fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කින්නියා සිද්ධියේ වාර්තාව අද පස්වරුවේ

    කින්නියා සිද්ධියේ වාර්තාව අද පස්වරුවේ

    කින්නියා පාලම් පාරුව පෙරළීමෙන් 6 දෙනකු බිලිගත් අනතුර පිළිබඳ විමර්ශන වාර්තාව අද පස්වරුවේ ලැබීමට නියමිත බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.

    එම වාර්තාවේ නි‍ර්දේශ ක්‍රියාත්මක කිරීමටත් වැරදිකරුවන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන බවත් ඇය අවධාරණය කළාය.

    දැනට එහි ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නාවික හමුදාව මගින් සිදුකිරීමට ද පියවර ගෙන තිබේ.

    නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන සියළු පාලම් පාරුවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගෙන ඇත.

    ඒ සඳහා විශේෂ කණ්ඩායමක් පිටත් කර යැවීමට ආණ්ඩුකාරවරිය පියවර ගෙන ඇත.

    පොලිසිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු අංශය සහ නාවික හමුදාව මෙම විශේෂ කණ්ඩායමට ඇතුලත් කිරීමට නියමිතයි.

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවේ, “ලංකාවේ දිගම පාලම තියෙන්නෙත් නැගෙනහිර පළාතේ. මේ ස්ථානයේ පාලම හදන්න ප්‍රමාද වූයේ කොවිඩ්වලට වැඩ නැවතුණු නිසා. විකල්ප මාර්ගයක් තිබුණත් ජනතාව එය භාවිතා කරන්න කැමති වුණේ නෑ. දැන් අපි මේ සිදුවීම ගැන පරීක්ෂණයක් කරනවා. එම වාර්තාව අද පස්වරුව වනවිට ලැබෙනවා. එම වාර්තාවේ අඩංගු නිර්දේශ මත අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. එහි වැරදිකරුවන් සිටියොත් ඒ අයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් අපි කිසිදා පසුබට වෙන්නේ නෑ. වගකිම් පැහැර හරින්න කිසිම කෙනෙකුට පුළුවන්කමක් නෑ. කෙසේවෙතත් දැනට මේ ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නාවික හමුදාව මගින් සිදු වෙනවා. ඊට අමතරව මෙම පාලමේ වැඩ කඩිනමින් අවසන් කරන්න රජයේ අවධානය යොමු වෙලා තියෙනවා“

    කින්නියා කුරින්ජන්කර්නි ප්‍රදේශයේදී පාලම්පාරුවක් පෙරළී යාමෙන් තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සුවදුක් බැලිම සදහා අද(25) පෙරවරුවේ කින්නියා රෝහලට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසුවාය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.