තවත්

    පුංචි ඡන්දය මැයි 6 වෙනිදා

    0

    එළඹෙන පළාත් පාලන මැතිවරණය මැයි මස 06 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තර කිරීමක් මැතිවරණ කොමිසන් සභාව විසින් පැහැදිලි කිරීමට නියමිතව ඇත.

    රන් මල්ලිගේ පාසල් මිතුරා කෝටි 46ක කුඩු සමඟ අල්ලයි

    0

    හරක් කටාගේ මත්කුඩු ජාලයේ ප්‍රධානියා බව කියැවෙන රන් මල්ලී නැමැති මත්කුඩු ජාවාරම්කරුගේ පාසල් මිතුරා රුපියල් කෝටි 46කට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 33යි ග්‍රෑම් 210ක් සමඟ දික්වැල්ල ඌරුගමුව රදම්පල පිහිටි නිවසේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (19) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මත්කුඩු තොගය සමඟ අත්අඩංගුවටගත් සැකකරු මාතර කාර්මික විද්‍යාලයේ රියදුරෙක් ලෙස සේවයේ නිරතව සිට මාසයකට පමණ පෙර ඉන් ඉවත්ව ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

    දික්වැල්ලේ පිහිටි ප්‍රධාන පෙලේ පාසලක රන් මල්ලී සහ මෙම සැකකරු එක පංතියේ අධ්‍යාපනය ලබා ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.

    චරිත් සඳකැළුම් නොහොත් රන් මල්ලී නැමැති මත්කුඩු ජාවාරම්කරු මේ වන විට සිටින්නේ ඩුබායිහීය. හරක් කටාගේ මත්කුඩු ජාලයේ ප්‍රධානියා බව පැවසෙන ඔහු හරක් කටා මැඩගස්කරයේ දී අල්ලා මෙරටට රැගෙන ඒමෙන් පසු මත්කුඩු ජාවාරම තනිවම කරගෙන ගොස් ඇති බව සඳහන්ය.

    මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටු මගින් දකුණු මුහුදු තීරයට රැගෙන විත් ඇති මෙම මත්කුඩු තොගය දින කිහිපයකට පෙර මෙම නිවසේ කාමරයක සඟවා ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ. පැකට් 29ක් ලෙස මෙම මත්කුඩු තොගය නිවසේ කාමරයේ සගවා තිබී ඇත.

    දේශබන්දු රිමාන්ඩ්

    0

    මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට අද දින ඉදිරිපත් වූ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව තමා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා  ඉදිරිපත් කළ රිට් පෙත්සම ඊයේ (17) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කිරීමත් සමඟ දේශබන්දු තෙන්නකෝන් මහතා අද අධිකරණයට ඉදිරිපත් විය.

    දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන්  පෙනී සිටීමට නීතිඥවරු රැසක්  මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි බව වාර්තාවේ.

    බොරැල්ලේ ජුවලරියක් හොරු බිඳියි

    0

    බොරැල්ල ඩී.එස්. සේනානායක මාවතේ පිහිටි රන් භාණ්ඩ අලෙවි ස්ථානයක් ඊයේ (17) අලුයම හොරු බිඳ රුපියල් ලක්ෂ 50ක රිදී සහ මැණික් ගල් සොරාගැනීමක් සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විමර්ශන ආරම්භකර ඇත.

    රිදී කිලෝ 07ක් සොරාගත් භාණ්ඩ අතර ඇතැයිද එම ජුවලරියේ හිමිකරු පොලිසියට පවසා තිබේ.

    මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 16 වෙනිදා සවස ජුවලරිය වසා දැමීමෙන් අනතුරුවය.

    ආරක්ෂක කැමරා පරීක්ෂා කරමින් සැකකරු හදුනා ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටියි.

    ජනපති ආරක්ෂක ගුවන් සෙබලා පුපුරණ ද්‍රව්‍ය සමඟ හසුවේ

    0

    පුපුරණ ද්‍රව්‍ය රැගෙන ලෑන්ඩ්කෘෘෂර් වර්ගයේ ජිප් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවටගත් ජනපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයේ නිරත ගුවන් හමුදා සෙබලෙක් ඇතුළු දෙදෙනෙක් පැය 48ක් රදවාගෙන විමර්ශන පවත්වන බව වෙල්ලාවලි පොලිසිය සඳහන් කරයි.

    වයස අවුරුදු 34ක් වන මෙම ගුවන් හමුදා සෙබලා ගොඩකවෙල නියන්ගම පදිංචිකරුවෙකි. ඔහු සමඟ අත්අඩංගුවටගත් සෙසු සැකකරු 60 හැවිරිදි වියේ පසුවන කැලණිය ගෝනවල පදිංචිකරුවෙක් බව පොලිසිය සඳහන් කරයි.

    වෙල්ලාවලි පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් රාත්‍රී ජංගම රාජකාරියේ නිරතව සිටියදී ඊයේ (17) අලුයම් කාලයේදී වෙල්ලාවලි බක්කි ඇල්ල මාර්ගයේ පාලයඩ්වට්ට ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබුණු ජිප් රථයක් පරීක්ෂාවට ලක්කර තිබේ. ලෑන්ඩ්කෘෘෂර් වර්ගයේ එම ජිප් රථය ජනාධිපති ලේකම්කාර්යාලයට අයත් ජනාධිපති ආරක්ෂක ගුවන් හමුදා ඒකකයේ රාජකාරි යොදවා ඇති එකක් බවද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    මෙම ජිප් රථයේ තිබී පුපුරණ ද්‍රව්‍යක් වන වෝටර් ජෙල් කූරු 01ක්, ඇමෝනියා කිලෝ 01ක්, සේවා නූල් 01ක්, ප්ලේන්ට් රිමුවර් බෝතල් 03ක් හමුවී ඇත. මේ කිසිදු පුපුරණ ද්‍රව්‍යක් නීත්‍යානුකූලව ළඟ තබාගෙන ඇති බවක් අනාවරණය නොවූ බැවින් මෙසේ අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කරයි.

    මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගියේ කුමන කටයුත්තකටදැයි පැහැදිලිවම කිසිවක් අනාවරණය නොවන බැවින් රදවාගෙන ප්‍රශ්න කෙරෙන බව පොලිසිය සඳහන් කළේය.

    පෙත්සම නිෂ්ප්‍රභයි – දේශබන්දු වහා අත්අඩංගුවට ගන්න

    0

    මාතර, වැලිගම ප්‍රදේශයේ 2023 වසරේ සිදුවු වෙඩිතැබීමට අදාළව තමා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (17) තීන්දු කළේය.

    ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

    දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉකුත් 12 වැනිදා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බලා එහි තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළහ.

    හුළංකන්දෙන් වැටුණු දෙමටගොඩ තරුණයාගේ සිරු ර බිසෝ ඇල්ලෙන් හමුවේ

    0

    මිතුරන් පිරිසක් සමඟ මහවෙල පිහිටි හුළංකන්ද නැරඹිමට ගොස් සිටි දෙමටගොඩ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් කන්දෙන් බිමට වැටී ඊයේ (16) මියගොස් ඇත.

    දෙමටගොඩ සුපුන් සෙවනේ පදිංචිව සිටි ආර්.ඒ.බී. පබසර නැමැති තරුණයා මෙසේ මියගොස් තිබේ.

    මිතුරන් පිරිසක් සමඟ ඔහු හුළංකන්ද නැරඹිමට ගොස් සිටියදී කන්දෙන් පහළට ඇද වැටී ඇති බව මහවෙල පොලිසිය සඳහන් කරයි.

    තරුණයාගේ සිරුර හමුවී ඇත්තේ කන්ද පහළ බිසෝ ඇල්ල ප්‍රදේශයේ තිබියදී බවද පොලිසිය සඳහන් කළේය.

    හලාවත රෝහලේ කලහාකාරී ලෙස හැසුරුණු රෝගියා ට වූ දේ

    0

    පහරකෑමකට ලක්ව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරුවෙකු රෝහල තුළ කලහාකාරී ලෙස හැසිරී හේතුවෙන් රෝහලින් එළියට දැමීමට රෝහල් කාර්ය මණ්ඩලය ඊයේ (16) පියවර ගෙන ඇත.

    හලාවත දැසුරුඔය පදිංචිකරුවෙක් වන 22 හැවිරිදි වියැති මෙම රෝගියා තවත් පුද්ගලයකු සහ කාන්තාවන් තිදෙදෙනක් සමඟ එක්ව රෝහල ඉදිරිපිට මාර්ගයේ කොළඹ – හලාවත මාර්ගය අවහිර කරමින් තමාට පහරදුන් අය අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් කළහාකාරී ලෙස හැසිරී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

    මෙම අවස්ථාවේදී හලාවත මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ මාර්ගය අවහිර වන සේ රැදී සිටි පිරිසට මාර්ගයෙන් ඉවත්වන ලෙස දැනුම්දෙමින් පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පවසා තිබේ.

    එහිදී මාර්ගය අවහිර වන සේ රැදී සිටි පිරිස ඊට ඇහුම්කන් නොදී පොලිස් නිලධාරීණ්ට දොස් පවරමින් මාර්ගය අවහිර වන සේ තවදුරටත් රැදී සිට ඇත. එහිදී පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වෙමින් මාර්ගය අවහිර වන සේ රැදී සිටි සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී සැකාර කාන්තාවක් විසින් පොලිස් නිලධාරිනියගේ අත සපා කා ජංගම දුරකථනයකින් නිලධාරිනියට පහරදී ඇති බව පොලිසිය සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනෙක් සිටින බවත් සැකකරුවන් අවුරුදු 22,17,48 මඑ 55 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය සඳහන් කළේය.

    අත්අඩංගුවටගත් සැකකරුවන් අතර රෝහලින් එළියට දැමූ පුද්ගලයාද සිටියි. ඔහුට පහරදුන් අවුරුදු 22ක් වයසැති සැකකරුවද පොලිසිය ඊයේ (16) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මිදිගම නිවසකට වෙඩි

    0

    මිදිගම පාතේගම පිහිටි නිවසකට අද (17) අලුයම් කාලයේදී සිදුවූ වෙඩි තැබීම බන්ධනාගාරගතව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙක් විසින් මෙහෙයවා ඇති බවට සැකයක් පොලිසියට ඇතිවී තිබේ.

    සිය සහෝදරිය බිය ගැන්වීම සදහා එම මත්කුඩු ජාවාරම්කරු විසින් බන්ධනගාරයේ සිට මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    මිදිගම චූටි නැමැති මත්කුඩු ජාවාරම්කරුගේ මත්කුඩු ජාලයට සම්බන්ධ සැකකරු මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව මේ වන විට බන්ධනාගාරගතව සිටින බව පොලිසිය සඳහන් කරයි.

    සහෝදරිය බිය ගන්වා නිවස අලෙවිකර ගැනීම අරමුණුකරගෙන බන්ධනාගාරයේ සිට සහෝදරයා විසින් මෙම වෙඩි ප්‍රහාරය මෙහෙයවා ඇතැයි සැකකරන තොරතුරු අනාවරණය වී තිබෙන බවද පොලිසිය සඳහන් කරයි.

    වෙඩි තැබීමෙන් ජීවිත හානියක් සිදුව නැති බවත් නිවසේ ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී තිබෙන බවත් පොලිසිය සඳහන් කරයි.

    මිදිගම පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබයි.

    ශා.අන්තෝනි පල්ලියේ මංගල්‍යට ආ ගැට කපන්නිය කොටු

    0

    කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි පල්ලියේ මංගල්‍යට සහභාගිවීමට ගොස් සිටි දෙමටගොඩ කාන්තාවකගේ ගෙල බැදි රන් මාලය කොල්ලකෑ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ඩෙල්ෆ් පොලිසිය සමත්ව ඇත.

    මෙම කොල්ලය පසුගිය 14 වෙනිදා සවස් කාලයේදී සිදුව ඇති බව ඩෙල්ෆ් පොලිසිය සඳහන් කළේය.

    පවුම් 04ක් පමණ බරැති රුපියල් ලක්ෂ 09ක් වටිනා රන් මාලය මෙසේ කොල්ලකා ඇති බව පොලිසිය කියයි. මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් කාන්තාව බුලත්සිංහල පදිංචි 33 හැවිරිදි තැනැත්තියක් බව පොලිසිය සඳහන් කරයි.

    කරන්දෙණිය පොලිසියෙන් මෝටර් බයික් එකක් සොරාගත් සොහොයුරන් අත්අඩංගුවට

    0

    නඩු භාණ්ඩයක් ලෙස කරන්දෙණිය පොලිස් ස්ථානයේ ගාල්කර තිබුණු යතුරුපැදියක් සොරාගත් සැකකරුවන් දෙදෙනෙක් කරන්දෙණිය පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (15) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සොරකම පසුගිය 10 වෙනිදා රාත්‍රී කාලයේදී කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    මෙම කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක් සහ 21ක් වයසැති කරන්දෙණිය මොරගහකන්දේ පදිංචි එකම පවුලේ සහෝදරයන්ය.

    ශ්‍රිලංකන් සේවිකාවන්ට ගුවනේදී අනග රැඟුම් පෑ මගියා කොටුවෙයි

    0

    සිංගප්පූරු සිට කටුනායක බලා පියාසරකරමින් තිබුණු යූ.එල්. 309 අංකය දරණ ගුවන් යානය තුලදී බීමතින් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කළ ශ්‍රී ලංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය ඊයේ (15) රාත්‍රී කාලයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

    අතුරුගිරියේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු අවුරුදු 38ක් වයසැති අයෙකි.

    ගුවන් සේවිකාවන් දෙදෙනා විසින් කළ පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරු අල්ලාගෙන විත් පොලිසියට භාරදී තිබේ.

    ගොවීන්ට දුන් රු.මි 2.9ක් වංචා කළ ගොවි ජන සේවා නිලධාරිනියට වූ දේ

    0

    ගොවීන් වෙත 2024 /2025 මහ කන්නය සඳහා ලබාදෙන ලද මූල්‍ය සහනාධාර වැඩ සටහනේ රුපියල් මිලියන 2.9කට අධික මූල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්දයෙන් කළමනාකරණ සේවා නිලධාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නිරත 37හැවිරිදි වියැති නිලධාරිනියක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇය අනුරාධපුර රත්නායකපුර පදිංචිකාරියක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මගේ ඉඩමේ රිලව් තුනයි – සංගණනය සාර්ථකයි

    0
    2023 වසර තුළ සයිබර් අපරාධ වාර්තා වී තිබූ ආකාරය

    අද පැවති සත්ත්ව සංගණනය ඉතා සාර්ථකව සිදු වූ බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරැණාරත්න මහතා පවසයි.

    ඒ සඳහා ලක්ෂ ගණනක ජනතාවක් ඉතා උනන්දුවෙන් සම්බන්ධ වූ බවද හෙතෙම සඳහන් කළේය.

    පර්චස් 60 ක පමණ වූ තම කුඩා ඉඩමේ ද බිරිඳ සහ පුතා සත්ත්ව සංගණනයට එක්වූ බව හෙතම කියා සිටියේ ය.

    රිලවුන් තුන්දෙනෙකු සිය ඉඩමේ ගණන් කළ බව කී නාමල් කරුණාරත්න මහතා, අනතුරුව අසල විහාරස්ථානයකට යමින් එම ඉඩමට පැමිණ සිටි රිලවුන් තිස් ගණනක් ගණන් කළ බව කීවේය.

    මෙම සංගණනය සඳහා සහයෝගය ලබා දුන් සියලුම ජනතාවට, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය ආයතන ඇතුළු සියලු දෙනාටම තමන් ස්තුතිවන්ත වන බවද හෙතෙම පැවසීය.

    එහෙත් මෙම සත්ත්ව සංගණනය මුළුමනින්ම අසාර්ථක බව සංවිධාන ගණනාවක් පෙන්වා දෙයි. සමස්ත සංගණනයක් මෙමගින් සිදු නොවන බව ගිහි පැවදි බොහෝ දෙනෙක් මාධ්‍යට කරුණු දක්වා තිබිණි.

    ඉන්දීය අගමැති මෝදී අප්‍රේල් මුල ලංකාවට

    0

    ලබන මාසයේ (අප්‍රේල්) මුල්දින කිහිපය තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

    විදේශ අමාත්‍යවටයා අද (15) පාර්ලිමේතුවේ අදහස් දක්වමින් මේ බව හෙළි කළේය.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ දී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන අප්‍රේල් 4 හෝ 5 දින මෙරට නිල සංචාරයකට පැමිණෙනු ඇතැයි ද සම්පූර්ණ බලාගාරයේ සමාරම්භය ඊට සමගාමීව සිදුවනු ඇතැයි ද මෙයට පෙර මාධ්‍ය වාර්තා පළවිණි.

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්-පුද්ගලයෙක් මරුට

    0

    අම්බලන්ගොඩ ඉඩම් තොට ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

    මෙසේ මිය ගොස් ඇත්තේ ගිරුමාධුර සමන් කුමාර නොහොත් සුද්දා නැමති සිව් දරු පියෙකි.

    යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් නිවසේ සිටි සමන් කුමාරට වෙඩි තබා පළාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    බටලන්ද ගැන රනිල් ගෙ ප්‍රකාශය අනිද්දා

    0

    වසර 25 කට පසුව පාර්ලිමේන්තුවට සභා ගත කළ බටලන්ද ජනපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අනිද්දා (16) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

    අදාළ වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන්ද නිල් වික්‍රමසිංහ මහතා විශේෂ හෙළිදරව්වක් කිරීමට නියමිතව ඇතැයි මෙරට මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.

    සභානායක අමාත්‍ය  බිමල්  රත්නායක මහතා අද පෙරවරුවේ අදාළ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ප්‍රතිචාරය ලැබී තිබේ

    25 වසරකට පසු බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට

    0

    දෙදාහස වර්ෂයේ සිට මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ 1988/89  බටලන්ද වධකාගාරයට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවේ සභාගත කෙරිණි.

    සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බටලන්ද අද හිරු එළිය දුටු බව කියා සිටියේය.

    ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් 1995 දෙසැම්බර් 15 වැනිදා එවකට මහාධිකරණ විනිසුරු ධර්මසිරි ජයවික්‍රම (කොමිසමේ සභාපති) ,මහාධිකරණ විනිසුරු නිමල් එඩ්වඩ් දිසානායක (කොමසාරිස්) ප්‍රධානත්වයෙන් පත්කළ මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තාව 2000 වර්ෂයේ දී වාර්තාව ඉදිරිපත් කළේය.

    එසේ වුවද වසර 25 ගතවුවද එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත නොකිරිණි.

    මෙම මාතෘකාවට නැවත කරළියට පැමිණියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ජසීරා මාධ්‍ය සමඟ පසුගියදා කළ සම්මුඛ සාකච්ඡාවකි. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද වධකාගාරයට අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් එකී ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවූ බව පැවසීය.

    එවිට වාර්තාව අතැතිව සිටි බීබීසී මාධ්‍යවේදිනිය එම වාර්තාව සභාවට පෙන්වමින් එම කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක නොකළේ ඇයි දැයි ප්‍රශ්න කළේය.

    ආණ්ඩුව බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ එවැනි පරිසරයකයි.

    ඒ අනුව එම වාර්තාව නීතිපතිවරයාට යොමු කරන අතර කොමිෂන් වාර්තා පිළිබඳව ඉදිරි තීරණය ගැනීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කොට, දෙදින විවාදයක් පැවැත්වීමටත් තීරණය කළ බව සභානායකයා බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

    විශ්‍රාමික බන්ධනාගාර අධිකාරීට වෙඩි තබා ඝාතනය කරයි

    0

    අක්මීමන, තලගහ පදිංචිව සිටි මෑතක දී විශ්‍රාම ගිය බන්ධනාගාර අධිකාරිවරයකු අද (13) නිවසට පැමිණ කළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

    ගාල්ල බූස්ස බන්ධනාගාරයේ සේවයේ නියතුව සිට විශ්‍රාම ගිය මෙම බන්ධනාගාර අධිකාරිවරයාගේ නිවසට පැමිණ ඇති සන්නද්ධ පුද්ගලයෙක් ඔහුගේ කටට වෙඩි තබා පලා ගොස් තිබේ.

    ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි

    සීදූව වෑත්තෑව ශ්‍රී නන්දාරාම විහාරාධිපති ඝාතනයේ මහමොළකාරිය ඩුබායි සිට එද්දී අල්ලයි

    0

    සීදූව වෑත්තෑව ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස වැඩ සිටි නැදගමුවේ මහානාම හිමියන්ව 2022 වසරේ සැප්තැම්බර් 14 වෙනිදා මරා දැමීමට උන්වහන්සේගේ ගෝලහිමියන්ව මෙහෙයවූ බව කියන සැකකාර තරුණිය ඩුබායි සිට ඊයේ (12) රාත්‍රී කාලයේ මෙරටට පැමිණි අවස්ථාවේ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සීදූව පොලිස් ස්ථානයට භාරදී ඇත.

    මිනුවන්ගොඩ හීනටියන පදිංචිකාරියක් වන 24 හැවිරිදි ඇය ඝාතනයට ලක්වූ විහාරාධිපති හිමියන්ගේ ගෝලහිමියන් සමඟ මුහුණුපොත ඔස්සේ පෙම් සම්බන්ධයක් ඇතිකරගෙන සිට ඇති බවත් ඒ වන විටත් ඇය සිට ඇත්තේ ඩුබායි හී බවත් එකල පැවති පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබුණි.

    විහාරාධිපතිහිමියන් සතු දේපොල අත්පත්කර ගැනීමට උන්වහන්සේ ඝාතනය කරවීමට ඇය ඩුබායි සිට ගෝලහිමියන්ව මෙහෙයවා ඇති බව ද එකල අනාවරණය විය.

    විහාරාධිපතිහිමියන් මරා දමා ඩුබායි බලා යාමේ අපේක්ෂාවෙන් ගුවන්තොටුපොලට පැමිණි අවස්ථාවේදී ගෝලහිමියන් අත්අඩංගුවට ගෙන තිබුණි.

    මේ සඳහා ඇයට ඩුබායි හී රැදී සිටි සැකකාර තරුණියගේ හාම්පුතා බව සදහන් පුද්ගලයාගෙන්ද සහය ලැබී තිබී ඇතැයි එකල කියැවිණි. හාම්පුතා ද ශ්‍රී ලංකිකයෙක් වූ බැවින් තරුණියත් එම හාම්පුතාත් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල්කර ගැනීමට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස් ප්‍රධානීන් එකල සඳහන් කරනු ලැබීය.

    එහෙත් මෙම තරුණිය ගුවන්තොටුපොලේදී පෙරේදා (12) අත්අඩංගුවට ගන්නා තුරුම ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනයක් ලබාගැනීමට කිසිදු පියවරක් ගෙන නොතිබුණි.

    පූකුඩිකන්නගේ සොහොයුරා ඉන්දියාවේ සිට රැගෙන ආ මෙහෙයුම

    0

    මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පාතාලයේ අපරාධකරුවෙක් වන පූකුඩිකන්නාගේ සහෝදරයා ඉන්දියාවේ සිට ඩුබායි බලා යාමට සූදානම් වූ අවස්ථාවේදී චෙන්නායි ගුවන්තොටුපොලේදී ඉන්දියානු ආරක්ෂක අංශ විසින් අල්ලා බුද්ධි මෙහෙයුමකින් අනතුරුව මෙරටට එවා තිබේ.

    දින කිහිපයක් එරට රදවා ගෙන සිටීමෙන් අනතුරුව ඔහුව ගුවන් මගින් මෙරටට එවනු ලබන්නේ අද (13) අලුයම් කාලයේදීය.

    ගුවන්තොටුපොලේදී මෙම සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමටද කටයුතු යොදා තිබුණි.

    පූකුඩිකන්නාගේ සහෝදරයාට මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් නඩු රැසක් අධිකරණයේ ඇත. එම නඩු සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව වරෙන්තුද නිකුත්කර තිබිණි.

    පාතාලයේ ගැටුම් හේතුවෙන් පූකුඩිකන්නා මෙරටින් ඉන්දියාවට පලායාමෙන් ඔහුගේ සහෝදරයා වන මෙම සැකකරු ගුවන් මගින් ඉන්දියාවට ගොස් සහෝදරයාගේ රැකවරණය මත සිට ඇත.

    2015 වසරේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් කළ මෙහෙයුමකදී කිඹුලා ඇල ගුණා ඇතුළු මෙරට පාතාලයේ පිරිසක් අත්අඩංගුවට ගන්නා විට පූකුඩිකන්නාද ඒ අතර සිටියේය. එම අත්අඩංගුවට ගැනීමත් සමඟ බියටපත්වූ පූකුඩිකන්නාගේ සහෝදරයා බෝට්ටුවක නැගී ඉන්දියාවේ සිට මෙරටට පැමිණ සැගවී කෙටි කාලයක් රැදී සිට ඇත.අනතුරුව ඔහු ව්‍යාජ නමකින් විදෙස්ගමන් බලපත්‍රයක් සකස්කර ගෙන ගුවන් මගින් ඉන්දියාවට ගොස් ඇත.

    පකිස්තානය සමඟ මත්කුඩු ජාවාරමේ නිරතව සිටින ජාවාරම්කරුවන් හේතුවෙන් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට එල්ලවී ඇති තර්ජන හේතුවෙන් ඉන්දියානු බුද්ධි අංශ මේ වන විට සිය බුද්ධි මෙහෙයුම් දැඩිකර තිබේ.

    ඉන්දියාවට පළාගොස් සිටින ශ්‍රී ලාංකීය අපරාධකරුවන් රැසක් පසුගිය කාලයේදී අත්අඩංගුවට ගැනෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. එසේ අත්අඩංගුවටගන්නා ශ්‍රී ලංකීය සැකකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කාර්යාංශය සමඟ ඉන්දීය බුද්ධි අංශයට සම්බන්ධ මෙරට නියෝජිතයෙක් සම්බන්ධවෙමින් මෙරටට එවීමට කටයුතු කරන බව සඳහන්ය.

    පූකුඩිකන්නාගේ සහෝදරයාද එම බුද්ධි මෙහෙයුමට හසුවී අත්තේ පසුගිය සතියේදීය. බුද්ධි අංශ ඔහුව නිරීක්ෂණයකරමින් සිටියදී ඩුබායි වෙත යාමට උත්සාහ දරා ඇත. එහිදී බුද්ධි අංශ විසින් ඔහුව කොටුකර මෙරටට එවීමට පියවර ගෙන තිබේ.

    මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    0

    ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදුම් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

    මැදින්පුර පසළොස්වක පොහොය දිනය දෙමව්පියන්ට ගෞරව කිරීම සැලකීම කියා දෙන උතුම් වූ පුන් පොහො දිනයකි.

    දෙමාපියන්ට උපස්ථාන කිරීම අඹු දරුවන්ට සැලකීමෙන් හා යහපතෙහි යෙදීම උතුම් මංගල කාරණයක් බව බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දේශනා කර තිබේ.

    බුද්ධත්වයට පත්වීමෙන් පසුව සිය පියාට සංග්‍රහ කිරීම සඳහා බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීම සිදුවන්නේ ද අදවන් මැදින් පුරාාසලොස්සක පොහොය දිනයක ය.

    යමා මහ පෙළහර පාමින් ශාක්‍යයන්ගේ මානය දුරු කිරීම, සුද්ධෝදන රජතුමා තෙවැනි වරටත් සිය පුත්‍රයා වන්දනය කිරීම, යශෝධරා දේවියගේ කුටියට වැඩ කිරීම හා සඳකිඳුරු ජාතකය දේශනා කිරීම, ඒහි භික්ෂු භාවය වෙනුවට හිස මුඩුකර සිවුරු පොරවා මහණ කිරීම රාහුල කුමරුන් සසුන්ගත කිරීමට සමඟාමීව ඇරඹීම ඇතුළු සාසන ඉතිහාසයේ බොහෝ වැදගත් කරුණු රැසක් අද වන් මැදින්පුර පසළොස්වක පොහොයය දිනක සිදුව ඇත.

    පළමු පාසල්වාරයේ පළමු අදියර හෙටින් අවසන්

    0

    2025 වර්ෂයේ පළමු පාසල් වාරයේ
    පළමුවන අදියර හෙට (14) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

    2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර මෙසේ 2025.03.14 වන සිකුරාදා දින අවසන් වේ.

    සියලු ම පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර 2025.අප්‍රේල්.01 වන අඟහරුවාදා දින ආරම්භ වන බව අදාළ නිවේදනයේ සඳහන්‍ ය.

    වෛද්‍යවරියට අතවර කළ සැකකරු අල්ලයි

    0

    අනුරාධපුර රෝහල් වෛද්‍යවරියට අතවර කළ සැකකරු එම අතවරය කර ඇත්තේ නිවෙස් බිඳුම් සහ සොරකම් සම්බන්ධයෙන් සිරදඩුවමක් ලැබ බන්ධනාගාරයෙන් නිදහස ලබා යමින් සිටියදී බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    ජංගම දුරකථකන සඳහා දැඩි ලොල්කමක් දක්වන්නෙක් වන ඔහු වෛද්‍යවරිය දූෂණයකර ඇගේ ජංගම දුරකථනය රැගෙන ගොස් ඇති බවත් එම දුරකථනයේ අංකය ඔස්සේ සිදුකල තාක්ෂණ මෙහෙයුමකින් කොටුකර ගැනිමට අද සමත්ව ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

    මෙම සැකකරු කර්නල්වරයෙකුගේ නිවසක් බිඳ දේපොල සොරාගැනීමක් සම්බන්ධයෙන් සිරදඩුවම් ලබා ඇති බවත් එවර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට සොයන විට චීවරධාරියෙක් ලෙස සැඟව සිට ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

    අනුරාධපුර වෛද්‍යවරියට යුක්තිය ඉල්ලා GMOA සංකේත වැඩ වර්ජනයක

    0
    Medical people - doctors, nurse and surgeon in Healthcare institute or doctorate education.

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක රෝහල තුළ දී ලිංගික හිංසනයකට ලක්වීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS) විසින් අද (12) පෙරවරු 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

    AMS විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන්ව ඇත්තේ, වෛද්‍යවරිය ඇයගේ රාත්‍රී සේවයේ යෙදී සිටියදී ඔහුගේ කාර්ය මණ්ඩපය තුළ සිටියදී මෙසේ හිංසනයට ලක් වීම පිළිකුලෙන් හෙලා දකින බවයි.

    මෙම ක්‍රියාව දැඩි ලෙස දැඩිව චෝදනා කරන AMS, මෙවැනි ප්‍රහාර මඟින් වෛද්‍යවරුන්ගේ ආරක්ෂාවට බාධා වන බව පෙන්වා දී තිබේ.

    මෙවැනි සිදුවීම් නැවත සිදු නොවීම සඳහා සඳහා රජය වහා පියවර ගත යුතු බව ඔවුන් පෙන්වා දෙයි. මේ අතර මෙම සංකේත වැඩ වර්ජනයට සහාය පළකරමින් උතුරු මැද පළාතේ හෙද වෘතීය සංගම් කිහිපයක්ද අද දිනයේ සේවයෙන් ඉවත්ව සිටින බව නිවේදනය කර ඇත.

    දඩයමේ ආ 6ක් අල්ලා පොලිසියට බාරදෙයි

    0
    Man on the chair in Handcuffs. Rear view and Closeup ,Men criminal in handcuffs arrested for crimes. With hands in back,boy prison shackle in the jail violence concept.

    පේරාදෙණිය යහලතැන්න ප්‍රදේශයේ ගැවසෙන වන සතුන් දඩයම්කරමින් සිටියදී වෙඩි තබා මරා දැමූ ඌරෙකුගේ සිරුරක් සමඟ පේරාදෙණිය පොලිසියට ගම්වැසියන් විසින් ඊයේ (09) අලුයම් කාලයේ දී සැකකරුවන් 06 දෙනෙක් අල්ලා දී තිබේ.

    මෙසේ බාර දුන් අය අතර සිටි සේවයෙන් පහකරන ලද පොලිස් නිලධාරියෙක් වන වතු අධිකාරීවරයෙකුගේ මාවතගම පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී ගිනි අවි සහ පතොරම් රැසක් ද සොයාගෙන ඇත.

    ගම්වැසියන් විසින් අල්ලාදුන් සැකකරුවන් 06 දෙනාම මාවතගම පදිංචිකරුවන්ය.

    සේවයෙන් පහකර ඇති පොලිස් නිලධාරියා මාවත ගම කොටිකාපොල පදිංචි රොබට් හීල් වත්තේ වතු අධිකාරීවරයා බව පොලිසිය කියයි.

    ඔහු උපසේවා උප පොලිස් පරීක්ෂකවරයෙන් 1991 වසරේ පොලිස් සේවයට උපසේවා උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස එක්ව ඇති ඔහු 2000 වසරේදී මඩකලපුව පොලිස් කොට්ඨාශයේ සේවයේ නිරතව සිටියදී සේවයෙන් පහකර ඇති අයෙක් බව පේරාදණෙිය පොලිසිය සඳහන් කරයි. ඔහු 58 හැවිරිදි වියේ පසුවන්නෙකි.

    සෙසු සැකකරුවන් අතර 71 හැවිරිදි ඉඩම්හිමි වැවිලිකරුවෙක්ද,28 හැවිරිදි පෙදරේරුවෙක්ද, 31 හැවිරිදි කම්කරුවෙක්ද සිටින බව පොලිසිය සඳහව් කරයි. සෙසු සැකරුවන් දෙදෙනා 63 සහ 55 යන වයස්වල පසුවන්නන්ය.

    වෙඩි තබා මරා දැමූ ඌරා සමඟ ගම්වැසියන් විසින් මෙම සැකකරුවන් 06 දෙනා වටකර අල්ලා පොලිසියට භාරදීමෙන් අනතුරුව ඌරාට වෙඩි තැබූ ගිනි අවිය සොයාගෙන ඇත්තේ මුතරුතලාව යහලතැන්න ප්‍රදේශයේ මාර්ගයක් අසල සඟවා තිබියදීය. එම අවිය බෝරා 12 වර්ගයේ ගිනි අවියක් බව පොලිසිය කියයි.

    මෙම සැකකරුවන් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිිසිය විසින් මාවතගම පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මාවතගම පොලිසියේ නිලධාරීන් සැකකරුවන්ගේ නිවාස පරීක්ෂාවට ලක්කර තිබේ. එහිදී වතුඅධිකාරීවරයා බව කී හිටපු පොලිස් නිලධාරියා පදිංචිව සිටි රොබට්හීල් වත්තේ සඟවා තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි 04ක්, අර්ධ ස්යංක්‍රීය රිවෝල්වරයක්, ටයිටෙන් පවර් වර්ගයේ ගිනි අවියක්, වායු පිස්තෝලයක්, සමඟ බෝර 12 ගිනි අවි සඳහා යොදා ගන්නා පතොරම් 37ක්, ටී 56 වර්ගයේ පතොරමක්, ටී 84 වර්ගයේ ගිනි අවිවලට යොදන පතොරමක්, වායු පිස්තෝලවලට යොදා ගන්නා පතොරම් 08ක්, බෝර 12 ගිනි අවියක යාන්ත්‍රික කොටසක්, යුද හමුදා ඇතුම්වලට සමාන ඇදුම්කට්ටලයක්, අත්විලංගු 02ක් දුනු විදිනයක් ඇතුළු දේපොල රැසක් සොයාගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් මාවතගම පොලිසිය සහ පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    මාස 2කට සංචාරකයො ලක්ෂ 5 ඇවිත්

    0

    දෙදහස් විසි පහ වසරේ පළමු මාස 2ක තුළ සංචාරකයින් ලක්ෂ 5 ඉක්මවා මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

    2024 වසරේදී  විදෙස් සංචාරකයින් මිලියන දෙකක් මෙරටට පැමිණ තිබූ අතර එම අධිකාරියේ අපේක්ෂාව වී ඇත්තේ 2025 වසර තුළ මෙරටට විදෙස් සංචාරකයින් මිලියන 3ක් ගෙන්වා ගැනීමයි. 


    ඒ අනුව 2025 ජනවාරි පළමු වනදා සිට මාර්තු 5 වනදා දක්වා විදෙස් සංචාරකයින් 530,746 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. ඉන්  84,476දෙනෙකු ඉන්දියානු ජාතිකයන්ය.

    70,000කට වැඩි සංචාරකයින් පිරිසක් රුසියාවෙන්ද ,50,000ක් ඉක්මවූ සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන්ද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    මීට අමතරව ජර්මනිය, ප්‍රංශය, චීනය ඇතුළු රටවලින්ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති අතර මාර්තු පළමු දින 5 තුළ පමණක් පැමිණ ඇති විදෙස් සංචාරකයින් ගණන 37,768කි.

    පොලිස්පති සොයන්න මහජන සහය පතයි

    0


    අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟව සිටින ස්ථානයක් සොයා ගැනීමට මහජන සහය පතන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි.


    ඒ අනුව දැනට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස හෙතම සඳහන් කරයි.


    දේශබන්දු තෙන්නකෝන් සොයාගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පවරා තිබේ. වැලිගම මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී වැලිගම පොලිසියේ නිලධාරින් තැබූ වෙඩි ප්‍රහාරයකින් කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් සැරයන්වරයකු මියයාමේ සිද්ධියකට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබිණි.


    එම නියෝගයට අනුගත නොවී දේශබන්දු තෙන්නකෝන් මහතා මේ දක්වා අධිකරණය මගහැර සිටින බව පොලිසිය සඳහන් කරයි. අදාළ තත්ත්වය හමුවේ පොලිස් මූලස්ථානය විසින් ජනාධිපති ලේකම් සනත් නන්දිත කුමානායක මහතාට ලිපියක් යවමින් මේ දක්වා දේශබන්දු තෙන්නකෝන් මහතාට දී තිබෙන සියලු වරප්‍රසාද ඉවත්කරන ලෙස ඉල්ලා තිබේ.


    නිල නිවසක්, නිල මෝටර් රථයක්, ඇමති ආරක්ෂක අංශයේ හය දෙනෙක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් දෙදෙනෙක් ගෙන් සමන්විත වරප්‍රසාද ඔහුට හිමිව තිබු බව සඳහන් වේ.

    දයාසිරි සමාව ඉල්ලයි

    0

    ජාතික ජනබලවේගයේ මන්ත්‍රී සුගත් සිල්වා මහතා මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    සුගත් සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකින් පසු මීට පෙර තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.


    ඔහු මා සමඟ විශ්ව විද්‍යාලයේ සිටි සහෝදරයෙක්. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට අපහාසයක් කරන්න මට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. එතුමා මාත් එක්ක දැනුත් කාලා ආවේ. එතුමාත් වෛරය වැපිරවීමේ ක්‍රියාවලියට තල්ලු කරලා තියෙනවා. මේ ප්‍රශ්නයට විපක්ෂ නායකතුමා ඈදාගන්න එපා. පපුවක් තියෙන කෙනෙක් කවදාවත් විශේෂ අවශ්‍යතා සහිත කිසිවෙක් තලා පෙලන්නෙ නැහැ. යැයි දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    ඉන්ධන බෙදා හැරීම අඩපන කරන්නන් සොයා CID විමර්ශන

    0

    ඉන්ධන බෙදා හරින නියෝජිතයන් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩපන කරමින් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් කටයුතු කර ඒ තුළින් මහජනතාව පීඩාවට ලක්කිරීමට උත්සහ කරන බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම සහ අස්ථාවරභාවයක් ඇතිකර මහජන පීඩාවක් ඇතිකරන තැනැත්තන්ට විරුද්ධව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.

    ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙනු ලබන වට්ටම් මුදලක් සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් හේතුවෙන් මෙම සිදුවීම වන බවද පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.