තවත්

    බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වය ගේන්න මණ්ඩ ලය බරටම වැඩ

    0

    රටටම බලපෑ විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට විදුලිබල මණ්ඩලය අවශ්‍ය පියවර ගනිමින් සිටින බව එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

    ඉදිරි පැය කිහිපය තුළ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාස කරයි.

    රටටම විදුලිය බිඳවැටෙයි

    0

    මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිද වැටී තිබේ.

    කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර,කුරුණෑගල, යාපනය, හම්බතොට, වව්නියාව, කිලිනොච්චිය, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, රත්නපුර, කෑගල්ල, ගාල්ල ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ විදුලිය නොමැති බව අප වාර්තාකරුවන් සදහන් කරති.

    විදුලිය බිද වැටීමට හේතුවක් මෙතෙක් විදුලිබල බල මණ්ඩලය ප්‍රකාශකර නැත.

    මේ වන විට විදුලි ඉංජිනේරුවරුන් සිටින්නේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙමිනි.

    ඔමික්‍රෝන් රෝගියෙක් මෙරටින් හඳුනාගනී

    0

    දැඩි විකෘති භාවයකින් යුක්ත ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෙක් මෙරටින් හමුවී ඇත.

    දකුණු අප්‍රිකාවේ සිට පැමිණි ශ්‍රී ලංකිකයෙකු සම්බන්ධයෙන් කරුණු ජාන විශ්ලේෂණයකදී ඒ බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

    අදාල පුද්ගලයා මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපොළේදී කළ පී.සී.ආර්. පරීක්ෂා ප්‍රතිඵල විශ්ලේෂණයේදී මේ බව අනාවරණය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    මේ වන විට ලොවපුරා රටවල් 27 කින් ඔමික්‍රෝන් ආසාදිතයන් හමුවී ඇති අතර එම රටවල් අතරට ඒ අනුව ශ්‍රී ලංකාවද අද සිට ඇතුලත් වනු ඇත.

    කොටි වලදැමූ රත්තරන් සොයා පැමිණි 08 ක් එස්.ටී.එෆ්. දැලේ

    0
    arrested

    යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය වල දමන ලදැයි සැකකරන අවි ආයුධ සහ රත්ත්‍රං සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයින් අට දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මාවඩිච්චේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම කැණිම් කටයුත්ත ඊයේ රාත්‍රීයේ සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස නාවලපිටිය, තබලගමුව, ත්‍රිකුණාමලය, වෙරුගල්, තෝපුර්, ගොපූර්, මුතූර් යන ප්‍රදේශ වල පදිංචිකරුවන්ය. ඔවුන් වයස අවුරුදු 31 ත් 56 ත් අතර පසුවන්නන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    කැණිම් සඳහා යොදාගත් උදළු, සවල්, අලවංගු, යකඩ කම්බි කූරු යන භාණ්ඩ ද සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් විමර්ශන කටයුතු සඳහා ඊච්චලම්පත්තු පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

    මෙයට මාසයකට පමණ පෙරද ඒ ආසන්න ප්‍රදේශයේදී කැණිම් කටයුත්තකට පැමිණ සිටි පිරිසක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එම සැකකරුවන් සතුව තිබී පොලොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් හදුනා ගැනීමට භාවිතාකරන අති නවීන උපකරණයක්ද තිබී ඇත.

    එදා අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනෙක් අතර මාතර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටි සිවිල් සේවකයෙන්ද සිට ඇත.

    විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ වව්නියාව කලාපය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.එම්. ගුණරත්න මහතාට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය වාක‌‌‌‌‌රේ කඳවුරේ පොලිස් පරික්ෂක කේ.එම්.එන්.පී. සදකැළුම් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර තිබේ.

    සිනමාව – වේදිකාව – පුංචි තිරේ අද්විතීය කලාකරුවෙක් දිවිසැරිය නිමකරයි

    0

    ප්‍රවීණ රංගන ශිල්පියෙක්වන සම්පත් තෙන්නකොන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.

    වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වූ ඒ මහතා මිය යන විට 62 වන වියේ පසුවිය.

    අභාවප්‍රාප්ත වූ සම්පත් තෙන්නකෝන් මහතාගේ අවසන් කැමැත්තට අනුව දේහය පළිබද අවසන් කටයුතු පැය 24 ක් තුළ සිදු කිරීමට නියමිතය.

    සිනමාව, වේදිකාව හා රූපවාහිනිය යන මාධ්‍ය තුළින් සිය රංගන ප්‍රතිභාව විදහා දක්වමින් සුවහසක් ප්‍රේක්ෂක ජනතාව පිනවූ අද්විතීය කලාකරුවෙක් වන සම්පත් තෙන්නකෝන් මහතා පසුගිය දිනවල දැඩි ලෙස රෝගාතුරව සිටියේ රෝහල්ගතවය.

    වේදිකා නාට්‍ය 50 කට වැඩි ප්‍රමාණයකට සිය රංග ප්‍රතිභාවෙන් පණ පොවා ඇති සම්පත් තෙන්නකෝන් මහතා කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයකි.

    හම්බන්තොට සහරාන්ගේ කඳවුරෙන් අන්තවාදී පුහුණුව ලැබූවෙක් කොටුවේ

    0

    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු බව කියන සහරාන් විසින් හම්බන්තොට සිප්පුකුලමේ පවත්වාගෙන ගිය අන්තවාදී පුහුණු කඳවුරෙන් පුහුණුව ලැබූ තරුණයෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ මහනුවර ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මහනුවර හිඟුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු 25 වන වියේ පසුවන්නෙකි. 2018 වසරේදී ඔහු එම පුහුණු කදවුරේදී අන්තවාදය සම්බන්ධයෙන් පුහුණුව ලබා ඇති බව හෙළිවී තිබේ.

    සැකකරුව රදවාගෙන විමර්ශන පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ජනපති අද අබුඩාබියි බලා පිටත්වෙයි

    0

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා අද (03) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබි නුවරදී හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින මෙම සමුළුව පැවැත්වේ.

    “පරිසරය, ආර්ථිකය, වසංගතය”මෙවර සමුළුවේ තේමාව වේ.

    දේශගුණික විපර්යාස වල වර්ධනයත් සමඟ එම තර්ජනයන්ට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී සාකච්ඡාවට ලක්වනු ඇත.

    හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා. මෙවර සමුළුව රනිල් වික්‍රමසිංහ මහතා ඇමතීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.

    අද එන්නත් මධ්‍යස්ථාන 143ක්

    0
    Vaccine

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 143කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 03.12.2021

    ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට සැපයුම තාවකාලිකව අත්හිටුවයි

    0

    ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

    රජයේ කළ දැනුම්දීමක් පරිදි මෙම පියවර ගත් බව එම සමාගම පවසා ඇත.

    කෙසේ වෙතත් ලාෆ් ගෑස් සමාගම පවසන්නේ එවැනි දැනුම් දීමක් තම සමාගම වෙත මෙතෙක් ලැබී නොමැති බවයි.

    රට පුරා විදුලි සේවකයෝ ලබන සතියේ ලෙඩ වෙති

    0

    දිවයින පුරා සේවය කරන ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සේවක සේවිකාවෝ මේ මස 8 වැනි දින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

    කෙරවලපිටියේ පිහිටි යුගදනවි බලාගාරයේ කොටස් අයිතිය ඇමෙරිකානු සමාගමකට ලබා දීමට විරෝධය දැක්වීමක් ලෙස මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රජයන් ජයලාල් මහතා පැවසීය.

    රටපුරා සේවය කරන විදුලි සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර එදින කොළඹට රැස්වී ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සහ කොළඹ නගරයේ විරෝධතා පාගමනක් දියත් කරන බව රන්ජන් ජයලාල් මහතා කීය.

    යුගදනවි බලාගාරයේ කොටස් අයිතිය ඇමෙරිකානු සමාගමකට ලබා නොදෙන්නැයි ඉල්ලමින් අත්සන් කළ පෙත්සමක් ද එදින ජනාධිපති කාර්යාලයට භාර දෙන බවද ඔහු සඳහන් කළේය.

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-03

    0
    ලොව පළමු මිනිස් හදවත් බද්ධය දකුණු අප්‍රිකාවේදී සාර්ථකව සිදු කරන ලද්දේ 1967 දෙසැම්බර් 03 වන දිනයි
    ලොව පළමු මිනිස් හදවත් බද්ධය දකුණු අප්‍රිකාවේදී සාර්ථකව සිදු කරන ලද්දේ 1967 දෙසැම්බර් 03 වන දිනයි

    ලොව පළමු මිනිස් හදවත් බද්ධය දකුණු අප්‍රිකාවේදී සාර්ථකව සිදු කරන ලද්දේ 1967 දෙසැම්බර් 03 වන දිනයි

    Airtel Freedom වෙනස අත්විඳින්න

    0

    සන්නිවේදන නිම්වළලූ පුළුල් වීමත් සමඟ ජංගම දුරකතනයත් අන්තර්ජාලයත් මිනිසාට නැතිවම බැරි අවශ්‍යතාවයන් බවට පත්විය. මේ වන විට මානව අවශ්‍යතාවයන් බොහොමයක් සිදුවන්නේ මාර්ගගත ක‍්‍රමය (online) ඔස්සේ බව අමුතුවෙන් කිව යුතු නැත.

    කොවිඞ් වසංගතයක් සමඟ අධ්‍යාපන කටයුතු මෙන්ම කාර්යාලීය කටයුතු පවා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ සිදු කරන්නට සිදු වීමත් සමඟ අන්තර්ජාලය සහ ජංගම දුරකතන භාවිත කරන්නන් ගේ ප‍්‍රමාණය පෙරදාට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

    මෙලෙස තාක්ෂණය සමඟ ගනුදෙනු කිරීමේදී ඇතිවන ප‍්‍රධානම ගැටලූව වන්නේ අන්තර්ජාල සහ ජංගම දුරකතන සබඳතා වෙනුවෙන් පාරිභෝගිකයන්ට විශාල පිරිවැයක් ගෙවීමට සිදු වීමයි. ආසන්න වශයෙන් දිනකට recharge කිරීම් මිලියන තුනකට ආසන්න ප‍්‍රමාණයක් භාවිත කරන බවට සමීක්ෂණවලින් හෙළි වී ඇත. එය ලංකාවේ මිලියන දාහතරක් වන වැඩිහිටි ප‍්‍රමාණය ඉක්මවා ගිය සංඛ්‍යාවකි. මෙලෙස අන්තර්ජාලය භාවිත කරන්නන් ගේ ප‍්‍රමාණය වැඩිවීම සහ recharge කිරිමේ වාර ගණන වැඩි වීමත් සමඟ මේ වන විට වෙළෙඳපලේ රීචාජ් කාඩ් විකිණීමද සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇත.

    විවිධ පැකේජ වලින්, විවිධ මුදල් ප‍්‍රමාණ වලින් විවිධ වර්ගයේ රීචාර්ජ් වර්ග වෙළෙඳපොළට එක්වී ඇත.
    ‘‘කොවිඩ් වසංගතය ආරම්භ වීමත් සමඟ ජංගම දුරකතන මිලදී ගන්නන්ගේ ප‍්‍රමාණය ද වැඩිවිය. ඒත් එක්කම internet package පිළිබඳව පාරිභෝගිකයන් වැඩි දෙනෙක්ගේ අවධානය යොමු විය.

    ‘‘Zoom වලින් පංතිවලට සහභාගි වෙද්දී 99 ඩේටා කාඩ් එක ඉක්මනින් ඉවර වෙනවා. ඒ නිසා පැකේජ් වලට යන්න ළමයිට සිද්ධ වෙනවා. පැකේජ් කිහිපයක් අත්හදා බලන්න අපිටත් සිද්ධ වුණා. සමහර ඒවට සිග්නල් නෑ. සමහර පැකේජ් ඉක්මනින් ඉවර වෙනවා. තවත් සම්බන්ධතා තියෙනවා ඒවා slow වෙනවා .මේ නිසා ඔන්ලයින් ක‍්‍රමයට ඉගෙන ගනිද්දි දුරකතන සම්බන්ධතා නිසා බොහෝ ගැටලූවලට මුහුණ දෙන්න සිද්ධ වුණා” මේ මාර්ගගත ක‍්‍රමයට අධ්‍යාපනය ලබන උසස් පෙළ සිසුවෙකුගේ අත්දැකීමකි.

    බොහෝ ගුරුවරුන් මෙන්ම රජයේ සේවකයනුත් පුද්ගලික අංශයේ රැකියා කරන පිරිසත් පවසා සිටියේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා සහනදායි මෙන්ම ඵලදායි දුරකතන සබඳතාවයක් තවමත් තීරණය කිරීමට අපහසු බවයි.

    වෙළෙඳපොළේ තිබෙන recharge කාඩ් පත් සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළ යාම සමඟ සාමාන්‍ය ඇමතුම් පිළිබඳව හා ඩේටා භාවිතය පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීමට පාරිභෝගිකයන්ට නොහැකිවීම නිසා මිලදී ගන්නා දේ හා එයට ලැබෙන ප‍්‍රතිලාභ පිළිබඳවද ඔවුන්ට අවබෝධයක් ලබාගත නොහැකිය.

    මෙලෙස දවසින් දවස පරිභෝජනය වැඩි වන රීලෝඩ් උගුලෙන් පාරිභෝගිකයන් මුදා ගැනීම සඳහා එයාර්ටෙල් සමාගම සුවිශේෂී හඳුන්වාදීමක් කර තිබේ.

    එය පාරිභෝගිකයන්ට කොන්දේසි විරහිතව මාසයක් පුරාවට ප‍්‍රමාණවත් මෙන්ම අමතර ඩේටා සහ ඇමතුම් ප‍්‍රතිලාභ ලබා දෙන එයාර්ටෙල් සුවිශේෂී Freedom Pack ය.

    මෙම නවතම පැකේජය විවිධ කාණ්ඩ හතරක් ඔස්සේ පරිශීලක අවශ්‍යතා වලට ගැලපෙන අයුරින් හදුන්වා දී ඇති අතර පස් ගුණයකට වඩා වැඩි වටිනාකමක් සහිත අසමසම පාරිභෝගික අත්දැකීමක් ලබා ගැනීමට එමගින් පාරිභෝගිකයාට හැකිවනු ඇත. සමාජ මාධ්‍ය, නිවසේ සිට වැඩ කිරීම, නිවසේ සිට අධ්‍යාපනය ලැබීම වැනි ඕනෑම අන්තර්ජාල අවශ්‍යතාවක් සඳහා මෙම පැකේජය භාවිත කළ හැකිය.

    සියලූම කාර්යයන් සඳහා අධිවේගී දෛනික ඩේටා ලබා දීම මෙහි විශේෂත්වයයි. එමෙන්ම සාමාන්‍ය දුරකතන ඇමතුම් සඳහා එයාර්ටෙල් ජාල සඳහා අසීමිත ඇමතුම් හා වෙනත් ඕනෑම දුරකතන ජාලයකට ඇමතුම් ලබා දීමේදී ප‍්‍රමාණවත් මිනිත්තු හා කෙටි පණිවිඩ ගණනක් ලබා දී ඇත.මීට අමතරව සාමාන්‍ය පරිශීලකයන් සඳහා freedom lite මගින් ඔවුන්ගේ ජංගම දුරකතන භාවිතයට ප‍්‍රමාණවත් පරිදි සකස් කරන ලද පැකේජ දෙකක් ලබා දෙයි. එමෙන්ම Airtel Freedom Pack වල ඇති තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ මෙම පැකේජ ඔස්සේ ලබාදී ඇති නියමිත කාලය ඉක්මවා වෙනත් ජාලවලට ලබා ගන්නා ඇමතුම් සඳහාද 66%කින් බදු අඩු කර තිබීමයි.

    එමෙන්ම Airtel විසින් මෙම සුවිශේෂී පැකේජයේ පවතින ඩේටා භාවිතාව ඉක්මවා අමතර ඩේටා බලාපොරොත්තුවන පාරිභෝගිකයන් සඳහා ආකර්ෂණීය මිලකට data top up කාඩ්පත්ද හඳුන්වාදී තිබේ. එසේම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට භාවිත නොකළ ඩේටා ඊළඟ බිල්පත් දක්වා ගෙන යාමේ පහසුකම Airtel විසින් සිය පසුගෙවුම් පාරිභෝගිකයන්ට ලබාදී තිබේ.

    2009 වසරේ ආරම්භ කළ දා සිට ශ‍්‍රී ලංකාව තුළ සිදුකරන ලද විශාලතම හා තනි ආයෝජනය ලෙස මෙම Freedom Packs හඳුන්වා දිය හැකිය. Airtel හි purpose built 4G සේවාව මඟින් 99%ක්ම buffering නොමැතිව වීඩියෝ නැරඹීමේ හැකියාව සහ 4G සංඥා මගින් වැඩි දියුණු කළ අසමසම ගෘහස්ථ ආවරණ ඇතුළු පරිශීලකයාට සුපිරි අත්දැකීමක් ලබා දීම අපේක්ෂාව වී තිබේ.

    ‘‘මම දුරකතන සම්බන්ධතා කිහිපයක්ම පාවිච්චි කළා. කොවිඩ් නිසා වැඩියෙන්ම නිවසේ සිට ඔන්ලයින් තමයි ඔෆිස් එකේ වැඩ කරන්න සිද්ධ වුණේ. සාමාන්‍යය ඩේටා කාර්ඩ් එකක් දා ගත්තාම පැය දෙකක් තුනක් යන්නත් කලින් ඩේටා ඉවරයි. පැකේජ් එකකට මාරු වුනාමත් විවිධ ප‍්‍රශ්න ආවා. වෙලාවකට කනෙක්ෂන් ගැටලු, තවත් වෙලාවකට ඩේටා ලිමිට් කරනවා. ඒ නිසා අන්තර්ජාල භාවිතය එපා වෙලා තිබුණේ. එයාර්ටෙල් අලූත් පැකේජ් එක දාගෙන දැන් දවස් කීපයක් වෙනවා. දැන් වෙනදට වගේ ඉන්ටර්නෙට් ප‍්‍රශ්න නැහැ” යැයි පුද්ගලික ආයතනයක සේවය කරන ජී. පුෂ්පකුමාර මහතා පවසයි.

    freedom 4G pack මගින් කාර්යාලයේ කටයුතු සඳහා මෙන්ම අධ්‍යාපන කටයුතු සඳහාද සුවිශේෂී සහන රැසක් හිමි කර දෙයි.

    උසස් පෙළ තාක්ෂණවේදය හදාරන අමිල දේශප‍්‍රිය එයාර්ටෙල් freedom 4G pack පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

    ‘‘දවසම Zoom වලින් ක්ලාස්වලට සම්බන්ධ වෙනවා. ප‍්‍රැක්ටිකල් වලටත් අනිවාර්යයෙන් හොඳම තත්වයේ ඩේටා කනෙක්ෂන් එකක් තියෙන්න ඕනෑ. slow වුණොත් වැඩ කර ගන්න අමාරුයි. සමහර වෙලාවට වැඩ කර කර ඉද්දි ඩේටා ඉවර වෙලා. ඉවර වෙන්න තියෙන දිනේටත් කලින් ඩේටා ඉවර වෙන අවස්ථා තියනවා. එයාර්ටෙල් අලූතෙන් හඳුන්වා දුන්න පැකේජ් එක මේ ප‍්‍රශ්න වලට විසඳුමක් වෙයි කියලා හිතනවා. ඒ නිසා මමත් අලූත් පැකේජ් එකට මාරු වුණා.”
    Airtel අලූත් පැකේජ් එක දරුවන්ට වගේම ගුරුවරුන්ටත් වාසිදායක පැකේජ් එකක්. දරුවන්ට පැවරුම් යවද්දී Zoom වලින් උගන්වද්දී සෑහෙන ඩේටා ප‍්‍රමාණයක් යනවා. සමහර වෙලාවට උගන්න උගන්න ඉද්දි ඩේටා ඉවර වෙනවා. එහෙම නැත්නම් ස්ලෝ වෙනවා. ඩේටා විතරක් නෙමේ normal card එකක් දැම්මත් කෝල් එකක් දෙකක් ගද්දි සල්ලි ඉවරයි. Airtel වලින් හඳුන්වා දුන්නු ලාභදායක සේවාවන් නිසා පාරිභෝගිකයන්ට සහන රාශියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අධිවේගී අන්තර්ජාල පහසුකම් අත් විඳින්නත් පුළුවන් යැයි උපකාරක පන්ති ගුරුවරයකු වන තුෂාර මහතා පවසයි.

    ඒ අනුව අන්තර්ජාලයට ප‍්‍රවේශ වීම සඳහා මෙන්ම සාමාන්‍ය ඇමතුම් සහ කෙටි පණිවිඩ යැවීමේදී ඇති වූ බොහෝ ගැටලූ වලට මෙමගින් විසඳුමක් ලැබී තිබෙන බව පැහැදිලිය.

    ගෑස් නියාමනයට PUCSL සූදානම් – ප්‍රමිතිය දැනටමත් හදලා

    0

    ගෑස් නියාමනයට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සුදානම් යැයි සභාපති ජනක රත්නායක මහතා කියයි.

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මේ වන විටත් එල්පී ගෑස් සදහා ප්‍රමිති සකස් කර ඇති බව එහි සභාපති ජනක රත්නායක මහතා කීය.

    එහෙත් එම ප්‍රමිති බලාත්මක කිරීම සදහා කොමිෂන් සභාව වෙත නීතිමය බලතල නොමැති බවද පැවසීය.

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධීක්ෂණය ඇතිව සකස් කල එල්පී ගෑස් ප්‍රමිති වහා ක්‍රියාවට නැගීමෙන් කඩිනමින් එල්පී ගෑස් පාරිභෝගික ආරක්ෂාව තහවූරු කල හැකි ය.

    ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පටිපාටි අනුව එල්පී ගෑස් ප්‍රමිති කෙටුම්පත් කර ඇති අතර මහජන උපදේශනයකින් ද පසුව මේ වන විට අවසන් කෙටුම් පත සකස් කර තිබේ.

    ගෑස් සිලින්ඩරවල උපරිම පීඩනය, ප්‍රොපේන් සහ බියුටෙන් සංයුතියේ ප්‍රශස්ත අනුපාත ආදි එල්පී ගෑස් සිලින්ඩර භාවිතයේදී පාරිභෝගික ආරක්ෂාවට අදාල සියලුම කොන්දේසි නව ප්‍රමිති වලට ඇතුළත් බව එම කොමිෂන් සභාව කියයි.

    මීට අමතරව සිලින්ඩරවල තත්වය සහතික කල දිනය පවා එහි සදහන්කල යුතු බව යාවත් කාලීන ප්‍රමිතිවල සදහන් වේ.

    යාවත්කාලීන කල එල් පී ගෑස් ප්‍රමිති සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා,

    “එල්පී ගෑස්වලට අදාලව පැරණි ප්‍රමිතියක් තිබුණා. එය පවා තවමත් නීත්‍යානුකුල නැහැ. ඒ්කට හේතුව එල්පී ගෑස් නියාමනය සදහා නියාමන බලතල සහිත ආයතනයක් නොමැතිකම. එල්පී ගෑස් ඇතුළු ඛණිජතෙල් කර්මාන්තය නියාමනය සදහා 2002 දී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නම් කර තිබෙනවා. එහෙත් අද දක්වා කොමිෂන් සභාවට නීත්‍යානුකූල ව මේ ක්ෂේත්‍රය නියාමනය සදහා නීතිමය බලතල ලබාදී නැහැ.

    කෙසේ වෙතත් 2019 දී අපි ආරම්භ කලා ඛණිජ තෙල් නිෂ්පාදන සදහා ප්‍රමිති කෙටුම්පත් කිරීම. මේ වන විටත් එල් පී ගෑස් සදහා පමණක් නෙවෙයි පෙට්‍රල් ඩීසල් ආදී නිෂ්පාදන සදහා ද ශ්‍රී ලංකා ප්‍රමිති සකස් කර අවසන්. මේ නිෂ්පාදන භාවිතයේදී පාරිභෝගික ආරක්ෂාව සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා මේ ප්‍රමිති බලාත්මක කල යුතු යි. මේවා බලාත්මක කිරීම සදහා නියාමන බලතල සහිත ආයතනයක් අවශ්‍යයි”

    1998 පෙර ප්‍රමිතිය (SLS 712) වාණිජ ප්‍රොපේන්, වාණිජ බියුටේන්, ප්‍රොපේන් සහ බියුටේන් මිශ්‍රණය සහ විශේෂ රාජකාරි ප්‍රොපේන් භාවිතය සඳහා පිරිවිතරයක් සපයයි. කෙසේ වෙතත්, ගෘහස්ථ ආහාර පිසීම සඳහා ප්‍රොපේන් සහ බියුටේන් කිසිදු අනුපාතයක් එහි අනිවාර්‍යය කර නැත.

    පාරිභෝගික ආරක්ෂාව කඩිනමින් තහවුරු කිරීම සදහා ඛණිජතෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කර ගෑස් වෙළදපොල නියාමන බලතල ශ්‍රී ලංකා මහජන කොමිෂන් සභාවට පැවරිය හැකි බවද ජනක රත්නායක මහතා පෙන්වා දෙයි.

    ඛනිජ තෙල් කර්මාන්තය නියාමනය කිරීම සඳහා වූ පනත නීතිපති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් කර නීතිපතිවරයා විසින් අනුමත කර ඇත්තේ 2012 වසරේදීය.

    ඒ සදහා මෙතෙක් පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන නැති අතර 20 වන ආණ්ඩු ක්‍රම සංශෝධනයෙන් අනතුරුව එම පනත් කෙටුම්පත 20 වන සංශෝධනයට අනුකූල දැයි යන්න නීතිපතිවරයා විසින් නැවත සහතික කල යුතු ය.

    ඉන් අනතුරුව යෝජිත සංශෝධිත පනත් කෙටුම්පත සදහා පාර්ලිමේන්තුවේ සම්මත කලහොත් ගෑස් නියාමනය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරෙනු ඇත.

    ඛණිජ තෙල් නිෂ්පාදන පාරිභෝගික ආරක්ෂාව සදහා අයිතිවාසිකම් ප්‍රකාශනයක් ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

    එසේම මෙතෙක් අඩුපාඩුවක්ව පැවතී ඛණිජ තෙල් නිෂ්පාදන පාරිභෝගිකයින්ගේ පැමිණිලි විසදීම සදහා යාන්ත්‍රණයක් ද ඊයේ (01) සිට ක්‍රියාත්මක බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

    ගෑස් පිපිරීම් ගැන හොයන ජනපති කමිටුවෙන් ජනතාවට පණිවුඩයක්

    0

     

    ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපාරායාම් පිළිබඳ 0115811926 සහ 0115811929 දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ගෑස් අශ්‍රිත පුපුරා යෑම් විමර්ශනයට පත් කළ ජනපති කමිටුව ජනතාවට දැනුම් දී තිබේ.

    එමෙන්ම අනතුරු වළක්වා ගැනීම සඳහා ගත යුතු හදිසි පියවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා උපදෙස් මාලාවක් එම කමිටුව නිකුත් කර තිබේ.

    මොරටුව විශ්වවිද්‍යාලයේදී ඊයේ (1) එම කමිටුවේ සියලු සාමාජිකයින් රැස්වූ අවස්ථාවේ ඒකමතිකව මෙම උපදෙස් මාලාව නිකුත් කිරීමට තීරණය කළ බව එම කමිටුවවේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    එම උපදෙස් මාලාව පහත දැක්වේ.

    ඔමික්‍රෝන් ඉන්දියාවටත් එයි

    0

    ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු අද දිනයේදී ඉන්දියාවෙන් වාර්තා වූ බව එරට සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කරයි.

    ආසාදිත පුද්ගලයින් දෙදෙනො විදෙස් සංචාරයකින් පසු යළි එරටට පැමිණි අය බවත් ඔවුන් අවුරුදු 66 සහ 46 යන වයස් වල පසුවන්නන් බවද ඉන්දීය සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

    ආසාදිතයින්ගේ පළමු පෙළ සහ දෙවන පෙළ ආශ්‍රිතයින්ද මේවන විටත් පරීක්ෂාවට ලක්කර ඇති බවත් ඔවුන් සියලුදෙනා විශේෂයෙන් නිරීක්ෂණයට ලක්කර ඇති බවද ඉන්දීය රජය පවසයි.

    ඔමික්‍රෝන් ආසාදිත පුද්ගලයින් දෙදෙනා තත්ත්ව බරපතල නොවන බවද ඉන්දීය රජය සඳහන් කරන අතර ඔවුන් දෙදෙනා මේවන විටත වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවටද වාර්තාවේ.

    මෙම වසරේ ඉන්දියාවේ අප්‍රේල් සහ මැයි මාස වලදී ආසාදිතයින්ගේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුවද මේවන විට එරට තත්ත්වය යථා තත්ත්වයට පත්වෙමින් පවතී.

    කෘෂිකර්ම ඇමති බීජ වාර්තා සොයයි

    0

    ඉදිරි මාස 03 ක කාලය ඇතුළත දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන බීජ ප්‍රමාණය සහ ඒවායේ ප්‍රභේදය, බීජවල ගුණාත්මකභාවය ඇතුළු කරුණු 12 ක් පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකාර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් දී තිබේ.

    මෙම වාර්තාව ලැබුණු පසුව මෙරට නිෂ්පාදනය කරන සහ මෙරටට ආනයනය කරනු ලබන සියලුම බීජවල මිල නියාමනය කිරීමට කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා ජාතික බීජ සභාවේ කමිටු රැස්වීමේදී උපදෙස් දී ඇත.

    ආනයනික බීජ අලෙවි කරන වෙළෙදුන් ඇතැම්
    බීජ වර්ග ග්‍රෑම් 50 ක් රුපියල් 5000 කට හෝ 6000 ක මුදලකට ගොවියන් වෙත අලෙවි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

    දකුණු පළාත් ගුරුවරුන්ගේ රාජකාරි ගැටලු විසඳන්න ජංගම වැඩසටහනක්

    0

    දකුණු පළාතේ විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින්ගේ රාජකාරීමය ගැටළු විසදීමට විශේෂ ජංගම සේවා වැඩසටහනක් පවත්වන්න ලෙස ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ නිලධාරින්ට උපදෙස් දී ඇත.

    එහි පළමු වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්‍ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

    දකුණු පළාතේ කළාප කාර්යාල 11ක ගුරුවරු, විදුහල්පතිවරු හා අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින් 30000කට ආසන්න පිරිසක් සේවය නිරතව සිටිති.

    අවුරුදු 60ට වැඩි අයට ඔමික්‍රෝන් වැළඳුණොත් වෙන දේ..

    0

    වයස අවුරුදු 60ට වැඩි ජේෂ්ඨ පුද්ගලයින්ට ඔමික්‍රෝන් වෛරසය වැළඳුනහොත් මියයාමේ සම්භාවිතාව ඉතා ඉහළ යයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති පද්මා ගුණරත්න මහත්මිය කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවාය.

    ඔමික්‍රෝන් වෛරසය ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වන හෙයින් එම වෛරසය වැළඳුණු වැළඳුන රෝගියකුට එන්නත් දෙකම ලබාගෙන තිබුනද ඉන් ලැබෙන ආරක්ෂාව ඉතා අඩු බව ද එම නිසා එම වෛරසයට ලංකාව තුළ තුළ ව්‍යාප්ත වීම වලකාලීමට සියලු දෙනා පියවර ගත යුතු බවද පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

    දැනට සොයාගෙන ඇති කරුණුවලට අනුව එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් වුවද නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට පුද්ගලයින්ට omicron වෛරසය වැළදුනහොත් මියයාමේ ප්‍රතිශතය 30% කින් 40%කින් ඉහළ යන බවය.

    එම නිසා සියලු පියවර ගෙන omicron වෛරසය පැතිරයාමේ අවදානම අවම කරගත යුතු බව ද වෛද්‍යවරිය කීවාය .

    ඉදිරි උත්සව සමයේදී එකරාශී වීම සහ උත්සව පැවැත්වීම ආදිය ආදියෙන් වැළකී තම තමන්ගේ පුරවැසි වගකීම ඉටු කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටින බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළාය.

    උතුරු දූපත්වල යෝජිත විදුලි ව්‍යාපෘති 3ක් චීනය අතහරී

    0

    උතුරේ දූපත් තුනක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ විදුලි ව්‍යාපෘති තුනක් අතහැර දැමීමට චීනය අද පියවර ගත්තේය.

    උතුරේ ඩෙල්ෆ්, නයනතිව් සහ අනිලතිවූ යන දූපත්වල සූර්ය බලය සහ සුළං බලය උපයෝගී කරගෙන එම විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබිණ.

    ටෙන්ඩර් පටිපාටියට අනුව චීන සමාගමක් එම ව්‍යාපෘති ලබාගෙන තිබූ අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය පවා හිමිව තිබිණ.

    මේ අතර උතුරේ දූපත්වල එම විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය දක්වා තිබුණු බවද පසුගිය දිනවල වාර්තා වී තිබිණ.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ තෙවැනි පාර්ශවයක විරෝධතාව හේතුවෙන් එම ව්‍යාපෘතිය අත්හිටුවීමට කටයුතු කළ බව ය.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියානු නිල සංචාරයක සිටින අතරතුර චීන සමාගම එම විදුලි ව්‍යාපෘති අතහැර දැමීම විශේෂත්වයකි.

    උතුර එම දූපත් 3ට ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයෙන් විදුලිය සැපයීමක් සිදු නොවන අතර කුඩා පරිමාණයේ ඩීසල් බලාගාරවලින් දැනට විදුලිය ලබාදීම සිදු කෙරේ.

    එම ක්‍රමය වියදම අධික හෙයින් පරිසර හිතකාමී සූර්ය බලය හා සුළං බලය උපයෝගී කරගෙන විදුලිය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබිණ.

    වෛද්‍යවරුන්ගෙන් කොවිඩ් කමිටුවට විශේෂ ඉල්ලීමක්

    0

    ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම සංචාරකයකුම කටුනායක ගුවන් තොටුපලේ දී අනිවාර්යෙන්ම PCR පරීක්ෂණවලට ලක්කරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කොවිඩ් මර්දන කමිටුවෙන් ඉල්ලීමක් කර තිබේ.

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ එලෙස නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට omicron වෛරස ප්‍රභේදය ඇතුළු වීම වලකාගත නොහැකි බවය.

    දැනට පවතින ක්‍රමය වන්නේ එන්නත් දෙකම ලබාගත් සංචාරකයින් PCR පරීක්ෂණ නොකර කටුනායක ගුවන් තොටුපළින් රට තුළට නිදහස් කිරීම වේ.

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කොවිඩ් මර්දන කමිටුවට යෝජනා කර ඇත්තේ ඔමික්‍රෝන් වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළුවීම වළකාලීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම සංචාරකයෙකු ම අනිවාර්ය PCR පරීක්ෂණයට ලක් කරන ලෙසය.

    “එදා විකල්ප පත්තරකාරයෝ වූ අපේ අතේ තිබුණේ දින රහිත මරණ වරෙන්තුවයි බෝල්පොයින්ට් පෑනයි විතරයි”

    0

    -ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මාධ්‍යවේදීන් ඉදිරිපිට පළමු වරට සිය මාධ්‍ය ජීවිතේ ගැන කතාකරයි

    “අපි විකල්ප පත්තරකාරයෝ විදිහට දින රහිත මරණ වරෙන්තුවත් බෝල්පොයින්ට් පෑනත් විතරයි අපේ සන්තකයේ තිබුණේ. එදා අපිට ජීවිත ආරක්ෂාව , ජීවිත රක්ෂණය සැපවූයේ ලක්ෂ සංඛ්‍යාත පාඨකයෝ” යැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    ඔහු මේ බව කියාසිටියේ “ඇසිදිසි රක්ෂණාවරණය” ජනමාධ්‍යවේදීන්ට ප්‍රදානය කිරීමේ අද අරලියගහ මන්දිරයේදී පැවති උත්සවය අමතමිනි.

    මෙම රක්ෂණාවරණය මාධයවේදීන් 3000කට ආසන්න සංඛ්‍යාවකට ලබාදීමට මේ වනවිට කටයුතු සංවිධානය කර ඇති අතර රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ තෝරාගත් සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය ඒ සඳහා ඉදිරිපත්ව සිටියි.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා,

    “අතිගරු අග්‍රාමාත්‍යතුමනි, මම විකල්ප පත්තරකාරයෙක් විදිහට අද මේ අවස්ථාව හදුන ගන්නේ ප්‍රතිපත්ති සම්පාදකයෙක්ට වඩා වැඩි බරකින්.

    ජීවිත ආරක්ෂාව කියන එක උප ශීර්ෂයක් විදිහට පාවිච්චිකරපු පත්තරකාරයෙක් විදිහට ජීවිත රක්ෂණය කියන එක උප ශිර්ෂයක් ලෙස පාවිච්චි කරපු යුගයක විකල්ප පත්තරකාරයෙක් විදිහට අපි එදා කටයුතු කළේ ජනතාව වෙනුවෙන් වගකීම් සහගත මාධ්‍ය කලාවක් කියන දේ ශීර්ෂ පාඨය කරගන්න ජීවිත ආරක්ෂණය උප ශිර්ෂය කරගෙන.

    එය ඉතා දිගු ඉතිහාසයක් නෙමෙයි. අපි විකල්ප පත්තරකාරයෝ විදිහට දින රහිත මරණ වරෙන්තුවත් බෝල්පොයින්ට් පෑනත් විතරයි අපේ සන්තකයේ තිබුණේ. එදා අපිට ජීවිත ආරක්ෂාව , ජීවිත රක්ෂණය සැපවූයේ ලක්ෂ සංඛ්‍යාත පාඨකයෝ. ඒ බොල්ට් පොයින් පෑන අතට ගත්තු අපේ වෘත්තීය සගයෝ. ඒ පාර්ශව දෙකට අමතරව දේශපාලන නායකයෝ හතර දෙනෙක් මහා ප්‍රාකාරයක් විදිහට  ඒ අඳුරු සෙවනැලි පත්තර පිටුමත වැටිච්ච යුගයේ අපේ ආරක්ෂාව වෙනුවෙන් හිටගත්තා.

    එදා සුනිල් මාධව ප්‍රමුඛ එක විකල්ප පත්තරයක් , සුනන්ද දේශප්‍රිය ප්‍රම්‍රඛ තව විකල්ප පත්තරයක් ආණ්ඩුවේ ගොරෝසු පිළිවෙතට අභියෝගකරන වෙලාවේ ගරු අගමැතිතුමනි , විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට ඔබතුමත් තවත් තිදෙනෙකුත් නිරන්තරයෙන් සුනිල් මාධව ප්‍රමුඛ අපි දිහාත් සුනන්ද දේශප්‍රිය ප්‍රමුඛ යුක්තිය කණ්ඩායම දිහාත් හොයා බැලුවා. අපිට ආදරය රැකවරණය දුන්නා.

    අද රාජ්‍යයක වගකීම ඉෂ්ඨකරමින් මේ රටේ වෘත්තීය මාධ්‍යවේදීන්ට ඇසිදිසි රක්ෂණය ප්‍රධානය කරන වෙලාවේ  ඔබතුමාට ඒ ගෞරවය ප්‍රධානය කරමින් ප්‍රථම වතාවටයි  වේදිකාවක මට ඒ ගැන ජනමාධ්‍ය වෘත්තියට සම්බන්ධ කෙනෙක් විදිහට මතක් කරන්න ලැබුනේ.

    මම කෘතවේදීව සිහිපත්කරනවා අනිත් තිදෙනාව. අවාසනාවකට  ඒ තිදෙනාම අද ජීවතුන් අතර නැහැ. එක් කෙනෙක් මංගල සමරවීර. අනිත් කෙනා ගාමිණි දිසානායක, අනිත් කෙනා ලලිත් ඇතුලත් මුදලි. මේ දේශපාලනඥයන් තිදෙනා තමයි  මහින්ද රාජපක්ෂ කියන විපක්ෂයේ සටන්කාමී, නිර්භීත දේශපාලනඥයාට අමතරව එදා අපිට ජීවිත රක්ෂණාවරණය වෙනුවෙන් පෙනී සිටියේ” යැයි අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන ඩලස් අලහප්පෙරුම, කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති අශෝක් පතිරගේ, මාධ්‍ය ආයතන හිමිකරුවන්, මාධ්‍ය නාලිකා ප්‍රධානීන්, පුවත්පත් කතුවරුන්, වෙබ් අඩවි මාධ්‍යවේදීන් සහ රක්ෂණලාභීන් ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරී මහත්ම මහත්මීහු රැසක් එක්ව සිටියහ.

    “මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන් හැබැයි රකින්න බෑ” – අගමැති

    0
    • මාධ්‍යයත් එක්ක සුහදව වැඩ කරන එක කලාවක්
    • අපි කවදාවත් මාධ්‍යයට කිසිවක් හැංගුවේ නෑ
    • එදා ජනපතිනිය මට රිපෝටර් එනවා කිව්වම මම කිව්වා නෑ එඩිටර් කියලා
    • ලෝකයත් අද මාධ්‍ය නිසා කැළඹිලා

     

    මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමන “ඇසිදිසි රක්ෂණාවරණය” ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මේ බව ප්‍රකාශ කළේය.

    අද මේ රටේ මාධ්‍යවල පෙන්වන දේවල්ම යොදාගෙන මේ රටේ කීර්තිනාමය විනාශ කරන්න උත්සාහ කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

    “මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍යය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි යැයි කී අග්‍රාමාත්‍යවරයා, ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලා මට හිතෙනවා” යැයි ද පැවසීය.

    රක්ෂණලාභී මාධ්‍යවේදීන් පස් දෙනෙකු සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් රක්ෂණ හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරුණු අතර ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ඇමතිවරු ද රක්ෂණ හිමිකම් ඔප්පු ප්‍රදානයට එක්වූහ.

    “ඇසිදිසි රක්ෂණාවරණය” ඔස්සේ ජනමාධ්‍යවේදීන් 3000කට ආසන්න සංඛ්‍යාවකට රක්ෂණාවරණය ලබාදීමට මේ වනවිට කටයුතු සංවිධානය කර ඇති අතර රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ තෝරාගත් සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය ඒ සඳහා ඉදිරිපත්ව සිටියි.

    “ඇසිදිසි රක්ෂණාවරණය” ප්‍රදානය කිරීමේ උත්සවයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    “අද මේ රටේ මාධ්‍යවේදීන්ට ඇසිදිසි රක්ෂණ ආවරණය ලබා දෙන දවස. ඇසිදිසි රක්ෂණ ආවරණය වාගේ දෙයක් දෙන්න මේ තරම් ප්‍රමාද වුණේ ඇයි කියන්න මම දන්නේ නෑ. මම හිතනවා අපි සුදුස්සාට සුදුසු දේ දීලා තියෙන නිසයි අද මාධ්‍ය ඇසිදිසි රක්ෂණය ඔබට ලැබුණේ කියලා. ඩලස්ට මාධ්‍ය භාර ගන්න කියලා මීට කාලෙකට කලින් අපි ඉල්ලා සිටියා. මාධ්‍යවේදිනුත්, රටත් ඉල්ලා සිටියා. අපි දෙන්න හදපු කාලේ භාර ගත්තා නම් මේ රක්ෂණය මීට කලින් ලැබෙන්න තිබුණා කියලා මම කියන්න ඕනෑ. මේ අපි සුදුස්සාට සුදුසු දේ දීලා තියෙන බව දැන් ඔබට තේරෙනවා ඇති.

    මිත්‍රවරුනි,
    වෘත්තීය වශයෙන් නීතිඥවරු ඇරුණාම මම වැඩිපුරම සමීප උනේ මාධ්‍යවේදීන්ට.

    මට මතකයි එදා, මම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකට එනකොට එදා ජනාධිපතිතුමිය කිව්වා ඔන්න රිපෝටර් එනවා කියලා. මම කිව්වා මම රිපෝටර් නෙවෙයි, එඩිටර් කියලා. මම පත්තරවලට තොරතුරු දුන්නේ සංස්කරණය කරලා. පක්ෂයටවත්, මටවත් හානි නොවන විදියට. ඒ නිසායි මම කිව්වේ මම එඩිටර් කියලා.

    මිත්‍රවරුනි,
    මාධ්‍යයට භීෂණය එල්ල වුණ හැම අවස්ථාවේම අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කළා. සමහර කාලවල මාධ්‍යවේදීන්ගෙ අතේ කහ නූල් බැඳලා අපි ඔවුන් එක්ක ඉන්න බව කිව්වා. දේශපාලන මැරයෝ ගහලා, මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ කඩා දැම්මාම, අපි මාධ්‍යවේදීන්ට ඒවා අරන් දුන්නා. 88/89 භීෂණ යුගයේ රිචඩ් ද සොයිසා දකුණට ඇවිත් දකුණේ අපිත් එක්ක වැඩ කළා.

    මිත්‍රවරුනි,
    මාධ්‍යයත් එක්ක සුහදව වැඩ කරන එක කලාවක්. අපි මාධ්‍යයට ශක්තියක් වුණොත් මාධ්‍යය අපිව ශක්තිමත් කරනවා. අපි කවදාවත් මාධ්‍යයට කිසි දෙයක් හැංගුවේ නෑ.

    මාධ්‍යයට යමක් හංගන්න හංගන්න රටේ ජනතාව ඒ ගැන තියෙන උනන්දුව වැඩියි. හංගන්න හංගන්න හැදෙන බොරු කතා වැඩියි. අද පාර්ලිමේන්තු සංවාද රූපවාහිනියෙන් විකාශය වෙනවා. හැබැයි කවුරුවත් ඒවා බලන්නේ නෑ. මොකද ඒක විවෘත නිසා. අද කැබිනට් එකට විතරයි මාධ්‍යවේදීන් යන්නේ නැත්තේ. ඒ නිසාම කැබිනට්ටුවේ වුණ දේවල් කියලා අමුතු අමුතු කතා ගොඩ නැගෙනවා. ඒක තමයි මාධ්‍යයේ හැටි.

    මිත්‍රවරුනි,
    අපේ ජීවිතේ දුෂ්කරම කාලවල මාධ්‍යවේදීන් අපිත් එක්ක හිටියා. අපිව බලයට ගේන්න මාධ්‍යවේදීන් ලොකු සේවයක් කළා. නමුත් දැන් අපි චෝදනා කරනවා මාධ්‍ය දැන් අපිත් එක්ක නෑ කියලා. මේක අමුතු දෙයක් නෙවෙයි. අපේ ජීවිත කාලය තුළ අපි අත්දුටු දෙයක්. මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍යය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි.
    ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලා මට හිතෙනවා.

    මිත්‍රවරුනි,
    හැමදාම ආණ්ඩු මාධ්‍යයට කළ චෝදනාවක් තමයි ආණ්ඩුවේ සංවර්ධන කටයුතු මාධ්‍යයේ දාන්නේ නෑ කියලා. රටේ වෙන හොඳ දේවල් පත්තරවල දාන්නේ නෑ කියන චෝදනාව හැමදාම තිබුණා. අපිට නෙවෙයි අනගාරික ධර්මපාලතුමාටත් ඒ ප්‍රශ්නෙ තිබුණා. එතුමා වතාවක් කිව්වා “රටේ කොපමණ හොඳ දේ වුණත් ඒවා පත්තරවල පල වෙන්නේ නෑ. කරොංචි හාමි නොන්නො හාමිට පිහියෙන් ඇන්නොත් මේකා ඒක පත්තරේ මුල් පිටුවේම දමාපි” කියලා. ධර්මපාලතුමා එහෙම චෝදනා කළා. ඒ නිසා මාධ්‍යවේදීන්ට දොස් කියලා වැඩක් නෑ. ඒ කාලෙ ඉඳලාම මාධ්‍යවල හැටි තමයි ඒ.

    ජනතාවත් එහෙමයි. රූපවාහිනි ප්‍රවෘත්තිවල සංවර්ධන පුවත් කියලා හෙඩිම කියපු ගමන් ප්‍රේක්ෂකයො නාට්‍යයක් බලන්න වෙන චැනල් එකකට මාරු වෙනවා. මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට, මේක තේරෙනවා. අපිට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ.

    මිත්‍රවරුනි,
    මේවා ඉතාම සාමාන්‍ය දේවල් හැටියට අපි භාර ගන්න ඕනෑ. අපිට විතරක් නොවෙයි, ලෝකයත් අද මාධ්‍ය නිසා කැලඹිලා.

    මට මතකයි කොරෝනා වසංගතය ආව දවස්වල සමාජ මාධ්‍යවල ගිය දේවල්. මේක රටක ලැබ් එකක හදාපු වයිරසයක් කිව්වා. බලවත්ම රටවල් ඒ ඒ රටවලට චෝදනා කර ගන්න තරමට සමාජ මාධ්‍යවල මේ ප්‍රචාර බලවත් වුණා. ඊට පස්සේ කොරෝනාවලට අලුතින් සොයා ගත්ත එන්නත ගැන නොයෙක් ප්‍රචාර ගෙනිච්චා.

    අපේ රටේ විතරක් නෙවෙයි දියුණු රටවලත් තරුණයෝ ඉන්ජෙක්ෂන් ගහගන්න ආවේ නෑ. ඒවා සමාජ මාධ්‍යවලින් යවාපු ප්‍රචාර නිසා ලොකෙ මුහුණ දීපු දේවල්. අන්තිමට ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ විශේෂඥයෝ කිව්වා වසංගතයට වඩා දරුණුයි කියලා තොරතුරු වසංගතය.
    ඒගොල්ලො මේකට කිව්වා Intro Demic (ඉන්ට්‍රො ඩෙමික්) කියලා. මේ තොරතුරු වසංගතේ ලෝකෙ යටවෙලා කියලා ඒගොල්ලන්ටත් පිළිගන්න වුණා.

    මිත්‍රවරුනි,
    අපේ රටටත් මේ ඉන්ට්‍රො ඩොමික් එක ආවා. කොරෝනාවලට එන්නත ගන්න අපි උත්සාහ කරනකොට එන්නත වේලපහ ගෙන්නා ගත්තේ නැත්තේ අපේ වරදයි කිව්වා. එන්නත ගෙන්නුවහම ෆයිසර් ගෙන්වන්න පුළුවන්කම තියෙද්දී අපි ලාභෙට චීන එන්නත ගෙනාවා කීවා. චීන එන්නත ගහල වැඩක් නෑ කිව්වා. සමහරු කිව්වා මොඩර්නා තමයි හොඳ, ඒකම ගේන්න කියලා. මේ සෙල්ලම් කළේ රටේ ජීවිතත් එක්ක.

    ඊට පස්සේ ගෙයක් ගානේ කොරෝනා මරණ වෙනවා කියලා විශාල භීතියක් ඇති කළා. දොස්තරලා කියන ගාණට වඩා මැරෙන ගාණ වැඩියි කිව්වා. අන්තිමට රට වහන්න, විසඳුම ඒකයි කියලා බල කළා. රට වැහුවේ නැතොත් ස්වයං ලොක්ඩවුන් කරගන්නවා කිව්වා. රට වහලා අපි ඇඟලුම් කර්මාන්තශාලා විවෘත කරලා තිබ්බා. ඒක වැහුවේ නැතොත් ඇඟලුම් පොකුරක් එයි කිව්වා. ඒ තරමට රට වහන්න බලකරපු උදවිය ඊළඟට දහස් ගණන් අරගෙන පාරේ පෙළපාලි ගියා. ඒ මහා ආර්ථික විනාසෙ කරලා දැන් රට ඇරියාම කියනවා රට බංකොළොත් කියලා. මේ තමයි තොරතුරු වාර්තා වුන විදිය.
    මාධ්‍යට මේවා නොපෙන්වා බෑ. වාර්තා නොකර ඉන්න බෑ. හැබැයි මාධ්‍යයට නොතේරී මාධ්‍යයෙන් ප්‍රයෝජන ගන්නත් රටට එරෙහි බලවේගවලට පුළුවන් වෙලා තියෙනවා. මේවා රටට ආදරේ, වගකීමක් ඇති මාධ්‍ය තේරුම් ගන්න ඕනෑ.

    මිත්‍රවරුනි,
    මේ රටේ මාධ්‍යවේදීන් තේරුම්ගත යුතු තවත් දෙයක් තියෙනවා. මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා. යුද්ධ කරන කාලේ ඉඳන්ම අපිට ඒ අත්දැකීම් තියෙනවා. අද මේ රටේ මාධ්‍යවල පෙන්වන දේවල්ම යොදාගෙන මේ රටේ කීර්තිනාමය විනාශ කරන්න උත්සාහ කරනවා.

    එදා යුද්දෙදි මැරුන සන්නද්ධ ත්‍රස්තවාදීන්ව ජාත්‍යන්තරයට පෙන්නුවේ අහිංසක දෙමළ ජනතාව කියලයි. ඒ දේවල් යොදාගෙන යුද මෙහෙයුම් නතර කරන්න උත්සාහ කළා.
    තමුන්නාන්සේලාට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුන ගමන්ම මේ රටේ එක්තරා තානාපති කාර්යාලයක රස්සාව කළ කාන්තාවක් තමන්ව පැහැරගෙන ගියා කියලා ලොකු සිද්ධියක් මැව්වා. ආරක්ෂක අංශවලින් පැහැරගෙන ගියා කියලා මහා විශාල ප්‍රචාරයක් ගෙනිච්චා. ජනාධිපති වුණ ගමන්ම මෙහෙම වුණාම මේ රටේ තානාපති කාර්යාල හැම එකක්ම ලොකුවට කලබල වුණා. සමහර රටවල් ඇයගේ ආරක්ෂාව තහවුරු කරනු කියලා නිවේදන පවා නිකුත් කළා. අපිට ලෝකෙට උත්තර දෙන්න සිද්ධ වෙන සිද්ධියක් මැව්වා.

    නමුත් රටේ හොඳ වෙලාවට ඒ කාන්තාව ඒ දවසේ ආගිය හැම තැනක් ගැනම සීසීටීවී (CCTV) කැමරාවල තිබුණා. සී.අයි.ඩී. (CID)  එක අපක්ෂපාතීව පරීක්ෂණය කළා. අන්තිමට ඒ සිද්ධිය බොරු මවාපෑමක් බව ලෝකෙටම ඔප්පු කරගන්න අපිට පුළුවන් වුණා. හැබැයි ඒක බොරුවක් බව ඔප්පු වුණාම අපිට විරුද්ධව චෝදනා කළ අය කනගාටුවවත් පළ කළේ නෑ.

    මිත්‍රවරුනි,
    මේවායින් අපි තේරුම් ගන්න ඕනෑ මොකක්ද? මේ රටේ ජනතාවගේ නිදහස, රටේ අයිතිය උදුරා ගන්න ඉතාම සූක්ෂ්මව කටයුතු කරන බලවේග මාධ්‍ය වාසියට ගන්නවා.

    ජනප්‍රිය තීන්දු වෙනුවට අමාරු, අසීරු තීන්දු ගන්න වෙන යුගයකට තමයි අපේ ආණ්ඩුව දැන් පත්වෙලා ඉන්නේ. ඒ අමාරු තීන්දු ගන්න අපි සූදානම්. රට වෙනුවෙන් ඒ තීන්දු ගන්න වෙන්නේ දේශපාලන අනාගතය උකස් තියලා. එහෙම තීන්දු ගන්නකොට රට වෙනුවෙන් මේ රටේ මාධ්‍ය ඉතාම වගකීමෙන් ක්‍රියා කරයි කියලා අපි හිතනවා.

    මේ වාගේ වැඩපිළිවෙළවල් අපි කරන්නේ ඔබගේ අනාගතය ගැන හිතලා. ඔබේ අනාගතය අපි සුරක්ෂිත කරනකොට මාධ්‍යවේදීන් වන ඔබ රටේ සුරක්ෂිත අනාගතයකට කැප වෙයි කියලා අපි විශ්වාස කරනවා.

    ඔබ සැමට තෙරුවන් සරණයි!” යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

     

    කොවිඩ් එන්නත් ගේන්න ගිය මුදල ගැන අනාවරණයක්

    0

    මෙරටට කොවිඩ් මර්දන එන්නත් ගෙන්වීම සඳහා රජය මෙතෙක් රුපියල් බිලියන 66.39ක් වැය කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ බව හෙළි කළේය.

    අසාද් සාලිට නිදහස

    0

    ජාතීන් හා ආගම් අතර අසමගිය ඇතිකිරීම හා සංහිඳියාව බිඳ දැමිමට උත්සාහ දැරීමේ චෝදනා මත නීතිපතිවරයාගේ උපදෙසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද නියෝග කළේ ය.

    ඉකුත් මාර්තු 9 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී ඔහු කළ ප්‍රකාශයකින් දණ්ඩ නීති සංග්‍රහය, සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බව මෙන්ම 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංගනය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වන්නේ යැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් උපදෙස්වලට අනුව හිටපු ආණඩුකාර අසාද් සාලි මහතා මාර්තු 16 වෙනිදා අත්අඩංගුවට ගත්තේය.

    අනතුරුව රදවා ගැනීමේ නියෝගයකින් ඒ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මාස කිහිපයක් රදවාගෙන විමර්ශන පවත්වා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී රක්ෂිත බන්ධනාගාරගතකර සිටි ඒ මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.

    ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රීතව මතුවිය හැකි රෝග

    0
    top view of female reproductive system, pills and various pregnancy tests on pink
    top view of female reproductive system, pills and various pregnancy tests on pink
    ලිංග්‍රාශ්‍රීත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිලේකා සොන්නාදර මහත්මිය

    ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රීතව යම් රෝගයක් හෝ ගැටලුකාරී තත්ත්වයක දී වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීමට තවමත් සමාජය තුළ මැළිකමක් දක්වයි. ඒ තුළින් නොයෙකුත් අතුරු රෝග ලක්ෂණ වගේම රෝගය වර්ධනය වීමට ද හේතුවීමට පුළුවනි. ඒ නිසාම ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අපි සම්බන්ධ කර ගත්තා,

    ලිංග්‍රාශ්‍රීත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිලේකා සොන්නාදර මහත්මිය

    ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රීතව මතුවිය හැකි රෝග


    කාන්තාවකගේ යෝනී මාර්ගය ආශ්‍රීතව ඇතිවිය හැකි රෝග, ලිංගාශ්‍රීතව සම්ප්‍රේෂණය වන රෝග, ලිංගාශ්‍රීතව සම්ප්‍රේෂණය නොවන රෝග ලෙස වර්ගීකරණය කරන්න පුළුවනි.

    ලිංගාශ්‍රීතව බෝවන රෝග


    ලිංගික හර්පීස්, ලිංගික ඉන්නන්, ගෝනෝරියාව, ගර්භාෂ ප්‍රදාහය, ගෝනෝරියා නොවන ම්‍රත්‍රා ප්‍රදාහය, ට්‍රයිකොමොනයසීස්, දීලිරි ආසාධන
    මීට අමතරව ලිංගික සම්බන්ධතාවයක දී සම්ප්‍රේෂණය නොවන කාන්තා යෝනී මාර්ගය / ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි රෝග තිබෙනවා.

    රෝගය හඳුනාගත හැකි ලක්ෂණ


    ලිංගාශ්‍රීතව ඇති වන රෝග සමහර වේලාවට රෝග ලක්ෂණ නොපෙන්වන අවස්ථා ද තිබෙයි. නමුත් රෝග ලක්ෂණ ලෙස ලිංගාශ්‍රීතව ඇතිවන තුවාල බිබිලි, ලිංගික ඉන්නන්, යෝනී මාර්ගයෙන් අසාමාන්‍ය ශ්‍රාවය, යටි බඩ ආ-ශ්‍රීතව වේදනාව හඳුනාගත හැකියි. නමුත් HIV වැනි ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වනා පුද්ගල ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරමින් තිබිය හැකියි.

    රෝග වල සංකූලතා


    ප්‍රතිකාර නොගෙන ඇති ලිංගිකව බෝවන රෝගයකින් පෙළෙන කාන්තාවක් නම්, දරු ඵල අහිමි වීම, මඳසරුභාවය, අඩු බර දරු උපත්, නො‍මේරූ දරු උපත්, ගබ්සාවීම්, මළ- දරු උපත්, මවගෙන් දරුවාට රෝගය සම්ප්‍රේෂණය, ලිංගික සබඳතා පැවැත්වීමේ දී වේදනාකාරී තත්ත්වය, ගර්භාෂ සැරව ගෙඩි ඇතිවීම.

    මෙවැනි රෝග වලින් පෙළිම මව් පදවිය ලැබීමට බාධාවක් ද ?

    HIV ඇතුළු අනෙකුත් ලිංගාශ්‍රීත රෝග සාර්ථකව මර්ධනය කිරීමට ප්‍රතිකාර තිබෙයි. ඒ නිසා නිසි පරිදි වෛද්‍ය උපදෙස් ලබාගෙන ප්‍රතිකාර වලට යොමු වීම තුළ දරුවාට මව හරහා දරුවාට සම්ප්‍රේෂණය වීම වළක්වා නිරෝගී දරු උපතක් ලබා ගැනීමට පුළුවනි.
    ලිංගාශ්‍රීත රෝග සඳහා ප්‍රතිකාර ලබා ගත් පසු මව් පදවිය ලබා ගැනීමට කිසිදු බාධාවක් නොවෙයි.

    Expecting baby
    Expecting baby

    මව් කිරි දෙන මවක් මේ රෝගයෙන් පෙළිම තුළින් දරුවාට මව්කිරි ලබා දීම බාධාවක් ද ?


    යෝනී මාර්ගය ආශ්‍රීතව ඇති වන ලිංගාශ්‍රීත බෝවන රෝග තත්ත්ව වල දී මව්කිරි ලබා දීමේ කිසිදු ගැටලුවක් ඇති නොවේ.
    නමුත් HIV ආසාධිත මවකගේ මව්කිරි මගින් රෝගය සම්ප්‍රේෂණය වීමට පුළුවනි.

    සාමාන්‍යයෙන් කාන්තාවක් ස්වයං වින්දනයට යොමු වීම සාමාන්‍යයයි. ඒ හරහා මේ ලිංගික රෝග ඇති වෙනවා ද ?

    සාමාන්‍යයෙන් ස්ත්‍රී/ පුරුෂ දෙපක්ෂයම ස්වයං වින්දනය පිළිබඳ සමාජය තුළ විවිධ වූ මිත්‍යා මත ගොඩනැගි තිබෙයි. උද්‍ර: ලෙස කාන්තා ස්වයං වින්දනය මඟින් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රීත රෝග ඇති වීම.
    නමුත් එමගින් ලිංගාශ්‍රීත බෝවන රෝග ඇතිවීමක් සිදු නොවේ.
    කාන්තා / පිරිමි ස්වයං වින්දනය යනු වෛද්‍ය විද්‍යාත්මක පිළිගත් ආරක්ෂිත ලිංගික තෘප්තියක් ලබා ගැනීමට නිර්දේශ කළ හැකි ක්‍රමයකි.

    Top view of smiling woman waking up in her bed
    Top view of smiling woman waking up in her bed

    මේ රෝග සඳහා තිබෙන ප්‍රතිකාර රටාව

    ඔබට මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් ළඟම ඇති ලිංගාශ්‍රීත රෝග සායනයෙන් ලිංගික රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගත හැකියි.
    බොහෝ ප්‍රතිකාර ඉතා සරල ප්‍රතිකාර වන අතර දින කිහිපයකට සීමා වෙයි.
    නමුත් එය රෝගියාගේ කැමැත්ත ඇතිව පමණක් සිදු කරයි. 100% රහසිගතභාවය ආරක්ෂා කරගෙන ප්‍රතිකාර සහ පරික්ෂණ සිදු කරයි.

    නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව ඔබට රෝගය නිසා වන සංකූලතා වළක්වා ගැනීමට පුළුවනි.
    ඔබගෙන් ඔබගේ සහකරුවාට රෝගය බෝවීම සීමාවේ.
    ඔබගෙන් ඔබේ නූපන් දරුවාට රෝගය සම්ප්‍රේෂණය වීම වළකයි.
    සුවදායි ලිංගික සබඳතාව තුළින් සතුටු සාමකාමී විවාහ ජිවිතයක් ගත කළ හැකියි.
    මෙහි දී ඔබගේ රෝගය නැවත ඇතිවීම වැළැක්වීමට සහකරු / සහකාරිය ට ද ප්‍රතිකාර කිරිම අවශ්‍ය වෙයි.

    ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර රෝගියා සැලකිලිමත් විය යුතු දේවල්


    නිසි පරිදි ඖෂධ ලබාගැනීම හා වෛද්‍ය සායන වලට සහභාගී වීම, වෛද්‍ය උපදෙස් පිළිපැදීම.
    ලිංගික සහකරු / සහකාරිය සම්පුර්ණ ප්‍රතිකාර ලබා ගෙන අවසාන වන තෙක් වෛද්‍ය නිර්දේශ කරන කාලය තුළ ලිංගික සබඳතා වලින් වැළකීම හෝ කොණ්ඩමයක් භාවිත කිරීම.

    රෝගය නිට්ටාවට ම සුව කළ හැකි ද ?


    නිවැරදි ප්‍රතිකාර හා රෝගියාගේ උනන්දුව මත නිට්ටාවට ම රෝගය සුව කළ හැකි අතර, ලිංගික හර්පීස් / ලිංගික ඉන්නන් වැනි රෝග සාර්ථකව මර්ධනය කළ හැකියි.
    එමෙන්ම සාමාන්‍ය පරිදි විවාහ වී දරුවන් ලබා ගැනිමට බාධාවක් නොවෙයි.

    ලිංගික ආශ්‍රීත රෝගයක් වැළකීමට භාවික කළ හැකි උපක්‍රම

    ආරක්ෂිත ලිංගික සබඳතා පැවැත්වීම, නිසි වයසට එළ‍ඹෙන තෙක් ලිංගික සම්බන්ධතා පමා කිරීම.
    විශ්වාසවන්ත එක් සහකරුවකුට හෝ සහකාරියකට සීමා වීම.
    කොණ්ඩමයක් භාවිත කිරීම.

     

    අනාරක්ෂිත ලිංගික සබඳතාවක් පැවැත් වූ අයෙකුට දිය හැකි උපදෙස්

    අනාරක්ෂිත ලිංගික සබඳතාවයක් පවත්වා ඇත්නම් HIV / ලිංගාශ්‍රීත බෝවන රෝග සම්ප්‍රේෂණ විමේ අවධානමක් පවති. එමෙන්ම මේ රෝග බොහොමයක් රෝග ලක්ෂණ පිටතට නොපෙන්වා සිරුරට හානි කරමින් සිරුර තුළ සැගවී තිබෙයි. ඒ නිසා සංකූලතා ඇතිවීමට පෙර HIV පරික්ෂාවක් හා අනෙකුත් ලිංගාශ්‍රිත රෝග සඳහා පරික්ෂාවක් සිදු කර ඔබ නිරෝගී බව සැකහැර තහවුරු කර ගන්න.
    එය ඔබෙත් ඔබේ පවුලේත් නිරෝගී පැවැත්මට මහත් පිටුවහලක් වනු ඇත.

    ගොනා කෝවිලේ අංජුගේ ගෝලයින් දෙදෙනෙක් කොටුවෙති

    0

    ඉතාලිය , ප්‍රංශය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සංක්‍රමණය වෙමින් එම රටවල සැඟවී මෙරට පාතාලය මෙහෙයවමින් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින සිංහාරගේ අමල් චමින්ද සිල්වා නොහොත් ගොනා කෝවිලේ අංජු නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශය සමත්ව ඇත.

    එදිරිමුණි ඉන්දික සුරංග සොයිසා නොහොත් ලංසියාවත්තේ සුද්දා හා පල්ලගේ කිත්සිරි ප්‍රේමලාල් සිල්වා යන සැකකරුවන් දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි විශේෂ කාර්ය බලකාය සදහන් කරයි. ඊයේ රාත්‍රියේ රත්මලානේදී කළ වැටලීමේදී අත්අඩංගුවට ගත් සුද්දා නැමැති අපරාධකරු මිනිස් ඝාතන පහක් සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිට ඇප ලැබූවෙක් බව විශේෂ කාර්ය බලකාය සඳහන කරයි.

    මෙම සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 110 ක් කේරළ ගංජා ග්‍රෑම් 46 යි මිලිග්‍රෑම් 400 ක් සමඟ ජංගම දුරකතන දෙකක්ද සොයාගෙන ඇත.

    විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග පරිදි විශේෂ කාර්ය බලකාය බුද්ධි කොටිඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක එච්.ජි.එස්.සී. නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර තිබේ.

    හම්බන්තොට සිට ගාල්ලට මුහුදෙන් අමුද්‍රව්‍ය ගෙනියන්න ඉන්සි සිමෙන්ති සමාගම ගිවිසුම්ගත වෙයි

    0

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගමක් වන ඉන්සී සිමෙන්ති සමාගම, ගාල්ලේ පිහිටි තම කර්මාන්ත ශාලාව වෙත, හම්බන්තොට වරාය හරහා කාර්යක්ෂමව අමුද්‍රව්‍ය ප්‍රවාහනය සහතික කිරීම සඳහා ගිවිසුමකට එලැඹුණු බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සදහන් කරයි.

    හම්බන්තොට සමුද්‍රීය මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී ඉන්සී සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ සහ HIPGහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබූ බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) පවසයි.

    HIPGහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු ඉන්සී සමාගම සමඟ ඇති හවුල්කාරිත්වය අගය කරමින් කියා සිටියේ එය දෙපාර්ශවයටම විශාල අන්‍යෝන්‍ය වාසියක් වනු ඇති බවයි. “හම්බන්තොට ජාත්‍යන්තර වරායේ වියළි තොග භාණ්ඩ හැසිරවීම සඳහා පළමු පාරිභෝගිකයා ඉන්සි සමාගම වන අතර ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය අපි බෙහෙවින් අගය කරමු. අපි 2018 සිට ඔවුන් සමඟ කටයුතු කළ අතර වියළි තොග පරිමාවන් හැසිරවීමේදී අපගේ ඵලදායිතාව විශාල ලෙස ඉහළ නැංවීමට ද හැකි වුනා. සමාගම් ද්විත්වය එකිනෙකාට ලබා දෙන වටිනාකම හඳුනා ගනිමින්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගෙන දෙන ජයග්‍රාහී අවස්ථා අඛණ්ඩව නිර්මාණය කරන ගිවිසුමකට එළඹීමෙන් අප අතර පවතින හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අපි තීරණය කළේ එනිසායි”.යැයිද ඔහු සදහන් කළේය.

    ප්‍රධාන විධායක නිලධාරීවරයා තව දුරටත් පැවසූයේ 2021 වසරේ දී, මෙට්‍රික් ටොන් මිලියනයකට වඩා වැඩි වියළි තොගයක් එක් පාරිභෝගිකයෙකු යටතේ ප්‍රථම වතාවට හැසිරවීමේ සුවිශේෂී ජයග්‍රණ‍ය සනිටුහන් කිරීමට ඉන්සී සමාගම, වරායට අවස්ථාව සැලසූ බවයි.

    හම්බන්තොට වරාය සමූහය සමග එක්ව කටයුතු කිරීම ඔවුනට විශාල වාසියක් වී ඇති බව ඉන්සී සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ මහතා පවසයි. “පෙර මෙහෙයුම් වලදී අප මුහුණ දුන් සීමා හේතුවෙන් විශාල පරිමා සහිත විසල් යාත්‍රා ගෙන ඒමට අපට නොහැකි වුනා. හම්බන්තොට වරාය අපට විශිෂ්ට ව්‍යාපාරික හවුල්කරුවෙකු වූවා මෙන්ම, අපගේ අමුද්‍රව්‍ය කාර්යක්ෂමව සහ කාලෝචිත ලෙස බෙදා හැරීම සඳහා, ධනාත්මක බලපෑමක් ඇති නිර්මාණාත්මක විසඳුම් කිහිපයක් අපට ඉදිරිපත් කළා. විදේශ යාත්‍රාවලට අප විසින් ගෙවන ලද භාණ්ඩ ප්‍රවාහන ගාස්තු අඩු වූ බැවින් අප සමාගමට පමණක් නොව දේශීය ආර්ථිකයට ද ඩොලර් ඉතුරුම් ලබා දෙමින් ප්‍රතිලාභ අත්විඳීමට අපට හැකි වුනා”. යැයි ඔහු කීය.

    ඉන්සී සිමෙන්ති සමාගමේ ප්‍රසම්පාදන හා කාර්යෝපාය අධ්‍යක්ෂ තුසිත් ගුණවර්ණසූරිය මහතා පවසන්නේ වරාය සතු ගැඹුරු පර්යන්ත පහසුකම් හේතුවෙන් අමුද්‍රව්‍ය රැගෙන යාමට විශාල යාත්‍රා භාවිතා කිරීමට ඔවුන්ට හැකි වූ බවයි. “HIPහි ඵලදායිතා මට්ටම් ප්‍රශංසනීය වන අතර එහි වේගවත් නම්‍යශිලීත්වය තුලින් මහා පරිමාණ ආර්ථික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට සහ අපගේ නිෂ්පාදන මට්ටම් ඉහළ නැංවීමට හැකි වුනා පමණක් නොව, එමඟින් වරාය වඩා විශාල පරිමාවන් හැසිරවීමටත් සමත් වුනා. මෙය ඉන්සී සමාගම පමණක් නොව අපගේ අවසාන පාරිභෝගිකයාටද ප්‍රයෝජනවත් වූවක්.”

    HIPGහි වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා සඳහන් කරන්නේ වියළි තොග භාණ්ඩ අංශය සංවර්ධනය කිරීමට ඉන්සී මහඟු දායකත්වයක් ලබා දෙමින් දූවිලි පාලනය කිරීමේ යාන්ත්‍රණයක් ද හඳුන්වා දුන් බවයි. ‘ඒ තුළින් පරිසර හිතකාමීව මෙහෙයුම් සිදු කිරීමට අපට හැකි වුනා. මෙහෙයුම් කාර්ය මණ්ඩලය ලබා දුන් විශාල සහයෝගය සහ නැව් බඩු බෑම හා පැටවීම වැනි මිනිස් ශ්‍රමය යොදාගනිමින් සිදු කරන මෙහෙයුම් ඉතා කාර්යක්ෂමව සැලසුම් කිරීම සහ සැපයුම්කරුවන් සහ වරාය අතර ඉහළ මට්ටමේ සන්නිවේදන පැවතීමද ඉන්සී සමාගම වෙත ප්‍රතිලාභ ලබා දී ඇත. එම උසස් තත්ත්වයේ සේවාවන් අඛණ්ඩව ලබා දීම අපගේ බලාපොරොත්තුවයි,” ඔහු වැඩිදුරටත් කියයි.

    ඉන්සී සමඟ ඇතිකරගත් ගිවිසුම වරාය සඳහා නව පියවරකි. ලොව පුරා ඇති. සියලුම සී.එම්.පෝර්ට් මෙහෙයුම්හී ප්‍රධාන කොටසක් වන, ප්‍රශස්ථ කාර්යක්ෂමතාව සඳහා සේවකයින් අඛණ්ඩව පුහුණු කිරීම සහ පරීක්ෂා කිරීම් ඇතුලත් වන ආකාරයට ක්‍රියාකාරී බහුකාර්ය වරායක් බවට පත්වීමේ ඉලක්කය වෙත හම්බන්තොට වරාය වේගයෙන් ලඟා වෙමින් පවතියි.

    • මුල් සේයාරුව- හම්බන්තොට සමුද්‍රීය මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදි ඉන්සී සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ HIPGහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු ගිවිසුම් අත්සන් කරන අයුරු.

    • පහත සේයාරූ- ඉන්සී සිමෙන්ති කණ්ඩායම සහ හම්බන්තොට වරාය කණ්ඩායම

    “හම්බන්තොට වරාය චීනයට විකුණුවේ නෑ”- රනිල්

    0

    හම්බන්තොට වරාය චීනයට විකුණු බවට කරන ප්‍රකාශ, හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද ප්‍රතික්ෂේප කර තිබේ.

    හම්බන්තොට වරාය චීන සමාගමකට වසර 70කට කළමනාකරණය කිරීමට ලබාදුන් බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

    ඕනෑම අවස්ථාවක ගිවිසුම ආපසු හැරවිය හැකි බවද වික්‍රමසිංහ මහතා පැවසීය.

    හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මතුකළ කරුණුවලට පිළිතුරු ලබාදෙමිනි.

    ගෑස් පිපුරුම් සිදුවූ තැන්වලට ගොස් බලන්න ජනපති කමිටුවේ තීරණයක්

    0

    ගෑස් ආශිතව සිදුවූ කාන්දු වීම් ගිනි ගැනීම් හා පිපුරුම් සිදුවූ ස්ථාන නිරීක්ෂණය කිරීමට ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනයට හා විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව තීරණය කර තිබේ.

    මොරටුව විශ්වවිද්‍යාලයේදී එම කමිටුව ඊයේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ ඇත.

    දෙසතියක් තුළ ජනාධිපතිවරයාට කමිටු වාර්තාව ලබාදීමට නියමිතය.

    රාජිත ගුවන් විදුලියෙන් ඉල්ලා අස්වෙයි

    0

    රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වන රාජිත දිසානායක මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඔහු දැරෑ සියලුම තනතුරුවලින් ඊයේ (1) ඉල්ලා අස්වී අස්ව තිබේ.

    ගුවන්විදුලියේ සභාපතිවරයා ඇතුළු වත්මන් පාලනාධිකාරිය සමඟ ඇතිකරගත් මතවාදී ගැටුම් හේතුවෙන් ඔහු මෙලෙස සේවයෙන් ඉල්ලා අස්ව ඇතැයි වාර්තාවේ.

    රාජිත දිසානායක දශක ⁣දෙකකට අධික කාලයක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළේය.

    2019 ජූලි මාසයේ එක දවසක්, බකමූණා වීදි බසී, නැතුවම බැරි මිනිහෙක්,හිතල ගත්තු තීරණයක්,සිහින හොරු අරං,හංසයන්ට මං ආසයි වැනි රාජ්‍ය සම්මාන ලාභී වේදිකා නාට්‍ය රාශියක් ඔහු විසින් අධ්‍යක්ෂනය කර ඇත.