තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෘෂණ කෝෂවලට හානිවෙන තුරු තරුණයකුට පහරදුන් පොලීසියේ තවත් 2ක් අත්අඩංගුවට

    වෘෂණ කෝෂවලට හානිවෙන තුරු තරුණයකුට පහරදුන් පොලීසියේ තවත් 2ක් අත්අඩංගුවට

    පොලිස් අණ නොතකා කුඩා ලොරි රථයක් ධාවනය කිරීම සම්බන්ධයෙන් උරණ වී පොලිස් සැරයන්වරයෙකුගේ 23 හැවිරිදි පුතෙකුට අමානුෂික ලෙස පහරදී වෘෂණ කෝෂයක් අහිමි කිරීමට සම්බන්ධ මැදව්චිය පොලීසියේ සේවයේ නිරතව සිටි මේ වන විට කැබතිගොල්ලෑව පොලීසියේ සේවයේ යොදවා සිටින පොලිස් සැරයන්වරු දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම පහරදීම පසුගිය අප්‍රේල් 07 වෙනිදා සිදුව තිබුණි. ඒ සම්බන්ධයෙන් රථවාහන අංශයේ පොලිස් සැරයන්වරු දෙදෙනෙක් පසුගිය අප්‍රේල් 11 වෙනිදා මුලින්ම අත්අඩංගුවට ගත්තේය. ඔවුන් දෙදෙනාව අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීමෙන් අනතුරුව මැදවච්චිය මහේස්ත්‍රාත් අධීකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා පසුගිය සතියේදී මෙම පහරදීම සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසියේ දූෂණ මර්දන අංශයේ එවකට සිටි ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගත්තේය. ඊයේ අත්අඩංගුවටගත් සැරයන්වරු දෙදෙනාද දූෂණ මර්දන අංශයේ සේවයේ නිරතව සිටි අය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    පහරකෑමට ලක්ව වෘෂණ කෝෂයක් අහිමිකරගත් තරුණයාගේ පියාද මැදවච්චිය පොලීසියේ සේවයේ නිරතව සිටින සැරයන්වරයකු බවත් ඔහුට පහරදුන් නිලධාරීන් එම තරුණයා පොලිස් සැරයන්ගේ පුතා බව දැන දැනම පහරදී ඇති බවත් පෙනී යන බවද උසස් පොලිස් නිලධාරියා කීය.

    මුලින්ම අත්අඩංගුවටගත් රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනා මැදවච්චිය නගරයේ රථවාහන අංශයේ රාජකාරියේ නිරතව සිටියදී ඉකුත් 07 වෙනිදා මාර්ගයේ ගමන් කරමින් තිබුණු ලොරි රථයක් නතර කිරීමට සංඥාකර ඇතත් එම සංඥාවට අවනත නොවී ලොරි රථය ධාවනය වී ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත. ලොරි රථය ගමන්කර ඇත්තේ මන්නාරම දෙසට බැවින් රථවාහන අංශයේ නිලධාරීන් එම රථය පස්සේ හඹාගොස් තිබේ. ඒ අතර තුර වෙනත් වැටලීම් රාජකාරියක නිරතව සිටි දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා වන උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම රථවාහන අංශයේ නිලධාරීන් සමඟ අතර මගදී එක්වී ඇති බව කියැවේ.

    ලොරි රථය නතරකර ගැනීමට හැකිවී ඇත්තේ කිලෝ මීටර් හතර පහක් පමණ පන්නා යාමෙන් පසුව බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ රියදුරු බීමතින් එම අවස්ථාවේදී සිට ඇති බවය. එහිදී සැරයන්වරයෙක් එම රියදුරුව ලොරියෙන් බිමට බස්සවා ඔහුගේ පාදයේ දණිහිසින් යටිබඩ ප්‍රදේශයට පහරදී ඇති බවද විමර්ශන වලින් පෙනී අනාවරණය වී තිබේ. තරුණයාගේ වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට සිදුව ඇත්තේ එම පහරදීමෙන් බව පැහැදිලිවම විමර්ශන වලින් පෙනී යන්නේ යැයි මෙම පහරදීම ගැන මූලික විමර්ශන පැවැත්වූ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    පොලිස් සිරමැදිරියේ රදවා සිටි තරුණයා මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇති බවත් ඔහුගේ වෘෂණ කෝෂය ඉවත්කර ඇත්තේ අනුරාධපුරයේදී බවත් පොලීසිය කියයි.

    මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ මැදවච්චිය තුලාවෙල්ලිය ප්‍රදේශයේ දිලීෂ සංගීත් නමැති තරුණයාය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img