fbpx
තවත්

    අද රටපුරා ලීට්‍රෝ ගෑස් බෙදෙන හැටි

    0

    අද (02) දිනයේ දිවයින පුරා ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර් බෙදා හැරීමේ ලැයිස්තුව ලිට්‍රෝ සමාගම විසින් නිකුත් කර තිබේ.

    එම ලැයිස්තුව පහත දැක්වේ.

    02.06.2022-Distribution-Plan-1

    අද විදුලි කප්පාදුව පැය 2 යි

    0

    අද (02) දිවයින පුරා පැය 2ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    අද හෙට සහ අනිද්දා (04) විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

    Demand-Management-Schedule-for-02_03_04-June-2022

    ගතවූ දින තුනේදී සමස්ත විදුලියෙන් 80%ක්ම ජල සහ සුළං බලයෙන් දීලා

    0

    ගත වූ තෙදින තුළ සමස්ත විදුලි උත්පාදනයෙන් 80%ක් ජල සහ සුළං බලයෙන් ජාතික විදුලිබල පද්ධතියට සැපයූ බවට හෙළිවී තිබේ.

    ඒ වාරිමාර්ග ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ විසඳුම් පිළිබඳ අද (01) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී මේ බව අනාවරණය වී ඇත.

    ජලය මත පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති ඉහළ නැංවීමට හා වහලය මත සවි කරන සූර්ය පැනල සඳහා ලබා දෙන ප්‍රතිලාභ වැඩි කර, පාරිභෝගිකයන් දිරිගැන්වීමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

    රටේ පවතින ඩොලර් අර්බුදය, ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන දහනය කිරීමෙන් විදුලිය නිපදවීම ගැටලු සහගත වී ඇති බැවින් මේ වනවිට දිනපතා විදුලි කප්පාදුවීම් ද සිදුවේ.

    කෙසේවෙතත් මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය ජල විදුලිය නිපදවීම සඳහා විශාල පිටිවහලක් වී ඇත.

    එමෙන්ම මේ වනවිට පවතින අර්බුද හමුවේ පුනර්ජනනීය බලශක්ති වෙත යොමුවීම කඩිනම් කිරීමට රජය පියවර ගෙන ඇති අතර එහි එක් පියවරක් ලෙස රජයේ ආයතනවල වහල මත සූර්ය පැනල සවිකිරීමේ මෙහෙයුම අද ආරම්භ වූ බවට ද වාර්තා විය.

    ලංකාවට පොහොරත් දෙන්න මෝදි කැමතියි

    0

    යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඉන්දීය ණය ආධාර යටතේ මෙම පොහොර තොගය සැපයෙන අතර මෙරටට ලැබී දින 20ක් ඇතුළත බෙදාහැරීමට සැලසුම් කර තිබේ.

    වාරිමාර්ග ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ විසඳුම් පිළිබඳ අද (01) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    උමාඔය සහ මොරගහකන්ද ව්‍යාපෘති මේ වසර නිම වීමට පෙර අවසන් කර, මහ කන්නය සඳහා ප්‍රතිලාභ ලබා දිය හැකි බව සාකච්ඡාවේදී අනාවරණය කෙරිණ. මොරාණ, මහගල්ගමුව පෝෂිත ඇළ, මහගෝණ වැව, විලකණ්ඩිය වැව සහ ගොඩිගමුව වැව ව්‍යාපෘති මීට සමගාමීව වැඩ නිම වීමට නියමිත ය.

    විදේශීය අරමුදල් යටතේ අරඹා ඇති ව්‍යාපෘති අපේක්ෂිත කාලසීමාවේදී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබී ය.

    යල කන්නයේ වගා කටයුතු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණු අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය යටතේ ජලය සැපයෙන ඉඩම්වලින් 50%ක් මේ වන විටත් වපුරා තිබේ.

    මහවැලි ගෙවතු දෙලක්ෂ විසිපන්දහසක අතිරේක භෝග වගා සඳහා සැලසුම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළ අතර මෙතෙක් වී වගා කර නොමැති ඉඩම් වෙනත් භෝග වගා සඳහා යොමු කර ඇති බව නිලධාරිහු පෙන්වා දුන්හ.

    ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල නිලධාරීහු සාකච්ඡාවට එක් ව සිටියහ.

    ගාලුමුවදොර පහරදීම ගැන CID විමර්ශන අධීක්ෂණයට පොලිස් ලොක්කෙක්

    0

    ගාලුමුවදොර අරගල භූමියට පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශන අධික්ෂණය කිරීමට අපරාධ හා රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතාව අද(01) අධිකරණය හමුවේ පොලිස්පතිවරයා විසින් නම්කරනු ලැබීය.

    ඒ අධිකරණය විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.

    ගාලුමුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් වූ අධිකරණ කටයුත්ත අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගනු ලැබීය.

    පොලිස්පතිවරයා අද අධිකරණය හමුවේ පෙනී සිටියේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවක් ලබානොදීමට හේතු දැක්වීමටය.

    දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථානමාරුවීමක් ලබාදෙන ලෙස නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් වාර්තාවක් පොලිස්පතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත්කර ඇති බව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

    පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව මාරු කිරීමට පොලිස්පතිවරයාට බලයක් නොමැති බව පෙන්වා දුන්නේය.

    ඊට අදාළ වාර්තාවක් ද පොලිස්පතිවරයා විසින් විවෘත අධිකරණයේදී මහේස්ත්‍රාත්වරයාට භාරදුන්නේය.

    අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු එවිට ප්‍රශ්න කරනු ලැබුවේ එසේ නම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ස්ථාන මාරු කළේ කෙසේ දැයි කියාය.

    එම ස්ථානමාරුව කරනු සිදුකළේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණයට යටත්ව බව එවිට පොලිස්පතිවරයා සඳහන් කළේය.

    එම අවස්ථාවේදී අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා පොලිස්පතිවරයාගෙන් විමසා සිටියේ ස්ථාන මාරු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට යෝජනා ඉදිරිපත් කළ හැති බැවින් මෙම නඩුවට අදාලව දැඩි ලෙස චෝදනාවන්ට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දෙද්ශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවක් ලබාදීමට යෝජනා ඉදිරිපත් නොකරන්නේ ඇයි දැයි කියාය.

    තමන්ගේ මට්ටමෙන් කළ යුතු යෝජනා මේ වන විටත් අදාල පාර්ශව වෙත යොමුකර අවසන් බව එහිදී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

    දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රශ්නගත දිනයේ භාවිතා කළ රාජකාරි සහ පෞද්ගලික ජංගම දුරකතන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ චෝහාරික පරීක්සණයක් සඳහා යොමුකර ඇති බව අධිකරණය හමුවේ නීතිපති වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය සදහන් කළාය.

    මෙම සිදුවීම නොවැළැක්වීම සම්බන්දයෙන් ප්‍රධාන සැකකරුවෙක් ලෙස නම්කළ යුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙතෙක් සැකකරුවෙක් ලෙස නම් නොකිරීම විමතියට කරුණක් බව මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

    “ස්වාමීනි, පොලිස්පතිවරයා පෙර දිනයේ ලිඛිතව උපදෙස් දී තිබියදීත් මෙම සිද්ධිය වළක්වන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර නැහැ. එහෙම තත්ත්වයක ඔහු දැන් පොලිස්පතිවරයාව බිල්ලට දෙන්න හදනවා. ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නීති විරෝධි උපදෙස් දුන් පමණින් ඒවා පිළිපදින්න ඔහු බැඳිලා නැහැ. එබැවින් දේශබන්දු තෙන්නකෝන් ආරක්ෂා කරන්න අදෘෂ්‍යමාන හස්තය මොකක්දැයි අපි දැනගත යුතුයි“ යැයි අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කරුණු දක්වමින් අධිකරණයේ අවධානයට යොමු කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි විමර්ශන පවත්වාගෙන යාමේදී එම විමර්ශන අධික්ෂණයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යොමු කිරීමට හැකිදැයි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස්පතිවරයාගෙන් විමසන්නේ එහිදීය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා ඒ සඳහා නම් කරනුයේ ඒ අනුවය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අද දින අධිකරණය හමුවේ ජනාධිපති නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටියේය.

    “ස්වාමීනි, මාගේ සේවාදායකයා ස්ථාන මාරුකර යවන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බව සඳහන් වෙනවා. ඒක වැරදියි. එම ලිපියෙන් මාගේ සේවා දායකයාව මාරු කරන ලෙස ඉල්ලා නැහැ. ඒ පිළිබඳව සලකා බලක ලෙස පමණයි ඉල්ලා තිබෙන්නේ. මගේ සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී නැහැ. මාගේ සේවාදායකයා සම්බන්ධයෙන් දිනෙන් දින වැරදි තොරතුරු සමාජගත වෙමින් තිබෙනවා. ඒ නිසා සත්‍ය පැහැදිළි කිරීමටයි මා අද අධිකරණය හමුවේ ඉදිරිපත් වන්නේ“

    “ස්වාමීනී , මෙම සිද්ධිය වූ දින මාගේ සේවාධායකයා සිටියේ ඔහුගේ නිල මැදිරියේ. මැයි 08 වෙනිදා මෙම ගැටුම වළක්වා ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් ලිඛිත දැනුම් දීමක් කර තිබුණා. ඒ අනුව මාගේ සේවා දායකයා මෙම ගැටුම වළක්වාගන්න අවශ්‍ය සියළු විධිවිධාන යෙදීමට කටයුතුකර තිබෙනවා. අරලියගහ මැදුර ආසන්නයේ සිදුවීමක් වන බවට ලද ආරංචියක් මතයි ඔහු එතැනට ගිහින් තිබෙන්නේ. සිද්ධිය වූ දින පෙරවරුවේ කොළඹ මධ්‍ය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද්‍රෙස්කර මහතාට පොලිස්පතිවරයාගෙන් දුරකතන ඇමතුම් දෙකක් ලැබී තිබුණා. ඒ තුළින් ලැබී තිබුණේ මෙම ගැටුම වැළැක්වීමට ගතයුතු පියවරවලට වඩා පරස්පර උපදෙසක්. පසුව මාගේ සේවාදායකයා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් විමසීමක් කළා. එහිදීද ඔහුට ලැබී තිබෙන්නේ ගැටුම වළක්වා ගැනීමට පටහැනි උපදෙසක්.මේ සියලු උපදෙස් අතර පැවති පරස්පරතා නිසයි මාගේ සේවාදායකයා ඉහළම දේශපාලන අධිකාරියෙන් සිදුවීම වැළැක්වීමට උපදෙස් අරගෙන තියෙන්නේ.

    ජනාධිපතිවරයා සමඟ පැවති දුරකතන සංවාදය විනාඩි 11ක් පමණ තිබී තිබෙනවා. ඒ ඇමතුමෙන් පසුවයි කඳුළු ගෑස්, ජල ප්‍රහාර යොදා කලහාකාරීන් විසුරුවා හැරීමට මාගේ සේවා දායකයා කටයුතු කර තිබෙන්නේ.“ යැයි මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ සදහන් කළේය.

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, කොළඹ මහා නගර සභාවේ මන්ත්‍රී මහින්ද කහඳගම, දිලිත් ප්‍රනාන්දු සහ නිශාන්ත ජයසිංහ යන අය මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කරන බව අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළාය.

    මෙම පහරදීම සිදුවූ දින අරලියගහ මන්දිරය තුළ පැවති රැස්වීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ කතාව අඩංගු වීඩියෝ පටයක් ලැබී තිබෙන බවත් එය සංස්කරණය කර තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට අවසරය දෙන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.

    ඒ අනුව අදාල කතාව අඩංගු සංයුක්ත තැටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන්නැයි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

    අරලියගහ මන්දිරය තුළ පැවති රැස්වීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකළ බව කියන ආවේගශීලී කතාව පිළිබදව මනෝ විද්‍යාත්මක මතයක් ලබා ගැනීමට පොලීසිය කටයුතුකර ඇතැයි ද අධිකරණය හසුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය සඳහන් කළාය.

    මෙම පහරදීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 23 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබෙන බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළාය.

    ලබන සතියේ ප්‍රයිවට් බස් වැඩ නෑ

    0

    නිසි පරිදි ඩීසල් නොමැතිවීම හේතුවෙන් ලබන සදුදා (06) සිටි සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

    අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීම නිසා මෙම තීරණය ගනනා බවත් ඔහු සඳහන් කළේය.

    ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දෙන බව ප්‍රකාශ කළත් ඒ සඳහා ද විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

    එබැවින් බස් රථ සඳහා ඩීසල් ලබා ගැනීමට දින ගණන් පෝලිම්වල රැදී සිටීමට සිදුවන බවත් ඔහු කීය.

    එබැවින් මගී බස් රථ සඳහා මේ සතිය තුළ ඩීසල් ලබාදීමට ප්‍රමුඛත්වයක් ලබා නොදුනහොත් සදුදා සිට බස් රථ ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවත් විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

    ආනයනික ආහාර වර්ග කිහිපයක අද සිට බදු මිල ඉහළට

    0

    භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු මිල අද සිට ඉහළ දමා තිබේ.

    මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනය කරන්නේ අද සිට මාස 6ක කාලයක් නව බදු මිල ක්‍රියාත්මක බවයි.

    ඒ අනුව ආනයනික යෝගට්, බටර්, චීස්, මිදි, ඇපල්, දොඩම් ඇතුළු තවත් ආනයනික ආහාර වර්ග රැසක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දමා ඇත්තේ පහත පරිදි ය.

    දුමින්ද සිල්වා අත්අඩංගුවට

    0
    duminda_silva

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව අපරාධය පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද සවස අත්අඩංගුවට ගත්තේය.

    ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

    මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන බව අපරාධය පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    කිරිඇල්ල ආපදා සහන නිලධාරියා සැඩ පහරකට හසුව මියයයි

    0

    කිරිඇල්ල ආපදා සහන නිලධාරී ලෙස කටයුතු කළ පුන්සිරි කරුණාරත්න මහතා රාජකාරී කටයුතුවල නිරතව සිටියදී අද(01) සැඩ පහරකට අසුව මියගොස් ඇත.

    රත්නපුර ප්‍රදේශයේ ගංවතුර ආපදා තත්වය නිරීක්ෂනය කිරීමට ගොස් සිටියදී සැඩ පහරකට හසුව ගසාගෙනයාමෙන් ඔහු මරණයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

    ආපදා සහනසේවා කටයුතුවල නිරතව සිට යළි නිවස බලා යමින් සිටියදී ඔහු මෙම අනතුරුට ලක්වී තිබේ. ජයවර්ධනපුර විශ්ව විදයාලයේ විද්‍යාර්ථයකු වූ පුන්සිරි කරුණාරත්න මහතා මියයන විට 41වැනි වියේ පසුවිය.

    පසුගිය දා වූ කොල්ලකෑම් – පුද්ගල ඝාතන – දේපළ හානි ගැන සොයන්න ජනාධිපති කොමිසමක්

    0

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක 2022-03-31 සහ 2022-05-15 යන දින අතර කාලය තුළ කර ඇති ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ මහතාගේ සභාපතිත්වයෙන් කොමිෂන් සභාව පත් කර ඇත.

    සෙසු සාමාජිකයන් ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, අතිරේක ප්‍රධාන තක්සේරුකරු එන්.ඒ.එස්. වසන්ත කුමාර යන මහත්වරුන් ඊට ඇතුළත් ය.

    ජනාධිපති අතිරේක ලේකම් බුවනෙක හේරත් මහතා එහි ලේකම් ලෙස කටයුතු කරයි.

    කොමිෂන් සභාවේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය අද (01) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණි.

    මැයි 9 සිද්ධිවලට ජොන්ස්ටන් සැකකරුවෙක්

    0

    කොළඹ ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ මැයි මස 09 වනදා ඇතිවූ සිද්ධීන්ට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද කහඳගම සහ තවත් දෙදෙනෙක් සැකකරුවන් ලෙස නම් කිරිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

    අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය වෙත මේ බව දැනුම් දී ඇත.

    ඥානසාර හිමිගේ බළකායට ජනපතිගෙන් තව සති 3ක්

    0

    බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නායකත්වයෙන් යුත් එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්‍ය සාධක බළකායේ වලංගු කාලය තවත් සති 3කින් දීර්ඝ කර තිබේ.

    එහි වලංගු කාල සීමාව පසුගිය 27 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබිණි.

    ඒ සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇත.

    රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න උත්සාහයක්

    0

    අධ්‍යාපනය පෙරපාසලේ සිටම සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් කොටසක් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයටත් හැකියා සහ දක්ෂතා සහිත තවත් පිරිසක් වෘත්තීය අධ්‍යාපනයටත් බෙදී යන ලෙස අධ්‍යාපන පද්ධතිය ම වෙනස් විය බවයි ඔහු සඳහන් කරයි.

    එබැවින් සිසුන් මෙම දෙඅංශයට යොමු කිරීමේ දී වෘත්තීය දක්ෂතා පෙන්වන සිසුන් 09 ශ්‍රේණියේ සිටම තෝරා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රවේශ කිරීමෙන් වඩාත් සාධනීය ප්‍රතිඵල අත්කරගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (31) පැවති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

    සාපෙළ සිසුවියක අපයෝජනයට තැත් කළ ගුරුවරයා ගැන ගත් තීරණය

    0

    සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයකදී සිසුවියක අපයෝජනයට තැත් කළ අනුරාධපුර, හිදෝගම, කළුවිලසේන විභාග මධ්‍යස්ථානයේ නිරීක්ෂණ රාජකාරි සිදුකළ ගුරුවරයාගේ සේවය අත්හිටවූ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    විභාග කොමසාරිස් ජනරාල් එල් .එම්. ඩී. ධර්මසේන මහතා පැවසුවේ, එම මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ද රාජකාරිවලින් ඉවත් කර ඇති බවයි.

    වැඩ ආවරණය සඳහා සහකාර ශාලාධිපතිවරයා පත්කර ඇති බව ඔහු පැවසීය.

    සියලුම මත්පැන් මිල ඉහළට

    0

    සියලුම මත්පැන් මිල ඉහල දැමීමට මත්පැන් සමාගම් තීරණය කර තිබේ.

    වැට් බදු ඉහළ දැමීම සහ නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සමාගම් පවසයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ ඊට අදාළ මිල ගණන් සම්බන්ධයෙන් මේ වන විට සුරා බදු දෙපාර්තමේන්තුවට අදාළ සමාගම් විසින් දැනුම්දෙමින් සිටින බවයි.

    කෙසේවෙතත් මත්පැන් යනු මිල සීමාවන්ට යටත් නොවන භාණ්ඩයක් බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

    අමරවීර-සිරිපාල ශ්‍රීලනිප තනතුරුවලින් නෙරපයි

    0

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අමාත්‍යධුර ලබාගත් මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල ඔවුන් දරණ සියලුම තනතුරුවලින් ඉවත් කර තිබේ.

    පක්ෂයේ පොදු තීරණයට පටහැනිව අමාත්‍යධුර ලබා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

    ඒ අනුව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් අද පස්වරුවේ මේ බව සඳහන් කෙරිණි.

    එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් අමාත්‍ය ධූර ලබාගැනීම සම්බන්ධව

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අවසන් මධ්‍යම කාරක සභාවේදී තීරණය වූයේ පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ සිටිමින් රජය පොදු මහජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ සඳහා පමණක් පක්‍ෂයක් ලෙස සහය දැක්වීමයි.
    අදාළ එම තීරණයට පටහැණිව රජයේ අමාත්‍ය ධූරයක් ලබාගන්නා යම් මන්ත්‍රීවරයෙකු වේ නම්, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ දරන සියලුම තනතුරුවලින් ඉවත්කළ යුතු යැයි මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය වේ.
    ඒ අනුව රජයේ අමාත්‍ය තනතුරු ලබා ගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පක්‍ෂයේ දරන සියලු තනතුරු වලින් ඉවත් කෙරේ.

    මෛත්‍රීපාල සිරිසේන
    සභාපති,
    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය.

    සංචරණ සීමා ඉවත් කිරීම ෂැංහයි වැසියන් උත්සවශ්‍රීයෙන් සමරයි

    0

    මාස දෙදක කාලයක් පුරාවට චීනයේ ෂැංහයි නගරයට පනවා තිබූ දැඩි සංචරන සීමා අද පෙර වරුවේදී (1) ඉවත් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.

    ඒ අනුව අද දිනය උදා වූ අළුයම 12 පසුවෙනවාත් සමඟ ෂැංහයි දෙකෝටි පනස් ලක්ෂයක් වූ නගර වැසියන් ප්‍රීති ඝෝෂා පවත්වමින් සංචරණ සීමා ඉවත් කිරීම උත්සවාකාරයෙන් සැමරූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    කෙසේ වෙතත් තවමත් ෂැංහැයි වැසියන් හය ලක්ෂ පනස් දහසක් තමවත් සිය නිවෙස් වලට සීමා වී ඇති බවට වාර්තා වන අතර ඔවුන් සියලුදෙනා චිනයේ දැඩි නිරෝධායන නීති වලට අනුව නිවෙස් වලින් පිටවීමට අවසර හිමිවූ පිරිස වේ.

    චීනයේ “ශුන්ය කොවිඩ්” ප්‍රතිපත්තිය හේතුවෙන් යම් අයෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට අනාවරණය වුවහොත් ඔහු වහාම නිරෝධායනයට හෝ රෝහල් ගත කිරීම සිදුකරයි. එසේම එම තැන්තාගේ ආශ්‍රිතයින්ද කොරෝනා පරීක්ෂාවකට ලක්කර නිරෝධායනයට යොමු කිරීම තවදුරටත් ක්‍රියාත්මකය.

    සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධනේ ෂැංහයි නගරයේ රජයේ ප්රිකාශිකාව වන යින් ෂින් වාර්තාකරුවන්ට පැවසුවේ “මෙය අපි බොහෝ කලක සිට සිහින මැවූ දිනයක්.” ලෙසයි.

    “හැමෝම මේ කාලයේදී බොහෝ කැපකිරීම් කර තිබෙනවා. එව්ගේම මෙම දිනය ඉතා අමාරුවෙන් දිනා ගත්ත දෙයක් ඒ නිසා අපි එය අගය කොට ආරක්ෂා කළ යුතු වෙනවා. අපට හුරුපුරුදු සහ මග හැරුණු ෂැංහයි වෙත නැවත සාදරයෙන් පිළිගන්නවා.” යනුවෙන්ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

    සංචරන සීමා ඉවත් කළත් තවමත් චීනය දැඩි නීති අනුගමනය කරනු ලබයි. එහිදී නිවැසියන්ට තම නිවෙස පිහිටි ඇති ප්‍රදේශය හෝ ගොඩනැගිලි සංකීර්ණයෙන් පිටත පැමිණිමටත් පොදු ස්ථානවලට ප්රවවේශ වීමට ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනයට ලැබෙන අවසර පත්‍රය පෙන්වීම අවශ්‍ය ‍වේ.

    ඒ අනුව පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට හෝ බැංකු, වෙළඳ සැල් ආදියට යාමට අවශ්‍ය කරනු ලබන ජනතාවට ගතවූ පැය 72 තුළ කරණ ලද වලංගු පී.සී.ආර් පරීක්ෂණයකින් තමන්ට කොරෝනා වෛරසය වැලදී නොමැති බවට සනාථ කරන සහතිකයක් තිබිය යුතුය.

    මේ අතර ෂැංහයි නගරයෙන් පිටවීමේදී අනුගමනය කළ යුතු නීති රැසක් පවතී. ඒ අනුව වෙනත් නගරයකට ගමන් කරන ඕනෑම අයෙකු ආපසු පැමිණීමේදී දින 7-14 ක නිරෝධායනයකට ලක්වීම අනිවාර්ය වේ.

    පසුගිය කාලයේ සංචරණ සීමා ක්‍රියාත්මක වීම නිසා නගරයේ ආර්ථික කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වූ අතර ලොව ප්‍රමුඛ පෙලේ මොටර් රථ නිෂ්පාදන සමාගම් වන වොක්ස් වැගන් සහ ටෙස්ලා හී නිෂ්පාදන කටයුතුද අඩපණ වී තිබිණි.

    මෙම තත්ත්වය හේතුවෙන් තවත් ඇමරිකානු සමාගම් රැසක සිය නිෂ්පාදන කටයුතු ඇණහිටීමෙන් විශාල පාඩු ලැබීම්ද වාර්තා විය.

    දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට සී.අයි. ඩී.ය ජ’පුර රෝහලට

    0

    ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබන බව රෝහල් තොරතුරු සඳහන් කළේය.

    භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට නියම වූ මරණ දණ්ඩනයෙන් ජනාධිපති පොදු සමාවකින් දුමින්ද සිල්වා නිදහස ලැබීය.

    එම පොදු සමාවට අභියෝගයට ලක්කරමින් භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියත් ඇගේ මවත් මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙක් වන නීතීඥ ගසාලි හුසේන් මහතාත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනු ලැබීය.

    එම පෙත්සම සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝගකරනුයේ ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වා මහතාට ලබාදුන් පොදු සමාව අත්හිටුවීමටය.

    ඒ අනුව අධිකරණය මෙන්ම නීතිපතිවරයාද පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනුයේ දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගන්නා ලෙසය.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මූලික පියවරයන් ගනිමින් සිටියදී අද පෙරවරුවේදී ඔහු රෝහල්ගතව ඇත්තේ අපස්මාර රෝග තත්ත්වයක් මත බව රෝහල් තොරතුරු සඳහන් කළේය.

    මේ වන විට දුමින්ද සිල්වා මහතාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් රෝහලට ගොස් තිබේ.

    දේශබන්දු මාරු නොකලාට හේතු කියන්න පොලිස්පති අධිකරණයට

    0

    නීතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථානමාරුවීක් ලබා නොදීමට හේතු දැක්වීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ ඇත.

    ඉකුත් 09 වෙනිදා ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයෙන් මාරුකර යවන ලසෙ නීතිපතිවරයා පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ කෙරන විමර්ශන වලට අදාලව සාක්ෂිකරුවන් රැසක් සිටින්නේ බස්නාහිර පළාතුළ බැවින් ඒ සම්බන්ධයෙන් බලපෑමක් ඇති නොවීම සඳහා ඔහුට ස්ථානමාරුවීමක් ලබාදෙන ලෙසය. ඒ ගැන නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන අධිකරණය හමුවේ ඉකුත් නඩු වාරයේදී සඳහන් කළාය.

    එම උපදෙස අනුව ඒ වන විටත් දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවක් ලබාදී නොතිබී තීබීම නිසා කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගකරනුයේ ඊළග නඩුවාරයේදී පොලිස්පතිවරයාට ඒ සම්බන්ධයෙන් හේතු දක්වන ලෙසය.

    ඒ අනුව අද පොලිස්පතිවරයා අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පොලීසියේ නීතීඥයෙක් වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සමඟිනි.

    ජාතික ජනබලවේගය සහ පෙරටුගාමීන් අතර හමුවක්

    0

    ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

    ජාතික ජන බලවේගයේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන් අතර ඊයේ පැවති මෙම හමුවේදී පවතින දේශපාලන සහ සමාජ ආර්ථික තත්ත්වයන් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ.

    ඉකුත් 09 වෙනිදා ගාලුමුවදොර අරගලකරුවන්ට එල්ලවුණු ප්‍රහාරයෙන් පසු රටපුරා සිදුවූ සිදුවීම් මුල්කරගෙක මර්දනයක් ක්‍රියාත්මක වන බව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතතුළු දේශපාලන ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශවය අතර විශේෂයෙන් අදහස් හුවමාරුවී ඇත.

    ගංවතුරෙන් ආපදාවට පත්වූවන්ට සහන දෙන්න මුදල් වෙන්කරලා

    0

    ගංවතුර තත්ත්වයෙන් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

    එ අනුව මුලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ලේකම් සමන් එකනායක මහතා සහ දිස්ත්‍රික් ලේකම්වරුන් අතර සිදු වී ඇත.

    කලුතර, ගම්පහ, ගාල්ල, රත්නපුර යන දිස්ත්‍රික් ලේකම්වරු සමග පැවති එම සාකච්ඡාවේ දි අග්‍රාමාත්‍ය ලේකම්වරයා සදහන් කර ඇත්තේ ගංවතුරින් ආපදාවලට පත් ජනතාවට සහන ලබාදීමට මහා භාණ්ඩාගාර මෙහයුම් දෙපාර්තමේන්තුවේ මුදල් වෙන් කර ඇති බවයි .

    එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාරයට ද උපදෙස් දි ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සහන මුදල් ලබා දිමට පියවරගන්නා ලෙසයි.

    අධිකව මත්වී තරුණයන් දෙදෙනක් මරුට – තවත් 2ක් රෝහ‍ලේ

    0

    අධික ලෙස මත්ද්‍රව්‍ය හා මත්පැන් පානය කිරීමෙන් හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මන්නාරම රෝහලට ඇතුලත්කළ සිව් දෙනෙකුගෙන් දෙදෙනෙක් මිය ගොස් ඇත.

    මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ඔවුන් සිව් දෙනා රෝහල්ගතකර ඇත්තේ ඇතිවුණු සංකූලතාවක් හේතුවෙනි.

    මියගොස් ඇත්තේ අවුරුදු 26ක් සහ 34ක් වයසැති තලෙයිමන්නාරම හා පේසාලේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

    මොවුන් ඊයේ සවස මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතාකර මෝටර් රථයක නැගී ගමන් කරමින් සිටියදී අසනීප වී ඇත්තේ උයින්කුලම ප්‍රදේශයේදීය.

    මිය යාමට හේතුව අධික ලෙස මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය කිරීම බව අනාවරණය වී ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී බව මන්නාරම පොලීසිය සඳහන් කරයි.

    රටේ දුෂ්කරම කාලයේ ජාතියේ ආරක්ෂකයාගේ මෙහෙවර ඉටුකරන්න නව යුද හමුදාපති සූදානම්

    0

    මාතෘභූමිය මේ වනවිට දුෂ්කරම සහ අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් පසු කරමින් සිටින බැවින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රටෙහි වත්මන් අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය මෙහෙවර ඉටුකරමින්, ‘ජාතියේ ආරක්‍ෂකයා’ යන ආදර්ශ පාඨය පෙරටුකර පුරවැසියන්ට සහයවීම සඳහා සිය උපරිම සහයෝගය ලබා දෙනු ඇති බව නව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ මහතා පවසයි.

    සිය ධුරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාපතිවරයා පවසන්නේ මෙම සියලු අභියෝග මධ්‍යයේ, ‘වෘත්තීයව නිපුණ හමුදාවක්’ බවට පරිවර්තනය වීම ප්‍රධාන වශයෙන්ම මනා ප්‍රමිතියෙන් යුතු පුහුණුව මත රඳාපවතින බැවින්, යුද්ධ හමුදාවේ පුහුණු කටයුතු කෙරෙහි තමාගේ පූර්ණ අවධානය යොමු කර ඇති බවයි.

    මීට අමතරව යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළ සහ තුවාල ලැබූ රණවිරුවන්ගේ පවුල් වෙත විශේෂ අවධානයක් යොමු කරමින් යුද්ධ හමුදාව විසින් දැනට ලබාදී ඇති සුබසාධන පහසුකම් තවදුරටත් ඉහළ නංවාලීමට අවශ්‍ය පියවර ගැනීමට තමා සැලසුම් කොට ඇති බව ද හෙතෙම කියාසිටී.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.

    “මා කෙරෙහි විශ්වාසය තබමින් 2022 ජූනි මස 01 දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති වශයෙන් මා පත්කිරීම සබැඳිව සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපතිතුමන් වෙත ප්‍රථමයෙන් ස්තූතිවන්ත වෙමි. එසේම, මෙම යුද්ධ හමුදාධිපති තනතුරට නිර්දේශ කිරිම සහ මා වෙත ලබාදුන් මාර්ගෝපදේශකත්වය වෙනුවෙන්ද අභිමානවත් ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් රණවිරුවකු වන ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත ස්තුතිය ප්‍රකාශ කිරිමට මෙය අවස්ථාවක් කරගනිමි. එමෙන්ම, හිටපු යුද්ධ හමුදාධිපති මෙන්ම වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මගේ වෘත්තීය ජීවිතය මුළුල්ලේ මට ලබාදුන් මඟපෙන්වීම් සහ සහයෝගය මෙන්ම යුද්ධ හමුදාවේ ඉදිරි අභිවෘද්ධිය සඳහා එතුමන් කළ සේවය ද ඇගයීමට හා ප්‍රශංසාවට ලක්කිරිමට කැමැත්තෙමි.

    දශක තුනක් පුරා පැවැති දීර්ඝ කාලීන කුරිරු ත්‍රස්තවාදය සාර්ථකව මුලිනුපුටා දැමූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, මහජනතාවට සාමකාමීව ජීවත්වීමට හැකිවන පරිදි අපේ මාතෘභූමියට සාමය සහ සහජීවනය උදාකර දෙනු ලැබූහ. තවද, රට තුළ විටින්විට ඇති වන ජාතික හදිසි අවස්ථා, ස්වභාවික ආපදා තත්ත්වයන් තුලදී මෙන්ම අනෙකුත් ව්‍යසන අවස්ථාවන්හිදී නිර්භීත යුද්ධ හමුදා සාමාජිකයින් වශයෙන් ඉදිරිපත් වීමට නිරන්තර සූදානමින් සිටින අතර, කොවිඩ් – 19 වසංගත කාල සීමාවේදී එම වසංගතය මර්ධනය කිරීම සඳහා රාජ්‍ය සහ සිවිල් සංවිධානයන් වෙත අවශ්‍ය සහයෝගය නොමසුරුව ලබාදීමෙන් අප වීරෝදාර භටපිරිස් දැක්වූ දායකත්වය තිරසාර කැපවීම සහ වෘත්තීය නිපුණත්වය පිළිබිඹු කරයි.

    අප දන්නා පරිදි අපේ මාතෘභූමිය මේ වනවිට දුෂ්කරම සහ අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් පසු කරමින් සිටී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රටෙහි වත්මන් අවශ්‍යතාවයන් සඳහා අවැසි මෙහෙවර ඉටුකරමින්, ‘ජාතියේ ආරක්‍ෂකයා’ යන ආදර්ශ පාඨය පෙරටුකරගනිමින් පුරවැසියන්ට සහයවීම සඳහා සිය උපරිම සහයෝගය ලබා දෙනු ලබයි. තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරම්භ කර ඇති හරිත කෘෂිකාර්මික ව්‍යාපෘති සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා භටපිරිස්වල දායකත්වය වැඩි කිරීම මෙම අවස්ථාවේදී රටට වාසිදායක ප්‍රතිඵල ගෙන දෙනු ඇත.

    මෙම සියලු අභියෝග මධ්‍යයේ, ‘වෘත්තීයව නිපුණ හමුදාවක්’ බවට පරිවර්තනය වීම ප්‍රධාන වශයෙන්ම මනා ප්‍රමිතියෙන් යුතු පුහුණුව මත රඳාපවතින බැවින්, යුද්ධ හමුදාවේ පුහුණු කටයුතු කෙරෙහි මාගේ පූර්ණ අවධානය යොමු කරමි. දේශීය හා විදේශීය පුහුණු පාඨමාලා මගින් වෘත්තීය දැනුමේ නිම් වළලු පුළුල් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ නායකත්වය ලබාදීමට අපේක්‍ෂා කරනු ලබනවා. මීට අමතරව යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළ සහ තුවාල ලැබූ රණවිරුවන්ගේ පවුල් වෙත විශේෂ අවධානයක් යොමු කරමින් යුද්ධ හමුදාව විසින් දැනට ලබාදී ඇති සුබසාධන පහසුකම් තවදුරටත් ඉහළ නංවාලීමට අවශ්‍ය පියවර ගැනීමට මා සැලසුම් කොට තිබෙනවා.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘ජාතියේ ආරක්‍ෂකයා’ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට බැඳී සිටින අතරම මාතෘභූමියේ ඒකීයභාවය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීමට දිවිහිමියෙන් කැපවී සිටින අතර ඉහළ වෘත්තීයභාවය, විනය සහ අඛණ්ඩතාවය තුලින් නිසි කටයුතු සිදුකරන බවට සඳහන් කිරීමට කැමැත්තෙමි.” යනුවෙන් එම නිවේද‍නයේ දැක්විණ.

    එස්.ඩී.අයි.ජීලාගේ මාරුවීම්වලදී පොලිස් ලේකම් බලය ඉක්මවා වැඩ කරලා

    0

    මෑතකදී සිදුකළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ස්ථාන මාරුව, පවරා ඇති බලතල ඉක්මවා කටයුතු කිරීමක් බැවින් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවකක් දින තුනක් ඇතුලත ඉදිරිපත්කරන ලෙස රාජ්‍ය සේවා කොමිසම විසින් මහජන ආරක්ෂක ලේකම්වරයාට නියෝගයක් නිකුත්කර තිබේ.

    රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් එම්ඒ.බී.දයා සෙනෙරත් මහතාගේ අත්සනින් එම ලිපිය යොමුකර ඇත්තේ ඊයේ දිනයේදීය.

    එම ලිපියෙහි දක්වා ඇති ආකාරයට අනුව එම ස්ථාන මාරුවීම් ගැන රාජ්‍ය සේවා කොමිසම විසින් දැන ගන්නේද මාධ්‍ය වාර්තා මඟිනි.

    කොමිසම ඊයේ දිනයේ රැස්වීමෙන් පසු ඒ ගැන විශේෂ අවධානයක් යොමුකර ඇති අතර ඒ වන තුරුත් එම ස්ථාන මාරුව කොමිසමේ අනුමැතියට ඉදිරිපත්කර තිබී නැත.

    එම ලිපියෙන් රාජ්‍ය සේවා කොමිසම විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට අවධාරණය කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් අනුමත කරනු ලැබූ පටිපාටිවලට අනුකූලව ස්ථානමාරු කිරීමේ බලතල 2020 නොවැම්බර් මස 20 දිනැති අංක 222/24 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් කොමිෂන් සභාව විසින් මහජන ආරක්ෂක ලේකම්වරයාට පවරා ඇති නමුත් එම ස්ථානමාරු කිරීමේ පටිපාටි කිසිවක් මේ වන තෙක් මෙම කොමිෂන් සභාවේ අනුමැතියට ඉදිරිපත්කර නොමැති බවය.

    එස්.ඩී.අයි.ජීලාගේ මාරුවීම්වලදී පොලිස් ලේකම් බලය ඉක්මවා වැඩකරලා

    0

    මෑකදී සිදුකළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ස්ථාන මාරුව පවරා ඇති බලතල ඉක්මවා කටයුතු කිරීමක් බැවින් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවකක් දින තුනක් ඇතුලත ඉදිරිපත්කරන ලෙස රාජ්‍ය සේවා කොමිසම විසින් මහජන ආරක්ෂක ලේකම්වරයාට නියෝගයක් නිකුත්කර තිබේ.

    රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් එම්ඒ.බී.දයා සෙනෙරත් මහතාගේ අත්සනින් එම ලිපිය යොමුකර ඇත්තේ ඊයේ දිනයේදීය.

    එම ලිපියෙහි දක්වා ඇති ආකාරයට අනුව එම ස්ථාන මාරුවීම් ගැන රාජ්‍ය සේවා කොමිසම විසින් දැන ගන්නේද මාධ්‍ය වාර්තා මඟිනි.

    කොමිසම ඊයේ දිනයේ රැස්වීමෙන් පසු ඒ ගැන විශේෂ අවධානයක් යොමුකර ඇති අතර ඒ වන තුරුත් එම ස්ථාන මාරුව කොමිසමේ අනුමැතියට ඉදිරිපත්කර තිබී නැත.

    එම ලිපියෙන් රාජ්‍ය සේවා කොමිසම විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට අවධාරණය කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් අනුමත කරනු ලැබූ පටිපාටිවලට අනුකූලව ස්ථානමාරු කිරීමේ බලතල 2020 නොවැම්බර් මස 20 දිනැති අංක 222/24 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් කොමිෂන් සභාව විසින් මහජන ආරක්ෂක ලේකම්වරයාට පවරා ඇති නමුත් එම ස්ථානමාරු කිරීමේ පටිපාටි කිසිවක් මේ වන තෙක් මෙම කොමිෂන් සභාවේ අනුමැතියට ඉදිරිපත්කර නොමැති බවය.

    ජ්‍යෙ.නි.පො.ප.වරුන් ස්ථානමාරු කිරිම
    crtm_436

    මත්කුඩු තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයන් රැගත් යාත්‍රා දෙකක් ඉන්දියාවට කොටුවේ

    0

    හෙරොයින් තොගයක් රැගත් ශ්‍රී ලංකික ධීවර යාත්‍ර දෙකක් සමඟ ශ්‍රී ලංකිකයන් පිරිසක් ඉන්දියානු අත්අඩංගුවට පත්ව ඇතැයි එරටින් ලැබෙන තොරතුරුවල සඳහන්ය.

    ඉන්දියානුු වෙරළ ආරක්ෂක බලකාය සහ නාවික හමුදාව විසින් ඒකාබන්ධව මේ දිනවල ඉන්දියන් සාගර කලාපයේ කරනු ලබන විශේෂ මෙහෙයුමකට එම යාත්‍රා දෙක කොටුවී ඇතැයි සඳහන් වන්නේ මෙයට දින දෙකකට පමණ පෙරය.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ද ඉන්දියාවෙන් තොරතුරු විමසා ඇති බව සඳහන්ය. මෙතක් නිල වශයෙනන් කිසිදු තොරතුරක් එරටින් වාර්තා වී නැත.

    මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් මෙයට පෙර අවසනායට ශ්‍රී ලාංකිකයින් සමග බහුදින යාත්‍රාවක් ඉන්දියානු වෙරළ ආරක්ෂක බලකා සහ ඉන්දීය නාවික හමුදාව එක්ව කළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2021 අප්‍රේල් 19 වෙනිදාය. ශ්‍රී ලාංකික සැකකරුවන් 05 දෙනෙක් එහිදී අත්අඩංගුවට පත්ව ඇත. එම යාත්‍රාවේ හෙරොයින් කිලෝ 337 ක් සඟවා තිබියදී සොයාගෙන තිබුණි.

    එම වසරේම මාර්තු 24 වෙනිදාද ඉන්දියානු වෙරළ ආරක්ෂක බලකාය විසින් කළ වැටලීමකින් හෙරොයින් කිලෝ 300.6ක් සමඟ ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙක් අත්අඩංගුවට ගත්තේය. එම යාත්‍රාවේ සඟවා තිබී ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවි 0ක්ද පතොරම් 1000කට වැඩි ප්‍රමාණයක්ද සොයාගෙන තිබුණි.

    ඊට දින 18කට පෙරද හෂිස් කිලෝ 100ක් සහ හෙරොයින් කිලෝ 150ක් ප්‍රවාහනය කරමින් තිබුණු බහුදින යාත්‍රාවක් ඉන්දියානු වෙරළ ආරක්ෂක බලකා අත්අඩංගුවට පත්වී තිබුණේ ද ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙක් සමඟිනි.

    ඊට පෙර ශ්‍රී ලාංකිකයන් සමඟ මත්කුඩු ප්‍රවාහනය කරමින් තිබුණු බහුදින යාත්‍රාවක් ඉන්දියානු වෙරළ ආරක්ෂකයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2020 නොවැම්බර් 26 වෙනිදාය. එහි තිබී හෙරොයින් කිලෝ 98.8ක් සහ අයිස් කිලෝ 18ක් සමඟ ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.

    බලුකිස්තාන් කලාපයේ පාකිස්තානයේ සහ ඉරානයේ භූමි ප්‍රදේශවල පිහිටා ඇති මැක්‍රාන් වෙරළ තීරය ඔස්සේ ඇෆ්ගනිස්ථානයේ නිෂ්පාදනය කරන හෙරොයින් පකිස්තානු ජාවාරම්කරුවන් විසින් ලොවපුරා බෙදා හරින්නේ ඉන්දියන් සාගරය ඔස්සේය.

    ගංවතුර මැද්දෙන් සාපෙළ සිසුන් විභාගයට ගෙනියන නාවික විරුවන්

    0

    කළුතර පරගොඩ හා කුඩලිගම ප්‍රදේශයේ සහ ගාල්ල හිනිදුම ප්‍රදේශයේ සුළු ජල ගැලීම් තත්වයක් මතුව තිබේ.

    මෙම ආපදාව හමුවේ නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසැල් ළමුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය අයුරු පහත දැක්වේ.

    යල කන්නය ගැන ගොවීන්ට රජයෙන් ඉල්ලීමක්

    0

    මෙවර යල කන්නයේ වගාව ලබන 10 වැනිදාට පෙර ආරම්භ කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.

    කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනාරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, මේ වනවිට යල කන්නයේ අස්වද්දා ඇත්තේ අපේක්ෂිත කුඹුරු ප්‍රමාණයෙන් 50%ක් පමණක් බවය.

    එබැවින් ඉදිරියේදි ආහාර හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා යල කන්න‍යේ මුළු බිම් ප්‍රමාණයම වගා කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    අද ලීට්‍රෝ ගෑස් බෙදෙන හැටි

    0

    අද (01) දිනයේ දිවයින පුරා ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර් බෙදා හැරීමේ ලැයිස්තුව ලිට්‍රෝ සමාගම විසින් නිකුත් කර තිබේ.

    එම ලැයිස්තුව පහත දැක්වේ.

    Distribution-Plan-01.06.2022-PDF

    ඩොලර් හිඟය හජ් වන්දනාවටත් බලපායි

    0

    රටතුළ පවතින ආර්ථික අර්බුදය සැළකිල්ලට ගෙන මෙවර හජ් වන්දනාව සඳහා මෙරටින් ඉස්ලාම් භක්තිකයන් සහභාගි නොකිරීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

    මෙම තීරණයට එළඹ ඇත්තේ ජාතික හජ් කමිටුව, හජ් සංචාරක සංවිධාන, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු ඊට අදාල පාර්ශව අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

    මෙවර හජ් වන්දනාව සඳහා ඉස්ලාම් බැතිමතුන් 1585 දෙනෙකුට මෙරටින් සහභාගිවීමට අවස්ථාව හිමිව තිබුණි.