fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාවට පොහොරත් දෙන්න මෝදි කැමතියි

    ලංකාවට පොහොරත් දෙන්න මෝදි කැමතියි

    යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඉන්දීය ණය ආධාර යටතේ මෙම පොහොර තොගය සැපයෙන අතර මෙරටට ලැබී දින 20ක් ඇතුළත බෙදාහැරීමට සැලසුම් කර තිබේ.

    වාරිමාර්ග ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ විසඳුම් පිළිබඳ අද (01) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    උමාඔය සහ මොරගහකන්ද ව්‍යාපෘති මේ වසර නිම වීමට පෙර අවසන් කර, මහ කන්නය සඳහා ප්‍රතිලාභ ලබා දිය හැකි බව සාකච්ඡාවේදී අනාවරණය කෙරිණ. මොරාණ, මහගල්ගමුව පෝෂිත ඇළ, මහගෝණ වැව, විලකණ්ඩිය වැව සහ ගොඩිගමුව වැව ව්‍යාපෘති මීට සමගාමීව වැඩ නිම වීමට නියමිත ය.

    විදේශීය අරමුදල් යටතේ අරඹා ඇති ව්‍යාපෘති අපේක්ෂිත කාලසීමාවේදී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබී ය.

    යල කන්නයේ වගා කටයුතු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණු අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය යටතේ ජලය සැපයෙන ඉඩම්වලින් 50%ක් මේ වන විටත් වපුරා තිබේ.

    මහවැලි ගෙවතු දෙලක්ෂ විසිපන්දහසක අතිරේක භෝග වගා සඳහා සැලසුම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළ අතර මෙතෙක් වී වගා කර නොමැති ඉඩම් වෙනත් භෝග වගා සඳහා යොමු කර ඇති බව නිලධාරිහු පෙන්වා දුන්හ.

    ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල නිලධාරීහු සාකච්ඡාවට එක් ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.