fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"කොළඹ දී ගොඩබාන්නේ ඩාලි නැවේ අන්තරායකර කන්ටේනර්වලින් එකයි"

    “කොළඹ දී ගොඩබාන්නේ ඩාලි නැවේ අන්තරායකර කන්ටේනර්වලින් එකයි”

    මෙරටට පැමිණෙමින් සිටියදී පසුගියදා අමෙරිකාවේ බැල්ටිමෝර් පාලමේ ගැටී අනතුරට ලක්වූ ‘ඩාලි’ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවේ අනතුරුදායක භාණ්ඩ ලෙස නම් කර ඇති කන්ටේනර් 56 න් කොළඹ වරායට ගොඩබෑමට නියමිතව ඇත්තේ එක් කන්ටේනරයක් පමණක් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    මෙම අනත්රායකර බහලුම් සහිත නැව මෙරටට එමින් තිබීම පිළිබඳ පාර්ලිමේන්තුවේතී සමාජයෙත් දිගින් දිගටම පවතින විවේචනවලට ප්‍රතිචාර දක්වමින්, අමාත්‍යවරයා කියාසිටියේ සෙසු බහලුම් බහතරය ප්‍රතිඅපනයනය සඳහා පවතින්නක් බව ය.

    එමෙන්ම මෙම භාණ්ඩ ප්‍රවාහන සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයාගෙන් තමා කළ විමසීමේදී ඔහු මේ බව පැවසූයේ යැයි හෙතෙම කියාසිටියේය.

    වෙනත් රටකට ප්‍රතිඅපනයනය කිරීමට නියමිත අන්තරායකර භාණ්ඩ ලෙස නම් කර ඇති කන්ටේනර් 56 න් යාත්‍රාවේ අවසන් නැවතුම කොළඹ වරාය නොවන බව ද අමාත්‍ය ද සිල්වා මහතා අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවට පසුව මෙම නැව චීනය කරා යන බව ද අමාත්‍යවරයා කියාසිටී.

    කොළඹට ගොඩබෑම සඳහා සකස් කර ඇති කන්ටේනරයේ ඇති දෑ පිළිබඳ අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර නාවික රෙගුලාසිවලට අනුව සාමාන්‍යයෙන් වරායට ළඟා වීමට දින දෙකකට පෙර එම අන්තර්ගත දෑ පිළිබඳ සවිස්තරාත්මකව ප්‍රකාශ කරන බවයි.

    එපමනක් නොව මෙරට වරායේදී ඕනෑම ගොඩබෑමකට පෙර, දැඩි රේගු පරීක්‍ෂාවන්, විනිවිදභාවය සහ ආරක්‍ෂිත ප්‍රොටෝකෝල ස්ථිරව ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා සහතික කරයි.

    ‘ඩාලි’ වැනි යාත්‍රා සාමාන්‍ය භාණ්ඩ, ඇවිලෙන සුළු ද්‍රව්‍ය සහ අනතුරුදායක යන භාණ්ඩ දෙවර්ගයම ප්‍රවාහනය කරන සාමාන්‍ය ක්‍රමවේදය බවත් ඒවා සඳහා එම නැව්වල විශේෂිත බහලන ක්‍රම අන්තර්ගත බවත් අමාත්‍යවරයා විස්තර කර සිටියේ ය.

    අනතුරුදායක භාණ්ඩ තිබීම පමණක් පදනම් කරගෙන නැව් ප්‍රතික්ෂේප කිරීම ශක්‍ය විසඳුමක් නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

    සබැඳි පුවත්
    ඩාලි නැව කොළඹට ගෙනඑමින් තිබූ අන්තරායකර ද්‍රව්‍ය ගැන රජයෙන් වහාම පරීක්ෂණයක් (📹)
    ශ්‍රී ලංකාවට එන අ‍තරේ පාලමකට කඩාවැදුණු නැවේ අන්තරායකර ද්‍රව්‍ය බහලුම් තිබිලා

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.