනත් කොන්දේසි හේතුවෙන් රජයේ සේවකයින් එලෙස නිවාඩු ලබාගැනීම කෙරෙහි එතරම් උනන්දුවක් දක්වනු නොලබයි.

    රට තුළ දැනට පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන, රජයේ නිලධාරින්ට විදේශ රැකියාවක නිරත වීම හෝ වෙනත් ඵලදායී කාර්යයක නිරත වීම සඳහා ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට අගතියක් නොවන පරිදි වර්ෂ 05ක කාලයකට වැටුප් රහිත විදේශ නිවාඩු ලබා ගැනීමට හැකි වන පරිදි දැනට පවතින විධිවිධාන සංශෝධනය කරමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    “සොබාදහම ගැන ඇති විශ්වාසය යහපතට හේතුවන බව මිහිඳු හිමි පසක් කළා” – ජනපති

    0
    file photo

    විමංසනය, බුද්ධිය, නම්‍යශීලීබව හා ධර්මගරුකබව, නිර්මාණශීලී චින්තනය සහ සොබාදහම කෙරෙහි ඇති විශ්වාසය ජන සමාජයේම පොදු යහපතට හේතුවන බව අනුබුදු මිහිඳු මාහිමියෝ අපට පසක් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    පොසොන් පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

    ජනාධිපතිවරයාගේ පොසොන් පොහෝ දින පණිවුඩය මෙසේය.

    ”නව අරුත් සහිත අනන්‍යතාවක් සේ ම සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කළ, මහින්දාගමනය සිදු වූ පොසොන් පොහොය ශ්‍රී ලාංකේය අප, ගෞරවයෙන් සදානුස්මරණය කරන අසිරිමත් දවසකි. තථාගතයන් වහන්සේ අනුදැන වදාළ ශ්‍රී සද්ධර්මය මෙරට ස්ථාපිත කිරීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ එතෙක් පැවති ශ්‍රී ලාංකේය සංස්කෘතිය අර්ථයෙන් සහ ධර්මයෙන් පෝෂණය කළහ. මිහිඳු මහරහතන් වහන්සේ පෙන්වා දුන් මාර්ගය ජාතික අභිවෘද්ධිය උදෙසා ද වදාළ දහමකි. එසේ ම ආධ්‍යාත්මික පුද්ගල සංවර්ධනය ඉලක්ක වූවකි. ඒ දහම වැළඳ ගත් අතීත ශ්‍රී ලංකාව ශ්‍රී විභූතියෙන් අනූන ව පැවැතුණු බව ඉතිහාසයේ සඳහන් ය.

    පොදුජන කේන්ද්‍රීය අරමුණක් ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනාගේ සමගිය, සහාය, බැඳීම් අත්‍යවශ්‍ය වේ. අතීත අපේ හෙළයන් අභියෝග ජය ගනු ලැබුවේ සාමූහික හා පොදු එකඟතා මත පිහිටා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

    විමංසනය, බුද්ධිය, නම්‍යශීලීබව හා ධර්මගරුකබව, නිර්මාණශීලී චින්තනය සහ සොබාදහම කෙරෙහි ඇති විශ්වාසය ජන සමාජයේ ම පොදු යහපතට හේතු වන බව අනුබුදු මිහිඳු මාහිමියෝ අපට පසක් කළහ. බුදු දහමෙන් ඉගැන්වෙන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් ඇති කර ගත් අවබෝධයේ හරයයි. පසිඳුරන්ගෙන් සිත මුලාවට ඉඩ නො තැබිය යුතු ය. සත්‍ය දැක ගත හැකි වනුයේ ධර්ම ගවේෂණය තුළිනි.

    බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ධර්මය අපි ද අවබෝධ කර ගනිමින්, භව නිරෝධයත් මෙලොව සුවයත් පිණිස කටයුතු කිරීමට මෙම පොසොන් මංගල්‍යයේ අදිටන් කර ගනිමු. ඒ සඳහා සියලු දෙනාට මෙත් සිත් ඇති වේවා! යි ප්‍රාර්ථනා කරමි.”

    2023 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ චක්‍රලේඛය වෙනස් වේ

    0

    ලබන වසර සඳහා පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රෙල්ඛය සංශෝධනය වනු ඇත.

    ඒ සඳහා ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිව තිබේ.

    අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛයන් ක්‍රියාත්මක කිරීමේදී පැනනැඟුන ගැටලු පිළිබඳව විදුහල්පතිවරුන්, චක්‍රලේඛ සංශෝධන කමිටුව, අමාත්‍යාංශයේ විමර්ශන අංශය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද කරුණු මෙන්ම ඒ පිළිබඳව වූ අධිකරණ තීන්දු ද සැලකිල්ලට ගනිමින්, සංශෝධිත නව චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිළියෙල කරනු ලැබ ඇත.

    ඒ අනුව, 2023 වර්ෂයේ සිට ඉදිරියට පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා එකී සංශෝධිත චක්‍රලේඛයේ සඳහන් විධිවිධාන අදාළ කර ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

    මේ සතියේ සිට රජයේ සේවකයන්ට සිකුරාදා නිවාඩුව අනුමතයි

    0

    රජයේ සේවකයන්ට සිකුරාදා දින නිවාඩු දිනයක් ලෙස මේ සතියේ සිට ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ඉදිරි මාස 3ක කාලයක් සඳහා මෙය වලංගු වේ.

    කෙසේ වෙතත්, මෙයට ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා ඇතුළත් නොවේ.

    දැනට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මගී ප්‍රවාහනයට බාධා පැමිණ ඇති අතර, එම තත්ත්වය යටතේ රාජ්‍ය අංශයේ සේවකයින්ට සිය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම ගැටලුවක් බවට පත් වී තිබේ.

    මෙම තත්ත්වය යටතේ සතියේ රාජකාරි කරනු ලබන එක් (01) දිනක් සඳහා රජයේ නිලධාරින්ට නිවාඩු ලබා දී ඉදිරියේදී ඇති විය හැකි යැයි අපේක්ෂිත ආහාර හිඟයට පිළියමක් වශයෙන් සිය ගෙවතු ආශ්‍රිතව හෝ වෙනත් ස්ථානයක කෘෂිකාර්මික කටයුත්තක නිරත වීම පිණිස ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.

    ඒ අනුව, ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා වැනි අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර ඉතිරි රාජ්‍ය ආයතන ඉදිරි මාස 03ක කාලය තුළ සිකුරාදා දිනවල වසා තැබීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩාවැටීමෙන් මව-පියා-පුතුන් දෙදෙනා රෝහලේ

    0
    file photo

    ගාල්ල උඩුගම මාර්ගයේ කොට්ටව රක්ෂිතය මැදින් ගමන් කරමින් තිබුණු ත්‍රීරෝද රථයක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් එහි ගමන් කරමින් සිටි එකම පවුලේ මව පියා සහ පුතුන් දෙදෙනා තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත්කර ඇත.

    මෙම අනතුර ඊයේ සවස සිදුව තිබේ. කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පියාව නිවස වෙත රැගෙන යමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත.

    වසර 200ක් පමණ පැරණි රක්ෂිතයේ තිබුණු විශාල මොර ගසක් වෙනත් ගසක් මතට වැටී ඇති බවත් එම ගසේ විශාල අත්තක් ත්‍රීරෝද රථය මතට වැටී ඇති බවත් යක්කලමුල්ල පොලීසිය සඳහන් කරයි.

    මෙම අනතුර සිදුවන විට වැසි තත්ත්වයක් හෝ දැඩි සුළං තත්ත්වයක් එම ප්‍රදේශයේ තිබී නැති බවද පොලීසිය කියයි.

    අනතුරින් තුවාල ලැබූ දරුවන් පුතුන් දෙදෙනාගෙන් අයෙක් ගුවන් හමුදාවේ සේවය කරන අයෙකි. අනිත් පුතා පුද්ගලික විශ්ව විද්‍යාලයක උපාධි අපේක්ෂකයෙකි.

    මෙම අනතුර සිදුවන විට ත්‍රීරෝද රථය පදවා ඇත්තේ උපාධි අපේක්ෂක පුතාය. එම පුතාත් මවත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.

    පිය 58 වන වියේ ද මව 56වන වියේද පසුවන අතර දරුවන් දෙදෙනා 30 හා 26 වන වියේ පසුවේ. ඔවුන් හිනිඳුම පදිංචිකරුවන්ය.

    අනුරාධපුරය සුදු වතින් බැබළේ

    0
    file photo

    අනුරාධපුර අටමස්ථාන ඇතුළු පූජනීය ස්ථාන අද උදෑසන සිට සුදු වතින් සැරසුණු බැතිමතුන්ගෙන් පිරී ගොස් ඇත.

    කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු අනුරාධපුරයට රැස්වූ විශාලතම පිරිස මෙය වන බව සැළකේ.

    අද දිනයේ අනුරාධපුරයේ සෑම පූජනීය ස්ථානයකම පාහේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ඒ සෑම ස්ථානයකම සැළකිය යුතු බැතිමතුන් පිරිසක් රැදී සිටිති.

    දේශය මිත්‍යාවෙන් මුදා ගනිමු තේමාවෙන් මෙවර ජාතික වෙසක් උත්සවය සමරයි.

    වැඩි පිරිසක් මෙවර දුම්රියෙන් අනුරාධපුර වන්දනාවට පැමිණ ඇති අතර ඊයේ සවස් කාලයේ සිට බැතිමතුන් වැඩිවශයෙන් අනුරාධපුරයට පැමිණීමට පටන්ගත් බව පොලීසිය සඳහන් කළේය. ඉන්ධන අර්බුදයක් රටේ පැවතියත් වන්දනා නඩ රැගත් බස් රථද සැලකිය යුතු ප්‍රමාණයක් අනුරාධපුරයට පැමිණ තිබීම විශේෂිතය. ඊට අමතරව පුද්ගලික වාහනවලින්ද විශාල පිරිසක් පැමිණ සිටී.

    බැතිමතුන්ගේ පහසුව සඳහා අනුරාධපුර නගර සභාව විසින් සනීපාරක්ෂක පහසුකම් වෙනත් වර්ෂවලදී මෙන්ම සපයා තිබේ. එසේම බැතිමතුන් වෙනුනේ මෙවර අටමස්ථාන භූමියේ දන්සල් 06ක් ක්‍රියාත්මකය. පැය 24 පුරාම ක්‍රියාත්මක දන්සල්ද ඒ අතර ඇත.

    වැව් අමුුණුවල දිය නෑමට යන බැතිමතින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිතාරක්ෂක කණ්ඩායම්ද යොදවා තිබේ.

    අටමස්ථාන සහ මිහින්තලය ඇතුළු ජනතාව වැඩි වශයෙන් වන්දනාමාන කිරීමට රැස්වන පූජා භූමි ආශ්‍රිත ප්‍රදේශවල විදුලි විසන්ධියක් මෙම පොසොන් සතිය තුළ නොකිරීමටද තීරණය වී ඇත.

    පොසොන් පුර පොහොය අදයි

    0

    බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (14) යෙදී තිබේ.

    එදා දෙවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් අනුරාධපුරය ,මිහින්තලය ආලෝකමත් වූවා පමණක් නොව ශ්‍රී ලාංකික ජනසමාජයම සමාජ, සංස්කෘතික හා ආගමික, අධ්‍යාත්මික ලෙස ද සංවර්ධනය වී දැවැන්ත පරිවර්තනයකට හේතුපාදක විය.

    පොසොන් උත්සවය වෙනුවෙන් මිහින්තලය හා අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කර, ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

    එහි පැමිණෙන බැතිමතුන් සඳහා සියලු පහසුකම් සලසා ඇති අතර මෙවර රට තුළ පවතින අර්බුදය හමුවේ විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා නොකරන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පවසා තිබේ.

    මේ අතර , පොසොන් උත්සවය අනුරාධපුර, මිහින්තලය ඇතුළු පූජා භූමි වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ ය.

    ඒ වෙනුවෙන් අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක ය.