fbpx
තවත්
    මුල් පිටුවජීවන රටාවහර්නියා රෝගය ගැන දැනගනිමු.

    හර්නියා රෝගය ගැන දැනගනිමු.

    හර්නියා රෝගය කියන්නේ මොකක්ද ? රෝගය හැදෙන අයුරු වගේම රෝගය වළක්වාගන්නා අයුරු හා ප්‍රතිකාර සම්බන්ධ පාඨක ඔබ දැනුවත් කිරීම සඳහා සැකසුණු ලිපියකි.

    අදහස් දැක්වීම
    ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය
    අසංක කමලජීව මහතා
    මොණරාගල රෝහල

    හර්නියා රෝගය අද වනවිට බහුලව පවතින රෝගයක් බවට සමාජයේ පැතිරිලා තියනවා. සිරුරේ අභ්‍යන්තරයේ ඇති ඉන්ද්‍රිය කොටසක් එය වටකර ඇති බිත්තියේ යම් දුර්වල ස්ථරයකින් එම ඉන්ද්‍රිය හෝ පටක පවතින ස්ථානයෙන් අන් තැනකට නෙරායාමයි.
    මෙය බාහිරට නෙරායනවිට External Hernia ලෙසත් සිරුරේ අභ්‍යන්තර අන් ස්ථානයකට නෙරා යනවිට Internal Hernia ලෙස හඳුන්වනවා.
    හර්නියා තත්ත්වය උදරය අවට යටිබඩ, නාභිය අවට හා ඉකිළි ආශ්‍රිත සුලබව දක්නට ලැබෙනවා.
    මීට අමතරව පපු කුහරය, මොළය හෝ කොඳු නාරටිය ආශ්‍රිතව ද දුර්ලභ ගණයේ හර්නියා තත්ත්ව ඇතිවීම් දැක ගන්න පුළුවන්.
    කාන්තාවන්ට සාපේක්ෂව පුරුෂයන් අතර බහුලව දක්නට ලැබෙනවා.

    බහුලව දක්නට ලැබෙන හර්නියා වර්ග

    1. ඉකිළි ප්‍රදේශය (Inguinal area) ආශ්‍රිතව හර්නියා
      සුලබව දකින්න ලැබෙනවා මේ ප්‍රදේශය ආශ්‍රිතව
    2. නාභිය ආශ්‍රිතව
      මෙය කාන්තාවන් හා කුඩා දරුවන් අතර බහුලව පවතිනවා. බොහෝවිට වයස අවුරුදු 02 සම්පුර්ණ වනවිට දරුවාගේ හර්නියා තත්ත්වය පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.
    3. උදර බිත්තිය හරහා පිටතට නෙරා එන හර්නියා
      පිටතට නෙරා එන හර්නියා සාපේක්ෂව සුලබ නොවන තත්ත්වයකි.
    4. ශල්‍යකර්ම තුවාල ආශ්‍රිත ඇතිවන හර්නියා
      සැත්කම් කළ ස්ථාන වල ශක්තිමත්භාවය අඩුවීම නිසා හෝ පටක ඉරියව් නිසා ඇතිවන හර්නියා තත්ත්ව මේවා බොහෝ විට යළිත් ශල්‍යකර්මයක් තුළින් යථාතත්ත්වයට පත් කළ යුතු වෙනවා.
    5. මීට අමතරව අද බෙහෝ දෙනා මුහුණ දෙන ගැටලුවක් නම් ප්‍රාචිරය (Diaphragm) ආශ්‍රිතව ඇතිවන හර්නියා තත්ත්වයයි.ප්‍රාචීරයේ ඇති වන දුර්වලතා හේතුවෙන් හෝ උපතේ දී ඇතිවන සංකූලතා නිසා ද ආමාශයේ කොටසක් පපු කුහරය තුළට නෙරා යාමයෙන් මේ තත්ත්වය ඇතිවෙයි.

     

    මේ නිසා,

    • බඩ දැවිල්ල
    • ඔක්කාරය
    • අම්ල හා පිත උගුරට ඒම නිසා අන්නස්‍රෝතයේ (Oesophagus) ඇති වන තුවාල ආදිය නිතර ඇති විය හැක.

    මේ සඳහා බලපාන හේතු

    1. බාහිර බිත්තියේ ඇතිවන දුර්වලකම් නිසා
      වයස් ගත වීම
      දුම්පානය
      ශල්‍යකර්ම
      හදිස්සි අනතුරු
      උපතේ දී ඇති වන සංකූලතා
    2. උදර කුහරයේ අභ්‍යන්තර පීඩනය වැඩි වන නිසා
      දිගු කාලීන කැස්ස
      අධික බර ඉසිලම
      මළබද්ධය
      අවධානම් හෝ අපහසු තත්ත්වයේ දරු උපත්
      පුරස්ථි ග්‍රන්ථ ඉදිමීම

    ඉහත සඳහන් ප්‍රදේශ වල ඇති වේදනා තත්ත්ව හෝ පිටතට ඇති වන නෙරීම් මගින් හර්නියා තත්ත්ව මුලිකව හඳුනාගන්න පුළුවන්. එවැනි අවස්ථාවල දී ඉක්මන් නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම රෝගය මගින් ඇති වන සංකූලතා අවම කරගන්න පුළුවන්.
    උදර ස්කෑන් පරික්ෂණයකින් (Ultra Sound Scan) හර්නියාවක් ඉක්මණින් හඳුනාගන්න පුළුවන්.

    Hernia Protocol | UW Ultrasound

    හර්නියා රෝගය නිසා ඇති වන සංකූලතා

    • අභ්‍යන්තර පටක හර්නියා තුළ හිරවීම නිසා එම කොටස් වලට රුධිරය ගමනාගමනය අඩු වී
    • පටක මියයාමේ අවධානම
    • අධික වේදනාව
    • පිරිමි පාර්ශවයේ හර්නියා වෘෂණ කෝෂ තුළට යාම නිසා අපහසුතා

    හර්නියා සඳහා ඇති එකම ප්‍රතිකාර ක්‍රමය ශල්‍යකර්මයයි. එහි දී ප්‍රෝලීන් දැලක් (Prolene Mesh ) භාවිතයෙන් උදර බිත්තියේ ශක්තිමත් බව වැඩි කරනු ලබයි.
    අද වන විට වෛද්‍ය විද්‍යාවේ දියුණුවක් සමඟ මෙම සැත්කම් ඉතා කුඩා කැපුම් භාවිතයෙන් උදර කුහරය තුළට ඇතුලු කරන කැමරා භාවිතයේ දී සිදු කළ හැක. (Laparoscopic Scrgery)

    ප්‍රධාන දෙය නම් රෝගය මතුවීමට කලින් වළක්වා ගැනීමයි. ඒ සඳහා

    • බර ඉසිලිමේ දී නිවැරදි තාක්ෂණයක් භාවිතා කරන්න.
    • ඉසිලිය නොහැකි අධික බර එසවීමෙන් වළකින්න.
    • දුම්පානයෙන් සම්පුර්ණයෙන් ඉවත්වන්න.
    • හොඳින් ජලය පානය කරන්න.
    • කෙඳි බහුල ආහාර ලබා ගන්න.
    • උදර කුහරයේ මාංශපේශි ශක්තිමත් කිරීමට හා අධික ස්ථුලතාවය අඩු කර ගැනීමට දිනපතා ව්‍යායාම කිරීමට හුරුවීම.
    • අධික කැස්ස, මළබද්ධය ආදිය පවතීනම් ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
    කේෂාණි සෙනවිරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.