fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවට එන අ‍තරේ පාලමකට කඩාවැදුණු නැවේ අන්තරායකර ද්‍රව්‍ය බහලුම් තිබිලා

    ශ්‍රී ලංකාවට එන අ‍තරේ පාලමකට කඩාවැදුණු නැවේ අන්තරායකර ද්‍රව්‍ය බහලුම් තිබිලා

    ශ්‍රීලංකාව බලා එමින් තිබියදී, අමෙරිකාවේ බැල්ටිමෝර් හි පිහිටි පාලමක් කඩාබිඳදමමින් අනතුරක් කළ ඩාලි භාණ්ඩ ප්‍රවාහන නෞකාව ටොන් 764 ක අන්තරායකර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 56 ක් ප්‍රවාහනය කරමින් සිට ඇති බව එක්සත් ජනපද ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) පවසා තිබේ.

    සභාපතිනි ජෙනිෆර් හොමෙන්ඩි අනාවරණය කළේ නෞකාවේ අන්තරායකර ද්‍රව්‍ය පිරවූ කන්ටේනර් එනම් ‘විඛාදන ද්‍රව්‍ය, ගිනිගන්නා ද්‍රව්‍ය සහ ලිතියම්-අයන බැටරි ඇතුළු අන්තරායකර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 56ක් නැවේ තිබී අපට හමු විය’ යනුවෙනි.

    ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ දුරට විඛාදනයට ලක්වන සහ දැවෙනසුළු ද්‍රව සහ ලිතියම් අයන බැටරි ප්‍රවාහනය කළ මෙවැනි අනතුරුදායක කන්ටේනර් 14කට අනතුරෙන් හානි සිදුව ඇති බව ය.

    අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් පවසා තිබුණේ අනතුර සිදුවන අවස්ථාවේදී එහි තිබූ කන්ටේනර් 2ක් වතුරට වැටී තිබූ නමුත් ඒවායෙහි අන්තරායකර අමුද්‍රව්‍ය නොමැති බවට සනාථ කරගත් බවයි.

    බැල්ටිමෝරයේදී ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩාදැමූ මෙම නැව තුළ අන්තරායකර ද්‍රව්‍ය ටොන් 764 ක් රැගෙන එමින් තිබූ බව ඉහත ආයතන දෙකම උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේය.

    මෙමගින් පරිසර දූෂණය සහ ආරක්ෂාව පිළිබඳ බියක් මතු කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් අවධානය යොමු කර ඇති අතර නිරන්තරයෙන් ඒ අවට වායුගෝලයේ ප්‍රමිතිය පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගෙන ඇත.

    ඩාලි නැව සිංගප්පූරුවේ ලියාපදිංචි වී ඇති නැවක් වන අතර ශ්‍රී ලංකාවේ කොළඹ බලා ගමන් කරමින් සිටියදී අනතුර සිදුවිය.

    එය බහාලුම් 4,700 ක් රැගෙන එමින් සිට ඇත. නෞකාවේ ඉන්ධන සහ ලිහිසි තෙල් ගැලුම් මිලියන 1.5 ක් ඇති බවට වෙරළාරක්ෂක බලකා මෙහෙයුම් සඳහා නියෝජ්‍ය අණදෙන නිලධාරී වයිස් අද්මිරාල් පීටර් ගෝටියර් පැවසීය. ‍නෞකාවේ ඇති කන්ටේනර් 56ක අන්තරායකර ද්‍රව්‍ය තිබූ බවට ඔහු පවසා තිබේ.

    “නෞකාවේ ඇති අන්තරායකර ද්‍රව්‍යවලින් මහජනතාවට කිසිදු තර්ජනයක් නැත,” බවට ද ඔහු පැවසීය.

    ‘එහි සමහර බහාලුම්වල ඛනිජ තෙල් රැගෙන ගිය නමුත්, ඒවා නෞකාවේ සුරක්ෂිතව පවතී. එම බහාලුම්වලින් බහුතරයක් නියමු කුටියට සමීපයෙන් පවතින අතර නෞකාවට සිදු වූ හානියෙන් සම්පූර්ණයෙන්ම බලපා නැත.’ යැයි වයිස් අද්මිරාල්වරයා පැවසීය.

    පාලම සම්බන්ධයෙන් කටයුතු කළ බලධාරියකු පසුව සඳහන් කළේ පාලම් අනතුරෙන් නැවේ තිබූ අනතුරුදායක ද්‍රව්‍ය සහිත කන්ටේනර් 14කට පමණ බලපෑ බවයි.

    ඒවායෙහි සබන් නිෂ්පාදන, සුවඳ විලවුන් නිෂ්පාදන හෝ රෙසින් වැනි ද්‍රව්‍ය අඩංගු වූ බවයි. වායුගෝලයේ කිසිදු අන්තරායකර මුසුවීමක් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැත. නමුත් සිය කාර්ය මණ්ඩලය වාතයේ ගුණාත්මක භාවය දිගටම නිරීක්ෂණය කරනු ඇති බව ද ඔහු පවසා තිබුණි.

    NTSB විසින් නිකුත් කරන ලද වීඩියෝ පටයක දැක්වෙන්න් පරීක්ෂකවරුන් නෞකාවේ ඇති අන්තරායකර ද්‍රව්‍ය තොග එළියට ගන්නා ආකාරයයි.

    NTSB සහ වෙරළාරක්ෂක බලකායේ විමර්ශකයින් නෞකාවේ ඇති අන්තරායකර ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා ඩාලි වෙත ගොඩ වී පරීක්ෂණ සිදුකළ නමුත් ඔවුන් ඔවුන්ගේ සොයාගැනීම් පිළිබඳ ප්‍රසිද්ධියේ විස්තර කර නැත.

    අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාව මෙහෙයවමින් සිටි බැල්ටිමෝර් වරායේ නියමුවන් දෙදෙනෙකු ඇතුළු නෞකාවේ කාර්ය මණ්ඩලයේ 24 දෙනකු සිට ඇත. නෞකාවේ සිටි අයට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බව හිමිකරුවන් පවසයි. යානයේ ඉන්දීය පුරවැසියන් 22 දෙනෙක් සිටියහ.

    ප්‍රබෝධා හෙට්ටිආරච්චි

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.