fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්විජේවීර හිරේ ඉද්දී රොනී ද මෙල් ජවිපෙ ඡන්දත් එජාපෙට අරන් දුන් හැටි...

    විජේවීර හිරේ ඉද්දී රොනී ද මෙල් ජවිපෙ ඡන්දත් එජාපෙට අරන් දුන් හැටි ජනපති මතක් කරයි

    කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම අද දවසේ තම දේශපාලන කටයුතුවලට පන්නරයක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    නිවැරදි තීරණ ගැනීම සහ ඒවා කඩිනමින් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබා ගැනීම රොනී ද මෙල් මහතාගේ චරිතයේ සුවිශේෂි ලක්ෂණයක් වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා කීය.

    රට තුළ වෙනසක් කළ දේශපාලනඥයකු වූ එතුමා රටට කළ සේවය කිසිදා අමතක කළ නොහැකි බව ද
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ඊයේ (01) පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති රොනී ද මෙල් මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙමිනි.

    රොනී ද මෙල් මහතාගේ අවසන් කැමැත්තට අනුව මෙම අවමංගල්‍ය කටයුතු සංවිධානය කර තිබිණි.

    රුහුණු විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ තැන්පත් කර තිබූ දේහය අවමංගල්‍යය රථ පෙරහරකින් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයට රැගෙන ඒමෙන් අනතුරුව අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ විය.

    අවමංගල්‍ය සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

    “රොනී ද මෙල් මහතා දිනක් මට කථා කර එතුමා මුණ ගැසෙන ලෙස දන්වා සිටියා. අපි ටිකක් කතා බහ කළ පසු එතුමා මට කිව්වා රනිල් මගේ මරණයෙන් පසුව ඔබතුමත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් පැමිණ අවමංගල්‍ය සභාව ඇමතීමට අවශ්‍යයි කියලා. ඒ අනුව අද අපි දෙදෙනාම මේ වැඩකටයුත්ත සඳහා සහභාගීව සිටිනවා.

    රොනී ද මෙල් මහතාව මම හොදින් හඳුනා ගත්තේ එතුමා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමෙන් පසුවයි. ඊට පෙර මම කුඩා කාලයේ එතුමාව මුණ ගැසි තිබුණා. පසුව 1970 වසරේදී එතුමා පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

    පසුව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුවේ එතුමා කටයුතු කළා. මටත් ඒ සමඟ වැඩ කිරීමට අවස්ථාව ලැබුණා. මේ කාලය තුළදී රොනී ද මෙල් මහතාගේ දක්ෂතාවය මම හොඳින් දුටුවා.

    එතුමා එක්සත් ජාතික පක්ෂය මේ ප්‍රදේශවල ජයග්‍රහණය කරවීම වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළා. ඒ බව අපි හොඳින් දැන සිටියා. එදා එක්සත් ජාතික පක්ෂය සමඟ විශාල රැල්ලක් ඇති වී තිබුණා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ප්‍රකාශ කළා රැල්ලක් තිබෙනවා කියලා හිතන්න එපා, අපි මැතිවරණය ජයග්‍රහණය කළ යුතුයි කියලා. එවිට රොනී ද මෙල් මහතා ප්‍රකාශ කළා මම ඔබතුමාට ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දත් අරගෙන දෙන්නම් කියලා.

    එතුමා විටින් විට බන්ධනාගාරයට ගොස් රෝහණ විජේවීර මහතාව මුණ ගැසී තිබුණා. අවසානයේ ඒ සියලුදෙනා අපට ඡන්දය ලබා දෙනවා නම් විජේවීර මහතාව බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට සුදානම් ද කියා එතුමා යෝජනාවක් ගෙනාවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඊට එකඟ වුණා. ඒ අනුව දෙපාර්ශ්වයේම වගකීම ඉටු වූ නිසා එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ධූර විශාල ප්‍රමාණයක් හිමි කර ගත්තා.

    රොනී ද මෙල් මහතා සමග මට තවදුරටත් සමීපව වැඩකටයුතු කිරීමට අවස්ථාව ලැබුණේ පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසුවයි. එතුමා ඉතා දක්ෂව කටයුතු කළා. මෙරට ආර්ථිකය විවෘත කිරීමේ වැඩපිළිවෙළ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා භාර දුන්නේ රොනී ද මෙල් මහතාටයි. එතුමාට එය භාරදුන්නේ ජූලි මාසයේ. නමුත් ඔක්තෝබර්, සැප්තැම්බර් වන විට ඒ වැඩකටයුතු සියල්ල එතුමා අවසන් කර තිබුණා. කිසිම වැඩකට එතුමා වැඩි කාලයක් ගත්තේ නැහැ. කිරීමට අවශ්‍ය සියලු දේ එකවර නිම කළා. ඒ ආදර්ශය මමත් එතුමාගෙන් ලබාගත්තා. මේ අවස්ථාවේත් මම කටයුතු කරන්නේ ඒ ආකාරයටයි.

    එදා ආර්ථිකය විවෘත කළා. එහිදී ඇතැම් අය කිව්වා ඒ ආර්ථිකය කඩා වැටෙයි කියලා. මම අද මෙහි පැමිණියේ ත්‍රිකුණාමලයේ සිටයි. ත්‍රිකුණාමලයේ සිට හෙලිකොප්ටර් යානයෙන් මෙහි පැමිණෙන විට මම මේ සෑම තැනකම දැක්කේ නගර. මේ සියල්ල තිබෙන්නේ රටේ ආර්ථිකය දියුණු වූ නිසයි.

    මම හිතුවා රොනී ද මෙල් මහතා මේ ආර්ථිකය විවෘත නොකළා නම් අද මේවා දකින්න ලැබෙනේ නැහැ නේද කියලා. එදා නගරවල තිබුණේ කඩ සාප්පු දෙක තුනයි. අද සාප්පු ගණනාවක් තිබෙනවා. කර්මාන්ත ශාලා හැදිලා නව නගර නිර්මාණය වී තිබෙනවා. මේ සංවර්ධනය ඇති වුණේ විවෘත ආර්ථිකය සමඟයි. ඒ පිළිබඳව අප එතුමාට ණය ගැතියි.

    එතුමා රටේ ආර්ථිකය විවෘත කළා පමණක් නොවයි ඉන් පසුව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කරගෙන ගිය විශාල සංවර්ධන වැඩකටයුතු සඳහා අවශ්‍ය මුදල් සොයා දුන්නා. අපි මහවැලිය හැදුවා. ඒ වගේම විශාල ජලාශ හැදුවා. ඉඩම් සංවර්ධනය කර කෘෂිකර්මාන්තය සඳහා ලබා දුන්නා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ පාර්ලිමේන්තු සංකීරණය හැදුවා, නව ගොඩනැගිලි හැදුවා. ඒ වගේම පාරවල් හැදුවා. වෙළඳ කලාප හැදුවා. නිවාස වැඩසටහන දියත් කළා. මේ සියලු වැඩකටයුතු වෙනුවෙන් මුදල් ලබා දෙන්න එතුමාට හැකියාව ලැබුණා. එතුමා ඒ දක්ෂතාව පෙන්නුවා.

    එපමණක් නොවෙයි, 1983 එල්ටීටීඊ සමයේ දී ඇතැම් අය හිතුවා රටේ ආර්ථිකයකය කඩා වැටෙයි කියලා. ඒත් එම කාලය තුළ අසීරුවෙන් හෝ රොනී ද මෙල් මැතිතුමාට හැකියාව ලැබුණා රටේ ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාමට. එතුමා නොසිටියා නම් මේ දියුණුව රට තුළ ඇති වෙන්නේ නැහැ.

    එතුමාගේ අදහස් සහ එතුමා ප්‍රශ්නයක් දෙස බැලූ ආකාරය වගේම එහිදී කටයුතු කළ ආකාරය අනුව එතුමා එම ආණ්ඩුවේ සිටී දක්ෂයෙක් බවට සියලුදෙනා පිළිගත්තා. ආර්ථික ප්‍රශ්න වගේම අනෙකුත් ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට එතුමාට හැකියාව තිබුණා.

    විශේෂයෙන්ම ඉන්දු – ලංකා ගිවිසුම සකස් කරන විට එතුමා ඒ සඳහා සහාය ලබා දුන්නා. එවන් විශිෂ්ට පුද්ගලයෙකුට තමයි අද අප මේ අවසන් ගෞරව දක්වන්නේ. ඒ වගේම එතුමාගේ බිරිඳ වූ මල්ලිකා ද මෙල් මහත්මිය එතුමාගේ සාර්ථකත්වය පිටුපස සිටී බවත් මම මෙහිදී සඳහන් කළයුතුයි.

    රොනී ද මෙල් මැතිතුමා සමග සන්ධ්‍යාවක නිදහසේ සාකච්ඡා කිරීමෙන් දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය, සාහිත්‍ය, භාෂාව පිළිබඳ විශාල දැනුමක් ලබාගත හැකියි. එතුමාට එතරම් පුළුල් අත්දැකීම් සම්භාරයක් තිබුණා. එවන් පුද්ගලයෙකු දේශපාලනය තුළ සිටීම විශාල ශක්තියක් බවට පත් වුණා.

    ඒ වගේම මේ රුහුණු විශ්වවිද්‍යාල ඇති කිරීම වෙනුවෙන් එතුමා මහත් කැපවීමකින් කටයුතු කළා. රොනීද මෙල් මැතිතුමා නොසිටියා නම් අද මෙවන් විශ්වවිද්‍යාලයක් මෙම ස්ථානයේ නොතිබෙන බව කිවයුතුයි. අවසානයේ එතුමාට අවශ්‍ය වුණේ රුහුණු විශ්වවිද්‍යාලයේ නිර්මාතෘවරයා ලෙස අවසන් ගමන් යාමටයි. රටේ ආර්ථිකය දියුණු කළත් රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකළත් එතුමාට අවශ්‍ය වුණේ මේ රුහුණු විශ්වවිද්‍යාලය දියුණු කළ පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්වීමටයි.

    ඒ වගේම රොනී ද මෙල් මහතාගෙන් මම කරුණු ගණනාවක් ඉගෙන ගත්තා. ඒ අත්දැකීම පසුව මට ප්‍රයෝජනවත් වුණා. එතුමා සමඟ වැඩකටයුතු කර ලබාගත් අත්දකීම් අද දවසේ ද මට පන්නරයක්ව තිබෙනවා.

    අවසාන කාලයේ එතුමා විශ්‍රාමිකයෙකු ලෙස අප සමඟ සාකච්ඡා කරමින් රටේ කටයුතුවලට සම්බන්ධ වුණා.

    එතුමාගේ අහිමිවීම අප සියලුදෙනාට සිදු වු පාඩුවක් බව සඳහන් කළයුතුයි. රොනී ද මෙල් මහතා මේ රටට කළ සේවාව අප අමතක නොකළ යුතුයි. එතුමා මේ රටට වෙනසක් කළ දේශපාලනඥයෙක්. මෙම අවස්ථාවේ දී රොනී ද මෙල් මැතිතුමාට මගේ අවසන් ගෞරවය දක්වමින් එතුමාට නිවන් සැප ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුලේ සියලුදෙනාට මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.