fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ වසරේදී ලංකාවට ADB වෙතින් ඩොලර් බිලියන 2ක්

    මේ වසරේදී ලංකාවට ADB වෙතින් ඩොලර් බිලියන 2ක්

    ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහාය වන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහතික වී තිබේ.

    මේ වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර වෙන් කෙරෙන බව සත්සුගු අසකාවා මහතා කියා සිටියි.

    ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති ඉහළ ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව ඔහු පවසා ඇත්තේ ‍අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදීය.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන් ම පෞද්ගලික අංශයේ ව්‍යවසායක ප්‍රවර්ධනයට සහාය වීම කෙරෙහි විශේෂ අවධානය යොමු ව ඇති බව ද සභාපතිවරයා පැවසීය.

    ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේදී ලබා දී ඇති සහන ණය මුදල ඩොලර් මිලියන 750කි.

    කොවිඩ් වසංගතය හමුවේ පසුබෑමට ලක් වූ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීමටත් මානව ප්‍රාග්ධන සංවර්ධනයටත් සහාය වන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබී ය.

    කොවිඩ් වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 600කට ආසන්න ණය සහ මුදල් ආධාර ලබා දීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවට ජනාධිපතිවරයා සිය ප්‍රශංසාව පළ කළේය.

    හරිත කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ කර්මාන්ත කලාප සඳහා සෘජු විදේශ ආයෝජන සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    රජයේ ඉලක්කය, සමස්ත බලශක්ති උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමයි. මේ සඳහා සහාය වන ලෙස ජනාධිපතිවරයා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා සිටියේය.

    ආසියානු සංවර්ධන බැංකුවේ 55වන වාර්ෂික සම්මේලනය සැප්තැම්බර් මස 05 සිට 08 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත ව තිබේ.

    ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම පිළිබඳ සතුට පළ කළ ජනාධිපතිවරයා එය අභිමානවත්ව පැවැත්වීමට පූර්ණ සහාය දෙන බව පැවසීය.

    ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශක හරුතෝ තකිමුරා (Haruto Takimura), නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් (Chen Chen), අධ්‍යක්ෂ ජනරාල් කෙනෙචි යෝකොයාමා (Kenichi Yokoyama), ලේකම් මුහමඩ් ඒෂාන් ඛාන් (Muhammad Ehsan Khan), නියෝජ්‍ය නේවාසික අධ්‍යක්ෂ උත්සව් කුමාර් (Utsav Kumar), ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, බාහිර සම්පත් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර යන මහත්වරු මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.