fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගාලුමුවදොර පහරදීම ගැන CID විමර්ශන අධීක්ෂණයට පොලිස් ලොක්කෙක්

    ගාලුමුවදොර පහරදීම ගැන CID විමර්ශන අධීක්ෂණයට පොලිස් ලොක්කෙක්

    ගාලුමුවදොර අරගල භූමියට පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශන අධික්ෂණය කිරීමට අපරාධ හා රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතාව අද(01) අධිකරණය හමුවේ පොලිස්පතිවරයා විසින් නම්කරනු ලැබීය.

    ඒ අධිකරණය විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.

    ගාලුමුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් වූ අධිකරණ කටයුත්ත අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගනු ලැබීය.

    පොලිස්පතිවරයා අද අධිකරණය හමුවේ පෙනී සිටියේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවක් ලබානොදීමට හේතු දැක්වීමටය.

    දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථානමාරුවීමක් ලබාදෙන ලෙස නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් වාර්තාවක් පොලිස්පතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත්කර ඇති බව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

    පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව මාරු කිරීමට පොලිස්පතිවරයාට බලයක් නොමැති බව පෙන්වා දුන්නේය.

    ඊට අදාළ වාර්තාවක් ද පොලිස්පතිවරයා විසින් විවෘත අධිකරණයේදී මහේස්ත්‍රාත්වරයාට භාරදුන්නේය.

    අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු එවිට ප්‍රශ්න කරනු ලැබුවේ එසේ නම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ස්ථාන මාරු කළේ කෙසේ දැයි කියාය.

    එම ස්ථානමාරුව කරනු සිදුකළේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණයට යටත්ව බව එවිට පොලිස්පතිවරයා සඳහන් කළේය.

    එම අවස්ථාවේදී අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා පොලිස්පතිවරයාගෙන් විමසා සිටියේ ස්ථාන මාරු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට යෝජනා ඉදිරිපත් කළ හැති බැවින් මෙම නඩුවට අදාලව දැඩි ලෙස චෝදනාවන්ට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දෙද්ශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවක් ලබාදීමට යෝජනා ඉදිරිපත් නොකරන්නේ ඇයි දැයි කියාය.

    තමන්ගේ මට්ටමෙන් කළ යුතු යෝජනා මේ වන විටත් අදාල පාර්ශව වෙත යොමුකර අවසන් බව එහිදී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

    දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රශ්නගත දිනයේ භාවිතා කළ රාජකාරි සහ පෞද්ගලික ජංගම දුරකතන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ චෝහාරික පරීක්සණයක් සඳහා යොමුකර ඇති බව අධිකරණය හමුවේ නීතිපති වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය සදහන් කළාය.

    මෙම සිදුවීම නොවැළැක්වීම සම්බන්දයෙන් ප්‍රධාන සැකකරුවෙක් ලෙස නම්කළ යුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙතෙක් සැකකරුවෙක් ලෙස නම් නොකිරීම විමතියට කරුණක් බව මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

    “ස්වාමීනි, පොලිස්පතිවරයා පෙර දිනයේ ලිඛිතව උපදෙස් දී තිබියදීත් මෙම සිද්ධිය වළක්වන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර නැහැ. එහෙම තත්ත්වයක ඔහු දැන් පොලිස්පතිවරයාව බිල්ලට දෙන්න හදනවා. ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නීති විරෝධි උපදෙස් දුන් පමණින් ඒවා පිළිපදින්න ඔහු බැඳිලා නැහැ. එබැවින් දේශබන්දු තෙන්නකෝන් ආරක්ෂා කරන්න අදෘෂ්‍යමාන හස්තය මොකක්දැයි අපි දැනගත යුතුයි“ යැයි අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කරුණු දක්වමින් අධිකරණයේ අවධානයට යොමු කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි විමර්ශන පවත්වාගෙන යාමේදී එම විමර්ශන අධික්ෂණයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යොමු කිරීමට හැකිදැයි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස්පතිවරයාගෙන් විමසන්නේ එහිදීය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා ඒ සඳහා නම් කරනුයේ ඒ අනුවය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අද දින අධිකරණය හමුවේ ජනාධිපති නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටියේය.

    “ස්වාමීනි, මාගේ සේවාදායකයා ස්ථාන මාරුකර යවන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බව සඳහන් වෙනවා. ඒක වැරදියි. එම ලිපියෙන් මාගේ සේවා දායකයාව මාරු කරන ලෙස ඉල්ලා නැහැ. ඒ පිළිබඳව සලකා බලක ලෙස පමණයි ඉල්ලා තිබෙන්නේ. මගේ සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී නැහැ. මාගේ සේවාදායකයා සම්බන්ධයෙන් දිනෙන් දින වැරදි තොරතුරු සමාජගත වෙමින් තිබෙනවා. ඒ නිසා සත්‍ය පැහැදිළි කිරීමටයි මා අද අධිකරණය හමුවේ ඉදිරිපත් වන්නේ“

    “ස්වාමීනී , මෙම සිද්ධිය වූ දින මාගේ සේවාධායකයා සිටියේ ඔහුගේ නිල මැදිරියේ. මැයි 08 වෙනිදා මෙම ගැටුම වළක්වා ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් ලිඛිත දැනුම් දීමක් කර තිබුණා. ඒ අනුව මාගේ සේවා දායකයා මෙම ගැටුම වළක්වාගන්න අවශ්‍ය සියළු විධිවිධාන යෙදීමට කටයුතුකර තිබෙනවා. අරලියගහ මැදුර ආසන්නයේ සිදුවීමක් වන බවට ලද ආරංචියක් මතයි ඔහු එතැනට ගිහින් තිබෙන්නේ. සිද්ධිය වූ දින පෙරවරුවේ කොළඹ මධ්‍ය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද්‍රෙස්කර මහතාට පොලිස්පතිවරයාගෙන් දුරකතන ඇමතුම් දෙකක් ලැබී තිබුණා. ඒ තුළින් ලැබී තිබුණේ මෙම ගැටුම වැළැක්වීමට ගතයුතු පියවරවලට වඩා පරස්පර උපදෙසක්. පසුව මාගේ සේවාදායකයා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් විමසීමක් කළා. එහිදීද ඔහුට ලැබී තිබෙන්නේ ගැටුම වළක්වා ගැනීමට පටහැනි උපදෙසක්.මේ සියලු උපදෙස් අතර පැවති පරස්පරතා නිසයි මාගේ සේවාදායකයා ඉහළම දේශපාලන අධිකාරියෙන් සිදුවීම වැළැක්වීමට උපදෙස් අරගෙන තියෙන්නේ.

    ජනාධිපතිවරයා සමඟ පැවති දුරකතන සංවාදය විනාඩි 11ක් පමණ තිබී තිබෙනවා. ඒ ඇමතුමෙන් පසුවයි කඳුළු ගෑස්, ජල ප්‍රහාර යොදා කලහාකාරීන් විසුරුවා හැරීමට මාගේ සේවා දායකයා කටයුතු කර තිබෙන්නේ.“ යැයි මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ සදහන් කළේය.

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, කොළඹ මහා නගර සභාවේ මන්ත්‍රී මහින්ද කහඳගම, දිලිත් ප්‍රනාන්දු සහ නිශාන්ත ජයසිංහ යන අය මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කරන බව අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළාය.

    මෙම පහරදීම සිදුවූ දින අරලියගහ මන්දිරය තුළ පැවති රැස්වීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ කතාව අඩංගු වීඩියෝ පටයක් ලැබී තිබෙන බවත් එය සංස්කරණය කර තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට අවසරය දෙන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.

    ඒ අනුව අදාල කතාව අඩංගු සංයුක්ත තැටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන්නැයි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

    අරලියගහ මන්දිරය තුළ පැවති රැස්වීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකළ බව කියන ආවේගශීලී කතාව පිළිබදව මනෝ විද්‍යාත්මක මතයක් ලබා ගැනීමට පොලීසිය කටයුතුකර ඇතැයි ද අධිකරණය හසුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය සඳහන් කළාය.

    මෙම පහරදීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 23 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබෙන බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළාය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.