fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටේ දුෂ්කරම කාලයේ ජාතියේ ආරක්ෂකයාගේ මෙහෙවර ඉටුකරන්න නව යුද හමුදාපති සූදානම්

    රටේ දුෂ්කරම කාලයේ ජාතියේ ආරක්ෂකයාගේ මෙහෙවර ඉටුකරන්න නව යුද හමුදාපති සූදානම්

    මාතෘභූමිය මේ වනවිට දුෂ්කරම සහ අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් පසු කරමින් සිටින බැවින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රටෙහි වත්මන් අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය මෙහෙවර ඉටුකරමින්, ‘ජාතියේ ආරක්‍ෂකයා’ යන ආදර්ශ පාඨය පෙරටුකර පුරවැසියන්ට සහයවීම සඳහා සිය උපරිම සහයෝගය ලබා දෙනු ඇති බව නව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ මහතා පවසයි.

    සිය ධුරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාපතිවරයා පවසන්නේ මෙම සියලු අභියෝග මධ්‍යයේ, ‘වෘත්තීයව නිපුණ හමුදාවක්’ බවට පරිවර්තනය වීම ප්‍රධාන වශයෙන්ම මනා ප්‍රමිතියෙන් යුතු පුහුණුව මත රඳාපවතින බැවින්, යුද්ධ හමුදාවේ පුහුණු කටයුතු කෙරෙහි තමාගේ පූර්ණ අවධානය යොමු කර ඇති බවයි.

    මීට අමතරව යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළ සහ තුවාල ලැබූ රණවිරුවන්ගේ පවුල් වෙත විශේෂ අවධානයක් යොමු කරමින් යුද්ධ හමුදාව විසින් දැනට ලබාදී ඇති සුබසාධන පහසුකම් තවදුරටත් ඉහළ නංවාලීමට අවශ්‍ය පියවර ගැනීමට තමා සැලසුම් කොට ඇති බව ද හෙතෙම කියාසිටී.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.

    “මා කෙරෙහි විශ්වාසය තබමින් 2022 ජූනි මස 01 දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති වශයෙන් මා පත්කිරීම සබැඳිව සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපතිතුමන් වෙත ප්‍රථමයෙන් ස්තූතිවන්ත වෙමි. එසේම, මෙම යුද්ධ හමුදාධිපති තනතුරට නිර්දේශ කිරිම සහ මා වෙත ලබාදුන් මාර්ගෝපදේශකත්වය වෙනුවෙන්ද අභිමානවත් ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් රණවිරුවකු වන ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත ස්තුතිය ප්‍රකාශ කිරිමට මෙය අවස්ථාවක් කරගනිමි. එමෙන්ම, හිටපු යුද්ධ හමුදාධිපති මෙන්ම වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මගේ වෘත්තීය ජීවිතය මුළුල්ලේ මට ලබාදුන් මඟපෙන්වීම් සහ සහයෝගය මෙන්ම යුද්ධ හමුදාවේ ඉදිරි අභිවෘද්ධිය සඳහා එතුමන් කළ සේවය ද ඇගයීමට හා ප්‍රශංසාවට ලක්කිරිමට කැමැත්තෙමි.

    දශක තුනක් පුරා පැවැති දීර්ඝ කාලීන කුරිරු ත්‍රස්තවාදය සාර්ථකව මුලිනුපුටා දැමූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, මහජනතාවට සාමකාමීව ජීවත්වීමට හැකිවන පරිදි අපේ මාතෘභූමියට සාමය සහ සහජීවනය උදාකර දෙනු ලැබූහ. තවද, රට තුළ විටින්විට ඇති වන ජාතික හදිසි අවස්ථා, ස්වභාවික ආපදා තත්ත්වයන් තුලදී මෙන්ම අනෙකුත් ව්‍යසන අවස්ථාවන්හිදී නිර්භීත යුද්ධ හමුදා සාමාජිකයින් වශයෙන් ඉදිරිපත් වීමට නිරන්තර සූදානමින් සිටින අතර, කොවිඩ් – 19 වසංගත කාල සීමාවේදී එම වසංගතය මර්ධනය කිරීම සඳහා රාජ්‍ය සහ සිවිල් සංවිධානයන් වෙත අවශ්‍ය සහයෝගය නොමසුරුව ලබාදීමෙන් අප වීරෝදාර භටපිරිස් දැක්වූ දායකත්වය තිරසාර කැපවීම සහ වෘත්තීය නිපුණත්වය පිළිබිඹු කරයි.

    අප දන්නා පරිදි අපේ මාතෘභූමිය මේ වනවිට දුෂ්කරම සහ අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් පසු කරමින් සිටී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රටෙහි වත්මන් අවශ්‍යතාවයන් සඳහා අවැසි මෙහෙවර ඉටුකරමින්, ‘ජාතියේ ආරක්‍ෂකයා’ යන ආදර්ශ පාඨය පෙරටුකරගනිමින් පුරවැසියන්ට සහයවීම සඳහා සිය උපරිම සහයෝගය ලබා දෙනු ලබයි. තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරම්භ කර ඇති හරිත කෘෂිකාර්මික ව්‍යාපෘති සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා භටපිරිස්වල දායකත්වය වැඩි කිරීම මෙම අවස්ථාවේදී රටට වාසිදායක ප්‍රතිඵල ගෙන දෙනු ඇත.

    මෙම සියලු අභියෝග මධ්‍යයේ, ‘වෘත්තීයව නිපුණ හමුදාවක්’ බවට පරිවර්තනය වීම ප්‍රධාන වශයෙන්ම මනා ප්‍රමිතියෙන් යුතු පුහුණුව මත රඳාපවතින බැවින්, යුද්ධ හමුදාවේ පුහුණු කටයුතු කෙරෙහි මාගේ පූර්ණ අවධානය යොමු කරමි. දේශීය හා විදේශීය පුහුණු පාඨමාලා මගින් වෘත්තීය දැනුමේ නිම් වළලු පුළුල් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ නායකත්වය ලබාදීමට අපේක්‍ෂා කරනු ලබනවා. මීට අමතරව යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළ සහ තුවාල ලැබූ රණවිරුවන්ගේ පවුල් වෙත විශේෂ අවධානයක් යොමු කරමින් යුද්ධ හමුදාව විසින් දැනට ලබාදී ඇති සුබසාධන පහසුකම් තවදුරටත් ඉහළ නංවාලීමට අවශ්‍ය පියවර ගැනීමට මා සැලසුම් කොට තිබෙනවා.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘ජාතියේ ආරක්‍ෂකයා’ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට බැඳී සිටින අතරම මාතෘභූමියේ ඒකීයභාවය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීමට දිවිහිමියෙන් කැපවී සිටින අතර ඉහළ වෘත්තීයභාවය, විනය සහ අඛණ්ඩතාවය තුලින් නිසි කටයුතු සිදුකරන බවට සඳහන් කිරීමට කැමැත්තෙමි.” යනුවෙන් එම නිවේද‍නයේ දැක්විණ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.