fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හම්බන්තොට සිට ගාල්ලට මුහුදෙන් අමුද්‍රව්‍ය ගෙනියන්න ඉන්සි සිමෙන්ති සමාගම ගිවිසුම්ගත වෙයි

    හම්බන්තොට සිට ගාල්ලට මුහුදෙන් අමුද්‍රව්‍ය ගෙනියන්න ඉන්සි සිමෙන්ති සමාගම ගිවිසුම්ගත වෙයි

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගමක් වන ඉන්සී සිමෙන්ති සමාගම, ගාල්ලේ පිහිටි තම කර්මාන්ත ශාලාව වෙත, හම්බන්තොට වරාය හරහා කාර්යක්ෂමව අමුද්‍රව්‍ය ප්‍රවාහනය සහතික කිරීම සඳහා ගිවිසුමකට එලැඹුණු බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සදහන් කරයි.

    හම්බන්තොට සමුද්‍රීය මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී ඉන්සී සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ සහ HIPGහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබූ බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) පවසයි.

    HIPGහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු ඉන්සී සමාගම සමඟ ඇති හවුල්කාරිත්වය අගය කරමින් කියා සිටියේ එය දෙපාර්ශවයටම විශාල අන්‍යෝන්‍ය වාසියක් වනු ඇති බවයි. “හම්බන්තොට ජාත්‍යන්තර වරායේ වියළි තොග භාණ්ඩ හැසිරවීම සඳහා පළමු පාරිභෝගිකයා ඉන්සි සමාගම වන අතර ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය අපි බෙහෙවින් අගය කරමු. අපි 2018 සිට ඔවුන් සමඟ කටයුතු කළ අතර වියළි තොග පරිමාවන් හැසිරවීමේදී අපගේ ඵලදායිතාව විශාල ලෙස ඉහළ නැංවීමට ද හැකි වුනා. සමාගම් ද්විත්වය එකිනෙකාට ලබා දෙන වටිනාකම හඳුනා ගනිමින්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගෙන දෙන ජයග්‍රාහී අවස්ථා අඛණ්ඩව නිර්මාණය කරන ගිවිසුමකට එළඹීමෙන් අප අතර පවතින හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අපි තීරණය කළේ එනිසායි”.යැයිද ඔහු සදහන් කළේය.

    ප්‍රධාන විධායක නිලධාරීවරයා තව දුරටත් පැවසූයේ 2021 වසරේ දී, මෙට්‍රික් ටොන් මිලියනයකට වඩා වැඩි වියළි තොගයක් එක් පාරිභෝගිකයෙකු යටතේ ප්‍රථම වතාවට හැසිරවීමේ සුවිශේෂී ජයග්‍රණ‍ය සනිටුහන් කිරීමට ඉන්සී සමාගම, වරායට අවස්ථාව සැලසූ බවයි.

    හම්බන්තොට වරාය සමූහය සමග එක්ව කටයුතු කිරීම ඔවුනට විශාල වාසියක් වී ඇති බව ඉන්සී සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ මහතා පවසයි. “පෙර මෙහෙයුම් වලදී අප මුහුණ දුන් සීමා හේතුවෙන් විශාල පරිමා සහිත විසල් යාත්‍රා ගෙන ඒමට අපට නොහැකි වුනා. හම්බන්තොට වරාය අපට විශිෂ්ට ව්‍යාපාරික හවුල්කරුවෙකු වූවා මෙන්ම, අපගේ අමුද්‍රව්‍ය කාර්යක්ෂමව සහ කාලෝචිත ලෙස බෙදා හැරීම සඳහා, ධනාත්මක බලපෑමක් ඇති නිර්මාණාත්මක විසඳුම් කිහිපයක් අපට ඉදිරිපත් කළා. විදේශ යාත්‍රාවලට අප විසින් ගෙවන ලද භාණ්ඩ ප්‍රවාහන ගාස්තු අඩු වූ බැවින් අප සමාගමට පමණක් නොව දේශීය ආර්ථිකයට ද ඩොලර් ඉතුරුම් ලබා දෙමින් ප්‍රතිලාභ අත්විඳීමට අපට හැකි වුනා”. යැයි ඔහු කීය.

    ඉන්සී සිමෙන්ති සමාගමේ ප්‍රසම්පාදන හා කාර්යෝපාය අධ්‍යක්ෂ තුසිත් ගුණවර්ණසූරිය මහතා පවසන්නේ වරාය සතු ගැඹුරු පර්යන්ත පහසුකම් හේතුවෙන් අමුද්‍රව්‍ය රැගෙන යාමට විශාල යාත්‍රා භාවිතා කිරීමට ඔවුන්ට හැකි වූ බවයි. “HIPහි ඵලදායිතා මට්ටම් ප්‍රශංසනීය වන අතර එහි වේගවත් නම්‍යශිලීත්වය තුලින් මහා පරිමාණ ආර්ථික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට සහ අපගේ නිෂ්පාදන මට්ටම් ඉහළ නැංවීමට හැකි වුනා පමණක් නොව, එමඟින් වරාය වඩා විශාල පරිමාවන් හැසිරවීමටත් සමත් වුනා. මෙය ඉන්සී සමාගම පමණක් නොව අපගේ අවසාන පාරිභෝගිකයාටද ප්‍රයෝජනවත් වූවක්.”

    HIPGහි වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා සඳහන් කරන්නේ වියළි තොග භාණ්ඩ අංශය සංවර්ධනය කිරීමට ඉන්සී මහඟු දායකත්වයක් ලබා දෙමින් දූවිලි පාලනය කිරීමේ යාන්ත්‍රණයක් ද හඳුන්වා දුන් බවයි. ‘ඒ තුළින් පරිසර හිතකාමීව මෙහෙයුම් සිදු කිරීමට අපට හැකි වුනා. මෙහෙයුම් කාර්ය මණ්ඩලය ලබා දුන් විශාල සහයෝගය සහ නැව් බඩු බෑම හා පැටවීම වැනි මිනිස් ශ්‍රමය යොදාගනිමින් සිදු කරන මෙහෙයුම් ඉතා කාර්යක්ෂමව සැලසුම් කිරීම සහ සැපයුම්කරුවන් සහ වරාය අතර ඉහළ මට්ටමේ සන්නිවේදන පැවතීමද ඉන්සී සමාගම වෙත ප්‍රතිලාභ ලබා දී ඇත. එම උසස් තත්ත්වයේ සේවාවන් අඛණ්ඩව ලබා දීම අපගේ බලාපොරොත්තුවයි,” ඔහු වැඩිදුරටත් කියයි.

    ඉන්සී සමඟ ඇතිකරගත් ගිවිසුම වරාය සඳහා නව පියවරකි. ලොව පුරා ඇති. සියලුම සී.එම්.පෝර්ට් මෙහෙයුම්හී ප්‍රධාන කොටසක් වන, ප්‍රශස්ථ කාර්යක්ෂමතාව සඳහා සේවකයින් අඛණ්ඩව පුහුණු කිරීම සහ පරීක්ෂා කිරීම් ඇතුලත් වන ආකාරයට ක්‍රියාකාරී බහුකාර්ය වරායක් බවට පත්වීමේ ඉලක්කය වෙත හම්බන්තොට වරාය වේගයෙන් ලඟා වෙමින් පවතියි.

    • මුල් සේයාරුව- හම්බන්තොට සමුද්‍රීය මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදි ඉන්සී සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ HIPGහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු ගිවිසුම් අත්සන් කරන අයුරු.

    • පහත සේයාරූ- ඉන්සී සිමෙන්ති කණ්ඩායම සහ හම්බන්තොට වරාය කණ්ඩායම

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.