තවත්

    කොවිඩ් නිසා පසුගිය වසරේ පාසල් පවත්වා ඇත්තේ දින 70 අඩුවෙන්

    0

    වසරකට දින 210 ක් පාසල් පැවැත්විය යුතු වූවත් කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ඉකුත් වසරේ පාසල් පවත්වා ඇත්තේ දින 70 කට අඩු ගණනක් බව අධ්‍යාපන අමාත්‍යාංශ තොරතුරු අනාවරණය කළේය.

    පාසල් විෂයය මාලා සකස් කිරීමේදී පාසල් පවත්වන දින ගණන් සැලකිල්ලට ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    ඔන්ලයින් ක්‍රමයට බොහෝ පාසල් ඉගැන්වීම් කටයුුතු වල නිරතවූවත් පංති කාමරයක් තුලදී ගුරුවරයාගෙන් දරුවන්ට ලැබෙන අවධානය ඒ තුළින් නොලැබෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

    කොළඹ වරාය නගරය තුළ පනත් 7ක නීති වලංගු නෑ

    0

    අංජනා මල්ලවආරච්චි

    නාගරික සංවර්ධන අධිකාරි පනත, මහ නගර සභා ආඥා පනත සහ ආයෝජන මණ්ඩල පනත ඇතුළු මේ වන විට රටේ ක්‍රියාත්මක පනත් 7ක නීති කොළඹ වරාය තුළ බලාත්මක නොවන බව කොළඹ වරාය නගරය සභා පනත් කෙටුම්පතේ සඳහන් වෙයි.

    මීට අමතරව රටේ පවතින තවත් පනත් දාහතරකින් කොළඹ වරාය නගරයේ ව්‍යාපාර වලට සහන සලසා දිය හැකි බවද එම පනත් කෙටුම්පතේ සඳහන් වේ.

    කොළඹ වරාය නගරය ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයින්ගෙන් සමන්විත කොමිෂන් සභාවක් මගින් පාලනය වන අතර එහි සාමාජික සංඛ්‍යාව 2ත් 7ත් අතර සංඛ්‍යාවක් විය යුතු බව ද එම පනත් කෙටුම්පතේ සඳහන් වේ.

    එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ වරයා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන බවට එහි සඳහන් වේ.

    කොළඹ වරාය නගරය ආර්ථීක කොමිෂන් සභා පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතර ඉදිරියේදී එය සම්මත කිරීමට නියමිතය.

    මේගන් නැතිව හැරී ගෙදර එයි

    0

    හැරී කුමරුට බ්‍රිතාන්‍ය රාජකීය පවුල සමඟ ආරවුල් තිබියදී, ලොව පුරා ආන්දෝලනයකට තුඩුදුන් ඔප්රා වින්ෆ්‍රි සමග පැවැති රජ පවුල විවේචනයට ලක්කළ සම්මුඛ සාකච්ඡාවෙන් පසු වුවද මිත්තණිය වන දෙවැනි එළිසෙබෙත් රැජිණගේ සැමියා වූ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ මරණය මෙම පවුල ශෝකයෙන් එක්සත් කර ඇතැයි එරට මාධ්‍ය පවසයි.

    පවුල හැරගිය ද සසෙක්ස් ආදිපාද හැරී කුමරු ඔහුගේ ඥාති සහෝදරියන් වන බියට්‍රිස් කුමරිය සහ ඉයුජීනී කුමරිය මෙන්ම ඔහුගේ පියා වන චාල්ස් කුමරු සමඟ ද සම්බන්ධ වී ඇති බවට වාර්තා ඇත.

    අපේ‍්‍රල් 17 වන සෙනසුරාදා සිය සීයාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට ආපසු ඒම ගැන හැරී සිය පවුලේ අය සමඟ සාකච්ඡා කළ බව ආරංචි මාර්ග පවසයි.

    ඔහු පවසා ඇත්තේ සෑම කෙනෙකු සමඟම සිටීමට තමාට අවශ්‍ය බවත් ඒ වන විටත් ඔහු නිවසට පැමිණීමට කටයුතු සූදානම් කරමින් සිටින බවත්ය.

    COVID-19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා ගමන් සීමාවන් සහ දැඩි නිරෝධායන නීති ක්‍රියාත්මක වන විට, ආදිපාදවරයාට දින පහක් ස්වයං හුදකලා වී පීසීආර් පරීක්ෂණයක් කිරීමට සිදුවනු ඇත.

    පීසීආර් වාර්තා ඍණාත්මක නම්, නිරෝධායනය බිඳ දමා ඔහුගේ පවුලේ අය සමඟ සිටීමට ඔහුට ඉඩ සලසනු ඇත.

    ගැබ්ගෙන සිටින මේගන් මාකෙල් වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි එඩින්බරෝ ආදිපාදවරයාගේ අවමංගල්‍යයට සහභාගී නොවන බව බකිංහැම් මාලිගයේ ප්‍රකාශකයෙක් සෙනසුරාදා තහවුරු කළේය.

    පෝක් සමුද්‍ර සන්ධිය තරණය කළ දෙවන ශූරයා ලෙස රොෂාන් අබේසුන්දරගෙන් වාර්තාවක්

    0

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූරයෙකු වන රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නර් සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ දෙවන පුද්ගලයා බවට පත්වෙමින් වාර්තාගත ලෙස සිය පිහිනුම් ගමන අවසන් කර තිබේ.

    ඒ පැය 28 යි මිනිත්තු 19 කින් වාර්තාගත ලෙස තම අභියෝගය සාර්ථකව අවසන් කරමිනි.

    රොෂාන් අබේසුන්දර මහතා පවසන්නේ, මෙහි අරමුණ පොලිතීන් ප්ලාස්ටික් වලින් තොර වී සාගරය පරිසරය රැක ගැනීමේ පණිවිඩය ලෝකයට රැගෙන යාම බවයි.

    රොෂාන් අබේසුන්දර මහතා ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරම දක්වා පිහිනා ආවේ ඔහු විසින් අනුමාන කළ කාලයට වඩා පැය කිහිපයක් පෙර වීම විශේෂත්වයකි. “මගේ බලාපොරොත්තුව ලංකාවේ මන්නාරමේ ඉදන් ඉන්දියාවේ දනුෂ්කෝඩි දක්වා පීනලා ආපහු එන්න පැය 35 ක වගේ කාලෙකින් එන්න. ” ඔහු සිය අභියෝගයට මුහුණදීමට පෙර පැවසූයේ එයයි.

    ඔහු පිහිනූ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 59 යි මීටර් 500 කි.

    ඔහු මෙලෙස අලුත් කරන ලද්දේ වී.එස්. කුමාර් ආනන්දන්ගේ අවුරුදු 50 ක් පැරණි වාර්තාවක් වන 1971 දී පෝක් සමුද්‍ර සන්ධිය පැය 51 කින් පිහිනමින් පිහිටුවන ලද ගිනස් ලෝක වාර්තාවය.

    ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ පූර්ණ සහයෝගය හා මග පෙන්වීම යටතේ රොෂාන් අබේසුන්දර මහතා මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

    අපේක්ෂා රෝහල් අධ්‍යක්ෂ අභාවප්‍රාප්ත වෙයි

    0

    මහරගම අපෙක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.

    රෝගීන් වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් කළ ඔහුගේ නික්මයාම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුවූ බලවත් පාඩුවකි.

    සියලුම බැංකු ලබන සඳුදාත් ඇරේ

    0

    රජයේ විශේෂ නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ලබන සඳුදා (12) දින සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු විවෘතව පවතී.

    එමෙන්ම වේරහැර සහ නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්‍යාලය ද විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

    පෙර වේලාවක් වෙන්කරගත් සියලු දෙනාට එදින එම කාර්යාල මගින් සේවා ලබාගත හැකිය.

    සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම විශේෂ නිවාඩුව ප්‍රකාශයට පත්කෙරිණ.

    කුකුළු මස් කිලෝව උපරිම 600යි

    0

    කුකුළු මස් කිලෝවක් රුපියල් 600ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට කුකුළු මස් අලෙවිකරුවන් සමග අද (10) සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

    සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විණ.

    “බොයිලර් කුකුළු මස් කිලෝවක් රුපියල් 430 ට අලෙවි කරන එක කිසිඳු ගැටලුවකින් තොරව අවශ්‍ය ඕනම ප්‍රමාණයක් වෙළෙඳපොළට ලබාදීමට එම සමාගම් අද කැමැත්ත පළ කළා. ඒ වගේම අතරමැදියන්ගේ අලෙවිය සම්බන්ධයෙන් තිබුණු ගැටලුවත් නිරාකරණය වුණා. නිෂ්පාදන සමාගම් පොරොන්දු වුණා අතරමැදියන්ට රු.375ට දෙන්න. අතරමැදියන් පොරොන්දු වුණා වෙළෙදුන්ව ඒ පිළිබඳව දැනුවත් කරන්න. රුපියල් 600කට වඩා වැඩියෙන් වෙළෙඳපොළේ අලෙවි නොකිරීමට අවශ්‍ය කටයුතු යොදනවා කියලත් තීරණය වුණා,” සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

    වෙළෙඳපොළේ දිනෙන් දින කුකුළු මස් මිල ඉහළයෑම හේතුවෙන් පිටකොටුව කුකුළු මස් ව්‍යාපාරිකයින් පසුගියදා එම වෙළෙඳාමෙන් ඉවත්වීමට ද පියවරගෙන තිබුණි.

    අද සිට අහඹු කොවිඩ් පරීක්ෂාව රට පුරා

    0

    අද සිට මේ සති අන්තයේ සහ එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සතිය තුළ දිවයින පුරා අහඹු PCR පරීක්ෂණ පැවැත්වීමට පියවර ගෙන තිබේ.

    බටහිර පළාතේ මායිම්වල අවසන් වරට අහඹු ලෙස අහඹු ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කළ අන්දමට වඩා වඩා වෙනස් ආකාරයෙන් මෙවර පරීක්ෂණ සිදුකරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්‍ය සාධක බළකායේ ප්‍රදානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත.

    කෙසේවෙතත් සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටී.

    සෑම වාහනයක්ම පරීක්‍ෂා කිරීමක් සිදුනොවන නමුත් අහඹු ලෙස පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව ද ඔහු පැවසීය.

    අඩු ආදායම ලාභීන්ට අවුරුදු කන්න රු. 5000 ක්

    0
    5000 rupee

    සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධිලාභීන් ඇතුළු අඩු ආදායම් ලාභීන් තොරාගෙන රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය තර ඇත.

    රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරන්නේ ග්‍රාම නිිලධාරී කොට්ඨාශ මට්ටමින් හදුනාගත් පවුල් වෙනුවෙන් මෙම දීමනාව ලබාදෙන බවයි. අලුත් අවුරුද්දට පෙර මෙම දීමනාව ලබාදීමට අවශ්‍ය කටයුතු කඩිනමින සම්පාදනය කිරීමට පියවර ගන්නා ලෙස සමෘද්ධි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද රාජ්‍ය ඇමතිවරයා කීය.

    අලුත් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ ලබන සතියේ සිට!

    0

    අසීමිත අන්තර්ජාල සේවා සැපයීමේ ක්‍රමවේදය ආරම්භ කිරීම සඳහා සන්නිවේදන සේවා සපයන ආයතන විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත සිය සැලසුම් ඉදිරිපත් කර තිබේ.

    එම සැලසුම් නැවත සලකාබැලීමෙන් අනතුරුව ඒවා ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.

    ඒ අනුව ලබන සතියේදී අසීමිත අන්තර්ජාල පැකේජ (Unlimited Internet Packages) හඳුන්වා දීමට නියමිත ය.

    පළාත් 6කට අද තැනින් තැන වැසි

    0

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක.

    මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (10) දහවල් 12:11 ට නොරොච්චෝලේ, කරුවලගස්වැව, පලුගස්වැව, උස්වැව, සිංහපුර, කැලෑකරඹෑව සහ කුමාදිය යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

    සීමා නෑ ගමන්වලට මේ අවුරුද්දේ

    0

    සින්හල හින්දු අලුත් අවුරුද්ද යෙදෙන ලබන 13 සහ 14 දිනවල සංචරණ සීමා නොදමන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    කෙසේ වෙතත් මේ උත්සව සමයේ ජනතාව වෙත පනවා ඇති සෞඛ්‍යාරක්ෂක උපදෙස් මාලාව අනුගමනය කිරීම අනිවාර්ය බවද හෙතෙම අවධාරණය කළේය.

    ගම සමඟ පිළිසඳර පසුවිපරමට ඇමති නාමල් ප්‍රමුඛ බළකායක්

    0

    “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ ප්‍රතිඵල කඩිනම් කිරීමට කාර්ය සාධක බලකායක් පත්කර තිබේ.

    අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම බළකායේ 15 දෙනෙකුගෙන් යුත් රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සෙසු සාමාජිකයන් ලෙස නම් කර තිබේ.

    ‘ගම සමග පිළිසඳර’ වැඩසටහනෙන් රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම, ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව හා ඵලදායි ලෙස මෙහෙයවීම, පසු විපරම උදෙසා මෙම කාර්ය සාධක බලකාය පත්කර ඇත.

    යාපනය නගරාධිපතිට ඇප

    0

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් යාපනය නගරාධිපති වී. මනිවාන්නන් ඇප මත මුදා හැර තිබේ.

    යාපනය නගර සභාව විසින් පොලිස් බලකායක් පිහිටුවා හිටපු එල්ටීටීඊ සංවිධානයේ පොලීසියට සමාන නිල ඇදුම් ලබා දීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

    මේ අතර මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරට අමෙරිකානු තානාපති ඇලෙයින ටෙප්ලිට්ස් සිය කනගාටුව ප්‍රකාශ කර තිබුණි.

    සබැඳි පුවත් https://newswave.lk/2938/

    කැරොලයින් ජූරි ලෝක විවාහක රූ රැජිණ කිරුළ අතහරී

    0

    වත්මන් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූර තම කිරුළ නැවත භාර දීමට තීරණය කර තිබේ.

    ඒ පසුගියදා ඇතිවූ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ දී වූ සිද්ධියට අදාළව පැන නැගුණු තත්ත්වය මතයි.

    සිය කිරුළ අතහරිමින් ඇය පෙන්වා දෙන්නේ ලෝකයම ඉවත බලද්දි පවා තමා වටිනාකම් වෙනුවෙන් තනිව හෝ නැගී සිටින බවයි.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරය මොහාන් සමරනායකට

    0

    රජයේ නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මොහාන් සමරනායක මහතා පත්කර තිබේ.

    ඔහු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරමින් සිටී.

    නිශාන්ත සොයිසා සී.අයි.ඩී. ලොකු පුටුවෙන් විසිවේ

    0

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයියා මහතාව වහාම ක්‍රියාත්මක වන පිරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර තිබේ.

    එම පුරප්පාඩුවට මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා පත්කර තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළ නිශාන්ත සොයිසා මහතාව පොලිස් මූලස්ථානයේ පිහිටි අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂලෙස පත්කර ඇත.

    පොලිස්පතිවරයා හරහා මෙම ස්ථාන මාරුවීමේ නියෝගය නිකුත්ව තිබේ.

    අල්ජසීරාව කී පරිදි තරග පාවාදීමක් වී නෑ

    0

    ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ජාත්‍යන්ත ක්‍රිිකට් තරග පැවැත්වෙද්දී විකට්ටුව වෙනස් කරමින් තරග පාවාදීමක් සිදුුවන බවට අල් ජසීරා රූපවාහිනී නාලිකාව 2018 වසරේ විකාශය කළ වාර්තාමය වැඩ සටහනේ සදහන් ආකාරයට අනුව කිසිදු තරග පාවාදීමක් සිදුව නැතැයි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට පෙනී ගොස් ඇත.

    එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරට තරගාවලියකට පැමිණ සිටියදී අල්ජසීරා මාධ්‍ය කණ්ඩායමක් පැමිණ ඔවුන් බුකී කරුවන් ලෙස පෙනී සිටිමින් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතීරුව භාරකරු ඇතුළු කිහිපදෙනෙක් මුණ ගැසී විකට්ටුව වෙනස් කිරීමට කථාබහ කරමින් ඒ වෙනුවෙන් මුදල් ලබා දීමට යෝජනාකර ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. එම යෝජනාවට කිසිවෙක් එකගවී ඇති බවක් විමර්ශන විලින් පෙනී ගොස් නැත. ඔවුන්ව තමන් මග හැරිිය බවත් අල් ජසීරා නාලිකාවේ විකාශය වූයේ සංස්කරණය කළ කොටස් බැවින් ඔවුන් පටිගත කළ මුළු රූපරාමු පරීක්ෂා කිරීමෙන් සැබෑව හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි ක්‍රීඩා විමර්ශන ඒකකය හමුවට කැදවා ප්‍රශ්න කිරීමට ලක්වූ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ භාරකරු ඇතුළු චෝදනා එල්ලවූවෝ පවසා තිබේ.

    ඒ අනුව එම වාර්තාමය වැඩ සටහනට අදාල සංස්කරණය නොකල දර්ශන ලබාගැනීමට අල් ජසීරා රූපවාහිනී නාලිකාව සමග අදහස් හුවමාරු කරගැනීමට ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකය තීරණය කර ඇත.

    ඉදිරි විමර්ශන සිදුවන්නේ එම දර්ශන ලැබීමෙන් අනතුරුවය.

    අල් ජසීරා වැඩසටහනින් එල්ලවූ චෝදනාව සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධි කමිටුව විසින් කළ දැනුම් දීමට අනුව මෙම විමර්ශනය සිදුවන බව සදහන්ය.

    පළාත් පාලන ඡන්ද ක්‍රමය අලුත් කිරීමේදී 30%ක සභික කප්පාදුවක් ඉල්ලයි

    0

    අංජනා මල්ලවආරච්චි

    පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතින් සකස් කිරීමේදී සමානුපාතික පදනම එලෙසම ආරක්ෂා විය යුතු අතර පළාත් පාලන සභික ප්‍රමාණය 30%කින් පමණ අඩු විය යුතු යැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය කියයි.

    දැනට බලපැවැත්වෙන පනත මගින් කාන්තාවන් සඳහා ලබාදී තිබෙන 25% කෝටාව එලෙසම ආරක්ෂා විය යුතු අතර කොට්ඨාස පදනම ද එලෙසම තැබිය යුතුයැයි ද පැෆරල් සංවිධානය කියයි.

    කෙසේවෙතත් කොට්ඨාස ප්‍රමාණය 20% කින් අඩු කිරීමටත් ලයිස්තුවට හිමිවෙන ප්‍රතිශතය 40% සිට 30% දක්වා අඩු කළ යුතු යැයිද එම සංවිධානය කියයි.

    ඒ අනුව මෙතෙක් පවතින 60% – 40% අනුපාතය 70% -30% ලෙස වෙනස් විය යුතු යැයි ද පැෆ්රල් සංවිධානය කියයි.

    මීට අමතරව පදිංචිය සනාථ කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු අතර රාජ්‍ය නිලධාරීන් තව ද කරන ප්‍රදේශයෙන් බැහැරව රාජකාරි කරන බවටත් සහතිකයක් ලබා දිය යුතුය.

    පැෆරල් සංවිධානය එම යෝජනා සහ තවත් යෝජනා කිහිපයක් පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන කමිටුවට ඉදිරිපත් කර තිබේ.

    සමාජ මාධ්‍ය සහ අපි

    0

    සමාජ මාධ්‍ය අද සමාජයේ නැතිවම බැරි අංගයක් වෙලා තිබෙනවා. අද අපි හැමදෙනාම ඊට ඇබ්බැහි වෙලායි ඉන්නේ. සමහර අය නොකා නොබී සමාජ මාධ්‍ය වල ඇලී ගැලී ඉන්නේ. ඒනිසා ජීවිතය අඳුරු වුන අයත් අඳුරු කරගත් අයත් නිතරම අපි දකිනවා.

    ඒ වගේමයි අද ජනතාව මුලාවේ හෙලන්න සමාජ මාධ්‍ය හේතුවී තිබෙනවා. සමහර අය සමාජ මාධ්‍යවල ඇති කරුණු දේව භාෂිතයක් තරම් විස්වාස කරනවා. බලන්න ඒ අය ආමන්ත්‍රණය කරන්නේ අපගේ තිබෙන සිතීමේ අඩුපාඩුවට ය. අපගේ තිබෙන මතවාදවලට ය. අපේ මොල සේදීමත්, ඔවුන්ගේ මතවාදය වක්‍රාකාරයෙන් අපේ සිතට එබ්බවීමත් වන බව නිදහස් මනසකින් සමාජ මාධ්‍ය දෙස බලන විට අපට පෙනී යයි.

    විවිධාකාර වෙළඳ අරමුණු දේශපාලන අරමුණු සඳහා වූ සමහර සමාජ මාධ්‍ය පේජ් වලින් ප්‍රේක්ෂක ජනතාව අනිසි ලෙස, අවනීතික සහ සදාචාර විරෝධී ක්‍රියාමාර්ග ගන්නා බව අපට පෙනී යයි. සමහර විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ද සමාජ මාධ්‍ය මෙන්ම තම පටු අරමුණු සඳහා ක්‍රියාත්මක වනවා. එහෙත් යම් මාධ්‍ය ආයතනයකින් ප්‍රකාශයට පත් කරන මාධ්‍යයක දී යම්තාක් දුරට සමාජ ආචාර ධර්ම රැකෙන සේ එම කාර්යය සිදු වෙනවා. ඒත් සමාජ මාධ්‍ය වල දී සමහරුන් විසින් ව්‍යාජ මුහුණුවරකින් තොරතුරු බෙදා හරින බව පොදුවේ දක්නට තිබෙන කාරණයක්. පුද්ගලයෙක් අපහසුතාවයට පත් කිරීමට හෝ ජන සමාජයක් හෝ සංවිධානයක් අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන් අවනීතික සහ සදාචාර විරෝධී කටයුතු සමාජ මාධ්‍ය තුළ දකින්නට ලැබෙන අවස්ථා බොහොමයකි.

    ත්‍රස්තවාදී සංවිධාන මෙන්ම අන්තවාදී සංවිධාන ද සමාජ මාධ්‍ය හරහා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සිදුකරනු ලබති. එලෙසම යම් සංවිධානයක ව්‍යාපාර අරමුණු සඳහා ද සමාජ මාධ්‍ය අනිසි ලෙස යොදා ගනු ලැබේ. සමහර කණ්ඩායම් සමාජ මාධ්‍ය භාවිතා කරන අයගේ තොරතුරු සදාචාර විරෝධී ලෙස එක්රැස් කරනු ලැබේ. එසේ එක් රැස් කරගන්නා තොරතුරු අනිසි භාවිතය කිරීම නීති විරෝධීය. විවිධාකාර තරග සහ වෙනත් සමූහ හරහා ඔවුන් මේ පටු පරමාර්ථ ඉටු කර ගනිති.

    තවත් එක දෙයක් වන්නේ මිනිසුන් විවිධාකාර අනියම් සබඳතා සහ මත්ද්‍රව්‍ය ප්‍රචාරය සඳහාත් සමාජ මාධ්‍ය අනිසි ලෙස යොදා ගනී. සමාජ මාධ්‍ය සබුද්ධිකව භාවිතා කිරීම අප සැම සිතේ තබා ගත යුතු කාරණයක්.

    සතියකට වරක් විවිධාකාර ට්‍රෙන්ඩ් සකසන සමාජ මාධ්‍ය මෙහෙයවන්නෝ ජනතාවගේ සිත තුළ එක්කෝ වීරයන් බිහි කරයි. එසේත් නැත්නම් ද්‍රෝහීන් බිහිකරයි. සතියකින් පසු තවත් වීරයෙක් හෝ ද්‍රෝහියෙක් බිහිකර පරිශීලකයාගේ මනස ඔවුන්ගේ පටු අරමුණ ට හරවා ගනිති. හොඳම උදාහරණය වන්නේ පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් ද, අරාබි වසන්තය ඇතිකළ දේශපාලන ප්‍රවාහයත් ඔවුන්ගේ අරමුණු සඳහා යොදාගත්තේ සමාජ මාධ්‍යයයි.

    සමාජ මාධ්‍ය ජාලාවල පළ කෙරෙන විවිධ ආකාර පෝස්ටු විමසුම් ඇසකින් නිරීක්ෂණය කළ විට තේරුම් යන්නේ බහුතරයක් පෝස්ටු සැකසී පවතින්නේ අසත්‍ය තොරතුරු වලිනි. එම තොරතුරු දේව භාෂිතයක් කොටගත් අහිංසක පරිශීලකයෝ එම තොරතුරු පතුරුවා හරිති. එයින් සමාජයට සිදු වන්නේ අවැඩක් පමණි. ඉතින් අපි බුද්ධිමත්ව සමාජ මාධ්‍ය පරිශීලනය කරමු. එය අපේත් අපේ සමාජයේ ත් යහපත සඳහාම විය යුතුය.

    එඤ්ඤං

    මම

    සත්‍යගවේෂී

    ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

    0

    එළඹෙන සදුදු දිනය (අප්‍රේල්‌ 12)
    විශේෂ රජයේ නිවාඩු දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත්‌ කර තිබේ.

    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ
    ලේකම්වරයා මේ බව තහවුරු කර ඇත.

    18 පිරුණු සැණින් ඡන්දෙ දෙන්න පුළුවන් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    0

    අංජනා මල්ලවආරච්චි

    වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැණින් ඡන්දය ප්‍රකාශ කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙමින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත නම් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.

    නව පනත් කෙටුම්පත නීති ගත වුවහොත් සෑම වසරකම තරුණ ඡන්ද ලක්ෂයක් පමණ වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් කීය.

    නව පනත් කෙටුම්පතට අනුව සෑම වසරකම සකස් කරන ඡන්ද ලැයිස්තුවට අමතරව එම වසරේ පෙබරවාරි මස 01 වැනිදා සිට මැයි මස 31 වෙනිදා දක්වාත්, ජුනි මස 01 වෙනි දින සිට සැප්තැම්බර් මස 30 වැනි දින දක්වා සහ ඔක්තෝබර් මස 01 වැනි දින සිට ජනවාරි මස 31 වැනිදා දක්වා ආදි වශයෙන් පරිපූරක ඡන්ද ලැයිස්තු 3ක් සකස් කිරීමට නියමිතය.

    ඒ අනුව මාස 4න් 4ට පරිපූරක ඡන්ද ලැයිස්තු කෙරේ.

    සෑම වසරකම වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැනින් එම පුද්ගලයා ඡන්ද ලයිස්තුවට ඇතුලත් වීමට නව පනතින් අවකාශ හිමිවේ.

    එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු මියයයි

    0

    බ්‍රිතාන්‍ය රජ පවුලේ දෙවැනි එලිසබත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු වින්ඩ්සර් කාසල්හිදී මියගොස් ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.

    එඩින්බරෝ ආදිපාදවරයා සිය 100 වන උපන්දිනයට මාස දෙකකට පෙර අද උදෑසන මෙලෙස මිය ගියේය.

    කලින් පැවති හෘද රෝගයක් හා ආසාදනයක් හේතුවෙන් මෑතකදී ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය.

    කුමරු 1947 දී එලිසබෙත් කුමරිය සමඟ විවාහ වූයේ රැජින වීමට වසර පහකට පෙර ය.

    බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් සේවය කළ කිරුළ දරන්නාගේ සහකරු වූයේ ද පිලිප් කුමරු ය.

    කොටුවෙන් පිටත් වන දුම්රිය අවලංගුයි

    0

    කොළඹ කොටුවෙන් පිටත් වීමට නියමිත සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කර තිබේ.

    වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    මායියලාගේ රූ රැජින වූ මල්කාන්තිගේ ඔටුන්න ගැළවීම

    0

    “කිරිබත් කැටේට පොල්කිරි පදනමේ සභාපති චණ්ඩි-මල්ලි මහතා විසින් සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන මහා කරකාර බැදි මායියලාගේ රූ රැජිනිය තේරීමේ තරගයේ අවසන් වටය දැන් පැවැත් වෙනවා… මේ සොදුරු අවස්ථාව දැක ගන්නට ඔබ තවමත් ප්‍රමාද නැත… අන අන සිටින බත් පත පසෙක දමා වහාම ගමේ වැව් පිටියට එක් රොක් වන්න… එන්ඩා… එන්ඩා… කරකාර බැදි රූ රැජිනිය දැක ගන්න චණ්ඩි-මල්ලිගේ රූ රැජිනිය …. එන්ඩා එන්ඩා…. එන්ඩා”.
    ඉංගිරිසි මයිනර් රථයේ බැදි යකඩ කටින් තොර තෝන්චියක් නැතිව නිවේදකයා බෙරිහන් දෙන අල්ල පනල්ලේ අමරබන්දු ඊට කන් යොමා සිටියේ ඔහුගේ බුලත් කෙටිල්ලට නැවතත් මදකට නවතාලමිනි..

    “තාත්තේ……” ගෙතුලින් එක්වර නාද වූයේ හිච්චි එකියගේ කටහඩ බැව් එක්වර හදුනා ගත් හෙතෙම බුලත් කෙටිල්ල නවතා සුසුමක් හෙළුවේ මීළග නිමේශයේදී සිදු වීමට නියමිත සිදුවීම ටක්කෙටම දන්නා බව හගවමිනි. යකඩ කටට ගුරුපාරේ මායිම පනින්නටවත් කල් නොමැති විය. හිච්චි එකියත් සෙසු කෙල්ලන්ද අතට හසුවෙන රෙද්දක පෙරෙද්දක් ඉණේ පටළවාගෙන ගෙයින් දොට්ට බැස්සේ කරකාර බැන්ද මායියලාගේ රූප රැජින තරගෙ බලන්නට බව ඔහු සිතුවාට වඩා ඉස්පාසුවට සිදුවී තිබුණි.

    “අම්මේ අපි යනවෝ”.. කියාගෙන කෙල්ලන් එළි බසිද්දී අමරබන්දුටද උන් පසු පස යන්නට වූයේ මායියාගේ බලකිරීම හේතුවෙනි.

    අමරබන්දු හා පවුලේ එකියන් වැව් පිටියට සේන්දු වන මොහොත වනවිට තරගයේ අවසන් නිමේශය කරා ළගා වී තිබුණි. නිවේදකයා මහ හඩින් අවසන් තරග කාරිනියන් වේදිකාවට හදුන්වා දෙමින් සිටියේය

    “මෙන්න පිළිගන්න කරකාර බැදි මායියලාගේ රූ රැජින තරගයේ අවසාන තරගකාරියන් දෙදෙනා….” ඒ ගැඹුරු කටහඩ ඇසුනු අමරබන්දු රූ රැජිනියන් පසෙක ලා නිවේදකයා වෙත සිය අවධානය යොමු කළේ “හප්පද බොල ඒ අපේ නෙල්සන් අබේකෝන් ළමය නේද?” යැයි සතුටු සිනහවකින් විඩාවට පත් වතට එක් කරමිනි. ඔහු තව තවත් සිය දෑස ළං කොට බැලුවේ තමන්ගේ සිතේ කොණකටවත් නොදැනෙන රූප රාජිනී තරගය කෙසේ වුවත් පෙරදා වැව් පිටියට ආ සංගීත සන්දර්ශනයන්හි ගායකයන්ට වඩා ආකර්ශනීය වූ ඒ අසහාය නිවේදකයා නෙල්සන් අබේකෝන් ගේ හඩ නැවත්ත් තමන් ඉදිරියේ ගාම්භීරෙට රැව් දෙන්නට වූයෙනි. නමුත් ඒ නෙල්සන් අබේකෝන් නොව ඒ වගේ වෙන්න හදන තවත් නිවේදකයෙක් යැයි පසක් කොට ගත් හෙතෙම තමන්ටම “චැහ්” කියා ගත්තේය.

    තරගයේ වැඩිම ලකුණු ලබා අවසන් තරගකාරිණියන් දෙදෙනා වේදිකාව ඉදිරියට පැමිණ ඔවුනොවුන්ගේ දෑත් අල්ලාගෙන නොඉවසිල්ලෙන් පසුවූයේ අවසන් ප්‍රතිථලය ලබා දෙනතුරුය.

    “හප්පද බොල.. මේ අර ට්‍රැක් හතරෙ මීගාල බලාගන්න සුමනේරියගේ කෙල්ල මල්කාන්ති නේද?” තරගකාරිණියන් දෙදෙනාගෙන් එක් අයෙක් දුර තියාම හදුනා ගත් අමරබන්දුහට කෑ ගැසුනි.

    “කෑ ගහන්න එපා තාත්තේ.. මල්කාන්තිට ඇහුනොත් තාත්තට නඩුත් දායි” අමරබන්දුගේ සීමා නැති කට වසනු වස් හිච්චි එකිය අමරබන්දු හට තරයේ අවවාද කළාය.

    “නැහැ බං මම මේ බැලුවේ අන්තිමට දකිනකොට චීත්ත ගවුමක් ඇදන් අදුරු පාටට හිටපු එකී එකපාරටම තම්බල ගත්ත වගේ සුදු වුනේ කොහොමද කියල?” අමරබන්දුහට දහසක් ප්‍රශ්නය.

    අමරබන්දු කල්පනාවේ ගිළෙන අතරතුර නිවේදකයා ජයග්‍රාහිකාවගේ නම බෙරිහන්දුන්නේය.

    “මේ වසරේ ජයග්‍රාහිකාව ….ට්‍රැක් හතරෙ මල්කාන්තී…..” නිවේදකයාගේ හඩින් අමරබන්දු ගැස්සී ගියේය. ඉනික්බිති කරකාර බැදි මායියන්ගේ රූ රැජින හට ඔටුණු පැළදීම සිදු විය. මල්කාන්තිගේ හිසට ඔටුන්න ගෙනැවිත් අතහැරියේ කළින් වසරේ රැජිනිය වූ කැරොල්නාහාමිගේ දයාවතී විසිනි. එසේ ඔටුන්න මල්කාන්තිගේ හිස මතට අතහැරියද ඇගේ හිසට ඔටුන්න බර වැඩිවාසේ බිමට පාත් වන්නට ඔන්න මෙන්නය. එක්වර සරම කොණකින් උස්සාගෙන ටින්ටෙක්ස් ඇන පෙට්ටියත් අඩු මිටියත් ගෙන වේදිකාවට ගොඩ වූයේ චණ්ඩි මල්ලි මහතාය. ඔහු විසින් ඔටුන්න මල්කාන්තිගේ හිසමත තබා ඇණගසමින් සවි කරන්නට වූයේය. ඒ අනුව යන්තම් ඔටුන්න මල්කාන්තිගේ හිස මත රැදී තිබුණි.

    ඉන්පසුව එළැඹුනේ රැජිනියගේ පින්තූර ගැනීමේ වාරයයි. ඇය ඇගේ සුරත අටපට්ටමක් මෙන් නවාගෙන ජනතාවට ආචාර කරමින් සිටියාය. එසේම මාධ්‍ය මහත්වරුන් විසින් ඇගේ පින්තූර ගනිමින් සිටීහ. නමුත් නාඩගමේ හොදම හරිය සිදු වූයේ මෙතැන් සිටය. එකවරම වේදිකාවට ගොඩවූ කැරොලිනාහාමිගේ දයාවතී හා කට හැකර කාන්ති නිවේදකයාගේ මයික්‍රෆෝමය උදුරාගෙන බෙරිහන් දුන්නේ “කසාදෙ කඩාගත්තු මල්කාන්තිට මොන ඔටුනුද” කියාය. එසේ කියමින් ඔවුන් දෙදෙනා විසින් මල්කාන්තිගේ හිසෙහි ඇණගසා සවිකොට තිබූ ඔටුන්න ඇද ගළවා දැමූහ. ඒ අනුව මල්කාන්ති හඩාගෙන වේදිකාව පසුපසට දිවයන අතරේ කැරොලිනාහාමිගේ දයාවතී හා කට හැකර කාන්ති සිය සුරත ඉහලට ඔසවා ජය සැමරූහ.

    ඒ අනුව වැව් පිටිය පුරා හූ හඩ පැතිරුණි. අවසන නටපු නැටුමකුත් නැත බෙරේ පළුවකුත් නැතුවා සේ යැයි අමරබන්දු හට හැගුනි. කෙල්ලන් කැටුව නිවෙස බලා යන අතරතුර හෙතෙම තමන්හටම කියා ගත්තේ

    “මීට වඩා හොදයි මායියට කියල විස පොල්තෙලෙන් පරිප්පු වඩයක් බැදගෙන කෑවනං අඩුමතරමෙ පොල්තෙල් ගෙන්නන සමාගම් ටිකවත් වැටෙන්න නොදී පරෙස්සම් කරගන්න තිබ්බා” යනුවෙනි.

    තිලංග ෆොන්සේකා

    කාටූන්: රංජන් පරණවිතාන

    ලබන සතියේ සිට පොල් ගස් කැපීමට තහනමක්!

    0

    ලබන සතියේ සිට මෙරට පොල්ගස්‌ කැපීම තහනම්‌ කිරීමට රජය සූදානම් වෙයි.

    ඒ අනුව පොල් ගස් කැපීම තහනම් කරමින්‌ විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත්‌ කිරීමට නියමිත බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

    එහෙත් එම තහනම බල පැවැත්වුවද ‌ අත්‍යවාශ්‍ය කරුණක්‌ සඳහා අවසර
    ලබාගැනීමකින්‌ පසුව පොල්ගස්‌
    කැපීම සිදුකළ හැකි බවද එම අමාත්‍යාංශය කියා සිටී.

    විභාග දින නිකුත් වෙයි

    0

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ, 5 වසර ශිෂ්‍යත්ව සහ සාපෙළ විභාග සඳහා දින ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව 2021 උසස් පෙළ විභාගය – ඔක්තෝබර් 4 සිට 30 දක්වා පැවැත්වේ.

    5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 වැනිදා පැවැත්වීමට නියමිතය.

    2021 සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.

    බාල පොල්තෙල් ගැන විමර්ශනයට CID කණ්ඩායමක්

    0

    ප්‍රමිතියෙන් තොර පොල්තෙල් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා නීතිපතිවරයාගේ නියෝග මත රහස් පොලීසියේ විශේෂ කණ්ඩායමක් විමර්ශන සඳහා පත්කර තිබේ.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ විසින් පත් කරන ලද සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් මේ සඳහා පත්කර ඇත.

    තරග පාවාදුන් හෙළිදරව්ව ගැන අල්ජසීරාවෙන් වීඩියෝ ඉල්ලයි

    0

    ජාත්‍යන්තර තරගවලදී බුකීකරුවන්ගේ අවශ්‍යතා මත ගාල්ල ක්‍රීකට් ක්‍රීඩාංගනයේ විකට්ටු එක් එක් කණ්ඩායම්වලට වාසි සහගත ලෙස සකස් කරදී තරග පාවාදීමක් සිදුවන බවට 2018 වසරේදී අල්ජසීරා නාලිකාව විසින් හෙළිදරව් කළ වැඩසටහනේ සංස්කරණය නොකළ දර්ශන ලබාගැනීමට ක්‍රීඩා වැරදි විමර්ශන පොලිස් ඒකකය තීරණය කර තිබේ.

    ඒ තරග පාවාදීම්වලට සම්බන්ධ යැයි අල්ජසීරා නාලිකාව විසින් නම් කළ, ගාල්ල ක්‍රීඩාංගනයේ තණතිල්ල භාර නිලධාරියා ඇතුළු 06 දෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදි හෙළිවූ කරුණු තහවුරු කරගැනීමට ය.

    ඒ වන විට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරට සංචාරයක නිරතවීමට සූදානමින් සිටි බවත් තරග පාවාදීමකට යෝජනා කරමින් තමා ඒ් සදහා පෙළඹවීමට උත්සහගත්තේ අල් ජසීරා නාලිකාවේ මාධ්‍ය කණ්ඩායමේ පිරිසක් බවත් ඒ අය ප්‍රශ්න කිරීමේදී පවසා ඇතැයිද මේ පිළිබඳ විමර්ශන පවත්වන ක්‍රීඩා වැරදි විමර්ශන පොලිස් ඒකකයේ එම විමර්ශනය භාර උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    විකට්ටුව සහ එහි හැසිරීම ඇතුළු ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් තොරතුරු විමසමින් සිටින අතරතුර ඒ අය තරග පාවාදීම් ගැන කථාබහ කළ බවත් ඊට තමන් ඒ අයට දැක්වූ ප්‍රතිචාර නාලිකාවේ විකාශය වූ වැඩසටහනේ නොවූ බවත් ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පැවසූ බවද එම නිලධාරියා සදහන් කළේය.

    ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ පොලිස් ඒකකය මෙම තරග පාවාදීමේ චෝදනාව එල්ල කරන අල්ජසීරා වාර්තා වැඩසටහන සියුම් විමර්ශනයකට ලක් කිරීමේදී ද පෙනී ගොස් ඇත්තේ සංස්කරණය කළ දර්ශන රාශියක් එක්කරමින් එම වැඩසටහන සකස්කර ඇති බවකි.

    පැහැදිලිවම එහි තරග පාවාදීමක් ගැන කරුණු හෙළීනොවන බවද එහිදී පොලිස් විමර්ශකයන්ට පෙනී ගොස් ඇත.

    මේ අනුව සැබෑ තත්වය තවදුරටත් තහවුරුකර ගැනීමට අල්ජසීරා නාලිකාව මගින් විකාශය කළ එම වැඩසටහනට අදාල සංස්කරණය නොකල දර්ශනවල අවශ්‍යතාව මතුවී තිබේ.

    ඒ අනුව ඉදිරි දින කිහිපය තුල අල්ජසීරා නාලිකාවෙන් එම තරගපාවාදීමට අදාල සංස්කරණය නොකල දර්ශන ඉල්ලා සිටින බව එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

    මීටර් 800 වාර්තාව ඩිල්ෂිට

    0

    මීටර් 800 කාන්තා ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට ඩිල්ෂි කුමාරසිංහ අද (09) දින සමත් වූවාය.

    ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දී සිය තරග ඉසව්ව විනාඩි 2.02.52 නිමා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට ඇය සමත්වී තිබේ.

    මෙයට පෙර ජාතික වාර්තාව විනාඩි 2.02.55 ලෙස පැවතිණි. නිමාලි ලියනආරච්චි ඩිල්ෂිට දෙවැනි වූ අතර ඇය වාර්තා කළ කාලය විනාඩි 2.03.15 කි.

    මෙම තරගකාරීත්වය තුළ ඉදිරියේ දී මෙම ඉසව්වේ වාර්තාව විනාඩි දෙක සීමාවෙන් මෙපිටට පැමිණෙනු ඇතැයි ක්‍රීඩා විශ්ලේශකයෝ අදහස් දක්වති.