fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ඉල්ලන්නේ ඒක නම් අපි ලෑස්තියි කරන්න" - පාස්කු විමර්ශන ගැන ජනපති කී...

    “ඉල්ලන්නේ ඒක නම් අපි ලෑස්තියි කරන්න” – පාස්කු විමර්ශන ගැන ජනපති කී දේ

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව අධිකරණ ක්‍රියාදාමයට පෙර නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවට ඉල්ලා සිටින්නේ නම් එය පාර්ලිමේන්තුව හරහා සිදුකළ හැකි ආකාරය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවැසීය.

    මෙරට ප්‍රථමවරට අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ නව කැළණි පාලම ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ අවස්ථාවට අද (24) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේ ය.

    “පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකොට කවුද මේ රටේ පාලනය කළේ. ඒ අය බලයට ඇවිත් බුද්ධි සේවාව නැති කරලා, රණවිරුවන්ව නැති කරලා, ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම ප්‍රමුඛත්වයක් නොදී මේ රට පාලනය කරන්න ගිහිල්ලා පාස්කු ඉරිදා සිද්ධිය සිදුවුණා. ඒ අයම පත් කළා ජනාධිපති කොමිසමක්. ඒ කොමිසමේ කියලා තියෙනවා වැරදිකාරයෝ කවුද කියලා. එවකට හිටිය ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඒකට වගකියන්න ඕනේ කියලා කියලා තියෙනවා. හැබැයි ගිය ආණ්ඩුව වගේ දේශපාලන පළිගැනීම් ගන්න අපි ඇඟිලි ගහන්නෑ. ඒක අධිකරණය කරයි. හැබැයි කඩිනමින් කරන්න ඕනේ නම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා ඒකට වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න. තවත් ඒක නම් ඉල්ලන්නේ අපි ලෑස්තියි ඒක කරන්න. අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා. ඒක නිසා එක එක ඒවා ඉල්ලනකොට ටිකක් ප්‍රවේසමෙන් ඉල්ලන්න වෙයි.

    ජනතාව රැවටෙන්න එපා. මම හොඳ නැත්තම්. ආණ්ඩුව හොඳ නැත්තම් විකල්පය විපක්ෂය ද? ඒ අයට නැවත බලයට ගෙන එන්න මේ ජනතාව සූදානම් නෑ කියලා මම හොඳින් දන්නවා.”

    කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani) විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව මෙසේය.

    “අතුරුගිරිය අධිවේගී මාර්ගය අවුරුදු 2ක් තුළ හදන්න ඇමතිතුමා පොරොන්දුවෙලා තියෙනවා. ඉඟුරුකඩේ හංදියේ තියෙන අධිවේගී මාර්ගය වරාය නගරය දක්වා දැනට ඉඳිවෙන මාර්ගය අවුරුද්දක් දෙකක් තුළ නිමා වෙනවා.
    දුෂ්කර ගම්මානත් නගරත් මේ අධිවේගී මාර්ගවලින් සම්බන්ධ වූ නිසා ආර්ථිකයේ දියුණුවක් අපට ලබන්න පුළුවන් වුණා. නගර ආශ්‍රිතව විශාල මාර්ග තදබදයක් තියෙනවා. මෙරටට ගෙන්වන ඉන්ධන වලින් සියයට 5ක් වැය වෙන්නෙ මාර්ග තදබදය වෙනුවෙන්. අවුරුද්දකට ඩොලර් මිලියන 200ක් තදබදය නිසා විනාශ වෙලා යනවා. අද තෙල් පිළිබඳ අර්බුධයක් තියෙනවා. මහින්ද රාජපක්ෂතුමා එදා ආරම්භ කළේ මේ රටේ තියෙන ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුමක් ගේන්න.
    මේ රටේ ඉතුරුවෙලා තියෙන ප්‍රශ්නවලට තිරසාර විසඳුම් අපි සොයන්න ඕන. තෙල් අර්බුධය එවැනි දෙයක්. අද මෙරටට තෙල් ගෙන්වන්න ඩොලර් මිලියන 350ක් මේ මාසෙට අවශ්‍යයයි. අපි අපනයනයෙන් සොයන්නෙ මාසෙට ඩොලර් මිලියන 1000යි. සියයට 35ක්ම තෙල් වලට වැය කරනවා. වාහන දුවන්න සියයට 71ක් වැය කරනවා. කර්මාන්ත වෙනුවෙන් සියයට 4ක් වගේ. අපිට තෙල්, ගෑස්, ගල්අගුරු නෑ. හැබැයි අපට ජලය, හිරු එළිය, සුළඟ තියෙනවා. ඒ නිසා පුනර්ජනනීය බලශක්තියෙන් අපි සියයට 71ක්වත් කටයුතු කරන්න ඕන. මේ ව්‍යාපෘතිය කරපු නිලධාරීන් ජොන්ස්ටන් ඇමතිතුමා මේ වේදිකාවට ගෙන ආවා. ඒ අයට මමත් ස්තුති වෙනවා.
    ඒ ඉංජිනේරු මහත්වරු කරපු කැපවීම විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු මහත්වරු කරයි කියලා මම විශ්වාස කරනවා. ඇයි විදුලියෙන් වැඩ කරන වාහන අපේ රටට ගේන්න බැරි. මේ වගේ අභියෝගාත්මක විසඳුම් ගේන්නයි මාව පත්කරේ. විරුද්ධ පක්ෂය බොරු ප්‍රචාර කරලා මේවා කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා. ගොවි ජනතාව වෙනුවෙන් අපේ රජය තරම් කරපු රජයක් නැති තරම්. පොහොර ටික නිකන් දුන්නා. සහතික මිල වැඩි කළා. සෞභාග්‍යයේ දැක්මෙන් අපි පොරොන්දු වුණා වස විසෙන් තොර අහාර වේලක් මේ රටේ ජනතාවට දෙනවා කියලා. කොවිඩ් වසංගතය, වර්ෂාව වගේම සමහර නිලධාරීන්ගේ කැපවීමක් නොතිබුණ නිසා අපට එය කල් දමන්න සිදුවුණා. නමුත් අපි වස විසෙන් තොර ආහාර වේලක් ලබා දෙන්න අපි ඒ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියනවා. පුනර්ජනනී බලශක්තියෙන් අපි මේ තෙල් අර්බුධයටත් විසඳුමක් දෙනවා.
    විරුද්ධ පක්ෂයේ පාලනයෙන් ගිහිල්ලා අවුරුදු දෙකයි තාම. හැබැයි හාමුදුරුවනේ එයාලා කතා කරන්නෙ ජීවිතේට රට පාලනය කරේ නෑ වගේ කතා කරන්නෙ. කිසිම ඇමතිකමක් දැරුවේ නෑ වගේ කතා කරන්නෙ. පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකොට කවුද මේ රට පාලනය කළේ ? එදා අපේ කාලයේ ශක්තිමත් ආරක්ෂක සේවාවක් බුද්ධි සේවාවක් ඇති කරලා තිබුණා. ඒකයි අපට යුද්ධය දිනන්න පුළුවන් වුණේ. යුද්ධයෙන් පස්සෙත් කිසිම සිද්ධියක් නොවුණෙ අන්න ඒ හින්දා. නමුත් ඒ අය බලයට ඇවිල්ලා බුද්ධි සේවාව නැති කරලා, රණවිරුවන්ව නැති කරලා, ඔවුන්ගෙ මානසික තත්ත්වය කඩා දාලා මේ රටේ ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම ප්‍රමුඛත්වයක් නොදී මේ රට පාලනය කරන්න ගිහිල්ලා පාස්කු ඉරිදා සිද්ධිය සිද්ධ වුණේ. ඒ අයම පත් කළා ජනාධිපති කොමිෂමක්. කොමිසමේ පැහැදිලිව කියලා තියෙනවා කවුද වැරදිකාරයො කියලා. එවකට හිටිය ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමති මණ්ඩලය, වගකියන්න ඕන කියලා පැහැදිලිවම කියලා තියෙනවා. අපි ඒ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. නීතිපතිතුමාට ලබා දීලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙනවා. අපි ගිය ආණ්ඩුව වගේ දේශපාලන පළිගැනීම් ගන්න අපි ඇගිලි ගහන්නෙ නැහැ. අපිට කිව්වෙ අධිකරණයේ ස්වාධීනත්වය තියන්න කියලා. ඒ නිසා අපට ගිහිං කියන්න බැහැ අහවලාට දඩුවම් දෙන්න කියලා. ඒක අධිකරණය කරයි.
    එහෙම දෙයක් කඩිනමින් කරන්න ඕන නම් අපට පුළුවන් පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා. එහෙම කරලා තියෙනවා මීට ඉස්සරවෙලා . වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න. ඒ කරපු වැරදි තවත් මේ රටේ කරන්න නොදෙන මට්ටමට ක්‍රියා කරන්න පුළුවන් අවශ්‍ය නම්. ඒක නම් ඉල්ලන්නෙ අපි ලෑස්තියි ඒක කරන්න. අපට තුනෙන් දෙකක බලයක් තියෙනවා. එක එක ඒවා ඉල්ලනකොට ටිකක් ප්‍රවේශමෙන් ඉල්ලන් වෙයි. ඒකටත් අපි ලෑස්තියි.
    ඉතිං ජනතාව රැවටෙන්න එපා. මම හොඳ නැත්නම්, ආණ්ඩුව හොඳ නැත්නම් විකල්පය ඔය විපක්ෂය ද ? දැන් අවුරුදු දෙකකට ඉස්සරවෙලා, අවුරුදු 5ක් පාලනය කළ හැටි අපි දැක්කා. අපට තුනෙන් දෙකක් දුන්නෙ ඔය කියන විපක්ෂය ජනතාව පිළිකුල් කළ නිසයි. ඔවුන් නැවත බලයට ගේන්න මේ රටේ ජනතාව සූදානම් නැති බව මම හොඳහැටි දන්නවා. අපි පාලනය භාර ගත්තෙ මුළු ලෝකයටම වසංගතයක් වෙච්ච කොවිඩ් වසංගතය එක්ක. අපි අනිත් රටවල් එක්ක සාපේක්ෂව මේ අභියෝගය භාරගත්තා. අපට සැළසුම් තිබුණා. කොවිඩ් නිසා රට වහන්න වුණා. සංචාරකයන් මේ රටට ආවේ නැහැ. නමුත් අවුරුදු දෙකක කාලයක් තුළ එන්නත දීලා රට විවෘත කරලා තියෙනවා. වසරකට ඩොලර් බිලියන 5ක් පමණ අදායම අපි නැවත ලබා ගන්න සැළසුම් හදලා තියෙනවා. අපි ජයග්‍රහණය කරපු විශාල ක්ෂේත්‍රයන් තියෙනවා. මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් ආහාර භෝග අපි නිෂ්පාදනය කරලා තියෙනවා. මම බලයට ඇවිත් එතනෝල් ගෙන්වන එක සම්පූර්ණයෙන් නැවැත්තුවා. අපේ සීනි කර්මාන්ත අද ලාභ ලබනවා. ගම්මිරිස් ගොවියා, කහ ගොවියා, උක් ගොවියා, කුරුඳු ගොවියා මේ සියලු දෙනාම අද ලාභ ලබනවා. මේක අපේ ප්‍රතිපත්තියේ සාර්ථකත්වයක්.
    කෝවිඩ් වසංගතය අස්සේ විපක්ෂය කොල්ලුපිටියට ජනතාව ගෙනල්ලා ජනතාවත් අපහසුතාවයට පත් කළා. මේකද වගකිවයුතු විපක්ෂයක වගකීම. රට වහන්නෙ නැතිව ඉදිරි අවුරුදු 3 පාලනය කරන්න පුළුවන් වුණොත් අපි සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කරනවා කියලා අපි ජනතාවට පොරොන්දු වෙනවා. පළපුරුදු පරිනත දේශපාලඥයො ඉන්නවා ඇමතිකම් නැතිව. මේ සියලු දෙනාටම කොහොමද ඇමතිකම් දෙන්නෙ. අපි පොරොන්දු වුණ දේ ජනතාවට කරලා තියෙනවා. කවුරුවත් හිතපු නැති ක්ෂේත්‍රයක් අද දියුණු කරන් යනවා. කොවිඩ් අභියෝග මැද අපි ජනතාවගේ සුබ සාධන කටයුතුත් කරගෙන යනවා. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අපි ඉදිරියටත් මේ අයුරින්ම කරගෙන යනවා. ඒ නිසා මේ ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍ය සහය දුන්න ජපාන රජයටත්, ජයිකා ආයතනයටත් මාගේ ස්තුතිය පුද කරනවා. මේ ව්‍යාපෘතිය සහය දුන් කම්කරුවාගේ සිට නිලධාරීන් දක්නා සියලු දෙනාට රට වෙනුවෙන් අපි ස්තුති කරනවා. මේ වගේ ව්‍යාපෘති කඩිනමින් ඉටු කොට ජනතාවට ලබා දෙන්න යැයි සියලුම ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.