තවත්

    ණයවර ලිපි ගැටළුව විසදේ – ගෑස් බෙදන්ට ලිට්‍රෝ පටන් ගනී

    0

    ණයවර ලිපි ගැටළුව මේ වන විට නිරාකරණය කර ඇති බැවින් ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම අද සිට යථා තත්ත්වයට පත්කරන බව එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සදහන් කරයි.

    ණයවර ලිපි විවෘත නොකිරීම හේතුවෙන් ඇති වූ දුෂ්කරතා මත ගෑස් හිඟයක් ඇති වූවත් ඊයේ රාත්‍රියේ අදාල අංශ සමඟ කළ දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය බැංකු ගෑස් තොග නිදහස් කිරීමට අදාලව ණයවර ලිපි නිකුත් කිරීමට එකඟ වූ බවද ඔහු පවසයි.

    මේ වන විට දිවයිනට ළගාවී ඇති නෞකා දෙකේ ගෑස් තොග ගොඩබෑම ආරම්භකරන බවත් සිලින්ඩර් 80,000ක් දෛනිකව වෙළද පොළ නිකුත් කිරීමට සැළසුම්කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    අද (11) එන්නත් මධ්‍යස්ථාන 84ක් රට පුරා

    0

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 84 කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination-Centers-on-11.03.2022

    වැසුණු පාසල් 850ක් දිරාපත් වෙමින් තියෙනවා

    0

    මෙරට වසා දැමුණු පාසල් 850 කට අධික ප්‍රමාණයක් පවතින්නේ යැයි ලේඛනගතව ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබේ.

    ඒවා ප්‍රයෝජනයට ගතයුතු බවද ඊට හැකියාව පවතින බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ පසුගියදා (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අධ්‍යාපන උපදේශක කාරක සභාවේදී ය.

    5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණක් ප්‍රසිද්ධ කිරීම සිදු නොකරන ලෙසට මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කර තිබූ යෝජනාවක් ද එහිදී ප්‍රතික්ෂේප වී තිබේ.

    මෙම කඩඉම් ලකුණු ලබා දීමෙන්, විශේෂයෙන් දෙමව්පියන්ට තම දරුවාට අවශ්‍ය පාසලක් තෝරා ගැනීම සඳහා අවස්ථාව සැලසෙන බව, කාරක සභාවේ බහුතරය අදහස් පළ කර ඇත.

    දැනට 5 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින දරුවන්ගේ සහ දෙමාපියන්ගේ බලාපොරොත්තු කඩ නොකරන ලෙස මෙහිදි මන්ත්‍රීවරුන් විසින්, අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබේ.

    පාසල්වල ගොඩනැගිලි ප්‍රයෝජනයට ගැනීම සීමා සහිතව කෙරෙන බැවින් පස්වරුවේද ඒවා ප්‍රයෝජනයට ගැනීමේ වැඩපිළිවෙළක් සකසන ලෙස මෙහිදී මන්ත්‍රීවරයකු අදහස් පළ කර ඇත.

    අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට එකඟතාවය පළ කර ඇත.

    කිරිපිටි මිලත් ඉහළ යයි

    0

    ලෝක වෙළෙඳපලේ කිරිපිටි මිල ඉහළ යෑම හේතුවෙන් ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 300 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කරයි. 

    එමෙන්ම ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල ද රුපියල් 120 කින් ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.

    ලෝක වෙළඳපොළේ කිරිපිටි ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 5500 ක් දක්වා ඉහළ යාම ඊට හේතුව බව එම සංගමය කියාසිටී.

    මුදල් අමාත්‍යාංශය හා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය ද මේ වන විට දැනුවත් කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් දැනුම් දෙයි.

    ගෑස් හිඟය තව සතියක් – ලීට්‍රෝ

    0

    වෙළෙඳපලේ පවතින ගෑස් හිඟය තවත් සතියක පමණ කාලයක් පවතිනු ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

    එම සමාගම සඳහන් කළේ, ගෑස් මෙට්‍රික් ටොන් 2600 ක් අද(10) වෙළඳපොළට නිකුත් කළ බවයි.

    ගෑස් සැපයුම අඩාල වීමෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අතර ආපනශාලා රැසක් ද මේ වන විට වසා දමා තිබේ.

    IOC ප්‍රෙට්‍රල් ඩීසල් මිල ආයෙත් ඉහළට

    0
    fuel

    අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අයි.ඕ.සී පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ දමා ඇත.

    ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් ඉහළ දමා ඇති බව එම සමාගම නිවේදනය කරයි.

    මෙයට පෙර ලංකා අයි. ඕ. සී. සමාගම පසුගිය පෙබරවාරි (25) මධ්‍යම රාත්‍රියේ ඩීසල් ලීටරයක් රුපියල් 15කින් සහ පෙට්‍ර්ල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දැමීය.

    ඒ අනුව එදින පටන් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍ර්ල් ලීටරයක මිල රුපියල් 204ක් හා අයි. ඕ. සී. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 139ක් වූ අතර, අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරය රුපියල් 254 සහ ඩීසල් ලීටරය රුපියල් 214ක් දක්වා ඉහළ යනු ඇත.

    ලංකාවේ අයි.ඕ.සී සමාගම මාස දෙකක කාලයක් තුළ මෙලෙස පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ දැමූ දැමූ තෙවැනි අවස්ථාව මෙය වෙයි.

    මේ වසරේදී ලංකාවට ADB වෙතින් ඩොලර් බිලියන 2ක්

    0

    ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහාය වන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහතික වී තිබේ.

    මේ වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර වෙන් කෙරෙන බව සත්සුගු අසකාවා මහතා කියා සිටියි.

    ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති ඉහළ ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව ඔහු පවසා ඇත්තේ ‍අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදීය.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන් ම පෞද්ගලික අංශයේ ව්‍යවසායක ප්‍රවර්ධනයට සහාය වීම කෙරෙහි විශේෂ අවධානය යොමු ව ඇති බව ද සභාපතිවරයා පැවසීය.

    ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේදී ලබා දී ඇති සහන ණය මුදල ඩොලර් මිලියන 750කි.

    කොවිඩ් වසංගතය හමුවේ පසුබෑමට ලක් වූ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීමටත් මානව ප්‍රාග්ධන සංවර්ධනයටත් සහාය වන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබී ය.

    කොවිඩ් වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 600කට ආසන්න ණය සහ මුදල් ආධාර ලබා දීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවට ජනාධිපතිවරයා සිය ප්‍රශංසාව පළ කළේය.

    හරිත කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ කර්මාන්ත කලාප සඳහා සෘජු විදේශ ආයෝජන සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    රජයේ ඉලක්කය, සමස්ත බලශක්ති උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමයි. මේ සඳහා සහාය වන ලෙස ජනාධිපතිවරයා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා සිටියේය.

    ආසියානු සංවර්ධන බැංකුවේ 55වන වාර්ෂික සම්මේලනය සැප්තැම්බර් මස 05 සිට 08 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත ව තිබේ.

    ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම පිළිබඳ සතුට පළ කළ ජනාධිපතිවරයා එය අභිමානවත්ව පැවැත්වීමට පූර්ණ සහාය දෙන බව පැවසීය.

    ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශක හරුතෝ තකිමුරා (Haruto Takimura), නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් (Chen Chen), අධ්‍යක්ෂ ජනරාල් කෙනෙචි යෝකොයාමා (Kenichi Yokoyama), ලේකම් මුහමඩ් ඒෂාන් ඛාන් (Muhammad Ehsan Khan), නියෝජ්‍ය නේවාසික අධ්‍යක්ෂ උත්සව් කුමාර් (Utsav Kumar), ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, බාහිර සම්පත් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර යන මහත්වරු මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ස්වාධීන වෙයි

    0

    තමන් මින් ඉදිරියට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව ආණමඩුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රී ප්‍රදීප් චන්දන මහතා පැවසීය.

    ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභාවේ මාසික රැස්වීම 10 වැනිදා ආණමඩුවේදී පැවැත්වුණි.

    සභාව ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කළ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ මන්ත්‍රී ප්‍රදීප් චන්දන මහතා මෙසේ පැවසීය.

    “වර්තමානයේ අපිට පාරේ ඇදුමක් ඇදගෙන යන්න පුළුවන් වාතාවරණයක් නැති තත්ත්වයකට පත් වෙලා ඉන්නේ.ඒකට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පොදු ජන පෙරමුණ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායකයා බව කියන නියෝජ්‍ය ඇමතිවරයායි.
    මේ රටට විශාල සේවාවක් කළ එක්සත් ජාතික පක්ෂයේ නායකයාට මෙවර පාර්ලිමේන්තුවට යන්න සිද්ධ වුනේ ජාතික ලැයිස්තුවෙන්.එහෙම නම් අපේ පක්ෂය ගැන කවර කථාද?මේ ආකාරයට ගියොත් වැඩි දවසක් යන්න කලින් පොහොට්ටුව පර වෙලා යන්න ඉඩ තියනවා.ඒ සම්බන්ධයෙන් නායකයින් හොදට හිතලා බලලා කටයුතු කළ යුතුයි”
    අනතුරුව මන්ත්‍රීවරයා විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම වෙත ගොස් අසුන් ගත්තේය.එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධර්මශ්‍රී බණ්ඩාර මහතා හෙතෙම පිළි ගනිමින් කථාවක්ද පවත්වන ලදි.

    එළඹෙන සභා වාරය වර්ජණය කළ යුතු යැයි සභික ඔට්ටුක්කුලමේ පුංඤ්ඤානන්ද හිමියන් යෝජනාවක් ගෙන එන ලදි.එම යෝජනාව සභාව නියෝජනය කරන පොදු ජලන පෙරමුණ සභිකයින් විසින් ස්ථීර කරන ලදි.

    මැරුණු අයට හිටි හැටියේ පණ එන යුක්‍රේන විඩියෝවේ ඇත්ත නැත්ත

    0

    මේ දින වල යුක්‍රේනය විසින් රුසියානු සොල්දාදුවන්ගේ සිරුරු බවට ව්‍යාජ පවුත් සැකසීමක් කරන අයුරු ලෙසට සඳහන් කරමින් විඩියෝවක් සම්බන්ධයෙන් අන්තර්ජාලය තුල දැඩි කතා බහකට ලක්ව තිබේ.

    අදාල වීඩියෝව රුසියාවට විරුද්ධව මත සමාජ ගත් කරන්නන් විසින් සකස් කළ වීඩියෝවක් බවත් එය සකස් කරන අවස්තාවේදී මියගිය හමුදා නිලධාරීන් ගේ සිරුරු වාර්තාකරුගේ පිටුපසින් තිබෙන ආකාරයට සකස් කිරීමට උත්සහ කරන ලද්දක් බවටද එහි සඳහන්ව ඇත.

    අදාල වීඩියෝවේ මළ සිරුරක් බවට පෙනීයන් ලෙස ඉටි කොලයකින් සිරුර වසාගෙන සිටින පුද්ගලයෙකු එය සකස් කරන අයුරුද දැක්නෙ අතර එය මූලික වශයෙන් පදනම් කරගෙන මෙම වීඩියේව වැඩි වශයෙන් ප්‍රචාරය වීම සිදුවේ.

    කෙසේ වෙතත් එම වීඩියෝව සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී එය යුක්‍රේන ගැටුම් වලට කිසිඳු අයුරකන් සම්බන්ධයක් නොමැත්තක් බවට අනාවරණය වී තිබේ. ඒ අනුව අදාල වීඩියෝව ඔස්ටි්‍රයාවේ මෙම වසරේ පෙබරවාරි මාසයේදී පරිසර ක්‍රියාකරීන් පිරිසක් විසින් පැවැත්වූ විරෝධතාවයක් අතරතුරදී ගන්නා ලද්දකි.

    එහෙත් මෙම විඩියෝව පසුව වෙනත් පුද්ගලයින් විසින් සිය අරමුණු ඉටකරගැනීමට සමාජ ජාල මාධ්‍යවල පළකර ඇති බවටද මෙහිදී අනාවරණය විය.

    රුසියාව සහ ඇමරිකාව ජීව විද්‍යාත්මක අවි ගැන එකිනෙකට ඇගිලි දිගුකරගනී

    0

    යුරේන අර්බුදය දෙවන සතිය දක්වා දිග් ගැස්සෙන අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව ජීව විද්‍යාත්මක අවි භාවිතා කිරීම සම්බන්ධයෙන් එකිනෙකට චෝදනා කිරීම ආරම්භ කර තිබේ.

    ආරම්භයේ සිටම අවිය ආයුධ භාවිතයෙන් ඔබ්බට යමින් තොරතුරු පදනම්කරගත් යුද ගැටුමක් බවට පත්වූ මෙම ආර්බුදය තුල බටහිර සහ රුසියාව එකිනෙකට විවිධ චෝදනා ඒලල කරගන්නා අයුරු දැක ගැනීමට හැකිවිය.

    එහි නවතම තත්ත්වය ලෙස මෙම ජීව විද්‍යාත්මක අවි චෝදනා හැදින්විය හැකිය. ඒ අනුව ඉකුත් අඟහරුවාදා රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාරියා ෂක්රෝවා විසින් ඇමරිකාව විසින් යුක්‍රේනය තුල ජීව විද්‍යාත්මක අවි පිළිබඳ පරේයේෂණාගාරයක් පවත්වාගෙන යන බවට චෝදනා කළේය.

    මෙහිදී රුසියාවේ ආර්.ටී. පුවත්සේවය විසින් මාරියාගේ චෝදනා ඔප්පු කිරීමට ඇමරිකානු එක්සත් ජනපදය රාජ්‍ය දේපාර්තමේන්තු ලපිගොනුවක්ද ප්‍රසිද්ධියට පත් කළේය.

    එහිදී රුසියාව විසින් චෝදනා කර සිටියේ එක්සත් ජනපදයේ සහය ඇතිව යුක්‍රේනය විසින් රුසියාවට ආසන්න දේශ සීමා වල අදාල පර්යේෂණාගාර පවත්වාගෙන ගොස් ඇති බවයි.

    එම පර්යේෂණාගාර තුල විවිධ රෝග සහ ඒවා ආයුද ලෙස යොදා ගැනීම් සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම්කර ඇති බවට රුසියාව චෝදනා කළේය. එහෙත් රුසියානු ආක්‍රමණයත් සමඟ මෙම පර්යේෂණාගාර වල තිබු සියලු දත්ත විනාශ කිරීමට පියවරගෙන තිබූ බවටද රුසියාව වැඩිදුරටත් චෝදනා කළේය.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපද ධවළ මන්දිර ප්‍රකාශිකා ජෙන් සාකි විසින් ඊයේ ප්‍රතිචාර දැවුවාය. එහිදී ඇය ප්‍රකාශ කර සිටියේ රුසියාව විසින් රසායනික හෝ ජීව විද්‍යාත්මක අවි ප්‍රහාරයක් එල්ල කළ හැකි බවයි.

    මෙහිදී ධවල මන්දිර ප්‍රකාශිකාව විසින් රුසියාව විසින් කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කළ අතර රුසියා විසින් පදනම් විරහිතර චෝදනා එල්ල කරන බවද ප්‍රකාශ කර තිබිණි.

    “රුපියල පාවීමට ඉඩහැරීම හොඳයි”

    0

    ඇමරිකානු ඩොලරයක රුපියල් වටිනාකම තීරණය කිරීම සඳහා රුපියල පාවීමට ඉඩහැරීම හොඳ තීරණයක් බව එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට තිබුනේ මීට වසර 2කට පමණ කලින් යැයිද ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් විජේවර්ධන මහතා පැවසීය.

    2020 වසරේ සිට රුපියල පාවීමට ඉඩ හැරියේ නම් ශ්‍රී ලංකා මහ බැංකුවට රුපියල් බිලියන 5කට අධික මුදලක් ඉතිරි කරගත හැකිව තිබූ බව ද විජේවර්ධන මහතා කීය.

    ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයක රුපියල් වටිනාකම 202 මට්ටමේ බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමට යාමෙන් වෙළඳපොළට අවශ්‍ය තුළ නිකුත් කිරීමට සිදු වූ හෙයින් නිකරුනේ බවත් බිලියන 5ක පමණ 5 ක පමණ මුදලක් වැය කළ බවද විජේවර්ධන මහතා කීය.

    කෙසේ නමුත් රුපියලට පාවීමට ඉඩ හැරීම නිසා වෙළෙඳපොළ ගනුදෙනු වෙනස් වූවද ඒ ආර්ථිකයට යහපත් මට්ටමක් උදාවනු ඇතැයි ද විජේවර්ධන මහතා සඳහන් කරයි.

    ආනයන තහනම ඉවත් කළත් පොහොර හිඟයක ලකුණු

    0

    රජය පොහොර ආනයන තහනම ඉවත් කළ ද ඉදිරි යල කන්නයේදී පොහොර දැඩි හිඟයක් උද්ගතවන බව පොහොර ආනයන සමාගම් සඳහන් කරයි.

    ඩොලර් හිඟය සහ ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීම නිසා පොහොර ගෙන්වීමට නොහැකි වී ඇතැයි ද ආනයන සමාගම් සඳහන් කරයි.

    යල කන්නයේ වී ගොවිතැනට සහ අනෙකුත් වගාවන්ට පොහොර ටොන් ලක්ෂ 3ක් වත් අවශ්‍ය වන අතර මේ වන විට ඇණවුම් කර ඇත්තේ ටොන් 30,000 ක් පමණක් ප්‍රමාණයකැයි ද එම සමාගම් කියයි.

    යල කන්නය මේ මාර්තු මස අග භාගයේ ආරම්භ වන අතර ඉන්පසුව පොහොර අවශ්‍ය වන නමුත් මහකන්නයේදී ගොවීන්ට සිදු වූ පීඩාව මෙවර යල කන්නයේ දී සිදුවන බව පොහොර ආනයන සමාගම් පෙන්වා දෙයි.

    ණයවර ලිපි විවෘත කර මෙරට පොහොර ආනයන කිරීමට අවම වශයෙන් මාස දෙකක කාලයක්වත් යන බවද එම සමාගම් සඳහන් කරයි.

    ගෑස් පිපිරීම්වලින් හානිවූවන්ට වහාම වන්දි ගෙවන්න නිර්දේශයක්

    0

    ගෑස් පිපිරීම් සහ ගිනිගැනීම්වලින් හානි වූවන්ට කඩිනමින් වන්දි ගෙවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිර්දේශ කර තිබේ.

    මෙම පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ වෙනස්වීම බවත් ගෑස් සමාගම් සහ අදාළ ආයතනවල වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුව ඇති බැවින් එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බවද කොමිසම පෙන්වා දෙයි.

    කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසුව කොමිසම මෙම නිර්දේශය කර තිබේ.

    ඒ අනුව ගෑස් අනතුරු පදනම් කරගෙන රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන හානි පිළිබඳ තොරතුරුවලට අදාළ පාර්ශ්වයන් වෙත වන්දි ගෙවීම සඳහා කඩිනමින් මැදිහත් වියයුතු බවට කොමිසම ලිට්‍රෝ සමාගමට නිර්දේශ කර ඇත.

    කොමිසම තවදුරටත් සඳහන් කර ඇත්තේ ලීට්‍රෝ ගෑස් පුද්ගලික සමාගම, ලාෆ්ස් ගෑස් සමාගම, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, කාර්මික තාක්ෂණ ආයතනය, සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා පොලීසිය යන වගඋත්තරකාර පාර්ශ්වයන් විසින් තමන්ට පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටු කර නැති බවය.

    මේ වනවිටත් රටේ ගෑස් හිඟයක් මතුව ඇති බැවින් ගෑස් හිඟය නිසා අපහසුතාවට පත් තවත් පාරිභෝගිකයින් පිරිසක් භූමිතෙල් මිලට ගැනීම සඳහා පිරවුම්හල් අසල පෝළිම්වල රැඳී සිටින අයුරු ද අද ද දක්නට ලැබුණි.

    සිය බිළින්දා තුරුළු කරගෙන මවක් ළිඳකට පනී

    0

    අනුරාධපුර වන්නියම්කුලමේ පදිංචි මවක් සියදිවි හානිකර ගැනීමට සිය දරුවා සමඟ අද (10) දහවල් ළිඳකට පැන තිබේ.

    මෙහිදී මවගේ ජීවිතය බේරී ඇති අතර අවුරුදු එකහාමාරක් වයසැති දරුවා මියගොස් ඇතැයි අනුරාධපුර පොලීසිය සඳහන් කරයි.

    විසි අට වියැති මව මේ වන විට අනුරාධපුර රෝහලට ඇතුලත්කර තිබේ.

    එම කාන්තාවගේ සැමියා යුද හමුදාවේ සිවිල් සේවකයෙක් ලෙස කටයුතු කරනු ලබයි.

    ඇය මෙසේ සිය දරුවා සමඟ ළිඳට පැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය විමර්ශන පවත්වයි.

    යෝජිත නගර සංවර්ධන සැලසුම ජනපති අතට

    0

    සංවර්ධන ඉලක්ක සහ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ඇතිවන අයුරින් ප්‍රධාන නගර කිහිපයක සිදු කිරීමට අපේක්ෂිත නගර සංවර්ධන සැලසුම් අද ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා වෙත නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිරිපත්කරනු ලැබීය.

    ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

    රජයේ වැඩපිළිවෙළ අනුව රටේ සංවර්ධන ඉලක්ක, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ඇතිවන අයුරින් ප්‍රධාන නගර සංවර්ධනය නාගරික සංවර්ධන අධිකාරිය රේඛීය ආයතන සමග එක්ව සැලසුම් කර තිබේ.

    එහි පළමු අදියර යටතේ ගාල්ල, බණ්ඩාරවෙල, රත්නපුර නගර මධ්‍යය සහ තිඹිරිගස්යාය, කොටුව, පිටකොටුව හා කොල්ලුපිටිය යන සුවිශේෂි ආර්ථික මෙහෙයුම් කලාප සංවර්ධනයට ලක් කෙරේ. හරිත නගර සංකල්පයට ප්‍රමුඛතාව දෙමින් සියලු පහසුකම් සහිත ආකර්ෂණීය අයුරින් සැලසුම් නිර්මාණය කර තිබේ.

    පුළුල් මාර්ග, වාහන නැවතීමේ පහසුකම්, පදික වේදිකා, වෙළෙඳ සංකීර්ණ, සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක ආලෝක පද්ධති ඇතුළු පහසුකම් රැසක් නව සැලැස්මට ඇතුළත් වේ.

    සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී අදාළ නගර ආශ්‍රිතව ඇති ඓතිහාසික ස්ථාන සුරැකීම සේම, පැරණි ගොඩනැඟිලි ජනතා ආකර්ෂණය ඇතිවන ආකාරයෙන් සංරක්ෂණය කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරු, රේඛීය ආයතන ප්‍රධානීහු සහ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ඩොලරයේ වෙනස්වීමට අනුව ඖෂධ මිලත් ඉහළට

    0

    ඖෂධ ආනයනකරුවන්ට ඩොලරයේ උච්චාවඡනය අනුව සාධාරණ මිලකට ඖෂධ මිල ඉහළ නැංවීමට රජය අවසර ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    එබැවින් බාධාවකින් තොරව ඖෂධ බෙදාහරින ලෙස ඔවුන්ට දැනුම් දුන් බවත් දිවයින පුරා ඖෂධ හිඟයක් අපේක්ෂා නොකෙරෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.

    පොලිස් වෙසින් නිවෙස් කොල්ලකෑ හොර කල්ලියක් අල්ලයි

    0

    පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට සෝදිසි කිරීමේ මුවාවෙන් නිවෙස්වලට ඇතුළු වී දේපොල කොල්ලකෑම්වල නිරතව සිටි පුද්ගලයින් සිව් දෙනෙක් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් අවුරුදු 25ත් 50ත් අතර වයස්වල පසුවන කිරිදිවැල, වරකාපොල හා කෑගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    ඒ එක් සැකකරුවෙක් නුගේගොඩ සහ අලුත්කඩේ අධිකරණවලින් වරෙන්තු නිකුත්කර ඇති අයෙකි.

    මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මුල්වී ඇත්තේ පූගොඩ පැපිලිවල පිහිටි නිවසකට ඇතුළු වී කළ රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදල් හා රන්භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් වූ විමර්ශනයකදීය.

    මෙම කොල්ලකෑම් සදහා ගමන් කිරීමට ඔවුන් යොදාගෙන ඇත්තේ ජිප් රථයකි. එම ජිප් රථයත් අත්විලංගු ජෝඩුවක්, ගමන් කථානයක් පොලීසිය සොයාගෙන තිබේ.

    සැකකරුවන් අද පූගොඩ අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර එහිදී ඔවුන් ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.

    සඳුදා වෙද්දී තෙල් ප්‍රශ්න ඉවරයි

    0

    රට තුළ ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු මේ සෙනසුරාදා වන විට නිරාකරණය කර ලබන සඳුදා සිට යථාතත්ත්වයට පත්කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පවසයි.

    අමාත්‍යාංශ ලේකම්වරියා මේ අදහස් පළ කළේ ‘රට ශක්තිමත් කිරීමට බලශක්තිය’ යන තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විසින් අද (10) පෙරවරුවේ සංවිධාන කළ මාධ්‍ය හමුවකදීය.

    ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් මෙම මාධ්‍ය හමුව මෙහෙයවන ලද අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ද සහභාගී විය.

    ඩීසල් රැගත් නෞකාවක් මේ වන විටත් කොළඹ වරායට පැමිණ ඇති අතර මේ මාසයේ නැව්ගතකිරීම් 4කින් ඩීසල් මෙට්‍රික් ටොන් 172,000ක් මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍යාංශ ලේකම් ඔල්ගා පැවසීය.

    බලාගාර සඳහා අවශ්‍ය බොරතෙල් නැව්ගත කිරීම් කිහිපයක් ද (මෙට්‍රික් ටොන් 30,000) ලැබී ඇති බවත් එමඟින් බටහිර වෙරළ තීරයේ බලාගාරය වැනි බලාගාර පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමට හැකි වන බවත් ඇය පෙන්වා දුන්නාය.

    කාඩ් හිඟයක් – තාවකාලික රියදුරු බලපත්‍රයක් එයි

    0

    කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල කාලය යළි දීර්ඝ කිරීමට සහ වසරක් සඳහා තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    රට තුළ පැවති COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසා තැබීම නිසා රියදුරු බලපත්‍රවල කල් ඉකුත් වීමේ දිනය අවස්ථා කිහිපයකදීම දීර්ඝ කිරීමට සිදු විය.

    ඒ හේතුවෙන්, රියදුරු බලපත්‍ර විශාල සංඛ්‍යාවක අලුත් කිරීම එකවර සිදු කිරීමට කටයුතු කළ යුතුව ඇත.

    එබැවින්, දෙපාර්තමේන්තුවට දැරිය නොහැකි ප්‍රමාණයක විශාල රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් වර්තමානයේ දී නිකුත් කිරීමට සිදු වී ඇත.

    මෙම තත්ත්වය තුළ, පහත සඳහන් පරිදි කල් ඉකුත්වන දිනයේ සිට රියදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

    ඒ සඳහා වන ගැසට් නිවේදනය යථකාලයේදී නිකුත් කරනු ලබන බව ද මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    • 2022 අප්‍රේල් 01 සිට 2022 ජුනි 30 දක්වා කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර – කල් ඉකුත්වන දිනයේ සිට මාස 06 කින් දීර්ඝ කිරීමට,

    • 2022 ජූලි 01 සිට 2022 සැප්තැම්බර් 30 දක්වා කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර –

    කල් ඉකුත්වන දිනයේ සිට මාස 03 කින් දීර්ඝ කිරීමට, (මින් පෙර දින දීර්ඝ කිරිම් තුළින් ලබා දී ඇති සහන කාලය අනුව එම දිනවලදී අවලංගු වෙන රියදුරු බලපත්‍ර ද ඇතුලත් වේ.)

    අවසන් වරට මෙම දින දීර්ඝ කිරීම සිදු කරන බැවින් සහන කාලය තුළ රියදුරු බලපත්‍ර අලුත් කර ගන්නා කලස අවධාරණය කරයි.

    තවද, රටේ පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදා ගන්නා කාඩ්පත් හිඟයකට ද වත්මනෙහි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මුහුණ දී සිටියි.

    ඒ සඳහා තාවකාලික පිළියමක් ලෙස, රියදුරු බලපත්‍ර කාඩ්පත වෙනුවට වසරක් සඳහා තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට තීරණය කර ඈත.

    එම තාවකාලික රියදුරු බලපත්‍රය සඳහා ආරක්ෂිත ක්‍රමවේද සහිත පරිගණක යෙදවුමක් පොලිස් දෙපාර්තමේන්තුවට හඳුන්වාදීමට ද කටයුතු සම්පාදනය කරමින් සිටී.

    එමෙන්ම, දැනට නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර සඳහා වසරක වලංගු කාලයක් සහිත නව තාවකාලික රියදුරු බලපත්‍රයක් තැපැල් මගින් බලපත්‍රලාභියාට ලබා දෙනු ලැබේ.

    රට යථා තත්ත්වයට පත්වීමෙන් පසුව අදාළ කාඩ්පත් මුද්‍රණය කර ඉල්ලුම්කරුවන්ගේ නිවසටම රියදුරු බලපත්‍රය ලැබීමට සලස්වන බැව්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වා සිටි.

    විදුලිබල අර්බුදය විසඳන්න, යවමු සරුංගල්…

    0

     

    ෆොසිල ඉන්ධනවල මිල අධික වීම සහ විදුලිය නිපදවීමට ගල් අඟුරු භාවිතයේදී වන අධික පරිසර හානිය නිසා වර්තමානයේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත වඩාත් අවධානය යොමුවී ඇති බව නොරහසකි. සුලං මෝල්, සූර්ය පැනල භාවිතය, මේ අතර ප්‍රධාන තැනක් ගනී. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස සූළඟින් උපරිම දායකත්වයක් ලබාගැනීම සඳහා සරුංගල් භාවිතය පිළිබඳ ඉතා සිත්ගන්නාසුළු පුවතක් මෑතකදී විදෙස් මාධ්‍ය මගින් වාර්තා කොට තිබුණි.

    2021 වසරේ දෙසැම්බර් මාසයේදී SkySails Power නම් ජර්මානු ආයතනයක් විසින් ලොව ප්‍රථම වරට මුරුසි දිවයිනේ මෙම සරුංගල් විදුලි බලාගාරය, පරීක්ෂණ මට්ටමින් ස්ථාපනය කරන ලදී. ඔවුන්ගේ වාර්තා පවසන පරිදි පසුගිය මාස දෙකක කාලය තුළ, එයින් අපේක්ෂිත කිලෝවොට් 100ට ඉතා ආසන්න විදුලි ප්‍රමාණයක් එමගින් ජනනය කර ඇත. මෙය සාමාන්‍යයෙන් නිවාස 50ක පමණ අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රමාණවත් බව ඔවුන් පවසයි.

    සාම්ප්‍රදායික සුලං මෝල් භාවිතයේදී ඉතා දුෂ්කර ප්‍රදේශ, මුහුදේ ගැඹුරු ස්ථාන වැනි ප්‍රදේශවල ඒවා ස්ථාපනය කිරීම ඉතා දුෂ්කර බැවින්, සරුංගල් භාවිතා කිරීමෙන් විදුලිය නිපදවීම ඉතා පහසු සහ ලාභදායී ක්‍රමවේදයක් බව අවිවාදයෙන් පිළිගැනේ. සුළඟ වඩාත් වේගයෙන් හමායන තරම් උසකට සුළං මෝල් ප්‍රමණවත් තරම් උස් නොවන හෙයින්, එවැනි උසක පහසුවෙන් ක්‍රියාත්මක වීමට මෙම සරුංගල් වලට හැකි බව පැවසේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, Airborne Wind Europe ආයතනයේ අධ්‍යක්ෂක වරයෙකු වන, Polytechnic University of Milan විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු, ලොරෙන්සෝ ෆැජියානෝ විසින් පවසා ඇත්තේ සමහර රටවල සුලං මෝල් සඳහා සුදුසු භූමි ප්‍රමාණය ඉතා අල්ප බවත්, සුලං මෝල් සඳහා මෙගාවොට් එකක් නිපදවීමට අක්කර 71ක පමණ භූමි ප්‍රමාණයක්ද, ෆොසිල ඉන්ධන බලාගාරයක් සඳහා අක්කර 12ක පමණ භූමි ප්‍රමාණයක්ද අවශ්‍ය වන බවයි. උසින් වැඩිම සුලං මෝලක් උපරිම ලෙස මීටර් 200 – 300 ක් පමණ වන බව පැවසෙන අතර මෙම විදුලිය ජනනය කරන සරුංගලයක් සාමාන්‍යයෙන් මීටර 800ක පමණ ඉහළක රැඳවීමෙන් ඉතා වේගයෙන් හමායන උඩු සුළඟින් උපරිම ඵල නෙලාගත හැකි බව ඔහු විසින් වැඩි දුරටත් පවසා ඇත.

    අවම පිරිවැයක් යටතේ, පරිසර හානි අවම කරමින්, බලශක්ති නිපදවිය හැකි මෙවැනි ප්‍රභවයන් කෙරෙහි නැඹුරු වීම, දියුණු වෙමින් පවතින, වර්තමානයේදී උග්‍ර බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින, ශ්‍රී ලංකාව වැනි රටවලටද ඉතා හොඳ ආදර්ශයක් වනු නොඅනුමානය.

     

    (මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

    මෙම ලියුම්කරු විද්‍යාවේදී, ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මෙරට සිටි වයස්ගතම කාන්තාව දිවියෙන් සමු ගනී

    0

    මෙරට ජීවත්වූ වයස්ගතම කාන්තාවක් ලෙස සැළකෙන ඉමදූව කනංකේවත්තේ පදිංචිව සිටි කංකානම් ගමගේ ඩිංගිහාමි මාතාව අද උදෑසන අභාවප්‍රාප්ත වූවාය.

    ඇය සිය ජීවන ගමනට සමුදෙන්නේ වයස අවුරුදු 116 ක් ආයු වළදාය.

    ඇය උපත ලබා ඇත්තේ 1906 වසරේ ජනවාරි මස 11 වෙනිදා අතුරලියේය.

    එම්.ජී. ද නෝරිස් මහතා සමඟ විවහා වූ ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි.

    ඉකුත් 2020 වසරේ දෙසැම්බර් 29 වෙනිදා මිය ගිය කළුතර දොඩම්ගොඩ ක්ලෝඩන් වත්තේ හෙදරලිය කොටසේ ජීවත්වූ වේලු පාප්පානි මාතාවද වයස අවුරුදු 117 ක් ආයු වළදූ තැනැත්තියකි. ඇය 1909 වසරේ මැයි 03 වෙනිදා උපත ලබා ඇත. ඒ වන විට මෙරට සිටි වයස්ගතම කාන්තාව වූයේ ඇයයි.

    අරනායක ගෙවිලිපිටිය ග්‍රාමයේ ජීවත්වූ කිරි උක්කු මාතාවද 2017 වසරේ දෙසැම්බර් 02 දා මිය යන්නේ අවුරුදු 115 ක් ආයු වළදාය. ඇය 1902 වසරේ ජූනි 04 වෙනිදා උපන්නියකි. 2014 වසරේ ඇගේ වසය 112 ක්ව පැවතියදී ඇය ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගයට සහභාගිවෙමින් හෙල්ල සහ යගුලිය විසිකිරීමේ තරග ඉසව්වලටද සහභාගි වූවාය.

    එවකට මෙරට සිටි වයස්ගතම කාන්තාව වූයේ ඇයයි.

    හිතුමතේ පාවෙනා.. $ හැදෙයිදෝ…

    0

    එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දිනයේ දී රුපියල් 260 ක් වී තිබේ.

    ඒ බව අනාවරණය වන්නේ මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක් විසින් අද දින ප්‍රකාශයට පත් කර ඇති විනිමය අනුපාතික සටහන්වලට අනුවයි.

    වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසන බව පසුගිය මාර්තු 07 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළේය.

    එහිදී විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුව පවසා තිබුණි.

    “විමල්-උදයගේ සහය තවමත් ආණ්ඩුවට”

    0

    වත්මන් ආණ්ඩුවේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බැවින් මේ මොහොතේ රටට ජාතික ආණ්ඩුවක් අවශ්‍ය නැති බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ඔහු පවසන්නේ පසුගිය දා අමාත්‍යධූරයෙන් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් ඇතුළු පිරිස ද තව දුරටත් වත්මන් රජයට සහයෝගය පළකරන බවයි.

    මේ මොහොතේ පාලනය වෙනස් කිරීමෙන් රටේ ඇතිව තිබෙන ප්‍රශ්නවලට විසඳුම් සේවීමට නොහැකි බවද ඔහු පැවසීය.

    ශානිගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

    0

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝගමත රදවා තැබීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඉවත්ව ඇත.

    මෙසේ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඉවත්වන්නේ එම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීය.

    ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට කැදවූ අතර යසන්ත කෝදාගොඩ මහතා එම විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකි.

    ඒ අනුව අදාල පෙත්සම ලබන 07 වෙනිදා කැදවීමට නියමිතය.

    ලොහාන් රත්වත්තේට තවත් රාජ්‍ය ඇමතිකමක්

    0

    ලොහාන් රත්වත්තේ මහතා ගුදම් පහසුකම්, බහලුම්, අංඟන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    ඒ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධූරයට අමතරවය.

    ගුදම් පහසුකම්, බහලුම්, අංඟන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යධූරය මෙයට පෙර දැරුවේ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතාය.

    එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරනුයේ විමල් වීරවංශ මහතාය. විමල් වීරවංශ මහතාගේ අමාත්‍යධූරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉවත් කිරීමෙන් පසු ජයන්ත සමරවීර මහතා සිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය.

    සැණකෙළියට ආරක්ෂාව දී නිවසට යමින් සිටි SI අනතුරකින් මරුට

    0
    accident

    සූරියවැව නගරයේ පැවති වෙළද හා විනෝද සැණකෙළියක ආරක්ෂක රාජකාරි අවසන්ව සිය නිවස බලා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි උප පොලිස් පරීක්ෂවරයෙක් අද අළුයම අනතුරකට ලක්ව මිය ගොස් තිබේ.

    උප පොලිස් පරීක්ෂකවරයා ගමන් ගත් ගතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි සූරියවැව පොලීසිය කියයි.

    සූරියවැව – ඇඹිලිපිටිය මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත. උප පොලිස් පරීක්ෂකවරයාට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැකකෙරේ.

    අළුයම 12.30ත් 1.00ත් අතර කාලය තුළ රාජකාරි නිමවා ඔහු ඇඹිලිපිටියේ පිහිටි සිය නිවස බලා ගමන් කර ඇති බවත් අළුයම් කාලයේදී එම අනතුර වූ ස්ථානය අවට නිවෙස්වල පදිංචිකරුවන්ට ශබ්දයක් ඇසී පරීක්ෂාකර බැලූවත් අඳුර නිසා යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ඇති බවක් දැක නොමැති බවත් පොලීසිය කියයි. එම අනතුර වූ ස්ථානයේ මාර්ග තරමක් උසින් පිහිටා ඇත. යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ඇත්තේ බෑවුමටය. මාර්ගයෙන් ඉවතට විසිවී තිබුණු යතුරුපැදිය හා බිම වැටී සිටි උප පොලිස් පරීක්ෂකවරයාව ගම්වැසියන් විසින් දැක ඇත්තේ උදෑසන එළිය වැටුණු පසුවය. ඒ වන විටත් පොලිස් නිලධාරියා මියගොස් සිට ඇත. 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ ගැන ප්‍රදේශවාසියෙක් ලබාදුන් තොරතුරකට අනුව සූරියවැව පොලීසියේ නිලධාරීන් විසින් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී මිය අනතුරට ලක්ව මියගොස් සිටින්නේ සහෝදර පොලිස් නිලධාරියෙක් බව හදුනාගෙන තිබේ.

    එක්දරු පියෙක් වන එම පොලිස් නිලධාරියා 35 වන වියේ පසුවිය.

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-03-10

    0
    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් විසින් ලොව ප්‍රථම දුරකථන ඇමතුම ලබාගත්තේ 1876 මාර්තු 10 වන දිනයි
    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් විසින් ලොව ප්‍රථම දුරකථන ඇමතුම ලබාගත්තේ 1876 මාර්තු 10 වන දිනයි

    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් විසින් ලොව ප්‍රථම දුරකථන ඇමතුම ලබාගත්තේ 1876 මාර්තු 10 වන දිනයි

    විමල්ගේ බිරිඳට එරෙහි පාස්පෝට් නඩු තීන්දුව අද!

    0

    හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව අද (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

    ඒ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධ නඩුවේ ය.

    ශෂී වීරවංශ මහත්මියගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයෙහි ඇයගේ උපන්දිනය 1967 වසරේ බවට සඳහන්ව තිබුණු නමුත් ඇය සිය උපන්දිනය 1971 වසරේ බව සඳහන් කරමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

    ඇය මෙම උපන්දින දෙකම වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කර ඇති බව පැවසේ.

    අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

    0

    අද (10) දිනයේත් සිදුවන විදුලි කප්පාදුව පිළිබඳ කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබේ.

    E-10-03-2022-Power-Interruption-Schedule-full

    විදුලි කප්පාදුව නිදහස් කරන ලද ප්‍රදේශ

    Exempted-Feeders-from-Load-Shedding-R8_2022-3

    ශ්‍රී ලාංකීය ධීවරයින් 05 ක් සමඟ යාත්‍රාවක් ඉන්දියානු අත්අඩංගුවට

    0

    ශ්‍රී ලාංකීය ධිවරයින් 05 දෙනෙක් රැගත් යාත්‍රාවක් ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    දකුණු ඉන්දියාවේ කන්‍යා කුමාරි වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ ය.

    ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට අනුව වෙරළ ආරක්ෂක අංශ සඳහන් කරනුයේ ඉන්දීය මුහුදු සීමාවේ ධිවර කටයුතුවල නිරතවීම ඔවුන් අත්අඩංගුවට ගැනීමට මුල්වී ඇති බවය.

    ධිවරයින් සමඟ එම යාත්‍රාව මේ වනවිට තූත්තුකුඩිය වරාය වෙත රැගෙන ගොස් තිබේ. මෙම ධීවරයින් හලාවත සිට මුහුදු ගිය පිරිසකි.