fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"අන්ධකාර යුගය නිමාකර සෞභාග්‍යවත් යුගයක් උදාකිරීමට පෙළ ගැසෙමු!"

    “අන්ධකාර යුගය නිමාකර සෞභාග්‍යවත් යුගයක් උදාකිරීමට පෙළ ගැසෙමු!”

    උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙස් විදෙස්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් වෙත සුබපැතුම් එක්කර තිබේ.

    විපක්ෂනායකවරයා නිකුත් කළ සුබපැතුම් පණිවිඩය මෙසේ ය.

    “සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලෝකවාසී මෙන් ම ලක්වාසී සිංහල සහ දෙමළ ජනතාව ඉතාමත් ප්‍රීතියෙන් සමරණ උත්සව අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි ය. හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස හැඳින්වෙන මෙදින සියලුම දෙනා එකම නැකැතක සිට එකම කාර්යයක නියැලෙන අතර මෙකී චාරිත්‍රය නිසාම ලෝකයේ සෙසු රටවල් අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඉතා ප්‍රචලිතව තිබේ.

    සියලුම ජනතාව මෙදින තමන්ට හැකි උපරිම අයුරින් මෙකී චාරිත්‍ර ඉටු කරන්නේ ඉදිරි වසරේ සෞභාග්‍යය සහ සශ්‍රීකත්වය අපේක්ෂාවෙනි. නමුත් පසුගිය කාල වකවානුව ලක්වාසී ජනතාවට එතරම් හොඳ කාල වකවානුවක් නොවූ බව මා විශ්වාස කරමි. බදු බර වැඩි වීම, බඩු මිල ඉහළ යාම රටේ අභ්‍යන්තර අර්බුධ ආදී ගැටලු රාශියකට රට මුහුණ දුන් අතර මේ වන විට මැතිවරණ වසරක් ද උදා වී තිබේ. මේ වසරේ ජනතාව අපේක්ෂා කරන පාලනයක් රට තුළ බිහි වී නැවතත් අප මාතෘභූමියට සෞභාග්‍යය උදා වනු ඇති බව මාගේ විශ්වාසය යි.

    එසේ ම පවතින බංකොලොත්භාවයෙන් මිදී නැවතත් ස්වයංපෝෂිත ආර්ථික රටාවක් සහිත රටක් ලෙස අප රට පත් කර සාමය, සතුට, සැනසීම සහිත අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගැනීමට ද කාලය එළැඹ තිබේ.

    රට තුළ පවතින නව සාමාන්‍යකරණය අවසන් කර පෙර පැවැති ජීවන තත්ත්වයට රට ගෙන යාමේ දැවැන්ත අභියෝගයක් අප සතුව පවතී. ඒ අභියෝගය ජය ගත හැක්කේ ලක්ෂ 220ක් වූ ජනතාව එකා මෙන් කටයුතු කිරීමෙනි. සෑම අඳුරු වළාවකම රිදී රේඛාවක් දැකිය හැක්කා සේ මේ අන්ධකාර යුගය අවසන් කර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෞභාග්‍ය සම්පන්න යුගයක් උදාකිරීම සඳහා අප පෙළ ගැසෙමු.”

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.