තවත්

    දෙහිවල සත්වෝද්‍යානය සතිය පුරා විවෘතයි

    0

    නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව දෙහිවල ජාතික සත්වෝද්‍යානය සතියේ දින 7 ම විවෘතව තැබීමට කටයුතු කරන බව සත්වෝද්‍යානයේ අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් මහතා පවසයි.

    ඒ අනුව පෙරවරු 8.30 සිට පස්වරු 5 දක්වා නරඹන්නන් සඳහා සත්වෝද්‍යානය ව්වෘත වන බව ඔහු සඳහන් කළේය.

    යම් හෙයකින් කිසියම් හෝ පුද්ගලයෙකුට උණ, කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව පවතින්නේ නම් සත්වෝද්‍යානය වෙත පැමිණීමෙන් වළකින ලෙස ද ඒ මහතා ඉල්ලීමක් කළේය.

    “විදුලි බිඳවැටීම් ගැන බයවෙන්න එපා” – ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවෝ

    0

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය නීතිවිරෝධී හා පදනම් විරහිත එකක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජේෂ්ඨ ඉංජිනේරුවන්ගේ සංගමය සඳහන් කරයි.

    ලංවිම ඉංජිනේරුවරුන් පිරිසක් ආරම්භ කර තිබෙන අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගයට විදුලිබල මණ්ඩලයේ ජේෂ්ඨ ඉංජිනේරුවන් සම්බන්ධ නොවන බව ද විදුලිය බිඳවැටීම පිළිබඳව අනිසි බියක් ඇතිකර ගතයුතු නැතැයි ද ලංවිම ජේෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා කීය.

    ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් ප්‍රශ්නයට විසඳුම් ලබාගැනීම සඳහා එල්එන්ජී බලාගාරය පවරාදීම නීතිවිරෝධී නොවන බවට එහි කිසිදු අහිතකරතාවයක් නොදකින බව ද ජේෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයට අවශ්‍ය වන්නේ හදිසි මිලදීගැනීම් දක්වා මෙහෙයුම් කර ඒවායෙන් කොමිස් ලබාගැනීමට බවද ඔවුන්ට කිසිදු සහයක් ලබා නොදෙන බවට ද ජේෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා කීය.

    ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරියට සහය නොදැක්වීම පදනම් විරහිත ක්‍රියාමාර්ගයක් බවද ඔහු සඳහන් කළේය.

    එල්එන්ජී බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග වෙන අතර වාරයේ මෙවැනි වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයක් ගැනීම නීති විරෝධී හා බලය පෙන්වීමේ ක්‍රියාමාර්ගයක් බවද ක්‍රියාමාර්ගයක් බවද ඔහු සඳහන් කළේය.

    විදුලි ඉංජිනේරුවන්ගේ අකුරට වැඩේ රට පුරා දියත් කිරීමට සැරසෙයි

    0

    විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද දහවල් සිට අකුරට වැඩකිරීමේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියා මාර්ගයක් ආරම්භ කළේ ය.

    කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අයිතිය ඇමෙරිකානු සමාගමකට ලබාදීමට විරෝධය දක්වමින් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ පරිපාලන දුර්වලතාවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් එම අඛණ්ඩ අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව ලංවීම ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.

    එම අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් වර්ධනයක් දක්වා ඉදිරියට ක්‍රියාත්මක කරන බවද කුමාරවඩු මහතා කීවේය.

    එල්එන්ජී බලාගාරයේ කොටස් අයිතිය ඇමරිකානු සමාගමකට ලබාදීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්එන්ජී සැපයුම් ඒකාධිකාරය ඇමරිකානු සමාගමට හිමි වන අතර එය දූෂිත, ටෙන්ඩර් පටිපාටියෙන් තොර, ගනුදෙනුවක් බව සෞම්‍ය කුමාරවඩු මහතා කීවේය.

    ඒ අනුව එම බලාගාර ගිවිසුම අවබෝධ කරන තෙක් විදුලි ඉංජිනේරුවන් අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බවද ඔහු සඳහන් කළේය.

    ඉදිරි දෙසතිය තුළ සජබය කරන තීරණාත්මක මැදිහත්වීමක් ගැන සජිත් හෙළිකරයි

    0

    කාන්තාවගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය ඉදිරි දෙසතියක කාලය තුළ තීරණාත්මක මැදිහත්වීමක් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී ඇති බවත්, ඒ දිනය සමරන අතරේත් කාන්තාවන්ට එරෙහි හිංසනය ලොව පුරාත්, ශ්‍රි ලංකාවෙත් සිදුවෙමින් පැවතීම අතිශය කණගාටුවට කරුණක් බවත්, මේ අමානුෂික තත්ත්වය නතර කිරීමට වහාම සියලු දෙනා එකට එක් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පෙරවරුවේ ලුණුගම්වෙහෙර බෙරලිහෙල ගොවි ජනතාව මුණ ගැසුණේ “නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට” ජනතා ගැටළු විමසන වැඩසටහනේ තවත් අදියරකට ය.

    ගෘහස්ථ හිංසනයත්, වැඩබිමේ දි සිදුවන හිංසනයන්,පොදුවේ ගත් විට කාන්තාවන්ට එරෙහිව සිදුවන සමස්ත හිංසනයනුත් මුලිනුපුටා දැමීම වෙනුවෙන් ඉතා තීරණාත්මක නීතිරීති රැගෙන ආ යුතු බවද විපක්ෂ නායකවරයා පැවසීය.

    ගෑස් පිපිරීම් ගැන රජයේ රස පරීක්ෂකගෙන් නිවේදනයක්

    0

    පසුගිය දින කිහිපය තුළ සිදුවු ගෑස් පිපිරීම් සම්බන්ධ සිදුවීම් ගෑස් සංයුතියේ වෙනස්වීම හේතුවෙන් සිදුවන බවට ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

    රජයේ රස පරීක්ෂකවරයා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

    කල්‍යාණි රන් පිවිසුම අද සවස සිට ජනතාවට විවෘතයි

    0

    කල්‍යාණි රන් පිවිසුම (නව කැලණි පාලම) අද (25) සවස 3.00 සිට මහජනතාව සඳහා විවෘත විය.

    කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට (E03) පෑලියගොඩ වටරවුමෙන් දැනට පවතින ප්‍රවේශ මාර්ගය අද දින සිට දින 3ක් තාවකාලිකව වසා තැබෙන බව මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි.

    අධිවේගී මාර්ගය වෙත ප්‍රවේශ වීම සඳහා පෑලියගොඩ – පුත්තලම මාර්ගයේ (A3) සිට පෑලියගොඩ අන්තර් හුවමාරුවට ඇති පිවිසුම් මාර්ගය හා ඔරුගොඩවත්ත සහ ඉගුරුකඩේ මංසන්ධි වල ඉදිකර ඇති ප්‍රවේශ මාර්ග භාවිතා කළ හැකි බව මහාමාර්ග අමාත්‍යාංශය දන්වා සිටී.

    කින්නියා නගරාධිපති රිමාන්ඩ්

    0

    අත්අඩංගුවට ගත් කින්නියා නගරාධිපති ෂාවුල් හමීඩ් මොහෙමඩ් නලීම් දෙසැම්බර් 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    කින්නියා පාලම් පාරුව පෙරලීමෙන් ජීවිත 06 ක් අහිමි වීම සම්බන්ධයෙන් කෙරන පරික්ෂණවලට අදාලව කින්නියා නගරාධිපතිවරයාව පොලීසිය අද සවස අත්අඩංගුවට ගෙන තිබුණි.

    නගරාධිපතිවරයාව සිය නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.

    නිසි කොන්දේසි පැනවීමකින් තොරව හිතුමතේට පාලම් පාරුවට සිය ඥාතියෙකුට අවසරය ලබාදීමෙන් මගී ජීවිත අනතුරේ හෙළිම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

    කින්නියා නගරාධිපති අත්අඩංගුවට

    0

    කින්නියා පාලම් පාරුව පෙරලීමෙන් ජීවිත 06 ක් අහිමි වීම සම්බන්ධයෙන් කෙරන පරික්ෂණවලට අදාලව කින්නියා නගරාධිපතිවරයාව පොලීසිය අද සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    ෂාවුල් හමීඩ් මොහෙමඩ් නලීම් (59) නගරාධිපතිවරයාව සිය නිවසේදී අත්අඩංගුවට ගත් බව උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    නිසි කොන්දේසි පැනවීමකින් තොරව හිතුමතේට පාලම් පාරුවට සිය ඥාතියෙකුට අවසරය ලබාදීමෙන් මගී ජීවිත අනතුරේ හෙළිම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    බැනර් ගැසූ කමිස ඇඳන් සජබ මන්ත්‍රීලා පාර්ලිමේන්තු ඇවිත්

    0

    කාන්තා හිංසනයට තිත තබන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද (25) පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක නිරත විය.

    ඔවුහු තම දෑත්වල තැඹිලි පැහැති රිබන් පැළඳ සිටි අතර “කාන්තාවන්ට එරෙහි හිංසනය නවත්වනු” යනුවෙන් සඳහන් පුවරු කමිසවල ගසාගෙන පැමිණ සිටියහ.

    කාන්තා හිංසනය පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය අදට සමගාමීව මෙම විරෝධතාව පැවැත්විණි.

    “තැඹිලි පැහැ ලෝකය: කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දැන්ම අවසන් කරන්න!” යන තේමාව යටතේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව (නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා) ක්‍රියාකාරීත්වයේ දින 16 සනිටුහන් කරයි.

    තැඹිලි වර්ණය කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනයෙන් තොර දීප්තිමත් අනාගතයක් නියෝජනය කරන සංකේතයකි.

    කින්නියා සිද්ධියේ වාර්තාව අද පස්වරුවේ

    0

    කින්නියා පාලම් පාරුව පෙරළීමෙන් 6 දෙනකු බිලිගත් අනතුර පිළිබඳ විමර්ශන වාර්තාව අද පස්වරුවේ ලැබීමට නියමිත බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.

    එම වාර්තාවේ නි‍ර්දේශ ක්‍රියාත්මක කිරීමටත් වැරදිකරුවන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන බවත් ඇය අවධාරණය කළාය.

    දැනට එහි ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නාවික හමුදාව මගින් සිදුකිරීමට ද පියවර ගෙන තිබේ.

    නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන සියළු පාලම් පාරුවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගෙන ඇත.

    ඒ සඳහා විශේෂ කණ්ඩායමක් පිටත් කර යැවීමට ආණ්ඩුකාරවරිය පියවර ගෙන ඇත.

    පොලිසිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු අංශය සහ නාවික හමුදාව මෙම විශේෂ කණ්ඩායමට ඇතුලත් කිරීමට නියමිතයි.

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවේ, “ලංකාවේ දිගම පාලම තියෙන්නෙත් නැගෙනහිර පළාතේ. මේ ස්ථානයේ පාලම හදන්න ප්‍රමාද වූයේ කොවිඩ්වලට වැඩ නැවතුණු නිසා. විකල්ප මාර්ගයක් තිබුණත් ජනතාව එය භාවිතා කරන්න කැමති වුණේ නෑ. දැන් අපි මේ සිදුවීම ගැන පරීක්ෂණයක් කරනවා. එම වාර්තාව අද පස්වරුව වනවිට ලැබෙනවා. එම වාර්තාවේ අඩංගු නිර්දේශ මත අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. එහි වැරදිකරුවන් සිටියොත් ඒ අයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් අපි කිසිදා පසුබට වෙන්නේ නෑ. වගකිම් පැහැර හරින්න කිසිම කෙනෙකුට පුළුවන්කමක් නෑ. කෙසේවෙතත් දැනට මේ ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නාවික හමුදාව මගින් සිදු වෙනවා. ඊට අමතරව මෙම පාලමේ වැඩ කඩිනමින් අවසන් කරන්න රජයේ අවධානය යොමු වෙලා තියෙනවා“

    කින්නියා කුරින්ජන්කර්නි ප්‍රදේශයේදී පාලම්පාරුවක් පෙරළී යාමෙන් තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සුවදුක් බැලිම සදහා අද(25) පෙරවරුවේ කින්නියා රෝහලට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසුවාය.

    හෝකන්දර නිවසකත් ගෑස් කාන්දුවක් සමඟ පිපිරීමක්

    0

    හෝකන්දර නිවසක මුළුතැන්ගෙයක් තුළ අද අළුයම් කාලයේදී ගෑස් කාන්දුවක් සමඟ පිපිරීමක් සිදුව තිබේ.

    නිවෙස් හිමියා කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරයෙකි.

    කොට්ටාව පොලීසිය සදහන් කරනු ලැබුවේ ගෑස් ටැංකිය රෙගුලේටරයෙන් ගැලවී ගැංකිය ඉහළට විසිවී සිවිලිමද කුඩුකරමින් වහලයේ ගැටී මුළුතැන් ගෙට විශාල හානියක් සිදුව ඇති බවය.

    මිදිගම පිහිටි කුඩු හෝටලයක සහ කොළඹ 07 මැක්ඩොනල් අවන්හලේදී මෑතකදී විශාල හානි ගෙන දෙමින් මෙවන් පිපිරීම් සිදුවිය. එම පිපුරුම් සමඟ ගිනි ගැනීම් සිදුවූවත් හෝකන්දර නිවසේ ගිනි ගැනීමක් සිදුව නැත.

    යෝනි කණ්ඩු සඳහා ආයුර්වේදයෙන් සුව ඔසු

    0

     
    ස්ත්‍රී ලිංගේන්ද්‍රය ආශ්‍රීතව පවතින යම් යම් රෝගාබාධයන්ට වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ඇති මැළිකම වගේම ලැජ්ජාව නිසාම බොහෝ ගැටලු ඒ හරහා නිර්මාණය වීමට අවකාශය තිබෙයි. එසේ නැත්නම් ඔබ නිවසේ දී අත් බෙහෙත් කිරීමට යාම තුළ තාවකාලික සුවයක් ලැබුව ද නැවත රෝගය මතුවීම හෝ දරුණු තත්ත්ව වගේම අතුරු ආබාධ ඒමට පුළුවනි. ඒ නිසාම මේ ගැන කතා කිරීමට සම්බන්ධ කරගත්තා, ආයුර්වේද වෛද්‍ය චේතිකා නාගහවත්ත රක්වාන ආයුර්වේද රෝහල.
     
    යෝනී කණ්ඩු තත්ත්වය නැත්නම් යෝනී මාර්ගයේ ඇති වන තත්ත්වය බොහෝ කාන්තාවන් අතර සුලබව දැකිය හැකි තත්ත්වයකි. කාන්තාවන්ගේ යෝනී මාර්ගයේ පිටතින් ඇති සම මෙලෙස කැසීමට ලක්වීමට හා රෝගාබාධ නිසා වරින් වර ඇතිවීමට හැකි ගැටලුවකි. ඒ නිසා රෝග ලක්ෂණයක් ලෙස හැඳින්වීමට පුළුවනි.
    මේ තත්ත්වය නොසලකා හැරීම මඟින් හෝ දිර්ඝකාලිනව පවතීනම් වෛද්‍ය උපදෙස් ලබා ගැනිම තුළ රෝගය සුවපත් කර ගැනීමට හැකියාව පවතියි. යෝනී මාර්ගයේ කැසීම් ඇති වීමට හේතු ලෙස සමේ රෝග ( දද හා Ec2ema) සොරයිසිස් වැනි සමහර රෝග ද යෝනී ප්‍රදේශය රතු පැහැ වීම, කැසීම ඇති කරයි. යෝනී මාර්ගයේ කැසීම ඇති වීමට තවත් පොදු තත්ත්වයක් වන්නේ Bacterial Vaginosis (BV) නම් තත්ත්වය හොඳ/නරක බැක්ටිරියා අතර අසමතුලිතතාවය මගින් මේ තත්ත්වය ඇති කිරීමට පුළුවනි. මේ තත්ත්වයේ දී සෑම විටම රෝග ලක්ෂණ මතු වූ විට ඒවායින් සාමාන්‍යයෙන් යෝනී කැසීම හා අසාමාන්‍ය දුර්ගන්ධ සුවඳක් ඇති වීමට පුළුවනි. විසර්ජනය සිහින් හා අඳුරු අලු සුදු පැහැවීමට පුළුවනි. සමහර වේලාවට පෙණ ස්භාවයක් ගනී. “ලිංගික බෝවන රෝග” අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ දී සම්ප්‍රේෂණය වන රෝග ගණනාවක් තිබීමට පුළුවනි. ඒ තුළින් යෝනී කැසීමට ඇති වන රෝග ලෙස ක්ලැමීඩීයා, ලිංගික ඉන්නන්, ගොනෝරියා, ලිංගික හර්පීස් ට්‍රයිකොමොනියාස් මේ තත්ත්වය තුළ දී කොළ හෝ කහ පැහැති යෝනී ශ්‍රාවය හා මුත්‍රා කිරිමේ දී වේදනාව වැනි අමතර රෝග ලක්ෂණ ඇති කරයි.
    ආර්තභාවය (Menopause) ඇති වුණු හෝ දැනටමත් සිදුවෙමින් පවතින කාන්තාවන්ට යෝනී කැසීම අවධානම වැඩියි. මෙයට හේතුව අර්තවභාවයේ දී සිදුවන ඊස්ටජන් මට්ටම අඩු වී යෝනී වැහැරීමට හේතු වීමයි. මේ තත්ත්වයේ දී අධික වියළි ස්වභාවයක් ඇති කළ හැකි ශ්ලේෂ්මල තුනී කිරීමකි. ඒ සඳහා ප්‍රතිකාර නොගතහොත් වියළීම කැසීම, දැවිල්ල ඇතිවීමට පුළුවනි.

    යෝනී මුඛ පිළිකා (Vulvar Cancer) කාන්තා ලිංගේන්ද්‍රයේ බාහිර කොටස එන මුඛය තුළ වර්ධනය වන පිළිකා වර්ගයකි. එය යෝනී මාර්ග අභ්‍යන්තර හා පිටත තොල් ක්ලිටරිස් හා යෝනී මාර්ග විවෘත වේ. මෙහි දී සෑම විටම රෝග ලක්ෂණ ඇති නොකරයි. කෙසේ වෙතත් රෝග ලක්ෂණ ඇති වු විට අසාමාන්‍ය රුධිර වහනය, කැසීම හෝ යෝනී ප්‍රදේශයේ වේදනාව ඇති විය හැකියි.

    ඒ වගේම පණු රෝග, අක්‍රමවත් උපත් පාලන ක්‍රම, යෝනී භ්‍රංශ (යෝනී මාර්ගය පහත් වීම), ගුද භ්‍රංශ ( ගුද මාර්ගය පහත් වීම), ලිංගික හර්පිස්, ට්‍රයිකොමෝනියාස් මේ තත්ත්ව නිසා කොළ / කහ පැහැති යෝනී ශ්‍රාවය හා මුත්‍රා කිරිමේ දී වේදනාව වැනි අමතර රෝග ලක්ෂණ ඇති කරයි. සුද යාම නැතහොත් ශ්වේත ප්‍රදාහය නම් තත්ත්වය වත්මන් කාන්තාවන් අතර බහුලයි. මෙහි දී ඇති වන ප්‍රධාන රෝග ලක්ෂණයක් ලෙස යෝනී කණ්ඩු තත්ත්වය ඇතිවීමට පුළුවනි.
    ඩිම්බ මෝචනය වීම, ගැබ් ගැනීම, ඔසප් චක්‍රය ඇරඹීම ආසන්න වන විට සාමාන්‍ය යෝනී මාර්ග ආශ්‍රීතව තෙත් වී ශ්‍රාවයක් ඒම සාමාන්‍ය තත්ත්වයකි. යෝනී මාර්ගයේ පිටවන ශ්‍රාවය ඇඳුම්වල ගෑවෙන සේ වැඩියෙන් ගලා ඒම වර්ණය වෙනස්ව ගන්ධයක් කැසීම ඇතිවේ නම් අසාමාන්‍ය තත්ත්වයකි.

    සාමාන්‍යයෙන් නිරෝගී ලිංගේන්ද්‍රයක් තුළ ක්ෂුද්‍ර ජීවීන් ගෙන් නිසි සමතුලිතතාවය පවතියි. නමුත් එක් ක්ෂුද්‍ර ජීවී විශේෂයක් බහුල වශයෙන් වර්ධනය වන නිසා මේ ක්ෂුද්‍ර ජීවී ව්‍යාප්තිය සමබරතාව ගිලිහි දිලීර ආසාධන තත්ත්වයක් යෝනී මාර්ග ආශ්‍රීතව ඇති වි ප්‍රතිඵලයක් ලෙසට සුද යාම සිදු වෙයි. බැක්ටීරියා, වෛරස, දිලීර, පරපෝෂිත ආසාධන, ගර්භාෂ පිළිකා වැනි තත්ත්ව උදරයේ පහළ කොටසේ සිදු කල ශල්‍යකර්ම, උදර ප්‍රදේශයට සිදු කළ විකිරණ ප්‍රතිකාර, මහාන්ත්‍රයේ හෝ මුත්‍රා වාහිණි පද්ධති අසාමාන්‍ය විවෘත වීම් ද හේතුන් එකක් හෝ කිහිපයක් සුද යාමට බලපෑ හැකියි.

    යිස්ට් ආසාධන යනු, ස්වභාවිකවම යෝනීය තුළ ඇති වන දිලීරයකි. එය සාමාන්‍යයෙන් ගැයලුකාරී ත්ත්වයක් ඇති නොකරයි. යෝනී මාර්ගයේ යීස්ට් වැඩීම නිසා කැසීම, දැවිල්ල, ගැටිති විසර්ජනය වැනි අපහසු රෝග ලක්ෂණ ඇති වීමට පුළුවනි.
    ඒ වගේම වැරදි ආහාර රටා නිසා (උෂ්ණාධික ආහාර, රසකාරක, ක්ෂණික ආහාර පාන වැඩිපුර ලබා ගැනීම තුළ සිරුරේ උෂ්ණත්වය ඉහළය යාම.)
    අපිරිසිදු බව හා සනීපාරක්ෂක පුරුදු පිළිබඳ අඩු අවදායන නිසා උද්‍ර: කාන්තා යෝනී මාර්ග හොඳින් පිරිසිදු කර වියළිව තබා නොගැනීම, අපිරිසිදු යට ඇඳුම් ප්‍රමිතිගත නොවු සිරුරට නොගැළපෙන සනීපාරක්ෂක තුවා භාවිතය ආසාත්මිකතා ඇති කරන ද්‍රව්‍ය වලට යෝනි මාර්ගය නිරාවරණය වීම උද්‍ර: සබන්/බුබුළු පෙණ කාරක/ කාන්තා ස්ප්‍රේ වර්ග/ උපත් පාලන උපාංග/රෙදි මෘදුකාංග/ විවිධ ක්‍රීම්/ විළවුන් වැනි දෑ භාවිතය.

    ඒ වගේම දියවැඩියාව ඇත්නම් හෝ මුත්‍රා පහ කිරිමේ අපහසුකම් නිසා ද යෝනී මාර්ග කැසීම් හටගනි.

    යෝනී කැසිම ආශ්‍රිත රෝග තත්ත්වයේ දී යෝනී කැසීම දින කිහිපයක් පවති නම් හෝ යෝනීය අවට තුවාල හෝ බිබිලි , ලිංගික අවයව වල වේදනා සංවේදිතාව, රතුවීම ඉදිමුම, මුත්‍රා පිටකිරීම අපහසුතා, අසාමාන්‍ය යෝනි ශ්‍රාව, ලිංගික සංසර්ග අතරතුර වේදනා වැනි තත්ත්ව වල දී වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතුයි.
    ඒ වගේම සාමාන්‍ය ලෙස කැසීම/ශ්‍රාවය පවති නම් ඔබට මේ අත් බෙහෙත් භාවිත කළ හැක. ඖෂධ තැම්බු ජලය සේදීම හා ඖෂධ ජලයේ වාඩි වී සිටිම. ඒ සඳහා ඖෂධ ආටික්කා පොතු, නුග පොතු, බෝ පොතු, ගංසුරිය පොතු, මාදං පොතු, තැම්බු ඖෂධීය ජලය භාවිත කිරීම ප්‍රතිඵල දායකයි.

    බාහිර ලේපය ලෙස සර්වවිෂාදි පිණ්ඩ තෙල් යෝග්‍යයි. ඒ වගේම රෝගී අවස්ථාවල දි මුත්‍රා නොයෑම තත්ත්වය පවතිනම් කැකිරි ගෙඩි පානය යෝග්‍යයි. මුත්‍රා ආසාධන තත්ත්වයට පණු ඖෂධ ලබා ගැනීම. සිරුරේ උෂ්ණත්වය අවම කර ගැනීමට හොඳින් ජල පානය, නෙල්ලි /රසකිඳ/ඉරමුසු/ත්‍රිපලා පානය, උක්, නෙල්ලි, කැකිරි, කොමඩු පළතුරු කෑම ගුණයි. නැවුම් පිරිසිදු එළවළු පළතුරු භාවිතය.
    ලිංගාශ්‍රිත ප්‍රදේශ සේදිම සඳහා මඳ උණුසුම් ජලය හා මෘදු පිරිසිදු කාරක යොදා ගැනීම ඒ සඳහා සුවඳ සබන් දියර, බුබුළු භාවිතය අවම කළ යුතුයි. තෙතමනය රැඳවීම අවම කිරීම, කෘත්‍රීම නිෂ්පාදන, හොඳ සනීපාරක්ෂක ප්‍රමිතිගත තුවා භාවිතය ඔසප් දිනයන් හි. දිනපතා පුද්ගලික පිරිසිදු බව, නිවැරදි යහපත් ආහාර පාන ලබා ගැනීම තුළින් මෙවැනි රෝගයන්ගෙන් මිදීමට හැකියාව ලැබෙනු ඇත.

    ජනාධිපති නීතිඥවරුන් පත්කරද්දී බැලිය යුතු දේවල් ගැන ජනපති නියෝගයක්

    0

    ජනාධිපති නීතීඥවරුන් පත්කිරීමට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ නියෝග මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ඊයේ (24) නිකුත් කර ඇත.

    එම ගැසට් නිවේදනය මෙසේය.

    2255-24_S

    රටවල් 100කට වඩා පිළිගත් ‘Gulf Lubricants’ අයිඩියල් ෆස්ට් චොයිස් වෙතින් ශ්‍රී ලංකාවට

    0

    මෙරට රථවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම විසින් ලොව පුරා ජාත්‍යන්තරව පිළිගත් Gulf Lubricants මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබීය.

    ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයක ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති Gulf Lubricants ශ්‍රී ලංකාවේ අලෙවි නියෝජිත ලෙස Gulf Lubricants India සමාගම විසින් අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම පත්කර ඇති අතර Gulf Lubricants සන්නාමය මෙරටට හඳුන්වාදීම කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති උත්සවයකදී සිදුකෙරිණි.

    Gulf Lubricants යනු ඩුබායි කේන්ද්‍ර කරගත් ලිහිසි තෙල් නිෂ්පාදන ව්‍යාපාරයක් වන අතර මේ වන විට ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයක පිළිගැනීමට පත්ව ඇති ලිහිසි තෙල් සන්නාමයකි. සියලුම රථවාහන, කර්මාන්තශාලා සඳහා අවශ්‍ය ලිහිසි තෙල් Gulf Lubricants විසින් නිෂ්පාදනය කර බෙදා හරිනු ලබයි. Gulf Lubricant s යනු පරිසර හිතකාමී, වායු දූෂණය අවම කරන ලිහිසි තෙල් සන්නාමයක් වේ.

    ආසියාව පුරා බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව ඇති Gulf Lubricants හී මෙහෙයුම් කටයුතු Gulf Lubricants India සමාගම මගින් සිදුකරනු ලබයි. Gulf Lubricants India සමාගම යනු, ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගම් දහයෙන් එකක් වන Hinduja ව්‍යාපාර සමූහයේ එක් ව්‍යාපාරික අංශයකි. විශේෂයෙන්ම Gulf Lubricants පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය ඇතුළු සාක් කලාපීය රටවල බෙහෙවින් පිළිගැනීමට ලක්ව වී ඇති ලිහිසිතෙල් සන්නාමයක් වේ. එමෙන්ම Gulf Lubricants සමාගම ලොව ප්‍රමුඛතම පාපන්දු කණ්ඩායමක් වන එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ්, ලෝකප්‍රකට මෝටර් රථ කණ්ඩායමක් වන Maclarance කණ්ඩායමට අනුග්‍රහය ලබාදෙනු ලබයි. එමෙන්ම Gulf Lubricants India සමාගමේ සන්නාම තානාපති ලෙස ලෝකප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි කටයුතු කරයි. එමෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නයි සුපර් කණ්ඩායමට අනුග්‍රහකත්වය දක්වන්නේද Gulf Lubricants India සමාගම විසිනි.

    මෙරට රට වාහන ක්ෂේත්‍රයේ සුඛෝපභෝගී වාහන සඳහා ප්‍රමුඛතම සේවාවන් ලබා දෙන සමාගමක් ලෙස අයිඩියල් ෆස්ට් චොයිස් සමාගම හැඳින්විය හැකිය. අයිඩියල් ෆස්ට් චොයිස් වාහන සේවා සැපයීමට අමතරව, Bosch ඩීසල් සේවා මධ්‍යස්ථානයක්, වාහන තීන්ත ආලේපන සඳහා භාවිතා කරන ලොව ප්‍රමුඛතම සන්නාමයක් වන ඇක්සොනොබෙල් හා යතුරු පැදි අමතර කොටස් අලෙවි ජාලයකින් ද සමන්විත වේ. අයිඩියල් ෆස්ට් චොයිස් වෙත එක්වූ නවතම සන්නාමය ලෙස Gulf Lubricants සන්නාමය හැඳින්විය හැකිය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් Gulf Lubricants India සමාගමේ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ගගන් මුතූර් මහතා, Gulf Lubricants නැවත ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සම්බන්ධව ඉතාමත් සතුටට පත්වෙනවා. අප අත්වැල් බැඳගත්තේ අයිඩියල් සමූහය සමගයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයකු වන නලීන් වෙල්ගම මහතාගේ නායකත්වය යටතේ Gulf Lubricants ඉතා උච්ඡතම ස්ථානයකට ඔසවා තබන බවට අපට ඉතාම විශ්වාස යැයි කියා සිටියේය.

    අයිඩියල් සමූහය ඉදිරියේදී Gulf Lubricantsහි ශ්‍රී ලංකාවේ නිත්‍ය බෙදාහරින්නා ලෙස කටයුතු කරන අතර අප වටිනා පාරිභෝගිකයන් හට අපගේ නිෂ්පාදන ඉදිරියේදී මිලදී ගැනීමට කටයුතු සැලසෙනු ඇත. ඉන්දියාවේ Hinduja සමූහයේ හවුල්කරුවකු ලෙස Gulf Lubricants කටයුතු කරන අතර එය ගෝලීය වශයෙන් රටවල් 100කට අධිකව නියෝජනය කරන ලබනවා. Gulf Lubricants ගෝලීය වශයෙනුත් සාක් කලාපයේත් ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වන සන්නාමයක් ලෙස හැඳින්විය හැකිය. අපට සක්සුදක් සේ විශ්වාසයි, මෙම බැඳීම අප සන්නාමය ඉහළින් ඔසවා තබන බවට. මේ හා සබැඳි හවුල්කරුවන්ට හා සියලුම දෙනාට ස්තූතිය පළ කිරීමටත් මා මෙය අවස්ථාවක් කර ගන්නවා යැයිද ගගන් මාතූර් මහතා කියා සිටියේය.

    තවදුරටත් අදහස් දැක්වූ ගගන් මාතූර් මහතා, Gulf Lubricants ඉතා සීඝ්‍රයෙන් සාක් රටවල වර්ධනය වුණා. අනෙකුත් විශාල ප්‍රමාණයක් OEM සමග
    සම්බන්ධව කටයුතු කරන අතර අශෝක් ලේලන්ඩ් සමාගම Hinduja සමූහයට අනුබද්ධව කටයුතු කිරීම මගින් අපගේ වෙළෙඳපොළ කොටස වර්ධනය කර ගැනීමට එය රුකුලක් වෙනවා. අප බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වර්ධනයට අප භාණ්ඩවල උසස් තාක්ෂණය රුකුලක් වෙයි කියලා.

    ශ්‍රී ලංකාව තුළ වසරකට කිලෝ ලීටර් මිලියන 64 ක පමණ ලිහිසි තෙල් භාවිතා කරනු ලබයි. මෙම ප්‍රමාණයෙන් සියයට 43 භාවිතා කරන්නේ රථවාහන සඳහා වන අතර ඉතිරි ප්‍රමාණය කර්මාන්ත සඳහා අවශ්‍ය ලිහිසි තෙල් සහ ග්‍රීස් ලෙස භාවිතා කරනු ලබයි. Gulf Lubricants මෙරටට හඳුන්වා දීමත් සමඟ රථවාහන අංශයට හා කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය තත්වයෙන් උසස් ලිහිසි තෙල් පාරිභෝගිකයන්ට ලබාදීමට අයිඩියල් ෆස්ට් චොයිස් අපේක්ෂා කරයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් අයිඩියල් මෝටර්ස් සහ අයිඩියල් ෆස්ට් චොයිස් අධ්‍යක්ෂ චමින්ද වනිගරත්න මහතා මෙසේ පැවසීය.

    ලෝකයේ රටවල් රැසකම පිළිගැනීමට පත්ව ඇති Gulf Lubricants හි ශ්‍රී ලංකාවේ අලෙවි නියෝජිත ලෙස අයිඩියල් ෆස්ට් චොයිස් සමාගම පත්කිරීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත්වෙනවා. ඇමරිකානු තත්ත්ව සහතිකයන්ට අනුගතව (american petroleum institute) නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන Gulf lubricants අයිඩියල් ෆස්ට් චොයිස් සමාගම හා එක් වීමෙන් මෙරට පාරිභෝගිකයන් හට සුවිශේෂී ලිහිසි තෙල් සන්නාමයක් ලබාදීමට හැකි වෙතැයි අප බලාපොරොත්තු වෙනවා. 2008 වසරේ දී එවකට පැවති රජය ලිහිසි තෙල් හඳුන්වාදීම සඳහා පුද්ගලික අංශයටත් අවස්ථාව ලබාදීමෙන් පසු ශ්‍රී ලංකාවට විවිධ සන්නාමයන්ගෙන් යුත් ලිහිසි තෙල් වර්ග හඳුන්වා දෙනු ලැබුවා. එමෙන්ම 2010 වසරෙන් පසු මෙරට රථවාහන ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇති වූ අතර හයිබ්‍රිඩ් වාහන සඳහාද පාරිභෝගිකයන් විශාල වශයෙන් ආකර්ශනය වීම දක්නට ලැබුනා. මේ හේතුව නිසාම ලිහිසි තෙල් සඳහා තිබූ අවශ්‍යතාව ඉහළ යෑම දක්නට ලැබුණු අතර ඒ අනුව තත්ත්වය උසස් පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලබා දිය හැකි Gulf Lubricants අප හඳුන්වා දීමට කටයුතු කරනු ලැබුවා.

    එමෙන්ම Gulf Lubricants සඳහා ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි සෑම දිස්ත්‍රික්කයක් පාසාම අලෙවි නියෝජිතයන් පත් කිරීමේ කටයුතු අප මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. යතුරු පැදි, ත්‍රිරෝද රථ, වෑන් කාර් ඇතුළු සියලුම රථවාහන සඳහා මෙන්ම කර්මාන්ත සඳහා අවශ්‍ය ලිහිසි තෙල් Gulf Lubricants සන්නාමය යටතේ රට පුරා බෙදා හැරීමට අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපගේ අලෙවි නියෝජිතයන් සහ අලෙවි කණ්ඩායම හරහා Gulf Lubricants පිළිබඳව දැනුවත් කිරීමට, තාක්ෂණික දැනුම ලබා දීමට අවශ්‍ය කටයුතු දැනටමත් සූදානම් කර තිබෙනවා. අපට අවශ්‍ය වුණේ තත්වයෙන් උසස් නිෂ්පාදනයක් දැරිය හැකි මිලකට පාරිභෝගිකයාට ලබා දීමට යැයි ද චමින්ද වනිගරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඡායාරූපය
    (වමේ සිට) අයිඩියල් ෆස්ට් චොයිස් හි Gulf Lubricants ව්‍යාපාර ප්‍රධානී සංජීව කස්තුරිරත්න, අයිඩියල් ෆස්ට් චොයිස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධනුෂ්ක වල්පොල, අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, අයිඩියල් මෝටර්ස්, අයිඩියල් ෆස්ට් චොයිස් අධ්‍යක්ෂ චමින්ද වනිගරත්න, Gulf Lubricants Indiaහි ව්‍යාපාර ප්‍රධානී (Cluster Market) ගගන් මාතූර්, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විපින් ඕරි යන මහත්වරුන් Gulf Lubricants මෙරටට හඳුන්වාදීමේ අවස්ථාවට එක්ව සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

    අයිඩියල් සමූහය ගැන බිඳක්

    දශක 3ක් පුරා දේශීය රථවාහන ක්ෂේත්‍රයේ මෙන්ම අලෙවියෙන් පසු සේවා සැපයීම අතින් කැපී පෙනෙන මෙහෙවරක නිරත වන අයිඩියල් සමූහය යනු මෙරට ප්‍රමුඛතම සමාගම් අතර සිටින සැබෑම ශ්‍රී ලාංකික සමාගමකි. 1000කට අධික සාමාජික පිරිසක් මෙන්ම රු. බිලියන 20කට අධික වාර්ෂික පිරිවැටුමක් සහිත අයිඩියල් සමූහය, වාහන එකලස් කිරීම, ආනයනය සහ බෙදාහැරීම, පුනර්ජනනීය බලශක්තිය, මූල්‍ය සේවා මෙන්ම විවිධ මාදිලිවල අමතර කොටස් අලෙවිය හා අලෙවියෙන් පසු සේවාවවන් සැපයීම ද සිදු කරයි.

    අයිඩියල් සමූහය මහේන්ද්‍රා මෝටර් රථ සහ මෝටර් සයිකල් සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් අලෙවි නියෝජිතයා ද වේ. එපමණක් නොව ඉන්දියාවේ මෝටර් රථ නිෂ්පාදනයේ දැවන්ත සමාගමක් වන Mahindra and Mahindra සම හවුල්කාරීත්වයෙන් වැලිපැන්න ප්‍රදේශයේ ඉදිකළ ශ්‍රී ලංකාවේ “ප්‍රථම වාහන එකලස් කිරීමේ හා නිෂ්පාදනය කිරීමේ අංගනය” ද මෙහි තවත් එක් සුවිශේෂී පියවරකි.

    Gulf Lubricants ගැන බිඳක්

    Gulf යනු පූර්ණ වශයෙන් Hinduja සමූහ ව්‍යාපාරයට අයත් මහා පරිමාණයේ පුද්ගලික සමාගමක් වන අතර, මෙය පහළ ධාරාවේ සමාගම් රාශියක එකතුවකින් සැදුම් ලද්දකි. එපමණක් නොව, ඉන්දියාවේ රථවාහන හා කාර්මික ලිහිසි තෙල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නමක් දිනා ඇති සහ BSE ලැයිස්තුගත සමාගමක් ද වන Gulf Oil Lubricants India Ltd හි බහුතර කොටස් හිමිකාර පාර්ශවය වන්නේ ද Gulf සමාගමයි.

    යුරෝපය, උතුරු ඇමරිකාව, මැදපෙරදිග සහ ආසියා ශාන්තිකර කලාපයන් තුළ ශක්තිමත් ජාත්‍යන්තර විශ්වාසයක් දිනා ඇති ගල්ෆ් සමාගම, ස්වකීය හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක මිශ්‍රණ පහසුකම් සහිත ඒකක 7ක් සහ බලපත්‍රලාභී වැඩබිම් රැසක් ද ලොව පුරා පිහිටුවා ඇත. පුළුල් පරාසයක විහිදුණු එන්ජින් ඔයිල්, ලිහිසි තෙල්, කූලන්ට් මෙන්ම රථවාහන, කාර්මික හා නාවික කටයුතු සඳහා අවශ්‍ය බ්‍රේක් ඔයිල් නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇත. තවද, ලොව පුරා විහිදුණු බලපත්‍රලාභී ඉන්ධන පිරවුම්හල් 1200කට අධික ජාලයකට ද Gulf සමාගම හිමිකම් කියයි.

    අද එන්නත් මධ්‍යස්ථාන 57යි

    0

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 57කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    එම එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 25.11.2021

    ලංකාවේ කොළපාට කරන්න හමුදාව ගුවනින් බීජ හෙළයි

    0

    ​මෙරට වන ආවරණය ඉහළ දැමීම උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියේ හයවන අදියර පසුගියදා සාර්ථක අයුරින් නිමකර තිබේ.

    ශ්‍රි ලංකා ගුවන් හමුදා විරවිල කදවුර මුලික කරගනිමින් ගුවන් හමුදා අංක 06 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයට අයත් එමි අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාව මගින් අවස්ථා
    දෙකකදි සියඔලා ආණ්ඩුව ප්‍රාදේශිය කොටිඨාශයට අයත් වත්තේගම කැබිලිත්ත වන රක්ෂිතයේ අක්කර 70 ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ඇහැළ, මී, කරද, මයිල, සියඹලා, කුඹුක්, කෝන්, මදටිය, ආදී ශාක බීජ 65,000 ක් ප්‍රමානයක් තෝරාගත් භූමි ප්‍රදේශය වෙත ගුවනින් හෙලීම සිදුකරන ලදී.

    මෙම සුවිශේෂී ව්‍යාපෘතිය වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මාර්ගෝපදේශකත්වය යටතේ මාස් හෝල්ඩින් ආයතනයේ අනුග්‍රහයකත්වයෙන්
    කටුනායක මුලික ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකය විසින් ක්‍රියාත්මක කරන ලදි.

    ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයක් වන 2030 වසර වන විට හරිත ආවරණය 27% සිට 30% දක්වා වර්ධනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

    ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යටතේ, දේශයේ අනාගත පරම්පරාව වෙනුවෙන් හරිත අනාගතයක් උදාකරලීම උදෙසා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

     

     

    ෆයිසර් සමාගම සිය කොරෝනා එන්නත පිළිබඳ දත්ත සොරකම් කළ සේවිකාවකට එරෙහිව නඩු පවරයි

    0

    ෆයිසර් සමාගමේ කොරෝනා මර්ධන එන්නතට අදාල දත්ත ඇතුලු ලිපිගොනු රැසක් සොරකම් කළ සේවිකාවකට එරෙහිව එම සමාගම විසින් නඩු පවරනු ලැබි තිබේ.

    වසර පහලොවකට අධික කාලයක් චූන් සියාඹ් ලී නැමැති මෙම සේවිකාව සංඛ්‍යාණ පිළිබඳ සහකාර අධ්‍යක්ෂවරියක් වශයෙන්  ෆයිසර් සමාගමේ සේවය කර ඇත.

    කෙසේ වෙතත් මෙම සේවිකාව නුදුරේදීම තරඟකාරී සමාගමකට එක්වීමට නියමිතව ඇති අතර ඇය මෙම මස අවසානයේදී ෆයිසර් සමාගමෙන් ඉවත්වීමට නියමිතව ඇති බවටද වාර්තාවේ.

    ඒ අනුව අදාල සේවිකාව විසින් ෆයිසර් සමාගමේ කොරෝනා එන්නතට අදාල දත්ත සහ පිළිකා ප්‍රතිදේහ සම්බන්ධයෙන් වූ දත්ත ඇතුලත් ලිපිගොනු දෙලොස් දහසක් පමණ සොරොගන ඇති බවට එම සමාගම චෝදනා කරයි.

    ඇය විසින් සමාගම විසින් ඇයට ලබාදී තිබුණු ලැප්ටොප් පරිගණකයේ තිබූ මෙම දත්ත සූක්ෂමව උපුටාගෙන ඇති බවත් ඒ පිළිබඳව සමාගම රවටමින් කටයුතු කර ඇති බවටද ෆයිසර් සමාගම සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් ෆයිසර් සමාගම ඇමරිකාවේ සැනිඩියේගෝ හී ෆෙඩරල් අධිකරණයක නඩු පවා ඇති අතර එහිදී අතුරු තහනම් නියෝගයක් ලබාදෙමින් අදාල කාන්තාවට ෆයසිර් සමාගමේ වෙළෙද රහස් භාවිතා කිරීම තහනම් කර තිබේ.

    නව විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන

    0

    නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස අධයාපන අමාතයාංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස මේ වන විට සේවයේ නිරතව සිටින එල්.එම්.ඩී. ධර්මසේන මහතා පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    මේ වන විට විභාග කොමසාරිස් ජනරාල්ධූරය දරන සනත් පූජිත මහතා හෙට විශ්‍රාම ගන්නා බැවින් එම පුරප්පාඩුවට මෙම පත්කිරීම කෙරෙනු ඇත.

    කොළඹ ආනනන්ද විද්‍යාලයේත්, කොළඹ මහනාම විද්‍යාලයේත් විදුහල්පතිධුරයන්වලට කලක් කටයුතුකර ඇති ධර්මසේන මහතා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග, පරිගණක සහ විමර්ශන යන ශාඛාවල ප්‍රධානියා ලෙසද , ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කොමසාරිස් ලෙසද සේවය කර තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක් වන ඒ මහතා අධයාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-25

    0
    සෝල්බරි ප්‍රතිසංස්කරණ යටතේ පිහිටවූ 1947 පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පත් කෙරුණේ 1947 නොවැම්බර් 25 වන දිනයි
    සෝල්බරි ප්‍රතිසංස්කරණ යටතේ පිහිටවූ 1947 පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පත් කෙරුණේ 1947 නොවැම්බර් 25 වන දිනයි

    සෝල්බරි ප්‍රතිසංස්කරණ යටතේ පිහිටවූ 1947 පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පත් කෙරුණේ 1947 නොවැම්බර් 25 වන දිනයි

    “ඉල්ලන්නේ ඒක නම් අපි ලෑස්තියි කරන්න” – පාස්කු විමර්ශන ගැන ජනපති කී දේ

    0

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව අධිකරණ ක්‍රියාදාමයට පෙර නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවට ඉල්ලා සිටින්නේ නම් එය පාර්ලිමේන්තුව හරහා සිදුකළ හැකි ආකාරය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවැසීය.

    මෙරට ප්‍රථමවරට අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ නව කැළණි පාලම ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ අවස්ථාවට අද (24) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේ ය.

    “පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකොට කවුද මේ රටේ පාලනය කළේ. ඒ අය බලයට ඇවිත් බුද්ධි සේවාව නැති කරලා, රණවිරුවන්ව නැති කරලා, ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම ප්‍රමුඛත්වයක් නොදී මේ රට පාලනය කරන්න ගිහිල්ලා පාස්කු ඉරිදා සිද්ධිය සිදුවුණා. ඒ අයම පත් කළා ජනාධිපති කොමිසමක්. ඒ කොමිසමේ කියලා තියෙනවා වැරදිකාරයෝ කවුද කියලා. එවකට හිටිය ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඒකට වගකියන්න ඕනේ කියලා කියලා තියෙනවා. හැබැයි ගිය ආණ්ඩුව වගේ දේශපාලන පළිගැනීම් ගන්න අපි ඇඟිලි ගහන්නෑ. ඒක අධිකරණය කරයි. හැබැයි කඩිනමින් කරන්න ඕනේ නම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා ඒකට වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න. තවත් ඒක නම් ඉල්ලන්නේ අපි ලෑස්තියි ඒක කරන්න. අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා. ඒක නිසා එක එක ඒවා ඉල්ලනකොට ටිකක් ප්‍රවේසමෙන් ඉල්ලන්න වෙයි.

    ජනතාව රැවටෙන්න එපා. මම හොඳ නැත්තම්. ආණ්ඩුව හොඳ නැත්තම් විකල්පය විපක්ෂය ද? ඒ අයට නැවත බලයට ගෙන එන්න මේ ජනතාව සූදානම් නෑ කියලා මම හොඳින් දන්නවා.”

    කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani) විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව මෙසේය.

    “අතුරුගිරිය අධිවේගී මාර්ගය අවුරුදු 2ක් තුළ හදන්න ඇමතිතුමා පොරොන්දුවෙලා තියෙනවා. ඉඟුරුකඩේ හංදියේ තියෙන අධිවේගී මාර්ගය වරාය නගරය දක්වා දැනට ඉඳිවෙන මාර්ගය අවුරුද්දක් දෙකක් තුළ නිමා වෙනවා.
    දුෂ්කර ගම්මානත් නගරත් මේ අධිවේගී මාර්ගවලින් සම්බන්ධ වූ නිසා ආර්ථිකයේ දියුණුවක් අපට ලබන්න පුළුවන් වුණා. නගර ආශ්‍රිතව විශාල මාර්ග තදබදයක් තියෙනවා. මෙරටට ගෙන්වන ඉන්ධන වලින් සියයට 5ක් වැය වෙන්නෙ මාර්ග තදබදය වෙනුවෙන්. අවුරුද්දකට ඩොලර් මිලියන 200ක් තදබදය නිසා විනාශ වෙලා යනවා. අද තෙල් පිළිබඳ අර්බුධයක් තියෙනවා. මහින්ද රාජපක්ෂතුමා එදා ආරම්භ කළේ මේ රටේ තියෙන ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුමක් ගේන්න.
    මේ රටේ ඉතුරුවෙලා තියෙන ප්‍රශ්නවලට තිරසාර විසඳුම් අපි සොයන්න ඕන. තෙල් අර්බුධය එවැනි දෙයක්. අද මෙරටට තෙල් ගෙන්වන්න ඩොලර් මිලියන 350ක් මේ මාසෙට අවශ්‍යයයි. අපි අපනයනයෙන් සොයන්නෙ මාසෙට ඩොලර් මිලියන 1000යි. සියයට 35ක්ම තෙල් වලට වැය කරනවා. වාහන දුවන්න සියයට 71ක් වැය කරනවා. කර්මාන්ත වෙනුවෙන් සියයට 4ක් වගේ. අපිට තෙල්, ගෑස්, ගල්අගුරු නෑ. හැබැයි අපට ජලය, හිරු එළිය, සුළඟ තියෙනවා. ඒ නිසා පුනර්ජනනීය බලශක්තියෙන් අපි සියයට 71ක්වත් කටයුතු කරන්න ඕන. මේ ව්‍යාපෘතිය කරපු නිලධාරීන් ජොන්ස්ටන් ඇමතිතුමා මේ වේදිකාවට ගෙන ආවා. ඒ අයට මමත් ස්තුති වෙනවා.
    ඒ ඉංජිනේරු මහත්වරු කරපු කැපවීම විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු මහත්වරු කරයි කියලා මම විශ්වාස කරනවා. ඇයි විදුලියෙන් වැඩ කරන වාහන අපේ රටට ගේන්න බැරි. මේ වගේ අභියෝගාත්මක විසඳුම් ගේන්නයි මාව පත්කරේ. විරුද්ධ පක්ෂය බොරු ප්‍රචාර කරලා මේවා කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා. ගොවි ජනතාව වෙනුවෙන් අපේ රජය තරම් කරපු රජයක් නැති තරම්. පොහොර ටික නිකන් දුන්නා. සහතික මිල වැඩි කළා. සෞභාග්‍යයේ දැක්මෙන් අපි පොරොන්දු වුණා වස විසෙන් තොර අහාර වේලක් මේ රටේ ජනතාවට දෙනවා කියලා. කොවිඩ් වසංගතය, වර්ෂාව වගේම සමහර නිලධාරීන්ගේ කැපවීමක් නොතිබුණ නිසා අපට එය කල් දමන්න සිදුවුණා. නමුත් අපි වස විසෙන් තොර ආහාර වේලක් ලබා දෙන්න අපි ඒ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියනවා. පුනර්ජනනී බලශක්තියෙන් අපි මේ තෙල් අර්බුධයටත් විසඳුමක් දෙනවා.
    විරුද්ධ පක්ෂයේ පාලනයෙන් ගිහිල්ලා අවුරුදු දෙකයි තාම. හැබැයි හාමුදුරුවනේ එයාලා කතා කරන්නෙ ජීවිතේට රට පාලනය කරේ නෑ වගේ කතා කරන්නෙ. කිසිම ඇමතිකමක් දැරුවේ නෑ වගේ කතා කරන්නෙ. පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකොට කවුද මේ රට පාලනය කළේ ? එදා අපේ කාලයේ ශක්තිමත් ආරක්ෂක සේවාවක් බුද්ධි සේවාවක් ඇති කරලා තිබුණා. ඒකයි අපට යුද්ධය දිනන්න පුළුවන් වුණේ. යුද්ධයෙන් පස්සෙත් කිසිම සිද්ධියක් නොවුණෙ අන්න ඒ හින්දා. නමුත් ඒ අය බලයට ඇවිල්ලා බුද්ධි සේවාව නැති කරලා, රණවිරුවන්ව නැති කරලා, ඔවුන්ගෙ මානසික තත්ත්වය කඩා දාලා මේ රටේ ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම ප්‍රමුඛත්වයක් නොදී මේ රට පාලනය කරන්න ගිහිල්ලා පාස්කු ඉරිදා සිද්ධිය සිද්ධ වුණේ. ඒ අයම පත් කළා ජනාධිපති කොමිෂමක්. කොමිසමේ පැහැදිලිව කියලා තියෙනවා කවුද වැරදිකාරයො කියලා. එවකට හිටිය ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමති මණ්ඩලය, වගකියන්න ඕන කියලා පැහැදිලිවම කියලා තියෙනවා. අපි ඒ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. නීතිපතිතුමාට ලබා දීලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙනවා. අපි ගිය ආණ්ඩුව වගේ දේශපාලන පළිගැනීම් ගන්න අපි ඇගිලි ගහන්නෙ නැහැ. අපිට කිව්වෙ අධිකරණයේ ස්වාධීනත්වය තියන්න කියලා. ඒ නිසා අපට ගිහිං කියන්න බැහැ අහවලාට දඩුවම් දෙන්න කියලා. ඒක අධිකරණය කරයි.
    එහෙම දෙයක් කඩිනමින් කරන්න ඕන නම් අපට පුළුවන් පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා. එහෙම කරලා තියෙනවා මීට ඉස්සරවෙලා . වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න. ඒ කරපු වැරදි තවත් මේ රටේ කරන්න නොදෙන මට්ටමට ක්‍රියා කරන්න පුළුවන් අවශ්‍ය නම්. ඒක නම් ඉල්ලන්නෙ අපි ලෑස්තියි ඒක කරන්න. අපට තුනෙන් දෙකක බලයක් තියෙනවා. එක එක ඒවා ඉල්ලනකොට ටිකක් ප්‍රවේශමෙන් ඉල්ලන් වෙයි. ඒකටත් අපි ලෑස්තියි.
    ඉතිං ජනතාව රැවටෙන්න එපා. මම හොඳ නැත්නම්, ආණ්ඩුව හොඳ නැත්නම් විකල්පය ඔය විපක්ෂය ද ? දැන් අවුරුදු දෙකකට ඉස්සරවෙලා, අවුරුදු 5ක් පාලනය කළ හැටි අපි දැක්කා. අපට තුනෙන් දෙකක් දුන්නෙ ඔය කියන විපක්ෂය ජනතාව පිළිකුල් කළ නිසයි. ඔවුන් නැවත බලයට ගේන්න මේ රටේ ජනතාව සූදානම් නැති බව මම හොඳහැටි දන්නවා. අපි පාලනය භාර ගත්තෙ මුළු ලෝකයටම වසංගතයක් වෙච්ච කොවිඩ් වසංගතය එක්ක. අපි අනිත් රටවල් එක්ක සාපේක්ෂව මේ අභියෝගය භාරගත්තා. අපට සැළසුම් තිබුණා. කොවිඩ් නිසා රට වහන්න වුණා. සංචාරකයන් මේ රටට ආවේ නැහැ. නමුත් අවුරුදු දෙකක කාලයක් තුළ එන්නත දීලා රට විවෘත කරලා තියෙනවා. වසරකට ඩොලර් බිලියන 5ක් පමණ අදායම අපි නැවත ලබා ගන්න සැළසුම් හදලා තියෙනවා. අපි ජයග්‍රහණය කරපු විශාල ක්ෂේත්‍රයන් තියෙනවා. මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් ආහාර භෝග අපි නිෂ්පාදනය කරලා තියෙනවා. මම බලයට ඇවිත් එතනෝල් ගෙන්වන එක සම්පූර්ණයෙන් නැවැත්තුවා. අපේ සීනි කර්මාන්ත අද ලාභ ලබනවා. ගම්මිරිස් ගොවියා, කහ ගොවියා, උක් ගොවියා, කුරුඳු ගොවියා මේ සියලු දෙනාම අද ලාභ ලබනවා. මේක අපේ ප්‍රතිපත්තියේ සාර්ථකත්වයක්.
    කෝවිඩ් වසංගතය අස්සේ විපක්ෂය කොල්ලුපිටියට ජනතාව ගෙනල්ලා ජනතාවත් අපහසුතාවයට පත් කළා. මේකද වගකිවයුතු විපක්ෂයක වගකීම. රට වහන්නෙ නැතිව ඉදිරි අවුරුදු 3 පාලනය කරන්න පුළුවන් වුණොත් අපි සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කරනවා කියලා අපි ජනතාවට පොරොන්දු වෙනවා. පළපුරුදු පරිනත දේශපාලඥයො ඉන්නවා ඇමතිකම් නැතිව. මේ සියලු දෙනාටම කොහොමද ඇමතිකම් දෙන්නෙ. අපි පොරොන්දු වුණ දේ ජනතාවට කරලා තියෙනවා. කවුරුවත් හිතපු නැති ක්ෂේත්‍රයක් අද දියුණු කරන් යනවා. කොවිඩ් අභියෝග මැද අපි ජනතාවගේ සුබ සාධන කටයුතුත් කරගෙන යනවා. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අපි ඉදිරියටත් මේ අයුරින්ම කරගෙන යනවා. ඒ නිසා මේ ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍ය සහය දුන්න ජපාන රජයටත්, ජයිකා ආයතනයටත් මාගේ ස්තුතිය පුද කරනවා. මේ ව්‍යාපෘතිය සහය දුන් කම්කරුවාගේ සිට නිලධාරීන් දක්නා සියලු දෙනාට රට වෙනුවෙන් අපි ස්තුති කරනවා. මේ වගේ ව්‍යාපෘති කඩිනමින් ඉටු කොට ජනතාවට ලබා දෙන්න යැයි සියලුම ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

    හඳුනානොගත් පියාසර වස්තූන් හොයන්න පෙන්ටගනය සූදානම් වෙයි

    0

    ඇමරිකාවේ පෙන්ටගනය විසින් එරට ආරක්ෂිත ගුවන් කලාප තුලදී හඳුනා නොගත් පියාරස වස්තූන් සම්බන්ධයෙන් වර්තාවීම් පිළිබඳ විමර්ශණය කිරීමට විශේෂිත කණ්ඩාමයක් ස්ථාපනය කිරීමට තීරණය කර ඇත.

    ඒ අනුව මෙම කණ්ඩායම විසින් ඉදිරියේදී එරට ආරක්ෂිත ගුවන් කාලාප තුලදී වාර්තාවන හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ පුළුල්ව විමර්ශණ කිරීමක් සිදු කිරීමට නියමිත බවද වාර්තාවේ.

    ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ මෙම නව කණ්ඩායම ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් නිවේදන කළ අතර එම කණ්ඩායම එරට ආරක්ෂ සහ බුද්ධි කටයුතු ලේකම්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය.

    මෙම නව වැඩපිලිවෙලට ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජාතික බුද්ධි අංශයද එක්වීමට නියමතය.

    මේ අතර ඉකුත් ජුනි මාසයේදී ඇමරිකාවේ ජාතික බුද්ධි අධ්‍යක්ෂක විසින් හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ වාර්තාවීම පිළිබඳ සිදුකල පරීක්ෂණ 144ක් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය.

    කෙසේ වෙතත් එහිදී පරීක්ෂණ කණ්ඩායම් වලට ඉන් එක් සිදුවීමක් පිළිබඳ පමණක් පැහැදිලි කිරීමට හැකිව තිබූ අතර මෙම සිදුවීම් 144ම පිටසක්වල ජීවීන්ගේ ආගමන බවට හෝ රුසියාවේ සහ චීනයේ අධි තාක්ෂණික පියාසර යානා බවට සනාථ කිරීමට සාක්ෂි නොමැති බවද සඳහන් කර තිබිණි.

    මෙම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඇමරිකානු රජය විසින් මේවන විට හඳුනා නොගත් පියාරස වස්තූන් පිළිබඳ සොයා බැලීම වැදගත් කාරණයක් ලෙස සලකා බැලීම ආරම්භ කර ඇති බවයි.

    මේ අතර ඇමරිකාවේ නියෝජ්‍ය ආරක්ෂක ලේකම් කැත්ලීන් හික්ස් ප්‍රකාශ කර ඇත්තේ හඳුනානොගත් පියාසර වස්තූන් ආරක්ෂක ගුවන් කළාප තුල සැරිසැරීම් පිළිබඳ වර්තාවීම එරට ජාතික ආරක්ෂාවට තර්ජණයක් බවයි.

    කෙසේ වෙතත් මීට දශක කිහිපයකට පෙර සිටම ලොව පුරා පිටසක්වල හඳුනා නොගත් පියාසර වස්තූන් දුටු බවට වාර්තා වීම් සහ පිටසක්වල ජීවීන් විසින් මිනිසුන් පැහැර ගැනීම් පිළිබඳ සානථ නොකළ සිදුවීම් වාර්තා වේ.

    විවාහ- උත්සව- හෝටල් ඉස්සර වගේම අරින්න සූදානම්

    0

    මංගල උත්සව, සිනමාශාලා ,ආපනශාලා, හෝටල්‌ සංකීර්ණ , උත්සව සංවිධානය ආදී ක්ෂේත්‍ර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි වහා යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    මෙයට පෙර 25% ක්‌, 50% ක්‌ ආදී වශයෙන්‌ මෙම ක්ෂේත්‍ර ක්‍රමානුකූලව ආරම්භ කෙරිණි.

    කෙසේ වෙතත්‌ එළඹෙන සිකුරාදා ජනාධිපතිවරයා හා සාකච්ඡා කර විවෘත කෙරෙන ක්ෂේත්‍රයන්හි කුමන සීමාවන්‌ තුළ සිට ක්‍රියාත්මක කළ යුතුද යන්න තීරණය කෙරෙන බව හෙතෙම පැවසීය.

    විශේෂයෙන්‌ මෙම ක්ෂේත්‍ර විවෘත කළද මුව ආවරණ පැළඳීම , පූර්ණ එන්නත්කරණය ලබා නිබීම , දුරස්ථභාවය ආදී කරුණු අවධානයට ගතයුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    මෙම ක්ෂේත්‍ර ක්‍රියාත්මක කරන පිරිස්‌ හා ඒ සඳහා එක්වන පුරවැසියන්‌ සෞඛ්‍ය මාර්ගෝපදේශ හා සෞඛා පිළිවෙත්‌ පිළිබඳ පූර්ණ අවධානය යොමු කළ යුතු බවත්‌ එසේ නොවුවහොත්‌ යළි මේ සම්බන්ධයෙන්‌ යම්‌ යම්‌ දැඩි තීන්දු ගැනීමට සිදු වන බවත්‌ ඒ මහතා කීය.

    කොචිඩ්‌ වාසනය තුළ රට සාමානාකරණය කරා ගෙන යාමේදී දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට යා යුතු බවත්‌ එහිදී ලාභ ප්‍රයෝජන වෙනුවෙන්‌ කෙටිකාලීන වැඩපිළිවෙලට නොයන ලෙසත්‌ අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    20ට වැඩි හැමෝටමත් බූස්ටර්

    0

    Covid-19 මර්දන තුන්වන බූස්ටර් මාත්‍රාව වයස අවුරුදු 20 ට වැඩි අයට ඉක්මනින් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ලගදීම එම දිනය ප්‍රකාශයට පත් කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

    මේ වන විට අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සදහා බූස්ටර් මාත්‍රාව ලබා දෙමින් සිටී.

    පළමු සහ දෙවන මාත්‍රාව ලෙස ඕනෑම covid මර්දන එන්නතක් ලබා තිබුණ ද booster මාත්‍රාව සදහා මෙරට තුලදී ලබාදීමට තීරණය කර ඇත්තේ ෆයිසර්‌ එන්නතයි.

    සෑම එන්නතක් සඳහාම තෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට සුදුසු බවට මෙරට විශේෂඥයන් තීරණය කිරීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.

    හොරෙන් ගෙදරට විදුලිය ඇද්ද මහරගම උප-නගරාධිපති අත්අඩංගුවට

    0

    හෝමාගම, ගලවිලත්ත ප්‍රදේශයේ නිවසකට අනවසරයෙන් විදුලිය ලබා ගැනීමේ සිද්ධියට අදාළව මහරගම, නගරාධිපතිවරයාගේ පියා වන එම නගර සභාවේම උප නගරාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

    මහාමාර්ගයේ ඇති ප්‍රධාන විදුලි පද්ධතියෙන් අනවසරයෙන් සිය නිවසට විදුලිය ලබාගෙන ඇති බවට ලද තොරතුරක් මත විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් හෝමාගම පොලිස් ස්ථානයේ නිලදාරීන් පිරිසක්ද සමඟ ඊයේ (23) පස්වරුවේ එම නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

    අත්අඩංගුවට ගැණුනු උප නගරාධිපතිවරයා එම නතතුරට පත්වන්නේ මෑතකදීය. විශ්‍රාමික පොලිස් අධිකාරීවරයෙක් වන ඔහුට නගර සභාවේ අසුනක් සමඟ උප නගරාධිපතිධුරය හිමිවන්නේ ඊට පෙර උප නගරාධිපතිධුරයේ රැදී සිටි නගරාධිපතිවරයාගේ සීයාගේ අභාවයෙන් ඇතිවුණු පුරප්පාඩුවටය.

    කින්නියා පාලම් පාරුවේ හිමිකරු ඇතුළු තුනක් අත්අඩංගුවට

    0

    ත්‍රිකුණාමලය කින්නියාහීදී ජීවිත 06 ක් බිලි ගනිමින් කලපුවේ පෙරලුණු පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

    අත්අඩංගුවට ගත් පාලම් පාරුවේ හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මෙන්ම කින්නියා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මස්සිනාය.

    අත්අඩංගුවට ගත් සෙසු දෙදෙනාගෙන් එදක් අයෙක් වන්නේ පාලම් පාරුවේ ක්‍රියාකරුවන අතර අනෙකා එහි ගමන් කළ මගීන්ගෙන් මුදල් අයකළ තැනැත්තාය.

    ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යාමෙන් පාරුවේ සමබරතාවය ගිලිහී ගොස් මෙම අනතුර සිදුව ඇති බව මූලික පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඒ අනුව මෙම සැකකරුවන්ට එරෙහිව මිනිස් ඝාතන චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

    කින්නියා පාලම්පාරු අනතුරට වගකිවයුතු මන්ත්‍රී මස්සිනා ගැන රාජ්‍ය ඇමති ලාන්සා මැතිසබේදී හෙළිකරයි

    0

    කින්නියා පාලම් පාරුව පෙරළීමෙන් සිදුවූ ව්‍යසනයට වගකිවයුත්තේ, රජයේ නිලධාරීන් අනුමැති දෙන්නට බෑ කියද්දී පාලම් පාරුව අනුමත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ්ගේ මස්සිනා වන කින්නියා නගරාධිපතිවරයා බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරයි.

    එබැවින් නගරාධිපතිවරයා සේවය අත්හිටුවා වහාම නීතිමය පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ ය.

    එසේ තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් විසින් පාර්ලිමේන්තුවත් ජනතාවත් බොරු කියා නොමඟ යැවූ බවත් අනතුරින් පසුව ඊයේ කින්නියා ජනතාවගේ ප්‍රහාරයට ලක්වූ එම්එස් තවුුෆීක් මන්ත්‍රීවරයා කළේ ජනතාවගේ ගමනාගමනයට පාලමක් සකස් කිරීමට මුල් ගල තැබීම පමණක් බව නිමල් ලාන්සා මහතා අවධාරණය කළේය.

    මේ පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අද කළ විශේෂ ප්‍රකාශය මෙසේය.

    “ඊයේ දිනයේ කවුරුත් නොසිතූ ලෙස අනපේක්ෂිත අයුරින් කින්නියා කුරුඤ්ඤංකර්නි හී කලපුවේ පාරුව පෙරළීමෙන් ඇතිවූ අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය පාසල් දරුවන් වගේම වැඩිහිටි අය වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට රජයේ සහ මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබන සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම පාලම ගැන කතා කරද්දී දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ ජනතාව කලපුව හරහා පාලමක් නොතිබීම නිසා දැඩි පීඩාවට පත්වෙලා සිටියේ. එම ප්‍රදේශයේ ජනතාව කලපුව හරහා ගමන් ගෙන ඇත්තේ අනාරක්ෂිත ලෙස බෝට්ටු යොදාගෙන. ජනතාවගේ එකම ඉල්ලීම වුණේ ඒ පාලම හදල දෙන්න කියලා. යහපාලන රජය කාලෙත් මං හිතන්නේ විවිධ ඇමතිවරු ගිහිල්ලා මුල්ගල තිබ්බා. නමුත් ඒ පාලම හදාගන්න බැරි වුණා. මට විශේෂයෙන්ම අපිට සහයෝගය දුන්න තවුෆීක් මන්ත්‍රිතුමා මගෙන් ඉල්ලීමක් කළා ඒ කින්නියා ප්‍රදේශයේ තියලා දැවැන්තම ප්‍රශ්නය මේ ජනතාව අනාරක්ෂිතව පාරුවල යනවා ඒ නිසා පාලමක් හදල දෙන්න කියලා. ඒ නිසා මම 2021 හතරවැනි මාසෙ ගිහිල්ලා පාලම පටන් ගන්න, පාලම් තුනක් හදන්න තියෙනවා. එක පාලමක් පටන් ගන්න මුල්ගල තියලා වැඩ පටන් ගත්තා. එතකොට මේ පාලම හදන්න ඉස්සරලා 2020 නොවැම්බර් 24 වැනිදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමක් තිබ්බා. ප්‍රදේශයේ ඉන්න සියලුම දේශපාලන අධිකාරිවරු සහභාගිත්වයෙන් ප්‍රාදේශීය සභා නගර සභා සියලු දෙනාම දෙනාම ඒකමතිකව තීන්දු කළා 2020 නොවැම්බර් 24 වැනිදා මේ පාලම් හදලා ඉවර වෙනකන් විකල්ප මාර්ගයක් විදියට කිලෝමීටර් තුනහමාරක පාරක් පාවිච්චි කරන්න. එතකොට මාර්ග සංවර්ධන අධිකාරිය අපි අමාත්‍යංශයක් විදිහට විදියට අවසර ලබාදී තිබෙන්නේ මේ පාලම හදල ඉවර වෙනකල් කිලෝමීටර් තුනහමාරක විකල්ප මාර්ගයක් හදන්න.

    හැබැයි ඒ මාර්ගය හදල ඒ ජනතාව සමහර අය පාවිච්චි කරද්දි තමා අනාරක්ෂිත ලෙස මේ පාරුව සඳහා අවසර ලබා දීලා තියෙන්නේ. අපෙන් මාර්ග සංවර්ධන අධිකාරියෙන් අවසර ඉල්ලනවා කින්නියා ප්‍රාදේශීය සභාව පාරුවක් දාන්න. අපි පැහැදිලිව කියනවා පාරුවක් දාන්න එපා අපි අවසර ලබා දෙන්නෙ නෑ කියලා. එතකොට කින්නියා නගරාධිපතිතුමා අපෙන් අවසරයක් ඉල්ලනවා අපි පැහැදිලිවම කියනවා අවසර ලබා දෙන්න බෑ. විකල්ප මාර්ගය පාවිච්චි කරන්න කියලා. හැබැයි මෙහෙම තියෙද්දී තමයි කින්නියා නගර සභාව තමන්ට නැති බලයක් උපයෝගී කරගෙන ජනතාව එහාට මෙහාට ගෙනියන්න, කෙටි මාර්ගවලින් මුදල් හම්බ කරන්න ව්‍යාපාරිකයින්ට, මේ පාරුවක් ෆෙරී සර්විස් එකක් දාන්න අවසර ලබා දීලා තියෙන්නේ. ඊයේ ගරු ඇමතිතුමා සභාගත කලා කින්නියා නගර සභාව විසින් ඒ ferry service එක කරන්න දීපු අනුමැතිය. ෆෙරී සර්විස් එකක් පවත්වගෙන යනවා නම් ඒ සඳහා අනුගමනය කරන්න ඕන ආරක්ෂක ක්‍රමවේද කිසිවක් ඒ ලිපියේ සඳහන් කරලා නෑ. අඩුම ලයිෆ් ජැකට් එකක්වත් නෑ. එතකොට මේ නිසා තමයි ඊයේ මේ අවාසනාවන්ත සිද්ධියට ඒ කින්නියා ප්‍රදේශයේ අහිංසක ජනතාව මුහුණ දෙන්නේ. ඒ නිසා මේකේ පලවෙනි වගඋත්තරකරු විශේෂයෙන් කින්නියා නගර සභාව කියන එක ඉතාමත් පැහැදිලිව මේ සභාවෙන් රටට ඇහෙන්න මට කියන්න ඕනේ. මොකද අපි අවසර ලබා නොදී තිබියදී, අපි අවසර ලබා දෙන්න බෑ කියද්දි සියලුම මේ පිළිබඳ ඉන්න රජයේ නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියලු දෙනා අවසර ලබා දෙන්න එපා කියද්දී මේ කින්නියා නගර සභාවේ නගරාධිපති තුමා කරපු ක්‍රියාදාමය නිසා තමයි ඊයේ මේ අහිංසක මිනිස්සු මරණයට පත්වෙන්නේ. ඒ නිසා පැහැදිලිවම කින්නියා නගර සභාවේ සභාපතිතුමා විශේෂයෙන් වගකියන්න ඕන.

    ඒ වගේම මේ පිළිබඳව මේ පාර්ලිමේන්තුව තුළ මතු කළා ප්‍රශ්නයක් දැන් මාස තුන හතරකට කලින් මේ කිලෝමීටර් තුනහමාර ඉතාමත් දුර වැඩීයි. තාවකාලිකව මාර්ග සංවර්ධන අධිකාරියේ සම්බන්ධ වෙලා ෆෙරී සර්විස් එකක් දාන්න කියලා. එතකොට මම පොරොන්දු උනා ෆෙරී සර්විස් එකක් මේ ප්‍රදේශය අයට දාන්න. ඒ සඳහා අපි අදාල කොන්ත්‍රාත් අයට උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන් 2021 ජූලි 14 හැබැයි පාලම හදන කොන්ත්‍රාත්තුවට ෆෙරී සර්විස් එකක් දාන්න කියන එක කලින් ගිවිසුමේ තිබ්බෙ නෑ. හැබැයි මේ ජනතාව පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මන්ත්‍රීවරු සහ ප්‍රදේශය අය ඉල්ලීම කරපුවාම අපි තීන්දුවක් ගත්තා ෆෙරී සර්විස් එකක් ආරක්ෂිත ක්‍රමවේදය තුළ දාන්න. ඒ සඳහා අපි කොන්ත්‍රාත්කාර මහත්තයට වෙනම, අපේ ඉංජිනේරුවරුන්ගේ සහතිකය මත ferry service එකක් දාන්න අපි අවසර ලබා දීලා තියෙනවා ජූලි 14 වෙනිදා. හැබැයි මේක දිගින් දිගටම නගර සභාව සහ ප්‍රාදේශීය සභාව අවසර ඉල්ලුවා අපි ලබා නොදුන්නා.

    ඒ නිසා මේ සග නගරසභාව විශේෂයෙන් කින්නියා නගර සභාව ඊයේ දැක්කේ අපේ ඇමැතිතුමා කිව්ව විදියට මේ කරලා තියෙන තමන්ට අයිති නැති කාර්යභාරයක්. ෆෙරී සර්විස් එකක් දාන්න කින්නියා නගර සභාවට අයිතියක් නෑ අවසර ලබා දෙන්න. ඒ එක්කම මේ අවසර ලබා දීල තියන පුද්ගලයා. ඊයේ දැක්කා අපේ ඉම්රාන් මහරුෆ් මැතිතුමා මෙතන කිව්ව ඒවා. ඉම්රාන් මහරුෆ් මැතිතුමාගේ මස්සිනා තමයි මේකේ සභාපතිතුමා නගරාධිපතිතුමා. නගරාධිපතිතුමා එතුමගේ මස්සිනා. ෆෙරී සර්විස් එකට අවසර දුන්නේ එතුමාගේ මස්සිනා. හැබැයි ෆෙරී සර්විස් එක කලේ කවුද? එතුමාගේ ඉතාමත් ඥාති එතුමාගේ ඉතාමත් පාක්ෂික රියාස්. එතකොට මේ කාර්යයන් දෙකටම සම්බන්ධ වෙලා තියෙන්නේ මහරුෆ් මැතිතුමාගේ මස්සිනා සහ එතුමගේ පාක්ෂිකයා. හැබැයි මේ සභාව නොමග යැව්වා ඊයෙ මේ රටේ ජනතාව නොමග යැව්වා තවුෆීක් මැතිතුමා තමයි මේ ෆෙරී සර්විස් එක කළේ කියලා. තවුෆීක් මැතිතුමා කළේ අනාරක්ෂිත යන අයව ආරක්ෂිතව යන්න පාලමක් හදන්න මුල්ගල තිබ්බ එක විතරයි. හැබැයි අනාරක්ෂිතව එපා කියද්දී අවසර දුන්නේඅනාරක්ෂිතව යන පාරුව කරන්න අවසර දුන්නේ මේ ඉම්රාන් මහරූෆ් මන්ත්‍රිතුමාගේ අය.

    ඒ නිසා මම අවධාරණයෙන් කියනවා මේ අවදානම් සහගත සිද්ධිය මුල් කරගෙන දේශපාලනය කරන්න එපා. බොරු වාසි ගන්න විපක්ෂය හදන්න එපා. මේකෙ ඇත්ත කතාව මේක අවසර ලබා දුන්නේ එතුමන්ලා. තමුන්නාන්සේලා ඇඟිල්ල දික් කරනවා නම් විපක්ෂයේ කවුරුහරි ඇඟිල්ල දික් කරන්න ඕනේ ෆෙරී සර්විස් එකට අවසර දුන්නේ කවුද? කවුද ෆෙරී සර්විස් එක ක්‍රියාත්මක කලේ කවුද? ආරක්ෂිත ක්‍රමවේද උපයෝගී නොකර ගත්තෙ කවුද කියන එක.

    මම ඉතාමත් පැහැදිලිව මේ සභාවෙන් ඔබතුමා මාර්ගයෙන් ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් පොලීසිය භාර ඇමතිතුමාගෙන් පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඊයේ සිදු වෙච්ච සිද්ධිය නොවෙන්න ඕන සිද්ධියක්. මේ ළමුන් අහිංසක .මේ දුප්පත් මිනිස්සු තමන්ට එහාට යන්න තියෙන එක ව්‍යාපාරිකයෙක් තමන්ගේ ව්‍යාපාරික අරමුණු ඉටු කරගැනීම සඳහා අපි ලබා නොදුන් අවසරයක්. මා ගාව ලිපි ලේඛන ඔක්කොම තියෙනවා. බලහත්කාරකමෙන් මුදල් හම්බ කරන්න කින්නියා නගරාධිපතිතුමා අවසර ලබා දීලා තියනවා. ආණ්ඩුකාරතුමියගෙන් ඉල්ලනවා මේ සභාපතිතුමාට විරුද්ධව විනය පියවර ගන්න කියලා. එතුමාගෙ සභාපති ධුරය අත්හිටුවා විනය පියවර ගන්න. මේ මිනිස්සු මැරෙන්න ඉඩ ඇරියේ කින්නියා නගරාධිපතිතුමා. මේ මැරුණ මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න කරන්න නම් මේ කින්නියා නගරාධිපතිතුමාගේ වැඩ වහාම අත්හිටුවන්න ඕන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් කරන්න ඕන කියලා මේ සභාවෙන් මම ඉල්ලා සිටිනවා.” යැයි ද නිමල් ලාන්සා මහතා අවධාරණය කළේය.

    පාස්කු ප්‍රහාරයට කලින් හිටපු බුද්ධි ලොක්කා රංජිත් මද්දුමබණ්ඩාරට දුන් රහස් වාර්තාවක් එළියට

    0

    පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 11කට පෙර සහරාන් අත්අඩංගුවට ගන්නා ලෙස නිර්දේශ කරමින්, යහපාලන ආණ්ඩුව සමයේ නීතිය හා සාමය භාර අමාත්‍ය සහ වත්මන් මහලේකම් සමගි ජනබලවේගයේ රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ බව කියන බුද්ධි වාර්තාවක් ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේ‍කර මහතා විසින් සමාජ ජාලයට මුදාහැර තිබේ.

    රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ප්‍රහාරයන් සිදුවීමට පෙර ඒ පිළිබඳව කිසිවකු දැනුවත් නොකළ බවටත්, යහපාලන ඇමැතිවරුන් දැනුවත් නොකළ බවටත් ඔවුන් නොදැන සිටි බවටත් කරන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බවයි.

    සමගි ජනබලවේගය තවමත් මෙය හිටපු ජනපති මෛත්‍රීපාල සිරි‍සේනට හෝ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට සහ වත්මන් ආණ්ඩුවට පවරන්නේ ද යන්න කාංචන විජේසේකර මහතා විමසා සිටී.

    රාජ්‍ය අමාත්‍යවරයා අන්තර්ජාලයට මුදාහැර ඇති එම රහසිගත බුද්ධි වාර්තාව පහත දැක්වේ.

    මේ අතර සහරාන් හෂීම් ප්‍රමුඛ ආගමික අන්තවාදීන් වහාම අත්අඩංගුවට ගන්නැයි, 2015 සිට 2019 දක්වා වාර්තා 340 ක් පමණ ඉදිරිපත් කරමින් ඉල්ලීම් කළ බව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (23) විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ ය.

    අධිවේගී මාර්ගයන්හි ගාස්තු අය කිරීම LANKAQR හරහා ඩිජිටල්කරණයට

    0

    රජය විසින් ශ්‍රී ලංකාව තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණ සහිතව LANKAQR ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීම සඳහා සියලුම බලපත්‍රලාභී මූල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සිටී.

    එහි එක් පියවරක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන අධිවේගී මාර්ගවල අතින් ගාස්තු ගෙවීම් එකතු කිරීමේ දොරටු සඳහා ද LANKAQR හඳුන්වා දීමට යෝජනා වී ඇත.

    සිය ජංගම දුරකථනයේ අදාළ මුදල සටහන් කර ඕනෑම බැංකුවක LANKAQR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අයකිරීමේ ගේට්ටුවේ ඇති QR කේතය පරිලෝකනය කිරීමෙන් තත්පර 8-10ත් අතර කාලයක් තුළ අදාළ ගෙවීම සිදු කිරීමට අධිවේගී මාර්ගය භාවිත කරනු ලබන රියදුරන්ට එමඟින් හැකියාව ලැබෙනු ඇත.

    ඒ අනුව, එකී ගෙවීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිණිස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    රසායනික පොහොර ආනයනයට පෞද්ගලික අංශයට අවසර

    0

    රසායනික පොහොර, වල්නාශක සහ පළිබෝධනාශක ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කිරීම අද සිට ආරම්භ කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ අනුව රසායනික පොහොර ආනයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

    2021 අපේ‍්‍රල් 26 වැනිදා නිකුත් කළ ගැසට් පත‍්‍රය අවලංගු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තහවුරු කළේය.

    ඊට අදාළ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කෙරේ.

    එහෙත් රජයේ ප්‍රතිපත්තිය වන්නේ හරිත කෘෂිකර්මය බව කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ජනමාධ්‍යයේ අනාගතය වෙනුවෙන් කැබිනට්ටුවෙන් ගත් තීරණය

    0
    FILE- In this Nov. 22, 2019 file photo, Sri Lankan President Gotabaya Rajapaksa, center, stands during an oath-taking ceremony of his new cabinet members in Colombo, Sri Lanka. A proposed amendment to Sri Lanka’s constitution that will consolidate powers in the President’s hands has raised concerns about the independence of the country’s institutions and the impact on its ethnic minorities who fear their rights could be undermined by the majoritarian will.(AP Photo/Eranga Jayawardena, File)

    මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනය කිරීමටත් ප්‍රතිපත්ති හා ආචාරධර්ම සකස් කිරීමට නිර්දේශ ඉදිරිපත්කිරීමට කමිටුවක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

    අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය.

    ජනමාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ගෝලීය වර්ධනය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රමිතිකරණය සඳහා පවතින අණපනත්, අන්තර්ජාතික අණපනත්, ජාතික හා අන්තර්ජාතික මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සහ සමාජ සංස්කෘතික අනන්‍යතා යන ක්ෂේත්‍රයන්ට විශේෂ අවධානය යොමු කරමින් ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම, ඊට සමගාමීව ඉහළ වෘත්තීය නිපුණතාවක් සහිත මාධ්‍ය වෘත්තිකයින් බිහි කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැගීම, සමාජ මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය භාවිතය සහ හැසිරීම පිළිබඳ දැනුම, අවබෝධය සහ සන්නිවේදන උපක්‍රම සමාජගත කිරීම, ඩිජිටල් තාක්ෂණයට අනුගත වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම කෙරෙහි මේ වන විට අවධානය යොමු වී තිබේ.

    ඒ සඳහා වර්තමානයට ගැළපෙන පරිදි මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනයේ සහ ප්‍රතිපත්ති හා ආචාරධර්ම සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එම කාර්යයන් සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සහ මාධ්‍ය, අලෙවිකරණ, අධ්‍යාපනික, නීති, පරිපාලන හා ආර්ථික වැනි ක්ෂේත්‍රයන්හි අත්දැකීම් සහිත පුද්ගලයන්ගේ නියෝජනය සහිතව කමිටුවක් පත් කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.