fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්Exclusive: "ගුවන් යානය රඳවා ගත්තැයි රුසියානු රජය ශ්‍රී ලංකාවට අප්‍රසාදය පළ කළා"...

    Exclusive: “ගුවන් යානය රඳවා ගත්තැයි රුසියානු රජය ශ්‍රී ලංකාවට අප්‍රසාදය පළ කළා” – රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය

    එරොෆ්ලොට් ගුවන් යානයක් අධිකරණ නියෝගයක් මත බව පවසා කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ පරිශ්‍රයේ රඳවා ගැනීම සම්බන්ධයෙන් රුසියානු රජය තමන් විදේශ අමාත්‍යාංශයට කැඳවා සිය අප්‍රසාදය ශ්‍රී ලංකාවට පළ කරන බව දැනුම් දුන්නේයැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මාහාචාර්ය ජනිතා අබේවික්‍රම මහත්මිය නිවුස්වේව් අද (04) කළ විමසීමේ දී පැවසුවාය.

    රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රඳවා නොගන්නාබවට එකඟතාවක් පැමිණ තිබිය දී අධිකරණ නියෝගයක් මත බව පවසා ගුවන් යානය රඳවා ගැනීම මෙම අර්බුදයට හේතු වී තිබේ.

    ජූනි 2 වන දා රුසියාවේ සිට මෙරටට සේන්දු වූ එරොෆ්ලොට් ගුවන් යානයෙන් රුසියානු සංචාරකයන් 250ක පමණ පිරිසක් පැමිණ ඇත. රුසියානු ජාතික ගුවන් සේවය වන එරොෆ්ලොට් සෑම සතියක ම බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා කටුනායක ගුවන්තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සලසමින් සිටියදී මෙම සිදුවීමට බලපා ඇත්තේ ගුවන් යානා රක්ෂණය සම්බන්ධයෙන් උද්ගතවූ තත්ත්වයකි.

    මෙයට පෙර රුසියාව අදාළ ගුවන් යානා අයර්ලන්ත රක්ෂණ සමාගමක රක්ෂණය කර තිබී ඇති අතර යූක්‍රේන-රුසියා යුද ගැටුම් සමඟ එම රක්ෂණ වාරික ගෙවීම නවතා දමා රුසියාවේ රක්ෂණ ආයතනයකම ප්‍රතිරක්ෂණය කර තිබේ.

    ඒ අනුව අදාළ අයර්ලන්ත රක්ෂණ සමාගම වාරික ගෙවීම අත්හිටුවීමට අදාළව කොළඹ වාණිජ මහාධිකරණය වෙත පැමිණිළි කර ඇත. අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇත්තේ ඊට අදාළව බව සඳහන්ය.

    මෙලෙස රඳවා තිබෙන රුසියානු එයරෝෆ්ලොට් ගුවන් සේවයේ SU288 දරන ගුවන් යානය ජුනි 02 වැනිදා උදෑසන 10.10ට රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත සේන්දු වී නැවත දහවල් 12.50ට මොස්කව් බලා යාමට තිබියදී අධිකරණ තීන්දුව අනුව සිය ගමන අවලංගු කර තිබේ.

    මේ සම්බන්ධයෙන් මෙරට රුසියානු තානාපති නියෝජිතයන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇතැයි නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි. අදාළ නියෝගය ලබා දී ඇත්තේ නැවත පියාසර කළ නොහැකි බවට ද නැතිනම් රක්ෂණ වාරික ගෙවීම සම්බන්ධයෙන්ද යන්න ගැන නිශ්චිතව මෙතෙක් කරුණු හෙළිදරව් වී නැත.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.