fbpx
තවත්
    මුල් පිටුවspecialමහින්දෙ 132 වැනි සංවත්සරයට ජනපතිගෙන් සුබපැතුම්

    මහින්දෙ 132 වැනි සංවත්සරයට ජනපතිගෙන් සුබපැතුම්

    දිගු හා කීර්තිමත් ඉතිහාසයක් ඇති මහින්ද විද්‍යාලය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රටට ලබා දී ඇති දායකත්වය පැසසුම් සහගත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ගාල්ල මහින්ද විද්‍යාලයේ 132වැනි සංවත්සරය වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව අවධාරණය කර තිබේ.

    ශ්‍රී ලාංකේය ජාතිය ඔප්නංවන ස්වාධීන චින්තනයෙන් හෙබි ඥාණ පරම්පරාවක් මතුවටත් රටට දායාද කිරීමට මහින්ද විද්‍යාලයට හැකිවේවා යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සුබ පැතුම් පණිවුඩයෙන් ප්‍රාර්ථනා කර තිබේ.

    අද(01)ට යෙදෙන සිය 132වැනි සංවත්සරය සමරමින් මහින්ද විද්‍යාලය ඊයේ දිනයේ ඕල්කට් ශාලාවේ දී සර්ව රාත්‍රික පිරිත් පිංකමක් ද අද දිනයේ සංඝගත දක්ෂිණාවක් ද පවත්වා ඇත.

    විද්‍යාලාධිපති රුසිර මද්දුමහේවගේ මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලයීය බෞද්ධ සංගමය,ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන්, ආදි සිසුන්, දෙමාපියන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන් එක්ව මෙම පිංකම් සංවිධානය කර තිබේ.

    ඊයේ රාත්‍රියේ පැවැති පිරිත් පිංකමට සමඟාමීව මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය අතිරේක සභාපති විජිත් ලොකුනාරංගොඩ, ලේකම් කමල් නිශාන්ත මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉතිහාසයේ පළමු වතාවට විද්‍යාලය ඉදිරිපිට දී මිහිඳු මහා බත් දන්සල පවත්වන්නට යෙදිණි. ඒ සඳහා ප්‍රදේශවාසීන් සහ මහින්ද ප්‍රජාවේ දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව තිබේ.

    විද්‍යාලයේ ආදි කර්තෘ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා, පළමු විදුහල්පති බවුල්ස් ඩැලී තුමා සහ විද්‍යාලයේ පුනරුදයේ නිර්මාතෘ එෆ්.එල් වුඩ්වඩ් විදුහල්පතිතුමා ඇතුළු හිටපු විදුහල්පතිවරුන්, තෝමස් ද සිල්වා අමරසූරිය මුහන්දිරම්තුමා,හෙන්රි අමරසූරිය සහ එච්.ඩබ්ලිව් අමරසූරිය ඇතුළු විද්‍යාලයීය කළමනාකරුවන්, වර්තමානයේ විද්‍යාලය පිහිටි දවටගහවත්ත පරිත්‍යාග කළ ඩී.එෆ් ද සිල්වා මහත්මිය සහ වීරසිරි පවුලේ සමාජිකයන්ද,ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරින්,ආදි සිසුන්, වත්මන් සිසුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු සමස්ත මහින්ද ප්‍රජාව සිහිපත් කරමින්ද ඔවුන්ට ආශිර්වාද එක්කරමින් ද මෙම පිංකම් මාලාව සංවිධානය කර තිබිණි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩය මෙසේ ය.

    ඡායාරූප -Arch92

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.