fbpx
තවත්

    ඇප අරන් එද්දී තවත් හොරකමක – කෝටියක අයිෆෝන් ඉස්සූ කුඩ්ඩා පැය 6න් අල්ලයි

    0

    ගාල්ලේ පිහිටි ඉලෙක්ට්‍රෝනික් භාණ්ඩ අලෙවි ප්‍රදර්ශනාගාරයක් ඊයේ අලුයම් කාලයේදී කිසියම් අයෙක් විසින් බිද එහි තුබුණු රුපියල් ලක්ෂ 110කට අධික වටිනාකමක් ඇති ඇපල් වර්ගයේ ජංගම දුරකතන 20ක් සහ අයිපෑඩ් 04ක් සොරාගෙන ගොස් තිබුණි.

    ප්‍රදර්ශනාගාරයේ වීදුරුවකට ගලකින් ගසා වීසුරුව සිදුකරුකර ඒ තුළින් රිංගා මෙම සොරකම සිදුකර තිබේ.

    මෙරට ප්‍රධාන පෙලේ සමාගමකට අයත් මෙම ප්‍රදර්ශනාගාරයේ ආරක්ෂක කැමරා සවිකර ඇතත් කාලයක් තිස්සේම ඒවා තිබී ඇත්තේ අක්‍රියවය. ඒ නිසා මෙම සොරකම සිදුවූයේ කුමන වේලාවකදී දැයි අනාවරණය කර ගැනීම මෙන්ම සොරාව හදුනා ගැනීම ගැටළු සහගත තත්ත්වයක් බවට පත්විය.

    මෙම සොරකම ගැන ගාල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබෙන්නේද උදෑසන එම ප්‍රදර්ශනාගාරයේ සේවකයින් එහි පැමිණි පසුවය. පොලීසියට ඒ ගැන කළමනාකරු විසින් පැමිණිල්ලක් කර ඇත්තේද උදෑසන 8.00න් පසුවය.

    මෙහිදී පොලීසිය අවට වෙළදසැල්වල ඇති ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී අලුයම 2.30ට පමණ සැකකටයුතු පුද්ගලයෙක් අදාල ප්‍රදර්ශනාගාරය පැත්තේ සිට මාර්ගය හරහා බෑගයක්ද රැගෙන ගමන්කරන ඇයුරු පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත. එම පුද්ගලයාගේ සමීප ඡායාරූපයක් ගෙන ඔහු කවුරුන්දැයි හදුනා ගැනීමට පොලීසිය උත්සාහ දරමින් සිටියදී මෙම ප්‍රදර්ශනාගාරයේ ඉහළ කළමනාකාරීත්වය පොලීසියට දැනුම්දෙන්නේ මෙයට පෙර අවස්ථා තුනකදීම මේ ආකාරයටම වීදුරු බිද සිය ප්‍රදර්ශනාගාර තුනක් බිද දමා ඇති බවය. එසේ බිද දමා තිබුණේද එකම සැකකරුවෙකු විසින් බව ද ගාල්ල පොලීසිය දැනුවත් කිරීමට කළමනාකාරීත්වය පියවර ගෙන ඇත.

    මෙහිදී එම සැකකරුගේ ඡායාරූපයක් සහ හැදුණුම්පතේ පිටපතක් එක් කළමනාකරුවෙකු සතුව තිබී ඇති අතර ඔහු එය ගාල්ල ප්‍රදර්ශනාගාරයේ කලමනාකරුට වට්ස්ඇප් මගින් යොමුකර තිබේ. එහිදී පෙනී ගොස් ඇත්තේ ආරක්ෂක කැමරාවක සටහන් වූ පුද්ගලයා සහ මෙයට පෙර වීදුරු කඩා සොරකම් කළ පුද්ගලයා එකම අයෙක් බවය.

    ඒ අනුව පොලිස් කණ්ඩායමක් සැකකරු පදිංචිව සිටින බව සහන් වූ මාතර පොල්වත්තේ පිහිටි නිවසට යන විට ඔහු සිට ඇත්තේ නිවසේ නිදාගෙනය. ඔහුව අවදිකරවා කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ අදාල සමාගමේ කොළඹ පිහිටි ප්‍රදර්ශනාගාරයක් බිදීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු වැලිකඩ බන්ධනාගාරයෙන් ඇප මත පෙර දිනයේ නිදහස ලබා සිය නිවස බලා යන අතරතුර ගාල්ලේ ප්‍රදර්ශනාගාරය බිද දේපොල සොරාගත් බවය.

    සොරාගත් සියළුම දුරකතන සහ උපකරන ද සගවා තිබියදී සොයාගැනීමටද පොලීසියට හැකියාව ලැබී ඇත. මෙම පුද්ගලයා අධික ලෙස මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බව පොලීසිය කියයි.

    මාල කැඩූවාට අල්ලාගත් කොල්ලකරුව පොලීසියට පහරදී පැහැරගනී

    0

    මහ මඟ ගමන්කරමින් සිටි කාන්තාවකගේ රන් මාලයක් කඩාගෙන යතුරුපැදියකින් පළායමින් සිටි සැකකරුවෙකුව අල්ලාගත් ගම්පොල පොලීසියේ නිලධාරීන්ට එම කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවෙකු විසින් පහරදී සිය සඟයාව රැගෙන ගොස් තිබේ.

    මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    පොලීසිය පවසන ආකාරයට අනුව මෙම සිදුවීම වී ඇත්තේ මෙසේය.

    රුපියල් 80,000ක් පමණ වටිනා රන් මාලයක් කොල්ලකෑ දෙදෙනෙක් යූ.එච්. 7910 අංකය දරන යතුරු පැදියෙන් පළායන බවට ලද තොරතුරක් ගම්පොල පොලිස් ස්ථානයේ දුරකතන ක්‍රියාකාරු විසින් සවස 2.00ට පමණ මාර්ගයේ රාජකාරියේ නිරතව සිටින නිලධාරීන්ට දැනුම් දෙන්නේ රේඩියෝ පණිවුඩයක් මගිනි.

    ඒ වන විට නගරයේ මෙහෙයුම් රාජකාරිවල නිරතව සිටි පොලිස් පරීක්ෂක රිස්වි ද වහාම මෙහෙයමු රාජකාරයේ නිරතව සිටි නිලධාරීන් දැනුවත්කරමින් යතුරුපැදිය ගැන සෝදිසියෙන් සිටින ලෙස පවසා තිබේ.

    පොලිස් පරීක්ෂක රිස්වි රැදී සිට ඇත්තේ පොලීසියේ ත්‍රීරෝද රථයේය. එම යතුරුපැදිය ඔහු රැදී සිටි ත්‍රීරෝද රථය අසලින් ඒ අවස්ථාවේදී ගමන්කර ඇත. එවිට එම නිලධාරියා වහාම රථයේ රියදුරු පොලිස් නිලධාරියාට දැනුම් දී ඇත්තේ එම යතුරුපැදිය හඹායන ලෙසය.

    ඒ අනුව යතුරු පැදිය හඹාගොස් ත්‍රීරෝද රථය යතුරුපැදියට ඉස්සර කර මාර්ගයේ පටු ස්ථානයකදී මාර්ගය හරහා ත්‍රීරෝද රථය නතරකර තිබේ. එහිදී පොලිස් නිලධාරීන් යතුරු පැදියේ සිටි එක් අයෙක් අල්ලාගෙන ඇත. එහිදී එක් අයෙක් පළාගොස් ඇති අතර මද වේලාවකට පසු ඔහු එතැනට පැමිණ පොලිස් නිලධාරීන්ට යතුරුපැදි හිස් වැසුමකින් දිගට හරහාට පහරදී සිය සඟයාව මුදාගෙන පළාගොස් තිබේ.

    මෙහිදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුටම තුවාල සිදුවී ඇත. ඒ අතර පොලිස් පරීක්ෂක රිස්විද සිටී. ඔහු මේ වන විට ගම්පොල රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබන බව පොලීසිය කියයි.

    එම අවස්ථාවේදී එම යතුරුපැදිය නිරීක්ෂණයට ලක්ව ඇත්තේ පොලිස් ත්‍රීරෝද රථයේ රැදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකටය. එම අවස්ථාවේදී

    ව්‍යපාරිකයෙකුට රන් පෙන්වා කෝටි 03කට වැඩේ දී හිමිනම පැනගිහින්

    0

    කිලෝ 20ක් බරති රන් තොගයක් තමා සතුව ඇති බව සඳහන් කරමින් ව්‍යාපාරිකයෙකු රවටා එම රන් තොගය වෙනුවෙන් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 03ක මුදලක් ලබාගත් සෙවනගල විහාරස්ථානයක හිමිනමක් පළාගොස් තිබේ.

    සෙවනගල කිරිවැව, රන්වැලිගම ශ්‍රී රම්බෝධි විහාරස්ථානයේ වැඩ සිටි බාගල රාහුල නැමැති හිමිනම මෙම වංචාව කර තිබෙන බව සෙවනගල පොලීසිය සඳහන් කරයි.

    මෙම භික්ෂුවගේ වංචාවට හසුවී රුපියල් කෝටි 03 ක මුදලක් අහිමිකරගෙන ඇත්තේ දොඩංගොඩ වෑවලගොඩ පදිංචි ව්‍යාපාරිකයෙකි.

    මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශන ආරම්භකර ඇති අතර භික්ෂුව රටින් පළාගියේදැයි මේ වන විට සොයා බලමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    වරකාපොල හෝටලයෙන් රෑ කෑම ගත් මතුගම පාසල් සිසුන් 150ක් රෝහලේ

    0

    අධ්‍යාපන චාරිකයාවකට සහභාගි වී සිටි මතුගම හොරවල නවෝද්‍යා විද්‍යාලයේ සිසුන් පිරිසක් වරකාපොල පිහිටි ප්‍රසිද්ධ හෝටලයකින් ඊයේ රාත්‍රී ආහාර ගැනීමෙන් පසු රෝගී වී ඇති බව වරකාපොල පොලීසිය සඳහන් කරයි.

    සිසුන් 150 දෙනෙකු මේ වන විට වරකාපොල රෝහලට ඇතුලත් තර ඇති අතර කලාන්තය, කැරකිල්ල, උදරය දැවිල්ල, වමනය, පාචනය යන රෝගී තත්ත්වයන් ඒ අයට පෙන්නුම්කර තිබේ.

    මෙම විද්‍යාලයේ 06 වන ශ්‍රේණියේ සිට 09 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන් 246 දෙනෙක් මෙම අධ්‍යාපන චාරිකාවට සහභාගි වී සිට ඇත. මහනුවර ගොස් නැවත පාසල වෙත යමින් සිටියදී මෙම හෝටලයේ නවතා රාත්‍රී ආහාරය ලබාගෙන ඇති බව සඳහන්ය.

    ආහාරය ගෙන සුළු මොහොතකට පසු මෙම රෝගී තත්ත්වයන් ඇති වී තිබෙන බව විමර්ශන වලින් පෙනී යන්නේ යැයි වරකාපොල පොලීසිය කියයි.

    මේ සම්බන්ධයෙන් වරකාපොල පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

    තලේබාන් යම පාලනයේ තවත් තීන්දුවක් – කතුන්ට සරසවි තහනම්

    0

    ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලකයින් රට පුරා කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කර තිබේ.

    දැඩි මතධාරී ඉස්ලාම්වාදීන් කාන්තාවන්ගේ අධ්‍යාපනයට සහ නිදහසට ඇති අයිතිය දිගින් දිගටම තලාපෙළමින් සිටින බවට ජාත්‍යන්තරය චෝදනා කරයි.

    ‘නැවත දැනුම් දෙනතුරු කාන්තා අධ්‍යාපනය අත්හිටුවීමේ සඳහන් නියෝගය වහා ක්‍රියාත්මක කරන ලෙස ඔබ සැමට දන්වා සිටිමු.’ යනුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය නෙඩා මොහොමඩ් නදීම්ගේ අත්සනින් සියලුම රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත ලිපියක් නිකුත් කර තිබේ.

    පසුගිය වසරේ දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගත් විට දැඩි පාලනයක් නොකරන බවට පොරොන්දු වුවද, ජාත්‍යන්තර විරෝධය ද නොසලකා හරිමින් කාන්තාවන්ගේ ජීවිතයේ සෑම අංශයකටම තලේබාන් සංවිධානය සීමා පනවමින් සිටී.

    “ඇෆ්ගනිස්ථානයේ සියලු දෙනාගේ අයිතිවාසිකම්වලට ගරුකරන තුරු තලේබාන් සංවිධානයට ජාත්‍යන්තර ප්‍රජාවේ නීත්‍යානුකූල සාමාජිකයෙකු වීමට අපේක්ෂා කළ නොහැක. මෙම තීරණය තලේබාන් සංවිධානයට ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත.’ යනුවෙන් රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටේනියෝ ගුටරෙස් තහනම ගැන ‘දැඩි කලබලයට’ පත් වූ බව ඔහුගේ ප්‍රකාශකයා අඟහරුවාදා පැවසීය.

    විදුලි කැපිල්ල ගැන රතු එළි

    0

    නියමිත කාලසීමාව තුළ ගල් අඟුරු නැවි නියමිත පරිදි ගෙන්වාගැනීමට නොහැකි වුවහොත් ජනවාරියේ සිට විදුලි කප්පාදු කාලයේ වැඩිවීමක් සිදුවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

    නොරොච්චෝලයේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3ම භාවිත නොකොට 2ක් පමණක් භාවිත කරමින් විදුලිය නිපදවීම කරන ලෙස දැනුම් දුන් බවත් ඊළඟ නැව එනතුරු එලෙස කළමනාකරණය කරගෙන යාමට සිදුවන බවත් හෙතෙම මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

    “ලබන අවුරුද්දේ අනිවාර්යෙන්ම ගල්අඟුරු අවශ්‍ය සංචිත ප්‍රමාණය නැතිවීමේ අවදානමකට අපි ලක්වෙලා තියෙනවා. ඒ අවදානම නිසා තමයි ගල් අඟුරු නැති වුණොත් එහෙම, නැවතත් මේ අවුරුද්දේ අර ජනවාරි මාසයේ තිබුණා වගේ දිර්ඝ කාලීන විදුලි කප්පාදුවකට යනවා කියන එකේ පදනමක් තියෙනවා.”

    ගල් අඟුරු නෞකා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ සභාපතිවරයා මෙසේ ද කීය.

    “ගල්අඟුරු අගෝස්තු මාසයේ සිට අද දක්වා අපිට ඇවිල්ලා තියෙන්නේ ගල්අඟුරු නැව් 5යි. තව එකක් එන්නට තියෙනව තව සුමාන දෙකක් ඇතුළත. ඒ නිසා තමයි අපි නිර්දේශයක් නිකුත් කළේ, ලංකා විදුලි බලමණ්ඩලයට නොරොච්චෝලයේ බලාගාර 3ම පාවිච්චි නොකර දෙකක් පමණක් පාවිච්චි කරලා ඊළඟ නැව එනතුරු මේ කළමනාකරණය කරගෙන යන්න ඕනේ කියලා. දැන් ප්‍රශ්නය තියෙන්නේ ඉතිරි නැව් 32ක.. අපිට අවුරුද්දකට නැවු 38ක් ඕනේ. දැනට 6ක් ඇවිල්ලා තියෙනවා. ඉතිරි 30ක් හරි 31ක් හරි ගෙන්න ගන්නවානම් එහෙම අපිට තියෙන ප්‍රශ්නය තමයි ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසයේ 15 වනදා වෙනතුරු විතරයි අපිට ගෙන්න ගන්න පුළුවන්. අපිට දවස් 5කට සැරයක් නැවක් ගෙන්න ගත්තොත් අපිට නැවු 20කට වඩා ගෙන්න ගන්න බැහැ. මොකද අපිට තියෙන කාලය මාස 4කට සීමා වෙලා තියෙන්නේ.”

    අද විදුලිය කැපෙන හැටි

    0

    අද (21) දිනයේත් පැය 2යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුවක් රටපුරා සිදුකිරීමට සැලසුම් කර තිබේ.

    මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර ඇති අද විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

    ෆේස්බුක් එකෙන් කතුන් නිරුවත් කරන වංචනික මනුකියවන්නා අත්අඩංගුවට

    0

    ගුවන් සේවිකාවන් බදවා ගන්නා බවට ‍ෆේස්බුක්හි දැන්වීමක් පලකර ඊට ප්‍රතිචාර දක්වන කාන්තාවන්ව උපක්‍රම ශීලීව රවටමින් නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මගින් ලබාගෙන එම ඡායාරූප ප්‍රසිද්ධ කරන බව කියා කාන්තාවන් බිය ගන්වමින් ඒ අයගෙන් ලිංගික පහස සහ මුදල් ඉල්ලා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ජල මණ්ඩලයේ මනු කියවන්නෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    හගුරන්කෙත පදිංචිකරුවෙක් වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන කළ පරීක්ෂා කිරීම්වලදී මෙම අපරාධය සඳහා ඔහු යොදාගත් ජංගම දුරකතන 04ක්ද ජංගම දුරකතන සිම්කාඩ්පත් 13ක්ද සොයා ගැනීමට හැකිවී ඇත.

    එම ජංගම දුරකතන වල ඔහුගේ රැවටීමට ලක්වූ  කාන්තාවන් 20 දෙනෙකුගේ විවිධ ඉරියව් සහිත නිරුවත් ඡායාරූප විශාල ප්‍රමාණයක් තිබී හමුවී ඇත.

    මෙම මනුකියවන්නා විසින් “රුවැත්තියන්ගේ ගැටළු “ නමින් මුහුණු පොතේ ගිණුමක් විවෘතකර ඊට ගුවන් සේවිකාවන් බදවා ගැනීමේ දැන්වීම පලකරමින් මෙම ක්‍රියාවේ නරතව ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    එම දැන්වීම දැක ගුවන් සෙවිකාවන් වීමට අපේක්ෂාවෙන් සිටින තරුණ කාන්තාවන් ඉල්ලුම්පත් යොමු කළ විට ඒ අයගේ මෑතකදී ලබාගත් ඡායාරූපයක් මුලින්ම ඉල්ලා පසුව අඩ නිරුවත් සහ නිරුවත් ඡායාරූප ඔහු විසින් වට්ස්ඇප් ඔස්සේ ගෙන්වාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

    මෙසේ මෙම මනුකියවන්නගේ රැවටීමට හසුවුණු මාතලේ සහ මහනුවර පදිංචි තරුණියන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙයට මාස 03කට පෙර කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම මනුකියවන්නාව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද ලකී රන්දෙණිය මහතා කීය.

    අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ ප්‍රශ්න කිරීමේදී මනුකියවන්නා පවසා ඇත්තේ වසරක කාලයක් තිස්සේ තමන් මෙම අපරාධය සිදුකරන බවත් තරුණියන් සහ කාන්තාවන් විශාල පිරිසක් තමාට හසුවී ඇති බවත්ය. පුරුද්දක් හැටියට තමා මේ කටයුත්කරගෙන යන බවද ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත. වෙනත් පුද්ගලයින්ගේ හැදුණුම්පත් යොදාගෙන ජංගම දුරකතන සිම්කාඩ්පත් යොදා ගනිමින් ඔහු මෙම කටයුත්ත කර ඇතිවද පෙනී ගොස් ඇත.

    වසරක කාලයක් තිස්සේ ඔහු මෙම ක්‍රියාවේ නිරත වී ඇති අතර නිරුවත් ඡායාරූප මේ තැනැත්තා අතට පත්වීමෙන් පසු මුදල් සහ ලිංගික පහස ඉල්ලා තර්ජනයකර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම පුද්ගලයාගේ ගොදුරක් බවට පත්වුණු මහනුවර සහ මාතලේ තරුණියන් දෙදෙනෙක් විසින් කළ පැමිණිල්ලට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    නරක් වූ කෑම විකිණුවොත් වැඩ වරදී

    0

    වෙළඳපොළේ ආහාර පරීක්ෂාව උත්සව සමයේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ ලේකම් එස්.අයි. බෝපිටියගේ පැවසුවේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළඳපොළෙන් ඉවත් කිරීමට සහ අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කිරීමට එහිදී කටයුතු කරන බවයි. 

    එමෙන්ම සංචාරක හෝටල් පරීක්ෂා කිරීමද මේ දිනවල ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

    තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවතට

    0

    තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

    සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ භාණ්ඩ වර්ගවල මෙලෙස සීමා ඉවත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ශක්තිජනක පාන, ආවේෂන කැමරා පද්ධති (CCTV) සඳහා අවශ්‍ය උපකරණ, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තුනී ලෑලි (MDF) සහ ක්‍රීඩා උපකරණ ඊට අයත් වේ.

    ආනයන සීමා ලිහිල් කළ තුන් වැනි අවස්ථාව මෙයයි.

    “රට මුහුණ දී ඇති විනිමය ගැටලුවට විසඳුම් ලෙස ආනයන වියදම් සීමා කිරීමට රජය පියවර ගත්තා. 2020 වසරේ දී ආනයන වියදම දැක්වුණේ ඩොලර් මිලියන 16055ක් ලෙසයි. එය 2021 වසරේ දී එය ඩොලර් මිලියන 20637ක් ලෙස දැක්වුණා. 2022 අගෝස්තු 23 වැනි දා භාණ්ඩ 1465ක ආනයනය සීමා කිරීමට රජය තීරණය කළා. ඒ අනුව ආනයන සීමා පැනවූ දා සිට නොවැම්බර් මස 23 දා දක්වා ගත වූ මාස තුනක කාලය තුළ ඉතිරි කර ගත හැකිව තිබෙන ඩොලර් ප්‍රමාණය මිලියන 1211ක්. මේ මුදල අපි සංසන්දදනාත්මකව සලකා බලමු.

    අපි 2021 වසරේ ආහාර පාන ආයනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1666.5ක් වැය කරල තියෙනවා. ඖෂධ වෙනුවෙන් ඩොලර් මිලියන 882.5ක් වැය කළා. දිගු තෙල් පෝලිම්වල ඉන්න කාලෙ අපි ඉන්ධන වෙනුවෙන් වැය කළ මුදල ඩොලර් මිලියන 3742.9ක්. පොහොර වෙනුවෙන් ඩොලර් මිලියන 158.2ක් වෙන් කරල තියෙනවා”යැයි අමාත්‍යවරයා පැවැසීය.

    වාණිජ මණ්ඩලය, කර්මාන්ත අංශයේ ව්‍යවසායකයන්, ආයෝජන මණ්ඩලය ඇතුළු පාර්ශ්වවල ඉල්ලීම් මත භාණ්ඩ ආනයනය සීමා කළ දා සිට මේ දක්වා කාලය තුළ අවස්ථා තුනක දී සීමා ලිහිල් කිරීමට රජය තීරණය කරනු ලැබීය.

    ඒ අනුව සැප්තැම්බර් 9 දින භාණ්ඩ 708ක, නොවැම්බර් මස 23 දින භාණ්ඩ 77ක සහ දෙසැම්බර් මස 19 දින භාණ්ඩ වර්ග 10ක සීමා ඉවත් කෙරිණි.
    මෙලෙස ආනයන සීමා ලිහිල් කරන භාණ්ඩ ආනයනය පිළිබඳව විධිමත් පසුවිපරමක් සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    විදෙස්ගත ලාංකිකයන් වෙනුවෙන් කාර්යාලයක්

    0

    විදේශගත ලාංකිකයන්ගේ සහාය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මධ්‍යම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමට කාර්යාලයක් පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2022 අතුරු අයවැය මඟින් යෝජනාවක් ද කරන ලදී.

    ඒ අනුව, එතෙර වෙසෙන මිලියන 03ක් පමණ වන ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය මෙරට සංවර්ධන කටයුතු සඳහා ලබා ගැනීමට හැකි වන පරිදි යෝජිත “විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා කාර්යාලය” පිහිටුවීමට පියවර ගැ‍නේ.

    එය ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවීමටත්, එම කාර්යාලයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ අනුමත කර ඇත.

    මහබැංකු පනත් කෙටුම්පත කැබිනට්ටුවේ අනුමතයි

    0

    ශ්‍රී ලංකා මහ බැංකු පනතට නව සංශෝධන එක්කරමින් සකස් කරන ලද නව කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    එය ඊයේ පැවති රැස්වීමේදී මෙලෙස අනුමැතිය හිමිව ඇති අතර එය ඉදිරිපත් කර ඇත්තේ ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

    වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමට හැකි වන අයුරින් මුල් පනත් කෙටුම්පතට නව සංශෝධන ඇතුළත් කරමින් නව කෙටුම්පත වැඩිදියුණු කර තිබේ.

    2019.10.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.

    ඒ අනුව සකස් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත 2019.11.01 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඇත.

    එය අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණ ද න්‍යාය පුස්ථකයට එය ඇතුළත් කර නොමැත.

    ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති පනත් කෙටුම්පත, අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, එකී පනත් කෙටුම්පත සඳහා මෙලෙස අනුමැතිය ලබා දෙන ලදී.

    මේ මාසේ ඉවරවෙන්න කලින් සුබසාධන මුදල් ගන්න

    0

    මේ මාසය අවසන් වීමට පෙර සමාජ සුබසාධන ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සමෘද්ධි කොමසාරිස් ජනරාල් බන්දුල තිලකසිරි මහතා ජනතාවට දැනුම් දෙයි.

    ඔහු සඳහන් කළේ, ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවලට ගොස් එම මුදල් ලබා ගැනීමට හැකියාව ඇති බවයි.

    සුදුසු ප්‍රතිලාභීන්ට රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා එම මුදල් ලබා ගැනීමට හැකියාව පවතී.

    මෙරට පාතාලයේ ප්‍රබලයින් 9ක් ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය භාරයට

    0

    ඉන්දියාව තුළ එල්.ටී.ටී.ඊ.යට පණ දෙන්න ආයුධ ජාවාරමක නිරත වූ බවට එල්ලවී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් තමිල්නාඩුවේ රැදවුම් කදවුරක රදවා සිටි කිඹුලා ඇල ගුණා ඇතුළු මෙරට පාතාලයේ ප්‍රබලයින් 09 දෙනෙකු ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් සිය භාරයට ගෙන තිබේ.

    සින්යියා ගුණසේකරන් නොහොත් කිඹුලා ඇල ගුණා, අලහප්පෙරමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා නොහොත් කොටගාමිණි, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා, දීනමුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග නොහොත් අතුරුගිරියේ ලඩියා, කෙසෙල්වත්තේ ධනුක, ගමගේ සුරංග ප්‍රනාන්දු නොහොත් වැල්ලේ සුරංග, සින්නයියා දිලීපන් ( කිඹුලාඇල ගුණාගේ පුතා) පුෂ්පරාජා හෙවත් පූකුඩිකන්නා, මොහොමඩ් අස්මින් යන පාතාල අපරාධකරුවන් 09 දෙනා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සිය බාරයට ගෙන ඇත.

    2021 වසරේ ජනවාරි අවසාන සතියේදී බෙරවාරි මාසයේදීත් කිඹුලා ඇල ගුණා ඇතුළු මෙම පිරිස තමිල්නාඩු පොලීසිය විසින් කළ වැටලීම් මාලාවකදී අත්අඩංගුවට ගෙන තිබුණි.

    කිඹුලා ඇල ගුණා , ඹහුගේ පුතා, පූකුඩිකන්නා, ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලබන්නේ චෙන්නායි සිට දිල්ලි යාමට ගුවන්තොටුපොට ගොස් සිටියදීය.

    අතුරුගිරියේ ලඩියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ ලොක්කාගේ ඝාතනයෙන් පසු එරට පොලීසිය කළ විමර්ශනයකදී කොයිම්බතූර් පොලීසිය විසිනි.

    කිඹුලාඇල ගුණා එල්.ටී.ටී.ඊ.ය සමඟ කාලයක් තිස්සේ සම්බන්ධකම් පැවැත්වූ අයෙක් වන අතර මත්කුඩු ජාවාරමද මහා පරිමාණයෙන් සිදුකරන තැනැත්තෙකි. මෝදර කිඹුලා ඇල කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක කල්ලියකට නායකත්වය දෙන ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරිව සිටියදී පුරහලු භූමියේදී 1999 ජනාධිපතිවරණයේ අවසන් රැලියට එල්ලවුණු මරාගෙන මරැනෙ බෝම්බ ප්‍රහාරයේද සැකකරුවෙකි. එම ප්‍රහාරයට පැමිණි බෝම්බකාරියට රැකවරණය දුන්නේයැයි කියැවුනේ කිඹුලා ඇල ගුණාය.

    බුම්මා නැමැති පාතාලයේ ප්‍රබලයා කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීප ආරක්ෂක කණ්ඩායමේ සිටි සාමාජිකයෙකි. යුද්ධය අවසන් වීමෙන් පසු පුනරුත්ථාපනය වූ මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයා පසුව දකුණේ පාතාලයට එක්ව අභිරහස් වෙඩික්කරුවෙක් ලෙස ක්‍රියාත්මක වූවෙකි.

    කොටගාමිණි නැමැති අය බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙක් වූ සුනිල් මෙන්ඩිස් මහතා ඝාතනය කිරීමෙන් පසු 2001 වසරේදී ඉන්දියාවට පලාගොස් තිබුණි.

    2017 වසරේදී කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ලකර පාතාලයේ කල්ලි නායකයෙන් වූ කඩුවෙල සමයං ඇතුළු 07 දෙනෙක් මරා දමා අංගොඩ ලොක්කා සමඟ ඉන්දියාවට පැන ගත් අයෙක් වන්නේ අතුරුගිරියේ ලඩියාය.

    කෙසෙල්වත්තේ දිනුකගේ මරණයෙන් පසු කෙසෙල්වත්තේ පාතාලයේ බලය අල්ලාගෙන සිටින ධනුක ඉන්දියාවේ සිට පසුගිය කාලය පුරාවට ඝාතනය රැසක් මෙහෙයැවූ අයෙකි. පෑලියගොඩ මැනින් වෙළද පොලේ පළතුරු සංගමයේ සභාපති අඹ ශානාව ඝාතනය කිරීමද ඔහුගේ කොන්ත්‍රාත්තුවකට අනුව සිදුවූවක් බව අනාවරණය වී තිබුණි. වැල්ලේ සුරංග මොදර වැල්ලේ පාතාල අණසක පතුරුවාගෙන සිටියෙකි. පූකුඩි කන්නා මට්ටක්කුලියේ පාතාල බලය අල්ලාගෙන සිටි ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකි.

    මෙම පිරිස පකිස්තානයේ මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ ඝෘජු සම්බන්ධකම් පවත්වන අතර ඉන්දියානු ආරක්ෂක අංශ අනාරවණය කරගෙන ඇත්තේ එල්.ටී.ටී.ඊ.යට පණ දෙන්නට ඔවුන් සූදානම් වී ඇත්තේ පකිස්තානයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් අවි ආයුධ ලබාගෙන බවය.

    අද විදුලිය කැපෙන හැටි

    0

    අද(20) දිනයේත් රටපුරා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ.

    මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කරන ලද අද විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

    නාවික හමුදාව ඇල්ලූ කුඩු කිලෝ 240 හරක් කටාගේ බඩු බව හෙළිවේ

    0

    රාජ්‍ය බුද්ධි සේවය විසින් ලබාදුන් තොරතුරකට අනුව නාවික හමුදාවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් එක්ව කළ ඒකාබද්ධ මෙහෙයුමකට අනුව ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන පෙරේදා කොළඹ වරාය වෙත රැගෙන පැමිණි අයිස් සහ හෙරොයින් කිලෝ 234 ක තොගය පකිස්තානු ජාවාරම්කරුවන්ගෙන් ඇනවුම්කර ඇත්තේ හරක් කටා විසින් බවට තොරතුරු විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව නිදහස ලැබීමෙන් පසු හරක් කටා මේ වන විට සක්‍රීය වී සිටින බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත. හරක් කටා ඩුබායි පොලිස් අත්අඩංගුවෙන් නිදහස ලැබීමෙන් පසු මෙරටට අවස්ථා කිහිපයකදී මත්කුඩු තොග එවා ඇති බව හෙළිවී ඇත. දකුණු පළාතෙන් පසුගිය කාලයේ කළ වැටලීම්වලින් පොලීසිය සොයාගත් හෙරොයින් තොග සියල්ලක්ම හරක් කටා විසින් මෙරටට එවා ඇති ඒවා බව හෙළිවී තිබුණි.

    හරක් කටා නිදහස ලැබීමෙන් පසු ඔහුට අයත් මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ඇල්ලූ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

    වරාය- ගුවන් තොටුපළ – සිවිල් ගුවන් සේවාවෙන් රු. බිලියන 2ක් ඒකාබද්ධ අරමුදලට

    0

    රජයේ ඒකාබද්ධ අරමුදල සඳහා රුපියල් බිලියන 02ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම හා සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව පරිත්‍යාග කර තිබේ.

    ඊට අදාළ චෙක්පත අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර‍ දී ඇත.

    ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 01ක්, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම රුපියල් මිලියන 500ක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් රුපියල් මිලියන 500ක් රජයේ ඒකාබද්ධ අරමුදල සඳහා පිරිනමා තිබේ.

    වරාය, නාවුක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, වරාය, නාවුක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී බර්නාඩ්, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    හදවත් රකින යන්ත්‍රයක් කටුනායක ගුවන්තොටට

    0

    හදිසි හෘදයාබාධයකට පූර්ව ප්‍රතිකාර ලබාදිය හැකි Automated External Defibrillator (AED) යන්ත්‍රයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පරිත්‍යාග කෙරේ.

    නොමිලයේ එම යන්ත්‍රය කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ සවි කිරීමටත් ශ්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය සහ දැඩි සත්කාර සේවා වෛද්‍ය විද්‍යාලයේ අධීක්ෂණය යටතේ එය භාවිතා කිරීම සහ මූලික ජීවිතාධාර (CPR) ලබාදීම සම්බන්ධ පුහුණුවක් ගුවන් තොටුපළ සේවක සේවිකාවන්ට ලබා දීමටත් Herrma Surgicals & Diagnostics (පුද්ගලික) සමාගම කටයුතු කර ඇත.

    හෘදයාබාධ යනු ශ්‍රී ලංකාවේ මරණවලට ප්‍රධානතම හේතුවකි.

    හදිසි හෘදයාබාධයකට ගොදුරු වූවන්ගෙන් 95% කටම ජීවිත අහිමි වන්නේ නියමිත වේලාවට වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙනි.

    මෙයට පිළියමක් වශයෙන් බොහෝ රටවල පොදු ස්ථානවල Automated External Defibrillator (AED) යන්ත්‍ර සවිකර ඇත.

    Automated External Defihtllator යනු රෝගියාගේ ECG තරංග රටාව පරීක්ෂා කිරීමටත්, හඬ විධාන ලබා දීමටත් රෝගියා නැවත පණ ගැන්වීමට අවශ්‍ය වූ විට විදුලි කම්පනයක් ලබා දීමටත් නිර්මාණය කර ඇති උපකරණයකි.

    නිසි පුහුණුවකින් පසු සෞඛ්‍ය සේවයේ නිරත නොවන පුද්ගලයෙකුට වුවද භාවිතා කළ හැකි ආකාරයට මෙම යන්ත්‍ර නිර්මාණය කර ඇත.

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ යනු වසරකට මගින් මිලියන 15 ක් පමණ භාවිතා කරන ස්ථානයකි. එමෙන්ම එහි නිතර හෘදයාබාධ සිද්ධීන් වාර්තා වේ.

    මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් AED යන්ත්‍රයක් නිල වශයෙන් භාර දීමේ උත්සවය 2022 දෙසැම්බර් 19 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ Silk Route Lounge හිදී පැවැත්විණි.

    බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ගැන කැබිනට්ටුව තීන්දුවක් ගනී

    0

    ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා පරිපාලන කටයුතු සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට සියලුම මහානායක හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

    එතෙක් විශ්ව විද්‍යාලය වසා දැමීමට ද කැබිනට් මණ්ඩලය අද පැවති රැස්වීමේදී තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ ධම්මික හිමියන්ව හෝමාගම පොලීසිය විසින් පසුගියදා (16) අත්අඩංගුවට ගැනුණේ එම විශ්වවිද්‍යාලයේ නවක භික්ෂූන්වහන්සේ නමක් අමානුෂික ලෙස නවකවදයට ලක්කිරීමක් සහ විශ්ව විද්‍යාල පාලනාධිකාරියට මරණීය තර්ජනය කිරීමකට අදාළව ය.

    එම පැමිණිලි දෙක සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගමයේ සභාපති මිදෙල්ලෑවේ සිරිරතන හිමියන්ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

    මෙම තත්ත්වය මත එම විශ්වවිද්‍යාලය අද (19) සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබුණි.

    සබැඳි පුවත්
    සරසවියක් හදිසියේ වැසේ
    නවකවදයක් -තර්ජනයක් ගැන හිමිනමක් රිමාන්ඩ් – තවත් හිමිනමක් සොයයි

    හංවැල්ලේ ආපනශාලා හිමිකරුගේ ඝාතනය ඩුබායි පාතාලයේ වැඩක්

    0

    හංවැල්ලේ පිහිටි ආපන ශාලාවකට ඊයේ රාත්‍රී කාලයේ කඩාවැදී එහි හිමිකරුවට වෙඩි තබා ඝාතනයකර ඇත්තේ ඩුබායි රැදී සිටින පාතාල කල්ලියක ප්‍රබලයෙකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව බව හෙළිවී ඇත.

    මොහොමඩ් ෆාර්ෂාන් (46) නැමැති තිදරු පියෙක් වන ව්‍යාපාරිකයා සිය ආපන ශාලාව වසා අයකැමි කවුන්ටරයේ සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

    යතුරුපැදියකින් දෙදෙනෙක් පැමිණ දුම්වැටියක් ඉල්ලමින් ආපන ශාලාව ඇතුලට පැමිණ මෙම වෙඩි තැබීමකර ඇති බවත් වෙඩි 04ක් එල්ලකර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

    මෙම වෙඩි තැබීමෙන් පසු ව්‍යාපාරිකයාගේ සහෝදරයාට ඩුබායි සිට දුරකතන ඇමතුමක් ලැබී ඇති බවත් “බලපන් වෙලා තියෙන දේ“ යනුවෙන් එහිදී පවසා ඇති බවටත් තොරතුරු පොලීසිට ලැබී ඇත.

    ඝාතකයන් ඔවුන් මෙම ප්‍රහාරයට පැමිණි යතුරුපැදිය අවිස්සාවේල්ල පාරේ අතර මග දමාගොස් තිබියදී හමුවී තිබේ.

    රාජ්‍ය ඇමතිගේ පක්ෂ කාර්යාලය ගිනි තැබුවාට මන්ත්‍රී යුවලක් අත්අඩංගුවට

    0

    රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මරඳගහමුල පිහිටි පක්ෂ කාර්යාලයට මැයි 09 වෙනිදා ගිනි තබා හානි කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අදාලව අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරියක් වන මධුෂිකා ගුණසේකර සහ ඇගේ සැමියාද , දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී එම්.ආර්.කේ. අල්විස් මහතාද මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රාදේශීය සභාවට තේරීපත්ව පසුව සමගි ජන බලවේගයට එක්වූ අය වේ. ඒ හේතුව නිසා ඔවුන්ගේ මන්ත්‍රීධූරය අහිමි වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත ඔවුන් තිදෙනාව මුදා හැර ඇත.

    ශ්‍රී ලංකාවේ මානුෂීය අවශ්‍යතා සීඝ්‍රයෙන් ඉහළට – FAO

    0

    ශ්‍රී ලංකාවේ මානුෂීය අවශ්‍යතා තවදුරටත් තියුණු ලෙස ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.

    ශීඝ්‍රයෙන් වර්ධනය වන ආහාර සුරක්ෂිතතා අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටී.

    මෙරට පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු දැනටමත් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දී සිටින බව ද එම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක වැඩිදුරටත් සඳහන් වේ.

    2022 ජූනි මාසයේ සිට, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් මෙරටට ලබාදෙනු ලබන හදිසි අවස්ථා සහ ඔරොත්තු දීමේ මැදිහත්වීම් පුළුල් කර තිබේ.

    එය කුටුම්භ 62,640 (පුද්ගලයින් 244,300) වෙත ළඟා විය.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවත්, දේශපාලන හා සමාජීය කැලඹීම් හේතුවෙන් තත්ත්වය තවත් උග්‍ර වී ඇති බවත්ය.

    ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් මූලික ආදායම් මාර්ගයක් ලෙස කෘෂිකර්මාන්තය මත යැපේ.

    පවතින පැතිකඩ කිහිපයකින් මතුව ඇති අර්බුදය ඔවුන්ගේ ජීවනෝපායට දැවැන්ත තර්ජනයක් එල්ල කරමින් ජාතික ආහාර පද්ධතිය කඩාකප්පල් කරයි.

    පොහොර සහ අනෙකුත් අත්‍යවශ්‍ය නිෂ්පාදන යෙදවුම් නොමැති වීම හේතුවෙන් 2021 මැද භාගයේ සිට කෘෂිකාර්මික නිෂ්පාදනය පහත වැටීමේ ප්‍රවණතාවක පවතී.

    පශු සම්පත් පාලකයින්ට ආහාර සහ මූලික පශු වෛද්‍ය සැපයුම් වෙත ප්‍රවේශ විය නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

    ධීවරයින්ට මෝටර් බෝට්ටු සඳහා ඉන්ධන ලබා ගැනීම දුෂ්කර වී ඇත.

    එහි ප්‍රතිඵලයක් වශයෙන්, දේශීය වෙලඳපොලවල ආහාර සැපයුම හැකිලෙමින් පවතින අතර ආහාර උද්ධමනය 2022 ජූලි මාසයේදී 90% දක්වා ඉහළ යමින් පවතී.

    එපමණක් නොව, සෑම නිවාස 4/10 ක් ඔවුන්ගේ ආදායමේ අඩුවීමක් අත්විඳී.

    සෑම නිවාස 1/2ක් දැනට ආහාර නොමැතිකම හෝ ආහාර මිලදී ගැනීමට මුදල් නොමැතිකම සමඟ කටයුතු කරමින් සෘණාත්මකව මුහුණ දීමේ යාන්ත්‍රණයන් මත රඳා පවතී.

    ශ්‍රී ලාංකීය ගොවීන්ට සහ ඔවුන්ගේ ප්‍රජාවන්ට සහයෝගය දැක්වීමේ අවස්ථාවෙහි කවුළුව පටු කාල සීමාවකි.

    ගොවීන්ට ගුණාත්මක බීජ, පොහොර සහ පළිබෝධනාශක ලබා දීමට කඩිනම් පියවර ගැනීමෙන් ඔවුන්ගේ ජීවනෝපාය ආරක්ෂා කර ගැනීමට සහ ඔවුන්ගේ ප්‍රජාවන්ට පෝෂණය කිරීමට හැකි බව ද එම සංවිධානය පවසයි.

    මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් මේ වසරේ දී රට රැකියාවලට

    0

    ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වසර තුළ පමණක් ලක්ෂ 3 කට අධික පිරිසක් විදේශ රැකියා සඳහා ලියාපදිංචි කර යවා ති‍බේ.

    ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියෙනි.

    ඔවුන් ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නංවන අතරම රට මුහුණ දෙන අර්බුදයට ධනාත්මක ලෙස දායක වනු ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

    රුසියානු යුද පෙරමුණට සංගීත කණ්ඩායම් යවයි

    0

    රුසියානු හමුදාවේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සඳහා යුද පෙරමුණට සංගීතඥයින් සහ ගායකයින් යොදවන බව රුසියාව පවසයි.

    ඒ අනුව එරට ආරක්ෂක අමාත්‍යාංශය මේ සතියේ “පෙරටුගාමී නිර්මාණාත්මක බලකාය” පිහිටුවීම නිවේදනය කළ අතර එයට සර්කස් වාදකයින් ද ඇතුළත් වන බව පවසයි.

    රුසියනු හමුදාව විසින් මෙම නව බලකාය පිහිටුවීම බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය බුද්ධි තොරතුරු ඒකකට විසින්ද මේ බව තහවුරු කර ඇති බව බීබීසි පුවත් සේවය සඳහන් කරයි.

    මේ අතර, රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු යුක්රේනයේ පෙරටුගාමී හමුදා බැලීමට ගිය බවද මොස්කව් ආරංචි මාර්ග අනාවරණය කළේය.

    ටෙලිග්‍රාම් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, ෂොයිගු විසින් “හමුදා ස්ථානගත කර ඇති ප්‍රදේශ වටා පියාසර කළ බවත් විශේෂ හමුදා මෙහෙයුමේ කලාපයේ රුසියානු ඒකකවල උසස් ස්ථාන පරීක්ෂා කළ බවයි.

    ෂොයිගුගේ වාර්තාගත සංචාරය පිළිබඳව අදහස් දක්වමින් යුක්රේනයේ හමුදා ප්‍රකාශකයා යුක්‍රේන රූපවාහිනී නාලිකාවලට පැවසුවේ “යුද පිටියට යාමට තරම් ෂොයිගු නීර්භිත යැයි මම විශ්වාස කරන්නේ නැහැ” යනුවෙනි.

    රුසියානු මාධ්‍ය ආයතනයක් වන RBC ප්‍රවෘත්ති වලට අනුව, ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ බඳවා ගැනීමේ මෙහෙයුම යටතේ බලමුලු ගන්වන ලද භට පිරිස් මෙන්ම “ස්වේච්ඡාවෙන් හමුදා සේවයට ඇතුළත් වූ වෘත්තීය කලාකරුවන්” ගෙන්ද මෙම නව බලකාය සමන්විත ව ඇත.

    ලෝක පාපන්දු ශූරතාව ආජන්ටිනාව දිනාගනී

    0

    කටාර් හි අද (18) පැවැති අවසන් මහා තරගයේ දී පිට පිට දෙවැනි වතාවටත් පාපන්දු ලෝක ශූරතාවය දිනා ගැනීමේ ප්‍රංශ බලාපොරොත්තු සුන් කරමින් ලයනල් මෙසී ඇතුළු ආජන්ටිනා කණ්ඩායම ලෝක පාපන්දු කිරුළ දිනා ගත්තේය.

    නියමිත කාලයේ දී ගෝල 2-2 ලෙස සමවූ තරගය අතිරේක කාලය අවසානයේ ගෝල 3-3ක් ලෙස සම වූ අතර දඩුවම් පහර මගින් තරගයේ තීරණය වෙනස්වනවිට ආජන්ටිනාව ගෝල 4-2ක් ලෙස ප්‍රංශ කණ්ඩායම පරාජයට පත්කළේය.

    තරගය ගෝල -3-3ක් ලෙස සම වනවිට ආජන්ටිනාව වෙනුවෙන් ලයනල් මෙසී ගෝල 2ක් සහ ප්‍රංශ කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක එම්බාපේ ගෝල 3ක් වාර්තා කර තිබිණි. දඩුවම් පහර මගින් ලෝක කුසලාන ජයක් තීරණය වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර මෙයට පෙර 2006 වසරේ දී සහ 1994 දී මෙවැනිම අවස්ථාවක් වාර්තා විය.

    FIFA

    පොඩිහිටියන්ට – වැඩිහිටියන්ට සත්වෝද්‍යාන නොමිලේ නරඹන්න අවස්ථාවක්

    0

    දෙසැම්බර් 23, 24 සහ 25 යන දිනවල සත්වෝද්‍යාන වෙත නොමිලේ ඇතුළුවීමට ළමයින්ට සහ වැඩිහිටියන්ට අවස්ථාව සලසා දීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    පාසල් නිවාඩු කාලය හේතුවෙන් ‘සතුන් අපේ මිතුරෝ’ වැඩසටහන යටතේ මෙම වැඩසටහන දියත් කෙරේ.

    ඒ අනුව දෙසැම්බර් 23 සිට 25 දක්වා දරුවන්ට නොමිලේ ප්‍රවේශය ලබා දෙනු ඇත. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙසැම්බර් 24 දින නොමිලේ ප්‍රවේශපත්‍ර හිමිවේ.

    CID වෙසින් නිවසකට පැන්න බොදුබලේ කියන පිරිසක් අත්අඩංගුවට

    0

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මාවතගම පිහිටි නිවසකටද ඊයේ අලුයම කඩාවැදුනු තරුණ භික්ෂුවක් ඇතුළු හය දෙනෙකුගේ කණ්ඩායමක් මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    එම භික්ෂුව අතුරුගිරියේ විහාරස්ථානයක වැඩ සිටින අතර පොලීසියට උන්වහන්සේ ලබාදී ඇත්තේ රාජගිරියේ විහාරස්ථානයක ලිපිනයකි.

    උන්වහන්සේ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමන් වහන්සේ බොදු බලයට සම්බන්ධව කටයුතුකරන බවය. පැමිණි පිරිස අතරද එම සංවිධානයට සම්බන්ධව සිටින අය බවට තොරතුරු අනාවරණය වී ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් උන්වහන්සේ කණ්ඩායමක් සමඟ කඩාවැදී ඇත්තේ කලක් උන්වහන්සේගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයාගේ නිවසටය. එම නිවසට කඩාවැදී ඇත්තේ සිතූ පැතූම් ඉටුකරන බව කියන රන් බුදුපිළිමයක් සොයාගෙන බව පොලීසිය කියයි.

    නිවෙස් හිමියා එම අවස්ථාවේදී නිවසේ සිට නැත. බිරිද සහ දරුවා පමණක් නිවසේ සිට ඇත. බිරිද විසින් පොලීසියට පැමිණිලිකර ඇත්තේ මෙම පිරිස රුපියල් ලක්ෂ 06ක් පමණ වටිනා රන් මාලයක් සහ මුදු 02ක් කොල්ලකා ඇති බවය. ඇය විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව මෙම පිරිස එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබේ.

    හමුදා සෙබලියගේ නිරුවත ලෝකෙට පෙන්වන්න ගිය බාබර් සී.අයි.ඩී. අත්අඩංගුවට

    0

    නිරුවත් ඡායාරූප අන්තර් ජාලය ඔස්සේ ප්‍රසිද්ධකරන බව කියමින් යුද හමුදා සෙබලියක් බිය ගන්වමින් ඇයට තමා සමඟ එකට සිටීමට එන ලෙසට තර්ජනය කළ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන කරණවෑමියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොල්ගහවෙල කුලීපිටියේ පදිංචිකරුවෙක් වන 24 හැවිරිදි තරුණ කරණවෑමියෙක්ව මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සෙබලිය කෑගල්ලේ පදිංචිකාරියකි. ඇය සිය පෙම්වතාට වට්ස්ඇප් මගින් යැවූ නිරුවත් ඡායාරූප මෙම කරණවෑමියාගේ අතට ලැබී ඇයව මෙසේ බියගන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ශ්‍රී ලංකා නාවික විරුවෝ බංගලාදේශ ජාතිකයන් 200කගේ ජීවිත බේරාගැනීමේ මෙහෙයුමක

    0

    උතුරු මුහුදේ සිට කිලෝ මීටර් 08ක් පමණ ඈත මුහුදු තීරයේදී අනතුරකට ලක්ව ඇති යාත්‍රාවක සිටින බංගලාදේශ ජාතිකයන් 200 දෙනෙක් බේරා ගැනීමේ මෙහෙයුමක මේ වන විට ශ්‍රී ලංකා නිවික හමුදාව නිරතව සිටිති.

    එම යාත්‍රාවේ එංජිම ක්‍රියාවිරහිත වී ඇති බවට ලද රේඩියෝ පණිවුඩයකට අනුව එම පිරිස ගලවා ගැනීමට නිවික හමුදාව එම ස්ථානය බලා පිටත්ව ගොස් තිබුණේ ඊයේය.

    අයිස්වලට ඇබ්බැහි වූ තරුණයන් ගැන හෙළි වූ දේ..

    0

    වැඩි වශයෙන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට අබ්බැහි වී ඇත්තේ වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණ කණ්ඩායම් බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

    එහි අධ්‍යක්ෂ පර්යේෂණ භද්‍රානි සේනානායක පැවසුවේ පාසල් සිසුන්ද අයිස් මත්ද්‍රව්‍ය සඳහා යොමු කර ගැනීමේ අවධානමකට ලක්ව ඇති බැවින් ඒ පිළිබඳ වගකිවයුතු පාර්ශව අවධියෙන් කටයුතු කළ බවයි.

    වැඩිම අවධානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් දැනටමත් ආරම්භ කර ඇති බවයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ පර්යේෂණ භද්‍රානි සේනානායක කියා සිටියාය.