තවත්

    නව නීතිපති ලෙස සංජය රාජරත්නම් !

    0

    නීතිපති දප්පුල ලිවේරා මහතා තව නොබෝදිනකින් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පුරප්පාඩුවන නීතිපති තනතුරට සුදුසු පුද්ගල නාමයක් මේ වන විට පාර්ලිමේන්තු සභාවට යොමුකර ඇත.

    එසේ පාරිලිමේන්තු සභාවට යොමුකර ඇත්තේ නියෝජ්‍ය සොලිසටර් ජනරාල් සංජය රාජරත්නම් මහතාගේ නම බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කරයි.

    බිම්ෂානිට වූ අසාධාරණය ගැන සොයන්න පොලිස් ප්‍රධානීන්ට හදිසි කැඳවීමක්

    0

    ශ්‍රී ලංකාවේ පළමු නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස මේ වන විට ඉතිහාසයට එක්ව සිටින බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මියට ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් දිගින් දිගටම තවමත් කෙනහිලි සිදුවෙමින් ඇතැයි පොලිස් මූලස්ථානයේම තොරතුරු අනාවරණය කළේය.

    බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස් කිරීමෙන් අනතුරුව පොලීසියේ දුග්ගැනවිලි අංශයේ ප්‍රධානියා ලෙස පත්කිරීමට පොලිස්පතිවරයා පියවර ගත්තේය.

    එහෙත් හිටි හැටියේම ඉකුත් 01 වෙනිදා ඇය යටතේ සේවයේ නිරතව සිටි සියළුම පොලිස් නිලධාරීන් පොලිස්පති මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා යටතට පත්කර තිබේ. එහෙත් නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි මහත්මියට නව වගකීමක් පැවරීමට කිසිදු පියවරක් ගෙන නැත.

    ඒ සම්බන්ධයෙන් ඇය පොලිස් ප්‍රධානීන්ගෙන් කළ විමසීමේදී ලැබී ඇති පිළිතුර වී ඇත්තේ පොලීසිය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙල අනුව එම කටයුත්ත සිදුවූ බවය. ඇය යටතේ සිටි නිලධාරීන් ඇයටත් නොදන්වා මෙසේ වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතට පත්කර ඇත්තේ ඇගේ නියෝජ්‍ය පොලිස්පති ධුරය අභියෝගයට ලක්කරමින් පොලීසියේ උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අධිකරණයට ගොස් තිබියදීය.

    ඒ සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි ආන්දෝලනයක්ද ඇතිවී තිබෙන අතර ඇගේ උසස්වීමට එරෙහිව සිටින්නේ පොලිස්පතිවරයාට සමීපව සිටින පොලීසිය තුළ සුදු පුතා සහ කළුපුතා යනුවෙන් හදුන්වන නිලධාරීන් දෙදෙනෙක් බවද පොලීසිය තුළ ප්‍රසිද්ධ රහසකි.

    පොලීසිය තුළ කථාබහට ලක්වන ආකාරයට අනුව ඇය යටතේ සිටි නිලධාරීන් වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතට පත්කිරීමේත් ඇයට නිසි ස්ථානයක් ලබා නොදීමේත් පිටුපස සිටින්නේද සුදුපුතා සහ කළු පුතාය.

    නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි මේ ගැන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව දැනුවත්කර ඇත්තේ මෙවන් පසුබිමක් තුලදීය. බිමිෂානිට සාධාරණයක් ඉටුකරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ද පොලිස් බලධාරීන්ට යම් දැනුම්දීමක් කර ඇතත් එය මෙතෙක් සිදුවී නැත. අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස් බලධාරීන්ව අමාත්‍යාංශයට අද දිනයේ කැදවා ඇත්තේ මෙවන් පසුබිමක් තුළදීය.

    පිළියන්දල ප්‍රදේශ ඇතුළු 12ක් ලොක්ඩවුන් – කළුතර 4ක් ඉවතට

    0

    බස්නාහිර පළාතේ තවත්‌ ප්‍රදේශ 12 ක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා
    කිරීමට පියවර ගෙන තිබේ.

    ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවතපොලිස්‌ වසමේ ඇල්දෙනිය නැගෙනහිර, සූරියපාලුව දකුණ, සූරියපාලුව උතුර, පහල කරගහමුන උතුර සහ ඉහළ
    කරගහමුන උතුර හුදෙකලා කෙරේ.

    කොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල පොලිස්‌ බල ප්‍රදේශයේ හල්පොත, කැස්බෑව නැගෙනහිර, මාකන්දන බටහිර, කුන්දන සහ පොල්හේන මෙලෙස හුදෙකලා කරන ග්‍රාමසේවා වසම්වලට අයත්‌ ය.

    කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස්‌ බල ප්‍රදේශයේ තින්ඹුර සහ මතුගම පොලිස්‌ වසමේ යටියන බටහිර ග්‍රාම සේවා වසමද හුදෙකලා කර ඇත.

    කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය ඉඟුරුදළුව පොලිස්‌ වසම අද උදෑසන සිට හුදෙකලා භාවයෙන්‌ ඉවත්‌ කෙරේ.

    මීට අමතරව මීගහතැන්න පොලිස්‌ වසමේ පැලවත්ත නැගෙනහිර, මිරිස්වත්ත සහ පහල හෙවස්ස අද උදෑසන සිට හුදෙකලා භාවයෙන්‌ ඉවත්‌ කර තිබේ.


    කිඹුලා ඇල ගුණාගේ මත්ද්‍රව්‍ය ජාවාරමක පුරුකක් එස්.ටී.එෆ්. දැලේ

    0

    ඉන්දියානු අත්අඩංගුවේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කිඹුලා ඇළේ ගුණා ගේ සහෝදරයෙක්ම වන සුරේෂ් නැමැත්තාගේ ගෝලයෙක් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

    එම පුද්ගලයා ප්‍රදිප් කුමාර් නැමැති 23 හැවිරිදි තරුණයෙකි.

    පොලිස් විශේෂ කාර්ය බලකාය බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

    අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 22ක්, ගංජා වලින් නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍යක් වන හෑෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 04 යි ග්‍රෑම් 527ක්, සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන මුදල් රුපියල් ලක්ෂ 4ක් සැකකරු සන්තකයේ තිබී සොයා ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    එම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් කෝටි දෙකහාමාරක් පමණ වනු ඇතැයිද අජිත් රෝහන මහතා වැඩිදුරටත් පැවැසීය.

    රත්නපුර අධිවේගයේ ඉදිකිරීම් අද ඇරඹේ

    0

    රත්නපුර අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතය.

    මෙරට ඉදිකෙරෙන 07 වන අධිවේග මාර්ගය මෙයයි.

    රත්නපුර අධිවේග මාර්ගයේ පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩ කටයුතු ආරම්භ කෙරේ.

    රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට පැල්මඩුල්ල දක්වා සම්පූර්ණ දුර කිලෝමීටර  73.9කි.

    පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර 24.3ක දුර ප්‍රමාණයක් මෙලෙස ඉදිකිරීමට නියමිතය.

    දේශීය ඉදිකිරීම් සමාගමක් විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරයි.

    ඒ සඳහා රුපියල් බිලියන 54.7ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබේ.

    මෙම අධිවේග මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු 2024 වසර වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇත.

    ඊයේ ආසාදිතයින්‌ 1900ක් – මරණ 11ක්

    0
    Covid death

    මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්‌ සංඛ්‍යාව 119,424 ක්‌ දක්වා ඊයේ (6) ඉහල ගොස් තිබේ.

    ඒ ඊයේ 1,895 ක් ආසාදිතයින්‌ වාර්තා වීමත් සමඟයි.

    ඊයේ වාර්තා වු කොවිඩ් මරණ 11ත් සමඟ මෙරට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 745 විය.

    ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මේ වනවිට කොවිඩ් රෝගීන් 100,885 දෙනෙක්‌ සුවය ලබා පිටව ගොස්‌ තිබේ.

    දෛනිකව හමුවන වැඩිම ආසාදිතයින්‌ සංඛ්‍යාව ලෙස 1,939 දෙනෙකු වාර්තා වී වී තිබුණේ පෙරේද (05) දිනයේයි.

    ඊයේ දේශීයව ආසාදිතයන්‌ 1,851 ක්‌ හඳුනාගත්‌ අතර විදෙස්‌ රටවල සිට පැමිණි 44 දෙනෙක්‌ පසුව කොරෝනා ආසාදිතයන්‌ ලෙස හඳුනාගෙන තිබුණි.

    ශ්‍රී ලංකාවේ කොවිඩ් ගැන WHO වෙතින් ජනතාවට අනතුරු ඇඟවීමක්

    0
    covid

    ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින්‌ සීග්‍රයෙන්‌ ඉහළ යාම බරපතල තත්වයක්‌ බැවින් එන්නත්‌ ලබාදීමෙන්‌ පමණක්‌ විසඳුම්‌ නොලැබෙන බවත් වැඩි වගකීමක් ඇත්තේ ජනතාව සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමෙන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත වෛද්‍ය ඔලිවියා නෙවරාස්‌ අවධාරණය කරයි.

    මෙරට වසංගතයේ නවතම තත්වය පිළිබඳ ඇය වීඩියෝ පණිවුඩයක්‌ නිකුත් කරමින් මේ බව කීවාය.

    “ජනතාව විශාල වශයෙන්‌ ගැවසෙන ස්ථාන, අධිත තදබදයක්‌ සහිත තැන්‌,
    එකිනෙකා සමීපව ගැවසෙන ස්ථාන වෙත යාමෙන්‌ වැළකිය යුතුයි.

    සමාජ දුරස්ථභාවය තබාගැනීම, කසින සහ කිවිසුම්‌ හරින විට අනුගමනය කරන සෞඛ්‍ය පුරුදු, සබන්‌ යොදා දෑත්‌ සේදීම, මතුපිට පෘෂ්ඨ මත විෂබීජහරණය,
    නිවැරදිව මුව ආවරණ පැළඳීම සහ අසනීපයක්‌ පවතින්නේ නම්‌ නිවසේ නතරවීම යන මේ පුරුදු අපි ශ්‍රී ලාංකිකයන්ගෙන්‌ බලාපොරොත්තු වනවා.

    අප මෙන්ම පවුල්වල සාමාජිකයන්‌ සහ ආදරණීයයන්‌ ආරක්ෂා කරගැනීමට මේ
    නිර්දේශිත පුරුදු අනුගමනය කළ යුතුමයි.

    දෙවන ලෝක යුද්ධයෙන්‌ පසු ලෝකය මුහුණදී තිබෙන වඩාත්‌ අභියෝගාත්මක අර්බුදය මෙයයි. කිසිදු රටක්‌ ඉන්‌ ගැළවී නැහැ ශ්‍රී ලංකාවත් එහෙමයි.

    මේ රෝගීන්ගේ ඉහළ යාම බරපතල ලෙස ගත යුතුයි.

    මම දන්නවා අපි බොහෝ දෙනෙකුට මහන්සියි, දරාගන්න බැහැ. මොකද වසරකට වැඩි කාලයක සිට අපි කොවිඩ්‌ 19 සමඟ සටනක යෙදී සිටිනවා.
    කෙසේ වුවත්‌ වඩා අභියෝගාත්මක කාලයට තවමත්‌ පැමිණ නොමැති වෙන්න පුළුවන්‌. ” යැයිද ඇය වැඩිදුරටත්‌ කියා සිටියාය.

    රහස් පොලීසියෙන් පැන්නූ SI මංකොල්ලයකට කොටුවෙයි

    0

    යාපනයේ සිට කොළඹට පැමිණි ව්‍යාපාරිකයෙකු කදිරේෂන් වීදියේදී ත්‍රී රෝද රථයකින් පැහැරගෙන ගොස් ඔහුගේ ඇගිල්ලක පැලද තිබුණු රුපියල් ලක්ෂ එකහාමරක් පමණ වටිනා මුද්දක් පැහැරගත් පොලිස් වෙස්ගත් කොල්ල කල්ලියක සාමාජිකයින් දෙදෙනෙක් ආදුරුප්පු වීදිය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ එක් කොල්කරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කලක් සේවය කර සේවය අතහැර ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකි. ඔහුට එරෙහිව මෙයට පෙරත් මෙවැනි අපරාධ චෝදනා එල්ලවී ඇතැයි විමර්ශන වලින් හෙළිවී ඇතැයි ආදුරුප්පු වීදිය පොලීසියේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුංචි බොරැල්ලේදීය. ව්‍යාපාරිකයාව පැහැර ගැනීමට යොදාගත් ත්‍රී රෝද රථයද පොලිස් භාරයට ගෙන ඇත. කොල්ලකෑ රන් මුදුව උකස්කර තිබියදී සොයාගෙන තිබේ. තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලීසිය කියයි.

    ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් මුද්ද කොල්ලකා ඇත්තේ ඉකුත් අප්‍රේල් 02 වෙනිදාය. පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයා ගැන සැකය යැයි කියා විමර්ශන සදහා පොලීසියට රැගෙන යන අයුරින් ත්‍රී රෝද රථයේ නන්වාගෙන ඔහුව පැහැර ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලකට අනුව ආදුරුප්පු වීදිය පොලීසියේ නිලධාරීන් දීර්ඝ විමර්ශනයක නිරතවෙමින් ත්‍රී රෝද රථය ආරක්ෂක කැමරාවකින් හදුනාගෙන තිබේ. අනතුරුව එම ත්‍රී රෝද රථයේ අංකය අනාවරණය කර ගනිමින් සැකකරුවන් දෙදෙනාව ඊයේ (05) අත්අඩංගුවට ගත් බව ආදුරුප්පු වීදිය පොලීසිය සදහන් කරයි.

    මහරගම නගර සභාවේ ගුටි කෙළියක් – මන්ත්‍රීවරියක් මන්ත්‍රීවරයෙකුට පහරදෙයි

    0

    මහරගම මහ නගර සභාවේ අද (06) පැවති මාසික සභා රැස්වීම අතරතුර මන්ත්‍රීවරියක් සහ මන්ත්‍රීවරයෙක් අතර ගුටි බැට හුවමාරුවක් සිදුවිය. ඒ පාලක පක්ෂය නියෝජනය පොදුජන එක්සත් පෙරමුණේ සාවිත්‍රි ගුණසේ්කර සහ විශාන්ත විමලරත්න අතරය.
    නගර සභාවේ මන්ත්‍රී කාමරයේ ඇතිවූ සංවාදයක් සාවිත්‍රි ගුණසේකර මන්ත්‍රීවරිය විසින් සිය ජංගම දුරකකතනයෙන් වීඩියෝගතකර සමාජ මාධ්‍යට මුදා හැරීමකට විරෝධය දැක්මක් අතර තුර මෙම ගැටුම හටගත්තේය.
    මන්ත්‍රීවරිය ඇය අසුන් ගෙන සිටි ස්ථානයෙන් නැගිටවිත් මන්ත්‍රීවරයාට දිගට හරහාට පහරදෙන අතර මන්න්‍රීවරයා එම පහරවල් වලක්වමින් සිටිනු දක්නට ලැබීය. මන්ත්‍රීවරියව සෙසු මන්ත්‍රීවරියන් විසින් අල්ලමින් පාලනය කිරීමට දැඩි උත්සහයක නිරත වනුද දක්නට විය. ඇය දිගින් දිගටම මන්ත්‍රීවරයාට පහරදුුන්ද මන්ත්‍රීීවරයා ඇයට එරෙහිව බලය යොදන අයුරු දක්නට නොවීය.

    නැපෝලියන් කල වරදවල් තුලින් ඉගෙන ගත හැකිදේ

    ප්‍රංශ හමුදා නිලධාරියෙකු ලෙස ජීවිතය ආරම්භකර​, හමුදා ප්‍රධානියා සහ ප්‍රංශයේ අධිරාජ්‍යයා ලෙස කිරුලු පලඳා, රටවල් ගණනාවක් දික්විජය කර සහ ප්‍රංශයට මෙන්ම තමන් නතු කරගත් රාජ්‍යයන්ටත් ඉතා ප්‍රගතිශීලී නීති පද්ධතීන් හඳුන්වාදුන්, නව්‍ය යුධ ක්‍රමෝපායන් ගණනාවක්ම මෙන්ම වර්තමානයෙ බහුලව භාවිතා වන ක්‍රමෝපාය යන වචනය ශබ්දකෝශ වලට ඇතුලත් කිරීමට මෙන්ම සටන් ශාස්ත්‍රය පිලිබඳ ග්‍රන්ථ දෙකකට පදනම වූ සහ යුරෝපය පුරා හමුදා ප්‍රතිසංස්කරනයන්ට හේතුකාරකයා වූත් නැපෝලියන් බොනපාට් අභාවප්‍රාප්ත වී අද දිනට (එනම් මැයි මස 5 ) ශතක දෙකක්වේ.

    කුඩා කල සිටම නැපෝලියන් බොනපාට් මගේ ප්‍රියතම චරිතයක් වූයේ ඔහු විසින් බ්‍රිතාන්‍යයන්ට ලබාදුන් පරාජයන් වූවත්, පසු කලකදී නැපෝලියන් කල කී දේවල් මට බොහෝදේ ඉගෙන ගැනීමට පාදක විය.

    එමෙන්ම​,එදා සිට මේ දක්වාම මට නැපෝලියන්ගේ සංග්‍රාම ක්‍රමෝපායන් තුලින් ඉගෙනගත් හා ප්‍රයෝජනවත් වූ දේවල් බොහොමයක් තිබේ. ඒ අනුව එක් ආකාරයකින් ඔහු ගුරුවරයෙකු සහ මග පෙන්වන්නැකි. නමුත්, බොහෝ නායකයන්ට මෙන්ම අවසානයේදී නැපෝලියන්ටත් සියල්ල අහිමි වී ගොස් සිරකරුවෙකු ලෙස රටින් පිටුවහල් වී මිය යන්නට සිදු විය​.

    මේ නිසා නැපෝලියන් කල සාර්ථක ක්‍රියාවන් තුලින් ඉගෙනීමට මෙන්ම ඔහුට වැරදුනේ කෙසේද සහ එම වැරදීම් තුලින් අපට ඉගෙන ගත හැක්කේ මොනවාද යන්නත් විමසීමට පෙලඹුනි. මෙහි දැක්වෙන්නේ නැපෝලියන් වරද්දා ගත් දේවල් පිලිබඳ ආවර්ජනයක් නොව එතුලින් සහ ඒ අනුසාරයෙන් මවිසින් ඉගෙන ගත් පාඩම් පිලිඹඳ සංක්ශිප්ත විමසුමකි.

    1. ඔබේ ආශාවන් සහ අභිමතාර්ථයන් පාලනය කර ගන්න​. යමක් කරන්නට පෙර කරන්නේ කුමක්ද යන්නට වඩා එය කරන පරමාර්ථය තමන්ටම පහදා ගන්න​. එමෙන්ම​, තමන් විසින් ධනය, බලය​, කීර්තිය වැනිදේ යම් පමනකට ලද විට සෑහීමකට පත්වන්නට ඉටා ගන්න​.
    2. අධි-තක්සේරුව ඉතා භයානකය​. තමන්ව සහ අන් අයව අව​-තක්සේරු කිරීමේ වරද පිලිඹඳ නිතර ඇසෙන මුත්, තමන්ව සහ තම බලය සහ ශක්තිය අධි-තක්සේරු කරගෙන සිටීම ඊටත් වඩා භායානක සහ විනාශකාරී වන්නකි. විශේශයෙන් නායකයෙකු තමන් “සියල්ල දන්නා බව​” හෝ “තමන් සැමවිටම නිවැරදි බව​” හෝ “තමන්ට වඩා සමතෙක් නොමැති බව​” හෝ සිතීම මෙම අධිතක්සේරුව පෙන්වන අවස්ථාවන්ට නිදසුන් වේ.
    3. අනවශ්‍ය සතුරන් ඇතිකර ගැනීමෙන් වලකින්න​.
    4. අන් අයගේ මතයන් පිලිඹඳව හොඳින් සලකා බලන්න​.
    5. සත්‍ය තත්වයට මුහුන දෙන්න​.
    6. තීරන ගැනීමේ ක්‍රියාවලියට බාධා කිරීමට මමත්වයට ඉඩ නොදෙන්න​.
    7. යමක් අසාර්ථක බව දැනගත් පලමු මොහොතේදීම හානිවාරන ක්‍රියාමාර්ගයන්ට එලඹෙන්න​.
    8. අවදානම් පිලිඹඳ ගැඹුරින් පුරෝකථනයක යෙදී අනපේක්ශිත සහ හදිසි තත්වයන්ට මුහුනදීමේ පෙර සූදානමකින් යුතුව ක්‍රියා කරන්න​.
    9. සතුරන් තමන්ට එරෙහිව එක්සත් කරදෙන වරදවල් කිරීමෙන් වලකින්න.
    10. තමන්ට පක්ශපාතී සහ හිතවත් අය ශක්තිමත් කිරිමට ක්‍රියා කරන්න​.

    හිටිහැටියේ නැවත්වූ දුම්රිය නිසා මීටරේ කුඩේකුඩු

    0
    train
    file photo

    covid -19 තත්ත්වය නිසා මගීන් අඩුවී ඇතැයි පවසමින් අද දහවල් කාලයේ සිට දුම්රිය ගමන් වාර නැවැත්වීම හේතුවෙන් කාර්යාල වෙත පැමිණ සිටි මගීන් ධාවනයවූ සීමිත දුම්රියන් වෙත රොක් වීම නිසා අද ඒවායේ දක්නට ලැබුණේ දැඩි අවදානම් සහගත තදබදයකි.

    මගීන් දහස් ගණනක් ආපසු නිවසට යා ගත නොහැකිව අසරණ වී සිටියේ ප්‍රමාණවත් බස් රථ ධාවනය ද නොමැති වීම හේතුවෙනි.

    කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් බස්රථ බොහොමයක් ධාවනයෙන් ඉවත් වී ඇති බව දැකගන්නට ලැබෙන අතර ධාවනය වන බස් රථ ද බස් රථ ද ආසන සංඛ්‍යාවට මගින් ගෙන යා යුතුය.

    මේ හේතුවෙන් රැකියා වෙත ආ මගින් බොහොමයක් ලක්වූ දුෂ්කරතාව ඉතා කණගාටුදායක වන අතරම, පැවති සීමිත ප්‍රවාහන මාර්ග තුළ අනවශ්‍ය තදබදයක් හට ගැනීම කොවිඩ් පොකුරු ඇති වීමක සලකුණු කියා පෑවේය.

    ඇරියස් කවර් කිරීම – සත්‍යගවේෂි ගේ තීරුව

    0

    අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇරියස් කවර් කිරීම සිදු කරන්නෙමු. අපි ඇරියස් කවර් කිරීමට අපගේ මුළු දිවියම කැප කරන්නෙමු. අපේ කතාවන්හිද, හැසිරීම් වලින්ද නිරතුරුවම කෙතරම් දුරකට අපගේ ඇරියස් කවර් කරන්න මහන්සි වෙනවාද?

    අපිට අපි වීමට කාල වේලාව නැත. හැමදාම අප සමග ඉන්නා ආදරණීයයන් සමග ඉන්නට වේලාවක් නැත. හති වැටෙමින් ඇරියස් කවර් කරන්නෙමු. හති වැටි වැටි ඇරියස් කවර් කරන්නෙමු.

    කෙතරම් කවර් කලත් ඇරියස් කවර් කරන්න බැරිය. කවර් වෙන්න වෙන්න හිතන විට නැවතත් සිතට එන්නේ ඇරියස් ම ය. ඒ හිතේ හැටිය.

    සමාජ මාධ්‍යයන්හි පෝස්ට් වල ඇත්තේද ඇරියස් කවර් කිරීමකි, බස් රියේ, කඩපිලේ, වැඩපොලේ ඇරියස් කවර් කිරීම්ද එමටය. නූගතා උගතා ගැන ද, උගතා නූගතා ගැනද, පොහොසතා දුප්පතා ගැනද, දුප්පතා පොහොසතා ගැනද, කළු එකා සුදු එකා ගැනද, සුදු එකා කළු එකා ගැනද ඉන්නේ අසහනෙනි. සැබවින්ම ඉන්නේ අසහනයෙන් ය !!!

    තමන් අනුන් දිහා අසහනෙන් ඉන්නේ නම්, අසහනෙන් බලන්නේ නම්, තමනුත් යන්නේ ඇරියස් කවර් කිරීමටය. තමන් අනුන්ට සාපේක්ෂව සිතන්න ගත්විට අසහනෙන් පීඩිත වේ. අසහනයෙන් ම අසහන ගොහොරු මඩේ කරවටක් ගිලී යන්නෙමු. ඉන් මිදීමට නොව තව තවත් අසහන ගොහොරු මඩේ ගිලී යන කටයුතුම කරන්නෙමු.

    සමාජයීය සත්වයකු වන මිනිසා නිතරම අනෙකා ගැන සොයා බලන්නේය. අනෙකා ගැන නිරතුරුව තර්ක විතර්කයෙහි යෙදීමෙන් ම අසහනයට පත් වන්නේය. අනෙකා විවේචනය කරන්නේ ය. අනෙකාව පහළ දැමීමටත් තමන් අනෙකාව කපා හෝ තමා ඉහල නැගීමටත් නිරතුරුවම කටයුතු යොදන්නේ ය. කපන්න බැරි අත සිඹින්නටත්, සිඹින්නේ නැති අත කපන්නටත් කටයුතු කරන්නෝ බොහෝමය. ඒ සඳහා සමාජ ආචාර ධර්ම නොසලකා හෝ කටයුතු කරන්නෝ ය.

    අපි අපගේ මානසික අසහනය සමනය කිරීමට ඇරියස් කවර් කිරීමට තාවකාලික නිර්වින්දනයකින් කටයුතු කරන්නෙමු. එය අනෙකා බුලි (bullying) කිරීමෙන්, අපහාස උපහාසයට ලක් කිරීමෙන් හෝ යම් ආර්ථික, සමාජයීය හෝ සංස්කෘතිකව බලපාන හානියක් අනෙකාට සිදු කිරීමෙන් සිදු කරන්නෙමු. ඉන් අප්‍රමාණ වූ සතුටට පත්වන්නෙමු. එහි ආදීනව නොදැනීම හෝ නොසිතාම එසේ කරන්නේමු.

    එහි ප්‍රතිඵල ඇරියස් කවර් කිරීමකින්ම පොලියක් සමග ලැබෙනු ඇත. ඇරියස් කවර් කරගැනීමට කෝපයෙන් හෝ ලෝභයෙන් කටයුතු කිරීමේදී අවසානයේ ඇති වන්නේ පසුතැවිල්ලක් පමණි. එය මෝහයයි. දේශපාලනඥයන්ද, ව්‍යාපාරිකයන්ද, විවිධ සංවිධානයන් සහ ජනමාධ්‍යයන් ද අපගේ දුර්වලතාවලින් ප්‍රයෝජන ගැනීමට කටයුතු කරන බව නිරවුල් මනසකින් බලන විට අපිට ප්‍රත්‍යක්ෂ වේ.

    Front view of two businessmen looking at each other with jealousy.

    නිරපේක්ෂ ව සිතමු. නිරපේක්ෂ ව සිටිමු. නිරවුල් මනසකින් යුතුව වටපිට බලමු එමෙන්ම අපේ සිත ගැනත් එලෙසටම නිහඩව බලා සිටිමු. අසහනයත්, ඇරියස් කවර් කිරීමත් අපේ සිත වන මාරයාගේ මායාවන් නොවෙද? මාර ග්‍රහනයෙන් මිදීමත්, සසරෙන් එතෙර වීමත් කාටවත් කල නොහැක.

    කල යුත්තේද, කල හැක්කේද තමන්ටම පමණි.

    එඤ්ඤං,

    මම,

    සත්‍යගවේෂි.

    PCR කළොත් ප්‍රතිඵලය එනකල් ගෙදරත් වෙනම ඉන්න

    0

    අංජනා මල්ලවආරච්චි

    කිසියම් පුද්ගලයකු PCR පරීක්ෂණයට ලක් වූ පසු එම වාර්තා ලැබෙන තෙක් නිවසටම වී තනිව සිටීමත් අවශ්‍ය බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

    PCR පරීක්ෂණ වාර්තා කැඳවීමට දින කිහිපයක් ගත වුවද මෙම දින කීපයම නිරෝධායනය වීම අවශ්‍ය වන අතර නිවසේ හෝ පිටස්තර පුද්ගලයින් ආශ්‍රය කිරීමෙන් වැළකී සිටීම වැදගත් බවද සුදත් සමරවීර මහතා පැවසීය.

    නිවසේ අනෙක් පුද්ගලයින්ගෙන් වෙන්වී වෙනම වැසිකිලියක් භාවිත කිරීම, වෙනම භාජන භාවිත කිරීම, අත්‍යවශ්‍ය බවද සුදත් සමරවීර මහතා කීය.

    යම් හෙයකින් PCR පරීක්ෂණයට අනුව ආසාදිතයෙකු වුවහොත් රෝගියාට රොහලක් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලබාගෙන තෙක් සේ නිවසේම සුරක්ෂිතව සිටීම අත්‍යවශ්‍ය බවද බවද සුදත් සමරවීර මහතා කීය.

    නිවසේ සිටින රෝගීන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ 1906 හෝ සුවසැරිය 1990 යන අංක වලට කතාකොට වෛද්‍ය උපදෙස් ලබා ගත හැක.

    කොවිඩ් අස්සෙත් සංචාරකයෝ එයි

    0

    මෙම වසරේ මුල් මාස හතර තුළ පමණක් විදේශිකයන් 13,797 දෙනෙක් මෙරට සංචාරය සදහා පැමිණ ඇත.
    ජනවාරි මාසයේ 1682 දෙනෙක්, පෙබරවාරි මාසයේ 3366 දෙනෙක්, මාර්තු මාසයේ 4581 දෙනෙක් සහ අප්‍රේල් මාසයේ 4168 දෙනෙක් වශයෙන් එම සංචාරකයන් මෙරටට පැමිණ තිබේ.

    පසුගිය වසරේ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයන් ගණන 507,704 කි. එම වසරේ දෙසැම්බර් මාසයේ පැමිණ ඇත්තේ සංචාරකයන් 393 දෙනෙක් පමණි. එම වසරේ අප්‍රේල් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කිසිම සංචාරකයෙක් මෙරටට පැමිණ නැත.

    2019 වසරේ පාස්කු ප්‍රහාරයත් සමග සංචාරක කර්මාන්තයට බලපෑමක් එල්ලවූවත් එම වසරේ 1,913,702 ක් සංචාරකයන් මෙරටට පැමිණ තිබේ.

    කොවිඩ් නිසා දුම්රිය ගමන් 20ක් අවලංගුයි

    0
    SONY DSC
    ශ්‍රී ලංකාවේ COVID-19 තත්ත්වය හේතුවෙන් යළි දැනුම් දෙන තුරු රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන් 20 ක් අවලංගු කර ඇත.

    කොවිඩ් පාලන ඇමතිනිය ජනතාවගෙන් ඉල්ලන දේ

    0

    කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය සදහා ඉදිරි සති දෙක තුන තුළ අනවශ්‍ය ගමන් බිමන් වලින් තොරව හැකිතාක් නිවෙස් වලටම වී සිටින ලෙස කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    මෙරට රෝහල් ධාරිතාව උපරිම මට්ටමකට ළඟාවෙමින් ඇතැයි ද ඇය සදහන් කරන්නීය.

    වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා වගකීම ඉෂ්ට කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.මේ වන විට සමාජයෙන් හමුවන කොවිඩ් ආසාදිතයන්ට වැඩි ප්‍රමාණයක් සමාජය තුළ සිටින බවද ඇය පවසන්නීය.

    පී.සී.ආර්. පරීක්ෂණයකින් පසු වාර්තා ලැබෙන තුරු නිවෙස්වලට වී සිටින ලෙසද ජනතාවගෙන් ඇය ඉල්ලා සිටින්නීය.

    කොවිඩ් මරණ 25 ක් වාර්තා වේ

    0

    කොවිඩ් 19 වෛරස ආසාදිත මරණ 25 ක් ඊයේ (05) පමණක් මෙරටින් වාර්තා වී තිබේ. ඒ අනුව දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ගණන වන්නේ එයයි.

    ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරට වාර්තා වී ඇති සමස්ත මණ සංඛ්‍යාව 734 කි.

    හිගුරක්ගොඩ, පොළොන්නරුව, ගෝනගල, බුලත්කොහුපිටිය, දෙවනගල, දකුණු කළුතර, පයාගල, පේරාදෙණිය, කුරණ, ගල්ලෑල්ල,තිරප්පනේ, වත්තල,දුම්මලසූරිය, කිරිබත්කුඹුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් එසේ මිය ගොස් තිබේ.

    ජනතාවට සේවය කරන්න ඕනෙ යැයි කියා නීතිපති කැනඩා යන්න බැහැ කියයි

    0

    මෙරට රැදී සිටිමින් ජනතාවට සේවය කිරීමට තමාගේ කැමැත්තක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම්දෙමින් කැනඩාවේ නව මහ කොමසාරිස් ධුරය නීතිපති දප්පුල ලිවේරා මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

    තව නොබෝ දිනකින් විිශ්‍රාම ගැනීමට නියමිත නීතිපති දප්පුල ලිවේරා මහතාව කැනඩාවේ නව මහකොමසාරිස් ලෙස පත්කිරීමට යෝජනා වී ඇත. ඒ සම්බන්ධයෙන් නීතිපති දප්පුල ලිවේරා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතියද පලකර තිබේ. ජනාධිපතිවරයාට ඔහු සදහන්කර ඇත්තේ යැයි නීතිපති සම්බන්ධිකරණ නිලධාරීනි නිශාරා ජයරත්න මෙනවිය සදහන් කරනු ලැබුවේ නීතිපතිවරයාගේ කැමැත්ත ඇත්තේ මෙරට රැදී සිටිමින් ජනතාවට සේවය කිරීම බවය.

    නිශාරා ජයරත්න මෙනවිය සදහන් කරන්නේ 2019 වසරේ මැයි මාසයේ සිට 2021 වසරේ මැයි මාසය දක්වා දෙවසරතුළ දප්පුල ලිවේරා මහතා සිය නීපතිධූරකාලය තුළ අපරාධ නඩු 27,206 ක් සම්බන්ධයෙන් කටයුතු නිමකල බවය.

    ඉන්දීය මගීන්ට ලංකාවට ඇතුලුවීම තහනම් කෙරේ

    0
    Airport

    වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ නොදීමට රජය පියවර ගෙන තිබේ.

    මේ වන විට මතුවී ඇති බරපතළ covid-19 අවදානම හේතුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම පියවර ගෙන ඇත.

    කොළඹ රථවාහන තදබදය මඩින්න ඩ්‍රෝන කැමරා

    0

    කොළඹ නගරයේ මාර්ග වල නිරන්තරයෙන් ඇතිවන වාහන තදබදය විසදුම් සොයා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව අද උදෑසන හයිලෙවල් මාර්ගය ආශිතව ඩ්‍රෝන කැමරා ගුවන්ගතකර අධික තදබදයන් ඇති මාර්ග හදුනා ගෙන ජංගම පාලන මැදිරියක් හරහා රථවාහන පාලනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සදහන් කළේය.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව මෙම වැඩ සටහන දියත් කර ඇති අතර ඒ තුළින් දිගු වාහන පෝලිම් ඇති මාර්ග හදුනා ගැනීම සිදුවන බව ද අජිත් රෝහන මහතා පැවැසීය.

    මෙහි සාර්ථකත්වය මත ඉදිරියේදී තවත් මාර්ග කිහිපයකට මෙම ව්‍යාපතිය වයාප්ත කෙරනු ඇත.

    පෝට් සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට ලැබෙයි – ලබන 18 දා මැතිසබයට

    0

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලැබී තිබේ.

    කථානායකවරයා කියා සිටියේ ඊයේ (බදාදා) රාත්‍රියේ අධිකරණ තීන්දුව බලාත්මක කළ බවයි.

    කතානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මැයි 18 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය අපේ‍්‍රල් 23 වන දින අවසන් කර තිබුණි.

    ශ්‍රේෂ්ඨාධිකරණය පසුව පවසා තිබුණේ පනත් කෙටුම්පත පිළිබඳ සිය තීරණය පාර්ලිමේන්තු කථානායකවරයාට දැනුම් දෙන බවයි.

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත අභියෝගයට ලක් කරමින් පාර්ශව ගණනාවකින් පෙත්සම් කිහිපයක් ගොනු කරන ලදී.

    පෙත්සම් ගොනු කළ අය අතර එක්සත් ජාතික පක්ෂය , සමගි ජන බලවේගය (එස්.ජේ.බී.), විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, පූජ්‍ය මුරුත්තෙටුව ආනන්ද හිමි සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (එස්එල්පීපී) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ විජයදාස රාජපක්ෂ යන අය පෙත්සම් ගොනු කළ අය අතර වූහ.

    අනුරාධපුරයේ බැංකු කොල්ලයක් ව්‍යාර්ථවේ

    0

    අනුරාධපුර නව බස් නැවතුම්පොල ආසන්නයේ පිහිටි පුද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයකට මුදල් ඇතුලත් කිරීමට පැමිණි පෞද්ගලික ආයතනයක ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට මිරිස්කුඩු ගසා එම මුදල් කොල්ලකෑමට අද (06) උදෑසන ගත් උත්සහයක් ව්‍යර්ථවී තිබේ.

    එහිදී කොල්ලකරුවෙක් සහ ආරක්ෂක නිලධාරියෙක් අතර සිදුවූ පොර බැදීමකදී ආරක්ෂක නිලධාරියෙක් වෙඩි වැදීමකටද ලක්ව ඇත.

    ඒ.ටී.එම්. යන්ත්‍රවලට මුදල් තැන්පතු කිරීමේ කටයුත්ත භාරව ඇත්තේ පුද්ගලික සමාගමකටය. එම සමාගම දෛනිකව ඒ.ටී.එම්. යන්ත්‍රවලට මුදල් තැන්පත් කරයි. ඒ අනුව අද උදෑසන 6.31 ට පමණ අදාල සමාගමේ ආරක්ෂකයින් මුදල් බහාලූ පෙට්ටිය බහාලූ බෑගය රැගෙන ඒ.ටී.එම්. යන්ත්‍රය තුළට ඇතුළුවනවාත් සමග ඒ තුළ සිටි පුද්ගලයෙක් මිරිස් කුඩු ප්‍රහාරයක් ආරක්ෂක නිලධාරියාට එල්ලකර කර බෑගය උදුරාගෙන තිබේ. එම අවස්ථාවේදී ආරක්ෂකයින් පැමිණි වෑන් රථය ආසන්නයේ රැදී සිටි තවත් ආරක්ෂකයෙක් සිය ගිනි අවියද රැගෙන මුදල් බෑගය පැහැරගත් පුද්ගලයාගේ ඇගට පැන පොර බදා ඇත. ඒ අවස්ථාවේදී ඒ.ටී.එම්.යන්ත්‍රය පිහිටි බැංකුවේ ආරක්ෂක නිලධාරියා දුවගෙන විත් බෑගය රැගෙන බැංකුව තුළට රිංගා දොරගුළු ලාගෙන තිබේ. ඒ නිසා රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් බේරා ගැනීමට හැකියාව ලැබී ඇත.

    කොල්ලකරු පැමිණ ඇත්තේ යතුරු පැදියකින් බවත් ඔහු සමග තවත් අයෙක් පැමිණ ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී ඇත. හිස් වැසුම් දමා මුහුණු ආවරණ පැලද සිටීම නිසා පැහැදිලිවම කොල්ලකරුවන් හදුනා ගැනීමට ලැබී නැත. ඔවුන් සපත්තු පැලද බොටම් කලිසම් හැද ටීෂර්ට් වලින් සැරසී සිට ඇත. බැලූ බැල්මට ඒ අය ආරක්ෂක අංශයකට සම්බන්ධ හෝ සම්බන්ධව සිටි අය බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. මෙම කොල්ලය නිසි සැලසුමකට අනුව සිදුව ඇතැයිද පෙනී යන බව එම නිලධාරියා කීය. මිරිස්කුඩු ගැසූ පුද්ගලයා ඒ.ටී.එම්. යන්ත්‍රය තුළද ඇතුළුවන්නේ මුදල් රැගත් වෑන් රථය එම ස්ථානයට එන්නට සුළු වේලාවක් තුළදී බවත් වෑන් රථය එහි පැමිණෙන වේලාව හොද හැටි දැනගෙනම මෙම කොල්ලය සැළසුම්කර ඇතැයි පෙනී යන බවත් එම නිලධාරියා සදහන් කළේය.

    ආරක්ෂක නිලධාරියා සමග පෙර බැදූ පුද්ගලයා පළා යන්නේ උඩ පැනිමින් අපහසුවෙන් බව ආරක්ෂක කැමරා පරීක්ෂාවේදී පෙනී යන බවත් බොහෝ විට ඒ පුද්ගලයාගේ පිදයටද වෙඩි වැදී ඇති බව විශ්වාස කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

    ලොක්ඩවුන් ප්‍රදේශ ගණන 102 දක්වා ඉහළ යයි

    0

    කොත්මලේ පොලිස් වසමට අයත් පනන්ගම ග්‍රාම නිලධාරී වසම සහ ත්‍රිකුණාමලය පොලිස් වසමේ සුබද්‍රාලංක මාවත ග්‍රාම නිලධාරි වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

    කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම හුදෙකලා කිරීම සිදුකරනු ලබන බවද  යුද හමුදාපතිවරයා සඳහන් කර සිටි

    මේ වන විට දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 102ක් හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත.

    තවත් කොවිඩ් මරණ 14ක්

    0
    Covid death

    මෙරට කොරෝනා ආසාදිත මරණ
    සංඛ්‍යාව 734ක්‌ දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ තවත්‌ මරණ 14ක්‌ ඊයේ වාර්තා
    වීමත්‌ සමගයි.

    මියගොස්‌ ඇත්තේ වයස අවුරුදු
    51, 35, 66, 70, 82, 75, 42 සහ 84
    වයස්වල පසුවන කාන්තාවන්‌ 8දෙනෙකු සහ අවුරුදු 76, 70, 55,
    66, 67, 87 වයස්වල පිරිමි පුද්ගලයන්‌ 6 දෙනෙකි.

    අගමැති මහින්ද ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට

    0

    ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අද (05) පස්වරුවේ පැවති 54 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී 2021/2022 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේරී පත් වී ඇත.

    මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම තනතුරට පත්වනවිට ශ්‍රී ලංකාවේ ආසියානු සංවර්ධන බැංකු (ADB) අධිපතිධුරය හොබවමින් සිටියේය.

    ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවැත්වීමට නියමිතව තිබූ මෙම වාර්ෂික මහා සභා රැස්වීම වර්තමානයේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වා තිබේ.

    ඔස්ට්‍රියාවේ සහ මොන්ගෝලියාවේ ඒ.ඩී.බී අධිපතිවරුන් මෙම රැස්වීමේ දී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු ලෙස තේරී පත්වූහ.

    ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන වසරේ කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇත. එතෙක් මෙම ධුරය අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ඇත.

    ජගත් සංවිධානයේ මෙරට නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙති

    0

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හනා සිංගර් මහත්මිය ඇතුළු  පිරිසක් අද (05) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සාකච්ඡාවක් පැවැත්වීය.

    විපක්ෂ නායක කාර්‍යාලයේදී පැවතීම සාකච්ඡාවේදී වර්තමානයේ උද්ගතව තිබෙන තත්වය හා කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළ බව වාර්තා වේ.

    කොවිඩ් ආසාදිත ගැබිණි මවක් මිය යයි

    0

    කොවිඩ් 19 වෛරස ආසාදිත ගැබිණි මවක් අද (05) අලුයම මියගොස් ඇත. ඒ අනුව මෙම මරණය වාර්තාවන්නේ කොවිඩ් 19 ආසාදිත පළමු ගැබිණි මරණය ලෙසිණි.
    මෙලෙස මියගොස් ඇත්තේ රාගම, බටුවත්තේ පදිංචිවි සිටි 45 වියැති ගැබිණි මවකි.

    මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ලක්ෂය පනී

    0

    කොවිඩ් 19 වෛරසය ආසාදිතව රෝහල්ගතකර ප්‍රතිකාර ලබා සුවය ලැබූ සංඛ්‍යාව අද(05) වන විට ලක්ෂය ඉක්මවිය.

    සුවය ලබා අද දින රෝහල්වලින් පිටව ගිය 922 දෙදනො සමග මේ වන විට සුවය ලැබූ කොවිඩ් 19 ආසාදිතයන්ගේ ගණන 100075 කි.

    මේ වන විට කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 115,590 ක් මෙරටින් හමුවී තිබේ. ඒ අයගෙන් 14795 දෙනෙක් අද සවස් වන විටත් ප්‍රතිකාර ලබමින් සිටියහ.

    අද කොවිඩ් මරණ 11ක්

    0
    covid death

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

    ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 720කි.

    මාලබේ එකම පවුලේ තුනක් කොවිඩ් වලින් මරුට

    0

    කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් මාලබේ උඩවත්තේ පදිංචිව සිටි එකම පවුලේ තිදෙනෙකු මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ අඹු සැමි යුවලක් සහ එම යුවලගේ සහෝදරියක් බව සදහන්ය. ඒ අය වයස අවුරුදු 82 ත් 96 ත් අතර පසුවන්නන්ය.

    කොවිඩ් 19 වෛරසය ආසාදිතව පසුගිය අප්‍රේල් 22 වනදා එම තිදෙනා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර තිබේ. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 3 වනදා ඔවුන් මියගොස් ඇත.

    අඹුසැමි යුවලගේ දියණිය, ඇයගේ සැමියා සහ ඔවුන්ගේ පුත්‍රයා ද මේ වනවිට කොවිඩ් වෛරසය ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.