fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට පාතාලයේ ප්‍රබලයින් 9ක් ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය භාරයට

    මෙරට පාතාලයේ ප්‍රබලයින් 9ක් ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය භාරයට

    ඉන්දියාව තුළ එල්.ටී.ටී.ඊ.යට පණ දෙන්න ආයුධ ජාවාරමක නිරත වූ බවට එල්ලවී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් තමිල්නාඩුවේ රැදවුම් කදවුරක රදවා සිටි කිඹුලා ඇල ගුණා ඇතුළු මෙරට පාතාලයේ ප්‍රබලයින් 09 දෙනෙකු ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් සිය භාරයට ගෙන තිබේ.

    සින්යියා ගුණසේකරන් නොහොත් කිඹුලා ඇල ගුණා, අලහප්පෙරමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා නොහොත් කොටගාමිණි, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා, දීනමුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග නොහොත් අතුරුගිරියේ ලඩියා, කෙසෙල්වත්තේ ධනුක, ගමගේ සුරංග ප්‍රනාන්දු නොහොත් වැල්ලේ සුරංග, සින්නයියා දිලීපන් ( කිඹුලාඇල ගුණාගේ පුතා) පුෂ්පරාජා හෙවත් පූකුඩිකන්නා, මොහොමඩ් අස්මින් යන පාතාල අපරාධකරුවන් 09 දෙනා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සිය බාරයට ගෙන ඇත.

    2021 වසරේ ජනවාරි අවසාන සතියේදී බෙරවාරි මාසයේදීත් කිඹුලා ඇල ගුණා ඇතුළු මෙම පිරිස තමිල්නාඩු පොලීසිය විසින් කළ වැටලීම් මාලාවකදී අත්අඩංගුවට ගෙන තිබුණි.

    කිඹුලා ඇල ගුණා , ඹහුගේ පුතා, පූකුඩිකන්නා, ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලබන්නේ චෙන්නායි සිට දිල්ලි යාමට ගුවන්තොටුපොට ගොස් සිටියදීය.

    අතුරුගිරියේ ලඩියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ ලොක්කාගේ ඝාතනයෙන් පසු එරට පොලීසිය කළ විමර්ශනයකදී කොයිම්බතූර් පොලීසිය විසිනි.

    කිඹුලාඇල ගුණා එල්.ටී.ටී.ඊ.ය සමඟ කාලයක් තිස්සේ සම්බන්ධකම් පැවැත්වූ අයෙක් වන අතර මත්කුඩු ජාවාරමද මහා පරිමාණයෙන් සිදුකරන තැනැත්තෙකි. මෝදර කිඹුලා ඇල කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක කල්ලියකට නායකත්වය දෙන ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරිව සිටියදී පුරහලු භූමියේදී 1999 ජනාධිපතිවරණයේ අවසන් රැලියට එල්ලවුණු මරාගෙන මරැනෙ බෝම්බ ප්‍රහාරයේද සැකකරුවෙකි. එම ප්‍රහාරයට පැමිණි බෝම්බකාරියට රැකවරණය දුන්නේයැයි කියැවුනේ කිඹුලා ඇල ගුණාය.

    බුම්මා නැමැති පාතාලයේ ප්‍රබලයා කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීප ආරක්ෂක කණ්ඩායමේ සිටි සාමාජිකයෙකි. යුද්ධය අවසන් වීමෙන් පසු පුනරුත්ථාපනය වූ මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයා පසුව දකුණේ පාතාලයට එක්ව අභිරහස් වෙඩික්කරුවෙක් ලෙස ක්‍රියාත්මක වූවෙකි.

    කොටගාමිණි නැමැති අය බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙක් වූ සුනිල් මෙන්ඩිස් මහතා ඝාතනය කිරීමෙන් පසු 2001 වසරේදී ඉන්දියාවට පලාගොස් තිබුණි.

    2017 වසරේදී කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ලකර පාතාලයේ කල්ලි නායකයෙන් වූ කඩුවෙල සමයං ඇතුළු 07 දෙනෙක් මරා දමා අංගොඩ ලොක්කා සමඟ ඉන්දියාවට පැන ගත් අයෙක් වන්නේ අතුරුගිරියේ ලඩියාය.

    කෙසෙල්වත්තේ දිනුකගේ මරණයෙන් පසු කෙසෙල්වත්තේ පාතාලයේ බලය අල්ලාගෙන සිටින ධනුක ඉන්දියාවේ සිට පසුගිය කාලය පුරාවට ඝාතනය රැසක් මෙහෙයැවූ අයෙකි. පෑලියගොඩ මැනින් වෙළද පොලේ පළතුරු සංගමයේ සභාපති අඹ ශානාව ඝාතනය කිරීමද ඔහුගේ කොන්ත්‍රාත්තුවකට අනුව සිදුවූවක් බව අනාවරණය වී තිබුණි. වැල්ලේ සුරංග මොදර වැල්ලේ පාතාල අණසක පතුරුවාගෙන සිටියෙකි. පූකුඩි කන්නා මට්ටක්කුලියේ පාතාල බලය අල්ලාගෙන සිටි ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකි.

    මෙම පිරිස පකිස්තානයේ මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ ඝෘජු සම්බන්ධකම් පවත්වන අතර ඉන්දියානු ආරක්ෂක අංශ අනාරවණය කරගෙන ඇත්තේ එල්.ටී.ටී.ඊ.යට පණ දෙන්නට ඔවුන් සූදානම් වී ඇත්තේ පකිස්තානයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් අවි ආයුධ ලබාගෙන බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.