fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත්ගමදී ඝාතනයට ලක්වූ තැඹිලි වෙළෙන්දා රජයේ සාක්ෂිකරුවෙක්

    අලුත්ගමදී ඝාතනයට ලක්වූ තැඹිලි වෙළෙන්දා රජයේ සාක්ෂිකරුවෙක්

    අලුත්ගම මොරගොල්ලේදී වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වූ තැඹිලි වෙළෙන්දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මත්කුඩු ඡාවාරම්කරුවන් පිරිසක් සමඟ එක්ව කළ මත්කුඩු ඡාවාරමක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාගවන නඩුවක ප්‍රබල සාක්ෂිකරුවෙක් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ ඔහු මේ වන විට රජයේ සාක්ෂිකරුවෙක් ද වන බවය.

    මෑතකදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් නාවික හමුදාවේ සහය ඇතිව අල්ලාගත් හෙරොයින් කිලෝ 200කට වැඩි ප්‍රමාණයේ ඔත්තුකරුවා බව කියනුයේදී මෙම තැඹිලි වෙළෙන්දා බව සඳහන්ය.

    මෙම ඝාතනය එම ඔත්තුව හේතුවෙන් සිදුවූවක්ද නැතිනම් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ මත්කුඩු ඡාවාරමේ සාක්ෂිකරුවෙක් වීම මෙම ඝාතනයට මුල්වුවාද යන්න පිළිබදව පුළුල් විමර්ශනයක් මේ වන විට සිදුවෙමින් තිබේ.

    මෙම පුද්ගලයා රජයේ සාක්ෂිකරුවෙක් බවට පත්වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සම්බන්ධ බව කියන මත්කුඩු ඡාවාරමට සැකකරුවෙක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවය. ඒ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් නිලධාරීන් 12 දෙනෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්විය.

    මෙම ඡාවාරම හෙළිවන්නේ ඉකුත් 2020 වසරේදීය. කොවිඩ් වසංගතය පැතිරයමින් තිබියදී නිරෝධායන ඇදිරිනීතියට මුවා වී මෙම ඡාවාරම සිදුකර තිබුණි. පකිස්තානයේ සිට ඡාවාරම්කරුවන් විසින් ඡාත්‍යන්තර මුහුදේ ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයට කුඩා නෞකාවකින් රැගෙන පැමිණි හෙරොයින් කිලෝ 200කට වැඩි ප්‍රමාණයක් ගොඩබිමට රැගෙන ඒමට මෙරට මුහුදු තීරයෙන් ගිය යාත්‍රාවේ සිටි පිරිස අතර ඝාතනය වූ තැඹිලි වෙළෙන්දාද සිට ඇත.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාශයේ නිලධාරීන් විසින් එම මත්කුඩු තොගය දින ගණනාවකට පසු අත්අඩංගුවට ගෙන ඇතත් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද අඩුවී තිබී ඇත. එම වැටලීමද ප්‍රශ්නගත වැටලීමක් බවට පත්වන අතර මිනුවන්ගොඩදී අහඹු ලෙස පොලීසියට හසුවන මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මත්කුඩු තොග නැවතත් ඡාවාරම්කරුවන්ට අලෙවි කරන බව හෙළිවී තිබුණි. ඒ අනුව කළ විමර්ශනවලින් එම පොලිස් නිලධාරීන් විසින් මත්කුඩු අලෙවියෙන් උපයාගත් කෝටි ගණනක මුදල් සහ දේපොලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගන්නා ලදි. ඊට අමතරව මත්කුඩු සමඟ පකිස්තානු ඡාවාරම්කරුවන් මෙරටට එවා තිබුණු ගිනි අවි කිහිපයක්ද මෙම නිලධාරීන් විසින් සඟවා තිබියදී සොයා ගත්තේය.

    මෙම ඡාවාරමට සම්බන්ධ මත්කුඩු ඡාවාරම්කරුවන් රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය. ඇතැම් ඡාවාරම්කරුවන් ඩුබායි රටට පළා ගොස් තිබුණි. ප්‍රබල පාතාල අපරාධකරුවන්ද මෙම ඡාවාරම හා සම්බන්ධව සිටියේය.

    මෙම විමර්ශනය භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතාට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද පසුව ලබාදී තිබුණි. එසේ ආරක්ෂාවක් ලබාදුන්නේ යැයි සඳහන් වූයේ ඔහුට ජීවිත තර්ජනයන් එල්ලවී ඇති බවට තොරතුරු ලැබී තිබීමක් හේතුවෙනි. නමුත් එම මත්කුඩු ඡාවාරමේ ප්‍රබලතම සාක්ෂිකරුවෙක් මෙන්ම රජයේ සාක්ෂිකරුවෙක් වූ තැඹිලි වෙළෙන්දාට කිසිදු රැකවරණයක් නොවීය. දෛනිකව සිය ලොරි රථයේ ගමින් ගමට ගොස් ඔහු තැඹිලි කපා ලොරි රථයේ පටවාගෙන ගොස් අලෙවි කරමින් සිටියේ අනාවරක්ෂිතවය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
    නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනුයේ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම කර ඇති බවකි. මෙම ඝාතනය මත්ද්‍රව්‍ය ඡාවාරම සම්බන්ධයෙන් වූ පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක්දැයි සැකයක් පවතින බව ඔහු සඳහන් කරයි. පොලිස් කණ්ඩායම් 05 ක් විමර්ශන සඳහා යොදවා ඇති බවත් සැබෑ තත්ත්වය අනාවරණය කර ගැනීමට විමර්ශන සිදුවන බවත් නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවැසීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.