fbpx
තවත්
    මුල් පිටුවඅමරබන්දුගේ වාඩියමායියලාගේ රූ රැජින වූ මල්කාන්තිගේ ඔටුන්න ගැළවීම

    මායියලාගේ රූ රැජින වූ මල්කාන්තිගේ ඔටුන්න ගැළවීම

    “කිරිබත් කැටේට පොල්කිරි පදනමේ සභාපති චණ්ඩි-මල්ලි මහතා විසින් සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන මහා කරකාර බැදි මායියලාගේ රූ රැජිනිය තේරීමේ තරගයේ අවසන් වටය දැන් පැවැත් වෙනවා… මේ සොදුරු අවස්ථාව දැක ගන්නට ඔබ තවමත් ප්‍රමාද නැත… අන අන සිටින බත් පත පසෙක දමා වහාම ගමේ වැව් පිටියට එක් රොක් වන්න… එන්ඩා… එන්ඩා… කරකාර බැදි රූ රැජිනිය දැක ගන්න චණ්ඩි-මල්ලිගේ රූ රැජිනිය …. එන්ඩා එන්ඩා…. එන්ඩා”.
    ඉංගිරිසි මයිනර් රථයේ බැදි යකඩ කටින් තොර තෝන්චියක් නැතිව නිවේදකයා බෙරිහන් දෙන අල්ල පනල්ලේ අමරබන්දු ඊට කන් යොමා සිටියේ ඔහුගේ බුලත් කෙටිල්ලට නැවතත් මදකට නවතාලමිනි..

    “තාත්තේ……” ගෙතුලින් එක්වර නාද වූයේ හිච්චි එකියගේ කටහඩ බැව් එක්වර හදුනා ගත් හෙතෙම බුලත් කෙටිල්ල නවතා සුසුමක් හෙළුවේ මීළග නිමේශයේදී සිදු වීමට නියමිත සිදුවීම ටක්කෙටම දන්නා බව හගවමිනි. යකඩ කටට ගුරුපාරේ මායිම පනින්නටවත් කල් නොමැති විය. හිච්චි එකියත් සෙසු කෙල්ලන්ද අතට හසුවෙන රෙද්දක පෙරෙද්දක් ඉණේ පටළවාගෙන ගෙයින් දොට්ට බැස්සේ කරකාර බැන්ද මායියලාගේ රූප රැජින තරගෙ බලන්නට බව ඔහු සිතුවාට වඩා ඉස්පාසුවට සිදුවී තිබුණි.

    “අම්මේ අපි යනවෝ”.. කියාගෙන කෙල්ලන් එළි බසිද්දී අමරබන්දුටද උන් පසු පස යන්නට වූයේ මායියාගේ බලකිරීම හේතුවෙනි.

    අමරබන්දු හා පවුලේ එකියන් වැව් පිටියට සේන්දු වන මොහොත වනවිට තරගයේ අවසන් නිමේශය කරා ළගා වී තිබුණි. නිවේදකයා මහ හඩින් අවසන් තරග කාරිනියන් වේදිකාවට හදුන්වා දෙමින් සිටියේය

    “මෙන්න පිළිගන්න කරකාර බැදි මායියලාගේ රූ රැජින තරගයේ අවසාන තරගකාරියන් දෙදෙනා….” ඒ ගැඹුරු කටහඩ ඇසුනු අමරබන්දු රූ රැජිනියන් පසෙක ලා නිවේදකයා වෙත සිය අවධානය යොමු කළේ “හප්පද බොල ඒ අපේ නෙල්සන් අබේකෝන් ළමය නේද?” යැයි සතුටු සිනහවකින් විඩාවට පත් වතට එක් කරමිනි. ඔහු තව තවත් සිය දෑස ළං කොට බැලුවේ තමන්ගේ සිතේ කොණකටවත් නොදැනෙන රූප රාජිනී තරගය කෙසේ වුවත් පෙරදා වැව් පිටියට ආ සංගීත සන්දර්ශනයන්හි ගායකයන්ට වඩා ආකර්ශනීය වූ ඒ අසහාය නිවේදකයා නෙල්සන් අබේකෝන් ගේ හඩ නැවත්ත් තමන් ඉදිරියේ ගාම්භීරෙට රැව් දෙන්නට වූයෙනි. නමුත් ඒ නෙල්සන් අබේකෝන් නොව ඒ වගේ වෙන්න හදන තවත් නිවේදකයෙක් යැයි පසක් කොට ගත් හෙතෙම තමන්ටම “චැහ්” කියා ගත්තේය.

    තරගයේ වැඩිම ලකුණු ලබා අවසන් තරගකාරිණියන් දෙදෙනා වේදිකාව ඉදිරියට පැමිණ ඔවුනොවුන්ගේ දෑත් අල්ලාගෙන නොඉවසිල්ලෙන් පසුවූයේ අවසන් ප්‍රතිථලය ලබා දෙනතුරුය.

    “හප්පද බොල.. මේ අර ට්‍රැක් හතරෙ මීගාල බලාගන්න සුමනේරියගේ කෙල්ල මල්කාන්ති නේද?” තරගකාරිණියන් දෙදෙනාගෙන් එක් අයෙක් දුර තියාම හදුනා ගත් අමරබන්දුහට කෑ ගැසුනි.

    “කෑ ගහන්න එපා තාත්තේ.. මල්කාන්තිට ඇහුනොත් තාත්තට නඩුත් දායි” අමරබන්දුගේ සීමා නැති කට වසනු වස් හිච්චි එකිය අමරබන්දු හට තරයේ අවවාද කළාය.

    “නැහැ බං මම මේ බැලුවේ අන්තිමට දකිනකොට චීත්ත ගවුමක් ඇදන් අදුරු පාටට හිටපු එකී එකපාරටම තම්බල ගත්ත වගේ සුදු වුනේ කොහොමද කියල?” අමරබන්දුහට දහසක් ප්‍රශ්නය.

    අමරබන්දු කල්පනාවේ ගිළෙන අතරතුර නිවේදකයා ජයග්‍රාහිකාවගේ නම බෙරිහන්දුන්නේය.

    “මේ වසරේ ජයග්‍රාහිකාව ….ට්‍රැක් හතරෙ මල්කාන්තී…..” නිවේදකයාගේ හඩින් අමරබන්දු ගැස්සී ගියේය. ඉනික්බිති කරකාර බැදි මායියන්ගේ රූ රැජින හට ඔටුණු පැළදීම සිදු විය. මල්කාන්තිගේ හිසට ඔටුන්න ගෙනැවිත් අතහැරියේ කළින් වසරේ රැජිනිය වූ කැරොල්නාහාමිගේ දයාවතී විසිනි. එසේ ඔටුන්න මල්කාන්තිගේ හිස මතට අතහැරියද ඇගේ හිසට ඔටුන්න බර වැඩිවාසේ බිමට පාත් වන්නට ඔන්න මෙන්නය. එක්වර සරම කොණකින් උස්සාගෙන ටින්ටෙක්ස් ඇන පෙට්ටියත් අඩු මිටියත් ගෙන වේදිකාවට ගොඩ වූයේ චණ්ඩි මල්ලි මහතාය. ඔහු විසින් ඔටුන්න මල්කාන්තිගේ හිසමත තබා ඇණගසමින් සවි කරන්නට වූයේය. ඒ අනුව යන්තම් ඔටුන්න මල්කාන්තිගේ හිස මත රැදී තිබුණි.

    ඉන්පසුව එළැඹුනේ රැජිනියගේ පින්තූර ගැනීමේ වාරයයි. ඇය ඇගේ සුරත අටපට්ටමක් මෙන් නවාගෙන ජනතාවට ආචාර කරමින් සිටියාය. එසේම මාධ්‍ය මහත්වරුන් විසින් ඇගේ පින්තූර ගනිමින් සිටීහ. නමුත් නාඩගමේ හොදම හරිය සිදු වූයේ මෙතැන් සිටය. එකවරම වේදිකාවට ගොඩවූ කැරොලිනාහාමිගේ දයාවතී හා කට හැකර කාන්ති නිවේදකයාගේ මයික්‍රෆෝමය උදුරාගෙන බෙරිහන් දුන්නේ “කසාදෙ කඩාගත්තු මල්කාන්තිට මොන ඔටුනුද” කියාය. එසේ කියමින් ඔවුන් දෙදෙනා විසින් මල්කාන්තිගේ හිසෙහි ඇණගසා සවිකොට තිබූ ඔටුන්න ඇද ගළවා දැමූහ. ඒ අනුව මල්කාන්ති හඩාගෙන වේදිකාව පසුපසට දිවයන අතරේ කැරොලිනාහාමිගේ දයාවතී හා කට හැකර කාන්ති සිය සුරත ඉහලට ඔසවා ජය සැමරූහ.

    ඒ අනුව වැව් පිටිය පුරා හූ හඩ පැතිරුණි. අවසන නටපු නැටුමකුත් නැත බෙරේ පළුවකුත් නැතුවා සේ යැයි අමරබන්දු හට හැගුනි. කෙල්ලන් කැටුව නිවෙස බලා යන අතරතුර හෙතෙම තමන්හටම කියා ගත්තේ

    “මීට වඩා හොදයි මායියට කියල විස පොල්තෙලෙන් පරිප්පු වඩයක් බැදගෙන කෑවනං අඩුමතරමෙ පොල්තෙල් ගෙන්නන සමාගම් ටිකවත් වැටෙන්න නොදී පරෙස්සම් කරගන්න තිබ්බා” යනුවෙනි.

    තිලංග ෆොන්සේකා

    කාටූන්: රංජන් පරණවිතාන

    තිලංග ෆොන්සේකා

    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    තිලංග ෆොන්සේකා
    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    ඔබේ අදහස් දක්වන්න.