fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පානදුරේ වෙඩි තැබීම ඩුබායි පාතාලයේ මෙහෙයුමක් - කුඩු සළිඳුගේ වැඩක් බවට සැක

    පානදුරේ වෙඩි තැබීම ඩුබායි පාතාලයේ මෙහෙයුමක් – කුඩු සළිඳුගේ වැඩක් බවට සැක

    පානදුර නිර්මල මාවතේදී ඊයේ (03) සිදුවූ වෙඩි තැබීම මෙරටින් පළාගොස් ඩුබායි හී රැදී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන පානදුරේ කුඩු සළිඳුගේ වැඩක් බව පොලීසියය සැකකරයි.

    පොලීසියේ ඉහළ නිලධාරීයෙක් ඉතා කිට්ටුව ඇසුරුකර ඇතැයි කියනු ලබන කුඩු සළිදුගේ මෙරට අපරාධවලට එම නිලධාරියාගේ රැකවරණය ලැබෙන බව පොලීසිය අභ්‍යන්තරයේද විවිධ කථාබහ පවතී.

    කුඩු සළිඳු ඩුබායි පළායන්නේ ද එම නිලධාරියාගේ ආශිර්වාදයෙන් බව ද කියති. මේ වන විට ඩුබායි සිට මත්කුඩු ඡාවාරම මහා පරිමාණයෙන් මෙහෙයවමින් පාතාල අපරාධවද ඔහු නිරතව සිටින බව පොලිස් වාර්තාවලම දැක්වේ.

    පානදුර පල්ලියමුල්ලේදී ඉකුත් 2021 වසරේ ජනවාරි 25 වෙනිදා ත්‍රී රෝද රථ රියදුරෙකුට වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ කුඩු සළිඳු කරලියට ආවේය. කළුතර දිස්ත්‍රික්කයේ ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතයෙක් වන කුඩු සළිඳුගේ කොන්ත්‍රාත්තුවකට අනුව ත්‍රී රෝද රථ රියදුරාව ඝාතනය කළ බව පොලිස් විමර්ශනයේදී හෙළිවිය. එම ඝාතනයට සම්බන්ද වෙඩික්කරු සහ යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම පරීක්ෂණ පවත්වන විට උසස් පොලිස් නිලධාරියෙක් එය වලක්වමින් ඔවුන් දෙදෙනා වෙඩි තැබූ ආයුධය සමඟ පොලීසියට භාරවන බව සඳහන්කර තිබුණි. නමුත් ඔවුන් භාරවනවා වෙනුවට වෙඩික්කරුවා බෝට්ටුවකින් ඉන්දියාවට පළාගොස් තිබුණු අතර වෙඩික්කරුවා සමඟ එම ඝාතනයට යතුරුපැදියක් පදවාගෙන ගිය සැකකරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි.

    ඒ අතර පොලිස් ලොක්කෙකුට ලැබුණු තොරතුරක් අනුව යැයි කියා පානදුර පැත්තේ සුසාන භූමියක ගසක් පාමුල තිබී වෙඩි තැබූ අවිය බව කියමින් ටී 56 අවියක්ද සොයා ගත්තේය. එම අවිය රස පරීක්ෂකට යොමු කිරීමෙන් අනතුරුව හෙළිවී ඇත්තේ වෙඩි තබා ඇත්තේ එයින් නොවන බවය.

    අනතුරුව බොල්ගොඩ ගඟේ ගිල්වා තිබී වෙඩික්කරු ගමන් ගත්තේ යැයි කියන යතුරු පැදියක්ද ගොඩගත්තේ මාධ්‍ය මෙහයුමක්ද දියත් කරමිනි. අවසානයේදී කළ විමර්ශනයේදී පෙනී යන්නේ එම යතුරු පැදියද සැබෑ යතුරු පැදිය නොවන බවය.

    අනතුරුව කුඩු සළිඳු ප්‍රබල චරිතයක් බවට පත්වන අතර පානදුර කේතුමකතී රෝහල් භූමියේදී ඉකුත් ජනවාරි 27 වෙනිදා ගිලන්රථ රියදුරෙක් ඉලක්කර එල්කරන වෙඩි ප්‍රහාරයද කුඩු සළිඳුගේ කොන්ත්‍රාත්තුවක් බව හෙළි විය. කුඩු සළිදුගේ මත්කුඩු බෙදා හැරීමේ ඡාලයේ සිටි ප්‍රබල චරිතයක් වූ ගිලන් රථ රියදුරාගේ ඔත්තුවකින් කළුතර විශේෂ පොලිස් කණ්ඩායමත් සළිඳුගේ මත්කුඩු තොගයක් අල්ලා ගැනීම එම වෙඩි තැබීමට මුල්වූ බව විමර්ශන වලින් අනාවරණය විය. පොලීසිය ඉතා කෙටි කාලයක් තුළ වෙඩික්කරුවන්ද අත්අඩංගුවට ගත්තද අදටත් වෙඩි තැබූ ගිනි අවිය සොයාගැනීමට සමත්වූයේ නැත.

    කුඩු සළිඳු සම්බන්ධයෙන් කෙරන සෑම විමර්ශනයකදීම පාහේ ඔහු සහ ඉහළ පොලිස් නිලධාරියෙක් අතර ඇති සම්බන්ධකමක් හෙළිවන අතර එම නිලධාරියා සමඟ සළිඳු දුරකතන සංවාදයේ පවා නිරතව ඇති බව හෙළිවී තිබුණි. සළිඳු සම්බන්ධයෙන් කෙරන විමර්ශන වලදී එම නිලධාරියාගෙන් විමර්ශන අධික්ෂණ නිලධාරීන්ට නිරන්තර බාධා එල්ලවී තිබෙන බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

    ඊයේ සිදුවූ වෙඩි තැබීමෙන්ද මිය ගොස් ඇත්තේ කුඩු සළිඳුගේ මත්කුඩු ඡාලය හා සම්බන්ධව කළක් සිටි පුද්ගලයෙක් බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ. මත්කුඩු අලෙවිය හා සම්බන්ධ මුදල් ආරවුලක් හේතුවෙන් කුඩු සළිඳු මෑතක සිට මෙම පුද්ගලයා සමඟ ආරවුලකින් සිට ඇති බවද පොලීසියට තොරතුරු ලැබී ඇත.

    එම පුද්ගලයාට එරෙහිය කළුතර සහ පානදුර අධිකරණවල මත්ද්‍රව්‍ය නඩු දෙකක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    යතුරුපැදියක නැගී තවත් පුද්ගලයෙක් සමඟ ඔහු ගමන් කරමින් සිටියදී ඔවුන් ගමන් කරමින් සිටි දෙසට පිටුපසින් පැමිණි යතුරුපැදියක පිටුපස ගමන් කළ පුද්ගලයෙක් විසින් මෙම වෙඩි තැබීම කර ඇති බව නිහාල් තල්දූව මහතා පවසයි. එම වෙඩි තැබීම ආරක්ෂක කැමරාවකද සටහන් වී ඇති බවත් වෙඩි වැදී මිය ගිය පුද්ගලයා යතුරු පැදිය සමඟ බිම ඇද වැටී ඇති බවත් ඔහු සමඟ ගමන් කරමින් සිටි පුද්ගලයා දුව ගොස් දිවි බේරාගෙන ඇති බවත් තල්දූව මහතා සඳහන් කළේය. වෙඩික්කරු ගමන් කළ යතුරු පැදිය වෙඩි තැබීමෙන් පසු මදක් ඉදිරියට ගමන් කර නැවත හරවාගෙන පැමිණ වෙඩි වැදී බිම වැටී සිටි පුද්ගලයාට නැවතත් වෙඩි තබා පළායන බවද නිහාල් තල්දූව මහතා පැවසීය.

    මෙම වෙඩි තැබීමට යොදාගෙන ඇත්තේ 0.38 වර්ගයේ පතොරම් යොදන රිවොල්වරයක් බවත් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් අතර ආරවුලක් මෙම ඝාතනයට මුල්වී ඇතැයි සැකකරන බවත් නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම ඝාතන විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 06 යොදවා ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.