fbpx
තවත්

    පොලිස් අධිකාරීට පහරදී ගිනි අවිය පැහැරගත් තරුණයා අල්ලයි

    1

    ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමත් සමඟ රටපුරා ඉකුත් මැයි 09 වෙනිදා ඇතිවුණු නොසන්සුන් තත්ත්වය හමුවේ පංචිකාවත්තේදී පොලිස් අධිකාරීවරයෙකුට පහරදී ඔහු ගමන් කරමින් සිටි රථයට ගිනි තබා රාජකාරි ගිනි අවිය පැහැරගත් තරුණයෙක් ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

    මාලිගාවත්තේ පැදිංචිකරුවෙක් වන එම සැකකරු 18 හැවරදි අයෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මීගමුව පොලිස් කොට්ඨාශයේ සේවයේ නිරතව සිටි පොලිස් අධිකාරී නාලක සේනානායක මහතා එසේ පහරකෑමට ලක්විය. මේ වන විටත් ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සීටී. සති දෙකක් ඔහු දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලැබීය.

    මීගමුවේ සිට ඔහු විශේෂ රාජකාරි සඳහා කොළඹට පැමිණෙමින් සිටියදී මෙම සිදුවීමට ඔහු මුහුණ දුන්නේය. පොලිස් අධිකාරීවරයා ගමන්කරමින් සිටි වාහනය වටකර ඔහුට පහරදී නිල ඇදුමද ගලවා දමා පහරදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    මාලිගාවත්තේ පිහිටි සැකකරුගේ නිවසේ ගිනි අවිය සඟවා තිබී ඇති අතර ඔහු පාතාලය සමඟ සම්බන්ධකම් පවත්වන පුද්ගලයෙක් බවට ඇති තොරතුරු සම්බන්ධයෙන් විමර්ශණ පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

    පාඨලීත් ස්වාධීන වෙයි

    0

    පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා තමන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවට දැනුම් දී තිබේ.

    මන්ත්‍රීවරයා සමගී ජනබලවේග සන්ධානයේ පාර්ශවකරුවෙකි.

    රාජ්‍ය දැව සංස්ථාවට දැවැන්ත ලාභයක්

    0

    පසුගිය වසරේදී රාජ්‍ය දැව සංස්ථාව රුපියල් බිලියන 1.5ක දැවැන්ත ලාභයක් ලබා තිබේ.

    කොරෝනා වසංගත තත්ත්වය මධ්‍යයේ වුවත් මෙවැනි විශාල ලාභයක් අත්පත් කරගෙන ඇත්තේ මනා මූල්‍ය කළමනාකාරීත්වයකින් කටයුතු කළ නිසා බව රාජ්‍ය දැව සංස්ථා නිලධාරීහු පවසති.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය දැව සංස්ථා ශ්‍රවනාගාරයේදී ඊයේ එහි ප්‍රගති සමාලෝචන රැස්වීමේදී හෙළි වූයේ දැනට ශ්‍රී ලංකා රාජ්‍ය දැව සංස්ථාව සතුව ඉතා ඉහළ මූල්‍ය වත්කම් ප්‍රමාණයක් පවතින බවයි.

    සෑම වසරකම රාජ්‍ය දැව සංස්ථාව රජයට රුපියල් මිලියන 2000ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදේ.

    මේ වසරේද අදාළ මුදල ලබාදීමට කටයුතු කරන අතර දැනට දැව සංස්ථාව සතුව කළුවර දැව බහාලුම් 20 ක් පමණ පවති.

    ඒවා මිශ්‍ර කර දැව භාණ්ඩ නිපදවා විදේශ රටවලට අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අවධානය යොමු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුනි.

    බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට පනින්න හැදූ 91 ක් කොටුවේ

    0

    නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාව බලා ගමන් කිරීමට සූදානම් වූ 91 දෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ ඊයේ දිනයේ කළ මෙහෙයුම් දෙකකදීය.

    බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා කණ්ඩායමක් මාරවිල පොලිසිය හා එක්ව පළමු වැටලීම කර ඇත්තේ ඊයේ අලුයම් කාලයේදීය. මාරවිල පොලීසියේද සහය ඇතිව කළ එම මෙහෙයුමේදී ඕස්ට්‍රේලියාවට යාමට බෝට්ටුව පැමිණෙන තුරු මාරවිල ළැගුම්හලක රැඳී සිටි පිරිමි පුද්ගලයන් 14 දෙනෙක් සහ මෙම ඡාවාරම මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවටගත් අය අතර දරුවෙක්ද සිටින බව නාවික හමුදාව සඳහන් කරයි. එම දරුවා අවුරුදු 09ක් වයසැතිය.

    මෙම පිරිස මෙම ළැගුම්හල වෙත රැගෙන පැමිණි වෑන් රථයක් සහ මෝටර් රථයක්ද නාවික හමුදාව සහ පොලීසිය මෙම මෙහෙයුමේදී සිය භාරයට ගෙන ඇත.

    ළැගුම්හලේදී අත් අඩංගුවට ගත් මෙම පිරිස යාපනය, ත්‍රිකුණාමලය, මුලතිව් සහ මාරවිල යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ගෙන තිබේ. එම පිරිස ඉදිරි විමර්ශන කටයුතු සඳහා මාරවිල පොලීසිය වෙත භාර දී ඇත.

    බටහිර නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අයත් පි 481 යාත්‍රාව මේ අතර මෙදින දහවල් කාලයේ හලාවතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයකදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබේ.

    එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයන් 58ක්, කාත්තාවන් 05ක්, ළමුන් 07ක් සමඟ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 76 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් වයස අවුරුදු 01ත් 62ත් අතර වයසේ පසුවන්නන්ය.

    මෙම පිරිස, මීගමුව, හලාවත, පුත්තලම, කල්පිටිය, මාරවිල, මුලතිව්, කිලිනොච්චිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නාගෙන තිබේ. ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන්ව බෝට්ටුව සමග රැගෙන විත් කොළඹ වරාය පොලිසිය වෙත භාරදී ඇත.

    නීති විරෝධී සහ ඉතා අවධානම් සහගත ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජාවාරම් කරුවන්ගේ කූට උපක්‍රම වලට හසුවී තම ජීවිත හා දේපල විනාශ කර ගැනීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි. එසේම, මේ සඳහා යොදාගනු ලබන්නේ භාවිතයෙන් ඉවත් කිරීමට ආසන්න පැරණි ධීවර යාත්‍රා බවට නිරීක්‍ෂණය වන අතර, එම යාත්‍රා මඟින් නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ කිරීමෙන් ඉතා ඉහළ ජීවිත අවදානමකටද ලක්විය හැකි බව නාවික හමුදාව අනතුරු අඟවා සිටී.

    අත්අඩංගුවට ගැනීම වලක්වන්න ජොන්ස්ටන්ගෙන් අභියාචනයක්

    0

    ගාලුමුවදොර අරගල භූමියට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
    තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

    ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසන්නේ පසුගිය මැයි 09 දා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පිහිටි අරගලභූමිවලට පහර දීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තමාව නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇති බවය.

    ඊට අදාලව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තිබූ තිබෙන බවද ඔහු සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

    නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ම සැකකරුවකු වශයෙන් නම් කොට අත්අඩංගුවට ගැනීමට සූදානම වන අතර එය නීතියට පටහැනි බව ඔහු සිය පෙත්සමේ සඳහන් කර ඇත.

    එබැවින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

    IMF නියෝජිතවරිය දුරකතනයෙන් අගමැතිට කිව්ව දේ..

    0

    රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සමඟ ඊයේ සවස දුරකථන ඔස්සේ සාකච්ඡාවක් පවත්වා තිබේ.

    IMF කාර්ය මණ්ඩල මට්ටමේ නියොජිත කණ්ඩායම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත් එවිට කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරිමට හැකි බවත් අග්‍රාමාත්‍යවරයා එහිදි ඉල්ලා ඇත.

    ශ්‍රී ලංකාව සහ IMF කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් අවසන් කිරීම මත මූල්‍ය සම්බන්ධතා සාකච්ඡා රඳා පවතින බව අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.

    මෙම දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාවට සහාය වීමට IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය කැමැත්ත පළ කර ඇත.

    අද ගෑස් බෙදන්නේ නෑ – ලීට්‍රෝ

    0

    අද (08) ලීට්‍රෝ ගෑස් බෙදාහැරීමක් සිදුනොවන බව එම සමාගම පවසයි.

    එබැවින් ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී.

    LP ගෑස් තොගයක් සහිත තවත් යාත්‍රාවක් දිවයිනට පැමිණීමට නියමිත බව Litro සමාගම පවසයි.

    යාත්‍රාව දිවයිනට පැමිණීමෙන් පසු ගෑස් බෙදා හැරීම ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් කියා සිටියේය.

    හජ් වන්දනාවට මෙවර බැතිමතුන් 1585ක් මක්කමට

    0

    පවතින ඩොලර් අර්බුදය හමුවේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන් මෙවර මක්කම නොයන බව මුලින් සඳහන් කෙරුවත් දැන් එම අදහස වෙනස් කර ඇතැයි මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒ අනුව මෙවර හජ් වන්දනා සඳහා බැතිමතුන් 1585 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මක්කම බලා පිටත්ව යාමට නියමිත බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙම තීරණයට එළඹ ඇත්තේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව බව සඳහන්ය.

    ප්‍රවීන ඡායාරූප ශිල්පී සේන විදානගම දිවිසැරිය නිමකරයි

    0

    ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම මහතා අභාවප්‍රාප්ත වී ඇත.

    ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි මහතා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට මෙරට සංචාරයක නිරතවූ 1987 වසරේ ජූලි 30 වෙනිදා ඔහුව පිළිගැනීමට පැවති ආචාර පෙළපාලිය පිරිස්සන අවස්ථාවේදී විජිත රෝහණ විජේමුණි නම් වූ නාවික භටයා රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යරයාට රයිෆල් බදෙන් පහරදෙන ලොව ප්‍රකට වූ ඡායාරූපය එදා ලබාගත්තේ සේන විදානගම මහතාය.

    ලේක් හවුස් ආයතනයේ සහ ප්‍රංශ පුවත් සේවයේ දශක ගනනාවක් ඡායාරූප ශිල්පියකු ලෙස සේවය කල ඔහු අභාවප්‍රාප්ත වන විට 76 වන වියේ පසුවිය.

    මාතර කපුගමදී 1945 වසරේ අගෝස්තු 19 වනදා උපත ලද සේන විදාගම ගලගම මහා විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු හැදෑරීය.

    විනෝදාංශයක් ලෙස ඡායාරූපකරනයට පිවිසි ඔහු 1970 වසරේදී ලේක්හවුස් ආයතනයට සම්බන්දවූ අතර 1979දී ලේක්හවුස් ආයතනයේ ඡායාරූප අංශයට එක්විය.

    1987 ජූලි 30 වනදා ඔහු විසින් ගන්නා ලද ලොව සුවිශේෂිම ඡායාරූප අතරට එකතුවුන ඡායාරූපයක් වන්නේ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතාවෙනුවෙන් පැවැත්වුනු උත්තමාඡාර පෙළපාලියේදී මෙරට නාවික සෙබලෙකු විසින් ගාන්ධි මහතාට පහරදීමට උත්සාහා කිරීමයි. ඒ වන විට ලේක් හවුස් ආයතනයේ ඩේලි නිව්ස් පුවත්පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පියකු වශයෙන් සේවය කල ඔහු මෙම ඡායාරූපයෙන් පසු ප්‍රංශ පුවත් සේවයේ මෙරට ඡායාරූප ශිල්පියා වශයෙන් තෝරාගනු ලැබිනි.

    ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ 1995 වසරේ සභාපති වශයෙන් තේරීපත්වූ සේන විදානගම සිය ජනමාධ්‍ය ඡායාරූප ශිල්පී සගයින් සහ ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවයක් ඉටුකල අතර ඉන් අනතුරුව එම සංගමයේ භාණ්ඩාගාරික තනතුරද හොබවනු ලැබීය.

    1993.09.12දී ජාතික ජනමාධ්‍ය මාධ්‍යරූප ශිල්පී සම්මාන උත්සවයේදී ජනමාධ්‍ය ඡායාරූප විශේෂ සම්මානයෙන්, 1994.07.26දී ජාතික සන්නිවේදකයින්ගේ සංගමය සංවිධානය කරන ලද සම්මාන ප්‍රධානෝත්සවයේදී විශිෂ්ඨතම ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියාට හිමි සම්මානයෙන්, 2019.07.26දී ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ඡායාරූප ප්‍රදර්ශනය සහ සම්මාන ප්‍රධානෝත්සවයේදී සිය ජනමාධ්‍ය ජීවිතයේ ඉටුකළ විශිෂ්ඨතම සේවාව සහ කැපවීම අගැයීමදී ජීවිතයේ එක්වරක් පමනක් පුදනු ලබන සුවිශේෂි සම්මානයෙනු අගැයීමකට ලක්වීමතු ඇතුලුව ඔහු විසින් සිය 26 වසරක ජනමාධ්‍ය ජීවිතයේදී කිහිප විටක්ම සම්මාන සහ ඇගයීම් වලට පාත්‍රව ඇත.

    දේහය පිළිබඳ අවසන් කටයුතු ජුනි 09 වන දින වැලිසර පොදු සුසාන භූමියේදී පස්වරු 6ට සිදුකෙරේ. මේ වන විට දේහය අංක 57/21 නිදහස් මාවත, හෙට්ටියාවත්ත, ඇලපිටිවල, රාගම නිවසේ තැන්පත්කර ඇත.

    දේපොළ තන්හාවෙන් බිරිඳව රෝගී කර ඇගේ මව මැරූ සැමියෙක් අත්අඩංගුවට

    0

    සිය බිරිඳ ආහාරයට ගත් කෑම පිගානට ඹෟෂධයක් එක්කර ඇයව රෝගී කර රෝහල්ගතකරවා බිරිඳගේ මව මරා ගිනි තැබූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට මහබාගේ පොලීසිය සමත්ව ඇත.

    මෙම ඝාතනය පොලීසියට වාර්තා වී ඇත්තේ ඊයේ උදෑසන කාලයේදීය.

    මහබාගේ පොලිස් වසමට අයත් ගල්උඩුපිට නිවසක පදිංචිව සිටි 74 වියැති ධනවත් කාන්තාවක් එසේ ඝාතනය වී තිබේ.

    119 පොලිස් හදිසි ඇමතුම් අංශයට බිරිඳගේ සැමියා විසින් ඊයේ උදෑසන කාලයේ ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව පොලීසිය එම ඝාතනය පිළිබද තොරතුරු දැනගෙන ඇත.

    ඒ අනුව පොලීසිය අදාල ඝාතනය සිදුවූ නිවසට ගොස් ඇත. ඝාතනයට ලක්ව සිටි කාන්තාවගේ දියණියගේ සැමියා පොලිස් නිලධාරීන් හමුවේ සඳහන් කර ඇත්තේ අසනීපව රෝහල් ගතව සිටින බිරිඳ ළඟ සිට උදෑසන කාලයේදී නිවසට පැමිණි විට නිවසේ කාමරයක් තුළ සිය බිරිඳගේ මව ගිනි ගැනීමකට ලක්ව සිටින බවය.

    දියණිය වත්තල පිහිටි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔහු පොලීසියට පවසා ඇත්තේ පිළිකා තත්ත්වයකින් ඇය පෙළන බවකි.

    පොලීසියට පෙනී ගොස් ඇත්තේ ගිනි ගැනීම සහ එම ඝාතනය අසාමාන්‍ය සිදුවීමක් බවය. ඒ අනුව කැලණිය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ඩයස් මහතා එම ස්ථානයට පැමිණ නිලධාරීීන්ට උපදෙස් දෙන්නේ මෙම මරණය සැකසහිත බැවින් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසටය.

    එවන් සැකයක් මතුවීමට තුඩුදී ඇත්තේ ඝාතනයට ලක්වූ කාන්තාව ගිනි ගෙන ඇත්තේ රෙදිවලින් ඔතා වීමය. එසේම ගින්න පැතිර යාමක් සිදුව නැති අතර ඇගේ දියණියගේ අත් බෑගයක්ද ගින්නට දමා තිබී ඇත. එම අත්බෑගය බාගෙට පිළිස්සී තිබී ඇති අතර එහි අඩක් පිළිස්සුණු රුපියල් ලක්ෂයකට අධික මුදල් ප්‍රමාණයක් සහ රන් භාණ්ඩ රැසක්ද තිබී ඇත.

    නිවසේ බඩු භාණ්ඩ රැසක් ඇද දමා තිබී ඇත අතර එය බැලූ බැල්මට පෙනී යන්නේ සොරෙක් නිවසට ඇතුළු වී ඇති අයුරු බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. සොරකමක් වෙනුවෙන් මෙම ඝාතනය සිදුවූයේ නම් මුදල් සහ රන් භාණ්ඩ සමඟ අත්බෑගයක් ගින්නට දමා පුළිස්සීමට ඉඩ නොතබන බව පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත. ඒ අනුව මෙම මරණය සැළසුම් සහගත ඝාතනයක් බව කැලණිය කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ඩයස් මහතා අනුමාන කරමින් එම සැකය මත විමර්ශන පැවැත්වීමට නිලධාරීන් මෙහෙයවා තිබේ.

    මෙම ඝාතනය සිදුවූ නිවසට ආසන්නයේ ඉන්ධන පිරවුම් හලක් පිහිටා තිබේ. ඉන්ධන ලබාගැනීමට දිගු වාහන පෝලිමක්ද දින කිහිපයක් තිස්සේ තිබී ඇත. ඉන්ධන පෝලිම ඇගේ නිවස ඉදිරිපින් ගමන්කරන බැවින් 06 වෙනිදා රාත්‍රියේ සිට 07 වෙනිදා දක්වා එම ඉන්ධන පෝලිමේ මෙම ඝාතනය වූ නිවස ඉදිරිපිට නතරකර තිබුණු ලොරි රථයක රියදුරෙක් හඳුනා ගනිමින් පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කර ඇත. එහිට ඔහු පවසා ඇත්තේ කිසිදු ශබ්දයක් එම නිවස තුළින් රාත්‍රී කාලයේ හෝ අලුයම් කාලයේ පිටතට නොඇසුණු බවය.

    මෙම නිවසේ සුනඛයින් දෙදෙනෙක්ද ඇතිදැඩි කරන අතර සුනඛයින්ගේ කෑ ගැසීමේ හඬක්ද නොඇසී ඇති බැවින් පොලීසියේ සැකය එල්ලවී ඇත්තේ නිවස තුළින්ම මෙම ඝාතනය සිදුව ඇති බවය.

    ඒ අනුව ඝාතනයට ලක්වූ කාන්තාවගේ බිරිඳගේ සැමියා සම්බන්ධයෙන් පොලීසිය කරුණු සොයා බැලීමට තීරණයකර තිබේ.

    මිය ගිය කාන්තාව පී.වී.සී. භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කර ඇති ධනවත් පුද්ගලයෙක් විවාහකරගෙන සිටි තැනැත්තියක් බවය. ඇයට යහමින් මුදල් ඇති බවද පොලීසියට පෙනී ගොස් ඇත. ඇගේ දියණිය 52 වන වියේ පසුවන්නියකි. ඇය අවිවාහක තැනැත්තියක් වූ බැවින් මෙයට වසරකට පමණ පෙර පුවත්පතක මංගල දැන්වීමක් පලකර ඇයට විවහායක්කර දීමට මව තීරණය කර තිබේ. එම දැන්වීමට අනුව පුද්ගලයින් 50 දෙනෙක් පමණ ඇයව විවහාකර ගැනීමේ අපේක්ෂාවෙන් පැමිණ ඇති අතර අවසානයේදී තෝරාගෙන ඇත්තේ මාතර පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයාවය.

    නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ තැනැත්තියක් සමඟ විවහා වී සිටි තිදරු පියෙක් වන ඔහු ඒ වන විට සිට ඇත්තේ නීතියෙන් වෙන්වීය. මෙම පුද්ගලයා පෙනී සිට ඇත්තේ වතු හිමිකරුවෙක් ලෙසිණි. පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ ඔහුට අයත් වත්තක් නොමැති බවත් නිසි රැකියාවක් නොකර ඝාතනයට ලක්වූ කාන්තාවගේ දේපොල වලින් ජීවත්වන්නෙක් බවය.

    ඝාතනයට ලක්වූ කාන්තාවට ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් සැකයක් ඇතිවී මුදල් ලබාදීම් සීමා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇතිවූ අමනාපයකින් ඉකුත් දෙසැම්බර් මස ඔහු නිවසින් පිටව ගොස් නැවත පැමිණ ඇත්තේ යැයි කියන්නේ ඉක්තු 01 වෙනිදාය.

    ඒ පැමිණි ඔහු සිය බිරිඳ සමඟ ඉතා සමීපව සිට ඇති අතර ඇය හදිසියේම රෝගී වී රොහල්ගතකර ඇත්තේ ඉකුත් 05 වෙනිදාය.

    මේ සියළු තොරතුරු රැස්කරගත් පොලීසිය අවසානයේදී සැකයට ලක්වුණු පුද්ගලයා පොලිස් භාරයට ගෙන දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීමේදී සිය බිරිඳගේ මව ඝාතනයේ සියළු තොරතුරු අනාවරණය වී තිබේ.

    සිය බිරිඳව අසනීපකර ඇගේ මව තනිකිරීම සැළසුම් සහගතව සිදුවූවක් බව අනාවරණය වී ඇත්තේ එහිදීය. බිරිඳ අසනීප කිරීමට යොදාගත් ඹෟෂධ වර්ගයද හඳුනා ගැනීමට පොලීසිය සමත්ව ඇත. බිරිඳගේ මවගේ ඝාතනය සිදුව ඇත්තේ 06 වෙනිදා රාත්‍රී කාලයේදී බව ද ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවි තිබේ. බිරිඳගේ මවට පහරදී බිම දමා ගෙල පාගා ඝාතනය කර මළ සිරුර රෙදිවල ඔතා ඇඳට දමා ගිනි තැබූ බව ඔහු එහිදී පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ. අනතුරුව කිසිවක් නොදන්නා අයෙක් ලෙස රෝහලට ගොස් බිරිඳ සමඟ පසුදින උදෑසන තෙක් රැදී සිට නිවසට පැමිණ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකතන ඇමතුමක් දෙමින් රඟපෑමක් කර ඇති බව ද ඔහුගේම කටඋත්තර වලින් හෙළිවී ඇත.

    නිවසේ අල්මාරි ඇද සොරකමක් සිදුවී ඇති අයුරු ව්‍යාජ ලෙස සකසා ඇත්තේද ඔහුය. සිය බිරිඳගේ අත් බෑගය ගින්නට දමා ඇත්තේ එහි මුදල් සහ රන් භාණ්ඩ ඇතැයි නොදැනය. නමුත් නිවසේ තිබුණු රුපියල් ලක්ෂ 05 ක මුදලක් සහ රන් භාණ්ඩ තොගයක්ද ඔහු විසින් සොරාගෙන ඇත. එම මුදල් හා රන් භාණ්ඩ ඔහු පරිහරණය කරන මෝටර් රථයේ සඟවා තිබියදී සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.

    තමාට මුදල් ලබාදීමට බිරිඳගේ මව විරෝධය දක්වමින් තමා ගැන නිතර සෙවිල්ලෙන් සිටි බැවින් ඇයව ඝාතනය කළ බවත් සිය අරමුණ ඇගේ මරණින් පසු දේපොල සහ මුදල් පරිපාලනය කිරීමේ බලය තමා අතට ගැනීමට බවත් වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සඳහන්කර ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.

    ජංගම දුරකතන සොරකම ජීවිතයක් අහිමිකරයි

    0

    ජංගම දුරකතන සොරකමක් සම්බන්ධයෙන් විමසීමට ගිය පියෙක් සහ පුතුන් දෙදෙනෙකුට පහරදී පියාව ඝාතනය කිරීමක් රාගම කැන්දලියද්දපාලුව ප්‍රදේශයේ සිදුව ඇත.

    මෙම ඝාතනය ඊයේ රාත්‍රී කාලයේ සිදුව තිබේ. පුතුන් දෙදෙනාද තුවාල ලබා රාගම රෝහලට ඇතුලත්කර තිබේ.

    ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 55ක් වන කැන්දලියද්දපාලුවේම පදිංචිකරුවෙකි. ඔහු මත්ද්‍රව්‍ය ඡාවාරමට සම්බන්ධ අයෙක් බව පොලිස් විමර්ශන වලින් තොරතුරු ලැබී ඇත.

    මෙම පුද්ගලයා තමාගේ ජංගම දුරකතනය අතුරුදන්ව ඇති අතර ඒ ගැන සොයා බැලීමේදී පෙනී ගොස් ඇත්තේ අසල්වාසී පුද්ගලයෙක් එය සොරාගෙන ගොස් ඇති බවය.

    ඒ අනුව එම පුද්ගලයා තමාගේ පුතුන් දෙදෙනා සමග සැකයට ලක්වුණු පුද්ගලයාගේ නිවසට ගොස් ජංගම දුරකතනය ඉල්ලා ගැටුමක් ඇතිකරගෙන තිබේ. එහිදී සැකයට ලක්වුණු පුද්ගලයා තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව ඇත. එහිදී සැකයට ලක්වුණු පුද්ගලයාද ප්‍රතිප්‍රහාර එල්ලකර ඇති අතර පියා මිය ගොස් පුතුන් දෙදෙනා තුවාල ලබා ඇත්තේ එහිදීය.

    සැකකරුද පළාගොස් සැගව සිට ඇති අතර අද අළුයම් කාලයේදී පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. තුවාල ලබාසිටි ඔහුව රාගම රෝහලට ඇතුලත් කර තිබේ. එහිදී මිය ගිය පුද්ගලයාගේ පාර්ශවයේ පිරිස් පැමිණ රෝහල තුළදී සැකකරුගේ ජීවිතයට තර්ජනයක් ඇතිවන ආකාරයෙන් හැසිරීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණු බව පොලීසිය සදහන් කළේය. මේ වන විට ඔහුට විශේෂ ආරක්ෂාවක්ද රෝහල තුළ සපයා තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ලිහිල් කිරීමට චීනයේ කැමැත්ත පළවෙයි

    0
    Zhao Lijian

     
    චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Zhao Lijian මහතා ශ්‍රී ලංකාවේ ණය අර්බුදය පිළිබඳව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වා තිබේ. ඒ, අද(7) පැවති මාධ්‍ය හමුවක දීය.

    ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින දුෂ්කරතා සහ අභියෝග, චීනයට වටහා ගත හැකි බවත්, ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථික හා සාමජයීය සංවර්ධනය සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට චීනය කැමති බවත් Zhao Lijian මහතා එහිදී පැවසීය.

    ප්‍රංශයෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පිළිබඳව සඳහන් කළ හෙතෙම, අදාළ මූල්‍ය ආයතන හා ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කර  එය නිසි ලෙස විසඳා ගැනීමට චීනය සහාය දෙන බව ද පැවසීය.

    අදාළ රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීම සඳහා  කටයුතු කිරීමට ද චීනය කැමැත්තෙන් සිටී.

    එසේම විදේශ ආයෝජන සහ මූල්‍ය හවුල්කරුවන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට මෙන්ම රටේ ආයෝජන සහ මූල්‍ය පරිසරයේ ස්ථාවරත්වය හා විශ්වසනීයත්වය ආරක්ෂා කිරීමට ද, ශ්‍රී ලංකාව උත්සාහ දරනු ඇතැයි, චීනය අපේක්ෂා කරන බව ද, Zhao Lijian මහතා එහිදී කියා සිටියේ ය.

    පළමු විස්සයි 20 තරගයේ ජය කැන්ගරුවන්ට

    0

    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10 කින් පරාජය කරමින් පළමු විස්සයි 20 තරගයේ ජය ලැබීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

    ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති තරගෙය් කාසිය වාසිය දිනා පළමුව පන්දු රැකීමට තෝරාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාව ලකුණු 128කට සීමා කළේය.

    තරගය ජය ලැබීමට ලකුණු 129 ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියා කණ්ඩායම කිසිවකු නොදවී ඉලක්කය පසුකර ගියේය.

    තරගයේ වීරයා සම්මානය දිනූ ජෝස් හසෙල්වුඩ් ලකුණු 16ට කඩුලු 4 දවා ගත්තේය

    ශ්‍රී ලංකාව 128/10 (19.3)
    ඕස්ට්‍රේලියාව 129/0 (14.0)

    යුරෝපා සංගමයේ තීරණය නිසා අයිෆෝන්වලට වෙන්න යන දේ..

    0

    යුරෝපා සංගමයට අලෙවිකරන ඇපල් අයිෆෝන් සඳහා මෙතෙක් භාවිතා කළ ආරෝපණ ක්‍රමය (චාජින් පොට්) වෙනස් කිරීමට සිදුව තිබේ.

    යුරෝපා සංගමය තුල යූ.එස්.බී.සී වර්ගයේ චාජින් පොට් පමණක් භාවිතා කිරීමට තීරණය කිරීම හේතුවෙන් ඇපල් සමාගමට මෙලෙස සිය චාජින් පොට් වෙනස් කිරීමට සිදුව ඇත.

    තම කලාපය තුල පොදු චාජින් පොට් ක්‍රමයක් ඇති කිරීම මගින් පාරිභෝගිකයින්ට පහසුවක් සැලසීම සඳහා යුරෝපා සංගමය විසින් මෙම තීරණය ගෙන තිබිණි. යුරොපා සංගමය විසින් ගතවූ දශකයක කාලය තුල මෙලෙස පොදු චාජින් ක්‍රමයක් ස්ථාපිත කිරීමට අවස්ථා කිහිපයකදීම උත්සහ කර තිබිණි.

    ඒ අනුව 2024 සිට ඇපල් සමාගමට මෙලෙස සිය චාජින් පොට් වෙනස් කිරීමට සිදුවන අතර අනෙක් ජංගම දුරකථන, ටැබ්, කැමරා ඇතුළු ඉලෙක්ට්‍රෝනික් උපකරණ සඳහා මෙම පොදු චාජින් පොට් ක්‍රමය ක්‍රියාත්මක වනු ඇත.

    මෙම තීරණය සම්බන්ධයෙන් මීට පෙර යම් අප්‍රසාදයක් ඇපල් සමාගම විසින් ප්‍රකාශ කර තිබූ අතර එහිදී ඔවුන් පවසා සිටියේ මෙම තීරණය මගින් නව තාක්ෂණික නිර්මාණ බිහිවීමට බාධාවක් ඇතිවිය හැකි බවයි. ඇපල් අයි ෆෝන් සඳහා දැනට ලයිට්නින් කේබල් යොදා ගන්නා අතර එය සම්පූර්ණයෙන්ම ඉදිරියේදී වෙනස් කිරීමට සිදුවනු ඇත.

    එහිදී දැනටමත් යූ.එස්.බී. සී භාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන සඳහා මෙම නීතිය වාසිදායක විය හැකි බවටද වාර්තාවේ.

    කොළඹ වාණීජ මහාධිකරණයේ පිස්කල්ගේ වැඩ තහනම්

    0

    රුසියානු ‘‘එරෝෆ්ලොට්‘‘ ගුවන් සමාගමට අයත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළේ රඳවා තබා ගැනීමේ සිද්දියට අදලව කොළඹ වාණිජ මහාධිකරණ පිස්කල්වරයා වැඩ තහනම් කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යාසථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ පියවර ගෙන තිබේ.

    ඒ අදාල ගුවන් යානය රඳවා තබා ගැනීමේ සිදුවීමට අදාලව කොළඹ වාණීජ මහාධිකරණය මඟින් නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාවේ යෙදවීමේදී අධිකරණ ක්‍රියාවලිය අයුතු ලෙස යොදාගෙන ඇති බවට චෝදනාවලට ඔහු ලක්වීම නිසාය.

    මෙම සිද්ධිය අදාල නීතීඥවරයෙක්ද චෝදනාවට ලක්ව තිබේ. එම නීතිඥවරයාට එරෙහිවද පියවර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බව සඳහන්ය.

    සුදුසුකම් නොමැති ඕ.අයි.සී.ලා 182 දෙදෙනා කවුරුන්දැයි නීතීඥවරයෙක් පොලිස්පතිගෙන් විමසයි

    0

    මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට පොලිස්පතිවරයා විසින් යොමුකර ඇති ලිපියකින් පෙන්වා දී ඇති සුදුසුකම් නොමැතිව ස්ථානාධිපතිධූර දරන නිලධාරීන් 182 දෙදෙනාගේ නම් සහ ඔවුන් සේවය කරන පොලිස් ස්ථාන මොනවාදැයි තොරතුරු දැනගැනීමේ පනතින් නීතීඥවරයෙක් විසින් පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක් කර තිබේ.

    පොලිස්පතිවරයා විසින් ඉකුත් 2021 දෙසැම්බර් 01 වෙනිදා දාතමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කළ පිටු අටකින් යුත් රහස් ලියැවිල්ලක දැක්වෙන ආකාරයට අනුව 2021 ජනවාරි 01 සිට 2021 නොවැම්බර් 03 දක්වා කාලය තුළ පොලිස් ස්ථානාධිපතිවරු 184 දෙනෙක් පත්කර ඇත.

    එම නිලධාරීන්ගෙන් දෙදෙනෙක් හැරුණු කොට සෙසු නිලධාරීන් 182 දෙදෙනාම සුදුසුකම් සපුරා නොමැති නිලධාරීන් බව එම ලිපියෙහි සඳහන්ය.

    නීතීඥවරයා විසින් තොරතුරු දැන ගැනීමේ පනතින් ඉල්ලා ඇත්තේ එම නිලධාරීන් කවුරුන්දැයි කියාය.

    පිතිකරුවන් 7ක්ම ලකුණු 21යි – කැන්ගරුවන් ලංකාව 128කට සීමාකරයි

    0

    මැද පෙළ ක්‍රීඩකයන්ගේ වගකීම් විරහිත ක්‍රීඩා විලාසය හේතුවෙන් ප්‍රබල ඕස්ට්‍රේලියාවට එරෙහිව අද (07) පැවැති විස්සයි 20 තරගයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 128 සීමා විය.

    ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිශ්ශංක සාර්ථක ආරම්භයක් ලබා දුන්නද එම සාර්ථකත්වය අවසන් පන්දුවාරය දක්වා ගෙන ඒමට ශ්‍රී ලංකා මැද පෙළ ක්‍රීඩකයන්ට නොහැකි විය.

    ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ චරිත් අසලංකයි. ඔහු ලකුණු 38ක් හිමිකර ගත්තේය. පැතුම් නිශ්ශංක 36යි. ධනුෂ්ක ගුණතිලක 26යි.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවීයාම් ආරම්භ වූයේ කුසල් මෙන්ඩිස් ලකුණකට දැවී යාම සමඟය. භානුක රාජපක්ෂ සහ දසුන් ශානක බිංදුවට දැවී ගිය අතර වනිදු හසරංග ලකුණු 17ක් ලැබු අතර චාමික, දුෂ්මන්ත සහ මහේෂ් ලකුණු 1 බැගින් හිමිකරගත්හ.

    වනිදු හසරංග සමඟ අනෙක් අන්තයේ රැදී සිටි චරිත් අසලංක සහ චාමික කරුණාරත්න දෙදෙනාම දුවද්දී දැවී යාම්වලට හසුවීම විශේෂත්වයකි. ඕස්ට්‍රේලියාව මේ වනවිට පන්දුවාර දෙකක් අවසන කිසිවෙකු නොදැවී ලකුණු 11යි.

    ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙයි

    0

    ඕස්ට්‍රේලියාව සමඟ අද (07) කොළඹ දී පැවැත්වෙන පළමු විස්සයි 20 තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම ආරම්භ කර තිබේ.

    කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීම තෝරා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිශ්ශංක සහ ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරුවන් ලෙස පන්දුවට පහරදෙමින් සිටිති.

    ශ්‍රී ලංකාව 9 (2.0)

    ටිකට් සල්ලි වංචා සිද්ධියකට අඹේපුස්ස ස්ටේෂන් මාස්ටර්ගේ වැඩ තහනම්

    0

    දුම්රිය ප්‍රවේශ පත්‍ර සහ බඩු ප්‍රවාහන ආදායම්වලින් රුපියල් ලක්ෂ 7ක පමණ මුදලක් වංචා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අඹේපුස්ස දුම්රිය ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

    අඹේපුස්ස දුම්රිය ස්ථානාධිපතිවරයා ඉකුත් දා සිට වැඩ තහනමට ලක්කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් විගණන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

    අඹේපුස්ස දුම්රිය ස්ථානාධිපතිවරයා මාස හයක පමණ කාලයක සිට ප්‍රවේශ පත්‍ර මුදල් සහ බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීමෙන් ලැබූ මුදල්වලින් රුපියල් ලක්ෂ 7ක පමණ මුදලක් වංචා කර ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

    ජලභීතිකා එන්නත් පරිත්‍යාගයක්

    0

    ශ්‍රී ලංකාවේ පවතින ජලභීතිකා එන්නත් හිඟයට විසඳුමක් ලෙස අමරිකානු ඩොලර් 26000 ක පමණ වටිනාකමකින් යුත් ජලභීතිකා එන්නත් තොගයක් අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කර තිබේ.

    සේරුවිල මංගල රාජමහා විහාරස්ථානය සහ ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමය ඒකාබද්ධව පිහිටුවා ගත් save a baby සංවිධානය මගින් මෙම එන්නත් තොගය පරිත්‍යාග කර තිබේ.

    රට පුරා සෑම රෝහලකම මේ වන විට ජලභීතිකා එන්නත් නොමැති තත්ත්වයක් උද්ගතව ඇති හෙයින් මෙම එන්නත් තොගය පරිත්‍යාග කිරීමට පියවර ගත් බව සේරුවිල මංගල රාජමහා විහාරාධිපති අලුදෙණියේ සුබෝධි නාහිමියෝ පැවසූහ.

    එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා වෛද්‍ය සහ දන්ත වෛද්‍ය සංගමයේ අනුග්‍රහයෙන් මෙම එන්නත් තොගය පරිත්‍යාග කළ බවද සුබෝධි නාහිමියෝ කීහ.

    වසංගත සීමා අතරේ චීනයේ උසස්පෙළ විභාගය ඇරඹේ

    0

     
    චීනයේ 2022 විශ්වවිද්‍යාලයීය ප්‍රවේශ විභාගය අද (7) ඇරඹේ.

    එක්කෝටි ‍දහනව ලක්ෂ තිස් දහසක සිසු පිරිසක් ඊට පෙනීසිටිති.

    මෙවර විභාගය පැවැත්වෙන්නේ රටේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් වසංගතය පවතිද්දී ය.

    සිසුන් හා  කාර්ය මණ්ඩලවල සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම සඳහා, විභාග මධ්‍යස්ථානවල පීසීආර් පරීක්ෂණ අඛණ්ඩව සිදුකෙරේ.  වසංගත පාලන කාර්ය මණ්ඩල ද සේවයේ යොදවා ඇත.  

    මේ වනවිට චීනයේ වැසි සමය ඇරඹී ඇති බැවින් අධික වර්ෂාපතනයෙන් විභාගයට එල්ලවන බලපෑම් පිටුදැකීමට ද විශේෂ පියවර ගෙන තිබේ.  

    ගමනාගමන, නේවාසික පහසුකම්, ආහාර සුරක්ෂිතතාව හා අධික උෂ්ණත්වයන් පාලනය කිරීම ආදී ක්ෂේත්‍රවල සේවාවන් මනාව පවත්වා ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යංශය අදාළ අංශවලට උපදෙස් දී ඇත.

    ආබාධිත තත්ත්වයේ පසුවන සිසුන් සහ වෙනත් අසීරුතා ඇති පිරිසට අවශ්‍ය පහසුකම් ද සලසා දී තිබේ.

    සාපෙළ විභාගය කළ සිසුන්ට සුබ ආරංචියක්

    0

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටී සිසුන් වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් සංවිධානය කිරීමට මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එම නිවේදනය පහත දැක්වේ.

    ඉදිරි සති තුන දුෂ්කරයි – අගමැති (🎥)

    0

    ඉදිරි සති තුන ඉන්ධන සහ ගෑස් සපයාගැනීමට දුෂ්කර කාලසීමාවක් වනු ඇති බැවින් අරපිරිස්සමෙන් පරිභෝජනය කළ යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    රටේ ආර්ථිකය මේ වනවිට පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව කීය.

    අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් රැස්කර ගැනීමෙන් වළකින ලෙසද අගමැතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

    දුෂ්කර සති තුනෙන් පසු ඉන්ධන සහ කෑම දුෂ්කරතාවයන් ගෙන් තොරව බෙදාදීම සඳහා වෙහෙසෙන බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

    අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී අද කරන ලද විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.

     

     

    ඉදිරි සති තුන දුෂ්කර වනු ඇතැයි අගමැතිගෙන් ප්‍රකාශක්

    0

    ඉන්ධන සම්බන්ධයෙන් ඉදිරි සති තුන දුෂ්කර කාල සීමාවක් වනු ඇති බැවින් හැකිතාක් අරපිරිමැස්මෙන් ඉන්ධන සහ ගෑස් පාරිභෝජනය කළ යුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

    අග්‍රාමාත්‍යවරයා මහජනතාවට දැනුම් දෙන්නේ මේ කාලය තුළ ගමන් බිමන් හැකි තරම් සීමා කර ගත යුතු බවය. එබැවින් මෙම කාල සීමාවේ තමන් ගැන පමණක් සිතා අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් රැස්කර ගැනීමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

    දුෂ්කර සති තුනෙන් පසු ඉන්ධන සහ ආහාර දුෂ්කරතාවයන් ගෙන් තොරව බෙදාදීම සඳහා වෙහෙසෙන බවත් ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ෂවයන් සමඟ සාකච්ඡා පැවැත්වෙන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

    මේ දුෂ්කර සති තුන අපි ඉවසිලිමත්ව මුහුණ දෙමු යැයිද අග්‍රාමාත්‍යවරයා පවසයි.

    රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි අද විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එම ප්‍රකාශය මෙසේය.

    අපිත් අපේ රටත් මුහුණ දෙන තත්වය ඔබ හැමදෙනාම හොඳින් අවබෝධ කරගෙන ඇති බව මම හිතනවා. මේ තත්ත්වයෙන් යළිත් රට නඟාසිටුවීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව අලුත් මාර්ග හොයාගන්න වෙනවා . සම්ප්‍රදායික දේශපාලන මතවාද කෙටි කාලෙකට පසෙක තියා, රට ගොඩනැගීම සඳහා සාමූහික උත්සාහයක් දැරිය යුතු වෙනවා. මුළු රටේම ජනතාව ඒ උත්සාහය කොටස්කරුවන් විය යුතුයි. රට වෙනුවෙන් අපි හැමෝටම කාර්යභාරයක් පැවරෙනවා.

    මෙතනදී අපේ මූලික අවධානය යොමු වන්නේ ආර්ථික ස්ථාවර භාවයක් ඇති කරලීමටයි. හැබැයි ආර්ථික ස්ථාවර භාවයක් ඇති කළ පමණින් අපට මේ තත්ත්වයෙන් ගොඩ එන්න බෑ. අපි අපේ රටේ ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත් කරගත යුතු වෙනවා.

    මේක දවසින් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ අභියෝගය ජයගන්න පුළුවන් වෙන්නේ ප්‍රාතිහාර්ය වලින් නෙවෙයි. සටන් පාඨ වලින් නෙවෙයි . මැජික් වලින් නෙවෙයි. හැඟීම් වලින් නෙවෙයි. බුද්ධිමත්ව සිතා සකස්කරගත් සැලසුම් ක්‍රියාත්මක කරලීම සඳහා වෙහෙසීමෙන් සහ කැපවීමෙන්.

    ඉන්ධන සඳහා රටට මාසයකට වැය වන මුදල ඩොලර් මිලියන 500 ක් පමණ වෙනවා. වර්තමාන අර්බුදකාරී තත්ත්වය නිසා තෙල් මිල ඉහළ යෑමේ අවදානමක් ඇති බව අප සිහි තබා ගත යුතුයි. මේ වසර අවසානය වෙද්දි 40% කින් පමණ ලෝක තෙල් මිල ඉහළ නැංවෙන බවට සමහරු අනුමාන කරනවා . මේ පසුබිමේ ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමේ අදහස බැහැර කරන්න බෑ. කෙසේ හෝ ඉදිරි මාස හය සඳහා ඩොලර් මිලියන 3300 ක් අප ඉන්ධන වෙනුවෙන් සොයා ගත යුතුයි.

    ගෑස් ගෙන්වා ගැනීමට මාසයකට ඩොලර් මිලියන 40කට අධික ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. දැනට අපි ගෑස් ගෙන්වා ගැනීම සඳහා බහුපාර්ශවීය ආධාර දේශීය මුදල් සහ ඉන්දීය ණය යොදා ගන්නවා .ඉදිරි මාස හයේ ගෑස් සඳහා අපට ඩොලර් මිලියන 250ක මුදලක් අවශ්‍යයි.

    ඒ වගේම ඉන්ධන සහ ඒ සම්බන්ධයෙන් ඉදිරි සති තුන දුෂ්කර කාල සීමාවක් වෙනවා. අප සියලු දෙනාම හැකිතාක් අර පරිස්සමින් ඉන්ධන සහ ගෑස් පරිභෝජනය කළ යුතු කාලයක්. ගමන් බිමන් හැකි තරම් සීමා කර ගත යුතු කාලයක්. ඒ නිසා මේ කාල සීමාවේ තමන් ගැන පමණක් සිතා අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් රැස්කර ගැනීමෙන් වළකින ලෙස මම සමස්ත පුරවැසියන් ගෙන් ඉල්ලා සිටිනවා. ඒ දුෂ්කර සති තුනෙන් පසු ඉන්ධන සහ කෑම දුෂ්කරතාවයන් ගෙන් තොරව බෙදාදීම සඳහා අපි වෙහෙසෙනවා. විවිධ පාර්ශවයන් සමග සාකච්ඡා පවත්වනවා. ඒ දුෂ්කර සති තුනෙන් පසු ඉන්ධන සහ ගෑස් හිඟයකින් තොරව බෙදාදීම සඳහා අපි වෙහෙසෙනවා. මේ දුෂ්කර සති තුනට අපි ඉවසිලිමත්ව මුහුණ දෙමු.

    අපට අවශ්‍ය ආහාරවලින් කොටසක් අපි දේශීයව නිපදවා ගන්නවා. ඉතිරිය පිටරටින් ගෙන්වනවා. ගෙවුනු මහ කන්නයේ අපේ අස්වැන්න පහළ මට්ටමකට වැටුනා. යල කන්නයේ මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදුවෙනවා අප දැන් සිටම වෙහෙසිය යුත්තේ ඊළඟ මහ කන්නය සාර්ථක කර ගන්නටයි. නමුත් ඒ අස්වැන්න එන්නේ 2023 පෙබරවාරි අවසානයේදීයි. සහල් පිළිබඳව කතා කළොත් අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් මිලියන 2.5ක්. නමුත් අපට තියෙන්නේ සහල් මෙට්‍රික් ටොන් මිලියන 1.6 ක් පමණයි. සහල් වගේම අනෙකුත් භෝග ගණනාවකටම මේ තත්ත්වය පොදුයි. ඒ නිසා තව මාස කීපයකින් ආහාර අතින් බරපතළ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න අපට සිදුවෙනවා. දෛනික ආහාර අවශ්‍යතා යාන්තමින් හෝ සපුරාලීමට පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙන්වා ගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා මාසයකට වැය වන මුදල ඩොලර් මිලියන 150 ක්.

    කඩාවැටෙමින් පවතින කෘෂිකර්මය ගොඩනැංවීමේ කාර්යයන් අප වහාම ආරම්භ කළ යුතුයි. අපේ අපනයන බෝග සඳහා වූ ජාත්‍යන්තර වෙළෙඳ පොළ අපට අහිමි වෙමින් යනවා. ඒ තත්ත්වය වළක්වා ගැනීමට අප කටයුතු කළ යුතුයි දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට රසායනික පොහොර අවශ්‍යයි. වී එළවළු පළතුරු ප්‍රධාන අනෙක් බෝග සඳහාත් තේ රබර් පොල් ඇතුළු අපනයන බෝග සඳහා අවශ්‍ය පොහොර ගෙන්වීමට වසරකට ඩොලර් මිලියන 600 ක් වැය වෙනවා. වගාවක ආරම්භයේ සිට අවසානය දක්වා වරින් වර පොහොර යෙදීමට සිදුවන නිසා මේ පොහොර අපනයනය අඛණ්ඩව හිඟයකින් තොරව කිරීම අවශ්‍යයි. නැත්නම් මුදලත් වෙහෙසත් අපතේ යැවීමක්.

    දැනට රටට අවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ගෙන්වා ගැනීම සඳහා අප විවිධ ජාත්‍යන්තර ආධාර වැඩසටහන් සම්බන්ධ කරගත්තා. ඒ වගේම විවිධ රටවලින් ආධාර ලබා ගැනීමට සැලසුම් සකස් කළා. ඒ කණ්ඩායම් සහ රටවල් බේත් හේත් සහ සෞඛ්‍ය උපකරණ සඳහා සැලකිය යුතු සහයෝගයක් අපට ලබාදෙන නිසා ඉදිරි මාස හය සෞඛ්‍ය කටයුතු සඳහා අපට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නෑ. සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඔවුන්ට අපේ ස්තුතිය පුද කර සිටිනවා.

    මේ තත්ත්වය මත ඉදිරි මාස 6 තුළ අපේ රටේ ජන ජීවිතය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා ඩොලර් බිලියන 5ක මුදලක් අපට අවශ්‍යයි.

    එදිනෙදා ජන ජීවිතය පවත්වාගෙන යද්දී ඊට සමාන්තරව රුපියල ශක්තිමත් කළ යුතුයි. රුපියල ශක්තිමත් කරලීම සඳහා තවත් ඩොලර් බිලියන 5 ක මුදලක් අපට අවශ්‍යයි.

    ඒ කියන්නේ ඉදිරි මාස හය රට නොවැටී පවත්වාගෙන යෑම සඳහා ඩොලර් බිලියන 6ක මුදලක් හොයා ගැනීම අවශ්‍ය වෙනවා.

    මේ සියල්ල මැද දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවා ගැනීමට අප සැලසුම් සකස් කළ යුතුයි. ඒ සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි. මහ බැංකු වාර්තා අනුව 2022 වර්ෂයේ අපේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 3.5 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංඛ්‍යාලේඛන අනුව තත්ත්වය ඊටත් බැරෑරුම්. ඔවුන්ට අනුව දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සෘණ 6.5 ක්. යුක්රේන යුද්ධයේ බලපෑම නිසා මුලු ලෝකයේම රටවල දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ලබන වසරේ පහත වැටෙනවා. යළි යථා තත්ත්වයට පත්කර ගත හැක්කේ 2024 වසරේදී බව පුරෝකතනය කර තිබෙනවා.

    අප ඒ ලෝක තත්ත්වයටත් මුහුණ දියයුතු වෙනවා.

    2019 දී අප ක්‍රියාත්මක කළ බදු ක්‍රමය අහෝසි කිරීම නිසා රජයට රුපියල් බිලියන 6.6 ක ආදායමක් අහිමි වුණා. අපේ ආර්ථිකය කඩා කඩාවැටීම ඇරඹුණේ එතනින්. ඒ නිසා අපි වහාම 2019 වසරේ තිබූ බදු ක්‍රමයට යා යුතු වෙනවා. අප නැගිටීම පටන් ගත යුත්තේ වැටුණු තැනින්.

    පසුගිය කාලවකවානුවේ අසීමිතව මුදල් අච්චු ගැසූ බව අප කවුරුත් දන්නා කරුණක්. 2020 සිට 2022 මැයි 20 වනදා දක්වා රුපියල් බිලියන 2.5 ක මුදලක් මුදාහැර තියෙනවා. වර්තමානයේ අප මුහුණ දෙන තත්වය නිසා
    රජයේ බොහෝ ආයතන වල විධිමත් මූල්‍ය කළමනාකරණයක් සිදු වන්නේ නැහැ. ඒ නිසා අලුත් ක්‍රමවේදයන් හඳුන්වා දිය යුතු වෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය ඊට එක් උදාහරණයක්. ඔවුන් සතුව අරමුදල් තිබුනත් භාණ්ඩාගාර රෙගුලාසිවලට අනුව ඒ අරමුදල් කළමනාකරණය කරන්න ඔවුන් අසමත් වෙලා තියෙනවා. වර්තමානයේ අපේ රට පත්ව ඇති තත්ත්වය මත කිසිදු රාජ්‍ය ආයතනයක පාඩු පියවා ගැනීමට මුදල් ලබාදීමේ හැකියාවක් රජයට නැහැ. ඒ ණය බර රජයට හෝ රාජ බැංකුවලට තවදුරටත් දරන්න බැහැ.

    අප දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වමින් සිටින්නේ. ඒ සාකච්ඡාවන් සඳහා අප පදනම් කරගත්තේ අපේ ඉදිරි ආර්ථික සැලැස්මයි. ඒ අනුව 2023 වසර අපිට සියලු අභියෝගයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. අප විසින් වසර අවසන් වෙද්දී ආර්ථික ස්ථාවර භාවය ඇතිකර ගත යුතුයි. ඉන්පසු 2024 වසර වෙද්දි මූල්‍ය දිරිගැන්වීම් ඔස්සේ ආර්ථික උත්තේජනයක් ඇතිකර ගැනීමේ අවකාශ අපට උදා වෙනවා. 2025 වෙද්දි අපේ අය අයවැය සමබර තත්වයට ගෙන ඒම හෝ ප්‍රාථමික අතිරික්තයක් ඇති කර ගැනීම අපේ අරමුණයි. මේ දීර්ඝ දීර්ඝකාලීන ඉලක්කය කරා යෑමට මේ ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි. ආණ්ඩු බලය හොබවන පුද්ගලයන්, කණ්ඩායම්, පක්ෂ වෙනස් වුවත් අප මේ තම තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමත්, කාර්ය සාධනය උපරිම මට්ටමකින් පවත්වාගෙන යෑමත්, අනිවාර්ය වෙනවා.

    මේ කාර්යයේ දී අපේ විදේශ සම්බන්ධතා ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. ජාත්‍යන්තර සහයෝගය උපරිමයෙන් ලබා ගත යුතු වෙනවා. යම් යම් වැරදි ක්‍රියා මාර්ග නිසා අපි ලෝකයෙන්ම කොන් වෙච්ච රටක් බවට පත්වෙමින් යනවා. ඒ තත්ත්වය ආපසු හැරවීම ලේසි නැහැ. ඒත් අප කෙසේ හෝ එය කළ යුතුයි.

    මම මේ වෙද්දි විදේශීය තානාපතිවරුන් සමග නිරන්තර සාකච්ඡා පවත්වමින් සිටිනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිතුමා. පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් තුමිය සහ බ්‍රිතාන්‍ය අගමැති තුමා සමග දුරකථන සාකච්ඡා පැවැත්වූවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, ලෝක ආහාර වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය ආදී ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් සමඟ සාකච්ඡා කළා.

    මේ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් බොහෝ දෙනෙක් මේ අසීරු අවස්ථාවේදී අපේ රටට සහය දැක්වීමටත් ආධාර කිරීමටත් එකඟත්වය පළ කළා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබන 09 වැනිදා මුලූ ලෝකයටම විවෘත ආයාචනයක් කරන්න කටයුතු සූදානම් කර තියෙනවා. ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබාදීම සඳහා සහය වන ලෙසයි ඔවුන් ඒ ඉල්ලීම කරන්නේ. ඔවුන් මේ වැඩ පිළිවෙළ ඔස්සේ ආහාර කෘෂිකර්ම සහ සෞඛ්‍යය ක්ෂේත්‍රයන් වෙනුවෙන් ඩොලර් මිලියන මිලියන 48 ක මුදලක් මාස 4 ක කාලයක් තුළ ලබා දෙන්නට සැලසුම් කර තිබෙනවා.

    අපට ණය සහ ආධාර ලබාදෙන රටවල්
    අතර ඉදිරියෙන්ම ඉන්නේ ඉන්දියාව, චීනය සහ ජපානයයි. අපට කවදත් හිතවත්ව සිටි මේ රටවල් සමඟ ඇති සබදතා දැන් බිඳ වැටී තියෙනවා. අප ඒ සබඳතා යළි ශක්තිමත් කර කරගැනීම අවශ්‍යයි.

    මීට ටික කලකට පෙර චීන මහජන සමූහාණ්ඩුවෙන් ස්වොප් පහසුකම් යටතේ අපි ණය මුදලක් ලබා ගත්තා. ඒ ණය මුදල සම්බන්ධයෙන් කොන්දේසියක් තිබුණා. ඒ මුදල් අපට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මාස තුනකට සරිලන විදේශ සංචිත අපේ රටට තියෙනවා නම් පමණයි. ණය මුදල ලබා ගන්න කොට අපිට මාස තුනක විදේශ විනිමය සංචිත තිබුණේ නෑ. එහෙම තියෙද්දි අපේ අදාළ නිලධාරීන් රට රැවටීමේ ණයක් ලබා ගත්තා. අර කොන්දේසිය අනුව ඒ ණය අපට මුදා හැරෙන්නේ නැහැ. ඉලක්කම් විතරයි දැන් අපි ඒ කොන්දේසිය ඉවත් කිරීම සඳහා සලකා බලන මෙන් චීන රජයෙන් ඉල්ලීමක් කර තියෙනවා.

    ජපානය අපේ දීර්ඝ කාලීන මිතුරෙක්. අපේ රටට බොහෝ උදව් උපකාර කළ මිත්‍ර රටක්. නමුත් පසුගිය කාලයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් නිසා දැන් ඔවුන් ඉන්නේ හිත හොඳින් නෙවෙයි. යම් යම් ව්‍යාපෘති අත්හිටුවීම පිළිබඳව අපේ රට ජපානයට විධිමත් අයුරින් දැනුම් දීමක් ප
    වත් කර නැහැ. සමහර අවස්ථාවල කිසිදු හේතු දැක්වීමක්වත් කර නැහැ. ජපානය අපේ රටේ සිදු කළ සමහර ව්‍යාපෘති අතරමග නවතා දමා ඇත්තේ තනි පුද්ගලයෙක් ලබාදුන් වාර්තා අනුවයි.

    එල් එන් ජී විදුලි බලාගාර දෙකක් අපට ලබාදීමට ජපානය සහ ඉන්දියාව එකඟ වී සිටියා. විදුලිබල මණ්ඩලය කිසිදු සාධාරණ හේතුවකින් හා පදනමකින් තොරව ඒ ව්‍යාපෘති දෙකම නවතා දැම්මා.

    2019 වන විට ජපානය අපේ රටට ඩොලර් බිලියන 3ක පමණ වටිනාකම් ඇති ව්‍යාපෘති ලබාදීමට එකඟත්වය පළකර තිබුණා. කිසිදු හේතු දැක්වීමකින් තොරව මේ ව්‍යාපෘති සියල්ලම අත්හිටුවා දැම්මා.

    මිත්‍ර රටවල් වලින් අපට ලබාදුන් වටිනා ව්‍යාපෘති පදනම් විරහිත හේතුවකට නවතා දැමීම පිළිබඳව විමර්ශනය කරන මෙන් මම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල කමිටුවෙන් ඉල්ලා සිටිනවා.

    හිතවත් රටවල් ඈත් කර ගත් පසු බිමක පවා ඉන්දියාව අපට උපකාර කිරීමට ඉදිරිපත් වුනා. මේ අසීරු අවස්ථාවේ අප ඔවුනට අපේ ගෞරවය සහ ස්තුතිය පුද කරනවා. ඒ වගේම ජපානය සමග පැරණි මිතුදම් යළි ශක්තිමත් කර ගැනීමට අප වෙහෙසෙනවා .

    අපට ණය දෙන මිත්‍ර රටවල් එක් කොට ආධාර සමුළුවක් පවත්වන මෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියා. ඉන්දියාව චීනය සහ ජපානයේ ප්‍රධානත්වයෙන් මෙවැනි සමුළුවක් පැවැත්වීම අපේ රටට විශාල ශක්තියක් වෙනවා. චීනය සහ ජපානය ණය ලබාදීමේ දී අනුගමනය කරන ප්‍රවේශයන් වෙනස්. මෙවැනි සමුළුවක් මාර්ගයෙන් ණය ලබා දීමේ ප්‍රවේශයන් පිළිබඳව කිසියම් එකඟත්වයකට පැමිණිය හැකි බව අපේ විශ්වාසයයි.

    මෙතෙක් ලබාගත් ණය ආපසු ගෙවීමේ වගකීම අපට පැවරෙනවා. බහුපාර්ශවීය ආනයන යන්ගෙන් ලබාගත් ණය වාරික ගණනාවක් මේ මාසයේ ගෙවන්නට තියෙනවා. අප ණය වාරික ගෙවීම් පැහැර හරින්නේ නෑ. ඉදිරියේදී අලුතෙන් නය ගැනීමට ද අපට සිදු වෙනවා ඒ ණය ගෙවීමේ වගකීමක් අපට තියෙනවා.

    රට රටවලින් ලබා ගත් ණය ආපසු ගෙවීමේ සැලසුමකට එළඹුණු සැණින් අපේ අවධානය යොමු කළ යුතු වෙන්නේ අපේ රට ලබාගෙන ඇති පුද්ගලික ණය පිළිබඳවයි. මේ ගැන සොයා බැලීම උදෙසා අප ජාත්‍යන්තර මූල්‍ය උපදේශන සමාගමක් වන lezard ආයතනයේත්, ජාත්‍යන්තර නීති උපදේශන සමාගමක් වූ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගමේත් විශේෂඥ උපදෙස් ලබා ගන්නවා.

    ලබා ගත් ණය ආපසු ගෙවීමට නම් අපට විදේශ විනිමය තිබිය යුතුයි. විදේශ විනිමය උපයා ගැනීම උදෙසා අපනයන ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කළ යුතු වෙනවා. අපේ රට පිහිටා තියෙන්නේ උපාය මාර්ගික වශයෙන් වැදගත් තැනක. ඒ පිහිටීම තරගකාරී තලයකට පිවිසීම සඳහා යහපත් සාධකයක්. සිංගප්පූරුව සහ ඩුබායි යන ආර්ථික මධ්‍යස්ථාන අතර අපට තවත් ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය වීමේ අවකාශ තියෙනවා.අපේ ගමන් මග සැලසුම් කර ගැනීමට වියට්නාමය ඉතා හොඳ ආදර්ශයක්. විවිධ නිෂ්පාදන අගයන් එකතුකිරීම් ඔස්සේ අපනයනයට යොමු කළ යුතු වෙනවා. ඒ වගේම විවිධ රටවල් සමඟ සිදුකරන ගනුදෙනු වලදී වෙළෙඳ ශේෂයේ අතිරික්තය හැකි තරම් අවම මට්ටමක පවත්වාගෙන යෑමටත් අප වෙහෙසෙන්නට අවශ්‍යයි .

    අපේ අවසාන අරමුණ ශ්‍රී ලංකාවට නව ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. සියවන නිදහස් සැමරුම පවත්වන 2048 වෙද්දි වෙද්දී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමයි.

    දැන් අපේ රට හරියට ක්‍රියා විරහිත කම්පියුටරයක් වගේ වැඩ කරන්නේ නෑ ඉතින් අපි මුලින්ම කරන්න ඕනෙ මොකක්ද. අපි මේ කොම්පියුටරය යළි සාදාගත යුතුයි. දැන් අපි කරන්නේ අන්න ඒ වැඩේ. කොම්පියුටරය reset කිරීම. අතුරු අයවැය මගින් කරන්නේ computer reset කිරීමයි. ඊට පස්සේ අපිට පුළුවන් නවීන මෙහෙයුම් පද්ධතියක් දාගන්න කිසිම වයිරස් එකකට එන්න ඉඩක් නැති virus guard එකක් දාගන්න. එත් ඒ සේරම කරන්න කොම්පියුටරය ආපසු පණ ගැන්විය යුතුයි reset කළ යුතුයි.

    ඉදිරි කාලයේ අපේ ආර්ථික සැලැස්ම සහ මාර්ග සිතියම පදනම් කරගනිමින් අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට අප ඉදිරිපත් කරන්නේ ඒ නිසයි. මම කලිනුත් සඳහන් කළා වගේ අපේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යළි ප්‍රකෘති තත්වයට ගෙන ඒමේ පදනම මේ අයවැය මගින් සකස් කිරීමයි අපේ බලාපොරොත්තුව.

    අතුරු අයවැය මගින් රජයේ අනවශ්‍ය වියදම් කපා දමනවා. අනෙක් වියදම් සීමා කරනවා. ඒ වගේම අර්බුදයට ලක් වී ඇති ක්ෂේත්‍ර ගණනාවක් යළි නගා සිටුවීම කෙරෙහි අපේ අවධානය යොමුකරනවා. අපනයන ආර්ථිකය සංචාරක ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු වෙනවා .

    ඒ වගේම අපේ රටේ ආර්ථික වශයෙන් ශක්තිමත් නැති දුර්වල ප්‍රජාව වෙනුවෙන් මේ අවස්ථාවේ අවධානය යොමු කළ යුතු බව අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වා දුන්නා. ඔවුන් ඊට එකඟත්වය පළ කළා. අප අතුරු අයවැය සකස් කරන්නේ ඒ කරුණු පදනම් කර ගෙනයි.

    එහිදී අප අපේක්ෂා කරන ප්‍රධාන ක්ෂේත්‍ර කීපයක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න මම කැමතියි .

    1 ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගැනීම .

    ලෝක ආහාර සංවිධානය මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළි වී තියෙන්නෙ ඒ සඳහා සහභාගි කරගත් පවුල්වලින් 73% ක් තම තමන්ගේ ආහාර වේල් සහ ආහාර ප්‍රමාණයන් කපා හැර දමා ඇති බවයි. ඒ තත්වය වෙනස් කර මේ ආහාර සුරක්ෂිතතා වැඩ සැලැස්ම අනුව හිඟයකින් තොරව ආහාර ලබාදීමට අප ක්‍රියා කරනවා. තුන්වේල කන්නට පුළුවන් තත්වයක් රටේ නිර්මාණය කරනවා .

    2 සහනාධාර සීමාව ඉහළ නැංවීම .

    ආර්ථිකය බිමටම වැටී ඇති මේ අවස්ථාවේ ජනතාව විවිධ පීඩාවන්ට මුහුණ දෙනවා. අප ඔවුන්ගේ පීඩාව හැකිතරම් ඉහිල් කරන්න පියවර ගන්නවා. ආර්ථික ශක්තියක් නැති ජනතාවට විවිධ සහන ලබාදීම උදෙසා දැනට වැය කරන වාර්ෂික මුදල ඩොලර් මිලියන 350ක්. මේ මුදල ඩොලර් මිලියන 550ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා.

    3 ගොවි ණය සියයට සියයක්ම කපාහැරීම.

    කුඩා ඉඩම් වල වී වගාව කරන ගොවි පවුල් අති දුෂ්කර තත්වයනට පත් වී ඉන්නා බව අප දන්නවා. හෙක්ටයාර දෙකකට අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති වී ගොවීන් ලබාගෙන ඇති ගොවි ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා දමනවා.

    4 ජනතාවට තම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා ලබාදීම .

    ස්වර්ණභූමි මහවැලි ආදී ඔප්පු මගින් ජනතාවට පවරා ඇති රජයේ ඉඩම් සින්නක්කරවම ලබාදීමේ වැඩපිළිවෙළක් මීට කලින් අප ආරම්භ කළා. සමහර පළාත් සභා ඒ වැඩ පිළිවෙලට විරුද්ධව වුණා. ඒ නිසා එය සාර්ථක කර ගැනීමට හැකිවුණේ නෑ. දැන් එවැනි විරෝධතාවක් මතු වන්නේ නැති නිසා ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමට පියවර ගන්නවා.

    5 නාගරික තට්ටු නිවාස අයිතිය සහනදායි පදනමකින් පදිංචිකරුවන්ට ලබාදීම .

    නගරාසන්න තට්ටු නිවාස ගණනාවක කුලී පදනම මත ජීවත්වෙන පවුල් ඉන්නවා. නිවසේ අයිතිය වෙනුවෙන් දීර්ඝකාලීන පොලී ගෙවන අයත් ඉන්නවා. අපි සහනදායි පදනමක් යටතේ මේ සියලු නිවාස වල අයිතිය පදිංචිකරුවන්ට ලබාදීමට පියවර ගන්නවා.

    6 චීනය ඉදිකරන තට්ටු නිවාස ජනතා අයිතියට පත් කිරීම.

    මා කලින් අගමැති ධුරයේ කටයුතු කරන අවස්ථාවේ චීන මහජන සමූහාණ්ඩුවේ න් කළ ඉල්ලීමක් අනුව තට්ටු නිවාස 1888 ක් ඔවුන් ත්‍යාගයක් ලෙස අපේ රටට පිරිනමනවා. මේ නිවාස අතරින් එකසිය අටක් අපි කලාකරුවන් වෙනුවෙන් වෙන් කර තියෙනවා. මේ සියලු නිවාස කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සුදුස්සන්ට ලබාදීමට අප කටයුතු කරනවා. මගේ බලාපොරොත්තුව ඒ නිවාස 1888 ම නොමිලයේ ලබා දීමේ වැඩපිළිවෙලක් සැකසීමටයි.

    රට ඇද වැටී ඇති අවස්ථාවක ජනතාව දැඩි පීඩනයකට ලක් නොකොට ආර්ථිකයත් රටක් යළි ඔසවා තැබීමටයි අප මේ වෙහෙසෙන්නේ. හැම අංශයක් ගැනම විමසමින් හැම අංශයක්ම ආරක්ෂා කරගෙන ඉදිරියට යෑමයි අපේ අපේක්ෂාව.

    පියවරෙන් පියවර මෙහෙම ඉදිරියට ගියොත් අපට අපේ රට බේරා ගන්නට පුළුවන්. මෙතන තියෙන්නේ පුද්ගල ප්‍රශ්නයක් හෝ පක්ෂ ප්‍රශ්නයකට ඔබ්බෙන් ගිය අනතුරුදායක තත්වයක්. මේ අනතුර සහ බරපතලකම තේරුම් ගනිමු. මෙවැනි අනතුරුදායක තත්ත්වයක දී අතීතය පෑරීමෙන් පලක් වෙන්නේ නෑ. කෙටි කාලයකට අපි අතීතය අමතක කරමු. රට යළි ඔසවා තැබීමේ වෑයමේ දී අපි අනාගතය ගැන පමණක් සිතා කටයුතු කරමු.

    රටක් යළි ඉහළට ඔසවා තැබීමේ දී ආර්ථික ප්‍රතිසංස්කරණ පමණක් සෑහෙන්නේ නැහැ. ඊට සමාන්තරව සමාජ දේශපාලන සහ රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණයන් ද අවශ්‍ය වෙනවා. පසුගිය දිනයක අරගල බිමේ සිට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී මතු කළ කරුණක් ගැන මම ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි.

    එහිදී අදහස් පළ කරමින් දමිතා අබේරත්න කලාකාරිනිය මගෙන් මෙන්න මෙහෙම ඉල්ලීමක් කරා. මේ ගැටළුවට විසඳුම් සොයා ගත යුත්තේ පාර්ලිමේන්තුවෙන් නිසා රටට ආදරේ ඇති අය එක්කරගෙන පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් හොයාගන්න කියලයි එතුමිය ඉල්ලා සිටියේ. ඇය මෙහෙමත් කිව්වා. හැබැයි අගමැතිතුමනි ටොෆි ලොසිංජර දීලා ජනතාව රවට්ටන්න හදන්න එපා".

    මේ අදහස ගැන මෙතැන සිටින ඔබ සැමගේ අවධානය යොමු කරන්න මම කැමැති. අද රට පත් ව ඇති තත්ත්වයට විසඳුම් සෙවීමේ වගකීම පැවරී තියෙන්නෙ මේ සභාවේ සිටින ජනතා නියෝජිතයන්ගේ උර මතයි. අපි ඒ වගකීමට උර දිය යුතුයි. ඒ වගකීම අපි ඉෂ්ට කළ යුතුයි. පැලැස්තර විසඳුම් වෙනුවට දීර්ඝකාලීන සහ ප්‍රතිඵලදායී විසඳුම් සෙවිය යුතුයි.

    ඒ නිසා අපි එකිනෙකා අතර ඇති සියලු භේද පසෙක දා රට වෙනුවෙන් අලුතෙන් සිතමු. අලුත් ගමනක් අරඹමු. අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ වලට මුලපුරමු. වෙනස් විදියකට සිතමු. ක්‍රමය වෙනස් කිරීමට මුල පුරන්න පුළුවන් වෙන්නේ අපි හැමෝම වෙනස් විධියකට සිතා වෙනස් විදියකට කටයුතු කිරීමෙන්.

    රාජ්‍ය සේවය පිළිබඳවත් අපට වෙනස් ඇහැකින් බලන්න සිද්ධ වෙනවා. සීමාවක් නැතිව රාජ්‍ය සේවයේ රැකියා ලබාදීම නිසා කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉතා පහල තලයකට වැටිලා. සමහර රාජ්‍ය සේවකයන්ට කරන්න කිසිදු රාජකාරියක් නෑ. මේ නිසා රාජ්‍ය සේවය පූර්ණ ප්‍රතිසංවිධානයට හා ප්‍රතිසංස්කරණයකට භාජනය කළ යුතු වෙනවා. පුරවැසියකුට සිය ජීවිත කාලය පුරාම කඩිනම් හා කාර්යක්ෂම සේවාවන් කරදරයකින් තොරව ලබා ගැනීමට හැකි රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීම අපේ අරමුණයි.

    මේ වෙනස තුළ අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් තියෙනවා ඒ දූෂණයෙන් හා වංචාවෙන් තොර රටක් ගොඩ නැංවීමයි. එය අනිවාර්යයෙන්ම විය යුත්තක්. හොරකමින් තොර සමාජයක්. හොරුන්ට ඉඩක් නැති රටක්. හොරුන්ට දඬුවම් දිය හැකි ශක්තිමත් නීතිරීති ඇති පාලනයක්.

    මේ අරමුණින් අප අල්ලස හා දූෂණ වැළැක්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. 2019 වසරේදී අල්ලස සහ දූෂණය මැඩලීමේ ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කෙරුණා. ඒ ප්‍රතිපත්ති කෙටුම්පත පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් වෙත ලබාදීමට අපි කටයුතු කරනවා. ඔවුන්ගේ අදහස් ද ලබා ගන්නවා. අල්ලස් හා දූෂණ මැඩලීමේ යාන්ත්‍රණය සාර්ථකව ක්‍රියාත්මක කරන ස්වීඩනය වැනි රටවලින්, හොංකොං රාජ්‍යයෙන් ආදර්ශ ගෙන අවශ්‍ය ව්‍යූහාත්මක වෙනස්කම් සිදු කරනවා. දැනට සකස් කර ඇති කෙටුම්පතට යම් යම් සංශෝධන කළ යුතු නම් සියලු පක්ෂවල නීතිවේදීන්ගේ සහ විශේෂඥයන්ගේ උපදෙස් අනුව අවශ්‍ය සංශෝධන සිදු කර මේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා.

    ඉතින් රට යළි ගොඩනැංවීමේ ආර්ථික සමාජ දේශපාලන සහ රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ සඳහා ඔබේ සහාය ලබා දෙන ලෙස මම මේ සභාවේ සිටින ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

    අපි මුලින්ම රට යළිත් ගොඩනංවමු. මේ අසීරු අවස්ථාවෙන් අපේ රට බේරා ගනිමු. ඊට ඔබගේ සහය දක්වන්න. නිශ්චිත කාල පරාසයක් තුළ මෙරට යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමෙන් පසුව ඔබේ සාම්ප්‍රදායික දේශපාලන කටයුතුවලට පිවිසෙන්න. සාම්ප්‍රදායික පක්ෂ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න.

    වරෙක වින්සන්ට් චර්චිල් කළ සඳහනක් උපුටා දක්වමින් මම මගේ අදහස් දැක්වීම අවසන් කරන්නට කැමතියි.

    "Pessimist sees the difficulty in every opportunity ; and optimist sees the opportunity in every difficulty" සර්ව අශුභවාදියා ඕනෑම ඉඩ ප්‍රස්ථාවක ඇති අසීරුතාවන් දකී. ශුභවාදියා හැම අසීරු අවස්ථාවක ම ඇති ඉඩ ප්‍රස්ථාවන් දකී."

    අපි මේ අසීරු අවස්ථාවේ ඉඩ ප්‍රස්ථාවන් පාදා ගනිමු. මේ ඉඩ ප්‍රස්ථාවන් ගෙන් ප්‍රයෝජන ගෙන රට යළි ගොඩ නංවමු සුභවාදීව සිතමු.

    රට සාමාන්‍ය තත්වයට යළි ඔසවා තැබීමේ වගකීමට අප සියලු දෙනාම එක සිතින් එක හදින් උර දෙමු.

    ඇමති නිමල්ව ශ්‍රීලනිපයේ තනතුරුවලින් ඉවත් කිරීම වලකමින් අධිකරණයෙන් වාරණයක්

    0

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට දරණ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

    ඒ නිමල් සිරිපාල දිල්වා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

    මෙම වාරණ නියෝගය ලබන 20 වෙනිදා දක්වා බලපැවැත්වෙනු ඇත.

    මුහුණට මිරිස් කුඩු ගසා එප්පාවල දෙදෙනෙක් මරලා

    0

    එප්පාවල ඇඳගල පිහිටි නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙක් කපාකොටා ඝාතනය කර තිබේ.

    දෙමහල් නිවසක් තුළ මෙම ඝාතනය වී ඇත්තේ අද අලුයම් කාලයේදී බව එප්පාවල පොලීසිය සඳහන් කරයි.

    මුහුණට මිරිස්කුඩු ගසා තියුණු ආයුධවලින් කපා මෙම ද්විත්ව ඝාතනය කර තිබේ.

    මෙලෙස ඝාතනය කර ඇත්තේ එප්පාවල ඇඳගල පදිංචි 31 හැවරදි තරුණයෙක් හා 46 හැවරදි ත්‍රීරෝද රථ රියදුරෙකි. නිවෙස් හිමියා සහ ඔහුගේ මිතුරෙක් මෙසේ ඝාතනය වී ඇත. ඔවුන් දෙදෙනාම දැඩි ලෙස මත්පැන් භාවිතයට ඇබ්බැහි වී සිටින්නන් බව පොලීසිය හඳුනාගෙන තිබේ.

    අධිකරණයට අපහාස කළාට රන්ජන්ට අත්හිටවූ සිර දඬුවමක්

    0

    අධිකරණයට අපහාස කිරීමේ තවත් නඩුවකට වරදකරුවූ රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතල වැඩ ඇතිව වසර දෙකක සිරදඬුවමක් නියමකර එය වසර පහකට අත්හිටුවනු ලැබීය.

    ඒ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුවය.

    අධිකරණයට අපහස කිරීමේ චෝදනාවකට ලක්ව මේ වන විටත් ඔහු සිරදඬුවම් ලබමින් සිටී.

    අධිකරණයට අපහස කිරීමේ සිද්ධියකට වරදකරු වූ රන්ජන් රාමනායක මහතා සිර දඬුවම් විදිමින් සිටියේය.

    අජිත් නිවාඩ් කබ්රාල්ට ඇප

    0

    රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීමකට අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩු කබ්රාල් මහතා රුපියල් මිලියන 10ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

    නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියන් විසින් කළ පුද්ගලික පැමිණිල්ලකට අනුව නඩුව අද කැදවනු ලැබීය.

    ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නැංවීමේ අරමුණ ට මුවා වී එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ව කරමින් 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ඇමරිකානු සී අයි ඒ ඔත්තු සේවයේ නියුතුව සිටි අහම්ඩ් ස්බ්‍රිරි යන අයට ගෙවා ඇති බව පැමිණිලිකාර තීනියාවල පාලිත හිමියක් සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ලිබේ.

    පොහොර ගන්න ඩොලර් ඉන්දියාවෙන්

    0

    යූරියා පොහොර ප්‍රසම්පාදනය සඳහා ඉන්දීය අපනයන – ආනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය මාලාවක් ලබා ගැනීමට රජය තීරණය කරයි.

    ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඊයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2022/23 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර ප්‍රසම්පාදනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය මාලාවක් ඉන්දීය අපනයන – ආනයන බැංකුව මාර්ගයෙන් ලබා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇත.

    ඒ අනුව, අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කරන ලදී.

    ‍කොවිඩ් නිසා නැවතුණු කැනඩාවේ ස්වේච්ඡා වැඩසටහන් ආයෙත්

    0

    කැනඩාවේ ලෝක විශ්වවිද්‍යාල සේවය සමඟ ස්වේච්ඡා සහයෝගිතා වැඩසටහන 2020-2027 ක්‍රියාත්මක කිරීම පිණිස අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ අනුමැතිය දී තිබේ.

    කැනඩාවේ ලෝක විශ්වවිද්‍යාල සේවය විසින් ලොව පුරා අඩු වරප්‍රසාද ලත් තරුණයින් සහ කාන්තාවන් සඳහා අධ්‍යාපනය, රැකියා සහ සවිබල ගැන්වීම් සඳහා වන අවස්ථා නිර්මාණය කිරීමේ ස්වේච්ඡා සහයෝගිතා වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි.

    එම වැඩසටහන වසර 30කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇත.

    දෙපාර්ශ්වය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් යටතේ 2015 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලසීමාව තුළද ඒ යටතේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.

    කොවිඩ්-19 ආශ්‍රිත සංචාරක සීමාවන් හේතුවෙන් පසුගිය වසර දෙක තුළ එකී වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වී නොමැත.

    එම වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇත.

    ඒ අනුව, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන 10ක් යටතේ කැනේඩියානු ඩොලර් මිලියන 2.76ක ප්‍රදානයක් මඟින් අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ අනුමැතිය දී තිබේ.